තවමත් ගුවන් නියමුවන් සහ නාවිකයින් නොසන්සුන් කරමින් ඔවුන්ගේ ඇඟ කිලිපොලා යන මරමස්තානයක්……
ගුවන් යානා සහ නැව් බෝට්ටු සිය ගණනකට සිදුවුයේ කුමක්දැයි සොයාගත නොහැකිව අතුරුදහන් වූ අභිරහස් ප්‍රදේශයක්……
ඔබේ ඇස් ඉදිරිපිටදීම අදහාගත නොහැකි අයුරින් පෙනී පෙනී තිබු යමක් මායාවක් ලෙස අතුරුදහන් වුවහොත්, එය වචන වලට පෙරළිය හැකිද…? සිදුවන්නේ කුමක්දැයි කිසිවෙකුත් නොදත්, කිසිවෙකුටත් සොයාගත නොහැකි වූ බර්මියුඩා ත්‍රිකෝණ අභිරහස තවමත් පිළිතුරු නොමැති ප්‍රශ්නාර්ථයකි. ඇතැමෙක් සිතන්නේ මෙය අත්ලාන්තික් සාගරයේ එක් කොටසක සිදු වන අතර එම ප්‍රදේශය හරහා ගමන් කරන නැව් සහ ගුවන් යානා තුනී වාතයට අතුරුදහන් වී යන බවයි..! නමුත් ඒ කෙසේද… එලෙස විය හැකිද…?

බර්මියුඩා ත්‍රිකෝණයේ පිහිටීම
මෙම අද්භූත බර්මියුඩා ත්‍රිකෝණය කිසිවෙකුට කිසිදු සිතියමක එක්වරම සොයා ගැනීමට නොහැක. ඒ මන්ද යත් බර්මියුඩා ත්‍රිකෝණය එකිනෙකට ත්‍රිකෝණාකාරව යාබද ප්‍රදේශ තුනක් යා වීමෙන් සැදුම් ලද්දක් මිස එය මෙතැනයි යන්න කිසිදු සිතියමක නිශ්චිතව සඳහන් කොට නොමැති වීමයි. කෙසේ වෙතත් එය ෆ්ලොරිඩාවේ මියාමි වෙතින් ආරම්භ වී ඉන්පසුව, බර්මියුඩා සහ පුවර්ටෝ රිකෝ දූපත් වලට සම්බන්ධ වීමෙන් මෙම අද්භූත ත්‍රිකෝණය නිර්මාණය වී තිබේ. එම ප්‍රදේශය “යක්ෂයාගේ ත්‍රිකෝණය” ලෙසද හැඳින්වේ. සමහරු එය “හූඩූ මුහුද” ලෙසද හඳුන්වති. බර්මියුඩා ත්‍රිකෝණයේ විශාලත්වය අවම වශයෙන් වර්ග සැතපුම් 500,000 කි. ඇතැම් පිරිස් විශ්වාස කරන්නේ බර්මියුඩා ත්‍රිකෝණය වර්ග සැතපුම් මිලියන 1.5ක් තරම් විශාල බවයි. එමෙන්ම ලෝකයේ තිබෙන ඉතාමත් ගැඹුරු සාගර ආගාධ පිහිටා ඇත්තේද බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රීත ප්‍රදේශයේය. මෙහි සාගර පතුළ අඩි 19,000 (5791 m) පමණ ගැඹුරු වන අතර, පූර්ටෝ රීකෝ (Puerto Rico) අසල පිහිටි අගාධය අඩි 27,500 (8,229 m) පමණ ගැඹුරින් යුක්තය. මෙවැනි ගැඹුරකට සේන්දුවන නැවකට හෝ හදිසියේ ගොඩ බස්වන ගුවන් යානයකට ජලකඳේ පවතින අති විශාල පීඩනයට ඔරොත්තු දීමට හැකි වෙතැයි කිසිසේත් අපේක්ෂා කළ නොහැක.

බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතව සිදු වූ සුවිශේෂී සිදුවීම්
ලොව තවමත් නොවිසඳුණු අභිරහස් වලින් එකක් ලෙස සැලකෙන මෙම ත්‍රිකෝණාකාර මුහුදු කලාපය තුළ වර්තමානය වන විට අතුරුදන් වී ඇති ගුවන් යානා හා නෞකා ප්‍රමාණය ගණනින් සිය ගණනකි. කොතෙක් අභිරහස්ගත අතුරුදන් වීම් සිදු වී තිබුණත් මෙම “බර්මියුඩා ත්‍රිකෝණය” යන නම මුලින්ම ජනප්‍රිය වී තිබෙන්නේ 1964 Argosy සඟරාවේ පලකළ ලිපියක් මඟිනි. එය එසේ වෙතත්, මෙහි පුරාවෘත්තය ඊට වඩා බොහෝ ඈතට දිව යයි. පුරාවෘත්තයට අනුව නම් ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඔහුගේ මුල් ගමනේදී බර්මියුඩා ත්‍රිකෝණය හරහා යාත්‍රා කළ ඇති අතර එහිදී ඔහුගේ මාලිමා යන්ත්‍රයේ ගැටළු ඇති බවත් ඔහු අද්භූත ආලෝකයන් පවා දැක ඇති බවත් වාර්තා වේ. ඒ හා සමගාමීව බර්මියුඩා ත්‍රිකෝණය වටා සිදුවූ තවත් සුවිශේෂී සිදුවීම් කිහිපයක් මෙසේ පෙළගස්වා තිබේ,
• 1945 දෙසැම්බර් 5 දින Flight 19 ගුවන් බලගණය අතුරුදහන් වීම සහ PBM Mariner යානාවක් පුපුරා යාම.
• 1948 ජනවාරි 29 දින Star Tiger ගුවන් යානය අතුරුදහන් වීම.
• 1963 අගෝස්තු 28 දින KC-135 වර්ගයේ ගුවන් යානා 2 ක් අතුරුදහන් වීම.
• 1999 අප්‍රේල් 14 දින ටොන් 450 ක Genesis භාණ්ඩ ප්‍රවාහන නෞකාව අතුරුදහන් වීම.
• 1999 ජූනි 14 දින Cessna 210 ගුවන් යානය අතුරුදහන් වීම, දැක්විය හැක.
වර්ෂ 1800 සිට 2017 ජූලි දක්වා වූ කාලය තුළ අභිරහස් ලෙස අතුරුදන් වූ ගුවන් යානා ප්‍රමාණය 15 ක් වන අතර නැව් ප්‍රමාණය 10 ක් බව වාර්තා වී ඇත. නැතිවූ ජීවිත දහස් ගණනක් විය. යාවත්කාලින වන තොරතුරු සහ මේ දක්වා සිදුවී ඇති සිදුවීම් සැළකිල්ලට ගත්විට මෙම දත්ත වාර්තා එකිනෙකට වෙනස් වේ. 2024 ගෙවී යන වසර දක්වා සැලකිල්ලට ගන්නා විට මෙලෙස අතුරුදන්වූ නැව් සහ ගුවන්යානා ප්‍රමාණය වගේම ජිවිත ප්‍රමාණයත් 2017ට වඩා ඉහළ අගයක් ගනු ඇත.
බර්මුඩා ත්‍රිකෝණය හරහා නිරතුරුවම නැව් යාත්‍රා කළ අතර අමෙරිකාව යුරෝපය සහ කැරිබියන් දූපත්වලට භාණ්ඩ හා මගීන් ප්‍රවාහනය කළ කාර්යබහුල මුහුදු මාර්ගයක් විය. බර්මුඩා ත්‍රිකෝණය හරහාද එසේමය. වාර්තාවී ඇති අන්දමට ප්‍රථමයෙන්ම නැවක් අභිරහස් ලෙස අතුරුදහන් වී ඇත්තේ 1800 වසරේය. එය ‘‘USS පිකරිය’’. එහි ගමන් ගත් මගීන් 90 දෙනකු සමග නැව අභිරහස් ලෙස අතුරුදන්වී ඇත.

ඉන්පසු වඩාත් ප්‍රසිද්ධ බර්මියුඩා ත්‍රිකෝණ අභිරහස සිදු වූයේ 1945 දී ය. ඉහත දක්වා ඇති පරිදි 1945 වසරේ දෙසැම්බර් 5 වන දින “ෆ්ලයිට් 19” නමින් හැඳින්වෙන එක්සත් ජනපද නාවික හමුදාවේ ගුවන් යානා පහක් පුහුණු මෙහෙයුමක් සඳහා එම ප්‍රදේශයට පියාසර කළ නමුත් පුහුණුව සඳහා සහභාගී වූ සෑම කෙනෙක්ම කිසිදු හෝඩුවාවක් නොමැතිව බර්මියුඩා ත්‍රිකෝණයේදී අතුරුදහන් විය. ගුවන් නියමුවන්ගේ ඉන්ධන අවසන් වී මුහුදට කඩා වැටී ඇති බවට විශ්වාස කරන අතර, ගුවන් යානා හෝ එහි කාර්ය මණ්ඩලයේ 14 දෙනාගේ කිසිදු හෝඩුවාවක් සොයාගත නොහැකි වූ බැවින් ඔවුන් සෙවීමට යවන ලද ගලවා ගැනීමේ ගුවන් යානයක් ද අතුරුදන් විය. සමස්තයක් වශයෙන්, එහිදී ගුවන් යානා හයක් සහ මිනිසුන් 27 ක් අතුරුදහන් වී ඇත.

මිනිසුන් 300 ක් සමඟ මේ ප්‍රදේශයේ මුහුදු බත් විය. නමුත් කිසිම ආකාරයක ලකුණක් වත් සොයා ගැනීමට නොහැකි වීම මහත් ගුප්ත දෙයක් විය. තවත් ප්‍රසිද්ධ අභිරහසක් 1963 දී SS මැරීන් සල්ෆර් ක්වීන් නමැති ටැංකි නෞකාව ෆ්ලොරිඩාවේ කී වෙස්ට් අසල ගිලී ගියේය. ජීවිතාරක්ෂක සහ අනෙකුත් ද්‍රව්‍ය පසුව ජලයේ ගසාගෙන යන බව සොයා ගන්නා ලද නමුත් ව්‍යසනයට නිශ්චිත හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර සුන්බුන් කිසි විටෙකත් සොයා ගැනීමට නොහැකි වී ඇත.
තවත් සිදුවීමක් ලෙස බර්මියුඩා ත්‍රිකෝණයේදී සිදුවූ අතුරුදන් වීම් අතර 1967 දී අධිවේගී රේස් බොට්ටුවක් අසළ වෙරල සිමාවේ පිරිස් බලා සිටියදීම අදහාගත නොහැකි අන්දමින් අතුරුදහන් වූ බවටත් පුවත් වාර්තාවල දක්වා තිබේ. ඊට අමතරව 1973 මාර්තු මාසයේදී ටොන් 20,000ක් බර භාණ්ඩ ප්‍රවාහන නැවක් සහ 1924 දි ජපාන නැවක් ද අතුරුදහන් වී ඇත. 1932දී අතුරුදන් වූ නෞකා දෙකක් පසුව සොයාගෙන ඇති බව කියන නමුත් එහි කාර්ය මණ්ඩලයේ කිසිවෙකු හෝ මගියෙක්වත් සොයාගැනීමට හැකියාව ලැබී නැත. මේ සියලු සිදුවීම් අතරේ පුදුමයට කරුණ නම්, නාවික සහ ගුවන් සංඥා මැද ගමන් කළත් බර්මියුඩා ත්‍රිකෝණය අසළ සිමාවේ සිට සංඥා නැවතී යාමත් පාලක මැදිරිය හා පවතින සබඳතා සියල්ල බිඳ වැටීමත් නිසා මෙලෙස අනතුරට ලක්වන ගුවන් යානා සහ නැව් බොහොමයක් උදව් ඉල්ලීමටවත් නොහැකිව අතුරුදන් වීමයි.
ලොව භයානකම මුහුදු (නාවික) ගමන් මාර්ග
ලෝකයේ හොඳම භයානක මුහුදු මාර්ග 10 ලෙස මේ වන විට හඳුනාගෙන ඇත්තේ ඒඩන් බොක්ක, මලක්කා සමුද්‍ර සන්ධිය, දකුණු චීන මුහුද, සෝමාලි වෙරළ, බර්මියුඩා ත්‍රිකෝණය, කේප් හෝන්, ඩ්‍රේක් පැසේජ්, කළු මුහුද, මොසැම්බික් නාලිකාව සහ තායිවාන් සමුද්‍ර සන්ධියයි. මේවා මුහුදු කොල්ලකෑම්, භූ දේශපාලනික ආතතීන්, අයහපත් කාලගුණික තත්ත්වයන් සහ නාවික උපද්‍රව මගින් සංලක්ෂිත වේ. තාක්‍ෂණයේ සහ ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රයත්නවල දියුණුව තිබියදීත්, නැව් සහ කාර්ය මණ්ඩලයේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා ප්‍රවේශමෙන් සැලසුම් කිරීම, ඉහළ දැනුවත් කිරීම් සහ ජාතීන් අතර සහයෝගීතාව අවශ්‍ය කරමින් මෙම අවදානම් පවතී. ලෝකයේ මෙම අනතුරුදායක මුහුදු මාර්ගවල සැරිසැරීමට සුපරීක්ෂාකාරී වීම, සූදානම සහ ආරක්ෂක ප්‍රොටෝකෝල පිළිපැදීම අත්‍යවශ්‍ය වේ. ඒ කෙසේ වෙතත් ඇතැමුන් පවසන්නේ මෙවැනි අන්දමේ ගුවන් යානා සහ නැව් අතුරුදහන් වීම සාමාන්‍ය සිදුවීමක් බවයි.
කෙතරම් අභිරහස් අතුරුදන්වීම් සිදු වුවත් තවමත් ලෝකයේ වැඩි වශයෙන්ම නැව් ගමනාගමනය කරන මුහුදු මාර්ග කිහිපයක්ම මෙම බර්මියුඩා ත්‍රිකෝණය හරහා වැටී තිබේ. මින් පෙර නොපැවතියත් 2024 වසරේ නව ශ්‍රේණිගත කරන ලද ලොව භයානකම සහ අවධානම් සහගතම නාවුක ගමන් මාර්ග ලයිස්තුවේ මුල් දහය අතරට බර්මියුඩා ත්‍රිකෝණය ද ඇතුලත් වී තිබේ. එමෙන්ම බර්මියුඩා ත්‍රිකෝණය ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ, ඉතාමත් චණ්ඩ මාරුත සහ අධි බලැති සුළිසුළං නිරතුරුවම තිබෙන බවත් එම ප්‍රදේශය තුළ දිශාව නිර්ණය කර ගැනීමේදී සත්‍ය උතුර සහ චුම්බක උතුර දෙකෙහි ගැටීමක් සිදුවන බවත් එහිදී සිදු වූ අතුරුදන් වීම් පිළිබඳ පසුවිපරම් කිරීම් වලදී සොයාගන්නා ලදී.
බර්මියුඩා ත්‍රිකෝණය හරහා ගමන් නැවැත්විය යුතුද?
කෙසේවෙතත් මෙම මුහුදු ප්‍රදේශයේ මුහුදුබත් වූ නැව් සංඛ්‍යාව හෝ කඩා වැටුණු අහස් යානා සංඛ්‍යාව පිලිබඳ නිවැරදි දත්ත වාර්තා කිසිවක් නොමැත. තිබෙන සංඛ්‍යා ලේඛන වලට අනුව නැව් 50ක් පමණ සහ අහස් යානා 20 පමණ මෙම මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්වී ඇත. මෙසේ අනතුරට පත්වූ බොහෝ නැව් සහ අහස් යානා වල සුන්බුන් කිසිවක්වත් සොයා ගෙන නොහැකි වීමත් අතිශය පුදුම සහගත කරුණකි.
ඇත්තෙන්ම බර්මියුඩා ත්‍රිකෝණ කලාපයේ සිදුවන්නේ කුමක්ද? බොහෝ විශේෂඥයන් අනතුරු සඳහා අයහපත් කාලගුණය ගැන චෝදනා කරති. ප්‍රදේශයේ කුණාටු බහුලව දක්නට ලැබේ. සුන්බුන් සොයා ගැනීම එතරම් අපහසු වීමට හේතුව ගල්ෆ් ඇළ බව ඔවුහු පෙන්වා දෙති. එහි වේගවත් ධාරා බර්මියුඩා ත්‍රිකෝණය හරහා ගමන් කරයි. මෙමගින් හදිසි අනතුරක් සිදු වූ ස්ථානයෙන් සුන්බුන් ඉක්මනින් ඉවත් කිරීමට හැකි වේ. ඇත්ත වශයෙන්ම, බර්මියුඩා ත්‍රිකෝණය අත්ලාන්තික් සාගරයේ ගැඹුරුම ස්ථානය ද වේ. සාගර විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි බර්මියුඩා ත්‍රිකෝණය හරහා පියාසර කිරීමට හෝ යාත්‍රා කිරීමට බිය විය යුතු හෝ එහි ගමන් නවතා දැමීමක් සිදුකිරීම අවශ්‍ය නොවේ. මන්ද, පර්යේෂණවලින් පෙනී යන්නේ එම ප්‍රදේශයේ සිදුවන අනතුරු වල ස්වභාවය සාගරයේ අනෙකුත් අවධානම් සහගත ප්‍රදේශවල සිදුවන ක්‍රියාකාරකම් වලට සමාන බවයි. කෙතරම් අභිරහසිගත අතුරුදන්වීම් සිදු වුවත් කිසිදු අනතුරක් නොමැතිව නිරුපද්‍රිතව සහ ආරක්ෂිතව සිය ගමනාන්තය කරා ළඟාවන නැව් සහ ගුවන්යානාද තිබෙන බව පර්යේෂකයන්ගේ අදහසයි.
බර්මියුඩා ත්‍රිකෝණය යන නම ඇසුණු සැණින් ඇතැමෙකුට ඇඟ කිළිපොලා ගියත් ස්වභාවධර්මයේ විශ්මිත වුත් භයංකාර වූත් අපූරු මැවීමක් බවට නම් කිසිදු සැකයක් නැත.
මූලාශ්‍ර
Andrews, E. (n.d.). What Is the Bermuda Triangle? History. https://www.history.com/news/what-is-the-bermuda-triangle
Editors, H. co. (n.d.). Bermuda Triangle. History. https://www.history.com/topics/folklore/bermuda-triangle
wonderopolis. (n.d.). How Big Is the Bermuda Triangle? Wonderopolis.Org. https://www.wonderopolis.org/wonder/how-big-is-the-bermuda-triangle/
කණිෂ්කදිනිත්. (2017). බර්මියුඩා ත්‍රිකෝණය පිලිබඳ වැදගත් කරුණු 07ක්. Ada.Lk. https://www.ada.lk/ada_7/e0b6b6e0b6bbe0b78ae0b6b8e0b792e0b6bae0b794e0b6a9e0b78f-e0b6ade0b78a/36-260183
කරුණාරත්නලලිත්. (2018). බර්මියුඩා ත්‍රිකෝණය. WordPress.Com. https://lalithkrunaratna.wordpress.com/2018/08/05/බර්මියුඩා-ත්‍රිකෝණය/
වීරසේකරදයාරත්න. (2023). “බර්මියුඩා” ත්‍රිකෝණයේ අභිරහස. Blogspot.Com. https://dayawee2.blogspot.com/2023/09/1945.html