34 C
Colombo
Monday, February 26, 2024
spot_img

Subscribe

Date:

Share:

බද්දට එරෙහිව ඉහළයන  බුද්ධි ගලනය

Related Articles

ස්වයංපෝෂිත ආර්ථිකයකට හිමිකම් කියූ සෞභාග්‍යමත් රටක් වූ ශ්‍රී ලංකාවට අද වන විට අත් වී තිබෙන ඉරණම නම් අතිශයින්ම දුක්ඛිතය. ලෝක සිතියමේ තිබෙන බලවත් රාජ්‍යයේ සිට පහළ පාන්තික රටකින් පවා උදව් උපකාර මූල්‍ය ආධාර ලබාගන්නට මාන බලමින් සිටින අසරණ රටක් විදිහට අපි ඉතා අසරණ ජාතියක් වී හමාරයි.

බොහෝ පිරිස් මෙම උද්ධමනකාරී තත්වයට මුහුණ දිමට නොහකිව මෙරට හැරදා විදේශ ගත වන අතර තවත් සමහරුන් පවුල් පිටින්ම සියදිවි හානි කරගැනීමටද පෙළඹී තිබීම ඉතා කණගාටුදායක තත්වයකි. ඉතා මෑතකදී ද එවැනි සිදුවීම් කිහිපයක්ම අසන්නට දකින්නට ලැබුණ බව ඔබ අප කවුරුත් හොඳාකාරවම දනී. රටේ පාලකයන්ගේ අදුරදර්ශී ක්‍රියා පිළිවෙත්, ඉහළ බදුබර පැනවීම හමුවේ කබලෙන් ලිපට වැටෙන්නේ රටේ අසරණ ජනතාවයි.

‘ආසියාවේ ආශ්චර්ය’, ‘සෞභාග්‍යමත් දේශයක්’ සහ ‘ඉන්න හිතෙන රටක්’ ආදී විවිධ නාමික ආමන්ත්‍රණයන් ඔස්සේ පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාව ගොඩනැගීමට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් කවුරු කවුරුත් දුන් පොරොන්දු වචනවලට පමණක් සීමා වූ පසුබිමක, බොහෝ ලාංකිකයින් පිරිසක් මේ වන විට රට හැර යමින් සිටින බව නොරහසකි. රටේ තරුණ ප්‍රජාවගේ බලාපොරොත්තු බොහොමයක් මේ වන විට සිහින බවට පත්ව තිබේ. එවැනි පසුබිමක් තුළ ඇති හැකි මෙන්ම උගත් වෘත්තීයවේදීන් හා බුද්ධිමතුන් රට හැර යෑම නතරකළ නොහැකි තත්ත්වයක් බවට පත්ව තිබේ.

වැරදි තීරණ හේතුවෙන් ආහාර සුරක්ෂිතතාව බිඳ වැටුණු අතර ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස උද්ධනමය ඉහළ ගොස් තිබේ. ආහාර උද්ධමනය මේ වන විට 94% ඉක්මවා ගොස් ඇත. වෙනත් මුදල් ඒකකවලට සාපෙක්ෂව රුපියලේ අගය දැඩි පසුබෑමකට ලක්විය. විදෙස් සංචිත අවසන් අඩියටම පහත වැටී තිබේ. ඉන්ධන නැවක් කොළඹ වරායට පැමිණෙන තුරු ඊට මුදල් සොයා ගැනීමට නොහැකි තරමටම රට ආර්ථික බංකොලොත් භාවයට වැටී ඇත.

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට දිනපතා ඇති පෝලිම සහ විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඔන්ලයින් ඔස්සේ දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමට උත්සහ කිරීමේදී ඇති ඉල්ලුම සලකා බැලීමේදී විදෙස්ගත වීම සඳහා ජනතාව දරණ උත්සාහය මනාව පැහැදිලි වෙයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2022 වස‍රේ මුල් මාස 9 තුළ නිකුත් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව හත් ලක්ෂයකට අධික වේ. 2021 වසරේ නිකුත් කරන ලද විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව ලක්ෂ 4ක් පමණ විය. 2022 වසරේ දත්තවලට අනුව පිරිමි පුද්ගලයින් හාරලක්ෂයකට අධික පිරිසක් සහ දෙලක්ෂයකට අධික කාන්තාවන් පිරිසක් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගෙන තිබේ. වැඩිම විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කර ඇත්තේ පසුගිය අගෝස්තු මාසයේ (2022) වන අතර එම සංඛ්‍යාව 15,286කි.

මෙරට ආර්ථිකය අර්බුදයට ලක්වීම ආරම්භයත් සමඟ ඇති හැකි අය බොහෝ දෙනෙක් විදේශගත වූහ. ඇතමුන් සිය පවුලේ සාමාජිකයින් සමඟම විදෙස් රටවලට ගොස් තිබේ. ඒ අතරට මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, වරලත් ගණකාධිකාරීවරුන් ඇතුලු වෘත්තියවේදීහූ විශාල පිරිසක් වෙති (BBC News සිංහල, 2022).

මෙයින් වසර හතළිහකට පනහකට තරම් පෙර යුගයේ උගතුන් රට හැර යෑම, බුද්ධි ගලනය පාසලේ ඉහළ පන්තිවල සිංහල රචනා මාතෘකාවකි. පාසලේ සිංහල ගුරුවරයා ඒ සම්බන්ධ කරුණු ඉදිරිපත් කරමින් සිසුන්ට කියා දුන්නේ උගතා, ශ්‍රමිකයා මේ රට අතහැරදා ගිය විට රටේ ආර්ථිකය කඩා වැටෙන්නට මඟ සැලසෙන ආකාරය ගැනය. අද ඒ තර්ක විතර්ක කණ පිට හරවාගෙනය. මේ රටේ ජීවත්වන්න බැහැ. පුළුවන් නම් කොහේ හරි කමක් නැහැ රටකට පැන ගන්න එකයි තියෙන්නේ. මේ දැන් එහෙන් මෙහෙන් වැඩිපුරම ඇහෙන කතාවය (Mawbima, 2022).

කෙසේවෙතත් මේ වන විට හඳුන්වා දී තිබෙන නව බදු ප්‍රතිපත්තිය තුළ වෘත්තිකයන් විශාල පිරිසක් රට හැරයමින් සිටිති. රට පත්ව සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට යැයි පවසමින් ආණ්ඩුව ජනතාව වෙත අධික බදු බරක් පටවා තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස වෛද්‍යවරු, ගුවන් නියමුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු, තොරතුරු තාත්ෂණ ඉංජිනේරුවන්, බැංකු නිලධාරීන් වැනි වෘත්තිකයන් විශාල ලෙස රටින් බැහැර වීමේ තර්ජනයක් මතුව තිබේ. මෙලෙස බුද්ධි ගලනය නිසා අවසානයේ රටේ සාමාන්‍ය ජනතාව දැඩි අසරණ තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකිය.

මෙම නව බදු ප්‍රතිපත්ති පැනවීමට ආණ්ඩුවට සිදුව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කිරීමක් ලෙසිනි. බදු පැනවීම සහ ආර්ථික අර්බුදය නිසා රටේ අනාගතය පිළිබඳව පවතින අවිනිශ්චිත තත්ත්වය මත තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයන්ගෙන් 10%ක් පමණ විදේශ රැකියා සොයා ගොස් ඇතැයි ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපතිවරයාද පසුගිය දිනවල ප්‍රකාශ කර තිබිණි.

පසුගිය වසරේ පළමු මාස 8 ඇතුළත පමණක් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළුව රට හැර ගොස් ඇති වෛද්‍යවරුන් සංඛ්‍යාව 477 පමණ වේ. වෙනත් වසරවල මෙලෙස වෛද්‍යවරුන් විදේශ ගත වූයේ පුහුණුව සඳහා වුවද මේ වන විට තත්ත්වය වෙනස්ය. බොහෝ වෛද්‍යවරුන් තුළ පවතින්නේ  සේවයෙන් ඉවත්ව රට යාමේ මානසිකත්වයකි. 2019 සිට 2022 දක්වා වෛද්‍යවරුන්  4143ක් රට හැරගොස් තිබේ. වෛද්‍යවරයකු බිහි කිරීම සඳහා දළ වශයෙන් ලක්ෂ 60ක් පමණ වැයවෙයි. වෙනත් වෘත්තිකයන් සඳහාද වැය කෙරෙන මුදල ඊට ආසන්නය. ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කරන ඉංජිනේරුවන් සංඛ්‍යාව දහසකට අධිකය. ඉන් දහයෙන් එකක් මේ වන විට රට හැර ගොසිනි. බැංකු ක්ෂේත්‍රයේද පළපුරුදු වෘත්තිකයන් විශාල පිරිසක් විදෙස් ගත වී ඇතැයි බැංකු ආරංචි මාර්ග සඳහන් කරයි (සිල්වා, 2023).

මේ ආකාරයට බුද්ධිගලනය ඉහළ යෑමට රටේ පවතින ආර්ථික අර්බුදය නිසා උද්ගතව ඇති පීඩනය බලපා තිබේ. පුද්ගලයන්ට වඩාත් වැදගත් වන්නේ තමන්ගේ සතුටයි. සංතෘප්තියයි. එනිසා මුලින් තමන් සතුටට පත් වී සිටිය යුතුය. සේවය කරන රැකියා ස්ථානය හා එහි පරිසරය ලැබෙන වැටුප මේ සියල්ල පුද්ගලයාගේ සතුටට බලපායි. වෘත්තිකයන් ලබන වැටුපට අදාළව මෑතක දී සංශෝධනය කරන ලද ආදායම් බද්ද නිසා බොහෝ අය පීඩාවට පත්ව සිටිති. සියලු දෙනාම බදු ගෙවිය යුතුය. එහෙත් බදු අය කිරීමේ දී නිශ්චිත ව්‍යුහයක් තිබිය යුතුය. බදු පැනවිය යුත්තේ එම ව්‍යුහය අනුවය. එසේ කරන්නේ නම්, සමාජයේ සියලු දෙනා බදු ගෙවීමට යටත් වෙති. කෙසේ වෙතත් ලංකාවේ දැන් ක්‍රියාත්මක වන බදු ක්‍රමය සමාජයේ සියලු දෙනා ආවරණය කරන්නක් නොවන අතර විශාල පිරිසක් බදු දැලෙන් නිදහස්ව සිටිති.

සාධාරණ බදු ක්‍රමයක දී විශාල වශයෙන් ආදායම් උපයන්නන්ගෙන් වැඩි බදු මුදලක් අය කර ගත යුතුය. සෙසු අයට තමන් උපයන ආදායමට සරිලන බද්දක් පැනවිය යුතුය. අනෙක් වැදගත්ම කාරණය නම්, තමන් ගෙවූ බද්දෙන් සිදු වූයේ කුමක් ද යන්න බදු ගෙවන්නාට දැක ගත හැකි විය යුතුය. රජය අය කරන බදු මුදල් ආණ්ඩුව වියදම් කරන්නේ සමාජයේ යහපත පිණිස නොවේ නම්, බදු ගෙවන්නෝ කලකිරීමට පත් වෙති (වික්‍රමසිංහ, 2023).

අද සමාජ මාධ්‍ය තුළ පවා වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ පඩිපතෙන් අනිසි ලෙස බදු අය කර ගැනීම පිළිබඳවය. එය විශාල ප්‍රශ්නයකි. ඕනෑම රටකට ගියත් උපයන ආදායමෙත් යම්කිසි ප්‍රමාණයකට රජයට බදු ගෙවිය යුතුය. නමුත් ලංකාව ඇතුළේ සාමාන්‍ය මිනිහාගෙන් ගන්නා බදු මුදල කොහේටද යන්නේ? මෙම බදු මුදල් යන්නේ රටට කිසිම සේවයක් නොකරන එක්තරා මිනිස් කණ්ඩායමක නඩත්තුව වෙනුවෙනි. එයින් රටට කිසිදු සේවයක් ඉටු නොවේ. එවැනි තත්ත්වයකදී අපි ඇයි බදු ගෙවන්නේ යන ගැටලුව ජනතාවට ඇතිවේ. එමෙන්ම ලංකාවේ තිබෙන ජීවන වියදම ඉහළ යෑම සමග එකවරම බදු මුදල් ඉහළ ගිය විට ලෝකයේ වෙනත් රටක මීට වඩා හොඳ අවස්ථාවන් තිබෙනවා නම්, තමන්ගේ උගත්කමට සරිලන රැකියා අවස්ථාවන් තිබෙනවා නම් කිසිදු පුද්ගලයෙක් එක් මොහොතක්වත් ලංකාවේ රැදෙයි කියා බලාපොරොත්තු විය නොහැක.

විශේෂයෙන් උගත් පිරිස් එලෙස රට හැර යාමේ තත්ත්වයට පැමිණේ. මෙපමණ කාලයක් බුද්ධිගලනයට වඩා සිදුවූයේ මිනිසුන් රට හැර යාම පමණි. නමුත් මින් මතුවට උගත් පුද්ගලයන් ඊට හැර යාම වඩාත් වේගයෙන් සිදුවෙයි. එහි ප්‍රතිඵලය බුද්ධිගලනය වේගයෙන් වැඩි වීමයි. උගත් පුද්ගලයෙක් තමන්ගේ සුදුසුකම්වලට තවත් රටවල තිඛෙන අවස්ථා සොයා ඉක්මනින් රටින් පිටවීමට පෙළඹී තිබේ. නිසැක වශයෙන්ම මේ බදු අය කර ගැනීමේ ක්‍රමවේදය ඇතුළෙ මේ වසරේදී වැඩි බුද්ධිගලනයක් ඇති විය හැක. එයින් රටට ඇතිවන බලපෑමද ඉතා විශාලය (දේවින්ද, 2023).

විදේශගත වන වෘත්තිකයන්ට ලංකාවට මුදල් එවීමේ බොහෝ අවශ්‍යතාවක් ද නැත. මන්ද, ඔවුන් උපයන ආදායම් මත රටේ නිකම්මු ද සැප විඳිමින් යැපෙන හෙයිනි. බහුතරයක් විදේශගත වන වෘත්තිකයෝ ලංකාවේ සිටින තමන්ගේ ඥාතීන් වෙත මුදල් එවනවා වෙනුවට රටේ ක්‍රියාත්මක ස්වේච්ඡා සංවිධානවලට මුදල් එවන්නට පෙළඹෙති. ආබාධිත දරුවන්ගේ අවශ්‍යතාවලට පිටිසර පාසල් දියුණු කිරීමට දුප්පත් දරුවන්ට ශිෂ්‍යාධාර ලබා දීමට ඔවුහු වැඩි අවධානයක් යොමු කරති. විදේශ විනිමය කියමින් මෙරටට එවන මුදල් වලිනුත් බාගෙට භාගයක්ම කපා හරිමින් කෙළවරක් නැති ණය බර ගෙවනවාට වැඩ ඇත්තෙන්ම එවැනි ආධාර ලබා දීම හරවත් ක්‍රියාවකි.

කෙතරම් පිඩාවට පත් වුවත් දුප්පතුන්ට  නැතිබැරි මිනිසුන්ට නම් ඉන් ගැලවීමක් නැත. ඇති හැකි උදවිය පවුල් පිටින් මෙරට හැර ගියත් සැමවිටම වාගේ අනුන්ගේ පව් ගෙවීමට සිදුවන්නේද නැතිබැරි උන්ටම වීම මෙලොව පවතින ඛේදනියම හා අසාධාරණම දඬුවම වේ.  

මුලාශ්‍ර

BBC News සිංහල. (2022). බුද්ධි ගලනය රටට අනතුරක් ද ? Bbc.Com. https://www.bbc.com/sinhala/sri-lanka-63282183

Mawbima. (2022). නොයන් පුතුනි රට හැරදා. Mawbima.Lk. https://mawbima.lk/2022/06/28/නොයන්-පුතුනි-රට-හැරදා/

දේවින්දකැළුම්. (2023). අසාර්ථක රාජ්‍යයේ මේ උගතුන් රට හැර යන කාලයයි. මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුර. https://www.gossiplankanews.com/2023/01/migration-intelectuals-ramgika-halwathura.html

වික්‍රමසිංහ, උපුල්. (2023). උගතුන් උපන් රට හැරයෑම. මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යයනාංශයේ ආචාර්ය ඉනෝකා මන්තිලක. https://www.lankadeepa.lk/features/උගතුන්-උපන්-රට-හැරයෑම/2-640418

සිල්වාප්‍රියන්ජන් සුරේෂ් ද. (2023). බදුබර උහුලනු බැරුව රට අතහැර යන වෘත්තිකයෝ. Deshaya.Lk. https://www.deshaya.lk/article/43/features/22687/බදුබර-උහුලනු-බැරුව-රට-අතහැර-යන-වෘත්තිකයෝ

Diluka Bandara
Diluka Bandara
senior student, Rajarata university of Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles