

බකිණි මලෙන් නොඇහුවාට
මගේ ගෙදර
ගෙවල් පේලියේ කෙළවර
ලෑලී ගෙදර
මං ඉන්න බව දැන දැන
වැඩපළ ළග ගාල් වෙලා
මාව හොයන……..
කළු තඩි මහ කාර් එකේ කුමාරයා ……
මැෂිම වගේ ගැහි ගැහී මම
සුදුමැලි වෙනවා දැක්කම….
මැනල මැනල කපල මහල
නවල නවල පැකිං කරන
මට කිසි අයිතියක් නොමැති
ඇඳුම වගේ මං මැහුවට ……
හිමිකම් නැති ආදරයක්
හිතේ හොරෙන් හැංගෙනකොට
ඉඳි කටුවට යටින් තියල
ඇප්ලික් කරගත්තා තමයි
මලක් වගේ …….
ඒ උනාට………
මහා මන්දිර දැසි දස්සන්
ලැබෙන්නෑලු කවදාවත්
පාළු වෙච්ච කේන්දරේ
හතර කොනම
මං උපන්න……
වැරදුනහම සේල් දාන
ඇඳුම වගේ
වැරදෙන්නට වැඩි ඉඩ ඇති
සුපිරි පන්තියේ ප්‍රේමය
හිතල වැඩක් නැති දෙවරක්
මග අරින්න කහ ඉරෙන්ම
පාර පැනලා යනවා අදත්….