

නෙළූ පලවැල ලූ පැස
අතැර ආවෙමි හිමියනි
බොහෝ ගුල්මය වන පෙත
සරනු කෙලෙසද ඉතින් තනිවම..
අනාගතයෙන් එඹුන වැදි රජ
සරණ මාවත් අතර හමුවිය
පලා යනු මිස
කඩුව දෙන්නට
තුන් හිතක්වත් සිතේ නොම විය..
වනස්පති අස බියෙන්
සලිතව දෙපා පැටළුණු තැන්
කොතෙක් විද
ගලා යන්නට මිසක ගඟකට
රැඳී ඉන්නට වරම් තිබුණිද…
වාරු වෙන්නට ගසක් හිමි නැති
වැලක් මල් පසුරෙන් පිරේවිද
ගහක් කටු තුඩු දරා ගත්තෙම
වැලක අයිතිය උදුර ගන්නද….
කටුද කැකුළුද ඉවසමි
බොහෝ දුක් විඳ ඵල දරන්නෙමි
පෙති සිඳෙන්නට පළමු
මොහොතක් සුවඳ වී
මුළු ලොව සරන්නෙමි…