31 C
Colombo
Saturday, June 22, 2024
spot_img

Subscribe

Date:

Share:

පුනර්ජනනීය කෘෂිකර්මය

Related Articles

පුනර්ජනනීය කෘෂිකර්මය යනු කුමක්ද? ශීඝ්‍රයෙන් වර්ධනය වන මානව ජනගහනයක් පෝෂණය කිරීමට හරිත විප්ලවය සාර්ථක වී ඇතත් එය පෘථිවියේ පස සහ එහි ජෛව විවිධත්වය හායනය, සහ දේශගුණික විපර්යාස වලට දායක වී තිබේ. පුනර්ජනනීය කෘෂිකර්මය, සම්ප්‍රදායික ක්‍රම සමඟ තිරසාර නවෝත්පාදනයන් මුසු කරයි. නමෙහි සඳහන් වන ආකාරයට, පුනර්ජනනීය කෘෂිකර්මය පසෙහි සහ පරිසර පද්ධතිවල පුනර්ජනනය කෙරෙහි අවධානය යොමු කරයි. එමඟින් පස වැඩි දියුණු කරයි, ඉහළ ඵලදායිතාවයක් සහ උසස් තත්ත්වයේ ආහාර ලබා දෙයි, දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට සහ නැතිවූ ජෛව විවිධත්වය යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වේ.

බිලියන 7.9ක් වන ලෝක ජනගහනය පෝෂණය කිරීම සඳහා නවීන කෘෂිකර්මාන්තය විශිෂ්ට කාර්යයක් ඉටු කරනු ලබයි. නමුත් 2050 දී ගෝලීය ජනගහනය බිලියන 9.7 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, ඒ වන විට කෘෂිකර්මාන්තය අභියෝග රැසකට මුහුණ පෑමට ඉඩ ඇත. උදාහරණ ලෙස හායනයට ලක් වූ ඉඩම්, පෙර නොවූ විරූ කාලගුණික විපර්යාස, ලෝකයේ වෙනත් ප්‍රදේශවලින් සංක්‍රමණය වන නව රෝග සහ පළිබෝධ සහ ජල සම්පත අඩුවීම දැක්විය හැකිය. එනමුත් පුනර්ජනනීය කෘෂිකර්මාන්තය මගින් ආහාර බෝගවල ප්‍රමාණය හා ගුණාත්මකභාවය යන දෙකම වැඩිදියුණු කළ හැකි ය.

පුනර්ජනනීය කෘෂිකර්මාන්තය, සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයෙන් පරිණාමය වූවක් වන අතර, ජලය සහ අනෙකුත් යෙදවුම් භාවිතය අවම කිරීම සහ ඉඩම් හායනය සහ වන විනාශය වැලැක්වීම එහි ප්‍රධාන අරමුණු වේ. එමඟින් ගොවිතැන වඩාත් ඵලදායී හා ලාභදායී එකක් බවට පත් කරන අතරම පස, ජෛව විවිධත්වය, දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව සහ ජල සම්පත ආරක්ෂා කිරීම සහ වැඩිදියුණු කිරීම සිදු කරයි. පුනර්ජනනීය කෘෂිකර්මාන්තයේ ප්‍රධාන පිළිවෙත් ලෙස අන්තර් බෝග වගාව නැතහොත් බහු බෝග වගාව, කෘෂි වන වගාව සහ පශු සම්පත් ඒකාබද්ධ කිරීම දැක්විය හැකිය.

පුනර්ජනනීය කෘෂිකර්මාන්තයේ පොදු මූලධර්ම;

  • අවම බිම් සැකසීම
  • ආවරණ බෝග වගාව
  • බහු බෝග වගාව
  • කාබනික පොහොර භාවිතය සහ පළිබෝධ පාලනය සඳහා කාබනික ක්‍රම භාවිතා කිරීම

යන්ත්‍ර සූත්‍ර භාවිතයක් නොමැති, සීසෑම නැති, අවම බිම් සැකසීම, පාංශු ඛාදනය අවම කර පසෙහි තෙතමනය රඳවා ගැනීමට උපකාරී වේ. යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් බිම් සකස් කිරීම මඟින් පසෙහි ගැඹුරෙහි ගබඩා කර ඇති කාබන් පරිසරයට මුදා හරින අතර ඉන්පසු එම කාබන් හරිතාගාර වායුවක් වන කාබන් ඩයොක්සයිඩ් බවට පත් වේ. එබැවින්, ගෝලීය උණුසුම ඉහළ යාමට එරෙහි මානව සටනේ දී අවම බිම් සැකසීම වැදගත් මෙවලමකි. එසේම, අවම බිම් සැකසීමේ ක්‍රම මඟින් ගොවීන්ට, මිල අධික යන්ත්‍ර සූත්‍ර සඳහා යන වියදම සහ ඒවායේ නඩත්තුව සඳහා යන වියදම ඉතිරි කර ගත හැකි ය.

නයිට්‍රජන් තිරකරන ඇල්ෆා-ඇල්ෆා වැනි ආවරණ බෝග සහ හරිත පොහොර, බෝග වගා නොකරන කාලයන්හිදී එම භූමියේ වගා කිරීම හෝ සමහර බෝග පේළි අතර සිටුවීම පසෙහි පෝෂක රඳවා තබා ගැනීමට සහ ඛාදනය වළක්වා ගැනීමට උපකාරී වේ. ආවරණ බෝග සහ හරිත පොහොර සාමාන්‍යයෙන් වේගයෙන් වර්ධනය වන වාර්ෂික බෝග වන අතර එමඟින් පසෙහි සාරවත් බව වැඩි කරයි, පසෙහි භෞතික තත්ත්වය වැඩි දියුණු කරයි සහ කාන්දු වීමෙන් සිදු වන පෝෂක හානිය අඩු කරයි.

බහු බෝග වගාව හෙවත් එකම භූමියක එකවර බෝග එකකට වඩා සිටුවීම, භෝග විවිධාංගීකරණය කිරීමට සහ ආහාර සුරක්ෂිතතාව වැඩි කිරීමට උපකාරී වේ. එය සාමාන්‍යයෙන් තනි බෝග වගාවට වඩා වැඩි ශ්‍රමයක් වැය වන ක්‍රියාවකි. මන්ද බහු බෝග වගාවේදී භූමියේ යාන්ත්‍රිකව වැපිරීමට සහ අස්වනු නෙලීමට අපහසු වන බැවිනි. කෙසේ වෙතත්, වගා කරන ලද බෝග වල සංකලනය මත පදනම්ව, බහු බෝග වගාව ස්වයංපෝෂිත එකක් වන අතර, බෝගවල විවිධත්වය ගොවිපලවල් පළිබෝධ සහ රෝග වලට ගොදුරු වීමේ අවදානම අඩු කරයි.

කාබනික ගොවිතැන මෙන් පුනර්ජනනීය කෘෂිකර්මය ද රසායනික පළිබෝධනාශක හෝ රසායනික පොහොර මත රඳා නොපවතී. ඒ වෙනුවට, පළිබෝධ චක්‍ර බිඳ දැමීම සඳහා බෝග චක්‍රීකරණය, කෘමි පලිබෝධකයන්ට එරෙහිව සටන් කිරීම සඳහා ජීව විද්‍යාත්මක පාලන ක්‍රම සහ වල් පැලෑටි පාලනය කිරීම සඳහා සතුන් ලවා තෘණ උලා කෑමට සැලසීම යනාදි ක්‍රියාකාරකම් යොදා ගැනීම මඟින් පළිබෝධ සහ වල් පැලෑටි කළමනාකරණය කිරීම සිදු කරනු ලබයි. එලෙසම පශු සම්පත ආවරණ බෝග ආහාරයට ගෙන පෝෂක වලින් පොහොසත් පොහොර නිෂ්පාදනය කරන අතර බෝග අපද්‍රව්‍ය කොම්පෝස්ට් කර නැවත පසට එක් කළ හැකිය.

පුනර්ජනනීය කෘෂිකර්මාන්තයේ ප්‍රතිලාභ

මිනිසාට සහ ලොව වෙසෙන අනෙකුත් සියලුම ජීවීන්ට ප්‍රතිලාභ ලබා දෙන එමෙන්ම දේශගුණික විපර්යාස සඳහා, ගොවිතැන විසඳුමක් බවට පත් කිරීමේ හැකියාව පුනර්ජනනීය කෘෂිකර්මයට ඇත. එනම්, පුනර්ජනනීය කෘෂිකර්මය තුල ප්‍රතිලාභ රැසක් පවතී. උදාහරණ ලෙස:

  • ජෛව විවිධත්වය වැඩිදියුණු කිරීම
  • ගොවිපල ලාභදායිත්වය සහ ගොවීන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම
  • පෝෂක කළමනාකරණය වැඩිදියුණු කිරීම, පසෙහි ජලය රඳවා තබා ගැනීම සහ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම
  • වඩා හොඳ පෝෂණය සහ මානව සෞඛ්‍යය
  • ආන්තික කාලගුණික බලපෑම අවම කිරීම
  • ඉහළ අස්වැන්නක් ලබා දීම සහ ආහාර සුරක්ෂිතතාව වැඩි කිරීම (වැඩි අස්වැන්න, වැඩි වන ගෝලීය ජනගහනය පෝෂණය කිරීමට උපකාරී වේ.)
  • පවතින වගා කළ හැකි ඉඩම්වල අස්වැන්න වැඩි කර ගැනීමට කටයුතු කිරීම තවදුරටත් වන විනාශය වළක්වන අතර ස්වභාවික වාසස්ථාන සුරැකීමට උපකාරී වේ

පුනර්ජනනීය කෘෂිකර්මාන්තය වෙත නිෂ්පාදකයින්, සිල්ලර වෙළෙන්දන්, පර්යේෂකයන්, පාරිභෝගිකයින් මෙන්ම දේශපාලනඥයින් සහ ප්‍රධාන මාධ්‍ය වෙතින් මෑතකදී සැලකිය යුතු අවධානයක් ලබා දී ඇත.

දැනටමත් පුනර්ජනනීය ගොවිතැන භාවිතා කරන්නේ කොහේද?

ඕස්ට්‍රේලියාවේ, පුනර්ජනනීය ගොවියෙකු වන නීල්ස් ඔල්සන් මහතාගේ සිද්ධිය මෙයට එක් උදාහරණයකි. පාංශු කාබන් චක්‍රීකරණය කිරීම සඳහා රජයේ ක්‍රමයක් හරහා ගෙවන ලද ලොව පළමු ගොවියා ඔහුය. ඔහු ගේ ක්‍රමයට අනුව, අස්වැන්න, පාංශු පෝෂක සහ පාංශු කාබන් වැඩි කිරීම සඳහා, එකම ක්ෂේත්‍රයේම තීරුවල, බෝග සහ තෘණ බෝග මිශ්‍රණයක් සේ සිටුවීම සිදු කරනු ලබයි.

බ්‍රසීලයේ, කපු ගොවීන් ඔවුන්ගේ ප්‍රධාන කපු බෝගය සමඟ තල, වට්ටක්කා සහ ඉරිඟු යනාදී බෝග දෙවන සහ තෙවන එළවළු බෝග ලෙස වගා කරති. ඔවුන් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කරයි. මේ අනුව, ඔවුන්ට  ඔවුන්ගේ වගාව ආරම්භ කළ දා සිට කපු අස්වැන්න තුන් ගුණයකින් වැඩි කර ගත හැකි වී ඇති අතර අනෙකුත් බෝගවල අස්වැන්න හත් ගුණයකින් පමණ වැඩි කර ගත හැකි වී ඇත.

පුනර්ජනනීය ගොවිතැන සඳහා තවත් එක් උදාහරණයක් ලෙස; නැගෙනහිර අප්‍රිකාවේ ටැන්සානියාවේ ගොවීන්, එනසාල් වැනි වාණිජ බෝග සමඟ බෝංචි, කෙසෙල් සහ බඩ ඉරිඟු වගා කිරීමයි දැක්විය හැකිය.

මේ අනුව, පුනර්ජනනීය කෘෂිකර්මය යනු වගා කරන්නාගෙන් වගා කරන්නාට සහ කලාපයෙන් කලාපයට වෙනස් වන, මිනිසුන් සහ ලොව වෙසෙන ජීවීන් පෝෂණය කරන, විශේෂිත ක්‍රම භාවිතා කරමින් ගොවිතැන් කිරීමයි. එහි දැඩි නීති පොතක් නැත. නමුත් පුනර්ජනනීය කෘෂිකර්මාන්තය පිටුපස ඇති පරිපූර්ණ මූලධර්ම, පස සහ පරිසර පද්ධතියේ සෞඛ්‍යය නැවත ඇති කිරීම, අසමානතාවය ආමන්ත්‍රණය කිරීම සහ අනාගත පරම්පරාව සඳහා අපගේ භූමිය, ජලය සහ දේශගුණය වඩා හොඳ තත්වයකින් තැබීම සිදු කරනු ලබයි.

පස සෞඛ්‍ය සම්පන්න වූ විට, එය වැඩි ආහාර ප්‍රමාණයක් හා වැඩි පෝෂණීය ගුණයකින් යුතු ආහාර නිෂ්පාදනය කරයි, වැඩි කාබන් ප්‍රමාණයක් ගබඩා කරයි සහ ජෛව විවිධත්වය වැඩි කරයි. එමෙන්ම, සෞඛ්‍ය සම්පන්න පස, ජලාපවහනය සහ පරාගණය ඇතුළු ස්වාභාවික ක්‍රියාවලීන් හරහා ජලජ, ගොඩබිම් සහ වායු යන පරිසරයන් සහ පරිසර පද්ධති සඳහා ද සහය දක්වනු ලබයි.

නවීන කාර්මික කෘෂිකර්මාන්තයේ අභියෝග

නවීන කාර්මික කෘෂිකර්මාන්තය සාමාන්‍යයෙන් කෘත්‍රිම පොහොර, රසායනික පළිබෝධනාශක සහ ගොවිපල යන්ත්‍ර සූත්‍ර මත රඳා පවතින අතර එහිදී විශාල වශයෙන් තනි බෝග වගා කිරීම සිදු කරනු ලබයි. ඛාදනය වීම නිසා මතුපිට පස හායනය වීම, අඛණ්ඩව දැඩි ලෙස තනි බෝග වගාවෙන් පසෙහි රසායනික පැතිකඩ ක්ෂය වීම සහ වාරිමාර්ග නිසා පාංශු ලවණතාව වැඩි වීම ගොවි බිම් හායනය සඳහා බලපාන ප්‍රධාන සාධක වේ. නිතර වගා කිරීම පාංශු භෞතික පැතිකඩ හා ක්ෂුද්‍ර ජීවී ඝනාවාස විනාශ වීමට හේතු වන අතර එවිට සුළං හා වර්ෂා කාල වලදී පහසුවෙන් වගා බිම් ඛාදනයට ලක් වේ. ඊට සමගාමීව, බර යන්ත්‍ර සූත්‍ර භාවිතය පස තද කරයි. එය ජලය අවශෝෂණය කර රඳවා තබා ගැනීමේ හැකියාව අඩු කරන අතර ඒ හේතුවෙන් වගා බිම් වල ඵලදායිතාවය අඩු වීම සහ ගංවතුරට ගොදුරු වීමේ අවදානම වැඩි කරයි. එමෙන්ම රසායනික පොහොර සහ පළිබෝධනාශක භාවිතය අසල්වැසි වගා බිම් වල ද පස සහ ජල මාර්ග අපවිත්‍ර කරයි. මෙයද පස තද වීම මගින් උග්‍ර විය හැකි තවත් එක් ගැටලුවකි.

මෙම නවීන කාර්මික ක්‍රම නිසා ඉදිරි වසර 50 ක පමණ කාලය තුළ ලෝකයක් පෝෂණය කිරීමට ප්‍රමාණවත් පසක් ඉතිරි නොවනු ඇත. දැඩි ගොවිතැන් ක්‍රම මගින් පසෙහි ස්වභාවිකව ගබඩා කර ඇති කාබන් ඉවත් කර CO2 ලෙස වායුගෝලයට මුදා හරිනු ලැබේ. මෙය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වේ. එලෙසම නවීන කෘෂිකාර්මික ක්‍රම නිසා හානියට පත් පස සහ ඛාදනය වූ භූමිය ගංවතුර වැනි ආන්තික කාලගුණික සිදුවීම් වලට ද මඟ සලසනු ලැබේ.

කෙසේ නමුත් කෘෂිකාර්මික අංශය නවමු මාවතකට යොමු කළ යුතු අතර පුනර්ජනනීය කෘෂිකර්මාන්තය මගින් පසෙහි කාබනික ද්‍රව්‍ය ගොඩනැගීම සහ එහි සෞඛ්‍යය පෝෂණය කිරීම සිදු කරයි. නමුත් එය එක් ප්‍රමාණයකට ගැලපෙන විසඳුමක් නොවේ. ඒ වෙනුවට, පස, ජෛව විවිධත්වය සහ එහි ඵලදායිතාව උපරිම කරන විවිධ ගොවිතැන් ප්‍රවේශයන් තව දුරටත් අවශ්‍ය වේ.

මූලාශ්‍ර:-

https://www.nrdc.org/stories/regenerative-agriculture-101#why
https://www.syngentagroup.com/regenerative-agriculture#:~:text=Regenerative%20agriculture%20is%20an%20evolution,farming%20more%20productive%20and%20profitable.
https://www.weforum.org/agenda/2022/10/what-is-regenerative-agriculture/

Michele. (2023). B.A. in English from Southeast Missouri State University and an M.A. from DePaul University. https://www.britannica.com/technology/regenerative-agriculture#ref357063

Newton P, Civita N, Frankel-Goldwater L, Bartel K and Johns C (2020) What Is Regenerative Agriculture? A Review of Scholar and Practitioner Definitions Based on Processes and Outcomes. Front. Sustain. Food Syst. 4:577723. doi: 10.3389/fsufs.2020.577723

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles