
ශ්‍රී ලංකාව විවිධ කාළවකවානු තුළ දී, විදේශීය පාලනයන්ට නතු වුනා. ඒ්, ඉංදීය සොලී, පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ලෙසින්. ඔවුන් සමග බොහෝ ස්ථාන වලදී, ශ්‍රී ලාංකිකයින් දරුණු සටන් ඇතිකරගනු ලැබුවා. එයින් බලාපොරොත්තු වූයේ, ශ්‍රී ලංකාව ආක්‍රමණිකයින්ගෙන් බේරාගැනීමයි.
ආක්‍රමණිකයින් සමග හෙළයින් කළ දරුණු සටන් අතර, මුල්ලේරියා සටන, රනදෙණිවල සටන, දන්තුරේ සටන සහ ගන්නෝරුව සටන ඉතිහාස ගත වනවා. එයින් ගන්නෝරු සටන වැදගත් වන්නේ, ශ්‍රී ලංකාවේ පළමු ගරිල්ලා සටන සිදුවීමයි. එනම් සැඟව සිට පහර දීමයි. ගන්නෝරුව සටනින් දියෝගෝ ද මේලෝ ක්‍රස්තෝ ප්‍රමුඛ පෘතුගීසී හමුදාව ට 1638 මාර්තු මස 28 වැනිදා දරුණු පරාජයක් අත්වුනා. මෙරට සිංහලයින් සංවිධානය කළ සංවිධානාත්මක අවසන් මහා සටන මෙයයි. පෘතුගීසින් ශ්‍රී ලංකාව හැරදා යන්නට හේතුවූ සටන මෙයයි.
ගන්නෝරුව සටනේ කාළයේ වැලිතලාවෙන් යටවුනු බොහෝ ස්ථාන අදටත් දැකගත හැකියි. එය ද දන්නේ අතලොස්සක් පමණ වූ පිරිසකි. මෙම ලිපියෙන් උත්සාහ දරනුයේ, වසර 387කට පෙර සිදුවූ මේ මහා සටන හා ගන්නෝරුව පිළිබඳව ජනප්‍රවාදයේ එන, සාක්ෂි සහිතව අදාත් අභිමානයෙන් කතාකළ හැකි තොරතුරු ගෙනහැර දැක්වීමටයි.
ගන්නෝරුව ඓතිහාසික කතා රැසකට පාදක වූ ගම්මානයකි. නැගෙනහිරින් සුන්දර මහවැලි නදියත්, බටහිරින් දෙකන්නය වගා කරන මහා වෙල් යාය හා කඳු වැටියත්, දකුණු පසින් පඬුවස් දෙවි රජ සමයේ ශ්‍රී ලංකාවේ පළමු කොහොඹ කංකාරිය සිදු කළ දිවිදොස් කන්ද සහිත කඳු පංතියෙන් වටවුනු තැනිතලා බිමකි. අද වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ මධ්‍යස්ථාන මෙන්ම කෘෂි තාක්ෂණික උද්‍යානයකින්ද සමන්විතය. වර්ෂ 1825 දී එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයා පළමු කෝපිවත්ත වගා කළෙත් මෙහි බවයි පැවසෙන්නේ.
කොත්මලේ ජලාශය සාදන තෙක්ම ගන්නෝරුව වෙල්යාය, අධික වර්ෂාවත් සමග ගංවතුරෙන් නිතරම යටවන්නට විය. එයට බලපෑ ප්‍රදාන සාධකය වූයේ, මහවැලි ගඟෙහි විශාල වංගුවක් මෙහි පිහිටා තිබීමය. අක්කර 20 කට වැඩි කුඹුරුයායක් මෙසේ යටවන්නට විය. ගංවතුර බැසයාමෙන් පසුව රොන් බඩ තැන්පත්වීම නිසා රොන්මඩ තැන්පත්වන භූමිය කිරිබත්වෙල නමින් හඳුන්වන්නට විය. ඒ අනුව ගන්නෝරුව නම යෙදෙන්නට පෙර කිරිබත්වෙල නමින් ප්‍රදේශයම හැඳුන්වූ බවට ජනප්‍රවාදයේ පවති.
ගන්නෝරුව නම හැදුනු ආකාරය පිළිබඳවත් ජනප්‍රවාදයේ විවිධ කතා පවතී. නමුත් එයින් විස්වාශ කළ හැකි කරුණ වන්නේ, අද පවතින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තුව ඉදිරිපස මහවැලි ගඟෙහි ඔරුවක් ගන්වීමයි.
වර්ෂ 1335 දී දඹදෙණිය අග නරය කර පාලනය ගෙනගිය 4 වන විජයබාහු රජුගේ පුත් 4 වන බුවනෙකබාහු රජු 1341 දී ගම්පොළ සිය රාජධානිය බවට පත්කර ගත්තේය. රජතුමාගේ රාජභිෂේකය සඳහා ඉංදියාවේ සිට ශ්‍රී නාගර සහ ශ්‍රී රංග යන බ්‍රාහ්මණයන් දෙදෙනෙකු පැමිණ තිබෙනවා. ඔවුන් සිය කාර්ය අවසන් තිරීමෙන් පසු රජතුමා විසින් ත්‍යාගයන ලෙස බෝපැල දෙකක් ලබා දී, ඔරු දෙකකින් මහවැලි ගඟ දිගේ පිටත් කර ඇත. එහිදී රජතුමා ප්‍රකාශ කර ඇත්තේ, ඔරු යම් තැනක නැතුනහොත් එම ස්ථානයේ නවතින ලෙසයි. එසේ පැමිණි ඔරුවක් ඉහත කී ස්ථානයේ දිය සුළියකට හසුවී තිබේ. (වර්ථමානයේ ද මෙම ස්ථානයේ මෙම දිය සුළිය දැකගත හැක) එහිදී ඔරුව ගන්වූ බව (නැවතුන බව) රජතුමා ට දැන්වීමෙන් පසු, ඔහු විසින් ඔරුව ගන්් වූ තැන ගන්ඔරුව ලෙස නම් කර තිබේ. පසුව ගන්නෝරුව බවට පත්ව තිබේ. ඔරුව ගන්වීමත් සමග ගඟෙන් යාම අත් හැරි බමුණන් දෙදෙනා බෝ පැල දෙක රෝපණය කර තිබේ. එක් අංකුරයක් වර්ථමාන පේරාදෙණිය උද්භිද උද්‍යාන භූමියේත්, අනෙක වර්ථමාන ගන්නෝරුව රාජමහා විහාර භූමියෙත් රෝපණය කර ඇත. මෙම බෝධිය අදටත් විහාරස්ථානයේ පූජනීයත්වයට පත්ව වන්දනාමානයට ලක්වෙමින් පවතී. බමුණන් දෙදෙනා ගන්නෝරුව ගමෙහි පදිංචි වී ඇත. ශ්‍රී නාගර බ්‍රාහ්මණයාගෙන් පැවතෙන පරපුර නාගනාගදර වාසගමින් සහ ශ්‍රී රංග බ්‍රාහ්මණයාගෙන්පැවතෙන පරම්පරාව ශ්‍රී රංග බ්‍රාහ්මණ රාලලාගේ නමින් අදටත් සමාජයේ හඳුනාගත හැක. මේ සියළු දෙනා ලම්බකර්ණ වේ.
16 වන සියවස ආරම්භය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය නව දිශානතියකට යොමු කළ කාළපරිච්ඡේදයක් ලෙසින් සටහන් වේ. ක්‍රි.ව. 1505 දී කුරුඳු සොයා පැමිණි, ලොරෙන්සෝ ද අල්මේදා ප්‍රමුඛ පෘතුගීසි නාවික බලඇණියක් ගාලු වරායට සේන්දු විය. එසේ ලක්දිවට ගොඩ බට පෘතුගීසීන්ට එවකට රාජධානි කිහිපයක් ලෙස බෙදී වෙන් වී පාලනය වූ ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් ම ඔවුන් යටතට ගැනීමඅවශ්‍ය වුණා. නමුත් ක්‍රිස්තු වර්ෂ 1619 වන විටත් ඔවුන්ට අත්පත් කර ගැනීමට හැකි වුණේ කෝට්ටේ, සීතාවක සහ යාපනය රාජධානි පමණ යි. ස්වාධීන රාජ්‍යයක් ලෙසින් පැවති කන්ද උඩරට පිළිබඳව එතරම් උනන්දුවක් පෘතුගීසීන් නොදැක්විය.

පෘතුගීසි නිල ලාංජනය
පළමුවන රාජසිංහ රජු විසින් 1582 වර්ෂයේ දී, සීතාවක සහ උඩරට රාජ්‍යයන් සියතට ගන්නා ලදි. අනතුරුව 1587 – 88 කාළය තුළ කොළඹ පිහිටි පෘතුගීසි කොටුවට කිහිප අවස්ථාවක්ම පහරදීම හේතුවෙන් වූ පීඩනය නිසා පෘතුගීසීන් උඩරට රාජ්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොදන ලදි. 1582 දී සීතාවක ආක්‍රමණයෙන් පරාජිතයින් වූ උඩරට උරුමකරුවන්ට පෘතුගීසීන් විසින් ආරක්ෂාව සපයන ලදි. ඔවුන්ගෙන් එක අයෙකු වූ, කරල්ලියද්දේ බණ්ඩාරගේ බෑණනුවන් වූ, යමහසිංහ බණ්ඩාර ගොදුරක් බවට පත්කර ගන්නා ලදි. ආක්‍රමණික සේනාවක් සමග දොන් පිලිප් යමසිංහ බණ්ඩාරයන් උඩරට නායකත්වයට පත්කරන්නට යෙදින. පාලනයේ කෙටි කාළයක් තුළ ඔහුගේ මරණය සිදුවූ අතර පෘතුගීසීන්ගේ මැදිහත්වීම මත ඔහුගේ ළාබාල පුත් කුමරුවන් වූ දොන් ජුවන් උඩරට සිහසුනට නම් කරන ලදි. නමුත් වර්ෂ 1594 දී පෘතුගීසි බලාපොරාත්තු සියල්ල සුණු විසුණු කරමින් ඔවුන් යටතේම හැදුනු වැඩුනු දොන් ජුවන් කොනප්පු බණ්ඩාර විසින් යමසිංහ බණ්ඩාරයන්ගේ පුත් දොන් ජුවන් පළවාහරිමින් උඩරට රාජ්‍යය පෘතුගීසී හස්තයෙන් මුදවාගනු ලැබිණ. ප්‍රථම උත්සාහයෙන් අධෛර්යට පත්නොවූ පෘතුගීසීන් උඩරට උරුමයේ දෙවන බලාපොරොත්තුව ලෙසින් 1594 දී ජේරු ලෝපේස් ද සූසා ඇතුළු පිරිස විසින් කුසුමාසන දේවියගේ මුවාවෙන් උඩරට රාජ්‍යයේ උරුමය ලබාගැනීමට කටයුතු කළේය. ඒ පෘතුගීසි වල්ලභයෙකු ඇයට විවාහ කරදී රාජ්‍ය බලය ලබාගැනීමයි. එ උත්සාහය ද 1594 දී සිදුවූ දන්තුරේ සටනින් අවසන් විය.
විවිධ ක්‍රම මගින් උඩරට රාජ්‍ය තමන් යටතට ගැනීම සඳහා පෘතුගීසීන් උත්සුක විය. ඒ අතරට 1573 වර්ෂයේ දී ධර්මපාල රජුට උඩරට රජුගේ දෝන මාගරීටා නම් වූ දියණිය විවාහ කරදී ඇති බැවින් ඇයට හිමි උරුමය ඉදිරිපත් කිරීම මෙන්ම පළමු විමලධර්මසූරිය විසින් පළවා හරින ලද දොන් ජුවන් කුමරු විසින් නිකුත් කරන ලදි රාජ්‍ය පැවරුම් ලිපිය ද විය. එමගින් සිය අපේක්ෂාවන් ඉටුකරගැනීමට නොහැකි බව තේරුම්ගත් පෘතුගීසීන් උඩරට රාජ්‍යය, යුද්ධ මාර්ගයෙන් නතුකර ගැනීමේ ක්‍රියා මාර්ගයට අවතීරණ විය. ඒ, 1602 දී බලන සටන, 1630 දී රන්දෙණිවල සටන, 1638 දී ගන්නෝරු සටන වේ.
1597 මැයි 27 වැනි දින කෝට්ටේ රාජ්‍ය කළ ධර්මපාල රජුගේ මිය යමෙන් පසු කෝට්ටේ රාජ්‍ය ලැබීමත් සමග පෘතුගීසීන් විසින් 1602 දී බලන සටනට හේතු වූ, උඩරට ආක්‍රමණය දොන් ජුවන් ජෙරනිමෝද අසවේදු යටතේ සිදු කරන ලදි. ඒ් සඳහා අවශ්‍ය ආධාර ගෝවෙන් ලැබුණ අතර සිංහල හා ඉන්දීය හමුදාවන්ගේ සහාය ද ලැබිණ. බලන කොටුව පෘතුගීසීන් යටතට පත්වුව ද, සිංහල සේනාව උඩරට රජුට පක්ෂ වීම නිසා සටන අසාර්ථක විය.

උඩරට රාජධානියේ ධජය
වර්ෂ 1604 දී පළමුවන විමලධර්මසූරිය රජුගේ අභාවයෙන් පසු ඔහුගේ සොහොයුරු සෙනරත් රජතුමා රාජ්‍යත්වයට පත්විය. 1610 දී පෘතුගීසීහු නැවත කන්ද උඩරට ආක්‍රමණය කළහ. සෙනරත් රජු විසින් ඔවුනට කප්පම් ගෙවීමට එකඟ වීමෙන් සාමය උදාවිය. සෙනරත් රජු ට කුමාරසිංහ, විජයපාල සහ රාජසිංහ පුතුන් තිදෙනා අනගතයේ දී, පෘතුගීසීන්ට එරෙහිව ප්‍රභල අභියෝගයක් එල්ලකළ හැකි බවට පෙරනිමිති දැකගැනීමට හැකිවිය. 1630 දී, රන්දෙණිවෙල සටන විශිෂ්ඨතම හේවායෙකු වූ කුන්ස්තන්තීනුද සා යටතේ සිදුවිය. විසිතුන් දහසක පමණ බලඇණියකින් සමන්විත වූ, කුමාරසිංහ, විජයපාල සහ රාජසිංහයන්ගේ හමුදාව විසින් බලාපොරොත්තු සුන් කරමින් පෘතුගීසීන්ගේ හමුදාව සමූලඝාතනය කරන ලදි.
තුන් වරක් ම කන්ද උඩරට රාජධානිය අත්පත් කර ගැනීම සඳහා පෘතුගීසීන් දැරූ උත්සාහයන් සියල්ල අසාර්ථක විය. පෘතුගීසීන්ට කන්ද උඩරට රාජධානිය අත්පත් කර ගැනීමට, කඩුගන්නාව ගිරි දුර්ගය තරණය අපහසුවීම සහ සෙංකඩගල නුවර මහවැලි නදියෙන් වට වී තිබීම නිසා අසීරු වූ බවට ජනප්‍රවාදයේ මතයක් පවති.
වර්ෂ 1634 දී සෙනරත් රජුගේ මිය යාමෙන් පසුව මහනුවර ආධිපත්‍යය රාජසිංහ රජුට අයත්විය. මේ කාලයේ දී වෙළඳ කටයුතු සඳහා කන්ද උඩරට පැමිණ රජුගේ හොඳ හිත දිනා ගත් ඇන්ටෝනියෝ මකාඩෝ නම් පෘතුගීසි වෙළෙන්දා වෙත දෙවැනි රාජසිංහ රජු ඇතෙක් තෑගි කර තිබේ. ඇන්ටෝනියෝ මකාඩෝ කොළඹට ළඟාවන විට කපිතාන් ජෙනරාල් ඩියේගෝ ද මේලෝ ද ක්‍රැස්ත්‍රෝ එම ඇතා ව ඔහුගේ භාරයට ගෙන තිබෙනවා. හේතුව ලෙස දක්වා ඇත්තේ, රජතුමන් තමන්ට ගෙවිය යුතු කප්පම් මුදල වසර ගනනාවක් නොගෙවීම බවයි. නැවත මහනුවරට පැමිණි පෘතිගීසි ජාතිකයා මේ බව රජතුමාට දන්වා ඇත. දියෝගු ද මේලෝ විසින්, රජතුමාට අශ්වයෙක් පරිත්‍යාග කිරීම වෙනුවෙන් ඇතෙකු ලබාදීම ගැන කල්පනා කර පණිවුඩකරුවකු මගින් අශ්වයන් දෙනෙකු උඩරටට යවා ඇත්තේ වැඩිපුර තෑගි ලබාගැනීම සඳහාය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් රජතුමා, තමාගේ ඇතා නැවත භාර දෙන තුරු අශ්වයින් නිදහස් නොකරන බවට ප්‍රකාශ කර ඇත. ඉංග්‍රීසි ජාතික ජොආම් රුබෙයිරෝගේ හෙළදිව ඓතිහාසික ඛේදවාචකය වාර්තාවට අනුව, මෙම හේතුව නිසා උඩරට රජු යුද්ධයකට සූදානම් බව හැඟවෙන පරිදි තර්ජනාත්මක ප්‍රකාශයක් නිකුත් කර ඇති බැවින්, ගන්නෝරු සටනට හේතු වන්නට ඇතැයි සිතිය හැකිය. ඇතුන් සමග අසුන් හුවමාරු කර ගැනීමට කැමැත්ත පළ කරමින් රාජසිංහ රජු විසින් කපිතාන් ජෙනරාල්ට හසුනක් යවා තිබෙනවා. නමුත් එය නොසලකා හැරි කපිතාන් ජෙනරාල් ක්‍රිස්තු වර්ෂ 1638 මාර්තු 19 වැනි දින ඔහුගේ සේනාවන්ට මැණික් කඩවර නම් ගම්මානයට රැස් වන ලෙස නියෝග කර ඇති අතර මලක්කාවෙන් ගෙන්වා ගත් තවත් සේනාවක් ද සමගින් ඔහු ද එදින මැණික් කඩවරට ළඟා වුණා.
රොබෙයිරෝ දක්වන ආකාරයට දියෝගෝ ද මේලෝගේ හමුදාවේ උසස් පෘතුගීසි භට පිරිසක් සමගින් මෙම සේනාවට ලස්කිරිඤ්ඤ භටයින් 2,800 ක් ද, මලක්කාවේ සිට පැමිණි ප්‍රතිකාල් හේවායන් 500 ක්ද, වූ බව දැක්වේ. බැල්දියෙස්ට අනුව ලස්කිරිඤ්ඤ භටයින් 60,000 ක් ද, පෘතුගීසි භටයින් 2,300 ක් ද, ඊට අයත්ව සිට ඇත. ක්වේරෝස්ට අනුව සිංහලයින් 5,000 ක් ද, මලක්කාවේ සිට පැමිණි භටයින් 2,050 ක් ද සමග පෘතුගීසි භටයින් 700 කට වැඩි පිරිසක් ද, ටොපේස්, කැතරි, කාපිරි ජාතිකයින් ද ආක්‍රමණික සේනාවට අයත්ව සිට ඇත.රාජාවලියට අනුව පෘතුගීසීන් විසින් ප්‍රතිකාල් සහ ලස්කිරිඤ්ඤ ඒකාබද්ධ හමුදාව 9,000 කින් සමන්විතව තිබේ.මන්දාරම් පුවතට අනුව සේනාවේ කාපිරි භටයින් මූලිකත්වය ගෙන තිබේ. මහාවංශයේ මෙම පිරිස පෘතුගීසි හා ලස්කිරිඤ්ඤ භටයින් 28,000 ක් පමණ වූ බව දක්වයි.
මේ බව ආරංචි වූ දෙවැනි රාජසිංහ රජු සාම ගිවිසුමකට එළැඹීමට ඇති කැමැත්ත ප්‍රකාශ කරමින් පෘතුගීසි පූජකයෙකු අතර කපිතාන් ජෙනරාල්ට පණිවිඩයක් යැවූවත් ඔහු එය ප්‍රතික්ෂේප කළේ “පුංචි කළු ජාතිකයා දැන් බය වෙලා. අපි ඔහු ව කනෙන් ඇදගෙන ආ යුතුයැ”යි පවසමින්. එම ප්‍රකාශයෙන් උදහසට පත් වූ දෙවැනි රාජසිංහ රජු ඔහු සතු සේනා සියල්ල ම නගරයට කැඳවූ අතර සටනට ආරම්භයක් ගනිමින් නගර වැසියන් සහ වටිනා භාණ්ඩ වෙනත් ගම්මානවලට පිටත් කර යවා තිබෙනවා. පෘතුගීසි සේනාව තරම් බලවත් නොවූ සිංහල සේනාව, සෘජු ව පෘතුගීසීන්ට මුහුණ නොදී ගන්නෝරුව කන්දේ කඳවුරු බැඳ ගත්තේ සෙංකඩගල නුවරට පහර දීමට ගොස් හිස් අතින් පැමිණෙන පෘතුගීසි හමුදාවට පහර දීමේ අරමුණ ඇති ව යි.

දෙවන රාජසිංහ රජතුමා
රුබෙයිරෝගේ විස්තර අනුව ඓතිහාසික ගන්නෝරු සටන 1638 වර්ෂයේ මාර්තු 23 සහ 24 යන දෙදින සිදුව තිබේ. නමුත් පෘතුගීසී ජාතික පර්නාංද ක්‌වේරෝස් නම් පියතුමාට අනුව ගන්නෝරු සටන මාර්තු මස 28 වැනි දින සිදුව තිබේ.පැරණි සන්නසක තොරතුරුවලට අනුව ශකවර්ශ 1558 මැදින් පුර තියවක රවි දිනකදී මෙම සටන සිදුව ඇත. කෙසේ නමුත් ජනප්‍රවාදයේ සදහන්ආකාරයට1638 මාර්තු 27 වැනි දින පෙරවරුවේ දියෝගෝ ද මේලෝ, ඩොමින්ජෝ සහ සෝදේ නම් වූ මේජර්වරුන් සමග අට්ටාපිටියේ සිට බලන හරහා සෙංකඩගල නුවරට ළඟා වූ පෘතුගීසින්ට දැක ගැනීමට ලැබුණේ හිස් වූ නගරයක්. සම්පූර්ණ නගරය ම ගිනිබත් කළ පෘතුගීසින්, රජ මැදුර සහ විහාරස්ථාන ඇතුළු ව අවට ගම්මාන ගිනි තබා විනාශ කරමින් දේපොල කොල්ල කා තිබේ. ඉන්පසු ජයග්‍රාහී ලීලාවෙන් කොළඹ බලා නැවත යමින් සිටිය දී නවාතැන් ගෙන ඇත්තේ ගන්නෝරුව රණබිම ප්‍රදේශයේ යි. අද එහි ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්වේ පර්යේෂණ මධ්‍යස්ථානයයි. මෙම ස්ථානයේ රැඳි පෘතුගීසි හමුදාව පත්ව සිටි අයුරු රාජසිංහ හටනේ මෙසේ සඳහන් වේ.
නුවර ගිනිලා එගන්නෝරුවට - කරකැවී එන සඳෙහි නොරැඳි
නිරිදු තෙපලා යුදයට ගිය ප්‍රතිකාල් - රුපු සෙන් මැදට එවැ දී
සෙදින වටලා කපන්නට අවි - රැගෙන ඇරඹුම් කළ තැනේ දී
මොවුන් එතැන නැවතී සිටිය දී මහවැලි ගඟ පිටාර ගැලීම නිසා වෙඩි බෙහෙත් වැනි පුපුරණ ද්‍රව්‍ය ද වතුරට හසු වී තෙත බරිත වී තිබෙනවා. පසුව ඒවා ද නවාතැන්ගෙන සිටි ස්ථානයේ අතුරා වියළා තිබෙනවා. ගන්නෝරුව කන්ද මුඳුනේ පිහිටි දිවිදොස්ගලට නැග ගත් යටිහලගල ගමේ සිටි සෙන්පතියකු වූ රාජකරුණා වෙල්ලි බ්‍රාහ්මණ විදානේතුමා ඇතුළු පිරිස වියලන ලද කරුංකා ගෙඩිවලට ගිනිතබා ඊතලයේ ඉදිරියෙන් ගැටගසා විද ඇති අතර පෘතුගීසි හමුදාවේ වෙඩිබෙහෙත් තොග පිටින් ඉන් විනාශ වු බවද ජනවහරේ කතාවක් ඇත. ඇවිළුන ගිනිජාලාව මධ්‍යයේ වෙඩිබෙහෙත් ගබඩා පුපුරාගොස් ඇත. මේ සමගම සිංහල හමුදාව කඩු කිණිසි අමෝරා පෘතුගීසි හමුදාවට ප්‍රහාර එල්ලකර තිබේ. මෙසේ සැඟව සිට පහරදීම ගරිල්ලා සටන් ලෙස හඳුන්වන අතර ශ්‍රී ලංකාවේ පළමු ගරිල්ලා සටන මෙම ගන්නෝරු සටනයි.

ගන්නෝරුව දිසිදොස් කන්ද
පෘතුගීසීන් සමග සිංහල හමුදාව මුහුණට මුහුණ ආරම්භ වී ඇත්තේ, අද රණබිම රාජකීය විද්‍යාලය පිහිටා ඇති ස්ථානය ඉදිරිපිටය. අද එහි ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවක නිවස්නයි. කෙසේ නමුදු පෘතුගීස් හමුදාව සමග මුහුණට මුහුණ සටන් ආරම්භක ස්ථානයේ සිට අවසානය දක්වා කිලෝමීටරයකට වඩා දුරක් දක්වා ගමන් කර තිබේ. අවසන් කළ ස්ථානය ලෙසින් සටහන්ව ඇත්තේ, උස් භූමියක පිහිටි අඹ ගසකි. එකළ පැවති යුද්ධ චාරිත්‍රයන්ට අනුව බිම වැතිරී සිටින හෝ තණකොල කටට ගෙන සිටින විට හෝ කොළ අතු කඩා හිසලාගෙන සිටින විට හෝ අඹ ගසක් උඩට නැග සිටින විට හෝ සතුරෙකු මරණු නොලැබේ. යුද්ධයෙන් තමා පරාජය වන බව දැනෙන විට මරණින් ගැලවී සිටීමට මේ ක්‍රියාවන්ට අනුව අභයදානය ලබාගෙන සිරකරුවෙකු විය හැකියි. ඒ අනුව මෙම ස් ථානයේ පිහිටි අඹ ගසකට නැගගත් 33 දෙනෙකු පමණ පරිසක් පමණක් දිවි ගළවාගෙන ඇති අතර ඔවුන් සියළු දෙනා සිරභාරයට ගෙන තිබේ. දියෝගෝ ද මේලෝ ක්‍රස්ත්‍රෝ ඇතුළු අනෙක් සියළුම දෙනා ඝාතනය කර ඇත. මැතක් වන තුරුම මෙම අඹ ගස පිහිටි ස්ථානය උස් බිමක් ලෙස ගන්නෝරුව වෙල්යායේ තිබිණ. නමුත් වර්ථමානය වන විට අඹ ගස මැරී ගොස් ඇති අතර කුඹුරු හිමියන් විසින් සිය කුඹුරු ඉඩම වැඩිකර ගැනීම සඳහා මෙම ගොඩැල්ල කපා ඉවත්කර ඇත.
ගන්නෝරුව සටනින් පරාජයට පත් වූ පෘතුගීසීන් යළිත් වරක් කන්ද උඩරට අල්ලා ගැනීම සඳහා උත්සාහ නොකරන ලදි. මෙම සටන සිංහලයින්ගේ අවසාන ජයග්‍රාහි සටන වශයෙන් ඉතිහාස ගත වන්නේ එයින් ජනිත කරන ලද ප්‍රතිඵල රාශියක් නිසාවෙනි. එනම් උඩරට ජයග්‍රාහී රජු වශයෙන් දෙවැනි රාජසිංහයන්ට උරුම වූ තත්වය හා පරාජයට පත් පෘතුගීසීන් ශ්‍රී ලංකාව හැරදා යාමට හේතූ කාරණයක් වශයෙනි. එසේ ම පෘතුගීසීන් සහ සිංහලයන් අතර ඇති වූ අවසන් සටන වන්නේ ද එය යි. පසු කාලීනව දෙවැනි රාජසිංහ රජු ලන්දේසීන් සමග ඇති කර ගත් ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙස ක්‍රිස්තු වර්ෂ 1658 දී පෘතුගීසීන් සම්පූර්ණයෙන් ම ලක්දිව හැර ගිය අතර එයට තුටු පඬුරක් ලෙස සිංහල රජු, කපිතාන් ජෙනරාල් ඩියේගෝ ද මේලෝ ද ක්‍රැස්ත්‍රෝගේ අසිපත, ලන්දේසි අද්මිරාල් ඇඩම් වෙස්ටවෝල්ට් වෙත පිරි නමා තිබෙනවා.
ගන්නෝරු සටන සිදුකළ ආකාරය පිළිබඳව මන්දාරම්පුර පුවතින් උපුටාගත් කවි කිහිපයක් පහතින් දැක්වේ.
පැමිණ අඹතැනි ගන්නොරුව වෙත මහත් බලයෙන් පිරිවරාගෙන
නොයන ලෙස අහසිනුදු ප්‍රතිකාල් සතුරුසෙන් වටින් සැදීගෙන
සොඳින හේවා පන්ති සිටුවා පසිඳු නෙක මැතිවඑරන් සංගින
නොමින වෙඩිසැර යැවී පිටපිට වසින සැඩවරුසාව විලසින
නොසදැන හසරක් පරංගි දෙමුහු ද දැලින් බැදුණු ඔසුවෙන් වැනෙමින්
වෙඩි සැර එවමින් යමි බියපත් වී දණ ඇනගෙන දෙවියන් යදිමින්
වැර සර කළ මුත් සිංහල බලසෙන් තැන තැන පරන අවිපහර දෙමින්
එඩිතර වී පෙරමග සිට වැනසී ප්‍රතිකල්බල සුන්බුන් කරමින්
මහ සටන නම් වන කාව්‍යයයේ ගන්නෝරු සටන ගැන මෙසේද සටහන් වේ.
එදිලිය නැති මේ රජු වන කරවා
නොමැලිව වැඩ සිට තම යුද කරවා
කදලි වනය මෙන් ඇණ බිඳ කරවා
තැඹිලි ගෙඩිසෙ ඔළු සිඳ ගොඩ කරවා
අදයක් ප්‍රතිකල් මැද බිම වැටෙතී
අදයක් බිමතණ උදුරා විකතී
අදයක් අතු ඉසලා ගෙන සිටිතී
අදයක් අඹරුක මුදුනට නැගෙතී
සොබමන් අග රජසිහ නර වරණා
කරමින් ජන මැතිදුන් සහ සටනා
විකුමෙන් දුන් අවි පහරින් තදිනා
හිසතින් වැටුණේ ජනමැති වැරෙනා
බල දැනගෙන රජසිහ නිරිඳුන්නේ
රළ රළ දියසෙන් ප්‍රතිකාලුන්නේ
ඔළ මොල සිද උන් ඔද හරිමින්නේ
කළ යුධ නිමවිය ගන්නොරුතැන්නේ

ගන්නෝරුවට පැමිණි පෘතුගීසීන් කඳවුරු බැඳගත් භූමිය අද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි උද්‍යානය
යුධ ජයග්‍රණයෙන් පසු රජතුමා ඒ සඳහා කැපවුනු සියළුදෙනාටම තෑගි බෝග ලබාදී තිබෙන්නේ ගන්නෝරුව රාජමහා විහාරයේ සිටය. විහාරස්ථානයට ද ඉඩකඩම් පවරා දී තිබේ. මේ සියල්ල ගන්නෝරු සන්නසෙහි සඳහන් වන බවට ජනප්‍රවාදයේ ඇත. අභාග්‍යට කරුණනම්, මෙම සන්නස අද වන විට තිබෙන්නේ ඇඹිලිපිටිය සංඛපාලි විහාරයේ වීමයි. පසුගිය කාළයේ ගන්නෝරුව ගමෙහි ප්‍රභූන් කිහිප අවස්ථාවක් මෙය ලබාදෙන ලෙස කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප විය. සංඛපාලි විහාරස්ථානයට මෙම සන්නස හිමිවීම පිළීබඳවද පුරාවෘත තිබේ.
1706 දී ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ ආරාධනයෙන් එවකට සාහිත්‍ය පිළිබඳ ජනප්‍රියත්වයට පත්ව සිටි, ගන්නෝරුව රාජමහා විහාරයේ වැඩසිටි මහාසේන නම් වූ යතිවරයාණන් විසින් ග්‍රන්ථයක් රචනාකොට තිබේ. සමුද්ග ජාතක කතා වස්තුව අනුසාරයෙන් රචනා කළ මෙම ග්‍රන්ථයේ කවි 800 ක් පමණ තිබී ඇති අතර එය සුමුගුදා කාව්‍ය සංග්‍රහය ලෙස නම් කර තිබේ. මෙහි ගන්නෝරු සටන පිළිබඳව ඉතා වැදගත් කරුණු රාශියක් අඩංගු කර තිබේ. මෙම කවි සංග්‍රහයත් සමග මහාසේන හිමි තවත තවත් ප්‍රසිද්ධියට පත්ව තිබේ. ඒ අනුව ඇඹිලිපිටිය ප්‍රදේශයේ ප්‍රභූවරයෙකුගේ ආරාධනයෙන් මහාසේන හිමි එහි වැඩම කර තිබේ. උන් වහන්සේට 65 අමුණක් සමග ත්‍යාගයන් රැසක් ලැබී ඇති අතර, එහිම වැඩවාසය කරන්නට විය. මහාසේන හිමියන් ඇඹිලිපිටියට වැඩම කරන විට රාජමහා විහාරය සතු ගන්නෝරු සන්නස ද රැගෙන ගොස් ඇත. එනිසයි අදටත් එය සංඛපාලි විහාරස්ථානය සතුව තිබෙන්නේ.

රණබිම රාජකීය විදුහලෙහි ස්ථාපනය කර ඇති සිංහල සෙබල මූර්තිය
ගන්නෝරුවේ අභිමානය රකිමින්, එය ආරක්ෂා කරමින්, ගන්නෝරුව අනුස්මරණ පදනම කළකට ඉහත දී බිහිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස, එදා ගන්නෝරු සටන ආරම්භ වූ ස්ථානයේ රණබිම රාජකීය විදුහල, එවකට පැවති රජය විසින් 1996 මාර්ත මස 02වැනි දින ආරම්භ කරන ලදි. මෙම පාසලට පැමිණෙන සෑම අයෙකුගේම පළමුවෙන්ම නෙත ගැටෙනුයේ තම අසිපතින් අඩක් කොපුවට දාගත් සිංහල සෙබල මූර්තියයි. එය නිර්මාණය කරන ලද්දේ ගන්නෝරුව අනුස්මරණ පදනම විසිනි. මෙම මූර්තියෙන් කියවෙන්නේ, සටන අවසන් බව හෝ සටන අවසන් වී නොමැති බවයි. එමෙන්ම නැවතත් අධිරාජ්‍යවාදීන් සමග ඔනෑම සටනකට සූදානම් බවද මෙයින් විද්‍යාමාන වේ.
මෙම ලිපිය සැකසීමේ දී, අපවත්වී වදාල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යාන අංශයේ මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද නාහිමිපානන් වහන්සේ විසින් 2013 වර්ෂයේ දී ගන්නෝරුව සටන සැමරීම වෙනුවෙන්, ඓතිහාසික ගැටඹේ දියකපනාතොට ශ්‍රී රක්ඛංඝ විහාරස්ථානයේ දී පැවැත් වූ දේශනය සහ විශ්‍රාමික ග්‍රාම නිලධාරි නිශාන්ත දසනායක මහතා විසින් ලබාදුන් ජනප්‍රවාද තොරතුරු ද උපයෝගී කරගන්නා ලදි.
ශ්‍රී ලංකාවේ පලමු කොහොඹාකංකාරිය සිදුවූ ස්ථානය පිළිබඳව මීළඟ කළාපයෙන් අපි කතා කරමු.