27.8 C
Colombo
Wednesday, July 2, 2025
spot_img

Subscribe

Date:

Share:

අපෙන් ගිලිහී යන හෙළ වෙදකම

Related Articles

“ඔවුහු විස්මයජනක වෙදැදුරෝ ය. තුවාලවලට, ගෙඩිවලට, කැඩුණු අත්පාවලට, ඔවුහු දින කීපයකින් සුවය ලබා දෙන්නට සමත් වෙති. පිළිකා අපට සුවකළ නො හැකි රෝගයක් වූවාට ඔවුනට එසේ නො වේ. ඔවුහු පිළිකා දින අටකින් සුව කරති. සමෙහි හෝ බාහිර කැළැලක් වූවා නම් එය කලින් එතැන තිබුණාදැයි සොයා ගත නො හැකි වන තරමට ම කැළැල් සුව කරති. මා මෙම දිවයිනේ සිටි කාලය තුළ දී හමුදා සොල්දාදුවන්, කපිතාන්වරුන් ඔවුන්ගේ ප‍්‍රතිකර්මවලින් සුවය ලබනු මා දැක ඇත. වඩාත් විස්මයජනක වන්නේ ඔවුන් එය එතරම් ම සැහැල්ලූවෙන් කරන අන්දම ය.” (“Fat alidade Historia de Ceilao”, ජොආ රිබෙයිරෝ, 1641-1658 කාලය තුළ ලංකාවේ සේවය කළ පෘතුගීසි සොල්දාදුවෙක්) මේ ප‍්‍රකාශය අප රට එවකට තිබූ හෙළ වෙදකම පිළිබඳව බටහිර පෘතුගාල වැසියකු විසින් කරන ලද ග‍්‍රන්ථයකින් උපුටා ගත් කොටසකි.

අප රට වෙදකමේ ඉතිහාසය අන් කිසිදු රටකට සම කළ නො හැකි තරම් ය. ලෝකයේ ප‍්‍රථම අංග සම්පූර්ණ රෝහල වන මිහින්තලේ රෝහල, ව්‍යුහයෙන් වත්මන් නවීන රෝහලකට සමාන ය. බාහිර ප‍්‍රතිකාර අංගනයක්, රෝගීන් සඳහා තනි කාමර මෙන් ම බෙහෙත් ද්‍රව්‍ය සකස් කරන ස්ථාන ද ගබඩා ද රෝහලට අඩංගු විය. බෙහෙත් ඔරු සහ ශල්‍ය උපකරණ පෙන්වන්නේ එවකට පවා දේශීය වෙදකම ලබා තිබු දියුණුවයි. මහාවංශයට අනුව ව්‍යවහාර වර්ෂ පූර්ව 4 වන සියවසෙහි රජ කළ පණ්ඩුකාභය රජතුමා රටේ විවිධ ස්ථානවල රෝගීන්ට නවාතැන් ගෙන ප‍්‍රතිකාර ලබා ගත හැකි ‘සිවිකසොත්ති ශාලා’ පවා ඇති කරන ලදී (කහඳව, 2014).

හෙළ වෙදකම ඔබ මම කවුරුත් දන්නා පරිදි අතීතයේ සිට පවත එන නමුත් මේ වන විට කෙමෙන් කෙමෙන් අපෙන් දුරස් වී යන වටිනා වෛද්‍ය ශිල්පයකි. බොහෝ දුරට පාරම්පරිකව පිහිටන,  දායාද වන මෙම වෛද්‍ය ක්‍රමය වර්තමානයේ බටහිර වෛද්‍ය ක්‍රමය නිසා අපට මඟ හැරී ඇත් දැයි ප්‍රශ්නාර්ථයකි. අතීතයේ ගස් කොළන් සතා සිවුපාවුන් සමඟ ජීවිකාව ගත කළ අපේ මුතුන් මිත්තන් මෙම වටිනා හෙළ ඔසු භාවිතා කරගනිමින් ඔවුන් ගේ හිසේ සිට පාදාන්තය දක්වාම වූ ඕනෑම රෝගයක් සුව කරගැනීමට සමත් විය.

දේශීය හෙළ වෙදකමේ ආරම්භය සිදුවූ ආකාරය පිලිබඳ විවිධ  මත තිබේ. හෙළ වෙදකම ඉන්දියාවේ හිමාල වනයෙන් අපට දායාද වුවක් බව පවසන අතර තවත් තැනක එය එසේ නොවන බවත් අපෙ පැරැන්නන් විසින්ම අත්හදා බැලීම් කරමින් විවධ ඔසු වර්ග අත්බෙහෙත් හදුනාගත් බවත් සදහන් කරයි. ඊට අමතරව අතීතයේ විසූ විවිධ ගෝත්‍ර කණ්ඩායම් විසින් හඳුන්වා දුන්නක් බවටද මත පළ කර තිබේ. කෙසේවතත් මේ වටිනා වෛද්‍ය ක්‍රමය තවමත් අප අතර ඉතා සුළු අන්දමින් හෝ පැවති තිබීම සතුටට කරුණකි. 

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පෙර පැවති වෛද්‍ය ක්‍රමය වූයේ පාරම්පරිකව පැවත ආ “දේශීය චිකිත්සාව” හෙවත් සිංහල වෙදකමයි. ශ්‍රී ලංකාව වෙත බුදු දහම සම්ප්‍රාප්ත වීමේ ප්‍රතිඵලයක් ලෙස ආයුර්වේදයද දායාද විය. ආයුර්වේදය ශ්‍රී ලංකාවට ලැබුනේ අවුරුදු තුන්දහසකටත් අධික කාලයක් තිස්සේ එය වැඩී වර්ධනය වූ ඉන්දියාව වෙතිනි.කෙසේ නමුත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය උතුරු ඉන්දීය ආයුර්වේද වෛද්‍ය සම්ප්‍රදාය දකුණු ඉන්දීය සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය, අරාබි යුනානි වෛද්‍ය සම්ප්‍රදාය සහ ශ්‍රී ලංකාවේ පාරම්පරික දේශීය චිකිත්සා ක්‍රමය යන සියල්ලෙහි සංකලනයක් ලෙසින් පවතින්නකි. එසේ වුවද ශ්‍රී ලංකාව ස්වකීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ආවේනික සම්ප්‍රදායක් තුළ පවත්වා ගෙන යන අනන්‍ය වෛද්‍ය විද්‍යාවක් ලෙස පිළිගෙන තිබේ (විකිපීඩියා, 2021).

ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය සිංහල වෙදකම හෙවත් හෙළ වෙදකම නම් වේ. මෙය අපට වෙනත් කිසිඳු රටකින් හඳුන්වාදෙන ලද්දක් නොව අප රටෙහි සිටි ඉපැරණි යක්ෂ ගෝත්‍රිකයින් විසින් නිපදවූ එකකි. ආයුර්වේදය හා හෙළ වෙදකම යනු දෙකකි. මෙය මහනුවර යුගයේ සිටම පටලවා වටහාගත් දෙයකි. හෙළ වෙදකම යනු ආයුර්වේදයට වඩා ප්‍රබල එමෙන්ම 100% ක් දේශීය වෙදකමකි. නමුත් වර්තමානයේ මේ දෙකෙහි සුළු සුළු සමානකම් ඇත. එයට ඓතිහාසික සිදුවීම් රාශියක් හේතුවේ. යන්ත්‍ර-මන්ත්‍ර භාවිතයෙන් ලෙඩ රෝග සුවකිරීම ආදී නොයෙකුත් විස්මිත ප්‍රතිකාර ක්‍රම රාශියක් මෙහි පවතී (මඩුල්ල & සභාව, n.d.).

භාරතීය ආයුර්වේදයට තරමක් දුරට සමානකම් දරණ එහෙත් හෙළ දිව නිර්මාණය වී විකාශනය වූ වෛද්‍ය ක්‍රමය දේශීය චිකිත්සාව ලෙස හඳුන්වයි. දේශීය චිකිත්සාවේ ආරම්භය කෙසේ සිදුවුණිද යන්න නිශ්චිතව පැවසිය හැකි නොවූවද ඉපැරණි මූලාශ්‍රවලට අනුව භාරතයේ හිමාල අඩවියෙහි පැවති සෘෂි සම්මේලනය සඳහා හෙළ දිව නියෝජනය කරමින් ත්‍රිවේද පරප්‍රාප්ත පුලස්ථි සෘෂි වරයා සහභාගී වූ බව ප්‍රකාශ වේ. පුලස්ථි සෘෂි වරයාගේ මුණුපුරා වශයෙන් සැලකෙන රාවණ රජු හෙළ වෙදකම, ගුප්ත ශාස්ත්‍රය, රස ශාස්ත්‍රය ආදී සකල විද්‍යාවන්ගේ ප්‍රවීනයකු ලෙස සැලකෙන අතර ඔහු විසින් රචනා කරන ලද ග්‍රන්ථ අතර නාඩි තන්ත්‍රය, කුමාර තන්ත්‍රය, උඩීශ තන්ත්‍රය, අර්ක ප්‍රකාශය ආදී ග්‍රන්ථ ප්‍රධාන වේ. රාවණ යුගයේ දී පුද්ගලයන්ගේ ධාරණ ශක්තිය ( මතකය හා ස්මරණය කිරීමේ හැකියාව)  වැඩි දියුණු කල හැකි ඖෂධ බෙහෙවින් භාවිත වී ඇති බව ඇතැම් පුස්කොළ පොත් වල සඳහන් වේ. රාමායණය හා මහා භාරතය වැනි පැරණි වීර කාව්‍ය වල ඇති තොරතුරු සලකා බැලීමේදී පුරාතන හෙළ දිව ගණිත ශාස්ත්‍රය, ගෘහ නිර්මාණ හා වාස්තු විද්‍යා ශිල්පය, උද්භීද විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, ගුප්ත ශාස්ත්‍රය, රස ශාස්ත්‍රය, වාරි ශිල්පය, තාරකා ශාස්ත්‍රය ආදී විවිධ දැනුම පද්ධතීන් ගෙන් පරිපූර්ණ වූ ජන කොට්ඨාශයක් විසූ බවට සාක්ෂි හමුවේ (Ayudeptncp, n.d.).

හෙළ වෙද පරම්පරා ගත් විට ඒවා ද වර්ග කිහිපයකි. කැඩුම් බිඳුම් වෙදකම, විස වෙදකම, තුවාල, පිලිස්සුම්, ගෙඩි වෙදකම යනාදි වශයෙනි. එක පරම්පරාවක් විසින් එක වෙදකමක් ප්‍රගුණ කොට තිබීම විශේෂත්වයකි. ඒ අනුව,

සිංහල වෙදකමේ අංග

  • සර්වාංග වෙදකම
  • සර්ප වෙදකම
  • කැඩුම්-බිඳුම් වෙදකම
  • ගෙඩි-වණ-පිළිකා වෙදකම
  • දැවුම් පිළිස්සුම් වෙදකම
  • ව්ඳුම් පිළිස්සුම් වෙදකම
  • කැපුම් තුවාල වෙදකම
  • ඇස් වෙදකම
  • සෙම් රෝග හා පීනස් වෙදකම
  • උමතු රෝග වෙදකම
  • චර්ම රෝග වෙදකම
  • ගර්භණී, ප්‍රසව සහ සූත්‍රිකා රෝග වෙදකම
  • නිල වෙදකම

නිල වෙදකම ශරීරයේ නිලස්ථාන ඔස්සේ රෝග වලට ප්‍රථිකාර කරයි. මෙම වෙදකම හෙළයේ අංගම්පොර සටන් ශාස්ත්‍රයත් සමඟ අත්‍යන්තව ප්‍රතිබද්ධ වී පවතියි. දේශීය නිල වෙදකමෙහි ප්‍රධාන කොටස් 3ක් හඳුනාගත හැක (විකිපීඩියා, 2023a).

  • අසුර විධිය
  • මර්ම විධිය
  • ශල්‍ය විධිය

සිංහල වෙදකමෙහි රෝග-රෝගී පරීක්ෂා ක්‍රම

  • නාඩි ශාස්ත්‍රය මඟින් රෝග හඳුනා ගැනීම
  • දේහ ලක්ෂණ ශාස්ත්‍රය මඟින් රෝග හඳුනා ගැනීම
  • ජෝතිෂ්‍ය ශාස්ත්‍රය මඟින් රෝග හඳුනා ගැනීම
  • නිමිති ශාස්ත්‍රය මඟින් රෝග හඳුනා ගැනීම
  • වාස්තු විද්‍යාව මඟින් රොග හඳුනා ගැනීම
  • විශේෂ මළ-මූත්‍රා පරීක්ෂාව මඟින් රෝග හඳුනා ගැනීම (විකිපීඩියා, 2023b)

සිංහල වෙදකම, හෙළ වෙදකම, පාරම්පරික දේශීය චිකිත්සාව, පාරම්පරික වෙදකම යනාදී වශයෙන් හඳුන්වනු ලබන වෙදකම ශ්‍රී ලංකාවට පමණක් ආවේණිකය. මෙම වෙදකම පුලස්ති සෘෂිවරයාගේ සිට රාවණාගෙන් පැවත ආ බවයි ඉතිහාසයේ සිටම විශ්වාසය පළ වන්නේ. මේ සඳහා පුරාවිද්‍යාත්මක සාක්ෂි දක්නට නොලැබුණ ද රාවණා විසින් ලියන ලද පොත් පත් මේ සඳහා සාක්ෂි දරයි. උඩ්ඩිස තන්ත්‍රය, කුමාර තන්ත්‍රය මෙයට උදාහරණයන්ය.

හෙළ‍ වෙදකම පැවත එන්නේ පාරම්පරිකවය. කට වචනයෙනි. පුස් කොළ පොත් ද, තඹ පත් ඉරු ද, රිදී පත් ඉරු ද තිබේ. මේවා බෙහෙත් වට්ටෝරු ලෙස පවතින අතර මෙහි විද්‍යාත්මක පැහැදිලි කිරීම් හෝ රෝග නිධාන ගැන පැහැදිලි වන්නේ නැත. එහෙත් ආයුර්වේදයේ සෑම රෝගයක් ගැනම පිළිවෙළින් සඳහන් වේ. සිංහල වෙදකම, හෙළ වෙදකම හෝ පාරම්පරික වෙදකම සහ ආයුර්වේදයේ වෙනස මෙයය. එහෙත් ආයුර්වේදයේ මූලික සංකල්ප, ත්‍රිදෝෂ වන වා, පිත්, සෙම්, සප්ත ධාතු (රස, රක්ත, මාංශ, මේද, අස්ථි, මඣ්ජා, ශුක්‍ර) සහ පංච මහා භූතයන් (ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ්) ද දේශීය වෙදකම හා සම්බන්ධ වී තිබේ.

පාරම්පරික වෙදකම තුළ ඒ ඒ පරම්පරාවට ආවේණික ඖෂධ තිබේ. එම බෙහෙත් සාදන ආකාරය ද එකිනෙකට වෙනස්ය.  මෙම වෙදකම ශ්‍රී ලංකාවට ආවේණික වන අතර පොත්පත්වල ද සඳහන් නොවේ. බොහෝ විට මුඛ පරම්පරාවෙන් මෙය ආරක්ෂා වන අතර පරම්පරාවෙන් පරම්පරාවට පැවත එයි. පරම්පරාව ගෙන යෑමට කෙනෙකු නොසි‍ටිය හොත් එය එතැනින් අවසන් වීමට හෝ පුළුවන. පරම්පරාවෙන් බාහිරව දීමට අවසරයක් නොලැබේ.

පාරම්පරික වෙදකම තුළ ආයුර්වේදයේ නැති සුවිශේෂි ක්‍රම ඇතුළත් වී තිබේ. එහෙත් බොහෝ පුස් කොළ පොත් විනාශ වී ගොස් ඇති අතර මෙරට පාලනය කළ ඉංග්‍රීසි ජාතිකයන් විසින් ඒවායෙන් කොටසක් රැගෙන ගොස් ඇති බව ද කියැවේ. පාරම්පරික වෙදකම පිහිටන්නේ ‍පියා විසින් පුතාට ඒවා ලබා දුන් විටය. මේවා ද මන්ත්‍රයන් වැනිය. ඒවා ලබා දීමේ ක්‍රම ද මෙහි තිබේ. එතුළ වතාවත් කිරීම් ද ඇතුළත් වන අතර ඇතැම්හු හෙළ වෙදකම අවභාවිත කරති. සාමාන්‍ය ජනතාව මුලාවට පත් කිරීම් ද අද වන විට දක්නට ලැබේ (අමරසිංහ & පිටිපන, 2021).

වර්තමානයේ මෑත කාලීනව අපට මුහුණ දීමට සිදුවූ කොවිඩ් 19 වසංගත තත්වයත් සමඟ ඇතැම් වෙද විකටයන් විසින් රටේ පුරවැසියන් කුලප්පු කරමින් නානාප්‍රකාර අත් බෙහෙත් වර්ග කසාය වර්ග මෙන්ම පැණි වර්ග හඳුන්වා දෙමින් හෙළ වෙදකම හෑල්ලුවට ලක් කරමින් විකට සංදර්ශනයක් ඇති කිරීම නිසා මෙම හෙළ වෙදකම පිලිබඳ තිබූ විශ්වාසය මිනිසුන් අතරින් කෙමෙන් කෙමෙන් පහව යමින් පවතී. ඇත්තෙන්ම එතරම් වටිනා වෛද්‍ය ශාස්ත්‍රයක් අපෙන් දුරස් වී යාම ඉතා කණගාටුදායක තත්වයකි.

බටහිර වෛද්‍ය විද්‍යාව අපට ලැබෙන්න ප්‍රථමයෙන් අපේ ගැලවුම්කරු වුයේ දේශීය හෙළ වෙදකමයි. තවමත් පාරම්පරික හෙළ වෙදකම පිලිබඳ විශ්වාසය තබමින් බටහිර ප්‍රතිකාර ක්‍රමවලට නොගොස් අත්  බෙහෙත් ප්‍රතිකාර වලට යොමුවන පිරිස් ද නැතුවාම නොවේ.  සැබවින්ම මා දන්නා පරිදි  තවමත් ඉතා දක්ෂ සිංහල වෙදදුරන් අතලොස්සක් මේ මිහිපිට සිටීම අප ලද භාග්‍යයකි. බොහෝවිට බටහිර වෛද්‍ය ක්‍රමය දිනෙන් දින දියුණු තාක්ෂණය හමුවේ දියුණු වෙමින් පැවතුනද යම් රෝගයක් 100% ක්ම සුව කිරීමට හැකියාවක් නැත. එසේ නොමැති නම් යම් රෝගයකට ප්‍රතිකාර ගැනීමේදී වෙනත් රෝගයකයකට ගොදුරැ වීමට ඇති ප්‍රවණතාවය ඉහලය. එය අප කවුරුත් අත්දැකීමෙන් දන්නා කරුණකි.

බටහිර වෛද්‍ය විද්‍යාව යම් රෝගයක් හෝ අබාධයක් සඳහා ක්ෂණිකව ප්‍රතිකාර කරන නමුත්  එය තාවකාලික සහනයකි. හෙළ වෙදකම සම්බන්ධයෙන් ගත් විට දක්ෂ වෙදුන් මුලින්ම රෝගය හඳුනාගෙන රෝග මූලයට ප්‍රතිකාර කිරීම ආරම්භයි. රෝගය සුව වීමට යමිකිසි කාලයක් ගත වුවද නිවැරදිව ප්‍රතිකාර කිරීම තුළින් රෝගය නිට්ටාවටම සුව වීමට ඇති ප්‍රතිශතය ඉහළය. මේ වන විට ඔබ මම කවුරුත් හොදාකාරවම දන්නා පරිදි බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව බොහොමයක් රෝහල් වල  ඕනෑම වේදනාවකට කැක්කුමකට නිර්දේශ කරනු ලබන්නේ ක්ෂණික සහ තාවකාලික සහනයක් ලබාදෙන වේදනා නාශක පෙතිය. මෙම ඖශධය නිතර නිතර ගැනීම ඇත්තෙන්ම අපගේ ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට බොහෝ හානිකර වන අතර  අතුරු රෝගාබාධ වැළඳීමේ ඉහළ ප්‍රවණතාවක්ද පවති. ඉතින් මේ එක් ඖශධයක අතුරු ඵලයක් පමණි. අපි දැනුවත්වම සෑම මසකම මාසික සායන වලට ගොස් අපේ දෙමව්පියන් වැඩිහිටියන් එක් මසකට කොතරම් බෙහෙත් ඖශධ පෙති ප්‍රමාණයක් තම ශරීරයට ලබා ගන්නවද? වර්තමානයේ රටේ පවතින තත්වය හමුවේ ඇතැම් රෝගීන්ට තමන්ගේ අත්‍යවශ්‍ය ඖශධවත් ලබා ගැනීමට නොහැකිව පවා කෙතරම් අසරණ තත්වයට පත් වී සිටිනවද?

හුදෙක් මෙය කිසිවෙකුට දෝෂාරෝපණය කිරීමකට  හෝ බටහිර වෛද්‍ය ක්‍රමයේ අඩුපාඩු ඉස්මතු කර දැක්වීමට ගත් උත්සහයක් නොවේ. අපට මඟහැරී යන අපේම සම්පත් රැක ගනිමින් ඒවාට පැවැත්මක් ලබා දීම අප සතු යුතුකමක් බව සිහිපත් කිරීමට ඒත්තු ගැන්වීමට ගත් වෑයමකි.  

මුලාශ්‍ර

Ayudeptncp. (n.d.). දේශීය චිකිත්සාවේ ඉතිහාසය, දේශීය චිකිත්සාව හෙවත් හෙළ වෙදකම. පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව | අනුරාධපුරය. https://ayudeptncp.lk/featured/deshiyachikithsa/

අමරසිංහවෛද්‍ය ජයන්ත, & පිටිපනචතුමී. (2021). ආයුර්වේද වෙදකම සහ පාරම්පරික වෙදකම. දිනමිණ. https://archives1.dinamina.lk/2021/02/08/විශේෂාංග/115377/ආයුර්වේද-වෙදකම-සහ-පාරම්පරික-වෙදකම

කහඳවකේ. එ්. ජේ. (2014). දේශීය වෙදකම රැකගනිමු – ඉසිවර සරණ ලබා ගනිමු. Mahamegha. https://mahamegha.lk/2014/08/10/deshiya-wedakama-rekaganimu/

මඩුල්ල, & සභාවප්‍රාදේශීය. (n.d.). දේශීය වෙදකම. මඩුල්ල ප්‍රාදේශීය සභාව. https://madulla.ps.gov.lk/si/දේශීය-වෙදකම/

විකිපීඩියා. (2021). ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රම. Wikipedia. https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_සාම්ප්‍රදායික_වෛද්‍යක්‍රම

විකිපීඩියා. (2023a). නිල වෙදකම. Wikipedia. https://si.wikipedia.org/wiki/නිල_වෙදකම

විකිපීඩියා. (2023b). සිංහල වෙදකම. Wikipedia. https://si.wikipedia.org/wiki/සිංහල_වෙදකම

Diluka Bandara
Diluka Bandara
senior student, Rajarata university of Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles