
ස්වභාවික ආපදාවක් යනු
ස්වාභාවික උපද්‍රවයක්, ස්වාභාවික ක්‍රියාවලි හේතුවෙන් මිනිස් ප්‍රජාවට හෝ දේපළ වලට හා පරිසරයට හානි සිදුවිය හැකි සංසිද්ධියක් ලෙස හැදින්විය හැක (විකිපීඩියා, 2024). දැන් දැන් මෙවැනි උපද්‍රව බොහෝමයක් සිදුවන්නේ ස්වාභාවික ක්‍රියාකාරකම් වලටත් වඩා මිනිස් ක්‍රියාකාරකම් වල අනිසි බලපෑම් නිසාවෙනි. වර්තමානයේ ගෝලීය කාර්මිකරණයත් සමඟ ස්වභාවික ආපදාවන්ගෙන් සිදුවන හානියේ ප්‍රමාණය අතීතයේ සිදුවූ හානියේ ප්‍රමාණයට වඩා ඉතා ඉහළ මට්ටමක පවතී. වනාන්තර එළි කිරීම, මහ පොළොවට උහුලාගත නොහැකි තරමේ දැවැන්ත ගොඩනැගිලි ඉදිකිරිම, ස්වභාවික දායාද (උල්පත් වැනි ජල මුලාශ්‍ර, දැවැන්ත ගස් ගල්, ඛනිජ සම්පත්) වලට හානි කරමින් සහ ඒවායේ පිහිටීමට බලපෑම් කිරීම වැනි මෙවැනි හේතු නිසා වර්තමානයේ ස්වභාවික උපද්‍රව තුළින් සිදුවන හානිය අතිමහත් වී තිබේ.
ස්වභාවික ආපදා යනු කිසිසේත්ම වැළැක්වීමට නොහැකි සංසිද්ධියක් බව අප දන්නෙමු. වර්ෂාපතනය, භූමිකම්පා, නායයෑම්, ගංවතුර පමණක් නොව සුළි කුණාටු සහ සුනාමි තත්වයන් යන මේ කිසිවක් අපට වැළැක්විය නොහැක. කොතරම් විශාල ගල් බාධක බැන්දත්, පතොක් ගාල්වලින් අවහිර කළත් සුනාමිය තත්ත්වයක් ඇති වුවහොත් එය රට තුළට ඒම කිසිවෙකුටත් වැළැක්විය නොහැක (කතුවැකිය, 2024). මේ කිසිදු ස්වභාවික උපද්‍රවකට මුහුණ දී ඉන් බේරීමට හෝ එයින් පලා යාමට කිසිවෙකුට නොහැකිය. නමුත් නුවණින් කටයුතු කළහොත් එවැනි අන්තරායන්ගෙන් සිදුවන හානිය තරමක් දුරට හෝ පාලනය කරගැනීමටත් සිදුවිය හැකි ජීවිත හානි ප්‍රමාණය අඩු කර ගැනීමටත් හැකියාව තිබේ.
ලෝකයේ විවිධ රටවල පිහිටීම අනුවත් ඒ ඒ රටවලටම ආවේණික වූ ස්වභාවික ආපදා තත්වයන් තිබේ. එනම්, ශීත කලාපිය රටවලට ජලය ආශ්‍රිත ආපදාවන් (හිම කුණාටු, උෂ්ණ කාලවලට ග්ලැසියර් දියවීමෙන් ඇතිවන ගංවතුර තත්වයන් සහ අයිස් කුණාටු) බහුල වන අතරම උෂ්ණාධික වියළි කලාපිය රටවල් බොහෝ දුරට නියඟය වැනි උපද්‍රව තත්වයන්ගෙන් බැට කයි. ඊට අමතරව ස්වභාවික දායාද ලෙස වාසනාවට හෝ අවාසනාවට පිහිටි ගිනිකඳු සක්‍රීය වීම නිසාවෙන් ගිනිකඳු පවතින රටවල් (ඉතාලියේ විසූවියස් ගිනි කන්ද, ජපානයේ සකුරාජිමා, ඉන්දුනීසියාවේ මෙරාපි ගිනි කන්ද වැනි) ඒ ආශ්‍රිත උපද්‍රවයන්ට මුහුණ දීමට සිදුවේ. නමුත් එවැනි තත්වයන් නිරන්තරයෙන් ඇති නොවන අතරම පෙර සුදානම ඉතා වැදගත්ය.
ආපදා වර්ගීකරණය
ස්වභාවික උවදුරු විවිධ කාණ්ඩ යටතේ වර්ගීකරණය කරන අතර ඒ අතරින් බහුලව අපට අසන්නට දකින්නට සහ අත් විඳින්නට සිදුවන ආපදාවන් කිහිපයක් පහත පරිදි වේ.

- භූ විද්‍යාත්මක උවදුරු
• හිමධාවය
විශාල හිම (හෝ ගල්) ස්කන්ධයක් කන්දක හැඩ ප්‍රදේශය හරහා ලිස්ස යාමෙන් හිමධාවයක් ඇතිවේ. කැටිති ද්‍රව්‍ය වලින් සමන්විත ගුරුත්ව ප්‍රවාහය සඳහා හිමධාවය උදාහරණයක් වේ.
• භුමි කම්පාව
භුමි කම්පාවක් යනු භූ කම්පන තරංග විහිදුවන ගබඩා වී ඇති ශක්තිය ක්ෂණිකව නිදහස් වීම නිසා ඇති වන සංසිද්දියකි. පොළව මතු පිටදී භූමිකම්පාවක් භුමිය සෙලවීමක් හෝ විස්ථාපනය වීමක් ලෙස විද්‍යමාන වන අතර; මුහුදු පතුලේදී ඇති වන භූමිකම්පාවක් හේතුවෙන් ඇතිවන ජලය විස්ථාපනය සුනාමි සඳහා ද හේතු විය හැකිය.
• වෙරළ ඛාදනය
වෙරළ ඛාදනය යනු ලෝකයේ වෙරළාශ්‍රිත වෙරළත ඉම ප්‍රාථමිකව උදම් හා කුණාටු සැඩ පහරවල බලපෑම මත මුහුදු රළ හා දියරලවල් හේතුවෙන් විපර්යාස වීම සහ වෙනස් වීම වේ.වෙරළ ඛාදනය දිගු කාලින ක්‍රියාවලියක් හේතුවෙන් සිදු විය හැකි අතර නිවර්තන කුණාටු හෝ දැඩි කැලබුම් සිදුවීම් වැනි උපාක්යානරුපි සිදුවීම් මතද ඇති වේ.
• ලහර්
ලහර් යනු ගිනිකඳු පිපිරීම් හා සම්බන්ධ ස්වභාවික සිදුවීමක් වන අතර ග්ලැසියර් ඛාදිත ගිනිකඳු පිපිරීම් වලින් ඇතිවන වේගවත්ව ගිනිකන්දේ එක දිශාවකින් පහලට රූටා වැටෙන දියවූ අයිස් වලින් ඇති වන මඩ, ගල්,සහ අළු වලින් සමන්විත ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් හා සම්බන්ධ වේ.
• නාය යැම්
නාය යැමක් යනු බෑවුමක් පහලට විශාල වශයෙන් රොන් මඩ විස්ථාපනය වීමයි.
• සින්ක් හෝල්
සින්ක් හොල් යනු ගුහා වැනි අන්තර්භෞම ව්‍යයුහ බිඳ වැටීමෙන් ඇතිවන මතුපිට භුලක්ෂණ පැතිරීමට නොදී වලක්වනු ලබන අවපාතනයි. මේවා දුර්ලභ වුවත් ක්ෂණිකව ජනාකීර්ණ ප්‍රදේශයක ඇතිවන විශාල සින්ක් හෝල් ගොඩනැගිලි හා අනෙකුත් ව්‍යුහ බිදවැටීමට හේතු වේ .
• ගිනිකඳු පිපිරීම්
ගිනිකඳු පිපිරිමක් යනු ගිනිකන්දක් සක්‍රිය වීමේ හා එහි බලශක්තිය නිදහස් කිරීමේ ප්‍රධාන කාරණය වන අතර පිපිරීම් වල විවිධ වර්ග ඇත. සමහර පිපිරීම් වලදී ගුවන් යානයක වේගයට වඩා වැඩි වේගයකින් කන්දක පහලට ගමන් කල හැකි අධික උෂ්ණත්වය සහිත අළු වළාකුළු සහ දුමාරයන්වන යමහල් ගලායැම් ඇති වේ.
- කාළගුණ විද්‍යාත්මක උවදුරු
• හිම කුණාටු
හිම කුණාටුවක් යනු ඉතා සිතල සහ සුළං සහිත තත්ත්වයන් යටතේ අඩු උෂ්ණත්වය, දැඩි සුළං සහ අධික හිම වැනි ලක්ෂණ සහිතව ඇතිවන දැඩි හිම කුණාටුවක් වේ.
• නියඟය
ගෝලීය උෂ්ණත්වය සහ කාලගුණ වෙනස්වීම් හේතුකොට ගෙන ඉතා පුළුල් නියඟ තත්ත්වයන් ඇති වේ. ඉතා අවම වර්ෂාපතන මට්ටම සහ ඉහල දේශගුණය හේතුවෙන් මෙම පුළුල් නියඟයන් අප්‍රිකානු මහාද්වීපය තුල බහුල වීමට වැඩි ඉඩක් පවතී.
• ගල්වැසි
ගල්වැස්සක් එසේත් නැත්නම් හිමකැට කුණාටුවක් (Hailstorms) යනු අකුණු කුණාටුවකදී බිමට වැටීමෙන් ස්ථානයකට හානි කල හැකි වන හිම කැට නිපදවීමෙන් ඇති වන ස්වභාවික උපද්‍රවයකි. හිමකුණාටු විශේෂයෙන්ම ගොවිපල ක්ෂේස්ත්‍ර වැනසීම , භෝග විනාශය, උපකරණ හානිය සඳහා හේතු වේ.
• තාප තරංග
තාප තරංග යනු තාපය නිසා ඇතිවන සහ එම ඇති වන ස්ථානයට අන්ත සහ අසාමාන්‍ය බලපෑම් ඇති කරන උපද්‍රවයකි. තාප තරංග ඉතා දුර්ලබ වන අතර, ඒවා ඇති වීම සඳහා උෂ්ණත්ව විපර්යාස,කාටා උෂ්ණත්වමාන සුළං හෝ අනෙකුත් සංසිද්දී වැනි විශේෂ කාලගුණ සිදුවීම් වල සංයුතියක් අවශ්‍ය වේ.
• සුළි කුණාටුව
සුළි , නිවර්තන සුළි කුණාටු , සහ ටයිපුන් යනු මෙම සංසිද්දිය සඳහා යෙදෙන තවත් නම් වන අතර, ඒවා සාගරය පුරා නිර්මාණය වන සුළි කුණාටු පද්ධතියක් වේ. එය ඇතිවන්නේ සාගරයෙන් වාෂ්ප වන ජලය කුණාටුවක් බවට පත්වීමෙන්ය. කොරියෝලිස් ආචරණ හේතුකොට ගෙන කුණාටුවක් පැයට මීටර් 74 (119 km/h) වේගයෙන් කැරකිමට ලක්වේ.
• අයිස් කුණාටු
වායුගොලිය තත්වයන් නිසා අයිස් පතනය වීමේ කාලගුණ සිදුවීමක් ලෙස අයිස් කුණාටු හැඳින්විය හැක. එය හානි ඇති කරයි. එසේම මෙම අයිසි කුණාටු බහුලව පවතින්නේ අයිස් ද්‍රැව සහිත ප්‍රදේශ වලය.
• ටෝනාඩෝ
ටෝනාඩෝ යනු අකුණු කුණාටු හේතුවෙන් ඇතිවන ස්වභාවික ආපදාවක් වේ. ටෝනාඩෝ ඉතා දරුණු වන අතර 50 mph (80 km/h) සහ 300 mph (480 km/h ), සහ ඊට වැඩ වැඩි වේගයකින් වුවද හමා යයි.
• දිය ගොබ වලාව
ජලය මත ඇති වන ටෝනාඩෝ තත්වයකි.
• ගංවතුර
ගංවතුරක් යනු වැවක් වැනි ජල ශරීරයක ජලය සාමාන්‍ය සිමාව ඉක්මවා අතිරික්ත ජාල කඳ පිටාර යාම සමඟ ගොඩබිම් පිහිටි පහත් ප්‍රදේශ ජලයෙන් යටවීමයි.
• ලැව්ගිනි
ලැව්ගිනි යනු සැලසුම් නොකළ හා පාලනය කල නොහැකි ලෙස ඇතිවන ගින්නකි. ලැව්ගිනි ඇතිවීම සඳහා අකුණු සැර වැනි ස්වභාවික සිදුවීම් මෙන්ම මානව ක්‍රියාකාරකම් ද බලපානු ඇත.
මේ වන විට ස්වභාවික ආපදා, බොහොමයක් මානව ක්‍රියාකාරකම් සහ පරිසරයේ ඇතිවන යම් යම් අසමතුලිත තත්වයන් නිසා උග්‍ර වෙමින් පවතී. නමුත් සෑම ආකාරයකම උවදුරු සඳහා මානව ක්‍රියා කලාපයන් බලපෑමක් ඇති නොකරයි. කෙසේවෙතත් ලෝකයේ බොහෝ රටවල විවිධාකාරයේ ස්වභාවික ආපදා තත්වයන් පිලිබඳ පුවත් නිරන්තරයෙන්ම වාර්තා වුවත් අපට ඉතා ආසන්නතම සිදුවීම වන්නේ ඇමරිකා එක්සත් ජනපදයට පිට පිටම දැඩි බලපෑමක් සිදුකළ සුළි කුණාටු තත්ත්වයි. හේලෙන් සහ මිල්ටන් ලෙස නම් කරන ලද එම චණ්ඩ මාරුතයන් ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්ත වලට විශාල බලපෑමක් සහ හානියක් සිදු කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
“මිල්ටන්” චන්ඩ මාරුතය
21 වන සියවස මැද භාගයේ සිටින පෘථිවියට ආපදා යනු එතරම් අරුම පුදුම දෙයක් නොවන අතර ඉහත දක්වා ඇති පරිදි ස්වාභාවික ආපදා යනු අපට නිතරම පාහේ අහන්නට දකින්නට ලැබෙන දෙයකි. ගංවතුර, නායයෑම්, සුනාමි වැනි බහුලව සිදුවන ස්වාභාවික ආපදා අතරින් මෑතකදී අත්විදීමට සිදුවුන ඉතාම බැරෑරුම් ආපදා තත්වය නම් ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට බලපෑ “මිල්ටන්” නම් සුළිකුණාටුවයි.
මේ පිළිබඳව වැඩිම කතාබහට ලක් වී ඇත්තේ ජාත්‍යන්තර අභවකාශයේ සිට ලබාගත් පින්තූරය නිසාවෙනි. මෙක්සිකෝ බොක්කේ ඇතිවුන අත්ලාන්තික් සුළි කුණාටුවක් වන මිල්ටන් සුළි කුණාටුව දෙවැනි වන්නේ 2005 වසරේ ඇති වූ රීටා සුළි කුණාටුවට පමණයි. 2024 වසරේ ඇතිවුණ අතිශය ප්‍රභල සුළි කුණාටුව ද මෙය ලෙස හැඳින්විය හැක. බටහිර කැරිබියන් මුහුදේ හටගත් කැළඹීමක් හේතුවෙන් ඇති වූ මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 285 ක සුළං වේගයක් සහිතව හමා ගොස් ඇති බවට වාර්තා වේ. එය හඳුන්වන්නේ පස්වෙනි කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස වුවත් ගොඩබිම දෙසට මෙය පැමිණෙන විට තුන්වන කාණ්ඩයේ සුළි සුළඟක් ලෙස පැමිණ ඇත. ෆ්ලෝරීඩාව, ජෝර්ජියාව, මෙක්සිකෝවේ ගල්ෆ් වෙරළ තීරයට මෙයින් බරපතළ බලපෑමක් එල්ල වී තිබේ. මිනිස් ජීවිත කිහිපයක් අහිමි කිරීමට තරම් බලපත් වූ මෙම මිල්ටන් සුළි කුණාටුවෙන් වැඩිම හානිය සිදු වී තිබෙන්නේ ෆ්ලොරිඩාවටයි (Jayawadena, 2024).

විනාශකාරී හෙලීන් සුළි කුණාටුවෙන් තවමත් පීඩා විඳිමින් සිටින ෆ්ලොරිඩාවේ ජනාකීර්ණ බටහිර වෙරළ තීරයට සති දෙකකටත් අඩු කාලයකදී බලපෑම් කළ දෙවන සුළි කුණාටුව මෙය බවද වාර්තා වේ (Monara, 2024). සුළි කුණාටුව පිලිබඳ පෙර අනතුරු ඇඟවිම් සිදුකර තිබූ නිසා මිනිස් ජීවිත රැසක් බේරාගැනීමට හැකි වී තිබෙන නමුත් ඩොලර් මිලියන 100කට වැඩි හානියක් මිල්ටන් සුළි කුණාටුව නිසා ඇති වී තිබේ. මිල්ටන් සුළි කුණාටුව ව්‍යාප්ත වූ ගමන් මාර්ගයේ කිසිදු ජීවයක් ඉතිරි නොවූ බවට ඇමරිකානු කාලගුණ බලධාරීන් අදහස් දක්වා තිබේ.
‘මිල්ටන්’ සුළි කුණාටුව මෙසේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට කඩා වදිනුයේ ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක වැසියන් 225 දෙනකුට මරු කැඳවූ දරුණු ‘හෙලේන්’ සුළි කුණාටුව කඩා වැදීමෙන් සති දෙකකටත් වඩා අඩු කාලයකින් වීම විශේෂත්වයක් මෙන්ම ඉතා කණගාටුදායක තත්ත්වයකි. හෙලේන් සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරිඩා, ජෝර්ජියා, ටෙනසි, දකුණු කැරොලිනා, උතුරු කැරොලිනා හා වර්ජිනීයා යන ප්‍රාන්තවල වැසියන් එසේ මරණයට පත්ව තිබිණි. මිල්ටන් සුළි කුණාටුව හේතුවෙන් ගස් කඩා වැටීමෙන් විදුලි ඇනහිටීම් සිදුවී ඇති බවත් සුළි කුණාටුවෙන් හානියට පත්වන ප්‍රදේශවල නැවත ජනාවාස ඇති කිරීම සඳහා තවත් සති ගණනක් හෝ මාස ගණනක් ගත වනු ඇති බව ජාතික සාගර වායුගෝල සංගමය පවසා තිබේ. ෆ්ලොරිඩා ප්‍රාන්ත බලධාරීන් විසින් මිල්ටන් සුළි කුණාටුවේ ආගමනය හඳුන්වා ඇත්තේ ‘රකුසා පැමිණෙනවා’ යනුවෙන් වන අතර ‘මිල්ටන්’ සියවසේ සුළි කුණාටුව ලෙස ෆ්ලොරිඩා ප්‍රාන්ත පොලිසිය විසින් හඳුන්වා දී තිබේ (මාරඹේ, 2024).
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, පනත හා ඒ සම්බන්ධ ක්‍රියා පටිපාටිය
ස්වභාවික ආපදා සිදුවීමෙහි සංඛ්‍යාතය වැඩිවීමේ ප්‍රවණතාවයක් ඇති අතර, අවිධිමත් සංවර්ධනය, පාරිසරික පිරිහීම, මානව මැදිහත්වීම සහ දේශගුණික විපර්යාසයන් මේ සඳහා ප්‍රධාන වශයෙන් දායක වී ඇති අතරම මානව මැදිහත්වීම ස්වභාවික උවදුරු සිදුවීමේ වාර ගණන සහ එහි ප්‍රබලතාවය වැඩිකිරීමට මෙන්ම මානව මැදිහත්වීම මත පෙර නොපැවති ස්වභාවික ව්‍යසන සිදුවීමට හේතු වී ඇති බව පිළිගත් කරුණකි. එවැනි මානව ක්‍රියාකාරකම් අතර, අනවසර ඉඩම් ගොඩකිරීම්, වන විනාශය අවිචාරවත් ලෙස කොරල්පර විනාශකිරීම, වැලි ගොඩදැමීම් සහ පතල් කැනීම් යනාදිය වේ. මෙවැනි ආපදාවන් ඇති වනවා වගේම ඒවායෙන් රට අභ්‍යන්තරයේ සිදු වන දේපළ හා ජීවිත හානියේ ප්‍රමාණය අවම කර ගැනීමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අප කටයුතු කළ යුතුය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යනු ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය සඳහා වන ප්‍රධාන ආයතනයයි. සියලුම පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය ඇතිව ආපදා අවදානම අවම කිරීම සඳහා ජාතික සහ ප්‍රාදේශීය මට්ටමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය කිරීම සඳහා මෙම ආයතනයට වගකීම පැවරී තිබේ (DMCSL, 2024).
2005 අංක 13 දරණ ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනතෙහි විධි විධාන අනුව, ආපදා කළමනාකරණය පිළිබඳ ජාතික සභාවේ විධායක ආයතනය ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පිහිටුවන ලදි. එහි ප්‍රධාන ක්‍රියාකාරකම් අතරට
අනෙකුත් ප්‍රධාන ආයතන සමග එක්ව, පර්යේෂණ හා සංවර්ධන කටයුතු ඉටුකිරීම,
සූදානම් කරන ලද සැලසුම් පවත්වා ගැනීම,
අවදානම් සහගත තත්ත්වයේ පසුවන ජනතාව සඳහා පූර්ව අනතුරු හැඟවීම
හදිසි ප්‍රතිචාර දැක්වීම යනාදිය ඇතුළත් වේ.
සියලුම ආපදා කළමනාකරණ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධීකරණයට පහසුකම් සැපයීම උදෙසා, දිස්ත්‍රික්, ප්‍රාදේශීය සහ ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් දීප ව්‍යාප්තව ආපදා කළමනාකරණ කමිටු පිහිටුවමින් සියළුම දිස්ත්‍රික්කවල, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකද පිහිටුවන ලදි.

ශ්‍රී ලංකාව තුළ වඩා ක්‍රියාකාරී අන්දමින් ආපදා අවදානම් කළමනාකරණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක කරන ලද ආපදා කළමනාකරණ කාර්යයන් පහත පරිදි වේ.
- ආපදා අවම කිරීම, ප්‍රතිචාර දැක්වීම සහ යථා තත්වයට පත්කිරීම උදෙසා විදේශ ආධාර ලබන ව්‍යාපෘති ආරම්භ කිරීම හා සම්බන්ධීකරණය කිරීම.
- අමාත්‍යාංශ, රජයේ බලධාරීන් සහ නියෝජිත ආයතන, පෞද්ගලික ක්ෂේත්‍රයේ නියෝජිත ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ අනෙකුත් සියළු නියෝජිත ආයතන මගින් ඒවාගේ වගකීම් නිශ්චිත කාල සීමාවක් තුළ ක්‍රියාත්මක වීම සහතික කිරීම උදෙසා එකී ආයතන සමග සහසම්බන්ධව කටයුතු කිරීම.
- ස්වභාවික හා මිනිසා විසින් නිර්මාණය කරන ලද ආපදා සම්බන්ධ සහන කටයුතු සම්බන්ධීකරණය හා කළමනාකරණය
- ස්වභාවික විපත් හා මිනිසා විසින් ඇතිකරන ලද ව්‍යසන පිලිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම.
- පූර්ව අනතුරු ඇඟවීම් පද්ධති පවත්වා ගැනීම.
- ආපදා කළමනාකරණය, සහන සැලසීමේ විධිවිධාන සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධව රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරකම් සහ සමාජ සුභසාධන ස්වේච්ඡා ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම.
- රාජ්‍ය නොවන සංවිධාන සහ සමාජ ශුභසාධන ස්වේච්ඡා ආයතන විසින් ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් ක්ෂේත්‍ර තුළ දීප ව්‍යාප්ත මට්ටමින් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු , රාජ්‍ය සංස්ථා, පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මට්ටමින් සහ දිස්ත්‍රික්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් පහත දක්වා ඇති ක්‍රියාකාරකම් ඉටුකිරීමේදී අවශ්‍ය සම්බන්ධීකරණය හා අධීක්ෂණය සඳහා සහය දැක්වීම ;
උපද්‍රව සිතියම්කරණය හා අවදානම් ඇගයීම
තොරතුරු කළමනාකරණය
ආපදා අවම කිරීම
පූර්ව අනතුරු හැඟවීම් බෙදාහැරීම
ආපදා අවස්ථාවලදී ඵලදායී ප්‍රතිචාර දැක්වීමක් සඳහා පෙර සූදානම
හදිසි මෙහෙයුම් කළමනාකරණය
ව්‍යසනයකට පසු පශ්චාත් ආපදා කටයුතු කළමනාකරණය
මෙහිදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, පරිසරවේදීන් මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පුර්ණ විමසුමකින් වගේම අවබෝධයකින් කටයුතු කිරීම ඉතා වැදගත් වේ. එතුළින් ස්වභා දහමේ ඇතිවන විවිධ සංසිද්ධීන් ඉක්මනින් හඳුනා ගැනීමටත් ඇතිවිය හැකි ආපදාවන්ගේ බරපතලකම තරමක් දුරට හෝ අවම කර ගැනීමටත්, අවධානම් කලාප වලින් ජනතාව ඉවත් කරමින් සිදුවිය හැකි ජීවිත හානි ප්‍රමාණය අවම කර ගැනීමටත් ඉන් හැකියාව ලැබේ. එමනිසා පූර්ව සුදානමකින් සිටීම ආපදා වළක්වා ගැනීමට හෝ හානිය අවම කර ගැනීමට මහත් රුකුලක් වේ.
මූලාශ්‍ර
DMCSL. (2024). ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය. Dmc.Gov.Lk. https://www.dmc.gov.lk/index.php?option=com_content&view=article&id=72&Itemid=234&lang=si
Jayawadena, K. (2024). මිල්ටන් සුළි කුණාටුව. FMF Blog. https://fmfblog.com/මිල්ටන්-සුළි-කුණාටුව/
Monara. (2024). මිල්ටන් සුළි කුණාටුව ෆ්ලොරිඩාවට තර්ජනයක්: 5 වන කාණ්ඩය දක්වා ඉහළට. Monara – World News. https://monara.com/world/monster-hurricane-milton-threatens-an-already-battered-florida
කතුවැකිය. (2024). ස්වභාවික විපත් හානිය අවමකර ගැනීම. දිවයින කතුවැකිය. https://divaina.lk/ස්වභාවික-විපත්-හානිය-අවම/
මාරඹේඒමන්ති. (2024). ‘මිල්ටන්’ සුළි කුණාටුව නිසා ෆ්ලොරිඩා වැසියෝ මිලියන ගණනක් ඉවත් කෙරෙති. දිවයින. https://divaina.lk/මිල්ටන්-සුළි-කුණාටුව-නිස/
විකිපීඩියා. (2024). ස්වාභාවික උපද්‍රව. In විකිපීඩියා. https://si.wikipedia.org/wiki/ස්වාභාවික_උපද්‍රව#:~:text=ස්වාභාවික උපද්‍රව යනු ස්වාභාවික ක්‍රියාවලි,කිරයාකරකම් නිසා ඇතිවන උවදුරු ලෙසය.