30 C
Colombo
Wednesday, July 2, 2025
spot_img

Subscribe

Date:

Share:

දිනෙන් දින උග්‍රවන බලශක්ති අර්බුධය..

Related Articles

බලශක්තිය?
සරලව පැවසුවහොත් ශක්තිය යනු අපට කාර්යයක් කරගැනීමට හෝ කරවාගැනීමට
ඇති හැකියාවයි. බලශක්තිය යනු එම කාර්යය කරවා ගැනීමේ සිඝ්‍රතාවයයි. ශක්තිය ජුල්
(Joule) හෝ කැලරි (calorie) වලින් මනින විට බලශක්තිය මනිනු ලබන්නේ ඒකක
කාලයකදී කරන කාර්ය ප්‍රමාණය – තත්පරයකට ජුල් හෙවත් වොට් (Watt) මගිනි. සරලම
උදාහරණය වන්නේ ආහාරයක ඇති ශක්ති ප්‍රමාණය කැලරි වලින් දැක්වීමය.
බලශක්තිය යන්න ඇසු විගසින් ලාංකිකයන්ගේ මතකයට එන්නේ – විදුලිය, ගෑස්,
පෙට්‍රෝල්, ඩිසල්, භූමි-තෙල්, ගෑස්, ගල් අඟුරු වැනි දේවල්ය. මේවන් විදුලිය හැරුණු විට
අනෙක්වා ලංකාවේ ඇති දේශීය ශක්ති ප්‍රභව (Energy sources) නොවුනත් මේවා පමණක්
අප සිහියට ඒමට හේතුව වන්නේ එදිනෙදා වෙළඳ පොලේ ආර්ථික වටිනාකමක් ඇතුව
හුවමාරු වන බලශක්ති ප්‍රභව මේවා වීමයි. හොඳම උදාහරණය වන්නේ විදුලි බිල,
පෙට්‍රල් බිල හා ගෑස් මිල ආදී වශයෙන් අපගේ පසුම්බියෙන් මුදල් වැය කරනුයේ මෙම
ශක්ති ප්‍රභේද සඳහා වීමය.
අනෙකුත් දේශීය ශක්ති ප්‍රභව තිබුනත් ඒවාට අප ආර්ථික වටිනාකමක් එදිනෙදා
වැඩකටයුතු වලදී ආදේශ නොකරන බැවින් ඒවා අප වටා තිබෙන බව බොහෝ විට
අපට නොහැඟී යයි (උ.දා – සුර්ය ශක්තියෙන් ඇඳුම් වේලා ගැනීම) (Wijesinghe, 2017) .

ලංකාවේ ඇති දේශීය බලශක්ති ප්‍රභව වලින් අප භාවිතයට සුලබ ලෙස ලබාගනුයේ,

 දැව (දර)
 සූර්ය බලය
 සුළඟ
 ජල විභවය (ජල විදුලිය)

බලශක්ති ස්වෛරීත්වය යනු රටක ජාතික ආර්ථික ස්වෛරීත්වයේ පාදමකි. බලශක්ති
අතරින් ද විදුලිබලය සුවිශේෂී වන්නේ සමාජ-ආර්ථිකයේ සෑම ක්‍රියාකාරකමකටම පාහේ
විදුලිබල යෙදවුම අවශ්‍ය වන බැවිනි. ජල විදුලි බලයෙන් පෝෂණය වූ අපගේ විදුලි
පද්ධතිය මීට වසර 50 කට පමණ පෙර අඩු වැඩි වශයෙන් ස්වාධීනව හා
ස්වයංපෝෂිතව පැවැති බවත්, එවක ඉදිවෙමින් පැවැති ජල විදුලි බලාගාර ක්‍රියාත්මක වූ
පසු විදුලිය අපනයනය කිරීමට ද ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි බලධාරීන් වහසි
දොඩමින් සිටි බවත් අපට අමතක නැත. එහෙත්, සමාජ-ආර්ථිකයේ විදුලියකරණය වී
ඇති කොටස ශීඝ්‍රයෙන් ඉහළ යාම ඔස්සේ ඊට අනුරූප ව ස්වදේශීය ප්‍රභවයන් තුළින්
වැඩි වැඩියෙන් විදුලි ජනනයට අප අසමත් වීම නිසා සහ විදුලි ක්ෂේත්‍රයේ පසු කාලීනව
ඇති වූ ප්‍රතිපත්තිමය නොගැළපීම් නිසා ඉතා ඉහළ ප්‍රතිශතයක් ආනයනිත ඉන්ධන මඟින් ජනනය කෙරෙන අධි-වියදම් විදුලිය මත රඳා පැවැතීමට මේ වන විට අප රටට සිදු වී ඇත.
මේ තත්ත්වයෙන් මිදී ස්වදේශික ප්‍රභව විශේෂයෙන් පුනර්ජනනීය ප්‍රභව කරා යොමු වීම
ප්‍රතිපත්තියක් ලෙස ඇවැසි බවට විවාදයක් නැත. එහෙත්, ඒ ස්වදේශිකත්වයට නැඹුරු
වීම බලශක්ති ඉංජිනේරු විද්‍යානුකූල හා අර්ථශාස්ත්‍රීය පදනම් මත පිහිටුවා උපායශීලීව
නොකෙරුණොත් ජෛව පොහොර වෙත දේශපාලනිකව යොමු වී කරගත් සංගදියටත්
වඩා වැඩි ව්‍යසනයක් ජාතික ස්වෛරීත්වයට, රටේ ආර්ථිකයට සහ විදුලි
පාරිභෝගිකයාට සිදු වීමට ඉඩ තිබේ (ගුණරුවන්, 2022) .

බලශක්ති අර්බුදය
ශ්‍රී ලංකාව විදුලිබලය හා බලශක්තිය සම්බන්ධයෙන් මේ වන විට පසුවන්නේ දැඩි
අර්බුදයකයි. රට පුරා ඇති ඉන්ධන සහ ගෑස් හිඟය මෙන්ම නිරන්තර විදුලි කප්පාදුව ද
එම අර්බුදයේ තරම කියාපානවා. බලශක්ති අර්බුදයට දීර්ඝ කාලීන විසදුම් සෙවීමේදී
සුර්ය බලය, සුළං බලය, ජල විදුලිය වැනි පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්ති ප්‍රභව
ගැන විශේෂ අවධානයක් යොමු කර තිබේ.
මෙම ක්‍රියාවලිය තුළ ලෝක‍යේ ඉදිරියෙන්ම සිටින රටක් වන්නේ ඉන්දියාවයි. ලෝකයේ
පුනර්ජනනීය බලශක්ති භාවිතයෙන් විදුලිබලය නිෂ්පාදනය කරන රටවල් අතර තුන්වන
ස්ථානයේ සිටින ඉන්දියාවේ විදුලිය සැපයුමෙන් සියයට තිස් අ‍ටක් එනම් ගිගාවොට් 136
ක්ම නිෂ්පාදනය කෙරෙන්නේ පුනර්ජනනීය බලශක්තිය ඇසුරෙන්. මෙම පසුබිම තුළ
ලංකාවේ පුනර්ජනනීය බලශක්ති භාවිතය තුළින් විදුලිය නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ
සදහා සහය සහ ශක්තිය ලබා ගැනීමේ හොදම මාවත වැටී ඇත්තේ ඉන්දියාව ඔස්සේ
බව පැහැදිළියි. එය නිවැරදිව වටහා ගනිමින් මේ වන විට ලංකාවේ විදුලිය නිෂ්පාදනය
සදහා ඉන්දියාවේ සහයෙන් පුනර්ජනනීය බලශක්තිය යොදාගැනීමේ ව්‍යාපෘති රැසක් මේ
වන විට ආරම්භ වී තිබෙනවා (Liveat8, 2022) .

අර්බුධයට විසඳුමක්
“ලංකාවේ අද තිබෙන ප්‍රධාන ම ප්‍රශ්නය වන්නේ විදුලිබල බලශක්ති අර්බුදයයි. මේ
බලශක්ති අර්බුදයයි, නවෝත්පාදනවලට ඉදිරියට යෑමට ඉඩක් නොමැති වීමයි කියන
ප්‍රශ්න දෙක ම ජයගැනීමට හොඳ ම විසඳුම තමා, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්
පුළුවන් තරම් ප්‍රචලිත කිරීම. මොකද, ඒවා අපට ආනයනය කරන්න ඕනෙ නෑනෙ.
සූර්යාලෝකය ආනයනය කරන්න ඕනෙ නෑ. සුළඟ, මුහුදු රළ, ජලය මේ සියල්ල ම
එහෙමයි.” අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය”
නව නිපැයුම්කරුවන්ගේ කොමිසම හා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඒක් ව
සංවිධානය කරන ලද පුනර්ජනනීය තිරසර බලශක්තිය සම්බන්ධ නව නිපැයුම් හා
නවෝත්පාදන ප්‍රදර්ශනයේ දෙවන දින ආරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්
වූ අවස්ථාවේ මෙම අදහස් දක්වා තිබේ .
කවුරු කොහොම වැදි බණ කිව්වත් ඒවා වචනයට පමණක් සිමා වී තිබේ. ක්‍රියාවට
නංවන ලකුණක්වත් පෙනෙන්නට නොතිබීම ඉතා කණගාටුදායක තත්වයකි. ශ්‍රී ලංකාව
මේ මොහොත වන විට උග්‍ර බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින අතර, මෙයට
මූලිකම හේතුව වන්නේ ශ්‍රී ලංකාව විදුලිබල උත්පාදනය සඳහා ආනයනය කරනු ලබන
පොසිල ඉන්ධන මත දැඩි ලෙස යැපීමයි. මෙම තත්ත්වයෙන් මිදීම සඳහා වඩාත් තිරසර
විසඳුම වනුයේ සුළං, සූර්ය, ජීව වායු සහ ජල විදුලිය වැනි පුනර්ජනනීය බලශක්ති
ප්‍රභවයන් භාවිතය වෙත ප්‍රජාව යොමු කරවීම වන අතර, මේ ආකාරයෙන් පුනර්ජනනීය
බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වීම ආර්ථිකමය වශයෙන් මෙන්ම සමාජීය වශයෙන්
විශාල වාසි රැසක් ශ්‍රී ලංකාවට ගෙන එයි.
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින විදේශ විනිමය සංචිත අර්බුධය හමුවේ
පැන නැගී ඇති බලශක්ති අර්බුධයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාව ගත යුතු එකම
උපායමාර්ගික විසඳුම වන්නේ බලශක්ති නිෂ්පාදනයේ ප්‍රධාන මූලාශ්‍රයයන් ලෙස
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කිරීමයි. ශ්‍රී ලංකාවේ ඇති ස්වභාවික සම්පත්
භාවිතයෙන් පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය කළ හැකි අතර, මෙය ශ්‍රී ලංකාව
වර්තමානයේ මුහුණපා සිටින අර්බුධ රැසකට සාර්ථක විසඳුමක් වනු ඇත.
ගෝලීය වශයෙන් තෙල්, ගල් අඟුරු සහ ගෑස් මිල ඉහළ යමින් පවතින අතර, මෙවැනි
වාතාවරණයක් තුළ පොසිල ඉන්ධන ආනයනය මත රඳා පවතින ශ්‍රී ලංකාව වැනි
රටවලට පුනර්ජනනීය නොවන බලශක්ති ප්‍රභවයන්ට විශාල වශයෙන් නිරාවරණය වීම
තිරසාර ක්‍රියාවක් නොවේ. තව දුරටත් බලා නොසිට, දේශීය ආර්ථික සංවර්ධනය උදෙසා
කඩිනමින්ම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමිවීමේ දැඩි අවශ්‍යතාවක්
වර්තමානයේ පවතී (Adaderana, 2022) .

ප්‍රවාහනය, කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, නිෂ්පාදන කර්මාන්ත සහ විදුලිය ජනනය
කිරීම සඳහා සෑම අංශයක්ම ඉන්ධන පාවිච්චි කරයි. ඛනිජ තෙල් බලධාරීන් පවසන
අන්දමට ප්‍රවාහන අංශය පරිභෝජනය කරන ඉන්ධන ප්‍රමාණය මෙන් සිව් ගුණයක
ඉන්ධන විදුලිය ජනනය සඳහා ගිල දමයි. වසර පුරා ලැබෙන සූර්යාලෝකයෙන් ද
ප්‍රමාණවත් වර්ෂා ජලයෙන් ද රට හරහා හමා යන සුළඟින් ද අනෙකුත් ජෛව
ද්‍රව්‍යවලින්ද සමන්විත ස්වභාව ධර්මයා විසින් ආශිර්වාද ලද මුළු සිරිලකට උරුම කර දී
ඇති ජල විදුලිය ඉවතලන කෘෂි හා ගෘහ අපද්‍රව්‍ය, සූර්ය බලය, සුළඟ හරහා දේශීය
පුනර්ජනනීය බලශක්තිය උපදවා ගත හැකි නව ක්‍රමවේද පිළිබඳව ගැන ජෛව
බලශක්ති සංගමයේ පරාක්‍රම ජයසිංහ, ජෝශප් වැනි වියත්හු අවධානය යොමුකර තිබේ.

ජලය හා සම්බන්ධ ප්‍රතිපත්ති හා වැඩසටහන් ක්‍රියාත්මක කරන ආයතනවලට අනුයුක්ත
උගතුන් ද මීට අමතරව වැඩිහිටියන් ලෙස ලංකාවට වර්ෂා ජලය ඇදහැලෙන කාලය හා
ආකාරය ඔවුන් අත්දැකීමෙන් දනිති. ලංකාවේ ඇති ප්‍රශ්නය ජලය හිඟකම නොවේ. ජල
පාලන කළමනාකරණයක් නොමැතිවීමය. ජල කළමනාකරණය පිළිබඳව ශ්‍රී ලාංකිකයන්
තරම් ඉතිහාසයේ ජීවත් වන වෙනත් රටක් ලෝකයේ නැත. මහා පරාක්‍රමබාහු රජ විසින්
වාරිමාර්ග ක්ෂේත්‍රයේ කරන ලද ඉංජිනේරු හාස්කම් පිළිබඳ අප හොදාකාරවම දනියි
(මාලියද්ද, 2022) .
කෙළවරක් නොමැති බලශක්ති විවධ අර්බුධ හමුවේ බොහෝ පිඩාවන්ට පත් වන්නේ
මහජනතාවයි. අසීමිත උද්ධමනය නිසා දිළිඳු පවුල් ප්‍රතිශතය දිනෙන් දින ඉහළ යනවා.
පාලකයින් සාද පවත්වමින් විනෝද වෙනවා. ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය 2022 දී සියයට 25
සිට 2023 දී සියයට 27.9 දක්වා වැඩි වනු ඇතැයි පුරෝකථනය කර ඇති බව ලෝක
බැංකුව ප්‍රකාශ කළේ, සිය මහ බැංකු ඉතිහාසයේ ‘සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ’ වඩාත්ම
ආන්තික යෙදවීමෙන් රට දිගින් දිගටම පීඩා විඳිමින් සිටින බැවිනි.
කෙසේවුවද මේ වන විට ලංකාව තුළ පවතින තත්වය සමඟ ශ්‍රී ලාංකිකයන්ට
ඇඳිවතවත් ඉතුරු වේද යන්න ප්‍රශ්නාර්ථයකි. 2024 නව වසර උදාවත් සමඟ ඉහළ යාමට
පුන පුන බලා සිටින එකතු කළ අගය මත බදු (VAT) අනුපාතය හමුවේ අප තවදුරටත්
කබලෙන් ලිපට වැටෙනු නොඅනුමානය. යමක් කමක් ඇතිහැකි උදවිය සහ පාලකයන්ට
කඹුරමින් උන්ගේ බලපුලුවන්කරකම් වලින් යැපෙන හෙන්චයියන් සිය පවුල් පිටින්ම
මෙරට අත්හැර ගොස් වෙනත් රටවල තම ජීවිකාව පවත්වාගෙන යාමට උත්සහ කරන
අතරේ එදා වේල වත් කන්න හොයාගන්න නැති, කිසිදු බලයක් නැති බහුතර අන්ත
අසරණ දුගී දුප්පතුන්ට පාලකයන්ගේ පව්වලට කර ගසමින් මැරි මැරී ජිවත් වීමට
සිදුවනු ඇත.

මුලාශ්‍ර
Adaderana. (2022). ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය සඳහා එකම විසඳුම පුනර්ජනනීය
බලශක්තියයි. Biz.Adaderana.Lk. https://biz.adaderana.lk/ශ්‍රී-ලංකාවේ-බලශක්ති-අර්/
Liveat8. (2022). ලංකාවේ බලශක්ති අර්බුදය විසදීමට පුනර්ජනනීය බලශක්තිය.
Liveat8.Lk. https://liveat8.lk/ලංකාවේ-බලශක්ති-අර්බුදය-ව/
Wijesinghe, N. (2017). ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය සරලව (පළමු කොටස). Roarmedia.
https://roar.media/sinhala/main/features/the-sri-lankan-power-crisis
ගුණරුවන්ලලිතසිරි. (2022). බලශක්ති අර්බුදය කොයිබටද? Lankadeepa.Lk.
https://www.lankadeepa.lk/features/බලශක්ති-අර්බුදය-කොයිබටද-/2-615866
මාලියද්දචන්ද්‍රසේන. (2022). බලශක්ති අර්බුදයට විසඳුමක්. Lankadeepa.Lk.
https://www.lankadeepa.lk/features/බලශක්ති-අර්බුදයට-විසඳුමක්/2-619050

Diluka Bandara
Diluka Bandara
senior student, Rajarata university of Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles