28.4 C
Colombo
Friday, June 20, 2025
spot_img

Subscribe

Date:

Share:

නිමක් නැති අලි – මිනිස් ගැටුම..

Related Articles

වන අලි ව්‍යාප්තිය

ශ්‍රී ලංකාවේ මානව – වන සත්ව ගැටුම් පිළිබඳව වර්තමානයේ දැඩි ලෙස සමාජ කතිකාවතක් නිර්මාණය වීම සඳහා බලපා ඇති ප්‍රධාන හේතු සාධකයක් වී ඇත්තේ පවතින වන සත්ව ගැටුම් ක්ෂේත්‍රයේ දැකගත හැකි වත්මන් ප්‍රවණතාවයයි. නමුත් අතීතයේ පටන් මේ දක්වා දෛනිකව සමාජ කතිකාවතට භාජනය වූ මාතෘකාවක් වන්නේ අලි – මිනිස් ගැටුමයි. එම නිසාම අලි – මිනිස් ගැටුම යනු ශ්‍රී ලංකාව තුළ කිසිදා වයස්ගතවන සහ කතිකාවතෙන් ඉවත්වන මාතෘකාවක් නොවන බව කීම වඩාත් සාධාරණ වේ. 

පෘථිවියේ ප්ලයෝසීන යුගයේ අලි ඇතුන් නිර්මාණය වූ බවට විශ්වාස කෙරෙන අතර එහෙයින් අලි ඇතුන් ද අපත් සමඟ කාලයත් සමග එකට ජීවත් වූ සත්ව කොට්ඨාශයක් බවට පිළිගත හැකිය. තවද මෙයින් වසර ලක්ෂ ගණනකට පෙර පෘථිවියේ වඳ වූ බොහෝ සත්ව වර්ග සේම අලි ඇතුන් ද වඳ වී යෑමේ තර්ජනයට ලක් වූ සත්ව කොට්ඨාසයක් ලෙස සැළකේ. අලියා යනු දැනට මිහිමත ජීවත්වන විශාලතම ශාක භක්ෂක සත්වයා වන අතර එම සත්වයා ජීව විශේෂ දෙකක් වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ පෙන්වා දිය හැකිය. එනම් අප්‍රිකානු අලියා සහ ආසියානු අලියා වශයෙනි.

අප්‍රිකානු මහද්වීපයට අයත් රටවල වනාන්තර ආශ්‍රිතව අප්‍රිකානු අලින් ව්‍යාප්ත වී ඇති අතර ආසියානු අලියා ආසියාවේ රටවල් 13 කට සීමා වී ඇත. ආසියානු අලි ගහනය  40000 කට අධික නොවන බව පර්යේෂකයන්ගේ අදහස වේ.  චීනය, ඉන්දියාව, මියන්මාරය, ලාඕසය, ශ්‍රී ලංකාව වැනි රටවල සහ සුමාත්‍රා බෝර්නියෝ වැනි දූපත් ආශ්‍රිතව ද ආසියානු අලින් ව්‍යාප්තව ඇති අතර මින් වැඩිම ආසියානු අලි ගහනයකට ඉන්දියාව හිමිකම් කීව ද වැඩිම වන අලි ගහන ඝණත්වයකට හිමිකම් කියනුයේ ශ්‍රී ලංකාවයි. Elephas maximus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ වාසය කරන අලි විශේෂය ආසියානු අලි විශේෂයට අයත් උප විශේෂ හතරෙන් එකකි. ආසියානු අලියා අන්තරායට ලක් වූ සත්වයකු ලෙස ජාත්‍යන්තර රතු දත්ත පොතටද ඇතුළත් වී ඇත.

මෙරට අලි ගහණය පිළිබඳව අවසන් වරට සංගණනයක් සිදුකර ඇත්තේ 2011 වසරේ දී යි. එහි ප්‍රතිඵලයට අනුව මෙරට වෙසෙන අලි සංඛ්‍යාව 5879 කි. (හීලෑ අලි ඇතුන් මීට ඇතුලත් නොවේ). ආසියාකරයේ වැඩිම අලි ඝනත්වයක් සහිත රට ලෙස සැලකෙන්නේ ද ශ්‍රි ලංකාව යි. අප රටට වඩා හැට ගුණයකින් පමණ විශාල ඉන්දියාව තුළ ජීවත් වන්නේ අලි 30000ක පමණ සංඛ්‍යාවකි. චීනය තුළ සිටින අලි සංඛ්‍යාව 300 ක් බව හඳුනාගෙන තිබේ. මෙරට අලින්ගේ ව්‍යාප්තිය සලකන විට රටෙහි භූමි ප්‍රමාණයෙන් 2/3 පමණ ප්‍රදේශයක අලි වාසය කරයි. දිස්ත්‍රික්ක වශයෙන් ගත් කළ දිස්ත්‍රික්ක 18 ක් ආවරණය වේ.

මේ ත්ත්වය මත මෙරට අලි මිනිස් ගැටුම අද වන විට උග්‍ර මුහුණුවරකට පැමිණ තිබේ. අලි සහ මිනිසුන් අතර විරසක බව සම්බන්ධ මෙරට ඉතිහාසය 1950 දශකය දක්වා කාලයකට දිව යයි. මීට දශක කිහිපයකට පෙර ලෝක මිහිකත සමුළුවට ඉදිරිපත්කරන ලද පරිසරය හා සංවර්ධනය පිළිබඳ පුරවැසි වාර්තාවට ද අලි මිනිස් ගැටුම පිළිබඳව ඇතුළත්කර ඇත. සමස්ථ වශයෙන් ගත් කළ මෙරට අලි මිනිස් ගැටුමේ ඉතිහාසය දශක පහක් ඉක්මවයි. වාසස්ථාන විනාශය, වනාන්තර ඛණ්ඩනය, මාර්ග අවහිර කිරීම්, අනවසර අල්ලා ගැනීම්, අක්‍රමවත් සංවර්ධනය, තිරසර නොවන ඉඩම් භාවිතය, ආක්‍රමණික ශාක, දේශගුණික විපර්යාසය , රක්ෂිත වෙත කුණු බැහැර කිරීම් ආදිය ඇතුළත්ව බොහෝ හේතු සාධක මෙම ගැටළු පුළුල් වීමට මං පාදා තිබේ. වාර්ෂිකව වාර්තා වන මිනිස් මරණ සහ අලි මරණ සම්බන්ධව සලකා බැලීමෙන් දැනට ශ්‍රි ලංකාවේ පවතින අලි- මිනිස් ගැටුමෙහි උග්‍ර බව මනාව වටහාගත හැකියි (බණ්ඩාර, 2023).

පර්යේෂකයින් දක්වන ආකාරයට 1951 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ අලි ගහනය 1500 ක් පමණ වී ඇත. ඉන් පසුව 1969 දී 1600 – 2200 අතර සංක්‍යාවක් ද, 1978 දී 2000 – 2500 අතර සංක්‍යාවක් ද , 1990 දී 2700 – 3000 අතර සංක්‍යාවක් ද වී ඇත. මෙසේ ව්‍යාප්ත වී ඇති අප රටෙහි අලි ඇතුන් ප්‍රධාන වශයෙන් කුල 10 කට වර්ග කර ඇත.  එනම්

  1. කාලවක (ශරීරය කළු පැහැතිය, ඇස් දුඹුරු පැහැතිය, හොඬයේ මුළ පලල් ය) ,
  2. ගංගෙය (හිස විශාලය, පාද පළල් මෙන්ම වැඩි උසකින් යුක්තය, නිය විශාලය,      හොඬය දිගය),
  3. පන්දර (හිස දිගටි ස්වාභාවයකින් යුක්ත වන අතර පළල් ය, ශරීරය තද කළු පැහැයෙන් යුක්තය, හොඬයේ මුළ පලල් ය),
  4. තම්බර (සාමාන්‍ය ප්‍රමාණයේ හිසකි, දිග වලිගයක් ඇත, වේවැල් ආකාරයේ දළ යුගලයක් ඇත),
  5. පිංගල ( හිස විශාලය, ඇස් දිගුය, හොඬය ආරම්භයේ පලල් ය),
  6. ගන්ධ (හිස මෙන්ම හොඬය ද කුඩාය, දඟර සහිත වල්ගයක් හිමිය, රෝම සහිත ඝණ සමක් ඇත, වහා කිපෙන සුළුය) ,
  7. මංගල (හිස, පාද, කන්, නිය, ආදී සියල්ල විශාලය, වල්ගය බිම ස්පර්ශ කරයි, කරුණාබරය) ,
  8. හේමා (ශක්තිමත් දිගටි උල් හිසකි, ස්ථුල පාද සහ ශරීරයකින් යුක්තය, නිය රත් පැහැතිය),
  9. උපෝසත (මධ්‍යම ප්‍රමාණයෙව් හිසක් සහ කන් පිහිටයි, ශක්තිමත් දිගු පාද සහ හොඬයක් ඇත. ශරීරය ලා පැහැතිය),
  10. චද්දන්ත (දිගටි ඇස් සහ රන්වන් පැහැති ශරීරයකින් යුක්තය, දිගු පාද සහ හොඬයක් ඇත, ලිංගය හා වල්ගය පොළොව ස්පර්ශ කරයි)  ආදී වශයෙනි.

ලංකාවේ අලිමිනිස් ගැටුම

වර්තමාන ශ්‍රී  ලංකාව තුළ ගැටුම් රැසකි. ඒ අතර අලි – මිනිස් ගැටුමද වේ.  මේ ගැටුමෙන් වසරකට මරු දකින වන අලි ගණනද, මිනිසුන් ගණනද විශාලය. ඇත්ත වශයෙන්ම මේ ‘ගැටුම්’ ඛේදවාචකයකි. අලි – මිනිස් ගැටුමට ප්‍රධාන හේතුව අලි නිජභූමි මිනිසා විසින් ආක්‍රමණය කිරීමය.

රටක් සංවර්ධනය වීමේදී ඕනෑම රටක ජනාවාස ව්‍යාප්ත වී නිවාස, ගොඩබිම් හා කර්මාන්ත සඳහා වනබිම් එළි කෙරෙයි. වනාන්තර ආශ්‍රිත බිම් එළිවී සංවර්ධනය වීමෙන් ඕනෑම රටක  ‘වන අලි’ පමණක් නොව අනෙකුත් වන සතුන් පවා ආහාර සොයා ගම්වදිති.  ‘අලියා’ සංචාරයට කැමැති සත්ත්වයෙක් වන අතර අවධිමත් ජනාවාසකරණය හා සැලසුමකින් තොරව වනබිම් එළිපෙහෙළි කිරීම නිසා අලින්ගේ ගමනට බාධා පැමිණ ඇත. අලි – මිනිස් ගැටුමට මුල වනාන්තර එළිකිරීම සහ අවිධිමත් කාර්මීකරණය මිස අනෙකක් නොවේ.

වර්තමානය වන විට අලි – මිනිස් ගැටුම ශ්‍රී ලංකාව තුළ තවදු නිසි විසඳුමක් නොමැති අති විශාල ගැටළුවක් බවට පත්ව ඇති අතර සෑම වර්ෂයකම සමස්ථ ශ්‍රී ලංකාව පුරාවටම මිනිස් ජීවිත 100-150 ත් අතර ප්‍රමාණයක් අලින් විසින් මරණයට පත් කරයි. එමෙන්ම මිනිසුන් විසින් වර්ෂයකට අලින් 20 ක් පමණ ඝාතනය කරනු ලබයි.  ශ්‍රී ලංකාව ආසියානු අලි ගහන ඝණත්වය අතින්  ඉහළම රටක් ලෙස සැළකිය හැකි අතර අප රට තුළ ජනගහන ඝණත්වය ද ඉහළ බැවින් අලි – මිනිස් ගැටුමක් නිර්මාණය වීම ස්වාභාවිකය. දිනෙන් දින ඇතිවන ජන ඝහනයේ වර්ධනයත් සමග මෙම ගැටළුව ද දිනෙන් දින උග්‍ර වන බැවින් අලි – මිනිස් ගැටුම කළමණාකරණය කිරීම වර්තමානයේ මහත් අභියෝගයක් ගෙන දෙන කරුණක් වී ඇත. (PEMADASA, 2023). 

අලි – මිනිස් ගැටුම විසඳීම සඳහා අප වසර 64ක් තිස්සේ රුපියල් බිලියන ගණනක් වැය කරමින් විවිධ උත්සාහයන් ගත්ත ද මේ දක්වා මිය යන මිනිසුන්ගේ සහ අලින්ගේ සංඛ්‍යාව අඩු කර ගැනීමට නොහැකි වී තිබෙන්නේ ඇයි? (කුමාර, 2023) ඇත්තටම අලි – මිනිස් ගැටුම උග්‍ර වී ඇත්තේ මිනිසුන් අලි – ඇතුන්ට ආදරේ නැතිවීම නිසාම නොවේ.  ඔවුහු අලි -ඇතුන්ගේ  වටිනාකම දනිති.  එහෙත් සිය ජීවිතය වන් ‘වගාව‘, ‘නිවෙස’ වන අලි විසින්  විනාශ කිරීම කිසිසේත් ඔවුන්ට දරාගත නොහැකිය.  මේ ප්‍රශ්නය  නාගරික හෝ  වනාන්තරයට දුරස්ථව ඇති ගම්වල ජනතාවට නැත. එමනිසා වනයට මායිම්ව ඇති ගම්මානවල ජනතාවට මිස ඉන් දුරස්ථව සිටින්නන්ට මේ ප්‍රශ්නයේ ඇති බරපතලකම තේරුම් ගැනීම අපහසුය.

වල් අලි පහරදීමෙන් ජීවිත හානි සිදු වූ විට, දේපොළ හානි වූ විට ඔවුහු වියරු වෙති.  ඒ, අසරණකම නිසාය. ඔවුන්ගේ පැත්තෙන් බලන විට එහි අසාධාරණයක් නැත. අලියාට වඩා ඔවුන්ට සිය ආදරණීයයන්ගේ ජීවිතය වටින්නේය.  වැටී සිටින්නට ඇති ‘නිවාස’ වටින්නේය.  මුළු සේසතම වැය කළ ‘වගාව‘ වටින්නේය. රැකිය යුත්තේ මිනිස් ජීවිතයද? අලියාගේ ජීවිතයද? යන්න උභතෝකෝටිකයකි.

අලි – මිනිස්  ගැටුම නිසා පමණක් නොව අපේ අලි සම්පත දුම්රියේ ගැටීමෙන් විනාශ වෙයි. මෑතකදී එක් දිනකදී අලි හය දෙනෙක් මරු දැක්කේ දෙතැනකදී  දුම්රියේ ගැටීමෙනි.  දුම්රියේ  ගැටීමෙන් වාර්ෂිකව මියයන අලි ඇතුන් ගණන සාමාන්‍යයෙන්  15 -20 ත් අතර වේ. අලි – මිනිස් ගැටුමේදී මියයන අලි සංඛ්‍යාවට අනුව මෙය සුළු ගණනක් වුවද මේ මරණ ගණනද වළක්වාගත යුතුව ඇත (Mawbima, 2023).

දිනෙන් දින ඉහළ යන වන අලි මරණ

අලි – මිනිස් ගැටුම නිසා වසරකට ලෝකයේ වැඩිම අලි සංඛ්‍යාවක් මිය යන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. මිනිසුන් මිය යන රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවැනි වන්නේ ද ඉන්දියාවට පමණි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ අලි – මිනිස් ගැටුම නිසා අලින්ගේ සහ මිනිසුන්ගේ වැඩිම ජිවිත සංඛ්‍යාවක් අහිමි වූ වර්ෂය ගෙවුණු 2022 වසර වේ.

2021 වසරේ දී පමණක් මේ නිසා අහිමි වූ ජීවිත ගණන 142 කි. 2022 දී එය 146 දක්වා වැඩි වී තිබේ. 2021 දී අලි 375 දෙනෙකුගේ ජීවිත අහිමි වූ අතර 2022 දී එම සංඛ්‍යාව 439 ක්. වෙඩි තැබීම්, විදුලි රැහැන් ඇදීම්, වස ශරීරගත වීමට සැලැස්වීම්, හක්කපටස් , ඇණ ලෑලි තැබීම්, මදු ගැසීම්, අනතුරු ආදී විවිධ හේතු නිසා අලින්ට සිය ජීවිත අහිමි වේ. එමෙන්ම සිය නිදහස් ජීවන රටාව අහිමි වන අලි ඇතුන්ගෙන් මිනිසාට සිදුවන හානිය සුළුපටු නැත (බණ්ඩාර, 2023).

ඉන් 35 වෙඩි තැබීම නිසාත්, 25ක් විදුලිසැර වැදීම නිසාත්, හක්ක පටස් නිසා වන අලි මරණ 30ක් , දුම්රිය අනතුරු නිසා 06ක්, මාර්ග අනතුරු නිසා මරණ 02ක්, දියේ ගිලීම නිසා මරණ 10ක්, වගා ලිංවලට ඇද වැටීම නිසා මරණ 06ක්, අනතුරු නිසා මරණ 03ක්, වනයේ මියගොස් නරක් වූ සිරුරු 29ක්, දිරාපත් වූ සිරුරු 12ක්, පණු ආසාදන නිසා මරණ 02ක් සහා වෙනත් හේතු නිසා මරණ 98ක් ද වාර්තා වී ඇත.

වනඅලි ගහණය විශාල වශයෙන් වැඩි වී නැතත් අලි – මිනිස් ගැටුම හේතුවෙන් අහිමි වන වන අලින් නිසා යම් දිනෙක වන අලි සම්පත අපේ රටෙන් තුරන්වීමට ඉඩකඩක් පවතින අතර එමනිසා වන අලින් තවදුරටත් ආරක්ෂිත වනසත්ව ලැයිස්තුවේ සිටිය යුතු බවත්, විදුලි සැර වද්දා වන අලින් ඝාතනය කිරීම මේ වනවිට ඉහළ ගොස් තිබේ. වනජීවි සංඛ්‍යාලේඛන අනුව විදුලි සැර වැද්දීම නිසා 2015 වන අලි මරණ 17ක්, 2016 දී 26ක්, 2017 දී 24ක්, 2018 දී 38ක්, 2019 දී 51ක්, 2020 දී 30ක් හා 2021 දී වන අලි මරණ 66ක් ද වශයෙන් වාර්තා විණි.

විශේෂයෙන් පසුගිය කාලය තුළ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා දීමේ දී වනසතුන්ට අයත් ඉඩම් කිසිදු සොයා බැලීමකින් තොරව ලබා දීම නිසා වන අලින්ගේ නිජබිම් අහිමිවීම වන අලි – මිනිස් ගැටුමට හේතුවී ඇති බැවින්  ඉදිරියේ දී සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා දෙන්නේ නම් වන අලි හා වෙනත් දුර්ලභ සතුන් ගැවසෙන වනාන්තර ආශ්‍රිත ඉඩම් සම්බන්ධව දැඩි තීන්දු තීරණ ගත යුතුව ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශය කරුණු දක්වා ඇත (BBC, 2022).

කෙසේ වෙතත් දිනෙන් දින අපිට අහිමිව යන මේ වන අලි සම්පත රැකගැනීම අප සතු යුතුකමක් හා වගකීමක් වන්නේය. රක්ෂිත වනාන්තර එලි පෙහෙළි කිරීම, වනාන්තර එළි කර නව ව්‍යාපෘති සඳහා යොදා ගැනීම, වැනි මිනිසුන්ගේ අකටයුතුකම් මන්ම අදුරදර්ශී ක්‍රියාවන් නිසා වන අලින්ට පමණක් නොව අනෙකුත් සත සිව්පාවන්ට පවා ඔවුන්ගේ වාසස්ථාන අහිමිව යෑමේ තර්ජනයකට මුහුණ පෑමට සිදුවී තිබේ. සතුන්ට අවශ්‍ය කෑම බීම සොයාගැනීමට නොහැකිව ඔවුන් දැඩි අපහසුතාවන්ට මුහුණ පාන අතර කෙසේ හෝ බඩකට පුරවා ගැනීමට ඔවුන් ගම්මාන වලට පැමිණීම සිදු කරයි.

ඔබ අප හොදාකාරවම දන්නා පරිදි සතුන්ට යම්තරමක බුද්ධියක් පිහිටා තිබුණද හොඳ නරක වෙන්කර හඳුනා ගැනීමට ඔවුන්ට හැකියාවක් නැත. එබැවින් මනසින් උසස් සත්ත්ව කොට්ටාශයක් හැටියට අපි මිනිසුන් වශයෙන් මීට වඩා බුද්ධිමත්ව සැළසුම් සහගතව කටයුතු කරන්නේ නම් අපට අපගේ ජිවිත මෙන්ම වන සම්පතද රැක ගැනීමට හැකිවනු ඇති බව මගේ විශ්වාසයයි.     

මූලාශ්‍ර

BBC. (2022). ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම: වගා හානි කරන වනසත්ව ලැයිස්තුවෙන් අලියා ඉවත් කළ පමණින් අලි-මිනිස් ගැටුමට විසඳුමක් ලැබෙයිද? Bbc.Com. https://www.bbc.com/sinhala/sri-lanka-63086239

Mawbima. (2023). අලි – මිනිස් ගැටුමට විසඳුම ඇත්තේ මහ පොළොවේය. Mawbima.Lk. https://mawbima.lk/2023/11/07/අලි-මිනිස්-ගැටුමට-විසඳුම-2/

PEMADASA, C. L. (2023). ශ්‍රී ලංකාවේ අලි – මිනිස් ගැටුම සහ නූතන විසඳුම්. PEAK. https://getpeakonline.com/elephants-in-sri-lanka-human-conflict-and-modern-solutions/

කුමාරෂර්ලි උපුල්. (2023). අලි මිනිස් ගැටුමේ සැඟවුණු කතාව :’මමයි, අම්මයි, තාත්තායි හැමදාම ඉන්නේ ගස් උඩ’. BBC NEWS Sinhala. https://www.bbc.com/sinhala/sri-lanka-65873632

බණ්ඩාරෂෙල්ටන්. (2023). අලි මිනිස් ගැටුම මැඩීමේ තිරසර මුහුණුවර. Sinhala News. https://sinhala.news.lk/fetures/item/53435-2023-07-11-05-16-51

Diluka Bandara
Diluka Bandara
senior student, Rajarata university of Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles