30 C
Colombo
Saturday, December 2, 2023
spot_img

Subscribe

Date:

Share:

කාන්තාවට නිදහස භුක්ති විඳීමට අයිතියක් නැතිද?

Related Articles

කාන්තාවන්, ඔවුන් අන් පුද්ගලයන්ගෙන් වෙනස් නොවන නමුත්, සමාජ, ආර්ථික, අධ්‍යාපන සහ දේශපාලනික වශයෙන් ඔවුන්ට තවමත් බොහෝ විට ලැබෙන්නේ පසු පෙළ අසුනකි. මේ හේතුවෙන්, කාන්තාවන් වෙනුවෙන් වෙනම හඬක් නැගීමේ අවශ්‍යතාව පැන නැගී තිබේ. සෑම කෙනෙකුම නිදහස් හා සමාන වන තුරු අපට නිදහස් හා සමාන සමාජයක් තිබිය නොහැක. පුරුෂයන්ට සමාන අයිතිවාසිකම් කාන්තාවන් භුක්ති විඳින තුරු, මෙම අසමානතාව සෑම පුද්ගලයෙකුගේම ගැටලුවක් බවට පත් වේ .

ඇත්තෙන්ම කාන්තාවන්ට සහ පිරිමින්ට ලෝක දෙකක් ඇති තාක් කල් කාන්තා නිදහස සහ මානව හිමිකම් ගැන කතා කිරීම ද මායාවකි. ලෝකයේ ඕනෑම තැනක කාන්තාවන්ට එරෙහි වෙනස්කම් කිරීම සෑම තැනකම අප සියලු දෙනාගේ මානව හිමිකම්වලට බලපායි. නව නිදහසක් සහ නව සම්බන්ධතාවයක් තුළ ඇති ගෞරවය අප වටහාගෙන එකිනෙකාගේ අවශ්‍යතා පිළිබඳ අන්‍යෝන්‍ය  අවබෝධයෙන් කටයුතු කළ යුතුය. සියලු ජනයා විසින් බෙදාගෙන ඇති ඉලක්කය ලෝකයේ සෑම තැනකම කාන්තාවන්ට නිදහසයි. ජීවය මැවීම සඳහා ඔවුන් රඳා පවතින ස්ත්‍රින් නිදහස් නොවන්නේ නම් පිරිමින්ට කිසි විටෙකත් තමන්ගේ නිදහසක් හෝ මානව හිමිකම් අත්කර ගැනීමක් බලාපොරොත්තු විය නොහැක. (Hosken, 1981)

2000 දශකයේ සිට ශ්‍රී ලංකාවේ කාන්තා ජනගහනය පුරුෂයන් ගණන ඉක්මවා තිබේ. වර්තමානයේ දී රටේ ජනගහනයෙන් 52% ක් සිටින්නේ කාන්තාවන්ය. නමුත් මෙම වර්ධනය ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා ගැහැණු දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හේතු වී තිබෙනවා ද යන්න ගැටලුවකි. වර්තමාන ඩිජිටල් ලෝකය තුළ කාන්තා අයිතීන් ඉතා වේගයෙන් වර්ධනය වෙමින් තිබුණ ද පුරුෂාධිපත්‍ය සමග බැඳුණු දීර්ඝ ඉතිහාසයක් ඉක්මණින් වෙනස් කිරීම ඉතා අපහසු කාර්යක් වී ඇත (දැහැමි රණවීර, 2021).

නූතනය වන විට අප ජීවත් වන ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රියගේ ස්වභාවය කෙසේ ද කියා මොහොතක් සිතන්න. එය සැබැවින් ම අද පවතින්නේ පෙර තත්ත්වයන්ට වඩා හාත්පසින්ම වෙනස් තැනකය. කාන්තා හිංසනය වැනි පුවරු වරින් වර කරලියට පැමිණය ද අද ලංකාව තුළ කාන්තාව ද පුරුෂයා තරමට ම සිය ස්වාධිනත්වය භුක්ති විදින්නට උත්සය දරන බව ද නාගරික උගත් සමාජය තුළ එය සාර්ථකව සිදුවන බවද නොරහසකි. එහෙත් තවමත් ග්‍රාමීය මට්ටමින් සහ සංස්කෘතික මායිම් කර පින්නා ගත් වැඩවසම් පිරිමි ද නූගත් සමාජය ද කාන්තාව තවමත් සිරකරන්නට වෙහෙසෙන අයුරක් දක්නට ලැබේ. ලංකාව වැනි රටවල කාන්තාව සිර කරන්නට වෙර දරන බොහෝමයක් සංසිද්ධින් දැක ගන්නට ඇත්තේ අර්ධ නාගරික හෝ ග්‍රාමීය සමාජ ස්ථරවල ය. පිරිමි අතරින් බොහෝමයක් දෙනා පිටත සමාජය තුළ කාන්තා විමුක්තිය පිළිබද මහා දේශන පැවැත්වුව ද සිය නිවසේ දි තමන්ගේ බිරිදට දුවට පුරුෂවාදී නීති පද්ධතියන් දමා ඇති ආකාරය කාටත් නොරහසකි. එබැවින් කාන්තාවට උස් තැන දෙන්නේ ද සම තැන දෙන්නේ ද යන්න ගැන නොව ස්ත්‍රියට ගරුත්වය සහ නිදහස දිය යුතු බව සියලු දෙනාම අවධානය යොමු කල යුතු  කරුණකි. එය පටන් ගත යුත්තේ තම තමන්ගේ ම නිවසින් මිස පිටස්තර ලෝකයෙන් නොවේ.

ආසියාවේ සහ මැදපෙරදිග රටවල කාන්තාවගේ සම අයිතිවාසිකම් සහ නිදහස පිළිබඳව හුදී කරුණාවෙන් සටන් වදින ඇතැම් යුරෝපීය රටවල පවා කාන්තා නිදහස, සුරක්ෂිතභාවය, මුළුමනින්ම සහතික කෙරී නැත. උදාහරණ ලෙස බංග්ලාදේශයේ, පකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ සහ ඉන්දියාවේ කාන්තා නිදහස පිළිබඳව මොර දෙන ඉතාලියේ, සෑම දින තුනකටම එක කාන්තාව බැගින් තම සැමියාගෙන් හෝ තම පෙම්වතා අතින් ඝාතනයට ලක්වේ. සෑම විනාඩි පහකටම වරක් එක් කාන්තාවක් ලිංගික අපචාරයට හෝ මානසික හෝ ශාරීරික හිංසනයට හෝ ලක්වෙයි. කරුණු කාරණා දිනෙන් දින මෙසේ බරපතල වේ නම් එහි අරුත වෙන්නේ ප්‍රශ්නයට මෙතෙක් නිසි පිළියම් යෙදී නැති බවය. මෙය ජාත්‍යන්තර ප්‍රශ්නයකි (සංස්කාරක, n.d.). 

ලෝක ජනගහනයෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් සාමාන්‍යයෙන් වධහිංසාවට, කුසගින්නෙන්, ත්‍රස්තවාදයට, නින්දාවට, අංගවිකල කිරීම්වලට සහ මිනීමැරුම්වලට පවා ලක්වන්නේ ඔවුන් කාන්තාවන් නිසා ය. කාන්තාවන් හැර වෙනත් ඕනෑම කණ්ඩායමකට එරෙහි මෙවැනි අපරාධ සිවිල් සහ දේශපාලන හදිසි අවස්ථාවක් මෙන්ම වින්දිතයන්ගේ මනුෂ්‍යත්වය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස පිළිගනු ලැබේ. එහෙත්, මරණය සහ මෙවැනි අපයෝජන පිළිබඳ පැහැදිලි වාර්තා තිබියදීත්, එවැනි අසාධාරනකම් මානව හිමිකම් කඩවීම් ලෙස පොදුවේ සලකනු නොලැබේ. මෙය න්‍යායිකව මෙන්ම ප්‍රායෝගිකවද ගැටලු සහගත වන්නේ එවැනි කාන්තාවන්ගේ ජීවිතයේ මූලික ප්‍රශ්න දෙස සමාජය බලන ආකාරය සහ සලකන ආකාරය සම්බන්ධයෙන් බරපතල ප්‍රතිවිපාක ඇතිකිරීමයි. කෙසේ වෙතත්, බොහෝ කාන්තා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ස්ත්‍රී පුරුෂ භාවය හා පැහැදිලිව සම්බන්ධ වේ – එනම්, ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගෙන කාන්තාවන් වෙනස් කොට සැලකීමකට ලක් කෙරේ. (Bunch, 2017)

කාන්තාවගේ නිදහස, විමුක්තිය හා සුරක්ෂිතතාව ගැන බලන විට ප්‍රධාන අංශ දෙකක් ඔස්සේ එය ඇතිකළ හැකි බව පෙනී යයි. ඉන් එකක් වන්නේ නීතිය බලාත්මක කොට කාන්තාවගේ නිදහස හා ගෞරවය ආරක්ෂා කිරීමය. අනෙක වන්නේ රැකී රක්ෂා ක්ෂේත්‍රයේ ද නායකත්ව ක්ෂේත්‍රයේ ද කාන්තාවට සම තැන ලබා දෙන ලෙස වැඩසටහන් ක්‍රියාත්මක කිරීමය. ලංකාව තුළ ක්ෂුද්‍ර ණය ආයතනවල ණයගැතියන්ගේ ලැයිස්තු විමර්ශනය කළහොත් ඉන් බහුතරය කාන්තාවෝ ය. ජීවිතය ගෙන යාම හා කුටුම්භ සංරක්ෂණය සඳහා ණය ගැනීම එක අතකින් සිදුවෙයි. ස්වයං රැකියා හා කුඩා ව්‍යාපාර නඩත්තුව සඳහා ණය ගැනීම තව අතෙකින් සිදුවෙයි. මෙලෙස ණය ලබාගන්නේ අධික පොලියකටය. එය කාන්තාවට ජීවිතය එපා කරවන සිද්ධියක් වී ඇත. එමෙන්ම කාන්තා විදේශගත ගෘහ සේවයේ ගැටලු විසඳීම සඳහා කළ යුත්තේ එම සේවය අහෝසි කිරීම නොව ඊට සුරක්ෂිතතාවක් ඇතිකිරීමය. කාන්තාවන් නිසා විදේශ ගෘහ සේවය ඔස්සේ රටට විශාල විදේශ විනිමයක් ලැබෙන බව ද අමතක නොකළ යුතු කාරණයකි. මෑත කාලයේ ශ්‍රී ලංකාවේ කාන්තාව ලැබූ විශේෂ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැක්කේ ස්ත්‍රී විෂයයෙහි මුදාහැර තිබූ ප්‍රචණ්ඩත්වය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකර ගැනීමට හැකිවීම ය. එවැන්නක් සිදුවුවහොත් බලපෑමකින් තොරව නීතිය ක්‍රියාත්මක වනු ඇත. එබැවින් නීතිය ගැන විශ්වාසයක් තැබිය හැකිය. ශ්‍රී ලංකාවේ කාන්තාව බුද්ධිමත් නම්; තමන්ගේ නිදහස හා ගෞරවය ආරක්ෂා වන ලෙස ඉදිරියේදී තීන්දු තීරණ ගනු ඇත. (කතුවැකිය, 2019)


එක්සත් ජාතීන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතා දර්ශකයට අනුව රටවල් 187 ක් අතර ශ්‍රී ලංකාව 74 වන ස්ථානයේ පසුවේ. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ අනාගතයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති නමුත්, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට තවමත් දේශපාලනය, රැකියා, විවාහය මෙන්ම පෞද්ගලික දිවිය තුළ බොහෝ බාධකවලට මුහුණ දීමට සිදුව තිබේ. පුරුෂයන් 72.4% ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට කාන්තාවන්ගේ දායකත්වය 32.5% ක් පමණි. එසේම, කාන්තාවන්ගේ විරැකියා අනුපාතය 36.3% ක් වන අතර, පුරුෂයන් අතර එය 21.1% ක් පමණි. එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය 2020 දී නිකුත් කළ වාර්තාවකට අනුව, දැරිය හැකි මුදලකට ගුණාත්මක දිවාසුරැකුම් මධ්‍යස්ථාන සහ ළමාරක්ෂක සේවා නොමැතිකම, නිවසේ රාජකාරි බෙදා ගැනීමට සහාය නොලැබීම සහ සේවිකාවන්ට අවශ්‍ය සහාය නොදක්වන සමහර සේවා ස්ථාන සංස්කෘතීන් වැනි බොහෝ සාධක නිසා රට තුළ ශ්‍රම බලකායට කාන්තා සහභාගීත්වය අවම වී තිබේ. කාන්තාවන්ගේ අධ්‍යාපන මට්ටම ක්‍රමයෙන් ඉහළ යමින් තිබියදීත්, තවමත් ඔවුන්ගේ ශ්‍රමය බොහෝවිට වැයවන්නේ නිවසේ එදිනෙදා වැඩකටයුතුවලටය. කාන්තාවන්ගේ සමාජ භූමිකාව පිළිබඳ පූර්ව නිගමනවලට එළැඹීම හේතුවෙන් අදටත් ඔවුන්ට බොහෝ අවස්ථා මග හැරෙන අතර, විවිධ තහංචි මධ්‍යයේ දිවි ගෙවීමට සිදුව තිබේ.  එමෙන්ම ලොව  පුරා රැකියා තුළ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරයක් බොහෝ විට දැකිය හැකිය. පුද්ගලයෙකු නිරත වන රැකියාව අනුව ස්ත්‍රී – පුරුෂ වැටුප් පරතරයක් ඇතිවීම සාමාන්‍ය වුවද එක හා සමාන අධ්‍යාපනයක් ලබා, එක සමාන අත්දැකීම් ඇති කාන්තාවකට, පුරුෂයෙකුට ගෙවන වැටුපෙන් හරි අඩකටත් වඩා අඩුවෙන් ගෙවන ආයතන, කර්මාන්ත සහ වෙනත් රැකියා ස්ථාන රැසක් ශ්‍රී ලංකාවේ ඇති බවට වාර්තා වී තිබේ (දැහැමි රණවීර, 2021).


කෙසේ වුවත් වසරේ අනෙකුත් සෑම දිනකම කිසිදු නිදහසක් හෝ මානසික තෘප්තියක් නොමැතිව වහලියක සේ වැඩ කරමින්  කාන්තා දිනය යෙදෙන මාර්තු අටවැනිදා පමණක් ඇයගේ අයිතිවාසිකම් සහ නිදහස් පිළිබඳව කතාකිරීමෙන් හෝ උත්සව පැවැත්වීමෙන් හෝ එදිනට පමණක් ඇයට මල්මිටක් දීමෙන් හෝ කාන්තාවට ගෞවරණීය බවක් ලබාදිය නොහැකි ය. එය සෑම මොහොතකම ඇය ලැබිය යුත්තකි. ඇතැම් කාන්තාවන්ට එම දිනයත් ඇයගේ කාර්යන් නිසි පරිදි සිදුකල යුතු ඉතා කර්බහුල තවත් එක්‌ දවසක් පමණි. සැබවින්ම කාන්තාව යනු ද ජිවයකි. ඇයත් කැමතියි සතුටින් තම දිවිපෙවත ගත කරන්න.  ඇයත් කැමතියි මොහොතක් හෝ නිදහස් මනසකින් ගත කරන්න. ගැහැණු දරුවෙකු උපතේදීම මෙහෙකාරියක් ලෙස වැඩ කල යුතුයි යන මන්ද මානසික සිතුවිල්ල සමාජයෙන් නෙරපා දැමීමට දැන් කාලය උදාවී තිබේ. ගැහැණු දරුවෙකු තම දෙමාපියන් සමග සිටින කාලය තුලත් නිවසේ කටයුතු  සිදුකල යුතුයි. විවාහ දිවියට පත් වූ විට දරුවන් හදන්න, රැකබලා ගන්න, වගේම ඔවුන්ගේ සියලු වගකීම් මෙන්ම  ගෙදරදොර කටයුතු සියල්ලමත් තනිව කරගැනීමට සිදුවීම ඇත්තෙන්ම ඉතා ඛේදනීය තත්වයකි. විවාහ දිවියක් තුල නම් ඇතැම් විට කාන්තාවන් විසින්ම කාන්තාවන්ට පීඩාකාරී තත්වයන් නිර්මාණය කිරීම සුලභ කරුණකි. නැන්දම්මා, නෑනා සහ ලේලිය අතර ගැටුම් ඊට හොදම  නිදසුනකි. ඇත්තෙන්ම විවාහය තුලදී වුවද කාන්තාවකට නිදහස මෙන්ම ඇගේ පෞද්ගලිකත්වය යන කරුණු වලට මුල්තැන දීමට වගබලා ගැනීම කාගේත් යුතුකමකී. මේ  සියල්ලටම පසුවත්  කාන්තාව යන චරිතයට නිදහස අකැපද? මෙය සමස්ථ සමාජයම අවධානය යොමු කල යුතු කාරණයක් වේ. ශ්‍රී ලංකාව තුල එම මන්ද මානසික තත්වය ඉතා බහුල ලෙස දක්නට ලැබෙන තත්වයකි. ලංකාවෙන් ඔබ්බට ගොස් මෙම මාතෘකාව දෙස බැලුවහොත් එය ඉතාම පරස්පර තත්වයකි. ඇතැම් අරාබිකරයේ රටවල් හැරුණු විට බොහොමයක්  විදේශ රටවල කාන්තාවන් සහ පුරුෂයන් යන දෙපිරිසම සමාන මට්ටමක සැලකුම් ලබති.  ගරු බුහුමන් දක්වති. පවුල තුල කටයුතු වුවද දෙදෙනාම එක්ව සහයෝගයෙන් සිදු කරති. නිදහස උපරිමයෙන් භුක්ති විදින ඔවුන් බොහෝවිට සාමකාමී පවුල් ජිවිත ගත කරති. ඉතින් ලංකාව වැනි කුඩා රටක මෙවැනි සාමකාමී ආකල්ප සහ සහයෝගිතාව එකිනෙකා තුල ගනිමින් වර්ධනය කරගනිමින් කාන්තාවන්ට නිදහස් දිවියක් ගත කිරීමට නොහැකි තත්වයක් උදා වී තිබෙන්නේ මන්ද යන්න තවමත් ප්‍රශ්නයකි.  වෙනත් කිසිවක් නොමැතිව වුවද, මාතෘත්වයේ නාමයෙන් පමණක් හෝ කාන්තාව ගෞරවණීයත්වයට ලක්විය යුතුය. ඒ වගකීම බොහෝදුරට පැටවෙන්නේ සමස්ථ පිරිමි පාර්ශවය මතය. කාන්තාවන්ට නිදහස් පරිසරයක් නිදහස් දිවිපෙවතක් ලබාදිය හැකි එකම පුද්ගල කොට්ටාශය ඔවුන් වේ. එවිට සමස්ථ රට ම කාන්තාවට නිදහස භුක්ති විදිය හැකි තැනක් බවට පත්වන බව නම් ස්ථිරය.   

Beautiful young woman jumping on the beach with a colored tissue

Bunch, C. (2017). Women’s rights as human rights: Toward a re-vision of human rights. The Development of International Human Rights Law, 1(4), 41–53. https://doi.org/10.4324/9781315086750

Hosken, F. P. (1981). Toward a Definition of Women’s Human Rights. Human Rights Quarterly, 3(2), 1. https://doi.org/10.2307/761853

කතුවැකිය. (2019). කාන්තා විමක්තිය. දිනමිණ. https://www.dinamina.lk/2019/10/29/කතුවැකිය/83195/කාන්තා-විමුක්තිය

දැහැමි රණවීර. (2021). ශ්රී ලාංකික කාන්තාවන්, මානව හිමිකම් සහ ස්ත්රී පරුෂ සමානාත්මතාවය. බීබීසී සිංහල. https://www.bbc.com/sinhala/sri-lanka-56298986

සංස්කාරකප්‍ධාන. (n.d.). කාන්තාවන් ට නිදහස දීම කුටුම්භයෙන් අරභමු. වචන.Lk. https://wachana.lk/editor/ed/12/

Diluka Bandara
Diluka Bandara
senior student, Rajarata university of Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles