තෙරක් නොමැති සංසාරේ
මහා බ්‍රහ්මයෙක් වෙත්නම්,
ඔහු
පද්ම තටාකෙක
රන් පියුම් රෝපණය කරන්නෙක් ම විනා අන් කවරෙක් ද?
එවන් බ්‍රහ්මයෙකුගේ,
මා වැනි පෘථක්ජන බිරිඳකට පවා
ඩබල් මීනින් නුහුරු නුපුරුදු නොවේ
සිතිවිලි එක්ක රමනය කර
වචන සුජාත කරන,
මගේ ඉන්දාජාලික මැවුම්කාරයා
‘රසිකාවියන්ව’ ‘ප්‍රේමවන්තියන්’ සේ මවති
‘ප්‍රේමවන්තියන්ව’ ‘රසිකාවියන්’ සේ මවති
පිටත ඇතුලත දිවාරෑ
ඉන්දාජාලික මීවිත සාමීචි නිවෙනතුරු
කට්ටකන මා ඇවිලෙනායුරු
‘සයනයේ සිහිනය’* දකින්නට පොරෝනය ඇතුලේ වෙලී නිවුණු
නිවෙන නොනිවෙන බ්‍රහ්ම සිතිවිලි දුම්වළලු වී ඉහළ නැගුණූ
අමෘතය වැඩි සීනි විලසින් මගේ දෑතින් බඹුට පිදුණු
කහින, සූරන, පඩින, ගොරවන
ඉන්දාජාලික නින්නාද
සවන්පත් මගෙ මෙතෙක් ඉවසා දරාගෙන උන්නාද
අලුත් ඇස් නොදෙන කිසිදු ලියන්නෙක්
මෙතෙක් නොකියනා රඟ
නොමැති නම් මම
එයා ඇතුලේ
ඉන්දාජාලික මැවුම්කරුවෙක් නොමැති වග
ජීවිතේ කවියක් වුණාට
අනේ හැබෑට කවියත් ජීවිතයක් ද?
හිතුණු වාර අනන්තය
ඇසූ බැලූ හැම තැනකම
‘මහා බ්‍රහ්මයෙකුට බිරිඳක්ව’ හිඳීමේ
ජනප්‍රිය මාතෘකාය
කොතරම් දුෂ්කර ක්‍රියා වූවද,
‘බ්‍රහ්මයෙකුට මහා බිරිඳක්ව’ හිඳීම තරම් අපූර්වත්වයක් තවත් කොහිද
*ජානක පෙරේරා රචනාකළ ‘සයනයේ සිහිනය’ වේදිකා නාට්‍යයේ අධ්‍යක්ෂනය කීර්තිලාල් තුඩුවගේ සමඟ ජානක පෙරේරා විසිනි.