30.6 C
Colombo
Sunday, July 13, 2025
spot_img

Subscribe

Date:

Share:

පාරිසරික ගොවිතැන

Related Articles

තිරසාර සංවර්ධන අරමුණු (SDGs) 17ක් සහ ඉලක්ක 169කින් සමන්විත තිරසාර සංවර්ධනය සඳහා වන 2030
න්‍යාය පත්‍රය (2030 Agenda for Sustainable Development) දිළිඳුකම, අසමානතාවය, දේශගුණික විපර්යාස,
පාරිසරික හායනය, නොසන්සුන්තාව සහ අයුක්තිය වැනි ගෝලීය අභියෝග රැසක් ආමන්ත්‍රණය කිරීම සඳහා 2015
දී ප්‍රකාශයට පත් කරන ලදී. කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය තුළ මේ අරමුණු හා ඉලක්ක වෙත ළඟා විය හැක්කේ
කෙසේද?
කාර්මික ගොවිතැනේ අනිසි ඵල විපාක පිළිබඳව විවිධ සාකච්ඡාවන් සහ ඊට පිළියම් ලෙස අනුගමනය කළ හැකි
විවිධ ගොවිකම් පිළිබඳව අපට අසන්නට ලැබී තිබේ. ඒ අතරින් පාරිසරික ගොවිතැන යනු කුමක්ද? පාරිසරික
ගොවිතැන පිළිබඳව ප්‍රවීණ කෘෂි පාරිසරික විද්‍යාඥ ආචාර්ය ලයනල් වීරකෝන් මහතාගේ අදහස් අනුව එය
මෙසේ දැක්විය හැකිය.
අවුරුදු ගණනාවකට පෙර පාරිසරික ගොවිතැන තමයි අපිට ඇත්තටම තිබුණේ. මෙහිදී ගොවියාත් පරිසරයේ
කොටසක් විය. ගොවිතැනත් පරිසරයේම කොටසක් විය. පාරිසරික ගොවිතැන කෘෂි පරිසර විද්‍යාව ලෙසද
හඳුන්වයි. පහසුව සඳහා අපි එයට පාරිසරික ගොවිතැන ලෙස කියනු ලැබේ. ඇත්තටම අප දකිනුයේ ගොවියා
පමණක් ගොවිතැන් කරන බවයි. නමුත් ඇත්තටම ස්වභාවධර්මයත් ගොවිතැන් කිරීම සිදුකරයි. උදාහරණයක් ලෙස
සිංහරාජය, කන්නෙලිය, රිටිගල සහ මීගමුව වැනි ප්‍රදේශවල කලපු ආශ්‍රිතව ඇති කඩොලාන මේවා මිනිසා විසින්
වගා කළ දේවල් නොවේ. ඒවා ස්වභාවිකව හැදුනු ඒවා වේ. මෙය ස්වභාවධර්මයෙන් සිදුකරන ගොවිතැන වේ. ඒ අනුව ස්වභාවධර්මය විසින් ස්වභාවික ගොවිතැන සිදුකිරීමේ මූලධර්ම විමසා බලමු.

වීරකෝන් මහතා සඳහන් කරන ආකාරයට පාරිසරික ගොවිතැනේදී ගොඩනැගෙන්නේ ස්වභාවික පරිසර පද්ධතිවල පවතින මූලධර්ම සහ පාරම්පරික ගොවිතැනේ තිබෙන මූලධර්ම සංකලනයක් වර්තමාන විද්‍යාවෙන් විග්‍රහ කිරීමකි. ඒ අනුව,
1) සංකීර්ණ බව
උදාහරණයක් ලෙස කැළෑවක් තුළට ගිය විට එහිදී දැනෙන පළමු දේ වන්නේ සංකීර්ණ බවයි. සමහර ශාක උසයි,
සමහර ඒවා මිටියි. අපිශාක වගේ ශාක වෙනත් ශාක මත වැවී ඇත. ඒ වගේම දහස් ගණනක් ගස් වර්ග දක්නට ලැබේ.ඉතාමත් සංකීර්ණ බවක් ඇත.
2) විවිධත්වය
ස්වභාවික කැළෑවක් තුළ විවිධ වර්ගයේ සතුන් සිටී. කුරුල්ලන් සිටී. කුරුමිණියෝ මැඬියෝ වැනි සතුන් සිටී. විශාල විවිධත්වයක් දකින්නට හැකිය.
3) අන්තර් ක්‍රියා
එනම්, එකිනෙකා මත යැපීම. උදාහරණයක් ලෙස එක ශාකයක් මත තව ශාකයකට සිටිමට ඉඩ දී ඇත. පරිසරයෙන්ක වුරුවත්ම ඉවත් කිරීමක් සිදු නොකරයි. එසේ වේ නම් එය ස්වභාවිකව දක්නට ලැබෙන්නේ ඉතාමත් අඩුවෙනි. තවද, විලෝපිකයන් සහ පරපෝෂිතයන් නිසා රෝගකාරක පළිබෝධීන් මෙන්ම කෘමි හානි ද අඩු වී ඇත.
4) බහු කාර්ය
අප, තනි බෝගයක් වැවූ විට ඉක්මනින් රෝග සෑදේ. කෘමීන් හානි කරයි. නමුත් ස්වභාවික පරිසර පද්ධතියක් තුළ එසේ නොවේ. රෝග සහ කෘමි හානි නොමැත. එබැවින් පාඩුද නොමැත. සෑම පරිසර පද්ධතියකම සම්බන්ධතා සහ සහ-සම්බන්ධතා පවතී.
5) පදාර්ථ චක්‍රීයකරණය
ශාකයක කොළ, අතු, කඳ, ගෙඩි මේ සියල්ලම දිරාපත් වී යයි. ක්ෂුද්‍ර ජීවීන් විසින් කාලයත් සමඟ ඒ සියල්ලම
වියෝජනය කිරීම සිදුකරයි. එසේ වියෝජනය කරන විට/ දිරාපත් වන විට මේවා කුඩා කෑළි බවට පත්වේ. එනම්
මූලද්‍රව්‍ය බවට පත්වේ. සාමාන්‍යයෙන් ශාකයකට මූලිකවම මූලද්‍රව්‍ය 16ක් අවශ්‍ය වේ. ඉහත සඳහන් කළ
ක්ෂුද්‍ර ජීවී වියෝජන ක්‍රියාවලිය මඟින් ශාක වලට අවශ්‍ය මූලද්‍රව්‍ය සියල්ලම පරිසරයට නිදහස් කරනු ලබයි.
එවිට එම ස්ථානයේ ඊළඟට හැදෙන ශාකය මේ පෝෂක සියල්ලම මූල පද්ධතිය හරහා උරාගනී. නැවත මෙම ශාකය දිරපත් වන විට මෙම පෝෂක ක්ෂුද්‍ර ජීවීන් මඟින් පරිසරයට/ පසට නිදහස් කරනු ලබයි. මෙය චක්‍රීය
ක්‍රියාවලියකි. වියෝජන ක්‍රියාවලියට දායක වන ක්ෂුද්‍ර ජීවීන් වර්ග කිහිපයක් පසේ දක්නට ලැබේ. බැක්ටීරියා, ඇක්ටිනෝමයිසිටීස්, දිලීර, ප්‍රොටෝසෝවා එයට නිදසුන් කිහිපයකි. මේ සියල්ල පසේ එකට ඝනාවාසයක් සේ වාසය කරයි. මේ අතරින් විශේෂයෙන්ම වියෝජන ක්‍රියාවලිය සිදු කරනුයේ දිලීර සහ ඇක්ටිනෝමයිසිටීස්ය.
වීරකෝන් මහතා සඳහන් කරන ආකාරයට ඇත්තටම කාබනික ගොවිතැන, පාරිසරික ගොවිතැන තුළ මේ
සිද්ධාන්තයම තමයි ආදේශවනුයේ. එසේ වුවත්, අද වනවිට ක්ෂුද්‍ර ජිවී ක්‍රියාකාරීත්වය අඩු වී ඇත. මොකද, නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතය නිසා ක්ෂුද්‍ර ජීවී ඝනාවාස කැඩී බිඳී යයි. ඒ වගේම රසායනික පොහොර, වල්නාශක වැනි දේවල් වල භාවිතය නිසා ඔවුන්ගේ ප්‍රජනනය වැනි ක්‍රියාවලට බාධා ඇති වී ඒවා නතර වී යයි. මෑත කාලීනව
සිදුකර ඇති සමීක්ෂණ වලට අනුව සාමන්‍යයෙන් ආසියාවේ ක්ෂුද්‍ර ජීවී ගහණය 50% කින්ම අඩු වී තිබේ. ඔවුන්ගේ රූපාකාරය පවා වෙනස් වී ඇත. නිවැරදි ආකාරයෙන් ක්ෂුද්‍ර ජීවීන් කළමණාකරණය කර ගැනීමට හැකි නම් පාරිසරික ගොවිතැන හරියාකරව සිදුකර ගැනීමට හැකිය. මෙම ගොවිතැනේ අත්‍යාවශ්‍යම අංගය එය වේ.
ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය සක්‍රීය කිරීම හා ඔවුන් මේ සඳහා යෙදවීම. එවිට හොඳ අස්වැන්නක්, වැඩි
අස්වැන්නක් ලබාගත හැකිය.

පාරිසරික ගොවිතැනේ ප්‍රධාන ලක්ෂණ ගණනාවක් පිළිබඳවද අවධානය යොමු කළ හැකිය.
1) ස්වාධීන බව
මෙම ගොවිතැනේදී පිටතින් කිසිම දෙයක් යෙදීමට අවශ්‍ය නැත. එනම් යැපීමක් නොමැත. ඒ වගේ පද්ධතීන් පිටතින් කිසිම දෙයක් බලාපොරොත්තු නොවේ. නිදසුන් ලෙස පාරිසරික ගොවිතැන පොහොර බලාපොරොත්තු නොවේ. කෘමිනාශක සහ වල්නාශක බලාපොරොත්තු නොවේ. එමනිසා මෙය සම්පූර්ණයෙන්ම ස්වාධීන ගොවිතැන් ක්‍රමයක් වේ.
2) ස්ථායී බව
උදාහරණයක් ලෙස කැළයක් ගිනි තැබීමක් හෝ ගංවතුරක් වැනි තත්වයක් නිසා මෙම ගොවිතැනට බාධා වූවා යැයි සිතමු. එවිට තාවකාලිකව, ගොවිතැනට හානි වීමක් සිදු වේ. නමුත් නැවතත් ඒවා පණ ලබයි. මොන බාධාවක් පැමිණියද නැවත ප්‍රකෘතිමත් වීමේ හැකියාවක් මෙම පද්ධති වලට පවතී.
3) තිරසාර බව
තිරසාර බවකින් යුතුව පාරිසරික ගොවිතැන සිදුකිරීමට හැකි නම් හැමදාමත් අස්වැන්නක් ලබා ගත හැකිය. විවිධ රස විවිධ ගුණ ඇති ආහාර සුලභ වේ. කිසිම යෙදුමක් පිටතින් සිදු නොකරන නමුත් ආදායමක් ලබා ගත හැකිය. ඒ වගේම පරිසරයත් රැක ගත හැකිය. එනම් විෂ ද්‍රව්‍යය භාවිතා කිරීමෙන් සිදුවන පරිසර දූෂණය නතර වේ. එනිසා සෞ ඛ්‍යය ගැටලු ද අඩුකර ගත හැකිය.

ඉහත සඳහන් කළ ආකාරයට, පාරිසරික ගොවිතැනේ මූලධර්ම දැක්විය හැකිය. පාරම්පරික ගොවිතැනේදීත් භාවිතා වනුයේ මෙම මූලධර්මම වේ. උදාහාණයක් ලෙස හේන ගතහොත්, හේන යනු පාරම්පරික ගොවිතැන් ක්‍රමයකි. නමුත් දැන් එය විනාශ වී ඇත. පාරම්පරික ගොවිතැන් කිරීමේදී ගොවියෙක් සැමවිටම භූමියේ පිහිටීම අනුව බෝග වගා කළේය. පළමුව භූමිය සමතලා කර ඉන් පසුව බෝග වගා කිරීමේ පියවර වෙත නොගියේය. සාමාන්‍යයෙන් භූමියක බෑවුම ඉහළට යනවිට පසේ ජලය අඩුය. එවිට එම ඉහළ භූමියේ බඩ ඉරිඟු, වට්ටක්කා, මෑ යනාදී බෝග වගා කරයි. එලෙසම බෑවුම පහළට එනවිට ඉහළට වඩා තෙතමනය වැඩිය. එවිට එම භූමියේ මිරිස්, තක්කලි, රනිල බෝග, අල වර්ග යනාදිය වගා කරයි. භූමියේ තව පහළට එනවිට කෙටි කාලීන වී වර්ග වගා කරයි. මෙලෙස බෝග වර්ග 10ක් 15ක් සහිත පද්ධති මිශ්‍ර බෝග වගාවක් ලෙසද හඳුන්වයි. ඉහත සඳහන් කළ සංකීර්ණත්වය හා විවිධත්වය මෙම මිශ්‍ර බෝග වගාව තුළ දැකිය හැකිය. ඒ වගේම බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාවේත් මෙම මූලධර්ම භාවිතා කරමින් කෘෂි පරිසර පද්ධති ගොඩනඟාගනු ලබයි.

කෘෂි පරිසර පද්ධතියක් ගොඩනඟා ගැනීමේ ක්‍රම ගණනාවක් පවතී. ඒවා පහත අයුරින් දැක්විය හැකිය.
1) බෝග විවිධත්වය
උදාහරණයක් ලෙස ගොවියාගේ නිර්මාණයක් වන නුවර ගෙවත්තක (කැන්ඩියන් ෆොරස්ට් ගාර්ඩ්න් – Kandyan
Forest Garden) බොග/ ගස් වර්ග 30ක් 32ක් පමණ ඇත. එය ලොවම පිළිගත් ගෙවතු පද්ධතියකි. එහි විවිධ කුළු බඩු වර්ග, එළවළු වර්ග, අල වර්ග අන්තර්ගත වේ. අනෙක් කරුණ නම්, ශාක වල පිහිටීම. හරස් අතට, තිරස් අතට, ඉහළට යන බෝග වර්ග අඩංගු වේ. කොස්, පොල් වැනි බෝග සිරස් අතට යන ඒවාය. එළවළු ජාති සැලකීමේදී ඒවා සියල්ලම පාහේ තිරස් අතට යන ඒවා වේ. එලෙසම වියළි කලාපයේ ගෙවත්තක් සැලකුවහොත් එම ගෙවත්තක බෝග/ගස් වර්ග එකසිය ගණනක් දක්නට ලැබේ.
2) කෘෂි වන වගාව
වන වගාවක නිතරම ගසක් අන්තර්ගත වේ. එවිට ගස් සහිත කැළෑ මෙහිදී ගොවිතැන විදියට සැලකේ. හේන්
ගොවිතැන එයට නිදසුනකි.
3) බෝග මාරුව/ ශෂ්‍ය මාරුව
පද්ධතියේ පවතින හා එයින් ලැබෙන සම්පත් ප්‍රයෝජනයට ගත හැකි ආකාරයට බෝග තෝරා ගනී. මෙහිදී විවිධ ස්ථරවලට ලැබෙන හිරු එළිය, පසේ විවිධ ස්ථරවල පවතින පෝෂක භාවිතයට ගැනෙන පරිදි බෝග මාරු කිරීම සිදු කරයි. එලෙස එකම ගොවිපළේ බෝග වර්ග ගණනාවක් වගා කළ විට විවිධ අවස්ථාවන් වලදී අස්වැන්න ලබා ගත හැකිය. එවිට ආදායමද වැඩි කර ගත හැකිය. එලෙසම බෝග වල ලෙඩ රෝග ද පාලනය වේ.

4) වසුන් භාවිතය
උදාහරණයක් ලෙස රබර් වගාව සැලකීමේදී, රබර් යටතේ විවිධ වසුන් ශාක වගා කරයි. සෙන්ට්‍රොසීමා,
කැලපගෝනියම්, පියුරේරියා එවැනි වසුන් ශාක සඳහා නිදසුන් කිහිපයකි. වසුන් වගාවෙන් පසේ ඇති නයිට්‍රජන්
තිර කර ගෙන බෝග වලට ලබාදේ. ඒ වගේම වසුන් වගාව වගා භූමිය බදාගෙන වැවෙන නිසා වර්ෂා ජලය කෙලින්ම පොළොවට පතිත වීම වළකී. එවිට සෝදා පාළුව නවතී. අනිත් කරුණ නම් භූමියේ වල් මතු වීම පාලනය වේ.
5) ආකර්ෂණ සහ විකර්ෂණ බෝග
උදාහරණයක් ලෙස, බඩඉරිඟු වගාවට පැමිණෙන සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා ඩෙස්මෝඩියම් (උඳුපියලිය පවුලේ ශාකයක්) වගා කරයි. මීට අමතරව බඩඉරිඟු වගාව වටේට තෘණ වර්ග එනම් බ්‍රැකේරියා, පැනිකම් වැනි තෘණ ශාක වවයි. එහිදී සිදු වනුයේ, මෙම සේනා දළඹුවාගේ මැස්සා වේගෙන් වගාව හරහා පියාසර කරයි, නමුත් වේගෙන් බඩඉරිඟු ගහ වෙත ගමන් කළද උඳුපියලිය වලින් හමන ගඳ නිසා ඔවුන් එතනින් විකර්ෂණය වී යයි. විකර්ෂණය වී, බඩඉරිඟු වගාව වටේට වවා ඇති තෘණ ශාකවලට ආකර්ෂණය වී යයි. ගොස් එතන සිට ඔවුන්ගේ ජිවන චක්‍රය සම්පූර්ණ කිරීම ආරම්භ කරයි. එතනදී ඔවුන් ආහාර ලබා ගැනීම සඳහා තෘණ ශාකයේ පත්‍රවලට විදීම සිදු කරයි. එහිදී එම තෘණ ශාකයෙන් පිටවන මැලියම් මෙම සතාට විෂ සහිතය. එවිට එම සතා මරණයට පත් වී යයි. බඩඉරිඟු සහ තෘණ එකම පවුලේ වුවද තෘණ සේනා දළඹුවාගේ මැස්සාට විෂ සහිතය. මෙලෙස පෙර අතීතයේ තිබුණා යැයි පවසන ගොවිතැන පස් ආරක්ෂා වන, පස සාරවත් කරන පද්ධතියකි. නමුත් පසු කාලීනව ග්ලයිෆොසෙට් වැනි විෂ වල්නාශක භාවිතය නිසා ස්වභාවිකව පස සාරවත් කළ ප්‍රයෝජනයක් ගෙන දුන් ශාක බොහොමයක් විනාශ වී ගොස් ඇත. ඒ වගේම මෙම විෂ රසායන අද වනවිට රෝග බොහොමයක් ඇති කිරීමට හේතු සාධක වී ඇත. කෙසේ නමුත් අද වනවිට ලංකාවේ පාරිසරික ගොවිතැන යම්කිසි ප්‍රමාණයකට ක්‍රියාත්මක වෙමින් පවතී සහ ඉදිරියේදී වැඩි වැඩියෙන් මෙවැනි පරිසර හිතකාමී ක්‍රම වල නියැලෙමින් ගොවිතැන් කටයුතු සිදු කිරීමට ගොවීන් දිරිමත් කළ යුතුය සහ ඉඩ සැලසිය යුතුය.

මූලාශ්‍ර:-
පාරිසරික ගොවිතැන පිළිබඳව ප්‍රවීණ කෘෂි පාරිසරික විද්‍යාඥ ආචාර්ය ලයනල් වීරකෝන් මහතාගේ
සාකච්ඡාවක් ඇසුරින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles