
කෑලි කැඩෙන ඉර මල ළඟ
මහ දවාලෙත් කළුවර
කණාමැදිරි එළි නිවා
උළමත් ඇඬුව රෑ කල
අලුත් ඉර හොයාගෙන
පලාගෙන මහ පොළොව
නැගිටපු මල් පොහොට්ටුත්
මැලවුනා සඳ එලියට
බිම් මලක් වත් නොපිපුණ
කළුවර පහන් කණු යට
සීතලට ගල් වෙලා
මියැදුනේ හෙට දවස
සුළඟත් හිටියේ බුම්මගෙන
කිසිවක් නොදත් විලසට
දර නැති සොහොන්වල
පුළුටු ගඳ විතරක්ම විඳ විඳ
යකඩ දම්වැල් ඇතුලේ
හිර වෙච්ච මල් පොකුරු
නීති අවනීති ලඟ
සිදුරු කෙරුවෙ වෙඩි උණ්ඩ
විමුක්තියේ මළ බෙරය
තාල නැතිවම වැයෙන කොට
පෝය දා බණ මඩුවල
කඳුළු තිබුණා සිල්ගත්ත
කුස පුරා බර දරා
පෙව් කිරි විෂ වෙලා
කළ නොකළ වැරදි ලඟ
සොහොන් කොත් ඉදිවුණා
කන්ද උඩින් ඉර ඇවිලී
පපුවල ගිනිකඳු පිපිරී
සූරිය කඳු පාමුල තව
රතු පාටට මල් පූදී
(1988/89 භීෂණ සමයේ අමිහිරි අත්දැකීම් ඇසුරිනි)