

ශ්‍රී ලංකාව සාමාන්‍යයෙන් ලෝකයේ උණුසුම් රටවල් අතරින් එකක් වන අතර එයට හේතුව නම් ලංකාව සමකයට ඉතා ආසන්නව පිහිටා තිබීමයි. කුඩා නිවර්තන කලාපීය දූපතක් වන ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් මාර්තු සිට මැයි සහ අගෝස්තු සිට ඔක්තෝබර් යන මාස කිහිපයන්හී දී 30°C තරම් වූ අගයක් දක්වා ඉහළ යයි. වසර 1949 සිට 2023 දක්වා කාලය සලකා බැලීමේදී 2012 වසරේදී වැඩිම උෂ්ණත්වයක් සැප්තැම්බර් මාසයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය 39.5 °C ක් පමණ විය. 2023 වන මෙම වසරේදී ද ශ්‍රී ලාංකික ජනයාට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් දෛනික ජීවන කටයුතු කරගෙන යාමට බාධා ඇති වී ඇති අතර පාරිසරික වශයෙන් ද එය විශාල ලෙස බලපා ඇත. මන්ද මෙම වසරේ මාර්තු සිට අගෝස්තු දක්වා කාලය තුල දිවයිනේ බොහෝ දිස්ත්‍රික්කවල 35°C තරම් උෂ්ණත්වය ක් දිනපතා වාර්තා වී ඇත. අධික උෂ්ණත්වයක් සහිත තාප තරංග ආසියාව හරහා පැතිර යන විට, ශ්‍රී ලංකාව තුලද උෂ්ණත්වය සාමාන්‍ය උෂ්ණත්වයට වඩා ඉහළ පරාසයකට ගමන් කරයි, ඊට සමගාමීව ඉහළ යන ආර්ද්‍රතාවය මෙන්ම සෞඛ්‍යයට තර්ජනයක් වන බලපෑම් ද හේතුවෙන් ශ්‍රී ලංකාව මහජනතාවට අධික උෂ්ණත්ව අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබීය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා (අනාවැකි සම්බන්ධ) ආචාර්‍ය ශිරෝමණී ජයවර්ධන මහත්මිය පැවසූ පරිදි උණුසුම් කාලගුණය අධික ආර්ද්‍රතාවය සහ උෂ්ණත්ව මට්ටම්වල එකතුවක් නිසා මිනිසුන්ට මෙන්ම සතුන්ට පවා දැඩි අපහසුතාවයක්, දහඩිය සහ පිපාසයක් ඇති කිරීමට සමත්ව තිබුණි. සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින් පැවතීම සහ සුළං නොමැතිකම, දැවෙන හිරු කිරණක් පොළොවට පතිත වීමට හේතු වේ. මෙම වසරේ උණුසුම්
උෂ්ණත්වය ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවීය, අසල්වැසි ඉන්දියාව ද අධික උණුසුම හේතුවෙන් පුද්ගල මරණ වාර්තා කල අතර අනෙකුත් ආසියාතික රටවල් ද ඉහළ උෂ්ණත්වයන් අත්විඳිති.
එල්-නිනෝ සහ ලා-නිනා ගෝලීය දේශගුණයට බලපාන පැසිෆික් සාගරයේ ප්‍රතිවිරුද්ධ දේශගුණික තත්ත්වයන් වේ. ආචාර්‍ය ශිරෝමණී ජයවර්ධන මහත්මිය පැවසූ පරිදි, ලා-නිනා තත්ත්වය හේතුවෙන් පසුගිය වසරවලදී අවට සාගරවල උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා අඩුවීමත්, ගෝලීය උෂ්ණත්වය අඩුවීමත් නිසා අපට අධික උණුසුමක් දැනුණේ නැති අතර මෙම වසරේ ජුනි මාසයේදී ආරම්භ වූ එල්-නිනෝ තත්ත්වය ගෝලීය වශයෙන් උණුසුම් උෂ්ණත්වයක් ඇති කර තිබුණි. එසේම තවදුරටත් ඈ පවසා සිටියේ අධික මෝසම් වැසි නොලැබුණහොත් ඉදිරියේදී මෙය අපේ රටට වඩා උණුසුම් මාස ගෙන එනු ඇති බවයි.
සීතල රාත්‍රීන් හා සසඳන විට ශ්‍රී ලාංකිකයන් දැන් දැන් වඩාත් උණුසුම් රාත්‍රීන් අත්විඳිමින් සිටිති. සිදු කළ අධ්‍යයනයකින් අනාවරණය කර ඇත්තේ වාර්ෂික සාමාන්‍ය අවම උෂ්ණත්වය ඉහළ යමින් පවතින අතර, උපරිම සහ අවම උෂ්ණත්වය අතර පරතරය අඩු වෙමින් පවතින බවයි. එසේම, ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය දශකයකට සෙල්සියස් අංශක 1.8 (ෆැරන්හයිට් අංශක 3.24) බැගින් ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වයට වඩා වේගයෙන් ඉහළ යමින් තිබේ.
පසුගිය ශතවර්ෂය පුරාවට, බොහෝ දුරට හරිතාගාර වායු විමෝචනයේ ප්‍රතිඵලයක් ලෙස, පූර්ව කාර්මික කාලයට සාපේක්ෂව ගෝලීය උෂ්ණත්වය ආසන්න වශයෙන් 0.8 සිට 1.3°C දක්වා ඉහළ ගොස් ඇත. IPCC කමිටුව මඟින්, ආන්තික කාලගුණික සිදුවීම්, ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති ක්‍රියාකාරීත්වය ඇනහිටීම සහ මුහුදු මට්ටම ඉහළ යාම ඇතුළුව ලොව පුරා බරපතල දේශගුණික විපර්යාස ඇති වන බව සහ උෂ්ණත්වය තව තවත් ඉහළ යන බවට පුරෝකථනය කර ඇත. මෙම කෙටි කාලීන හා දිගු කාලීන බලපෑම් හැරුණු විට, උෂ්ණත්වය ඉහළ යාම; උෂ්ණත්වය නිසා ඇතිවන ආතතිය, තාප විඩාව සහ තාප ආඝාතය, නිදන්ගත විජලනය, දෛශික මගින් බෝවන ආසාදනවල වැඩිවීම සහ මන්දපෝෂණය ඇතුළු විවිධ යාන්ත්‍රණ ඔස්සේ මිනිස් සෞඛ්‍යයට සහ යහපැවැත්මට අහිතකර ලෙස බලපෑ හැකිය. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ලොව පුරා තාප තරංග සංඛ්‍යාව වැඩි කර ඇති බවට දැන් සැකයකින් තොරය. එනම් මේ වන විට, කාලගුණික රටා, භෝග සහ පශු සම්පත් මත දේශගුණික විපර්යාස සහ තාප තරංගවල අහිතකර බලපෑම් පුළුල් ලෙස නිරූපණය කර පර්යේෂණ සිදු කර ඇත.
නාගරික ප්‍රදේශවලට ඇති බලපෑම
ගම්බද පළාත්වලට සාපේක්ෂව ඝන නාගරික ප්‍රදේශ දිවා රාත්‍රී වැඩි උෂ්ණත්වයක් අත්විඳියි. එයට හේතුව වන්නේ, හිරුගේ තාපය අවශෝෂණය කර නැවත විමෝචනය කරන මාර්ග සහ පදික වේදිකා, ගොඩනැගිලි සහ අනෙකුත් මතුපිට පෘෂ්ඨ ගම්බද පළාත්වලට සාපේක්ෂව වැඩි ප්‍රමාණයක්
නගරවල ඇති බැවිනි. එමනිසා, ශ්වසන අපහසුතා සහ තාප විඩාව වැනි තාපය ආශ්‍රිත රෝග පිළිබඳව වඩාත් විමසිලිමත් වන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.
එසේම, බස්නාහිර, වයඹ, උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට සහ මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා අධික උණුසුම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් විශේෂයෙන් නිකුත් කර තිබේ. මෙම ප්‍රදේශ ‘තාප දර්ශකයේ’(මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය) 39°C ත් 45°C ත් අතර ‘ප්‍රවේශම් සහගත’ මට්ටම්වලට යටත් වනු ඇත.
මිනිස් සෞඛ්‍යට ඇති බලපෑම
මෙම අධික උෂ්ණත්වය නිසා වඩාත්ම අවදානමට ලක්විය හැකි පුද්ගලයින් වන්නේ වැඩිහිටියන්, ළදරුවන් සහ ළමුන්, ගර්භනී කාන්තාවන්, උණුසුම් හා දුර්වල වාතාශ්‍රය ඇති ප්‍රදේශවල එළිමහනේ වැඩ කරන මිනිසුන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයින් ය. හෘද රෝග, ශ්වසන රෝග සහ දියවැඩියාව වැනි දිගු කාලීන සෞඛ්‍ය තත්වයන් ඇති පුද්ගලයින් හටද පීඩා ඇති විය හැකිය. තවද, ප්‍රති-හිස්ටමින් (අසාත්මිකතා ඖෂධ) සහ ප්‍රති-මනෝ නාශක ඖෂධ වැනි ඇතැම් ඖෂධ වර්ග භාවිතා කරන පුද්ගලයින් ද මෙම අධික උෂ්ණත්ව කාලය තුලදී ඔවුන්ට බලපෑමක් නැති බවට ඔවුන්ගේ වෛද්‍යවරුන්ගෙන් සහතික කර ගැනීම සඳහා විමසිලිමත් විය යුතුය. අධික උෂ්ණත්වයට හුරු නොවූ විදේශයන්ගෙන් පැමිණෙන පුද්ගලයන් ද සජලනය වීම සඳහා අමතර පූර්වාරක්ෂක පියවර ගත යුතුය.
එලෙසම, උණුසුම් කාලවලදී මිනිසුන් අතර තාප විඩාව පැතිර පවතී. සාමාන්‍යයෙන් මෙම විඩාබර ගතිය, අධික දහඩිය දැමීම, මාංශ පේශි කැක්කුම, තෙහෙට්ටුව, හිසරදය, ක්ලාන්තය, සුදුමැලි වීම සහ වේගවත් හෝ දුර්වල ස්පන්දනය වැනි රෝග ලක්ෂණ ලෙස පෙන්නුම් කල හැකිය.
ජෛව විවිධත්වය මත බලපෑම
මිනිසුන් පමණක් නොව, සතුන්, ශාක සහ පරිසර පද්ධති ද අධික උෂ්ණත්වය නිසා ඇතිවන ආතතියෙන් නොවැළැක්විය හැකි බලපෑම් වලට මුහුණ පා ඇත. කුඩා සතුන් සඳහා බලපෑම ඉහළ වනු ඇත; උදාහරණයක් ලෙස, උෂ්ණත්වයේ සුළු වැඩිවීමකින් සමහර කෘමීන් සහ සංවේදී සතුන් සම්පූර්ණයෙන් විනාශ කර දැමිය හැකි බවට අනාවරණය කර ඇත. එසේම, සාගර උෂ්ණත්වය ඉහළ යාම කොරල්පර වලට වැඩි බලපෑමක් එල්ල කරයි. එනම් කොරල්පර මිය යාමට ඉහළ සාගර උෂ්ණත්වය හේතු වේ. මැයි සහ ජූනි කාලවදී පවතින අධික උෂ්ණත්වය නිසා එම මාස කොරල්පර ඛාදනය වන මාස ලෙස ද හඳුන්වයි. එලෙසම, ශ්‍රී ලංකාවේ පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ ලැව්ගිනිවල වැඩිවීමක් ඇති බව බලධාරීන්ගේ අවධානයට ලක්ව තිබේ. පවතින වියලි කාලගුණයත් සමඟ සිතාමතා හෝ
නොසැලකිලිමත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ලැව්ගිනි ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බවත්, වනාන්තර සහිත ප්‍රදේශවල කඳවුරු බැඳගෙන සිටින කණ්ඩායම් හේතුවෙන් ද එවැනි ක්‍රියා සිදුවීමට ඉඩ ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් පැවසීය. එබැවින් මෙවැනි වන විනාශයන් වැලැක්වීම සඳහා පූර්ව ක්‍රියාමාර්ග ගැනීමට සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු බවද ඔහු පැවසීය.
තවද වියළි කාලගුණික තත්ත්වයේ වක්‍ර ප්‍රතිඵල ද ඇතිවීමට හැකිය. එනම් උණුසුම් කාලගුණයත් සමඟ මිනිසුන් තම සේවා ස්ථාන සහ නිවාස සිසිල් කිරීම සඳහා වැඩි විද්‍යුත් ශක්තියක් භාවිතා කිරීමට පටන් ගෙන තිබේ. එවිට වැඩිවන ඉල්ලුමත් සමඟ වැඩිපුර විදුලිය නිපදවිය යුතුයි. එබැවින්, දේශගුණික විපර්යාස තීව්‍ර කිරීමට මග පාදන හරිතාගාර වායුවල වක්‍ර වැඩිවීමක් මෙමඟින් සිදුවනු ඇත.
අධික උෂ්ණත්වය නිසා ඇතිවන අවදානම මඟහරවා ගන්නේ කෙසේද?
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිනපතා දිස්ත්‍රික්ක රැසකට බලපාන ඉහළ උෂ්ණත්ව මට්ටම පිළිබඳ නිවේදන නිකුත් කරන අතර සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් මේ දිනවලදී අනුගමනය කළ යුතු නිවැරදි සෞඛ්‍ය උපදෙස් ලබා දෙනු ලැබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ එළිමහනේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් වළකින ලෙසත්, නිතර නිතර ජලය පානය ලෙසත්, ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් අඳින ලෙසත් ය.
එසේම, පෙ.ව.11.00 සිට ප.ව.3.00 දක්වා එළිමහනේ සිටීමෙන් වළකින ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් ලබා දෙන ලදී (එනම් පරිසරයේ උෂ්ණත්වය 35°C ක් පමණ වුවද එය මිනිස් සිරුරට 39°C – 45°C පමණ දැනෙන නිසාය). තවද, වැඩිහිටියෙකු දිනකට අවම වශයෙන් ජලය ලීටර් 2.5 ක් වත් පානය කළ යුතු බවට ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් උපදෙස් ලබාදුණි. පෝෂණවේදී උපදේශකයින්, පානීය ජලය හැරුණු විට මිනිසුන් විටමින් සී බහුල යුෂ ද පරිභෝජනය කළ යුතු බවට කියා සිටියේය. සෑම කෙනෙකුම හැකිතාක් සිසිල් බීම, මත්පැන්, කැෆේන් සහ උණුසුම් බීමවලින් වැළකී සිටිය යුතු බවට ද අවවාද කෙරුණි.
කෙසේ හෝ අවසාන ලෙස, ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රධාන නගර නාගරික තාප දූපත් ලෙස ක්‍රියා කර ඉහළ උෂ්ණත්වයන් වාර්තා කරන අතර බලධාරීන් විසින් යෝජනා කරනු ලබන්නේ ඉදිරියේදී ඇති විය හැකි තාප ආතතීන් සඳහා අනුවර්තනයක් ලෙස තාපය අඩු කිරීමේ උපාය මාර්ග නගර සැලසුම්කරණයට ඇතුළත් කළ යුතු බවයි. ශාක ස්වභාවධර්මයේ වාතය පිරිසිදු කරන්නන් වන අතර, ඒවායේ වාෂ්පීකරණය වායුගෝලයට ජල වාෂ්ප එකතු කරයි. එම නිසා නාගරික ප්‍රදේශ වල ගොඩ නැගීම් කටයුතු සැලසුම්කරණයේදී හරිතකරණයට ප්‍රමුඛත්වය දිය යුතුය. එවිට වාතය ස්වභාවිකවම සිසිල් වනු ඇත. කෙසේ නමුත්, මෙම ඉහළ පරිසර උෂ්ණත්වය ශ්‍රී ලංකාවට පමණක් නොව ලොව වෙසෙන සියලු ජීවී වර්ගයාගේ ඉදිරි පැවැත්මට බලපාන ගෝලීය ගැටලුවක් වී හමාරය.
මූලාශ්‍ර:-