අර්ථය සිද්ධ වෙනුවෙන් මං
ඉපදේ නම්
නිමිති සතර ගේ දොරකඩ
හමුවේ නම්
චන්න මුණගැසී අපි යමු
කීවා නම්
අනෝමාව හමුවෙන තෙක්
නොමැරෙන්නම්
මාකට් එකේ බස්රිය තුළ
නිමිති ඇති
මට හැර යන්න රජ මාළිග
බිසෝ නැති
මවට පන් පැදුරේ සුදු ඇත්
පැටවු නැති
සත් පියුම ට බාටාවක්
පයට ඇති
රාහුලයෙක් වූයේ බැංකුවේ
ඇපය
අභිනික්මන් කෙරුණේ මාගෙන්
මම ය
වාසල මුර ද්වාර වෙනුවට
කඩුල්ල ය
ඕඝය අනෝමා ගඟ මාගේ
හිත ය
හැඩපලු ගෙතුන කෙස්
සුරලොව වඩීවි ද ?
පිරිකර බඹලොවින් දෙවිඳුන්
ගෙනේවි ද ?
පිළුණු ගිහි වතෙන් පිටුපා
යන දුකට ?
ලය පැලෙන්න බල්ලෙක්වත්
ඉඳීවිද ?
මා සොයමින්
මා සසරේ ඇවිදිනවා…….
සතර භූත කය
භව වෙස් පෙරලනවා…….
මට මා හමු වුණොත්
මට මා නැති වෙනවා………
එදාට දේවක
එල්ලූම් ගස් යනවා ……… .
මුඩු හිස කසා වත ලෝකෙට
නොපෙනේවා!
පිඬු සිඟන්න වෙයි කුසගිනි
නොම වේවා !
රහත් වෙන්න පෙර මේ කය
නොදිරේවා !
අත් හරින්න පෙර හැම
අහිමිම වේවා !
සිතේ තිබෙන කොයි දේ වත් – නැති වේවා
තනිකම මකන්නට පිරිවර – නැති වේවා
රාග, ද්වේශ රැස් මාලා- අඩු වේවා
දශමෙන්, දශම සිත නිවනට යාදේවා
රාහුල පුතු * බායි * කියා කිවා මට
යශෝධරා * TV * එකේ නිදාගෙන
ඇසල නැතත්, අසල * ලයිට් * කණුව ඇත
* බජාජ් * හොඳයි කන්ථකලා මොටද මට.
සියලු සතුන්ගේ සිත් – සුවපත් වේවා
නොදැන කළ වැරදි වේ නම් – අයැද සමා
මිතුරු, සතුරු, නෑදෑ ,අඹු , – දරුවෝ සැමා
සිතුවිල්ලක් පමණි නිවනට – ඇයිද පමා.
සහතික , සම්මාන, පැසසුම් , කුමට? මුසා
ගැරහුම්, අවලාද , අවනඩු , ඒවි සොයා
ලොව ගිනි පෙනෙල්ලෙන් බැට කෑ නිසා මෙමා
කලාමැදිරි අනුශයටත් කරමි නිගා….
මහා මායාවෙන් මිදී
දුෂ්කර ක්‍රියා වෙන් මිදී
ආණා පාණානයෙන් මිදී
භවයෙන් උද්ධ , වී ඉමී
(භවයෙන් උද්ධ වී. බෞද්ධයෙක් වෙමු )
සියලු ලෝක සත්වයෝ….සුවපත් වේවා !



