

මගෙන් කෙනෙක් ඇහුවා මොකද යොහානිගේ ගීතය ගැන කියන්නෙ කියලා. මගේ සරලම පිළිතුර වුණේ මොනවත් කියන්නේ නැහැ කියලා හිතන්නේ, හිතනවා කියන එක. එතකොට මිත්‍රයා පැවසුවේ ලෝකයේ ම ඒ ගැන කතා බහත් තියෙනවා නේද කියලා. මා ඔහුගෙන් විමසුවේ ලෝකය කියලා කියන්නේ මොකක්ද කියලා. අද මේ කියන ලෝකය කියන එක සම්බන්ධ හැම තැනකදීම හමුවන්නේ උභතෝකෝටිකයක්. මේ මොහොතේ ලෝක සෞඛ්‍ය සංවිධානය ගැන වුණත් එහෙමයි. එහෙත් අපට අනුව නම් උභතෝකෝටිකයක්. ඒ ලබාදෙන නිර්ණායක, සහතික, වර්ග කිරීම් අතර තියන පරස්පරතාවය අනුව. ඉතින් එහෙම එකේ මේ ගැන තීරණය කරන්න අමාරුයි. කොහොම වුණත් මේ වෙලාවේ හැමෝම කතා කරන නිසා යොහානි ගැන දන්නැහැ කියන එක යුක්ති යුක්ත නැහැ. එහෙම වුනොත් ඒක බොරුවක් වෙනවා. මම කියන්නේ මොනවත් කියන්නේ නැති වුණාට ඒ සම්බන්ධයෙන් අදහසක් තියෙනවා. හැබැයි ඒක ගීතය ගැන නෙමෙයි. යොහානි මේ පවතින සමාජ සංස්කෘතික ලෝකය වටහාගෙන තියෙනවා කියන අදහස. එහෙම නැත්නම් මේ පවතින්නේ ස්වභාවය නෙමෙයි ගොඩනගන ලද යථාර්ථයක් එහෙම නැත්නම් මායාවක් කියන එක. ඒ නිසා එහෙම තැනකදී අපි කරන්න ඕන මොනවාද කියන එක දැනගෙන තියෙනවා කියන කරුණ. ඒක ලංකාවට විතරක් අදාල නැහැ.
ලෝකයටම ගත්තත් ඒක අදාලයි. මොකද එහෙම පැවැත්මක් “ලෝකය” කියලා හරි “මිනිස්සු” කියලා හරි නැහැ. මේ මොහොතේ තියෙන්නෙම ගොඩනගන ලද ආකෘති විතරයි. ඒවා හදන ඒවා මිසක් ස්වභාවික පැවැත්මක් නෙමෙයි. අනිත් එක මේක තේරුම් ගන්න උත්සාහ කරද්දි මට තේරුණේ නම් මේ මොහොතේ කිසිවෙක් නැත යන්න කියන්නේ හැඟවුම් කරන්නේ යමක් ඇත කියන එක කියලයි. ඒ කියන්නේ නැත යන්නෙහිම පැවැත්මක් තහවුරු වනවා වගේ එකක්. යම් ප්‍රතිවිරුද්ධ අදහසක් පැවතීම. දෙවියන් ඉදිරියට යන අය තිරයක් ඉස්සරහ නවතිනවා. තිරයේ එහා පැත්තෙ නොපෙනෙන ලෙස දෙවියන් ඉන්නවා කියලා විශ්වාස කරනවා. දෙවියන් නැහැ කියන අයත් යම් විදිහකට දැනුවත් වුණත් යම් මොහොතක විශ්වාසය රකිනවා. ඕන තරම් වෛද්‍යවරු ඉංජිනේරුවරු ආචාර්ය මහාචාර්යවරු පවා දෙවියන් ළඟට යනවා. ඒ නිසා නැත යන්නෙහි පැවැත්මක් ගැන අපට මෙතනදී හිතන්න වෙනවා. සෑම ව්‍යාපෘතියක්ම මේ ඇති නැති අතර පවතින ක්‍රියාකාරීත්වය හැඩගස්වමින් පවතිනවා.
අද මාධ්‍ය හැසිරීම දිහා බැලුවම මේ තත්ත්වය තීරණය කරගන්න පුළුවන්. මාධ්‍ය තුළින් ධනාත්මක පුවත් වගේම සෘණාත්මක පුවත් දෙකෙන්ම නැවතත් නිර්මාණාත්මක ප්‍රචාරයක් ගොඩනගනවා. ඒක තමයි වෙන්නේ. අපි හිතුවට සමහර පුවත්වලින් පාලනයන් විවේචනය වෙනවා කියලා ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක වෙනම විදිහකින් ප්‍රවර්ධනය ප්‍රචාරයක් ලෙසට ගමන් කරනවා. ඒක හැදෙන්නේ ව්‍යුහයක් තුළින්. මොකද එක මාධ්‍යයක හෝ කීපයකය විවේචන එල්ල කරන විට අනිත් කිහිපයක සාධනීය පුවත් පල වෙනවා. ඇත්තෙන්ම මෙහිදී මේවා එකක් තනි තනිව ක්‍රියාත්මක වෙනවා නෙමෙයි. මේ සමග තවත් විශාල ප්‍රචාරණ ව්‍යාපෘති දේශන, මත වාද ජාලයක් එකවර ක්‍රියාත්මක වෙනවා.
මේවායේ ඒවා අතර දයලික්තකය ක්‍රියාවලියක් හරහා අවශ්‍ය අරමුණු සාක්ෂාත් වන දෘෂ්ටිවාදයක් නියමිත වෙලාවට කාලයට සමාන්තරගත වෙනවා. ඉතින් මේක සරල කාරණාවක් නොවේ, සංකීර්ණ කාරණාවක්. මේ කිසිවක තනි සංඥාවක් නැහැ. මේවායේ තියෙන්නේ එකකින් අනෙකට ගමන් කරන හැඟවුම් කරන ක්‍රියාවලියක්. මේක සාමාන්‍ය දැනුම් පද්ධතියකින් වටහා ගන්න අමාරුයි. අපි ලංකාවට අදාළව ගත්තොත් මේ වෙලාවේ සෞභාග්‍යය දැක්ම කෝ කියලා වැඩේ තියෙන්නේ මේ වචනෙට අර්ථය නිර්මාණය වෙන්නේ කොතැනද ?කා තුළ ද ? කියන එක. ඒක රඳා පවතින්නේ වචනය ක්‍රියාත්මක වන සමාජ සංස්කෘතික තලයක ය. අපි මේක වටහා ගන්න අවශ්‍ය නම් පසුගිය කාලය පුරා විවේචනයට බඳුන් වූ යහපාලනය කියන ව්‍යුහයට යන්න පුළුවන්. දැන් යහපාලනය විවේචනය වන්නේ පවතින රජයෙන් විතරද? නැහැ ජනතාවත් ඒක විහිළුවට අරගෙන තියෙනවා. ඇයි ජනතාව ඒක සමච්චලයට ලක් කරන්නේ කියලා ඇහුවොත් කියන්න වෙන්නේ මොකක්ද? පිළිතුර කුමක්ද? නිවැරදි පිළිතුරක් ගොඩනැගෙන්නේද? එහෙම නැත්නම් ඒ දෙන පිළිතුරට හේතු විමසුවහොත් බොහෝවිට ඒ පිළිතුර ගොඩනැගෙන්නේ කතිකාවත් හරහා පොදු බවට පත්වීමෙන්. ඒ කියන්නේ ඒ ඒ වෙලාවට දේශපාලනය මගින් ගොඩ නගන්නක් වෙන්න පුළුවන්. ඉතින් මේ කියන යහපාලනය, ආශ්චර්ය, සෞභාග්‍යය නිර්චනය වීම විවිධය. ඒකට විවිධ දෘෂ්ටි මානයන් තියෙන්න පුළුවන්. අපි සරලවම ගත්තොත් යහපාලනය කියන එකේදී කවුරු හරි කිව්වොත් ඒ තොරතුරු දැනගැනීමේ අයිතිය, මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, කොමිසන් සභා පත් කිරීම, රාජ්‍ය විනිවිදභාවය, සාමය හා සංහිඳියාව, අධ්‍යාපනය හා සෞඛ්‍ය, ප්‍රකාශනය හා භාෂණයේ නිදහස, ඔයවගේ දේවල් කියලා. ඉතින් ඒවා ගැන මිනිස්සු මොන වගේ උත්තර දෙයි ද? එක් අයෙකුට ඉහත දැක්වූ ලෙසින් අර්ථ කථනය වුවද වෙනත් අයෙකුට එය වෙනත් සාධකයක්ව මත රඳා පවතින්නක් විය හැකියි. එය මුදල් මත හෝ ඉදිකිරීම්, අධිවේගී මාර්ග වැනි සංවර්ධන රූපකයන් සමග අර්ථ ගැන්විය හැකියි. ඒවා ගැන තියෙන අදහස හා දැනුම කොහොමද මිනිසුන්ගේ අවශ්‍යතාවයන් විදියට වැදගත් වුණේ කියලා හිතන්න වෙනවා. ජනතාවට එහෙම දැනීමක් තියෙනවා ද? ඉන් එහාට අවශ්‍ය නම් ඒවායේ නාමපුවරුව විතරක් තියලා ඇතුළත කුමන විදිහකට එකතු වුවත් ජනතාවට එය වැදගත් වේද? එහෙම තමයි, අපි කාලයක් ආශ්චර්ය ගැන කතා කළා. දැන් කවුරුත් විමසූ විට කිසි ම ආශ්චර්යයක් තිබුණ නම් මේ විදියේ අඩුපාඩු ආවෙ කොහොමද කියල අහල නෑ. සමහර විට එහි අර්ථය තීරණය වෙන්නේ ඔය කියන වචනය මතම නොවේ.
සරලව කෙනෙකුට සතුට යනු මුදල් කියලා හිතලා මුදල් හොයන්න පුළුවන්. ඔහුට අනුව මුදල් ලැබීම සතුට කියලා අර්ථකථන වෙනවා. අවශ්‍ය නම් තවදුරටත් මේ විදියට බලන්න පුළුවන්. කෙනෙකුට සරදියෙල් වීරයෙක් වෙනවා වගේම තවත් පාර්ශවයකට ඔහු අපරාධකරුවෙක් හෝ මංපහරන්නෙකු වෙනවා. රාම වීරයෙක් වෙනකොට තවත් කොටසකට රාවණා වීරයෙක්. හිට්ලර් වුණත් එහෙමයි. සමහරුන්ට හිට්ලර් කියන්නෙත් යුද්ධයක් කියන්නෙත් Volkswagen හදන්න පුළුවන් වූ සංවර්ධන ක්‍රියාවලියක්. තව අයෙකුට අනුව සතුව ඔහු සමූළ යුදෙව් ඝාතනයක් කළ අධිපතිවාදි යෙක්. ඒක තීරණය වෙන්නේ ඒ මොහොතේ පවතින නිශ්චිත ජන සමූහයක ප්‍රමාණාත්මක හා ඒ ජනතාවගේ විඥානය මත ය. ඒ නිසා මේ හැම දෙයක්ම නැවත හිතන්න වෙනවා. මම කියන්න ඕනවුන කාරණය ටිකක් අතුරු පාරකට ගියා. කොහොම වුණත් මේ වෙලාවේ අපිට සමහර මාධ්‍යවලින් වැඩි ප්‍රහාරාත්මක කියලා පෙනෙන විවේචන සම්පූර්ණ ව්‍යුහයක් ඇතුලේ ක්‍රියාත්මක වෙද්දී විශාල ප්‍රවර්ධන ප්‍රචාරණයක මෙවලම් වෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මෙතැන අපි නැහැ කියන එකේම තිබෙනවා කියන පැවැත්මක් තහවුරු වෙන්න පුළුවන් කියලා. හැබැයි ඒක එකවර නෙමෙයි නොසිතන මොහොතක. හැබැයි අපි නොසිතුවාට කවුරු හරි හිතලා තීරණය වන නිශ්චිත මොහොතක. ඉතින් යොහානි සමහරවිට ඒක තේරුම් අරගෙන නම්, ඒක එහෙමයි කියලා යොහානි දිනුම්. ඒක තමයි එයාගේ මම දකින දිනුම. යොහානි සම්බන්ධව මා දරන අදහස. නැත්නම් යොහානි දන්නෙම නැතුව මේ කියන ජාලයක හැඟවුම්කාරකයක් විතරයි. ඉතින් මේ නෑ කියන එකේම ඇත කියන පැවැත්ම හරහා ම තමයි මට යොහානිගේ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න වෙන්නේ. ඒ නිසා කියන්න දෙයක් නැහැ මිත්‍රයා. මේ වෙලාවේ මොකවත් කියන එක නෙමෙයි කරන්නෙ හිතන එක. ගණව හිම මිදුන පොළොවේ කිසිම බීජයක් වපුරලා වැඩක් නැහැ. ඒ වෙලාවට කරන්න තියෙන්නේ හිම දිය වෙනතුරු බලාගෙන ඉන්න ගමන් හිතන එක. ඉතින් මිත්‍රයා දැන් පැහැදිලි වෙන්න ඕන යථාර්ථය කියන්නේ ස්වභාවය (සැබෑව) නෙමෙයි හදන එකක්. ඒ කියන්නේ මායාවක්. මායාව කියන්නේ නැති දෙයක් පවතින විදිහට පෙන්වීම සහ දැකීම.

