
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස් ලබා වසර හැත්තෑ තුනක් ගත වන තුරුත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සකස් විය යුත්තේ කෙසේද, කවර පරමාර්ථ (Goal) අනුව ද යනුවෙන් නිසි විමර්ශනයක් සිදුව තිබුණි දැයි සැක සහිතය. විශේෂයෙන්ම ප්‍රාථමික, ද්විතීයික හා ජේෂ්ඨ ද්විතීයික යන අංශ තුනම කලින් කලට සිදුවන මන්දගාමී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට ලක් වූවා මිස නවීන වැඩ ලෝකයට ගැලපෙන අධ්‍යාපනයක් ලබාදීමට මෙම අංශ තුනෙහිම දායකත්වය ලැබෙනුයේ ඉතාම අල්ප වශයෙනි.
2020 වසරේ දත්තවලට අනුව සාක්ෂරතාවය 92%-97% මට්ටමේ පවතින ශ්‍රී ලාංකික ජනතාවගේ ඩිජිටල් සාක්ෂරතාව පවතින්නේ 49% මට්ටමේ වන අතර පරිගණක සාක්ෂරතාව 32.2% මට්ටමේ පවතී.
ප්‍රාථමික හා ජේෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය ලබා දෙනුයේ ප්‍රධාන වශයෙන් පාසල් අධ්‍යාපනය හරහා ය. නමුත් තවමත් රටේ බහුතර පාසල් කළුලෑල්ල හා හුණුකූර සංකල්පය ඉක්මවා ඇත්නම් ඒ ඉතා අතලොස්සකි. ඩිජිටල්කරණයට යාමට පෙර රට පුරා ආවරණය වන දුරකථන සංඥා ජාලයක් හෝ පවතින්නේ නම් එය සුහුරු පන්ති කාමරවලට පදනමක් කරගත හැකිය. එහෙත් එවැන්නක් පෙනෙන තෙක් මානයකවත් නැත්තේ කොළඹ නගරයට ගුවනින් කිලෝමීටර් 20ක පමණ දුරින් ජීවත්වන මේ ලිපිය ලියන මාගේ නිවසට පවා ප්‍රධාන ජංගම දුරකථන සමාගම් දෙකකට අයත් දුරකථන සංඥා ලැබෙනුයේ ඉතා මන්දගාමීව වන නිසා Wi-Fi පහසුකම් නොමැති වූයේ නම් අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීම මා හට වුවද සිහිනයක් වනු නිසැක ය. බස්නාහිර පළාත් තුළ තත්ත්වය මෙසේ නම් රටේ සෙසු ප්‍රදේශ ගැන කවර කතාද?
පාසල් සමග සෘජු සම්බන්ධතාවයක් පවතින කලාප අධ්‍යාපන කාර්යාලය (ගුරුවරයෙකු වශයෙන් පහන් සංවේගයට පත් වන ප්‍රධාන ස්ථානය) තුලට ඔබ ගොඩ වන්නේ නම් ලංකාවේ ඩිජිටල් හා පරිගණක සාක්ෂරතාවයෙන් කැඩපත ඔබට දැකගත හැකි ය. 1950 දශකයේ දී මෙන් විශාල ෆයිල් කවර වල බහා ලූ ගුරුවරුන්ගේ පුද්ගලික ලිපිගොනු, ණයවර ලිපි, මුදල් සම්බන්ධ ලියවිලි ආදිය පිරුණු රාක්ක වලින් වටවී ලිපිකරු මහත්මීන් පිරී ඇති තුන්වන ලෝකයේ රටක දක්නට නොලැබෙන සාම්ප්‍රදායික කාර්යාල කාමර එහි දක්නට ලැබේ. සිය වැටුප් වර්ධකය (බොහෝ විට රුපියල් 1200/= ක පමණ මුදලක්) වැඩි කරගැනීම සඳහා අසීමිත සංඛ්‍යාවක් කඩදාසි පෝරම පුරවා පාසල තුළ අංශ ප්‍රධාන, නිවාඩු ලිපිකරු, සංවර්ධන නියෝජ්‍ය විදුහල්පති, පරිපාලන නියෝජ්‍ය විදුහල්පති, විදුහල්පති යන අයගේ අනුමැතිය ලබා ඉන්පසු කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අනුමැතිය ද ලබා අවසාන බලධාරියා වන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ ද අනුමැතිය ලබාගත යුතුය. මේ සඳහා දළ වශයෙන් මාස තුනක කාලයක් ගතවේ. ඉන්පසු ඒවා කලාප කාර්යාලයේ ලිපිකරුවන් ගේ ලිපි ගොනු තුල තවත් මාස හයක් හෝ එහා මෙහා යමින් පවතින අතර යම් වර්ෂයක වාර්ෂික වැටුප් වර්ධකය වැටුපට එකතු වන විට බොහෝ විට එය සිදු වන්නේ ඊළඟ වර්ෂයේදී ය. එසේ නම් ඩිජිටල්කරණය පටන් ගත යුත්තේ කලාප අධ්‍යාපන කාර්යාලය තුළින් නොවේද? මා සේවය කරන පාසල අයත් වන කළුතර කලාප අධ්‍යාපන කාර්යාලයේ පරිගණක කීයක් සක්‍රීයව පවතී ද? මේවා පිළිබඳ වගකිව යුතු අධ්‍යාපන අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ කාර්යභාරය කවරක්ද? අධ්‍යාපනය තුළ ගැටළුවලට විසඳුම් සෙවීම ආරම්භ විය යුත්තේ මෙතැන් සිට නොවේද?
මීළඟට මා යොමුවන්නේ පාසල් අධ්‍යාපනයේ හිනිපෙත්ත වන අ.පො.ස. උසස් පෙළ විභාග කඩඉම සමත් දරුවන්ගේ ගැටලුව සම්බන්ධ යමක් පැවසීමටයි.පාසලකට ඇතුළුවන සෑම දරුවන් 100කින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන්නේ දරුවන් දෙදෙනකු හෝ තිදෙනකු පමණි. ඒ අනුව ද වාර්ෂිකව දරුවන් එක් ලක්ෂ විසි දාහක් එක්ලක්ෂ හතලිස් දාහක් පමණ (තුන් වරක් දක්වා පෙනී සිටීමට අවසර ලැබෙන නිසා) විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබන නමුත් 2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා සියලු විෂයය ක්ෂේත්‍ර වලින් ඇතුළත් කර ගැනෙනුයේ 41000 ක් පමණි. මේ අනුව වාර්ෂිකව අප රට තුළ ලක්ෂයකට අධික පිරිසක් උසස් අධ්‍යාපන වරම් අහිමි වීමකට ලක් වෙති. මොවුන් සඳහා මේ දක්වා පැවැති හා පවතින රජය ගෙන ඇති විකල්පයන් කවරේ ද යන්න පැහැදිලි නැත.
මේ දරුවන් අතරින් එක්තරා ප්‍රතිශතයක් ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව, නවසීලන්තය, එංගලන්තය, මැලේසියාව, රුසියාව, බෙලරූස්, චීනය හා ඉන්දියාව වැනි රටවල උසස් අධ්‍යාපන අවස්ථා සඳහා පිටත්ව යති. වර්තමානයේ මෙරට මුහුණ දී ඇති ඩොලර් හිඟය වැනි මූල්‍ය ගැටලු හමුවේ ඔවුන්ගේ වියදම් පියවා ගැනීමට නොහැකිව එම දරුවන් දරුණු අර්බුදයකට මුහුණ දී ඇත. රජයක් වශයෙන් මෙයට යම් විසඳුමක් වහා යෝජනා කළ යුතුය. මෙලෙස විදේශගත වූ බොහෝ අය ඇති-හැකි අය නොවේ. දෙමාපියන් දස අත ණය තුරුස් වී සිය දේපළ පවා උකස් කොට හෝ විකුණා දමා දරුවන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කළ උදවිය වේ. අද ඔවුන් ඉතාම අසරණ තත්ත්වයකට ඇද වැටී හමාරය.
මෙරටම වෙසෙමින් මෙරට පුද්ගලික අධ්‍යාපන ආයතන හා අර්ධ රාජ්‍ය ආයතන (SLIIT,KDU වැනි) ඔස්සේ සිය උසස් අධ්‍යාපන කටයුතු කර ගැනීමට උත්සාහ දරන කණ්ඩායමක් ද ඇත. උද්ධමනය හා මූල්‍ය අර්බුදය ඔවුන්ට ද තදින්ම දැනීමට පටන් ගෙන ඇත. ඒ නිසා මෙවැනි දෑ පිළිබඳව රාජ්‍ය නියාමනයක් වහාම ඇති කළ යුතුය.
පාඨමාලා ගාස්තු දිනෙන් දින ඉහළ යාම හා විවිධ නීති රීති වලට අනුගතවීමට සිදුවීමට සිසුන්ට සිදුව ඇති නිසා කොතරම් රාජ්‍ය බලය යෙදුව ද අද මෙවැනි උසස් අධ්‍යාපන ආයතන තුළට ඇතුළත්ව අධ්‍යාපනය ලැබීමට සමාජයේ වැඩි දරු පිරිසක් අකමැත්ත පළ කරනු දක්නට ලැබේ. එය එතරම් හොඳ ප්‍රවණතාවක් නොවේ.
රජයේ විශ්ව විද්‍යාල තුල පවතින පාඨමාලා සඳහා ද පහසුකම් සහිතව මීට වඩා වැඩි පිරිසක් බඳවා ගත හැක. උදාහරණයක් ලෙස 2019 වර්ෂයේ උසස් පෙළ විභාගය නිර්දේශ දෙකක් (නව/පැරණි) යටතේ පැවැති නිසා එම විභාග ප්‍රතිඵල මත වෛද්‍ය පීඨයට වැඩිපුර සිසුන් 100ක් හා ඉංජිනේරු පීඨයට වැඩිපුර සිසුන් 100ක් ලෙස බඳවා ගැනීම වැඩි කරන ලදි. නමුත් වෛද්‍ය සිසුන් යොමු කරන ලද්දේ කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට වන අතර ඉංජිනේරු සිසුන් මොරටුව විශ්වවිද්‍යාලයට යොමු කරන ලදී. සැලකිය යුතු පිරිසක් කොතලාවල අධ්‍යාපනය සඳහා යොමු වුව ද සමහරු එය ප්‍රතික්ෂේප කර ඇත.එමෙන්ම මොරටුව ඉංජිනේරු පීඨයේ ආචාර්ය මණ්ඩලය ද වැඩිපුර සිසුන් බඳවා ගත් බව පවසමින් ඊට එරෙහිව ගතානුගතික ලෙස වර්ජනයක නියැළුණි. එහි ප්‍රතිඵලය වූයේ 2020 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් සුදුසුකම් අඩු දරුවන් එලෙස වැඩිපුර බඳවාගැනීම මේ දක්වා සිදු කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අපොහොසත් වීමයි. මේ අනුව තවත් ඉතාම ඉහළ සුදුසුකම් ලැබූ ඉංජිනේරු විෂයධාරාවේ දරුවන් විශාල පිරිසකට විශ්වවිද්‍යාල අධ්‍යාපනය අහිමි වී ඇති අතර අඩුම තරමේ නිර්දේශ දෙකේ ගැටලුව අවසන් වනතුරු වත් මේ වසරේදී ද ඉහත බඳවා ගැනීම සිදු කළ යුතු බව ඉල්ලා සිසුන් හා දෙමාපියන් අධිකරණයට ගොස් ඇත.
මේ දක්වා පවතින වසංගත තත්වය හමුවේ යළි යළි උසස් පෙළ විභාග වලට පෙනී සිටීම ද අපහසු නිසා සිසුන් වැඩි සංඛ්‍යාවක් ඉතාම අසරණ තත්ත්වයකට පත්ව සිටි. එහෙත් ප්‍රතිඵල නැවත සමීක්ෂණ වලින් ද සැලකිය යුතු පිරිසගේ ප්‍රතිඵල වෙනස් නොවී ඇති පසුබිමක බඳවා ගැනීමේ සංඛ්‍යාව වැඩි කිරීමට යෝජිත විෂයධාරා සඳහා අලුතින් වැඩිපුර බඳවා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා අදාළ විශ්වවිද්‍යාල මගින් දක්වන්නේ ඉතාම ඇල්මැරුණු ප්‍රතිපත්තියකි. පාසල් අධ්‍යාපනයේ ඉහළම ඵලය වන උසස් අධ්‍යාපනයට යොමුවන ශිෂ්‍යයා සහ ඔහුගේ හෝ ඇයගේ දෙමව්පියන්ට සිදුව ඇත්තේ අධිකරණයට යාම පමණි.
මීට අමතරව පශ්චාත් කොරෝනා අවධියේ සිසුන් සඳහා පාසල් විවෘත වුවද ආර්ථික සාධක සාමාජීය ගැටලු මනෝවිද්‍යාත්මක ක්‍රියාදාම නිසා සිසුන්ගේ පාසල් පැමිණීම තවමත් පවතින්නේ දුර්වල අවධියක ය. තවමත් බොහෝ පාසල් වල 50% ක් ධාරිතාව මත සිසුන් කැඳවන නිසා එකම පාඩම එකම පන්තිය සඳහා කිහිප වරක් ඉගැන්වීමට ගුරුවරයාට සිදුවීම හේතුවෙන් වාර්ෂික සැලසුමට අනුව විෂයය නිර්දේශය විධිමත්ව ආවරණය කර ගැනීමේ ගැටළුවකට ගුරුවරු පත්ව ඇත. ඒ නිසා රටේ ආර්ථික අර්බුදය මෙන්ම අධ්‍යාපනය තුළ ද විවිධ අර්බුද මතු වෙමින් පවතින ඉතා අවදානම් සහිත අවස්ථාවකට අප රටේ අධ්‍යාපනය තල්ලු වෙමින් පවතින අතර මේවාට තීරණ ගැනීමට තමාට නොතේරෙන නිසා නොදුටු සේ සිටීම යහපත් යැයි සිතන බලධාරීන් සිටින තාක් කල් මේ රටට යහපතක් වේ යැයි තබන බලාපොරොත්තු බිඳ වැටෙමින් පවතී. මෙරට උසස් අධ්‍යාපනය කෙසේ සකස් විය යුතුද දැයි මීළඟ ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.