

නිදහස් අධ්‍යාපන සංකල්පය මූලික කොටගත් ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්‍රමය රාජ්‍ය සංවර්ධන අනුග්‍රහයන් සහිතව වර්තමානය වන විට වඩා හොඳ මට්ටමකට ළඟා වී ඇත. පසුගිය වසර 74 ක පමණ කාලය තුළ, මිලියන ගණනක් වූ වටිනා වෘත්තීයවේදීන් මෙම නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් ප්‍රතිලාභ ලබා ඇති අතර, ඔවුන් සැබවින්ම ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ ගුණාත්මක බව ලොවට හෙළි කරයි. කෙසේ වෙතත් මේ වනවිට මුළු ලෝකයම වෙනස් වෙමින් පවතින යුගයක, ශ්‍රී ලංකාවද සෑම විටම පහසුකම්, පද්ධති සහ තාක්ෂණයන් ඇතුළු මේ සෑම දෙයක් සමඟම සමාන්තරව ගමන් කිරීමට උත්සාහ කළ යුතුය. එවිට වත්මන් අධ්‍යාපන ක්‍රමයේ උසස් බව, ගුණාත්මක බව සහ හැකියාව තව තවත් වැඩිදියුණු වනු ඇත.
සහස්‍ර දෙකකට පමණ පෙර ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාව අධ්‍යාපනික විකාශනය පිළිබඳ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියනු ලබයි. ඉන්දියාවෙන් බුදුදහම පැමිණීමත් සමඟ බෞද්ධ විහාරස්ථානවල අධ්‍යාපන ක්‍රමය ස්ථාපිත වූ බවට විශ්වාස කරන අතර දහනවවන සියවසේදී ක්‍රිස්තියානි මිෂනාරිවරුන්ගේ ආගමනයත් සමඟ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය නවීන අධ්‍යාපන ක්‍රමය ස්ථාපිත කර ඇත. එකල අධ්‍යාපනය නොමිලයේ ලබා නොදුන් අතර වර්ෂ 1938 දී C.W.W කන්නන්ගර මහතා විසින් දිවයිනේ සියලුම දරුවන්ට විශිෂ්ට අධ්‍යාපනයක් ලබා දීම උදෙසා නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීමට පියවර ගත්තේය.
ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්‍රමයේ ගුණාත්මක බව තහවුරු කිරීම සඳහා නිදහස් අධ්‍යාපන වැඩසටහන වැඩි වැඩියෙන් සහාය වී ඇත. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සුවිශේෂි ස්ථානයකට ගෙන ඒම සඳහාද නිදහස් අධ්‍යාපන ක්‍රමය මහත් සේ ඉවහල් වී ඇති බවට සාක්ෂි ලෙස සාක්ෂරතා අනුපාතය, ස්ත්‍රී-පුරුෂ යන දෙපක්ෂය සඳහාම අධ්‍යාපනයේ ඇති සමානාත්මතාවය සහ පාසල් ලියාපදිංචි කිරීමේ අනුපාතය යනාදි කරුණු දැක්විය හැකිය. තවද නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ වයස අවුරුදු 5ත් 16ත් අතර සෑම දරුවෙකුටම නිදහස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය පවතී.
ඒ අනුව පහත දැක්වෙන පරිදි ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ව්‍යුහය මට්ටම් පහකට බෙදා ඇත.
- ප්‍රාථමික අධ්‍යාපනය (1 සිට 5 ශ්‍රේණි)
- කනිෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය (6 සිට 9 ශ්‍රේණි)
- ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය (10 සහ 11 ශ්‍රේණි)
- විද්‍යාලීය මට්ටම (12 සහ 13 ශ්‍රේණි)
- උසස් අධ්‍යාපනය
සියලුම දරුවන් අවම 9 ශ්‍රේණිය දක්වා වත් පාසල් පැමිණිය යුතු බවට රජයේ රෙගුලාසියක් පවතී. එලෙසම, අධ්‍යාපන අමාත්‍යාංශය තවමත් නිර්දේශ කරනු ලබන්නේ සියලුම සිසුන් සාමාන්‍ය පෙළ අධ්‍යාපන සහතිකය (G.C.E O/L) ලබා ගන්නා තුරු වත් සිය අධ්‍යයන කටයුතු කරගෙන යන ලෙසයි. නමුත් දුප්පත් ආර්ථිකය, ආහාර හිඟය, ඇඳුම් පැළඳුම්, ප්‍රවාහන පහසුකම්, පාසල් ද්‍රව්‍ය නොමැතිකම, සුදුසුකම් ලත් ගුරුවරුන් හිඟකම සහ ගැටුම් ඇති වූ ප්‍රදේශ යනාදි යම් යම් කරුණු හේතුවෙන් ඇතැම් සිසුන් හට 9 ශ්‍රේණිය හෝ අ.පො.ස. සාමාන්‍ය පෙළ තෙක් වත් තම අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇත. මේ නිසා ඔවුන් ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලැබූ, උගතුන් ලෙස නොපිළිගැනේ. මෙම සිසුන් ශ්‍රම බලකායට ඇතුළත් වන්නේ අවශ්‍ය කුසලතා හෝ වෘත්තීය පුහුණුවක් නොමැතිව ය. එමනිසා මෙය ශ්‍රී ලංකා ආර්ථිකයේ බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව ඇත.
ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්‍රමයේ පවතින ගැටලු
දැඩි විෂය නිර්දේශය, විශාල අන්තර්ගතය, ඉගෙනීමේ ඒකාකෘතික බව, වඩා ශාස්ත්‍රීය හා විභාග ඉලක්ක කරගත් බැවින් අද වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය විශාල අර්බුදයකට මුහුණ පා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, පෞරුෂ සංවර්ධනය, මෘදු කුසලතා සංවර්ධනය, පාසලේ විෂය සමගාමී සහ සමාජ ක්‍රියාකාරකම් සමඟින් ශිෂ්‍යයාගේ සමස්ත සංවර්ධනය කෙරෙහි මෙය අහිතකර ලෙස බලපා ඇත.
ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යයන වසර වලදී, ශිෂ්‍යයෙකු හට අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ප්‍රධාන විභාග තුනකට මුහුණදීමට සිදුවේ: ඒවා නම්, 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සහ අ.පො.ස. උසස් පෙළ විභාගය. මෙම ජාතික විභාග ප්‍රධාන වශයෙන් විෂය අන්තර්ගතය කටපාඩම් කිරීම සහ අධ්‍යයන ජයග්‍රහණ සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ලබන අතර මෙම පරීක්ෂණ දරුවාගේ සැඟවුනු කුසලතා, හැකියාවන්, නිපුණතා, විශ්වාසයන්, ප්‍රවීණතා, රුචිකත්වය සහ ආකල්ප කෙරෙහි අඩු අවධානයක් යොමු කරයි. එලෙසම, අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති විෂය අන්තර්ගතය කටපාඩම් කිරීමෙන් කොපමණ සිසුන් ප්‍රමාණයක් සාර්ථකව මෙම විභාග සමත් වී ඇත්ද යන්න හඳුනා ගැනීම කෙරෙහි පමණක් අවධානය යොමු කෙරේ. එම නිසා, මෙම පොදු විභාග මෙන්ම දැවැන්ත විෂය නිර්දේශය සිසුන්ට මෙන්ම දෙමාපියන් හටද මහත් පීඩනයක් හා ආතතියක් ඇති කිරීමට සමත්ව තිබේ.
අද වන විට ශ්‍රී ලංකාවේ පෙර පාසල් ක්‍ෂේත්‍රයද බොහෝ දුරට විධිමත් තත්වයේ නොපවතී. බොහෝ දරුවන් හට ප්‍රාථමික පාසල්වලට ඇතුළත් වීමට සහ ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උසස් තත්ත්වයේ පෙර පාසල් අධ්‍යාපනයක් එවායින් නොලැබේ. එම නිසා විෂයමාලා ප්‍රමිතිකරණය සහ යාවත්කාලීන කිරීම අවශ්‍ය වන අතර ඒවා ක්‍රියාත්මක කිරීමට සහායද අවශ්‍ය වේ. සිසුන්ගේ සමාජ-චිත්තවේගීය සහ සංජානන නිපුණතා වර්ධනය කර ගනිමින් පාසල් ජීවිතය සඳහා සිසුන් සූදානම් කරන, වයසට ගැළපෙන පරිදි දැනුම බෙදාහැරීමේ ක්‍රම පිළිබඳව ගුරුවරුන් පුහුණු කළ යුතුය.
පෙර පාසල් අංශයේ පවතින මෙම විෂමතා සහ හිඩැස් ආමන්ත්‍රණය කිරීම සඳහා මේ වන විට යුනිසෙෆ් ආයතනය රජයේ සහ පෞද්ගලික අංශයේ හවුල්කරුවන් සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සියලුම දරුවන්ට ගුණාත්මක පෙරපාසල් අධ්‍යාපනයකට සහාය වන සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් නිර්මාණය කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කරයි. තවද යුනිසෙෆ් ආයතනය, පෙර පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය මනා තක්සේරුවක් මත, ප්‍රතිපත්ති සහ සැලසුම් පදනම් වී ඇති බව සහතික කිරීම සඳහා විශ්ලේෂණාත්මක සහ තාක්ෂණික සහාය මෙන්ම සම්බන්ධීකරණ සහාය ද සපයයි.
ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්‍රමයේ වත්මන් තත්ත්වය
ශ්‍රී ලංකාව මේ වන විට දැඩි විදේශ මුදල් හිඟය, ණය ආපසු ගෙවීම්, ඉහළ උද්ධමනය සහ ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟය සමඟින් එහි දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණපාමින් ඇත. නමුත් මෙම වත්මන් ආර්ථික අර්බුද තත්ත්වයන්ට පෙර සිටම Covid-19 වසංගතය හේතුවෙන් ලාංකීය සිසු දරුවන්ගේ අධ්‍යාපනය අර්බුදයකට මුහුණ දී පැවතුනි. වසංගතයේ උච්චතම අවස්ථාව තුළ දිගුකාලීන හා නැවත නැවත පාසල් වසා දැමීමත් සමඟ ශ්‍රී ලාංකික සිසුන් (ඔවුන්ගෙන් සිසුන් මිලියන 4.3 ක් පමණ) දරුණුතම බලපෑමට ලක් වූවන් අතර විය. මෙලෙස ශ්‍රී ලංකාවේ පාසල් එක් දිනක් වසා දැමීම යනු දරුවන් හට ඉගෙනීමේ හා ඉගැන්වීමේ වේලාවන් විශාල පමණින් පාඩු සිදුවේ.
වසංගතය අතරතුර බොහෝ පාසල් පරිගණක, ස්මාර්ට් ෆෝන් සහ අන්තර්ජාල සම්බන්ධතා සඳහා සීමිත ප්‍රවේශයක් සහිතව වුවද දුරස්ථ ඉගෙනීමේ වැඩ පිලිවෙළ (distance learning) ක්‍රියාත්මක කරන ලදී. නමුත්, මේ දක්වාත්, සිසුන්ගෙන් තුනෙන් එකක් පමණ මෙම විද්‍යුත් ඉගෙනුම් අවස්ථා වලින් ප්‍රතිලාභ ලබා නොමැත. එමෙන්ම උද්ධමනය සමඟ ජීවන වියදම අධික වීම හේතුවෙන් බොහෝ දෙමාපියන් හට තම ආදායම් උත්පාදනය අහිමි වී ඇති අතර පාසල් යන වයසේ දරුවන් සිටින දෙමාපියන් තම දරුවන්ගේ මාර්ගගත පන්ති සඳහා මෙන්ම පුද්ගලික උපකාරක පන්ති සහ දත්ත පැකේජ සඳහා තම වැටුපට වඩා වැඩි මුදලක් වැය කළ යුතුව තිබේ. වර්තමානයේ මෙම පුද්ගලික උපකාරක පන්ති වඩා මිල අධික වන අතර ඒවා නව ව්‍යාපාරයක් බවටද මේ වන විට පරිවර්තනය වී ඇත. කෙසේ නමුත් එය ජාතික විභාග සඳහා සම්මතයක් වර්ධනය කර ඇත.
තවද, පසුගිය මාස කිහිපය තුළ ඉන්ධන මිල අහස උසට නැඟුණා පමණක් නොව ඉන්ධන හිඟවීම හේතුවෙන් පාසල් ප්‍රවාහන සේවා සපයන්නන්ගේ මෙහෙයුම්වලට දැඩි බාධා එල්ල වූ අතර ඉන්ධන පිරවුම්හල්වල නිමක් නැති පෝලිම්වල පැය ගණන් ගත කිරීමට ඔවුන්ට සිදුවිය. ගුරු සංගම් විසින් මෙම ගැටලුවට තාවකාලික විසඳුමක් ලෙස යෝජනා කළේ සිසුන්ට සහ ගුරුවරුන්ට තම නිවෙස්වලට ආසන්නතම පාසල්වලට ගොස් අධ්‍යායන කටයුතු සිදු කරන ලෙසටය. විසඳුම නිර්මාණශීලී එකක් ලෙස පෙනුනද, ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක නොවන බව පෙනෙන්නට තිබුණි. මන්ද, මෙම කෙටි කාලය සඳහා සිසුන්ට සහ ගුරුවරුන්ට බාධාවකින් තොරව එක් පාසලකින් තවත් පාසලකට මාරුවීම දුෂ්කර විය හැකි බැවිනි.
ඉන්ධන හිඟය පමණක් නොව අනෙකුත් ආනයනයන් ද අධ්‍යාපනයට බලපානු ලැබීය. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට විදේශ මුදල් නොමැතිකම සහ රුපියලේ අගය සීඝ්‍ර ලෙස අවප්‍රමාණය වීම නිසා මුද්‍රණ කඩදාසි ඇතුළු දැඩි ආනයන හිඟයක් රට තුල ඇති විය. මුද්‍රණ කඩදාසි හිඟය නිසා විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීමට නොහැකි වීම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් විභාග කල් දැමීමට කටයුතු කළේය. එමනිසා අදාළ ඇගැයීම් නිම කිරීමේ අනවශ්‍ය ප්‍රමාදයක් ඇති වූ අතර සිසුන්ට වෙනත් අධ්‍යයන/විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා වැය කළ හැකිව තිබූ කාලය, අදාළ ඇගැයීම් නිම කිරීම සඳහා වැය කිරීමට සිදු විය. මෙලෙස මෙම අර්බුදයෙන් සියලුම දරුවන් පාහේ (මිලියන 6 ක් පමණ) පීඩාවට පත් විය.
ඉන්ධන හිඟය නිසා රට තුල විදුලිය කප්පාදුවක්ද ක්‍රියාත්මක කෙරුණි. මේ අනුව දිවයින පුරා නිතර සිදුවන විදුලිය විසන්ධි කිරීම්, ශ්‍රී ලාංකික සිසුන් ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු වලදී මුහුණ දෙන බාධාවන් උග්‍ර කිරීමට සමත් විය. එනම් දිනකට පැය 6-10 අතර කාලයක් පවතින දිගු විදුලිය විසන්ධි කිරීම් හේතුවෙන් ඔවුන්ගේ පාසල් වැඩ නිම කිරීමට, පාසල් නිල ඇඳුම් මැදීමට හෝ ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමට පවා ඔවුන්ට නොහැකි වී තිබුණි.
ගෝලීය සමීක්ෂණවලට අනුව, ආර්ථික අර්බුද පවතින කාලවලදී වඩා හොඳ අධ්‍යාපන අවස්ථා සොයා බොහෝ සිසුන් රට හැර යාමේ ප්‍රවණතාවක් පවතී. රජය තම සිසුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දී ඔවුන්ගේ අවශ්‍යතා සඳහා කඩිනම් විසඳුම් ලබා නොදෙන්නේ නම්, තීරණාත්මක සංවර්ධන වසරවලදී අඩු අධ්‍යාපන මට්ටම් හේතුවෙන් මුළු තරුණ පරම්පරාවක්ම/ බුද්ධිමත් තරුණ පරම්පරාවක් රටට අහිමි වනවා පමණක් නොව, ඉදිරි වසර වලදී දරුණු බුද්ධි ගලනයකටද රට ගොදුරු වනු ඇත. එම නිසා, රටෙහි ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන අතරම අධ්‍යාපන අර්බුදයට පිළියම් යෙදීමද ඉතා වැදගත් වේ.
ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ අනාගතය
ඩිජිටල් යුගය ව්‍යාප්තියේ ප්‍රථිපලයක් ලෙස; ඉංග්‍රීසි, සන්නිවේදනය සහ තොරතුරු තාක්‍ෂණය යනාදිය ආයතනික ලෝකයට ඇතුළු වීමට පෙර සිසුන් සතුව තිබිය යුතු අත්‍යවශ්‍ය නිපුණතා බවට පත්ව ඇත. එම නිපුණතා ප්‍රගුණ කළ පුද්ගලයන් හට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අවස්ථා රාශියක් පවතී. එලෙසම, අනාගතයේ බොහෝ ක්‍රියාකාරකම් ස්වයංක්‍රීයව සහ කෘතිම බුද්ධිය (Artificial Intelligence/AI) භාවිතයෙන් සිදු කිරීමට වැඩි නැඹුරුතාවයක් පවති. එබැවින් ශ්‍රී ලංකාව සිය අධ්‍යාපන ක්‍රමය එවැනි වටිනා කුසලතා වෙත යොමු කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු අතර එමඟින් සිසුන්ට වැඩි වටිනාකමක් නිර්මාණය කළ හැකිය.
තවද, සමාජය දූෂණයෙන්, ආක්‍රමණශීලීත්වයෙන් හා සොරකම්වලින් පිරී ඇත. එමනිසා, සෑම කෙනෙකුම කුඩා කල සිටම අධ්‍යාපන ක්‍රමය තුළින් යහපත් පුරුදු, ආචාර ධර්ම සහ විනය ඉගෙනීම හා පුරුදු කිරීම ඉතා වැදගත් වේ. මේ අනුව ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඒ අනුව හැඩගැසෙනු ඇතැයි අපි විශ්වාස කරමු. මීට අමතරව, තාක්ෂණයන්, පද්ධතීන්, ව්‍යාපාර ආකෘති මෙන්ම ජීවන රටාවන් වේගයෙන් දියුණු වෙමින් පවතින අතර ජාත්‍යන්තර වෙළඳපල සමඟ තරඟ කිරීම සඳහා නවතම තාක්ෂණයන්, පද්ධති සහ ව්‍යාපාර ආකෘති ඉගෙන ගැනීමට සිසුන්ට අවස්ථා තිබිය යුතුය. එබැවින් ප්‍රායෝගික විෂයයන් සහ ශිෂ්‍ය නිපුණතා සංවර්ධන උපාය මාර්ගයන් අනාගත ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්‍රමයේ වැදගත් අංගයන් වනු ඇත.
එලෙසම, බලධාරීන් විසින් අනාගතයේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියට ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම් උපාය මාර්ග හඳුන්වා දීම ඉතා වැදගත් වේ. එමඟින් සිසුන් හට අත්දැකීම් ලබමින්, සහයෝගීතාවයෙන් සහ කණ්ඩායම් වැඩ තුළින් දැනුම ලබා ගැනීමට අවස්ථාවක් හිමි වේ. මෙම සියලු දේ සමඟින්, අනාගතයේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය නිසැකයෙන්ම වඩාත් ප්‍රයෝජනවත් සහ ආකර්ෂණීය මුහුණුවරක් ගනු ඇත.
References
https://www.themorning.lk/articles/201947https://www.unicef.org/srilanka/education