25 C
Colombo
Thursday, December 7, 2023
spot_img

Subscribe

Date:

Share:

ටික්ටොක් – TikTok

Related Articles

මොකද්ද මේ ටික්ටොක්
මේ වන විට ලොව පුරා පොඩිහිටි වැඩිහිටි කා අතරත් ඉතා ජනප්‍රිය යෙදුමක් වන
ටික්ටොක් කාලීන මාතෘකාවක් මෙන්ම පුවත් මවන්නෙක් වී හමාරයි. ඉතින් ටික්ටොක්
කියන්නේ මොකද්ද ටික්ටොක් බිහිවුණේ කොහොමද සහ එහි වර්තමාන තත්ත්වය
කෙසේද යන්න පිළිබදව විමසා බලමු.
ඇත්තෙන්ම TikTok යනු ඕනෑම මාතෘකාවක් මත කෙටි ආකෘති වීඩියෝ නිර්මාණය
කිරීමට සහ බෙදා ගැනීමට පරිශීලකයින්ට ඉඩ සලසන වීඩියෝ බෙදාගැනීමේ යෙදුමක්.
ඔබට වෙබ් යෙදුම භාවිතයෙන් TikTok වීඩියෝ නැරඹිය හැකි වුවද, එය ප්‍රධාන වශයෙන්
ජංගම දුරකථන මත පදනම් වුවකි. මෙය පරිශීලකයින්ට පෙරහන් (Filters), ස්ටිකර්
(Stickers), හඬපට (Voice), ශබ්ද ප්‍රයෝග (Sound Effects) සහ පසුබිම් සංගීතය (Background
Music) භාවිතයෙන් යෙදුම භාවිතා කරන්නන්ගේ අන්තර්ගතය සමඟ නිර්මාණශීලී වීමට
අවශ්‍ය පහසුකම් සලසයි. චීන වෙළඳපොලේ, TikTok රටේ වඩාත්ම ජනප්‍රිය යෙදුම් වලින්
එකක් වන Douyin නමින් වෙනම යෙදුමක් ලෙස ක්‍රියා කරයි. මේ වන විට එහි දෛනිකව
මෙම යෙදුම භාවිතා කරන පුද්ගලයින් බිලියන 1.5 කට වඩා ඇති බවයි ඔවුන් පෙන්වා
දෙන්නේ (Geyser, 2023) . එමෙන්ම චීන විඩියෝ හුවමාරු යෙදවුමක් වන ටික් ටොක්
ෆේස්බුක් සාමගම සතු නොවන වැඩිම පරිශීලකයන් ප්‍රමාණයක් බාගත කළ එකම
යෙදවුමයි (Aruna, 2021) .
TikTok යෙදුම හාස්‍යය සමහර විට ඕනෑම පරම්පරාවක හදවත් ග්‍රහණය කර ගත හැකි
තරුණ මෙන්ම වඩාත් ගතික සහ විචිත්‍රවත් හා ආකර්ශණිය අන්දමින් යාවත්කාලින වී
ඇත. TikTok සාමාන්‍යයෙන් තරුණ ප්‍රේක්ෂකයින්ට ඔවුන්ගේ හාස්‍ය වර්ගය
සම්පූර්ණයෙන්ම සපයන අතර, ඔවුන්ගේ නිර්මාණශීලිත්වය ප්‍රකාශ කිරීමට ඔවුන්ට ඉඩ
සලසමින් නවතම ප්‍රවණතා (Trending) සහ viral news සියල්ල හරහා තත්පර 15 – 60 කින්
ලුහුබැඳ යයි (Eclincher, 2022) .

ටික්ටොක් හි ඉතිහාසය සහ පරිණාමය
TikTok වලට පෙර එය Musical.ly ලෙස හැඳින්විය. එය කෙටි ආකෘති වීඩියෝ යෙදුමක් වූ
අතර එය ප්‍රධාන වශයෙන් කිසියම් සංගීතය පදයකට තොල් සමමුහුර්ත කිරීමේ (lip
syncing content) කෙරෙහි අවධානය යොමු කළ අතර එකල සැලකිය යුතු ජනප්‍රියත්වයක්
ලබා ගත්තේය. එය 2018 දී Byte Dance විසින් අත්පත් කරගත් විට, නම TikTok ලෙස
වෙනස් කරන ලද අතර එතැන් සිට ජනප්‍රියත්වය සහ පරිශීලකයින් සංඛ්‍යාව අනුව සීග්‍ර
ලෙස වර්ධනය වී ඇත. නවතම TikTok සංඛ්‍යා ලේඛනවලට අනුව, TikTok යෙදුම බිලියන
3.5 වාරයක් ස්ථාපනය කර ඇත. එය මාසිකව ක්‍රියාකාරී පරිශීලකයින් මිලියන 150 ක්
පමණ සිටි බව සලකන විට මෙය සිත් ඇදගන්නා සුළු ය. මෙවැනි සැලකිය යුතු පරිශීලක වර්ධනය යෙදුමේ ජනප්‍රියත්වය සහ ආකර්ෂණීය ස්වභාවය පිළිඹිබු කර දක්වයි.
එපමණක් නොව, ටික්ටොක් තවදුරටත් තොල් සමමුහුර්ත කිරීම (Lip syncing content) සඳහා
පමණක් නොවේ. යෙදුමේ සිටින නිර්මාපකයින් (creators) ඔවුන්ගේ අන්තර්ගතය සමඟ
අතිශයින්ම නිර්මාණශීලී වෙමින්, විහිලු කටු සටහන් (funny sketches) සහ තොරතුරු සහිත
වීඩියෝ (informative videos) එකතු කරයි. TikTok හි වඩාත් ජනප්‍රිය වීඩියෝ වර්ග ලෙස
විනෝදාස්වාදය සහ නර්තනය දිගටම පවතී. නමුත් සෞඛ්‍යයේ සිට ආයෝජනය දක්වා
වැදගත් මාතෘකා ආවරණය වන අධ්‍යාපනික අන්තර්ගත ද ඕනෑ තරම් සොයා ගැනීමට
හැකියාව ටික්ටොක් හි පවතී (Geyser, 2023) .
2023 දී ලොව පුරා සමස්ත සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් බිලියන 5 ක් සිටින බවට
ගණන් බලා ඇත. සාමාන්‍ය පුද්ගලයෙක් මසකට විවිධ සමාජ ජාල හතක් (7) තුළ
සංචරණය කරන අතර අන්තර්ජාලය භාවිත කරන්නන් සමාජ මාධ්‍ය තුළ ගත කරන
කාලය දැන් දිනකට මිනිත්තු 151කට වඩා වැඩිය. (පැය 2.5 කට ආසන්න) TikTok යනු
2020 සහ 2022 අතර 100% ක විස්මිත පරිශීලක වර්ධන වේගයක් සහිත වේගයෙන්ම
වර්ධනය වන වේදිකාව වේ. ලොව පුරා සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සංඛ්‍යාව 2022
ජනවාරි සිට 2023 ජනවාරි දක්වා වසරින් වසර 3% කින් (+137 මිලියන භාවිතා
කරන්නන්) පමණ වර්ධනය වී ඇති බවට පෙරේරා මහතා පෙන්වා දේ (Perera, 2023) .

ශ්‍රී ලංකාවේ ටික්ටොක් වල වත්මන් තත්වය

ලෝකයේ අනෙකුත් රටවල සමාජ මාධ්‍ය භාවිතය මෙන්ම ටික්ටොක් භාවිතය කෙසේ
වෙතත් ලංකාව තුළ නම් මේ වන විට විශාල පෙරළියක් කිරීමට ටික්ටොක් සමත් වෙලා
තිබෙන බව කවුරුත් දන්න කරුණක්. මේ වන විට සමස්ථ තරුණ ජනගහනයෙන් අවම
75% කට ආසන්න පිරිසක් ටික්ටොක් හි සක්‍රීය පරිශීලකයන් ලෙස සම්බන්ධ වී සිටිනු
ඇතැයි උපකල්පනය කල හැක. මන්ද යත් වර්තමානයේ ස්මාර්ට් ජංගම දුරකතනයක්
නැති තරුණයෙක් සොයා ගැනීම බුදුන්ගේ කළ නොමළ ගෙයකින් අබ ඇටයක් සොයා
ගැනීම වැනි කරුණක් නිසාවෙනි. ඉතා කෙටි කාලයක් තුළ ලංකාව වැළඳගත් තවත් එක
සමාජ මාධ්‍ය වසංගතයක් ලෙස ටික්ටොක් හඳුන්වා දෙන්න පුළුවන්. මේ අතර ඇතැම්
රුපවාහිනී නාලිකා වල ඉතා ප්‍රයෝජනවත් දැනුමට යමක් ගත හැකි අර්ථවත්
වැඩසටහන් විකාශය වන අතරතුර අවසානයේ ටික්ටොක් වීඩියෝ පට එකපෙළට
ප්‍රදර්ශණය කිරීම සැබැවින්ම විහිළුවට සහගතය. එවැනි ක්‍රියාවකින් සමස්ථ වැඩසටහන
පුරාම තිබුණු අර්ථවත් බව එක් නිමේෂයකින් වැනසී යාමට හේතුවක් වන බව මාගේ
පුද්ගලික අදහසයි. ඇතැම් විට මෙය පිරිසකගේ විවේචනයට හෝ දෝෂදර්ශනයට
ලක්විය හැකි ප්‍රකාශයක් විය හැකියි. මන්ද සමාජ මාධ්‍යයම තම ජීවිකාව කරගත්
ගන්ධබ්බයින් පිරිසක් තවමත් මේ සිරි ලංකාවේ වෙසෙන බව සමස්ථ පුරවැසියන්ම
හොදාකාරවම දන්නා බැවිනි.

කෙසේවෙතත් ටික්ටොක් ඇත්තටම අපිට අත්‍යවශ්‍ය ද නැද්ද යන කරණය ඔහු හෝ ඇය
එය භාවිතා කරන අරමුණ අනුව තීරණය වේ. ටික්ටොක් නිසා තමන්ගේ ජීවිතය වෙනස්
දිශාවකට පෙරලා ගැනීමට හැකිවූ සිහින යථාර්තයක් කරගැනීමට පන්නරයක් වූ
අවස්ථාද නැතුවම නොවේ. එවැනි සිදුවීම් කිහිපයක් නිසාම සැඟවුණු දක්ෂතා කුසලතා
හැකියාවන් ට නිසි වටිනාකමක් ලඟා කරගැනීමට සමත් වූ තරුණ පිරිසක්ද මෑතකදී
බිහි වූ බව නොරහසක්. බහුතරයක් දෙනා රැල්ලට හරසුන් අඟර දඟර පාමින් රටට
ලෝකයට විහිළුවක් වන අතරේ තමන්ට වටිනාකමක් ප්‍රයෝජනයක් වන අන්දමට
ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය භාවිතා කරන බුද්ධිමත් තරුණ පිරිසක් සිටීම ලක්මවගේ
වාසනාවකි.
“ගොඩක් අය ටික් ටොක් එකේ නටද්දී අපි උත්සහ කළා ටික්ටොක් එකෙන් ජනතාව
ජීවත් කරවන්න,” මේ දිනවල ටික්ටොක් ඔස්සේ වැඩි දෙනෙකුගේ අවධානය දිනාගෙන
සිටින ප්‍රියා සම්මානි නමැති වෛද්‍යවරිය BBC සිංහල සමඟ තම අදහස් මෙලෙස ඉදිරිපත්
කර තිබේ.
“ගොඩක් අය ටික්ටොක් එකෙන් කරන්නෙ නටන එක. අපි ඒක පාවිච්චි කළා ජනතාව
දැනුවත් කරන්න. ඕන ම ක්ෂේත්‍රයක කෙනෙකුට මේ වගේ දේවල් කරන්න පුළුවන්.
හොද පණිවුඩයක් තරුණ ප්‍රජාව අතරට ගෙනියන්න සමාජ මාධ්‍ය භාවිත කරන්න
පුළුවන්.”
“අපි වීඩියෝ එකක් හදන්න කලින් යම්කිසි රෝගයක් හෝ සෞඛ්‍ය ගැටලුවක් ගැන
සමාජ මාධ්‍ය හරහා ප්‍රශ්නයක් යොමු කරනවා. ඒකට ජනතාව විවිධ ප්‍රතිචාර දක්වනවා.
සමහරු බොරු උත්තර දෙනවා. සමහරු දැනුවත්කමක් නැතිව උත්තර දෙනවා.
සමහරුන්ගෙන් විවිධ අදහස් ලැබෙනවා. ඒ සියල්ල බලලා ජනතාව වැරදි අදහස්වල
ඉන්නවා නම් නිවැරදි සෞඛ්‍ය කරුණු පැහැදිලි කරමින් මුලින් ම පිටපත ලියනවා.
සමාජයේ ඉන්න සෑම මට්ටමක ම අයට තේරෙන විදිහට සරලව පිටපත ලියනවා.
අනවශ්‍ය සියලු වචන ඉවත් කරනවා. සමහර වෙලාවට සති ගණන් ගත කරනවා හරි ම
පිටපත හදාගන්න. ඊට පස්සෙ තමයි වීඩියෝ එක කරන්නේ,”
“අපි හිතුවෙ නැහැ මෙඩිකල් කන්ටෙන්ට් වීඩියෝ මේ තරම් ජනප්‍රිය වෙයි කියලා. මේක
මිනිස්සුන් ප්‍රිය කරන විෂයයක් නෙවෙයි. ඒ නිසා මුල් කාලයේ හැදුව වීඩියෝ අපි එතරම්
සැලසුම් කරලා කළේ නැහැ. ඒත් ජනප්‍රියත්වය වැඩි වෙන්න ගත්තා ම අපි ගොඩක්
වගකීමෙන් සැලසුම් කරලා වීඩියෝ හදන්න පටන් ගත්තා. දැන් අපට හිතා ගන්න බැරි
තරම් ජනප්‍රියත්වයක් ලැබිලා තියෙනවා.” වෛද්‍ය ප්‍රියා සම්මානි තම ටික්ටොක් ගමන්
පැතිකඩ පැහැදිලි කළ අයුරුයි ඒ (BBC, 2023) .
ඉතින් ඇගේ වටිනා අදහස් හා පැහැදිළි කිරීම ටික්ටොක් හරහා කොතරම් සමාජ
සේවයක් සිදු කරන්නට හැකිද යන්න පිළිබදව කදිම නිදසුනක්. වැදගත් වන්නේ වෙනස්
විදිහට හිතන්න පුරුදු වීමයි. එසේ නොමැතිනම් ඇයටත් තිබුණා පමණක් වෛද්‍යවරුන්
මෙන් වෙද නලාව කරකවමින් නටමින් ඉඟි බිඟි පාමින් ටික්ටොක් වීඩියෝ පට සමාජ

ගත කරන්නට. නමුත් මඳක් සිතා බලන්න ඇය තෝරාගත් මාර්ගය. සමාජ මාධ්‍යකින්
පවා සමාජයට විහිළුවක් නොවී සමාජය හරවත් දෙයින් පෝෂණය කිරීමට ගත්
අප්‍රතිහත උත්සාහයක ප්‍රතිපලයක්.

ටික්ටොක් අනතුරුදයකද නැද්ද?


කෙසේවෙතත් පරිශීලකයෙකු විසින් ටික් ටොක් මාධ්‍යට මුදා හරින ලද ඡායාරූප
එකතුවක් හෝ වීඩියෝ පට නැතිනම් යම් යම් මතවාද ඕනෑම අයෙකුට නැරඹිය හැකි
බවත් , ඕනෑම අයකුට ඒවා බාගත කරගත හැකි බවත්, එම තොරතුරු නැවත විකෘති
කොට සමාජ මාධ්‍යට මුදා හැරිය හැකි බවත් යන මේ කරුණු පිළිබඳව සිහිතබාගෙන
කටයුතු කළ යුතුය. මේ පිළිබඳව පූර්ණ අවබෝධයක් නොමැතිව කටයුතු කරන්නන්
හට නොසිතූ මොහොතක ප්‍රශ්න වලට මුහුණ දීමේ හැකියාව පවතියි. එමෙන් ම
අවබෝධ කරගත යුතු වැදගත්ම කරුණ වන්නේ ටික් ටොක් සමාජ මාධ්‍ය තුළ ප්‍රතිරූප
ගොඩනගා ගෙන සිටින පුද්ගලයින්ගේ සැබෑ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් එකක්
විය හැකි වීමය. මේ සියල්ල අවබෝධ කරගෙන ටික් ටොක් සමාජ මාධ්‍ය භාවිතා කිරීම
අතිශයින් වැදගත් කරුණක් වේ. (මදාරා, 2022) .
එලෙස ටික්ටොක් භාවිතය කෙනෙකුට බලපාන ආකාරය තීරණය වන්නේ ඒ මත තමන්
කොතෙක් දුරට සිහිබුද්ධියෙන් කටයුතු කරන්නේද යන්න මතයි. එය සෑම දෙනාටම
එකසේ ප්‍රතිපල ලබා නොදෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එලෙස නුවණින් ක්‍රියා
නොකිරීම නිසා විශේෂයෙන් ම ටික්ටොක් සමාජ මාධ්‍ය අනවබෝධයෙන් භාවිතා කොට
ඒවා ජනමාධ්‍ය හා අධිකරණ ක්‍රියාමාර්ග දක්වා ගමන් කිරීමට තරම් බරපතළ සිදුවීම්
සහ ජිවිත හානි පිළිබඳ පුවත් පසුගිය කල සීමාව තුළ ලංකාවෙන් වාර්තා වී තිබේ.
“සමාජ මාධ්‍ය ජාලයක තිබූ වීඩියෝවක් සම්බන්ධ ආරවුලක් හේතුවෙන් ග්‍රෑන්ඩ්පාස්,
මාදම්පිටිය පටුමග ප්‍රදේශයේ තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර
ඇත. පොලීසිය පැවසුවේ මෙලෙස මිය ගොස් ඇත්තේ 17 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ
පදිංචිකරුවෙක් බවය. මෙම තරුණයාව හඳුනන තවත් පිරිසක් විසින් ඔහුට තියුණු
ආයුධයකින් පහර දී තිබූ අතර මරණකරු සමග ටික්ටොක් වීඩියෝවක් සම්බන්ධයෙන්
ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් මෙම පිහි ඇනුම සිදුකර ඇති බව පොලීසිය පවසයි ”
(Divaina, 2022) .
ඉහත දක්වා ඇත්තේ මෑත කාලීනව බොහෝසේ කතාබහට ලක්වුණු ටික්ටොක් නිසා
සිදුවූ මරණයට අදාළ පුවතයි.
කරුණු කෙසේවෙතත් අමෙරිකානු බුද්ධි කමිටුවක සාමාජිකයෙක් වන මයිකල් බෙනට්
පවසා ඇත්තේ ටික් ටොක් මගින් අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් මතුවන
බවය. ඇමරිකාව ඉන්දියාව සහ බංග්ලාදේශය වැනි රටවලින් ටික්ටොක් යෙදවුම සඳහා
මෑතක සිට විවිධ සිදුවීම් මුල්කර ගනිමින් විරෝධය එල්ල කරමින් පවතී. ඇතැම් විට ඒ
රටවල් සහ චීනය අතර කරුණු සළකා බලා ටික්ටොක් යෙදවුම අත්හිටුවීමට හෝ එසේ

නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග වැඩපිලිවෙත් ඉදිරියේදී සිදුවෙනු ඇතැයි අපේක්ෂා කරමු
(Adaderana, 2023) .
වර්තමානය ඇත්තෙන්ම ඉතාමත් අවිනිශ්චිත කාල වකවානුවක්. කුමකින් කුමක් සිදුවේද
යන්න හරිම අවිනිශ්චිතයි. මිනිසුන් සොම්බීන් ගානට වැටිලා. අම්මා, තාත්තා, අයියා,
අක්කා, නංගි, මල්ලී, අසල්වැසියා, යාළුවා කියන මේ කිසිම චරිතයකට වටිනාකමක්
නැති තත්වයට සමාජය පත්වී හමාරයි. ලඟම ඉන්න කෙනා පවා විශ්වාස කරන්න බැරි
තරම් නපුරෙන් අන්ධකාරයෙන් සමාජය වැහිලා මිනිස්සු අන්ධ වෙලා. හරියට සුරංගනා
කතාවක් වගේ. එත් යථාර්තය හරිම බියකරුයි. ජංගම දුරකථනය හරහා විවිධ සමාජ
මාධ්‍යන් ඔස්සේ ගොඩනඟා ගන්නා පුහු සම්බන්ධතා වලින් මිනිස්සුන්ව තේරුම් ගන්න
අදුනගන්න කොහෙත්ම හැකියාවක් නෑ. විශේෂයෙන්ම අපේ රට ලංකාව කියන්නේ
බහුතරයක් කුහක මිනිස්සුන්ගෙන් පිරුණු රටක්. මානව හිතවාදී සුළුතරයක් දෙනා
සිටියත් බහුතරය කුහකයි. ඒ නිසා සමාජ මාධ්‍ය තුළින් වුවත් මිනිසුන් සමඟ කරන
ගනුදෙනු ඉතා බුද්ධිමත්ව සිතාබලා කලයුතු වේ. ටික්ටොක් භාවිතයත් අන්න ඒ වගේ.
තමන්ටත් අනුන්ටත් බලපෑමක් නොවන අන්දමින් සමාජ මාධ්‍ය සමඟ කටයුතු කිරීම
ඔබේ ජිවිතයේ ආයුෂ ප්‍රමාණය තීරණය කිරීමටද හේතු සාධකයක් වනු නොඅනුමානයි.
බුද්ධිමත්ව සිතාබලා නුවණින් කටයුතු කිරීම ඔබට භාරයි.

මූලාශ්‍ර
Adaderana. (2023). ටික් ටොක් ඉවත්කරන්නැයි ඉල්ලීමක්. Sinhala.Adaderana.Lk.
https://sinhala.adaderana.lk/news/178012
Aruna, A. H. (2021). ටික් ටොක් (Tik-Tok) ලොව සියල්ල අභිබවා පෙරමුණට ආපු හැටි
මෙන්න… Gagana.Lk. https://gagana.lk/article/tik-tok-world-first-1628651248
BBC. (2023). වෛද්‍ය ප්‍රියා සම්මානි:ජීවිත රැකගන්න TikTok කරන ශ්‍රී ලංකාවේ
වෛද්‍යවරිය. BBC News සිංහල. https://www.bbc.com/sinhala/articles/cy90gv3v2dzo
Divaina. (2022). ටික් ටොක් ට ගැටී තරුණයෙක් මරුට. Divaina.Lk. https://divaina.lk/ටික්-
ටොක්-ට-ගැටී-තරුණයෙක්/
Eclincher. (2022). What is TikTok Exactly? Here’s What You Need to Know. Eclincher.Com.
https://eclincher.com/what-is-tiktok-exactly-heres-what-you-need-to-know/

Geyser, W. (2023). What Is TikTok? – Everything You Need to Know in 2024. Influencer Marketing.
https://influencermarketinghub.com/what-is-tiktok/
Perera, D. (2023). Online Social Media Marketing Trends for 2023. The Sunday Times.
https://www.sundaytimes.lk/230702/education/online-social-media-marketing-trends-for-2023-
524072.html
මදාරාඒ.ඒ.රචිනි. (2022). Tik Tok සිහි නුවණින් භාවිත කරන්නේ මෙහෙමයි. නේමඬල.
https://units.kln.ac.lk/nemadala/index.php/visheshanga/kalina/337-tik-tok

Diluka Bandara
Diluka Bandara
senior student, Rajarata university of Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles