

දූෂණය කියන වචනය ඇසෙන හැමෝගෙම වගේ හිත ටිකක් ගැස්සෙනවා. ඒ තරම්ම වචනය භයානකයි. මෙ වචනයට විවිධ තේරුම් තිබෙනවා. පසු ගිය දිනවල ශ්‍රී ලංකාව පුරාම දූෂණය ගැන කතා වුනා. 225 ම අයින් කරන්න ඕන කීවා. පාලකයින් සියළු දෙනාම දූෂණයට සම්බන්ධයි කීවා. ඒ දේශපාලනය විසින් කළ දූෂණය. කාමතුරයින් විසින් කාන්තා පාර්ෂවයට කරන අපහරණය ස්ත්‍රී දූෂණයයි. මේ ආකාරයට දූෂණයට විවිධ අර්ථකථන ලබා දිය හැකියි. රථ වාහන සහ කර්මාන්තශාලා මගින් පිටකරන දුම් මගින් වායු දූෂණය, ජලයට විවිධ ද්‍රව්‍ය දැමීමෙන් හා එක් කිරීමෙන් ජල දූෂණය වීම, පසට රසායණික ද්‍රව්‍ය දැමීමෙන් පස දූෂණය, මේ සියල්ලම ගත් කළ පරිසර දූෂණය ලෙසින් හදුන්වනවා.
ඔබට ආහාර නොමැතිව දින කීපයක් ජීවත් වන්න පුළුන්. ජලය නොමැතිවුවහොත්, ජීවත්වීමේ කාළය ඊට වඩා අඩු වනවා. නමුත් හුස්ම ගැනීම සඳහා වාතය නොමැති වුවහොත් කොපමණ කාළයක් ජීවත්විය හැකිද?. එය සිතාගැනීමටවත් බැරි කාළයක්. සාමාන්‍යයෙන් මිනිසෙකු විනාඩියකට 15 වතාවක් හුස්ම ගැනීම සුදුකරනවා. පැයකට 900 වතාවක් වනවා. ඒ අනුව දිනයක් තුලදී 21,600 වතාවක් හුස්ම ගැනීම සිදු කරනවා.
15/Min x 60 x 24 = 21,600
මේ අවස්ථාව අප විසින් ම නැතිකරගන්න බවට කිවහොත් ඔබ කුමක් සිතාවිද?. අපි ඒ ගැන කතා කරමු.
අනාදිමත් කාළයක සිට එන, නමුත් මෑතකදී මනාව අවබෝධ කරගත් දූෂණයක් තිබෙනවා. ඒ, නිවැසියන් විසින්, තමන්ටම කරගන්නා දූෂණය වන, ගෘහස්ත වායු දූෂණයයි.
මෙය බලන ඔබටම වැටහෙයි, ඔබ කොතරම් නම් මෙයට දායක වී තිබෙනවාද කියා. ඒ, මේ ගැන ඔබ අවබෝධයෙන් තොරවීම නිසයි. පසුගිය දිනක මොරටුව විශ්වවිද්‍යාලයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය තුසිත සුගතපාල මහතා ගේ වැඩසටහනහකට සම්බන්ධවීමේ අවස්ථාවක් මට උදා වුනා. ඔහු විසින් කළ දේශනය හා කළ පැහැදිලි කිරීම් අනුව මෙම ලිපිය සැකසෙනවා.
ගෘහස්ථ වායු දූෂණය සිදුවන ආකාර රැසක් තිබෙනවා. ඒවා දැනුවත්ව සිදුවන්නේ, ඒ පිළිබඳව අවබෝධක් නොමැති නිසාය. නොදැනුවත්ව සිදුවන්නේ සැළකිළිමත් නොවන නිසාය. ගෘහස්ථ වායු දූෂණය මගින් පුද්ගලයින් මිලියන 3.8 ක් පමණ වසරකට ලෝකය පුරා මිය යන බව ඔබ දන්නවාද?


ඔබ කුමන ආගමකට අයත් වුනත්, හඳුන්කූරු දැල්වීම සිදු කරනවා. පංසල, කෝවිල දේවස්ථානය හුදකලා වූ ස්ථානවල පිහිටා තිබෙනවා. ඒහි දල්වන හඳුන් කූරු වලින් පිටවන දුම, නිදහසේ පරිසරයට මුදා හැරෙනවා. නමුත්, නිවසක් තුල දල්වන හඳුන්කූරු දුමාරය කුඩා ඉඩකඩක් තුල සැරිසරා, අපගේ නාස්පුඩු හරහා ශරීර ගතවනවා. මෙය ඉතා බරපතල කාරණයක්.


ඔබගේ නිවසේ අළංකාරය, වටිනාකම හා පෙනුම ලබාදීම සඳහා විවිධ වර්ණ සහිත තීන්ත ආලේප කරනවා. ඔබ එහි වර්ණයන් ගැන මෙන්ම, ලීටරයකින් බිත්තිය හෝ ලීබඩු ආලේප කළ හැකි වර්ග අඩි ප්‍රමාණය සහ නිෂ්පාදිත වෙළඳ නාමය ගැන සැළකිළිමත් වුනාට, එහි අඩංගු ද්‍රව්‍ය ගැන සොයාබලා තිබේද?. ඔබ බිත්තියට Emulsion, Weather Shield මෙන්ම ලී මත ආලේපනය කරන Varnish, lacquer, Enamel හෝ වෙනත් ආකාරයකින් හඳුන්වන තීන්ත වල විවිධ රසායනික ද්‍රව්‍ය සමග ඊයම් සහ රසදිය අඩංගු වනවා. පාසල් පංති කාමර වල ද මෙම තීන්ත ආලේප කරනවා. ශ්‍රී ලංකා වෙළඳපොලට මෑතකදී ඉතා ලාබ දායි තීන්ත පැමිණ තිබෙනවා. ලීටර 04ක් රුපියලග් දහසකටත් වඩා අඩුයි. මෙම තීන්ත වල අධික ලෙස ඊයම් (Led) අඅඅඩඩඩංගු වනවා.මේවා ශරීරයට ඉතාම අහිතකර ද්‍රව්‍යයයන්. පිළිකා කාරකයයන්.


ඔබ ගේ නිවසේ ඇති මදුරු කරදරයට ලබාදෙන විසඳුම කුමක්ද?. සමහරුන් සවස 5 පමණ වන විට නිවසේ සියළු දොර ජනෙල් වසා දමා තබනවා. එය සෑම නිවසකටම කිරීම අපහසුයි. තවත් කොටසක් පුරුදුව සිටින්නේ, මදුරු දඟර, වේපරයිසර් හෝ ස්ප්‍රේ වර්ග භාවිතයටයි. ශ්‍රී ලාංකික සංචාරකයින් අනුරාධපුර, පොලොන්නරුව, කතරගම ආදි ප්‍රදේශ වලකරනු ලබන සංචාරයන් හීදී ප්‍රථමයෙන්ම තම බෑගයට දමාගනු ලබන්නේ මෙම ද්‍රව්‍යය නොවේද?. ආචාර්ය තුසිත සුගතපාල මහතා පවසන පරිදි, මදුරු දඟර එකකින් පිටවන දුම, දුම්වැටි 100කින් පිටවන දුමට සමාන වනවා. එය කොතරම් බරපතල කාරණයක් දැයි, දැන් ඔබට වැටහෙනවා ඇති.






ඔබ සාදන නිවසේ වහලයට බොහෝ දෙනෙක් ඇස්බැස්ටස් සෙවිළි කරනවා. නමුත් එයින් ගිලිහෙන පුංචි පුංචි කැබලි, අප ආඝ්‍රාණය කිරීමෙන් පිළිකා ඇතිවනවා. ඒ සඳහා කළ යුතු හොඳම පිළියම වන්නේ, ඇස්බැස්ටස් වෙනුවට විකල්ප සෙවිළි ද්‍රව්‍යක් භාවිතා කිරීමයි. ඔබේ වහලයට යොදා ඇති ඇස්බැස්ටස් වල, ඊයම් රහිත තීන්ත වර්ගයක් නිවසේ ඇතුලට නිරාවරණය වන කොටසේ ආලේප කිරීමයි. එසේ නොමැතිනම්, අපට හිතකර ද්‍රව්‍යකින් සැදූ සිවිලිමක් යෙදීම වඩාත් සුදුසු වනවා.




බොහෝ නිවෙස් වල පරිඝණක යන්ත්‍ර පාවිච්චි කරනවා. එය, සිය දරුවන්ගේ ඉගෙනීම් කටයුතු සහ කාර්යාල කටයුතු පහසු කරගැනී සඳහා විය හැකියි. ඒ වගේම මුද්‍රණ කටයුතු සඳහා Printer සහ කාර්යාලවල Photo copy machine (ඡායා පිටපත් යන්ත්‍ර) පාවිච්චි කරනවා. මේවා මගින් ද අපිට අහිතකර කාබන් පිටවන අතර එය නාස් පුඩු හරහා ශරීර ගතවනවා. එයින් වැළකීමට කළ යුතු පිළියම වන්නේ, ඒවා වාතාශ්‍රය සහිත ස්ථානයක තබා පාවිච්චි කිරීමයි.




මුළුතැන් ගේ ආහාර පිසීමේ දී දර භාවිතා කරන බොහෝ පිරිසක් සිටිනවා. මෑත කාළීනව ඇතිවූ අර්බූධ තත්වයන් හමුවේ මෙය ඉහල ගොස් තිබෙනවා. ඒ, LP ගෑස් හිඟ වීම, භූමි තෙල් හිග වීම විදුලි බිල ඉහළ යාම, යන මූලික කරුණු නිසායි. ග්‍රාමීය නිවෙස් බොහෝමයක, නිවසින් පිටත, කොට බිත්ති සහිත කුඩා කුස්සියක් සාදා ලිප් බැඳ, දර භාවිතා කරනු ලබනවා. ඉඩකඩ අඩු ස්ථානවල ඇති සහ මහල් නිවාස වල ද, දරභාවිතා කිරීම මගින් පිටවන දුමාරය ආඝ්‍රහණය වීම සිදු වනවා. එය ද ශරීරයට අහිතකර වනවා. එමෙන්ම, බොහෝ දෙනෙක් භූමිතෙල් නොමැති නිසා දර දැල්වීම සඳහා පොලිතීන්, සෘජුෆෝම් වැනි ද්‍රව්‍ය භාවිතා කරනවා. පොලිතීන් දහනය කිරීම උග්‍ර වායු දූෂණයක්, ශරීරයට ඉතාම අහිතකරයි. ඉතා ඉක්මනින් දර දහනය වීම ආරම්භ වුනත් පිළිකා කාරකයක් ඉතා ආශාවෙන් ලංකර ගැනීමක්. එමෙන්ම දහයියා හෝ ලීකුඩු ලිප භාවිතයද අහිතකර වනවා. නිවසක ආහාර පිසීමේ දී ඉංදන ලෙස භාවිතා කළ හැකි සුදුසුම ක්‍රමය විදුලිය භාවිතා කිරීමයි. නමත් එය මිළ අධිකයි. ඉහල ආදායමක් ලබන පවුල් මෙයට නැඹුරු වී තිබෙනවා. එසේම ඔබට ජීව වායුව (Bio gas) හෝ LP ගෑස් භාවිතා කළ හැකියි. LP ගෑස් භාවිතයට මිළක් වැය වන අතර, ජීව වායුව (Bio gas) තම නිවසේ ඉවතලන ආහාර ද්‍රව්‍ය වලින් සාදාගත හැකි ලාබදායි ඉන්දනයක් වනවා. මෙහි අතුරුඵල පොහොරක් ලෙස ගෙවත්තේ වගාකරන එළවළු, පළතුරු හෝ මල්වගාවන්ට යෙදීමෙන් පොහොර සඳහා වන අතිරේක වියදම අවම කරගත හැකි වනවා. රසායනික පොහොර වෙනුවට මෙම කාබණික පොහොර යෙදීමෙන් ඉතා ගුණදායක එළවළු හා පළතුරු අපට පරිභෝජනය කළහැකි වනවා. ලෙඩරෝග රැසකින් ආවරණය වීමට හැකි වනවා.










ආහාර පිසීම සඳහා භාවිතා කරනු ලබන ඉන්දන හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව පහත සටහන බලන්න. මෙය හඳුන්වන්නේ Energy Ladder නමින්.


1
ශ්‍රී ලංකාව තුල ආහාර භෝග වගා කිරිම සඳහා අවශ්‍ය පොහාර සාදා ගැනීම තම තමන්ම සිදු කරනවා. ඒ සඳහා කර දහයියා ලබාගැනීම ද සිදු කරනවා. එහිදී දහයියා පිළිස්සීම හෙවත් දහනය සිදු කරනවා. දහයියා සහ පිදුරු දහනය කිරීම මගින් අංශු පදාර්ථ (Particulate Matter) පිටවේ. එය ඉතා විනාශකාරී තත්වයකි. මෙය පොල්කටු අඟුරු සෑදීම හා සමානය. මේවා කළ යුත්තේ ක්‍රමණු කූලව සැකසූ තත්වයන් යටතේය. නමුත් සාමාන්‍ය ජනයාට එවැනි පහසුකම් නොමැති නිසා නිසි ක්‍රමවේදයකින් තොරව මෙය සිදුකරයි. මේවා මගින් පිටවන කාබන් අංශු ඉතා භයාණකය. මෙම කාබන් අංශු PM10 සහ PM2.5 ලෙස හඳුන්වනවා. අප හුස්ම ගන්නා විට ශරීරය තුලට ඇතුල් වී පෙනහල්ල (Lungs) තුල තැන්පත් වීමෙන් පසු, ඒවා මගින් පිටත විෂ කාරක අංශු උරාගැනීමක් කරයි. එය ශරීරයට ඉතා අහිතකර වේ. මෙමගින් පිළිකා ඇතිවේ. (මෙයට හොඳම උදාහරණය වන්නේ, පානය කිරීම සඳහා ජලය පිරිසිදු කිරීමට ලබාගන්නා ගල් අඟුරු හැඳින්විය හැකියි. ගල් අඟුරු මගින් ජලයේ ඇති විෂකාරක උරාගැනීමක් සුදු කරන බැවින් ජලය පිරිසිදු කිරීම ය.)


ආලෝකය ලබාගැනීම සඳහා විදුලි බල්බ දැල්වීම සිදුකරනවා. මුල් අවධියේ සූත්‍රිකා බල්බ භාවිතා කළත්, පසුව CFL බල්බ හඳුන්වා දුන්නේ බලශක්තිය ඉතිරිවන බවට ප්‍රකාශ කරමින්. මේ වන විට එය LED බල්බ දක්වාම පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් CFL බල්බ භාවිතය තවමත් සිදු වනවා. මෙහි ක්‍රියාකාරිත්වය ෆ්ලොරසන්ට හෙවත් ටියුබ් බල්බ් ආකෘතියමයි. වෙනසකට ඇත්තේ දිගු බල්බයක් වෙනුවට දඟර කරන ලද බල්බයක් ආදේශ කිරීමයි. මෙහි ආළෝකය ලබාදීමේ ක්‍රියාවලියට දායකත්වය ලබාදෙන්නේ වායු තත්වයෙන් ඇති රසදියයි. මෙම බල්බයක් බිඳුනු විට රසදිය වායුව පිටතට පැමිණීම නිසා එය ආස්වාස කිරීමෙන් පිළිකා ඇතිවීමේ වැඩි ඉඩකඩක් තිබේ. එමෙන්ම කැඩුණු කැබලි පසට එකතුවීම නිසා පස සහ ජලය දූෂණය වේ.




ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉහත කී සියල්ලම කරන බව නොරහසක්. මේ පිළිබඳව ඔබේ අවධානය යොමු කිරීම අද පටන් කළ යුතු වනවා. එමගින් ඔබත් ඔබේ පවුලේ සාමාජිකයින් ගේ ජීවිත වලට බලපාන එක් පොදු සතුරෙකුගෙන් බේරීමේ අවස්ථාව ඔබට ලැබෙනවා. අප දිගින් දිගටම මේ ගැන නොසළකා හැරියොත්, අනාගතයේ දවසක නිවස තල දීම, දූෂණය වූ වායුවෙන් බේරීමට මුඛ ආවරණ අභිබවා, මුහුණු ආවරණ පැළඳීමට සිදුවන බව ද කිව යුතුමය.

