30 C
Colombo
Sunday, May 28, 2023
spot_img

Subscribe

Date:

Share:

නේපත්‍යාගාරයේ දී පැතිරුණ අනුෂාංගිකාඥාව

Related Articles

සීතාවක රාජසිංහ රජ සමයේ පරංගීන්ට පහරදීමට පැමිණි රාජසිංහ රජුට ලැගුම් ගැනීමට මාළිගාවක් තනා නිමවා තිබූ ගිරග්ගය හෙවත් උස් භූමිය මාලිගාකන්දය. ඉදින් ඒ මාළිගාවට අයත් නින්දගම මාලිගාවත්තය. 1971 අප්‍රේල් ජවිපෙ පළමු කැරල්ල අවධියේ දී ජනයාන්ත්‍රික ගෙන්දගම් පොළොවක පැතිරුණු මාලිගාවත්ත ඔහු කුඩා කළ හැදුණු වැඩුණු වටපිටාව ය.


රාජසිංහ රජ සමයේ ම කියවෙන ලියවෙන මුල්ලේරියා වෙළට ආසන්න කොලොන්නාව උමගිලියේ සිය පියාගේ බේකරියක් තිබූ නමුත් බුදු නොවූ බුදු තාත්තාගේ එපා නොවුණු බීමත්කම නිසා ම ඔවුන්ගේ දහදිය මහන්සියේ වත්කම් යාවත්කාලීන නොවී පාන් පෝරණුවේ දර අඟුරු සේම පිළිස්සී විනාශ විය. දුමක් නොනගී ද ගින්දර නොමැතිව. මේ ප්‍රවේශය බයෝ ඇවනිව් හි කතානායකයා වන සුමේධ හේවාවිතාරණ ගැන කතා කිරීමටය.

වෘත්තීය කරණවෑමියෙක් නොවූ ඔහු   මුහුණට ගැලපෙන විලාසිතාවට කොණ්ඩය කපා හිසකෙස් සැකසූහ. තීරුකරුට රස්සාවක් නොමැති අසූව දශකයේ වලිගේ අනූව දශකයේ හොම්බේ මුදල් අය නොකරන පැකේජයකින් ඔහුගෙන් කොණ්ඩයත් කපාගෙන ඔහුගේ අම්මා පිසූ බත් මාළු ද ගිල දමා තීරුකරු ආපසු එන්නේය.
⁣ඔහු වනාහී අද වෘත්තීය අංගරචනා ශිල්පියෙක් සහ බහුවිධ අනුෂාංගිකයෙක් වන නාට්‍යවේදී සුමේධ හේවාවිතාරණයි. 

සුමේධව හඳුනා ගන්නට ලැබෙන්නේ රොජර් සෙනෙවිරත්නගේ මිතුරු පාලම හරහා ය. ඒ ‘මරාසාද්’ නාට්‍යයට සුමේධවත් තීරුකරුවත් සම්බන්ධ කරන්නේ රොජර් නිසාය.

ජාතික රූපවාහිනියේ ‘ඇහට කනට’ වැඩ සටහන සඳහා සුගතපාල ද සිල්වා කලාකරුවාගේ ‘මරාසාද්’ නාට්‍යයේ(‘මරාසාද්’ නාට්‍යයේ කමල් දේශප්‍රිය නිරූපණය කළ ජාක්රූගේ භූමිකාව කමල් නොපැමිණි දර්ශන වාර දෙකක දී සුමේධ විසින් ආවරණය කරන ලදී.)  ජවනිකා පටිගත කිරීමට පැමිණිවිට සුමේධ කීවේ ” රූපවාහිනී සංස්ථාවේ මුල් ඉදිකිරීම්වලට පෙර අදියරේ තරංග සම්ප්‍රේෂණ කුළුන ඉදිකිරීමට ⁣අත්තිවාරම් සහ බේස්වලවල් කපන්න දවසෙ පඩියට වැඩකළා. අද මං ඒකෙ පටිගත කරන වැඩසටහනක පෙනී ඉන්නවා. ඉතිං සතුටු නැද්ද මචං මට” ඒ තමයි සුමේධ.

අසූව දශකයේ වාටියේ සිට නව සහස්‍රකයේ මදය දක්වාම ඔහුගේ නිර්මාණාත්මක ශ්‍රමය හෙලූ නිර්මාණ  ලැයිස්තුව ලිව්වොත් කොළමේ වර්ගඵලය ප්‍රමාණවත් නොවනු ඇත.

අද්‍යතනය වන විට දිවංගතවී ඇති ශේෂා පලිහක්කාර, ජයලාල් රෝහණ සහ භානු ප්‍රසන්න නාට්‍ය කලාවේ බහුවිධානුෂාංගිකයෝය. ඊට අමතරව වර්තමානයේ නාට්‍ය වේදිකාවේ අංගරචනා ශිල්පීන් වන වසන්ත විට්ටච්චි, ජේ. සුරනිමල(සුරේ බොහෝ දෙනා දන්නේ අංගරචනා ශිල්පියෙක් හැටියට වුවත් ඔහු විසින් රචිත අංගරචනය පිළිබඳ විද්‍යාත්මක රචනා, පොතක් විදිහට එළිදැක්වීමට පෙර එකී අත්පිටපත බුද්ධිමය දේපළ කොල්ලයකට හසුවිය. එනිසා ඔහු අදටත් අප්‍රකාශිත ග්‍රන්ථයක අප්‍රකට රචකයෙක් ලෙස මිතුරන් අතරේ පමනක් ප්‍රකටය.) චාමර අනුදත් රාජපක්ෂ, හීනටිගල ප්‍රේමදාස, ප්‍රියන්ත සිරිකුමාර, එම්. එමිල්, ප්‍රේම් ජයන්ත කපුගේ යනාදී බහුවිධානුෂාංගික ලැයිස්තුවේ සුමේධට ද ඉදිරිපෙළ   අනුක්‍රමික අංකයක් ලබාදිය හැක.

ඔහුගේ බහුවිධානුෂාංගික නිර්මාණාත්මක ශ්‍රමය දායක කළ දිගු නාට්‍ය ලැයිස්තුවෙන් කීපයක් පමනක් ඇතුලත් කළෙමි.
‘කලිගියුලා'(ඇල්බෙයා කැමූගේ කලිගියුලා ඇසුරින් බෙල්ජියම් ජාතික රූඩි කොරෙන්ස් කළ කලිගියුලා නාට්‍යයේ ඉංග්‍රීසි නිෂ්පාදනය.) ‘මරාසාද්’, ‘ලෝකා’, කැමූගේ කලිගියුලා සිංහල පරිවර්තනය ‘පස්වැන්නා'(පරිවර්තනය සහ අධ්‍යක්ෂනය රොජර් සෙනෙවිරත්න), ‘බර්නාඩාගේ සිපිරිගෙය’, ‘ඇන්ටිගනී'(සෝමලතා සුබසිංහ අධ්‍යක්ෂනය), ‘දුක්ගන්නාරාළ’, ‘දොර්දණ්ඩා’, ‘නිහාල් ප්‍රනාන්දුගේ ‘තුරඟා’, ඕස්ට්‍රියානු ජාතික පීටර් ටුටේනිගේ “Joseph and Maria” ජර්මන් භාෂිත නාට්‍යයේ අශෝක සොයිසා පරිවර්තනයෙන් එම්. සෆීර් අධ්‍යක්ෂනය කළ “මම ඉපදුනේ ඊයෙ නෙමෙයි”, ‘වන තාරාවි'(වයිල්ඩ් ඩක් ඇසුරින් ඊ. එම්. ඩී. උපාලි අධ්‍යක්ෂනය), සරත් කොතලාවලගේ ‘සූකරයෙක් සමඟ’, ‘රෂෝමාන්’, ‘මාස්ටර් බිල්ඩර්’, තුමිඳු දොඩංතැන්නගේචත ‘අරුන්දතී’, ‘බෝනිකි ගෙදර’ප්‍රභාත් වරුෂමාන්න සමඟ දමයන්ති ෆොන්සේකා සම අධ්‍යක්ෂනය කළ ‘බෝනිකි ගෙදර'(⁣හෙන්රික් ඉබ්සන්ගේ ‘Doll House’ ‘බෝනිකි ගෙදර’ නමින් තවත් නිෂ්පාදනයක් ජගත් බංඩාරගේ අධ්‍යක්ෂනයෙන් රංගගත විය.) මංජුල ජයගුප්තගේ ‘දණ්ඩන’, පූජිත ද මෙල්ගේ ‘අසිනමාලි’, ‘ට්‍රේන් ඩයිවර්’, ‘අහිංසකයන්ගේ ආරාමය’ මේ නිර්මාණ ගොන්නේ පෙළ මතක්කිරීම, වේදිකා පාලනය, රංගනය, රංගවින්‍යාසය, අංගරචනය, රංගාලෝකය, රංගවස්ත්‍ර යනාදී අනුෂාංගිකයෝය. ඔහු මේ නිර්මාණ බොහොමයක් සඳහා අංගරචනයෙන්, රංග වින්‍යාසයෙන්, රංගාලෝකයෙන් සහ රංග වස්ත්‍රයෙන් ඇගයීමට පාත්‍ර වී ඇති අතර ඊට රාජ්‍ය සම්මාන ඇතුළු සම්මාන කීපයක් ම සුමේධගේ නිවසේ රාක්කවල නිසොල්මනේ බලා සිටී.

සුමේධ නිර්මාණාත්මක ශ්‍රමය වැගිරුවේ වේදිකාව(දිගු නාට්‍ය සහ කෙටි නාට්‍ය)පුංචි තිරය සහ සිනමාව නම්වූ ත්‍රිත්වයේ පමනක් නොවේ. නිශ්චල ඡායාරූපවේදියෙක් වශයෙන්ද ඔහුගේ කුසලතාවය පෙන්වා ඇත.
විවිධ නිර්මාණ සඳහා ඔහු කළ නිර්මාණශීලී රංග වින්‍යාසයන්ට, චන්දා පීරිස් සහ ඌෂා සරවනමුත්තුගෙන් හැදෑරූ බැලේ නර්තනය සුමේධට අගනා සම්පතක් ම විය.


“මං ලබපු උත්ප්‍රාසාත්මක අත්දැකීමක් මතකයට එනවා. අවශ්‍ය තරම් පුහුණුවීම් කර තිබූ නාට්‍යයක සම්මානනීය නිළියක්,
‘වේදිකාවෙන් මහපොළොවට’ නාට්‍ය උළෙලේ  අවසාන වටයේ දී ඇගේ රංග පරාසයේ සංයමය නොමැතිව රංගනයේ යෙදුණා.  ඇය සමඟ රඟපෑ නළුවාගේ බෙල්ලට දිගු සුදු රෙද්දක් දමන අවස්ථාවක් තිබෙනවා අවසාන හරියෙදි. ඇය නළුවාගේ ඔළුවට දමා රෙද්ද ඇද්දා. නළුවාට දමා තිබුණ විග් එක ගැලවී බිමට වැටුණා. ඒත් විනිශ්චය මණ්ඩලය ඇයව හොඳම නිළිය කළා. රංගාලෝක ශිල්පියාට හොඳම රංගාලෝකයත් ලැබුණා. ඒ හේතුව නිසා රංගාලෝකය සමඟ එක්ව යන අංගරචනයට සම්මානය නොලැබුණා.  ඒක අංගරචනයේ දී මා ලබපු  අමිහිරි අත්දැකීම්වලින්  එකක් වුණා. රඟන ජීවිතවලට වෙස් ගැන්වීමත් ඔවුන් වෙස් මාරු කරගැනීමත් දෙකක් මිස එකක් නොවේ.”සුමේධ උපහාසයෙන් යුතුව පැවසීය.

Sarathchandra Walpola
Sarathchandra Walpola
Writer, Director, Journalist

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles