

ටියුෂන්, වර්තමානයේ රටපුරා බහුලව කතාබහට ලක්වෙන මාතෘකාවක් වී තිබේ. ඒ උපකාරක පන්ති නියාමනය කල යුතුයි යන යෝජනාව ඉදිරිපත් කිරීම සමගයි. ඇත්තෙන්ම වසංගතයක් මෙන් රට පුරා උපකාරක පන්ති පැතිරී තිබුණද ඒවායේ කිසිදු ප්‍රමිතියක් හෝ නියාමනයක් තිබෙනවාද නැද්ද යන්න ප්‍රශ්නාර්ථයකි. මේ වන විට රට තුල පවතින පාසල් ප්‍රමාණයටත් වඩා වැඩියෙන් උපකාරක පන්ති බිහි වී තිබේ. සෑම නගරයකම ගමකම හන්දියක් හන්දියක් පාසාම උපකාරක පන්ති දක්නට තිබේ. මෙය දිනෙන් දින වර්ධනය වනවා මිස එහි අඩුවීමක් දක්නට හෝ පේන මානයක නැත. කොතරම් උද්ධමනකාරී තත්වයකට රට පත් වුවත් ආර්ථික වශයෙන් කොතරම් අස්ථාවර වුවත් උපකාරක පන්ති කර්මාන්තය බංකොලොත් වන ලකුණක් හෝ එවැනි අවධානමක්වත් පෙනෙන්නට නැත.
ටියුෂන් යනු කිසි විටකදී වයසට යාවි යැයි උපකල්පනය කළ නොහැකි තරමට ක්‍රියාකාරී සහ යාවත්කාලීන වෙමින් පවතින ක්ෂේත්රයක්. ඒ නිසා පෞද්ගලික උපකාරක පන්ති සහ ඒවා පවත්වන ගුරුවරුන්ගේ ගුණාත්මක බව කෙරෙහි සමාජ කථිකාවතක් මතු වුණේ අද ඊයෙක නම් නෙවෙයි. වාර්ෂිකව සමස්ත වෙළෙඳපොළ තුළ රුපියල් බිලියන හැටපහක් පමණ සංසරණය වන පෞද්ගලික උපකාරක පන්ති ක්ෂේත්රය, වර්තමාන ස්ථානගත වීම පවතින්නේම ශ්‍රී ලංකා ආර්ථිකයට පවා සැලකිය යුතු තරමක බලපෑම් එල්ල කළ හැකි මට්ටමකයි (පෙරේරා, 2023).
රට පුරා පාසල් නියෝජනය වන පරිදි පාසල් 279 ක අහඹු නියැදියක් භාවිතා කරමින් 13 වසරේ සිසුන්ගේ පාසල් පැමිණීම පිළිබඳ 2016 දී ජාතික අධ්‍යාපන ආයතනය මගින් කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ 13 වසරේ සිසුන්ගෙන් 72% ක්ම ජනවාරි සිට ජූලි දක්වා පාසල් නොපැමිණෙන බවය. බස්නාහිර පළාතේ නොපැමිණීම 88% තරම් ඉහළ අගයක් ගෙන තිබු අතර නොපැමිණීම පිළිවෙළින් වාණිජ, විද්‍යා, තාක්ෂණ සහ කලා විෂය ධාරාවන්හි සිසුන් 68% සඳහා 76.5%, 76%, 70.5 ලෙස හදුනාගෙන තිබේ. එම සමීක්ෂණයේම කොටසක් ලෙස අදාළ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් 4103 දෙනකු විමසීමේදී ඔවුන් කියා සිට ඇත්තේ සිසුන් නොපැමිණීමට ප්‍රධානතම හේතුව වන්නේ උසස් පෙළ වැනි තරග විභාගයකට මුහුණ දීම සඳහා සිසුන් සූදානම් කිරීමට පාසල්වලට නොහැකි බැවින් දෙමාපියන් මෙන්ම දරුවන්ද උපකාරක පන්ති පසුපස හඹායෑමට පෙළඹී තිබෙන බව යි (ගමගේ, 2023).
කෙසේවෙතත් මේ වන විට සමාජය තුල මෙන්ම සමස්තයක් ලෙස මුළුමහත් රට තුලම උපකාරක පන්ති නැතුවම බැරි දෙයක් වී ඇති අතර පාසලටත් වඩා උපකාරක පන්ති වලට මුලික තැනක් හිමි වී තිබේ. අ.පො.ස. (සා / පෙළ ) මෙන්ම උසස් පෙළ කඩඉම් විභාග වලට පෙනී සිටීමට 80% ක් පාසල් පැමිණීම අනිවාර්ය කරමින් විවිධාකාරයේ චක්‍රලේඛ අණපනත් සහ නීත සම්පාදනය කළද එය සතේකට මායිම් නොකරමින් සිසුන් හරි හරියට උපකාරක පන්ති වෙත ඇදීයාම නොවලක්වියහැකි කරුණකි. උපකාරක පන්ති පිලිබදව පල වූ ලිපියකට අදාලව පාඨකයෙක් විසින් උපකාරක පන්ති වල වර්තමාන තත්වය පිලිබදව මෙලෙස අදහසක් ඉදිරිපත් කර තිබුණි,
“දැන් ටියුෂන් මහා පරිමාණ ව්‍යාපාරයක් වෙලා. ටියුෂන් ගුරුවරු තමන් ගුරුවරුය යන මානසිකත්වයෙන් මිදිලා නළුවන් බවට පත්වෙලා. දැවැන්ත ප්‍රචාරණය, මැති ඇමැතිවරු වගේ පරිවාර රථ වැනි විකාරරූපී වැඩනිසා ඔවුන්ගේ වියදම් ඔවුන් විසින්ම විශාල ලෙස ඉහළ නංවාගෙන තිබීම නිසා සිසු සිසුවියන්ගෙන් අයකරන ගාස්තුවත් නොවටිනා ගණනක් දක්වා ඉහළ දමාගෙන තිබෙනවා. එක පංතියේ සිසුන් 1000ක් හිටියාට ඇත්තටම සරසවි වරම් ලබන්නේ කී දෙනාද? සරසවි යෑමේ බලාපොරොත්තුවක් ඇති එකයි, නැති එකයි ඔක්කොම රැල්ලට ඔහේ ටියුෂන් යනවා. ඇත්තටම ප්‍රයෝජනයක් තියෙනවද කියා හිතන්නේ නැහැ. ටියුෂන් මුළුමනින්ම නැවත්තුවොත් ළමයි විශ්වවිද්‍යාල වලට යන්නේ නැතිද? ටියුෂන් ගුරුවරු කියන්නේ එස්කිමෝ වරුන්ටත් අයිස් විකුණන්න පුළුවන් මට්ටමේ පිරිසක්… මේ උගුලේ අපරාදේ අහිංසක ළමයි වගේම දෙමාපියනුත් අහුවෙනවා. ටියුෂන් ගුරුවරුන්ට උඩගෙඩි දෙන සමහර වී වී ආචාර්යවරුත් ඉන්නවා. විශේෂයෙන්ම උසස්පෙළ ප්‍රශ්නපත්‍ර සකස්කරන සමහරු…” (Sradiyel, 2023)


ඇත්තෙන්ම එහි දක්වා ඇති පරිදි බොහෝ ටියුෂන් ගුරුවරුන් දැන් නළුවන්ටත් එහා ගිය නළුවන්ය. එය ටියුෂන්කාරයන්ගේ නවතම අලෙවිකරණ උපායමාර්ගයක් වී තිබේ. අතීතයේ මෙන් ඵල ප්‍රයෝජනයක් තියෙන දේ මොකක්ද නැති දේ මොකක්ද කියලා හරියට වෙන් කරගන්න බැරි පුහු සමාජයක් තුල බොහෝ දරුවන් ලස්සන දේවල් පසුපස හඹා යන කාලයක් මේ. ඉතින් එය අවස්ථාවක් කර ගනිමින් අසරණ දෙමපියන් දහඩිය මහන්සියෙන් උපයමින් ගෙවන පන්ති ගාස්තුවෙන් වැජඹෙන්නේ ටියුෂන් කඩකාරයන් ය.
උපකාරක පන්ති ගුරුවරුන් විසින් මාසික ගාස්තු විශාල වශයෙන් ඉහල දමා ඇතැයි දෙමාපියන්ගෙන් නිතරම චෝදනා එල්ල වෙයි. උසස් පෙළ විද්‍යා හා ගණිත විෂයන් සඳහා රුපියල් 3500-4000 වැනි අධික ගාස්තු අය කරන්නේ යයිද මවුපියන් කියති. මෙම ගාස්තුවලට අමතරව ඇතුළත්වීමේ ගාස්තුද වෙනම ගෙවිය යුතුව තිබේ. මේ හේතුවෙන් පුද්ගලික පන්තිවල ගාස්තු නියාමනය කිරීමට රජය මැදිහත් විය යුතුව ඇතැයිද දෙමවුපියෝ කියති (News, 2023).
අමාත්‍යාංශයට දිගින් දිගටම පැමිණෙන පැමිණිලි නිසා එසේ පෞද්ගලික උපකාරක පන්ති නියාමනය සම්බන්ධව අවධානය යොමු කර ඇතැයි ඔහු පෙන්වා දුන්නේය. පෞද්ගලික උපකාරක පන්ති නියාමනයට අධ්‍යාපන අමාත්‍යාංශයට ඍජු බලයක් නොමැති වුවද, ව්‍යවස්ථාපිතව සිසු දරුවන්ගේ සියලු අධ්‍යාපන කටයුතු සම්බන්ධ වගකීම අධ්‍යාපන අමාත්‍යාශය සතු බව පෙන්වා දෙමින් ලේකම්වරයා පවසා ඇත්තේ එසේ අධ්‍යාපනයට ගැටලුවක් වන කටයුතු සම්බන්ධව අවධානය යොමු කරන්නට සිදු වන බවයි. විශේෂයෙන්ම කොරෝනා වසංගතයත් සමග ආරම්භ වූ ‘ඔන්ලයින්‘ අධ්‍යාපනයේදී අසාධාරණ ලෙසින් මුදල් අය කිරීම හා නියමිත වේලාවන්හිදී මුදල් ගෙවීමට අපොහොසත් වන සිසුනට ‘ඔන් ලයින්‘ සඳහා සම්බන්ධ වීමට අවකාශ ලබා නොදීමට අදාළ උපකාරක ගුරුභවතුන් කටයුතු කිරීම නිසා මේ පියවර ගන්නට සිදුවන බවද ලේකම්වරයා පෙන්වා දුන්නේය. මේ වන විට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වූ පෞද්ගලික උපකාරක ආයතන පමණක් 50,000ක් තිබෙන අතර උපකාරක ගුරුභවතුන් ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක් සිටින බවද දැන ගන්නට ඇත (ජයරත්න, n.d.).
දහස් ගණනින් පන්ති ගාස්තු ගෙවමින් හරියට පස්ස තියගන්නවත් බැරි බංකු කෑල්ලක එක දිගට පය අටක් නවයක් ඉදගෙන ඉගෙන ගන්න ඕන නම් එක දරුවෙක්ගෙන් රුපියල් 3000 ක 4000 කට අධික පන්ති ගාස්තුවක් අය කරන එකේ තේරුමක් තිබේද සාධාරණද යන්න පිලිබදව අප කල්පනා කළ යුතුය. නිබන්ධන මුද්‍රණයට සහ පන්ති පවත්වන ගොඩනැගිල්ලට ආදළ කුලී ගෙවන්නන ඕන නිසා එතරම් පන්ති ගාස්තුවත් අයකිරීමට සිදුවී තිබෙනවා යන්න නිදහසට කරුණක් පමණි. උපකාරක පන්ති තුලින් තමන් බලාපොරොත්තු වන තරමේ ලාභයක්වත් නොමැති නම් ඔවුන් මෙම උපකාරක පන්ති ක්ෂේත්රය අතහැර ගොස් බොහෝ කල්ය. කෙදිනක හෝ එවැන්නක් පිළිබද අසන්නට දකින්නට අවස්ථාවක් කවරෙකුට හෝ උදාවී තිබේ යැයි සිතීම පවා විශ්වාස කල නොහැකි කරුණකි. ඒ මන්ද යත් දිනෙන් දින උපකාරක පන්ති ක්ෂේත්රයට නවක ටියුෂන්කාරයන් එකතු වනවා මිස ඔවුන් මියෙන තුරු කිසිවෙකුත් ඉන් විශ්‍රාම නොගනින බැවිනි.
ඉහත කරුණු සියල්ලම සලකා බලමින් උපකාරක පන්ති නියාමනය සම්බන්ධයෙන් දැන් හරි අවධානය යොමු කිරීම සතුටට කරුණකි. නමුත් ලංකාවේ පාලකයන් කටින් බතල හිටවන සාඩම්බර ජන කොට්ඨාශයක් බැවින් නියාමනයට ලක්වීම, ලක්කිරීම හෝ ඒ ආශ්රිත කටයුතු කවදා කෙසේ ආරම්භ වේද යන ප්‍රශ්නාර්ථයත් සමගම අපට තවදුරටත් බලා සිටීමට සිදුවේ. කෙසේ නමුත් උසස් පෙළ උපකාරක පන්ති ක්ෂේත්රය නියාමනයකට ලක් කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා අවධරණය කර තිබීමත් සමග උසස් පෙළ පන්තිවල අයකරන අධික ගාස්තු, එම පන්තිවල ප්‍රකාශයට පත් කෙරෙන කරුණු ආදිය පදනම් කර ගනිමින් මෙම නියාමනය කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ (හේවාජුලිගේ, 2023)
ඊට අදාලව දිවයින පුරා පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය සහ එම ගුරුවරුන්ගේ සුදුසුකම් හා ගුණාත්මකභාවය පිළිබඳව සමාජය තුළ පවතින කතිකාවත පිළිබඳවද කාරක සභාවේ දැඩි අවධානය යොමු කර ඒ අනුව පෞද්ගලික ගුරුවරුන් නියාමනයකට යටත් කොට ඔවුනගේ වෘත්තීය සඳහා නිසි පිළිගැනීමක් ඇති කර දීම වඩාත් සුදුසු බැව් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත නිර්දේශ කර තිබේ. වෙනත් රටවල පෞද්ගලික ගුරුවන් සඳහා බලපත්‍රයක් “Teaching License” ලබා දී එම වෘත්තීය සඳහා වෘත්තීය පිළිගැනීමක් ලබාදී ඇති බව කරුණු අනාවරණය වී ඇති බැවින් එවැනි ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව තුළද අනුගමනය කිරීම වඩාත් උචිත බවත් එවැනි ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව කඩිනම් අවධානය යොමු කර පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් නියාමනය කොට ඔවුන් සඳහා වෘත්තීමය පිළිගැනීමක් නීත්‍යනුකූලව ලබා දීම සඳහා පියවර ගැනීමටත් කටයුතු සම්පාදනය කරමින් සිටින බවත් දක්වා තිබේ (Sinhala.asianmirror, 2023). මෙම උපකාරක පන්ති නියාමනය කොතෙක් දුරට ක්‍රියාවට නැංවේද කොතෙක් දුරට සාර්ථක වේද සහ එමගින් පිඩිත පන්තියේ දුවාදරුවන්ට අපහසුතාවයකින් තොරව උපකාරක පන්ති සදහා යොමු වීමට හැකිවේද යන්න පිලිබදව ජනතාව අවධියෙන් සිටින බව මතක් කල යුතුය. අසාධාරණ ලෙස උපයන ටියුෂන් කඩකාරයන්ට එරෙහිව එවැනි නියාමනයක් ක්‍රියාත්මක වන්නේ නම් සැබවින්ම ඉතා අගය කලයුතු ක්‍රියාවක් වනු ඇත. නමුත් බහුතරයක් ටියුෂන් වෙළෙන්දන් නිසා සමස්ථ උපකාරක පන්ති කර්මාන්තයටම වැදී ඇති කළු පල්ලම ඉවත් කිරීම තරමක් අපහසු වනු නොඅනුමානය. නමුත් රජය මැදිහත් වී උපකාරක පන්ති සහ උපකාරක පන්ති ගුරුවරුන්ට අදාලව සිදුකිරීමට බලාපොරොත්තු වන නියාමන කටයුතු තුලින් අසරණ පිඩිත පාන්තිකයන්ට ඔවුන්ගේ දුවාදරුවන්ට කබලෙන් ලිපට වැටීමට සිදු වේද නැතහොත් සාධාරණ හා දැරිය හැකි මිලකට උපකාරක පන්ති වලට යොමුවෙමින් අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව සැලසේද යන්න පිලිබදව තවමත් නිශ්චිත නිගමනයකට එළඹිමට අපහසු කරුණකි.
මුලාශ්‍ර
News, lanka C. (2023). ටියුෂන් මාසික ගාස්තුව 4000යි.. Lankacnews.Com. https://lankacnews.com/ටියුෂන්-මාසික-ගාස්තුව-4000යි/
Sinhala.asianmirror. (2023). ටියුෂන් ගුරුවරුන්ටත් නියාමනයක්. Asianmirror.Lk. https://sinhala.asianmirror.lk/news/local/tuition-classes-2/
Sradiyel. (2023). උසස් පෙළ ටියුෂන් ගාස්තු නියාමනයට පනතක්. Lankadeepa.Lk. https://www.lankadeepa.lk/latest_news/උසස්-පෙළ-ටියුෂන්-ගාස්තු–නියාමනයට-පනතක්/1-634935
ගමගේආචාර්ය සුජාතා. (2023). අධ්‍යාපනයේ නියාමනය ජාත්‍යන්තර පාසල් සහ ටියුෂන් ගුරුවරුන්ට සීමා කරන්න එපා. Theleader.Lk. https://theleader.lk/featured/17854-2023-06-29-09-30-20
ජයරත්නසුභාෂිණි. (n.d.). ටියුෂන් පන්ති නියාමනයට පියවර. Silumina.Lk. https://www.silumina.lk/2021/01/09/පුවත්/ටියුෂන්-පන්ති-නියාමනයට-පියවර
පෙරේරාප්රහර්ෂි. (2023). ලයිසන් එකක් දීලා ටියුෂන් ප්රමිතිකරණය කරමු. මව්බිම. https://mawbima.lk/2023/06/27/ලයිසන්-එකක්-දීලා-ටියුෂන්/
හේවාජුලිගේසුජිත්. (2023). උසස් පෙළ ටියුෂන් ගාස්තු නියාමනයට පනතක්. Lankadeepa.Lk. https://www.lankadeepa.lk/latest_news/උසස්-පෙළ-ටියුෂන්-ගාස්තු–නියාමනයට-පනතක්/1-634935