
මම අවුරුදු පහළොවේ දී, දහඅටේ කෙනෙක් එක්ක පැනල ගිහින් වාකරේ ජීවත් වුනා. අපේ තාත්තා අපට ගෙදර එන්න කිව්වා. අම්ම සවුදි ගිහින් පස්සේ වෙන කෙනෙක් එක්ක විවාහ වෙලා.’
“දැන් මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා, එදා ගත්ත තීරණය ගැන දැන් දුකයි. මගේ නිදහස නැති වුනා, මගෙත් එක්ක ඉස්කෝලේ ගිය අය තාම ඉගෙන ගන්නවා.”
මේ 2013 වසරේ දී මඩකලපු ප්‍රදේශයේ තරුණ මවකගේ ප්‍රකාශයකි. ඒ අතර 2005 දී විවාහ වන විට තමන්ගේ වයස අවුරුදු දා හතරක් බව තවත් මවක් අදහස් දක්වා තිබේ. ශ්‍රී ලංකාවේ බාල වයස්කාර විවාහ ඉහල නඟිමින් පවතින බවත් බාල වයසින් පාසල් හැර යන ළමුන් සංඛ්‍යාව හා ළමා විවාහ අතර ඍජු සබඳතාවක් ඇති බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් ආයතනය කළ සමීක්ෂණ වාර්තාවකින් හෙළිදරව් වී ඇත. එහිදී හැත්තෑ එක් දෙනකු සම්බන්ධ කර ගනිමින් කළ අධ්‍යයනයේ දී 30% ක් වයස අවුරුදු 18 සම්පුර්ණ වීමට පෙර ගැබ් ගෙන තිබූ බවද යුනිසෙෆ් පර්යේෂණ වාර්තාව සඳහන් කරයි (BBC, 2013).
ළමා විවාහයක් යනු
ශ්‍රී ලංකාව තුළ වයස අවුරුදු 18ට අඩු සෑම පුරවැසියෙක්ම ළමයකු ලෙස පිළිගැනේ. ශ්‍රී ලංකාවේ විවාහ නීතිය අනුව අවුරුදු 18ට අඩු කෙනකුට නීත්‍යානුකූලව විවාහයක් කරගැනීමට හැකියාවක් නැත. අපේ රටේ විවාහ නීතියට අනුව විවාහයක් කරගත හැකි ක්‍රම තුනකි. එනම්, සාමාන්‍ය නීතියට යටත් අයගේ විවාහ, උඩරට නීතියට යටත් අයගේ විවාහ සහ මුස්ලිම් නීතියට යටත් අයගේ විවාහ වශයෙන්. මුස්ලිම් අයට හැරුණු විට අනෙක් අයගේ විවාහ අවුරුදු 18ට අඩු අයට සිදුකළ නොහැකි අතර ළමා විවාහයක් යනුවෙන් පිළිගැනෙන්නේ අවුරුදු 18ට අඩු පාර්ශ්ව විසින් සිදුකරන්නා වූ විවාහයන් වේ.
සාමාන්‍ය විවාහ ආඥා පනතේ 1995 අංක 18 දරන සංශෝධන පනතින් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම අදාළ වන පරිදි විවාහ අවම වයස අවුරුදු 18 බව දක්වයි. විවාහ වයස් සිමාව අවුරුදු 18 ලෙස නීතිගත කරන ලද්දේ 1995 දී ය. ඊට පෙර අවුරුදු 12ට වැඩි ගැහැනු අයකුටත්, අවුරුදු 14ට වැඩි පිරිමි අයකුටත් මවුපියන්ගේ කැමැත්ත ඇතිව විවාහ වීමේ හැකියාව තිබිණ. අතීතයේ වයෝපූර්ණත්ව අවදිය ලෙස සැලකුවේ වයස අවුරුදු 21 සපිරූ පසු කාල සීමාවයි. එනම් වැඩිහිටියකු බවට පත්වීම, ඡන්ද අයිතිය හිමිවීම වැනි කරුණු සම්පූර්ණ වීමයි. අවුරුදු 21ට වැඩි අයට තමන්ගේ කැමැත්ත තිබේනම් විවාහයක් කර ගැනීමේ හැකියාව තිබු නමුත් 1995 න් පසු අවුරුදු 18 සම්පූර්ණ වනතුරු කිසිම හේතුවක් මත නීත්‍යානුකූල විවාහයක් කර ගැනීමේ හැකියාවක් නැත. කෙසේ වුවත් මුස්ලිම් නීතියට අනුව නම්, අවුරුදු දොළහට වැඩි අයට මවුපියන්ගේ කැමැත්ත මත විවාහ වීමේ හැකියාව පවතින අතර අවුරුදු දොළහට අඩු අයටත් ප්‍රදේශයේ කාතිවරයාගේ අවසර ඇතිව විවාහ වීමට අවස්ථාව ලැබේ. නමුත් එවැනි විවාහ තුළ පුරුෂ පාර්ශ්වයේ වයස් සීමාවන් පිළිබද කිසිදු බලපෑමක් නැත (රණවීර, 2015). ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2022 දත්ත අනුව මෙරට 1,62,628 ක් 2021 වසරේ නීත්‍යනුකූල විවාහ වී ඇති අතර ඒ අතරින් සාමාන්‍ය නීතිය යටතේ 139,015 ක්ද උඩරට නීතිය යටතේ 127ක්ද, මුස්ලිම් නීතිය යටතේ 23,486ක්ද වෙති. උතුරුමැද පළාතේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක දත්ත අනුව බාල වයස් විවාහ 2016 වසරේ 37ක්, 2017 වසරේදී 26ක්, 2018දී 29ක්, 2019දී 32ක්, 2020දී 17ක්, 2021දී 23ක් සහ 2022දී මේ දක්වා සිද්ධීන් 7ක් වාර්තා වී ඇත (ගිම්හාන, 2022).

ළමා විවාහ සංඛ්‍යාව ඉහළ යන්නේ ඇයි?
ශ්‍රී ලංකාවේ පවතින ප්‍රශ්න අතරින් එක් ප්‍රධාන ගැටඵවක් ලෙස අඩු වයස් විවාහ හා අඩු වයසින් ගර්භනී තත්වයට පත්වීම දක්නට ලැබේ. 2016 වසරේ ජන විකාශන සෞඛ්‍ය සමීක්ෂණයට (Demographic Health Survey) අනුව ලංකාවේ අඩු වයස් ගර්භණී තත්ත්වය 4.6% ක් බවට ප්‍රකාශයට පත් කර ඇත. ගම්වලට සාපේක්ෂව වතු ආශ්‍රිතව මෙම ගැටඵව බහුලව දක්නට ලැබෙන අතර අඩු අධ්‍යාපනය, නිසි මාපිය රැකවරණයක් නොමැතිකම, රැකවරණයක් නොමැතිකම සමඟ දෙමව්පියන් දෙදෙනාම රැකියාවන් වල නිරත වීම වැනි හේතු බලපානු ලබයි. පාසල් යන වයසේ පසුවන ළමුන් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ආසන්න වන විට පාසල් ගමන නවතා දමා පවුලේ බාල සහෝදරයන් රැකබලා ගැනීමට හෝ කුලී වැඩවල නිරත වීමට යොමු වන අතර දෙමව්පියන්ගේ සෙනෙහස නොලැබෙන නිසා වෙනත් අයෙකුගේ සෙනෙහස සොයා යන අතර ඉන් පසුව ඔහු සමග විවාහ වීමට හෝ එකට ජීවත්වීමට පෙළඹේ. ස්වාමිපුරුෂයාටද ස්ථීර රැකියාවක් නොමැති අතර දෛනික වැටුපට කුලී පදනමට වතු ආශ්‍රිතව සේවයේ නිරත වන ඔවුන් මත්පැන් භාවිතය සදහා යොමු වී සිටිනු දක්නට ලැබේ. එසේම ආර්ථික ගැටඵ මත පවුල් ආරවුල් නිතර දක්නට ලැබේ. මෙවැනි හේතුන් රාශියක් හමුවේ ගර්භනී වන මෙම අඩු වයසේ ගැහැණු දරුවන් බිහි කරනු ලබන ළමුන් බහුතරයක් මන්දපෝෂණය තත්වයෙන් හෝ වෙනත් ආබාධතා සහිත දරුවන් ලෙස බිහි වෙයි (කාන්තා-සවිය, n.d.).
රටේ පවතින අයහපත් ආර්ථිකය හේතුවෙන් දේපළවලට පමණක් නොව පවුල් කුටුම්භ පවා දෙදරීමට ලක්වන ආකාරය ඛේදජනකය. මවුපියන් තම දරු දැරියන් අඩු වයසින් විවාහ කර දී බර හෑල්ලු කරගැනීමට කල්පනා කරනුයේ එහි අතුරු ඵලයක් ලෙසය. දරුවන් කිහිපදෙනකු සිටින පවුලකට ජීවත් වීමේ අපහසුතාව හේතුවෙන් නිවෙසේ වැඩිමල් දරුවන් මෙලෙස දීග දෙන්නට මවුපියෝ කල්පනා කරති.
ළමා විවාහවලට හේතු අතර මවුපියන්ගේ දුප්පත්කම ප්‍රධාන කාරණයක්. දරිද්‍රතාව නිසා වැඩිදුර අධ්‍යාපනයක් ලබාදීමට නොහැකි වීමත්, එක ම විසැඳුම විවාහයක් කරදීම බව මවුපියන් සිතීමත්, නිසා දරුවන්ට අඩු වයස්වල දී විවාහ වීමට සිදුවී තිබෙනවා. උතුරු – නැඟෙනහිර යුද්ධය පැවැති සමයේ එල්.ටී.ටී.ඊ.ය තම දරුවන් යුද්ධයට රැගෙන යාවී යන බියෙන් ඉතාමත් අඩු වයස්වලදී දෙමාපියන් විසින් දරුවන්ව විවාහ කර දී තිබෙන අතීතයක් තිබුණි. අපේ සමාජයේ අඩු වයස් විවාහවලට තවත් ප්‍රධාන හේතුවක් තමයි ප්‍රේම සම්බන්ධතා පාසල් යන කාලයේදීම ගැළපෙන හෝ නොගැළපෙන ප්‍රේම සම්බන්ධතා ගොඩනගාගෙන විවිධ ගැටලු ඇති කර ගැනීම (රණවීර, 2015). මෙහිදී පැහැදිලි වන ප්‍රධානම දේ තමයි ළමයින්ගේ වගේම වැඩිහිටියන්ගේ නොදැනුවත්කම. මෙවැනි දේකින් ඔවුන්ගේ ජීවිතයට මුහුණ දීමට වන ප්‍රතිවිපාක මොනවාද කියලා ඔවුන් දැනුවත් බවින් තොරයි. ළමයින් පාසල් ප්‍රේම සම්බන්ධතාවල පැටලී ඉක්මන් තීරණ ගන්නවා. ඇතැම්විට පාසලේ ඇති විනය නීති හෝ මවුපියන්ගේ විරෝධතා නිසා ඔවුන් දෙමාපියන්ට හොර රහසේ පැන යනවා. ඇතැම් විට ගැබ් ගැනීම නිසාම මවුපියන්ට සිදුවෙනවා බලහත්කාරයෙන් හෝ තමන්ගේ දරුවන්ව විවාහ කර දීමට. මේ නොදැනුවත් බව නිසා සිදුවන අනෙක් බරපතළම ප්‍රශ්නය තමයි විවාහ වුණු ගමන්ම ගැබ් ගැනීම. පවුල් සෞඛ්‍ය ක්‍රම සහ විධිමත් ප්‍රජනන සෞඛ්‍ය ක්‍රම පිළිබඳ ඔවුන්ට දැනුවත් බවක් නෑ. මේ ප්‍රශ්නවලදී දැඩි බලපෑම් එල්ල වෙන්නේ ගැහැනු දරුවන්ට. මෙය හරිම ඛේදවාචකයක්. අඩු වයස් විවාහයක් නීත්‍යානුකූල විවාහයක් බවට පත් වීමට මේ කිසිම හේතුවක්, හේතුවක් කරගත නොහැකි අතර මේ නිසා මෙයින් ඇතිවන ප්‍රතිඵල භයානක වේ .
නුවරඑළිය, වලපනේ වතු ආශ්‍රිතව වෙසෙන පවුල්වලින් 2021 වසරේ බාල වයස් විවාහ 6ක් වාර්තා වී ඇති අතර මෙම වසරේ මේ දක්වා වාර්තා වී ඇත්තේ සිද්ධි 3ක් පමණක් බවත් පැවති තත්ත්වය මේ වනවිට යම්තාක් දුරකට උපදේශනය මගින් අවම කරගෙන ඇති බවත් ප්‍රකාශකයෙක් පවසා තිබේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල, වැලිකන්ද ආදී මුස්ලිම් ගම්මානවල සහ අම්පාර දිස්ත්‍රික්කයේත් කාතන්කුඩි ආදී මුස්ලිම් ගම්මානවල අඩු වයස් ළමා විවාහ බහුලව සිදුවුවද ඒවා මුස්ලිම් නීතිය යටතේ වරදක් නොවනුයේ ඔවුන්ගේ විවාහ වයස අවුරුදු 12 වීම නිසාය (ගිම්හාන, 2022).
ඒ අතරම අඩු වයස් විවාහ ඇති වීමට බලපා ඇති කාරණා අතර ග්‍රාමීය දුෂ්කර ගම්මානවල බොහෝ මවුපියන්ට දරුවන් පිළිබඳ සාම්ප්‍රදායික ජීවන වෘත්තියෙන් ඔබ්බට අනාගත ඉලක්ක නොතිබීම සහ අඩු වයස් විවාහ සම්බන්ධ ප්‍රශ්නය පුළුල්ව සලකා බැලීමේදී දැකගත හැකි බරපතළ ප්‍රශ්නයක් වනුයේ දුෂ්කර ගම්මානවල වෙසෙන බහුතරයක් පවුල් වෙසෙන නිවාසවල ඉඩකඩ සීමිත වී තිබීමයි. කොතෙක් දුෂ්කරතා තිබුණත් බොහෝ වතුකර ජනතාව ප්‍රජනන ක්‍රියාවලිය සීමා කිරීමක් නොකරන අතර එමගින් නිවස තුළ යැපෙන්නන් සංඛ්‍යාව ඉහළ යාම නිසා ආර්ථික දරිද්‍රතාවට මුහුණ දීමට සිදුවේ. එවැනි අවස්ථා වලදී ඔවුන් තමන්ගේ වැඩිමහල් දරුවන් අඩු වයසකින් හෝ විවාහ කර දී පවුලේ ආර්ථික මට්ටම දැරිය හැකි අයුරින් පවත්වාගෙන යාමට කටයුතු කරයි. එය ඇත්තෙන්ම දරුවන්ට කරන ඉතා අසාධාරණයකි. ඇතැම් දෙමාපියන්ගේ වැරදි වලට මෙලෙසින් අඩු වයසින්ම වන්දි ගෙවීමට සිදුවන්නේ දරුවන්ට යි. නමුත් සෑම පවුලක් තුළම මෙවැනි අකටයුතුකම් සිදු නොවේ. පුළුවන් හැකි උපරිමයෙන් තම දරුවන්ට අවශ්‍ය අධ්‍යාපනය සෞඛ්‍ය ආරක්ෂාව සහ පැවැත්ම ලබා දීමට දිවා රෑ නොබලා කටයුතු කරන දෙමාපියන් සිටීමද ඇත්තෙන්ම වාසනාවකි. එලෙසම අප දන්නා පරිදි වතුකරයේ දුෂ්කර දිවි ගෙවන පවුල් වලින් ඉහළ සාමාර්ථ ලබා ගනිමින් අධ්‍යාපනික කඩඉම් සාර්ථකව ජය ගන්නා දුවාදරුවන් පිළිබඳවද නිතර පුවත් වාර්තා වේ. කෙසේ වෙතත් වතුකර ජිවන තත්වය පිලිබඳ එකිනෙකට පරස්පර විරෝධී අදහස් පවතින අතර සමස්ථයක් ලෙස ඇතැම් මව්පියන් දුරදිග නොබලා සිදුකරන ජිවන ක්‍රියාකාරකම් නිසා අපහසුතාවන්ට පත්වන දරුවන් සුළුකොට තැකිය නොහැකි ප්‍රශ්නයක් වී තිබීම කණගාටුදායක තත්වයකි.
වර්තමානයේ බහුතරයක් බොහෝ පාසල් යන වයසේ පසුවන ළමයින් කටයුතු කරනුයේ ඉතාමත් අදූරදර්ශිවය. කිසිදු දෙයක බරක් පතලක් ඔවුන් තකන්නේ නැත. කොටින්ම කිවහොත් වැඩිහිටියෙකුට උපදෙසක් දීමටවත් නොහැකි තරමට අද ළමා සමාජය කෘර වී තිබේ. මව්පියන්ගේ උපදෙසක් පිලිපැදීමටවත් ඔවුන් කටයුතු නොකරයි. තම දෙමාපියන්ට පවා බොරු කරමින් ඔවුන් ඔවුන්ගේ නිදහස අයුතු ලෙස පරිහරණය කරමින් තම ජිවිතයේ පවතින වටිනාකම පිළබඳ නොතකමින් ඉතා අනුවණ ලෙස ක්‍රියා කරන ආකාරය අපට ඕනෑතරම් සමාජයෙන් අසන්නට දකින්නට ලැබේ. මෙයට ප්‍රධානම හේතුවක් වී තිබෙනුයේ ගුරුවරුන් මෙන්ම වැඩිහිටියන් ලිංගික අධ්‍යාපනය ඔවුන්ගෙන් වසන් කිරීමයි. එම නිසා ඔවුන්ගෙන් වසන් කරන මෙම ක්‍රියාවලිය පිළිබඳව ළමයින් ස්වයං අධ්‍යනය කරමින් රහසිගතව හෝ අත්හදා බැලීම් කිරීමට පෙළඹෙනවා. එහි අතුරු ප්‍රතිපල වනුයේ නොදැනුවත්කමින් සිදුකරන ක්‍රියාකාරකම් නිසා ළමා ගැබ් ගැනීම් ප්‍රමාණය ඉහළ යාමයි. ඒ පිළිබඳව නිවැරදි අධ්‍යාපනයක් මඟ පෙන්වීමක් ඔවුන්ට ලබා දීමට කටයුතු කරන්නේ නම් මේ තත්වය යම්තාක් දුරකට හෝ පාලනය කරගැනීමට හැකියාව ලැබේ. ලිංගික කාර්යයේ බරපතලකම මෙන්ම දියණියක් මවක් බවට පත්වීමෙන් ඔවුන්ට මුහුණ පෑමට සිදුවන විවිධ අභියෝගාත්මක තත්වයන් සහ ශාරීරික මානසික වශයෙන් ඒ සඳහා සූදානම් වීම යන කරුණු පිළිබඳව දරුවන්ව මීට වඩා හොදට දැනුවත් කළ යුතු බව මාගේ විශ්වාසයයි.

අඩු වයස් විවාහයේ බලපෑම
ප්‍රධාන වශයෙන් වන බලපෑම නම් ඔවුන්ට උපදින දරුවන් සුජාත නොවීම නිසාවෙන් ඔවුන් සමාජයෙන් කොන් වීම. සමාජීය වශයෙන් වගේම, නෛතික වශයෙන් දෙපැත්තකින් එවැනි දරුවන් පීඩාවට පත් වීම පමණක් නොව දෙපාර්ශවයේම අන්‍යෝන්‍ය වශයෙන් ලබාගත හැකි අයිතිවාසිකම් අහිමි වීම සහ යම් ප්‍රශ්නයකදි නඩත්තු ලබාගැනීමට පවා නොහැකි වේ. මේ ළමා විවාහ නිසා ඔවුන්ට ඇතිවිය හැකි බරපතළ තත්ත්වයක් නම් සමාජීය සහ සෞඛ්‍යමය ගැටලු ඇතිවීම. අඩු වයසින් විවාහ වීම යනු ඒ ළමයින්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අඩාල වීමයි. එවිට ඔවුන්ගේ පෞරුෂත්වය ගොඩනඟා ගැනීම අපහසු වෙනවා මෙන්ම ඔවුන්ගේම වරදින් සමාජයෙන් වෙන්වුණු ජීවිතයක් ගත කිරීමටද සිදුවේ. අඩු වයසින් විවාහ වන දරුවන් අඩු වයසින් ගෘහණියක් බවට පත් වීම නිසා සෞඛ්‍යමය ගැටලු වලට මුහුණ දීමට සිදුවේ. එමෙන්ම ලිංගික කටයුතුවලට ශාරිරික සූදානමක් නොමැතිවනවා වගේම, ගෘහණියක් වීමටත් ශාරිරික හා මානසික සූදානමක් නොමැතිකමින් දරු උපතකදී විවිධ රෝගී තත්ත්වයන්ට පවා ගොදුරු වේ. වැඩිහිටියන්ගේ අනුදැනුමකින් තොරව හිතුමතේට සිදුකරගන්නා ඇතැම් විවාහයන් නිසා තම පවුලෙන් පවා දුරස් වීමට සිදුවීමෙන් ඊට අවශ්‍ය පෝෂණය, රැකවරණය අහිමි වේ. දරු ප්‍රසූතියකට ශරීරය නිසි අයුරින් වැඩීම අත්‍යවශ්‍ය කරුණකි. මේ නිසා මානසික වශයෙන් දරුවකු වශයෙන් ගත කළ යුතු කාලය ඇය ගත කරන්නේ මවක් වශයෙන්. ළමා කාලය අහිමි කරගැනීම සහ තමන් ගත් තීරණය ගැන යම්කිසි දවසකදී ඔවුන් පසුතැවුණත්, ඔවුන්ට කාලය ආපසු හැරවිය නොහැක. මේ අතර තවත් සමහරුන් තමන්ගේම කැමැත්තෙන් මෙන්ම තම පවුලේ උදවියගේ කැමැත්තෙන්ම යුග දිවියට පා තබනවා. ඔවුන්ට බලපාන විවිධ හේතු මත විවාහයට කැමැත්ත දෙන්න පුළුවන්. ඒත් ප්‍රශ්නය මෙය දැනුවත් බවකින් ලබාදෙන කැමැත්තක්ද යන්න පිළිබඳයි. දේශීය නීතිය තුළත්, ජාත්‍යන්තර නීතිය තුළත් පිළිගැනෙන්නේ තීරණ ගැනීමේ හැකියාව පුද්ගලයකුට ඇතිවන්නේ වයස අවුරුදු දහඅටක් සම්පූර්ණ වූණාට පසුව බවයි. ඒ ශක්තිය නැතිව ගන්නා කැමැත්ත හැඟීම්වලට වහල් වී හෝ වෙනත් බලපෑමක් නිසා ගන්නා තීරණයක් විය හැකියි. එය දැනුවත් කැමැත්තක් නෙමෙයි. විශේෂයෙන් විවාහයක් පිළිබඳ තීරණයක් ගත යුත්තේ ඉතාමත් කල්පනාකාරීව. මොකද එය ජීවිත කාලයටම බලපාන දෙයක්.
අවුරුදු දහ අටට අඩු දරුවකුට පුළුවන්ද මෙවැනි බරපතළ තීරණයකට එළැඹෙන්න. දුරදිග නොබලා ගන්නා මේ හදිසි තීරණ නිසා ළමා කාලයේ ඔවුන්ට ලැබිය යුතු අයිතිවාසිකම් ගණනාවක් අහිමි වීමට බලපෑමක් වන අතර ඉන් ප්‍රධාන වශයෙන් ම අහිමි වන්නේ ඔවුන්ගේ අධ්‍යාපනය, සමාජීය හා සංස්කෘතික සංවර්ධනයට ඇති අයිතිවාසිකම්ය. දරුවකු වශයෙන් රැකවරණය, ආදරය ලැබීමේ අයිතිවාසිකම ඔවුන්ට හිමිවෙන්නේ නැහැ. ඒ වගේම ළමා වයසේදී හොඳ පෝෂණයක් අවශ්‍යයි. විවාහයට පත්වුණාම එයත් අහිමි වෙනවා. ඇත්තෙන්ම පියෙක් මෙන් තමාව සුරැකිව බලාකියා ගන්නා ස්වාමියෙක් ලබා ගැනීමටත් ගැහැණු දරුවෙක්ට වාසනාවක් තිබිය යුතු ය. පියෙකුගේ වගකීම කුමක්ද යන්න හොද හැටි අවබෝධ කරගෙන කටයුතු කරන්නට තරම් වගකීමක් දැරිය හැකි වීමට නම් පිරිමි ළමයෙකු වුවත් වයසින් තරමක් මුහුකුරා යා යුතු ය. පිරිමි ළමයෙකුට වගකිම් සහගත පියෙක් වීමට නම් බොහෝ පාඩම් සමාජය සහ තම පවුල තුලින් ඉගෙන ගනිමින් අත්දැකීම් සහ වගකීම් දැරිය හැකි පුද්ගලයෙකු ලෙස තම පෞරුෂත්වය ගොඩනගා ගත යුතුය. ඉතින් එවැනි පුද්ගලයෙකු වීමටත් ඔවුන් අධ්‍යාපනික වශයෙන් පොහොසත් වී යමක් දෙස කල්පනාකාරීව බලා බුද්ධිමත් තීරණ ගැනීමට හැකි මට්ටමට සංවර්ධනය විය යුතුය.. ඉතින් ඔබම සිතා බලන්න, වයස අවුරුදු 18 ක් හෝ ඊට අඩු වයසක පසුවන දරුවන්ට මෙවැනි බරපතල වගකීම් සහගත තීරණ වලට එළඹීමට හෝ වගකීමක් දැරීමට තරම් කායික හා මානසික වශයෙන් ගැබ් ගැනීමකට හෝ තවත් ජිවයකට උපතක් දීමට ඔවුන් සූදානම් වී සිටින බව සිතිය කළ හැකිද?

ඕනෑම දෙයක් කිරීමට සුදුසු කාලයක් වෙලාවක් තිබෙන බව කවුරුත් පිළිගන්නා කරුණක්. ඉතින් මිනිස් ජිවිතයේ පවා අපට පසු කිරීමට විවිධ කාලසීමාවන් විවිධ අදියරයන් තිබෙන බව අප හොදින්ම දන්නවා. ළදරු, ළමා, යෞවන, වැඩිහිටි සහ මහළු ලෙස අපි අපේ ජිවිතයේ විවිධ අදියරයන් පසු කරගෙන යන මෙම ගමනේ එක් එක් අදියරයන් තුළ නිවැරදි ගමනක් යා යුතු වේ. එසේ නොමැතිව ළමා කාලයේදී වැඩිහිටි අදියරේ කටයුතු සිදුකරන්නට යාම නිසා ඔවුන්ට සිදුවන්නේ ඔවුන්ගේ ජිවිතයේ ගත කරන්නට හිමි වන සුන්දරම යෞවන අවධිය මගහැරී යාමයි. ජිවිතයේ විවිධ අත්දැකීම් එකතු කරගැනීමට ජීවිතය විදින්නට මෙන්ම ජීවිතය යනු කුමක්දැයි හරිහැටි අවබෝධ කරගැනීමට හැකි අවධිය තමයි යෞවන අවදිය ලෙස සලකන්නේ. නමුත් ළමා විවාහයන් සිදු කරගන්නා ඇතැම් අනුවණ ළමයින් මෙවැන්නක් තේරුම් ගන්නේ කෙසේද? අඩුම තරමින් ඔවුන් ඔවුන්ගේ අධ්‍යාපනයවත් නියමිත පරිදි සර්ව සම්පුර්ණ කරගෙනද? උපත දෙන දරුවාට හොද නරක කුමක්ද යන්න හරිහැටි තේරුම් කිරීමට තරම්වත් දැනීමක් ඔවුන්ට තිබෙනවද? ඇත්තෙන්ම සාක්ෂරතාව සහ විවාහ දිවිය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් ගොඩනැගී තිබෙන්නේද මේ පිළිබඳව නිවැරදි අවබෝධයක් දරුවන් තුළ නොමැති වීම නිසාය. කෙසේවුවත් ලංකාව තුළ පවතින අධ්‍යාපනික රටාව නිසා සාක්ෂරතාව සහ විවාහය අතර අනුලෝම සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම ඉතා අපහසු කරුණක් බව අකමැත්තෙන් වුවද පිළිගැනීමට සිදුවේ. නමුත් බුද්ධිමත්ව කටයුතු කරන්නන්ට එය එතරම් ප්‍රශ්ණයක්ද නොවේ. ඒ මන්ද කිවහොත් නිසි වයසට නිසි දේවල් ලබාගැනීමට නම් බුද්ධිමත්ව ඒ සඳහා තමන්ගේ මාවත සූදානම් කර ගැනීමේ අයිතිවාසිකම සහ ඒ සඳහා අවශ්‍ය මෙවලම් සියල්ලම තමා සතු ව පවතින බැවින් තමන්ගේ ජිවිතයට සිදුකරගන්නා හොද හෝ නරකට වගකිව යුත්තා තමන් ම වන බැවිනි.
මූලාශ්‍ර
BBC. (2013). ශ්‍රී ලංකාවේ බාල වයස්කාර විවාහ වැඩිවෙයි. BBC NEWS Sinhala. https://www.bbc.com/sinhala/sri_lanka/2013/09/130908_child_marriages
කාන්තා-සවිය. (n.d.). අඩු වයස් විවාහ හා ගර්භණීභාවය. https://youthadvocacynetworksl.wordpress.com/2020/11/14/අඩු-වයස්-විවාහ-හා-ගර්භණීභ/
ගිම්හානසසංක චලන. (2022). අවුරුදු 14 දැරියන් කසාද බන්දන ලංකාවේ අම්මලා. Deshaya.Lk. https://www.deshaya.lk/article/43/features/22062/අවුරුදු-14-දැරියන්-කසාද-බන්දන-ලංකාවේ-අම්මලා
රණවීරරසිකා. (2015). ළමා විවාහ බරපතළ සමාජ ප්‍රශ්නයක්. Dinamina.Lk. https://archives1.dinamina.lk/2015/07/13/විශේෂාංග/ළමා-විවාහ-බරපතළ-සමාජ-ප්‍රශ්නයක්