

පසුගිය කලාප වලින් ග්‍රහ තාරුකා ගැන මෙන්ම රාශි පිළිබදව ඔබව දැනුවත් කලා. මෙවර සූදානම් වන්නේ, ග්‍රහයන් ගැන කතාකිරීමට යි. ග්‍රහයින් ගැන කතාකිරීමට පෙර රාශි පිළිබදව අවබෝධයක් ලබාගත යුත බැවින් පසුගිය කලාපයෙන් ඒ ගැන කතා කළා.
– ග්‍රහයෝ –


කේන්ද්‍රයක් ගත්විට එහි කොටු 12ක් ඉහත ආකාරයට තිබේ. මෙම කොටු තුලට ග්‍රහයින්ගේ නම් ඇතුලත් කරනු ලැබේ. සමහර කොටු තුල ග්‍රහයින් කිහිප දෙනෙක් සිටිය හැකි අතර තවත් සමහර කොටු, හිස්ව පවතී. මෙම ග්‍රහයින්, රවි, සඳු හෙවත් චන්ද්‍රයා, බුධ, සිකුරු, කුජ, ගුරු, ශනි, රාහු, කේතු ලෙසින් හැඳින්විය හැක. නවග්‍රහයින් ලෙසද හඳුන්වනු ලැබේ.
ග්‍රහ මණ්ඩලයේ මූලිකයා වන්නේ, රවි හෙවත් ඉරය. ඒ වටා අනෙකුත් ග්‍රහයින් ගමන් කරයි. ප්‍රමාණයෙන් ලොකුම ග්‍රහයා වන්නේ, රවි වන අතර ඊට පසු පිළිවෙලින්, ගුරු, සෙනසුරු, පෘථිවිය, සිකුරු, කුජ නම් කළ හැක. කුඩාම ග්‍රහයා වන්නේ බුධය.
චන්ද්‍රයා පොළවට අයිති ග්‍රහයෙකි.චන්ද්‍රයාට පොළව වටා රවුමක් යාමට දින 27ක් පමණ ගත වේ. චන්ද්‍රයා ප්‍රමාණයෙන් කුඩා වුවත්, ජ්‍යොතිෂ්ශාස්ත්‍රයේදී රවිට ප්‍රධාන ස්ථානයත්, චන්ද්‍රයාට දෙවැනි ස්ථානයත් ලැබී ඇත. දැන් අපි පිළිවෙලට නවග්‍රහයින්ගේ විස්තර සහ බලපෑමෙන් සිදුවන්නේ කුමක්දැයි විමසා බලමු.
රවි – රවි මගින් ලොවට එළිය, ප්‍රාණය හා උෂ්ණත්වය ලබාදෙනු ලැබේ. රවි මගින් ආදරය හා දැනීම ඇති කරනු ලබයි. රාශි සඳහා රූප හඳුන්වාදුන් ආකාරයට ම ග්‍රහයින් සඳහා ද රූප හඳුන්වා දී තිබේ. ඒ අනුව, රවි සඳහා රතු ඇස් තිබෙන, සිරුරෙන් බඹයක් පමණට උසින් සුදුපාට, පිත් ඇති, ප්‍රඥාවන්ත කෙස් අඩු තැවෙන්නා වූ රන් ඔටුන්නක් පැළඳි අශ්වයෙක් පිට නැගි රජෙකු ලෙසින් හඳුන්වා දී ඇත.
රවිට බලවත්වන දිශාව දකුණ වේ. පුරුෂ ග්‍රහයෙක් මෙන්ම පාප ග්‍රහයෙක් ද වන රවි, නොමරණ ග්‍රහයෙක් ලෙස දක්වා තිබේ. ආශ්වාස ප්‍රාශ්වාසය, ප්‍රසිද්ධිය, නම්බුව, රෝග බෝනොවීමේ ශක්තිය රවිගෙන් ලැබේ. උද්යෝගිමත් බව, පුද්ගලිකත්වය, බලය හා අයිතිවාසිකම, ආත්ම විශ්වාසය, තමාට තමාම යන අදහස, අවබෝධඥානය, චිත්ත වේගය, ශක්තිය රවිගෙන් ලැබේ. යමෙකුගේ උපත දහවල් හෝ රැයේ සිදුවුවද පියකාරක වේ. එනිසාම පියා ගැන තොරතුරු බැලිය යුත්තේ, රවිගෙනි. යම් අයෙකුට තනතුරු ලබාදීම හා තනතුරු වලින් පහකොට බන්ධනාගාරවල දැමීම සිදුකරන්නේද රවිගේ බලපෑම නිසාය.
රවි බලවත් නම් ;- ආත්ම ගෞරවය ඇති කරන අතර, අන් අය පාලනය කිරීමේ ශක්තිය ලැබේ. බොරුවට හිස නොනමන අතර, ආශ්‍රය කරන පිරිස් අතර ප්‍රධාන තැනක් ගනී.
රවි දුබල නම් ;- බොරු අහංකාරකම, යන යන තැන අන් අයට වඩා පහත් ලෙස පෙනීම, වාචාලකම, චපල ගතිය, ආත්ම විශ්වාසයක් නැතිකම ආදිය සිදුවේ.
ඇස්වලට, කටට, හෘදය වස්තුවට,ලේ වලට, මොළයට, උගුරට, ඇලදිවට රවි අයිති වේ. රවි මගින් මොළයේ අමාරු, ලේ දූෂනයවීමේ රෝග, බෙල්ල මහත්වීම, තද උණ රෝග, සීනි අඩුකම, ඇස්වල හා මුහුණේ රෝග ඇති කරනු ලබයි.


චන්ද්‍රයා – ඉහතින් මා දැක්වූයේ රවි, පියා ලෙසටයි. ඒ අනුව චන්ද්‍රයා මව ලෙසින් හැඳින්විය හැකිය. රවුම් අතපය ඇති, දැකීමට ප්‍රිය, චංචල ගති ඇති, බලවත් කාමාශාව ඇති, වා සෙම් අධික, ප්‍රඥාවන්ත, ඇතෙකු පිට නැගි ජටාවක් හිස පැළඳි ස්ත්‍රී රූපයක් ලෙසින් චන්ද්‍රයා හඳුන්වා දී තිබේ.
ස්ත්‍රී ග්‍රහයෙක් වන චන්ද්‍රයා සෞම්‍ය ග්‍රහයෙක් ලෙසද හඳුන්වා දී ඇත. චන්ද්‍රයාට රජකම හිමිකර දී ඇති අතර නොමරණ ග්‍රහයෙක් ලෙස දක්වා ඇත. රාත්‍රියේ උපදින අයගේ මව වන අතර මාතෘකාරක ග්‍රහයා ද වේ. හැඟීම් වලට, පෙනුමට හා සිතට තදින්ම බලපායි. පිරිමින්ට වඩා ස්ත්‍රීන්ට චන්ද්‍රයාගේ බලපෑම සිදුවේ. දරුවන් පිළිසිඳ ගැනීම, ඔසප්වීම, නිවෙස්වලට ඇති ආශාව, දැකුම්කළු බව, අනුන්ගේ සිත නොරිද්දන ගතිය චන්ද්‍රයා මගින් සිදු කරයි.
චන්ද්‍රයා දුර්වල වීමෙන් ;- චපල ගතිය, අවලක්ෂණකම, අනුන්ගැන නොසලකාහැරීම, හොරහිත, ගුණමකු කම, සිතට සෑහීමක් ලබාගත නොහැකි ගතිය ආදිය ඇතිකරයි.
චන්ද්‍රයා බලවත්වීමෙන් ;- හිතේ උසස් බවක් ඇතිකිරීම, හිත පාලනය කරගතහැකිවීම, පහසුවෙන් දුක හඳුනාගැනීම, අනුන්ගේ දුකට පිහිටවීම, තීක්ෂණ කමක් ඇතිවීම ඇතිකරයි. එමෙන්ම,ලෞකික දියුණුවට වඩා උසස් ආධ්‍යාත්මක දියුණුවක් ලබාගත හැක.
පිරිමින්ගේ වම් ඇස ද, ස්ත්‍රීන්ගේ දකුණු ඇස ද පාලනය කරයි. මොලය, සෙම, තොල, ආමාශය, මුත්‍රාශය, ස්ත්‍රීන්ගේ පයෝධර චන්ද්‍රයාට හිමි වේ. සරම්ප, පණු රෝග, සෙම්ගෙඩි, වලිප්පුව, බඩේ කැක්කුම, පාචනය, පෙණහැල්ලේ අමාරු, ගෙඩි, දද, සිහිය විල්වීම, ඔසප්වීමේ රෝග, රෝග වශයෙන් දැක්විය හැක.


බුධ – රවි සහ චන්ද්‍ර, දෙමව්පියන් ලෙස ගත්විට, බුධ පොඩි පුතා හෙවත් සුරතලා ලෙසින් හැඳින්විය හැක. සිතුවිලි වලින් හා මොළය භාවිතා කර, කරනා දේ සඳහා ප්‍රධානියා බුධ වේ. මොළය වෙත සියළුම පණිවුඩ ලැබීම සදහා බුධ උපකාරීවේ. ඥාණය ඇති ප්‍රියකරු රූපයක් සහිත, සිනාසීමට සහ විහිළු කතා කීමට කැමති, වා, පිත් එකසේ ඇති, සත්‍යවාදී, උසස් ශරීරයකින් යුක්ත, රත්ත්‍රන් ඔටුන්නක් පැළද මීමෙකු පිට නැගී සිටින රූපයක් සහිතව බුධ හදුන්වා දී තිබේ. බුධට අයත්වන වර්ණය කොළපාට වේ. වෙනස්වන ග්‍රහයෙක් වන බුධ, සුභ හෝ පාපකාරී නොවේ. සුභ ඇසුරෙන් සුභ වන අතර පාප ආශ්‍රයෙන් පාපී ද වේ. බුධට, දැකීමෙන් දැනීමේ ශක්තියක් (The Sense Of Seeing) හිමි වේ. මතක තබාගැනීමේ ශක්තිය, තීක්ෂණ ඥනය ලැබීම, හේතුව දැනගැනීමේ ආශාව, ඇත්ත සෙවීම, ලිවීම, කතාකිරීම, කියවීම, සිතීමේ ශක්තිය බුධ මගින් ඇතිවන අතර ඥානකාරකයා ලෙසද හදුන්වයි.
බුධ දුර්වලවීමෙන් ;- නිතර අමතකවන ගතිය, බොරුකීම, ගොතගැසීම. අන්අය රැවටීම, සිහිකල්පනාව අඩුකම, හේතු යුක්තිය පිළිබදව සැලකිලිමත් නොවීම, හොර අත්සන් ගැසීම ආදිය ඇතිකරනු ලබයි.
බුධ බලවත්වීම මගින් ;- ලිවීමට, කියවීමට, ඉගැන්වීමට ඇති දක්ෂකම, පින්තාරු කිරීම, කැටයමි ශිල්පයෙහි දක්ෂ බව, විවිධ භාෂා ඉගෙනගැනීමට ඇති ආශාව, හොඳ සිහිකල්පනාව, ගණිතය හා ජ්‍යොතිෂ්ශාස්ත්‍රය ගැන දැනුම ඇතිකරයි. පොත්පත්, ආහාර වර්ග, බෙහත් ද්‍රව්‍ය වෙළඳාම ආදියට ද හේතුකාරක වේ.
බුධට දිව, පෙනහැල්ල, නාසය, මොළය, අත්, නහර පැවැත්ම, ස්නායු අයිති වේ. රෝග ලෙස, බිහිරිකම, ගොතගැසීම, මානසික රෝග, හිසේ කැක්කුම, වලිප්පුව හා කලන්තය ඇතිකරයි.


සිකුරු – සිකුරු මගින් ආදරය සහ කරුණාව ලැබේ. ශරීර අභ්‍යන්තර හැඟීම් වලට බලපානු ලබයි. එකිනෙකා අතර සම්බන්ධතාවය, සහෝදරත්වය, අනුන්ට සැප පහසුකම් සලසාදීම සිකුරු මගින් සිදුකරයි. දීප්තිමත් ඇස් , හොඳ ශරීරයක්, රැළිගැසුනු කොන්ඩයක් ඇති සහ සෝබන පෙනුමක් ඇති සැප, කාමය, බලය ඇති, සියළු ගුණයහපත්කමින් හෙබි ඔටුන්නක් පැළඳගෙන ගොනෙකු පිට නැගගත් ස්ත්‍රී රූපයක් ලෙසින් සිකුරු හඳුන්වා දී තිබේ. තලලු පැහැය ගනී.
සැබැවින්ම සිකුරු සුභ ග්‍රහයෙකි.ස්පර්ශයෙන් ඇතිවන දැනීම (The Sense of Touch)ලැබෙන්නේ සිකුරුගෙනි. කුජගේ ක්‍රියාකලාපයන්ට විරුද්ධ ගති ඇති ග්‍රහයා වන්නේ සිකුරුය. විශේෂයෙන්ම පුරුෂ පක්ෂයට ආලය, කාමය, විවාහය ඇති කරන්නේ සිකුරු වේ. සතුට, සැප පහසුකම, හැදිච්ච ගතිය, හිතවත්කම ඇතිකරයි. සංගීතයට, වාදනයට, ගායනයට, නර්ථනයට, ආභරණ වලට, ඇඳුම්, මල්, පිරිසිදුකම, අලංකාරයට, කරුණ කරුණියන්ට, තරුණ වයසට බලපවත්වයි.
සිකුරු දුර්වලවීමෙන් ;- වෙනස්වන සුළු ආදරය, ප්‍රේමය නිසා සිතට දුක ඇතිවීම හා පිරිමින්ට ගැහැණුන්ගෙන් සහ ගැහැණුන්ගෙන් පිරිමින්ට කරදර ඇති වේ. තරුණ කාළයේ දී එම වයසට නොගැලපෙන ලෙස ජීවත්වීමට සිදුවීම. කාමාශා සංතර්පනය කරගැනීමට යාමෙන් විපත් කරදර ඇතිවීම. චරිතය අපිරිසිදු කරගැනීම, සමාජයෙන් කොන් කිරීම, විස්වාශය කඩකිරීම ඇති කරයි.
සිකුරු බලවත් වීමෙන් ;- විනීත බව, අනුන් අතරේ යහපත් අදහස් පැතිරවීම. කතාවෙහි දක්ෂකම, විරුද්ධ ලිංගික පාර්ශවයෙන් ගරු බුහුමන් ලැබීම, සාමයෙන් හා සහයෝගයෙන් අනුන් සමග ජීවත්වීමට හැකිවීමද, රූමත් බව, ද ලැබේ.
සිකුරුගෙන් මව ගැන හා බිරිඳ ගැන බැලිය හැකි වේ. ස්ත්‍රී ග්‍රහයෙක් වන සිකුරු ශරීරයේ උගුරට, නිකටට, කම්මුල්වලට, වකුගඩු වලට, ශුක්‍ර ධාතුවට අධිපති වේ. සිකුරු මගින් සෙම්ගෙඩි, බෙල්ල මහත්වීම, මුත්‍ර රෝග, වකුගඩුවල අසනීප තත්වය ආදිය ඇති කරනු ලබයි.


කුජ – මිනිසුන් අතර ඇති තිරිසන් ගතිවලට කුජ බලපානු ලබයි. කුජ මගින්, නිර්භීතකම, ධෛර්යය, එඩිතරකම, ශක්තිය, ඔරොත්තුදීම, තීක්ෂණ අවබෝධය හා සටන්කාමි ගති ඇතිකරයි. ශක්තිමත් මධ්‍යම ප්‍රමාණයේ සිරුරක් ඇති, කෲර රතු දෙනෙත් සහිත, රති කෙළියෙහි ලොල් වූ, මොණරෙකු පිටනැගි ඔටුන්නක් හිස පැළඳ සිටින පුරුෂයෙකු ලෙසින් කුජ හඳුන්වා දී තිබේ. පාප ග්‍රහයෙක් වන අතර තනතුර සේනාධිපතිකම වේ. රසයක් දැනීමෙන් ඇතිවන හැඟීම (The sense of taste) ලැබෙනුයේ කුජ මගිනි. සහෝදර කාරකයෙක් වන අතර බලහත්කාරකම් කරනු ලබන මැරවරයෙක් ලෙසද හඳුන්වා දී තිබේ. ආශාව, සටන් කිරීමට ඉදිරිපත්වන ගතිය, වැරදි දේට මෙන්ම නිවැරදි දේට යටත් නොවන ගතිය, ආත්ම විශ්වාසය, නායකත්වයට ආශාව, පුද්ගලික සැපපහසුකම් අනුන් වෙනුවෙන් කැප නොකිරීම කුජට හිමි වේ.
කුජ දුර්වල වූ විට ;- යන යන සෑම තැනකම විරුද්ධවාදීන් ඇතිකරගනී. සටන් ඇතිකර මගහරී. අනතුරු හා තුවාල සිදුවේ. සහෝදර සහෝදරියන්ගෙන් වෙන්වීම සහ ලේ වල නියම උෂ්ණත්වය අඩුකරයි.ස්ත්‍රී දූෂණ කිරීම මෙන්ම, බලහත්කාරකමින් අනුන්ගේ උදුරාගැනීම සිදුකරයි.
කුජ බලවත් වූ විට ;- සැමට පෙර ඉදිරියට යාමට ඉදිරිපත්වීම, රට – ජාතිය – ආගම වෙනුවෙන් සටන් කිරීම, යන්ත්‍ර සූත්‍ර පිළිබඳව ඉතා හොඳ දැනුම, තර්ක කිරීමේ හැකියාව, ඉඩකඩම් දේපල උපයාගැනීම, සහෝදරයින්ට උදව් කිරීම, ශරීර ශක්තිය ලැබීම හා අළුත් දේවල් සොයාගැනීම සිදුකරයි.
ශරීරයේ මස්පිඩු වලට, නාසයට, නළලට, ලිංගික ඉන්ද්‍රියයන්ට, ලේ වලට, කුජ බලපෑම සිදුවේ. කුජ මගින් ඇති කරන රෝග ලෙසින්, තද උණ රෝග, සන්නිපාත උණ, ලිංගික ඉන්ද්‍රියයන් සහ අවට අසාදන වීම්, ගබ්සා වීම, ලේ විෂ වීම, ආයුධ මගින් තුවාල ඇතිවීම, මුත්‍ර දැවිල්ල ආදිය දැක්විය හැක.


ගුරු – දැණුම දියුණු කර ගැනීමට, පණ්ඩිතකමට, හොඳ නරක තෝරා බේරාගෙන හොඳ ගති ඇතිකරගැනීමට, කාහටත් ගැලපෙන සේ තැන්පත් ගතියට, මැදිහත් සිතින් යුක්තිය ඉටුකිරීමට, ගෞරවය ඇතිකර ගන්නේ ගුරු මගිනි. රන්වන්පාට කෙස් ඉතා අඩු ප්‍රමාණයක් ඇති, සියළු ශ්‍රාස්ත්‍රයන් පිළිබඳව දැනුම තිබෙන, ඇඳුම් ගොඩකින් සැරසුන, මහත කහපාට ශරීරයක් තිබෙන, ප්‍රඥාවන්ත, මිනිසෙක් පිට නැගී සිටින ඔටුන්නක් හිස පැළඳි පිරිමියෙකුගේ රූපයකින් ගුරු හඳුන්වා දී තිබේ. ඇත්ත වශයෙන්ම සුභ ග්‍රහයෙක් වන ගුරු, පුත්‍රකාරක වේ. ගඳ සුවඳ දැනීමෙන් ඇතිවන හැඟීම (The sense of smell) ගුරුගෙන් ඇති කරයි. ආත්මාර්ථකාමී නොවන අතර සිසු පිරිසකගේ දියුණුව පිණිස කටයුතු කරන ගුරුවරයෙක් ලෙසද ගුරු හඳුන්වා දිය හැකිය. සාමාන්‍ය දැනීම, දුකට පත්වන අයට පිහිටවන, කලබල නොවන ගතිය, පලි නොගැනීම, මවිපියන්ගෙන් හා ගුරුවරුන්ගෙන් සැළකිලි ලබන, ධනය හා ප්‍රසිද්ධිය ගුරුගේ ලක්ෂණ වේ.
ගුරු බලවත් වූ විට ;- අනුන්ට උදවි කිරීම නිසා, අන් අය තමන් උසස් තත්වයකට පත්කරනු ලබයි. සමාජයට ප්‍රිය වීම, නීරෝගීකම, චරිතය පිරිසිදුව තබාගැනීම, යුක්තියට ගරු කිරීම, අයුක්තියට එරෙහිවීම, මිළමුදල් හිඟ නොවීම, යහපත් හා කීකරු දරුවන් ලැබීම සිදුකරයි.
ගුරු දුර්වල වූ විට ;- තද ආත්මාර්ථකාමී අයෙක් වේ.සීමාවතක් නොමැතිව වැඩ කරන අතර, ආඩම්බරගතිය. මතට ලොල් වීම. වැඩිහිටියන්ට, ආගම දහමට ගරු නොකිරීම. සත්‍යය වසන්කර කටයුතු කිරීම. චරිතය කෙළෙසාගැනීම ඇතිකරයි.
රෝග වශයෙන් ;- මොළයේ අමාරු, පෙනහළු වලට වතුර එකතුවීම,සෙංගමාලය, නිසි අයුරින් ලේ ගමන් නොකිරීමෙන් ඇති වන හමේ රෝග, විදුරුමස් දියවීම, ලේ විෂවීම, දියවැඩියාව, උණ සන්නිපාතය ඇතිවීම සඳහන් කළ හැකිය.


ශනි – ශනි යනු, සෙනසුරු ග්‍රහයා හඳුන්වන තවත් නමක් වේ. මෙලොවට වඩා පරලොව ගැන සිතන, දුකට කැමති ග්‍රහයා ලෙසින් සෙනසුරු හඳුන්වයි. මෙලොවදී දුක විඳිනු ලැබුවත් පරලොවදී සැප විඳිය හැකිය යන සිතුවිල්ල ඇති කිරීම, ඉවසීම, පිරිමැස්ම, රහස් හෙළිනොකිරීම ලැබෙනුයේ සෙනසුරුගෙනි. කෙට්ටු ශරීරයකින් හෙබි, රතු ඇස් හා විශාල දත් තිබෙන, වම් පාදය කොර, කළුපාට අවලක්ෂණ පෙනුමක් ඇති, කෙස් හා ලොම් වැඩි වශයෙන් තිබෙන, රළු වචන කතා කරන, ජටාවක් හිස පැළඳි, කපුටෙකුගේ මිට උඩ නැගුනු පුද්ගලයෙකුගේ රූපයකින් සෙනසුරු හඳුන්වා දෙනු බලයි. සෙනසුරුගේ තනතුර මෙහෙකාරකම වේ. පාප ග්‍රහයෙකි. දුකට අධිපතියා ද වේ. ශබ්ධ ඇසීමෙන් ඇතිවන දැනුම (The sense of hearing) සෙනසුරුගෙනි. ඕනෑම දුක් කම්කටොළු අවස්ථාවකට මුහුණ දීමේ හැකියාව. පෙර සූදානම. අසරණයින්ට මෙන්ම රෝගීන්ට සංග්‍රහ කිරීම. සිත එක් අරමුණක තබාගැනීම. කාමය, විවාහය ගැන සැළකිලිමත් නොවීම. බලහත්කාරකම්, මැරවරකම්වලට විරුද්ධවීම. සැප යනුවෙන් දෙයක් නැතිබවට වන හැඟීම සෙනසුරු නිසාම ඇතිවෙයි.
ශනි දුර්වල වූ විට ;- දැඩි ලෝභකම, ලෝභකමින් රැස්කරගත් දේ විනාශවීම, අධික ලෙස දුක් වීඳීම, කම්මැලිකම, ශරීරය කෙට්ටුවීම, ඉක්මනින් සුව නොවන කාළයක් බලපවත්නා රෝග ඇතිවීම, බලාපොරොත්තු සුන්වීම ආදිය සිදුකරනු ලබයි.
ශනි බලවත්වීමෙන් ;- නොබිදෙන විස්වාශය, නිර්ලෝභී ගතිය, නිතර වැඩකිරීමට ආශාව, බිය නැතිකම, ස්ථීර ප්‍රේමය, වැඩිහිටියන්ගෙන් ආධාර උපකාර ලැබීම, අන් අයට උපකාර කිරීම ඇතිකරනු ලබයි.
ශනිට අයත්වන ඉන්ද්‍රියයන් වන්නේ, දකුණු කන, දත්, අස්ථී, කොඳු ඇට පෙළ, මූත්‍රාශය, ඇලදිව, වම් පාදය යන ඒවාය.
ලෙඩ රෝග ලෙස, අස්ථි බිඳීම්, කොරවීම, දත්රෝග හා දත් දිරීම, පිළිකා, ගෙඩි, කුෂ්ඨ රෝග, දියවැඩියාව, අර්ශස් අමාරුව, බිහිරි වීම, උගුරේ අමාරුව දැක්විය හැක. සෙනසුරු රවිගේ පුත්‍රයා වන අතර නපුංසක ග්‍රහයෙකි.


රාහු – රාහු සහ කේතු තාරකා ශාස්ත්‍රයේදී උගන්වන්නේ නැත. හේතුව වන්නේ, මේ දෙනො ග්‍රහ වස්තූන් නොවීමය.චන්ද්‍රයා පොළව වටා යන ගමනේදී, පොළව හිරු වටා යන ගමන් මග, චන්ද්‍රයාගේ දිගුකළ නිරක්ෂයෙන් කැපෙන සන්ධිය, රාහු සහ කේතු ලෙසට ගණන්ගැනීමක් කරනු ලබයි.
රාහු, විසිරුවන, හොඳ සහ නරකට ප්‍රස්දධ අතර ඇවිද්දවන ග්‍රහයෙක් ලෙස හඳුන්වා දී ඇත. නයි ඔළුවක් ඇති, මිනිස් ශරීරයක් හිමි, භයංකාර උස් ශරීරයක් තිබෙනසෙම්රෝග සහිත, දුවන අශ්වයෙකු පිට නැගි රූපයක් රාහුට හඳුන්වා දී තිබේ. කොතරම් දුර කතරක වුවත් ඇවිදීමට හිත පොළඹවයි. මොළයක් නැති අතර ඥානය යොදවා කරනා දේට සුදුසු නැත. අනුන් ලබා දෙන ඔවදන් පිලිගන්නේ නැත. සාමාන්‍යයෙන් විරුද්ධවාදීන් ඇතිකර ගනී. වන්දනා ගමන් වලට ප්‍රිය කරයි.
රාහු දුර්වල වූ විට ;- පොත්පත්වල වැඩ සහ ඥානය යොදවා කරනා දේ එපා කරවයි. වෙහෙස මහන්සි වී කරන වැඩකටයුතු වලින් නිසි ඵල ලබාගත නොහැකිය. රැවටිලි වලට හසුවේ.සමාදානයට කැමතිවූවන් පවා විරුද්ධ කරගනී.
රාහු බලවත්වීමෙන් ;- විරුද්ධවාදීන් ඇතිවූවාට භිය නැති ගතිය. දේශපාලනයට සිත පොළඹවීම. විවේකය ගැන නොසිතා කටයුතු කිරීම සිදුකරයි.
රෝග වශයෙන්, හිතේ අමාරුව, පිස්සු වැටීම, හිත එක්තැනිව තබාගැනීමට නොහැකිවීම, වස හා විෂ ද්‍රව්‍ය ශරීරයට ඇතුල්වීමෙන් ඇතිවන අමාරු, සමේ රෝග ඇති කරයි.


කේතු – හකුළුවන, ගෙදරට වී ජීවත්වීමට හිත පොළඹවන ග්‍රහයා වේ. මිනිස් ඔළුවක් හා නයෙකුගේ කෙට්ටු ශරීරයක් ඇති, තුවාල කැළල් ඇති, ඔටුන්නක් හිස පැළඳි, නෙළුම් මලක් උඩ වාඩිවී සිටින රූපයකින් කේතු සංකේතවත් කර ඇත. මිනිස් ඔළුව මගින්, මිනිසා පිළිබඳව හොඳ දැනුමක් හා ඥානය ලබාදෙන ග්‍රහයෙක් ලෙසින් පෙන්නුම් කරයි. එක්තැනකට වී පොත පතට, ඥානය දියුණු කරගැනීමට, ගුප්ත දේට හිත පොළඹවනු ලබයි. ශරීරයේ හම දූෂණය වීමේ අසනීප ඇතිකරයි. පිරිසිදුකම ඉතා ගරු කොට සළකනු ලබයි. ස්ත්‍රීන් කෙරෙහි සිත නැඹුරු වේ. මිතුරන්ගෙන් ඈත් කරයි. සෑම වැඩක්ම කල්පනාවෙන් හා පරිස්සමින් කරයි.
කේතු දුර්වල වූ විට ;- ඔත්පලකර තබයි. ස්ත්‍රීන් හෝ පුරුෂයින් සමග හොර රහසේ සම්බන්ධතා ඇතිකර ගැනීමෙන් අපහාස විඳීමට සිදුවේ. බොරු සිල් ඇත්තෙක් ලෙස නම් දරයි. සැකය, අවිස්වාශය, භය, චංචල ගතිය ඇතිකරයි. එබැවින්, පළපුරුද්දෙන් කරන දෙයක් පවා හරියාකාරව කිරීමට නොහැකි වේ. සිතින් දුක්විඳීමට සිදුවේ.
කේතු බලවත් වූ විට ;- රටම පිළිගත් බුද්ධිමතෙක් වේ. පොතපතින් හා සිත දියුණුවන කටයුතුවලින් මෙන්ම ගුප්ත කටයුතු වලින්ද උසස් ප්‍රතිඵල ලබාගත හැකිය. නව නිවහනකපිරිසිදු ලෙස ජීවත්විය හැක. යුක්ති ධර්මයෙන් යුතුව පොදු ජනතාවට සේවය කරයි. මහජන ජනප්‍රසාදය දිනාගනී. නම්බුව හා ප්‍රසිද්ධිය නිරායාසයෙන්ම ලැබේ. මිළමුදල් ලැබීම් යහපත් වේ.
රෝග වශයෙන්, හමේ රෝග, සෙම් අමාරු, පැපොල, සරම්ප වැනි රෝග සැදීම, හම දුර්වර්ණ වීම, ඇතිකරයි.
ග්‍රහයින් පිළිබඳව මෙසේ කරුණු ඉදිරිපත් කළ හැක. ලබන කළාපෙයන් අපි කේන්දරය පිළිබඳව විමසා බලමු.