

ශ්‍රී ලංකාව කෘෂි පාරිසරික කලාප 46කින් සහ ප්‍රධාන වශයෙන් මෝසම් වර්ෂා සෘතු දෙකකින් සමන්විත නිවර්තන කලාපීය දිවයිනකි. මෙම වර්ෂා රටාව සහ වර්ගීකරණයන් මඟින් කල් පවතින සහ කල් නොපවතින (ඉක්මනින් නරක් වන) විවිධ බෝග වර්ග රාශියක් වගා කිරීමට සුදුසු වටපිටාවක් සකසා දේ. කෙසේ වෙතත්, බෝග නිෂ්පාදනය බොහෝ විට සෘතුමය වන අතර ජලය ලබා ගැනීමේ හැකියාව මත රඳා පවතී. මෙමගින් අස්වැන්න නෙලීමෙන් පසු අධික නිෂ්පාදනයක් ද එලෙසම ඉන් අනතුරුව ආහාර හිඟකම් සහ අවාරයේ වෙළඳපොල මිල ඉහළ යාමත් සිදුවේ. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 70% ක් පමණ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන අතර කෘෂිකර්මාන්තය ඔවුන්ගෙන් 40% කට පමණ ජීවනෝපාය සපයයි. එලෙසම, රට තුළ කෘෂිකාර්මික අලෙවිකරණ ක්‍රියාවලිය සැලකීමේදී, භෝග නිෂ්පාදනයක් නිෂ්පාදනය කළ ස්ථානයේ සිට අවසානයේ එය පරිභෝජනය කරන ස්ථානයට ගෙනයාම හා සම්බන්ධ වන සේවාවන් සහ කාර්යයන් රාශියක් පවතින බැවින් රට තුළ කෘෂිකාර්මික අලෙවිකරණ ක්‍රියාවලිය සංකීර්ණ ක්‍රියාවලියක් වේ.
බෝග අස්වනු නෙළන අවස්ථාවේ සිට අවසාන පාරිභෝගිකයා වෙත ළඟා වන තෙක් එම බෝග වලට සිදු කරන සියලුම ප්‍රතිකාර හෝ ක්‍රියාවලීන් පසු අස්වනු තාක්ෂණය ලෙස හැඳින් වේ. කාර්යක්ෂම තාක්ෂණික අස්වනු නෙලීමේ ක්‍රම, ප්‍රවාහනය, හැසිරවීම, ගබඩා කිරීම, සැකසීම/ සංරක්ෂණය කිරීම, ඇසුරුම් කිරීම, අලෙවිකරණය සහ ප්‍රයෝජනය පසු අස්වනු දාමයේ පියවර වේ. ක්‍රියාකාරකම් සහ මෙහෙයුම් අනුපිළිවෙලක් අන්තර්ගත පසු අස්වනු ක්‍රියාවලීන් කොටස් දෙකකට බෙදිය හැකිය.
- තාක්ෂණික ක්‍රියාකාරකම් – අස්වනු නෙලීම, ක්ෂේත්‍ර වියළීම, පිරිසිදු කිරීම, අමතර වියළීම, ගබඩා කිරීම, සැකසීම
- ආර්ථික ක්‍රියාකාරකම් – ප්‍රවාහනය, අලෙවිකරණය, තත්ත්ව පාලනය, ප්‍රචාරණය, තොරතුරු සහ සන්නිවේදනය, පරිපාලනය සහ කළමනාකරණය
පලතුරු සහ එළවළු බෝග අස්වනු නෙලීම
බොහෝ විට පලතුරු සහ එළවළු බෝග වල අස්වනු නෙලනු ලබන්නේ නොමේරූ හෝ පරිණත අවධියේදීය. නොමේරූ අස්වැන්න නෙළන ලද පලතුරු ස්වභාවිකව ඉදවීමට නොහැකි වන අතර, එසේ වුවහොත් එම පලතුරු වල ගුණාත්මක ලක්ෂණ අතිශයින් දුර්වල වේ. නිසි පරිණත කාලයට පෙර හෝ පසුව පලතුරු අස්වනු නෙළූ විට ඒවා තුල සිදුවන ස්වාභාවික භෞතික ක්‍රියාවලීන් අස්වැන්න නෙලීමේදී, වර්ගීකිරීමේදී, ශ්‍රේණිගත කිරීමේදී සහ ප්‍රවාහනයේදී එම පලතුරු වලට වැඩි හානියක් සිදු කිරීමට සමත් වේ. තවද, අධික පරිණත අවධියේදී එළවළු තොග අස්වැන්න නෙළීම සාමාන්‍ය ක්‍රියවක් වුවද, එවිට පසු අස්වනු හානි ඉතා ඉහළ වේ.
සාමාන්‍යයෙන් පහතරට ප්‍රදේශයේ වගා කරන එළවළු බෝග ලෙස වම්බටු, බණ්ඩක්කා, වට්ටක්කා, තක්කාලි, කරවිල, පතෝල, මෑ, ළූණු, කොළ එළවලු, ලුෆා, මුරුංගා, මිරිස් සඳහන් කල හැකිය. එසේම, පහතරට එළවළු බෝග අස්වනු නෙළීම කාලීනව සිදු කෙරේ. උඩරට ප්‍රදේශයේ වගා කරන එළවළු බෝග ලෙස ලීක්ස්, බෝංචි, ගෝවා, බීට්රූට්, කැරට් සහ අර්තාපල් යනාදිය සඳහන් කල හැකි අතර, ඒවා උඩරට තෙත් කලාපයේ ඉහළ උන්නතාංශවල වර්ෂාවෙන් හෝ වාරි ජලයෙන් වඩාත් බහුලව වගා කෙරේ. උඩරට එළවළු බෝග අස්වැන්න නෙළීම සාමාන්‍යයෙන් වසර පුරා සිදු කෙරේ.
ශ්‍රී ලංකාවේ වැවෙන ප්‍රධාන පලතුරු බෝග ලෙස අඹ, පැපොල්, අන්නාසි, අලිගැටපේර, කෙසෙල්, කොමඩු, රඹුටන්, මැංගුස්, දිවුල්, පේර, දෙළුම් සහ කොස් සඳහන් කල හැකිය. කෙසෙල්, අන්නාසි සහ පැපොල් වාණිජ මට්ටමින් වගා කරන අතර අඹ, දිවුල්, පේර, දෙළුම්, අලිගැට පේර ආදි බොහොමයක් පලතුරු වර්ග ප්‍රධාන වශයෙන් ගෙවතුවලින් සපයනු ලැබේ. එපමණක් නොව, කෙසෙල් සහ පැපොල් සැපයුමෙන් සැලකිය යුතු කොටසක් ගෙවතුවලින් ද සපයනු ලැබේ. එමෙන්ම නිවර්තන කලාපීය මිදි සහ දොඩම් සැලකිය යුතු ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ද වගා කෙරේ. කෙසේ නමුත්, ඇපල්, දොඩම්, මිදි සහ රටඉඳි වැනි ඇතැම් සෞම්‍ය කලාපීය පලතුරු සඳහා පවතින දේශීය ඉල්ලුම සපුරාලන්නේ ආනයනය කිරීමෙනි.
ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය දූපතක් වන අතර ඒ හේතුවෙන් පරිසරයේ උෂ්ණත්වය හා ආර්ද්‍රතා මට්ටම් සාපේක්ෂ වශයෙන් ඉහළ අගයක් ගනී. පලතුරු සහ එළවළු වැනි ඉක්මනින් නරක් වන සුළු නැවුම් බෝග නිෂ්පාදන අස්වැන්න නෙලීමෙන් පසු ඉහළ උෂ්ණත්වයට සහ ආර්ද්‍රතාවයට නිරාවරණය වීම ඉතා අහිතකර වන අතර එවිට සීඝ්‍ර ලෙස නරක් වීම ආරම්භ වීමට පටන් ගනී. ඇත්ත වශයෙන්ම, නැවුම් ලෙස නෙළන ලද බෝග අස්වනු වල පිරිහීම සඳහා බලපාන එකම වැදගත්ම සාධකය වන්නේ උෂ්ණත්වයයි. ගබඩා කර තැබීමේදී සිදුවන බර අඩු වීම සහ නැවුම් බව අඩු වීම අවම කර ගැනීම සඳහා නිසි සාපේක්ෂ ආර්ද්‍රතාවය පවත්වා ගැනීමද වැදගත් වේ.
කෙසේ වෙතත්, දැනට, ප්‍රමාණවත් තරම් විශාල පරිමාණයේ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි ගබඩා පහසුකම් සේවාවක් ලංකාවේ නොමැත. මෙම තත්ත්වය දේශීය සැපයුම් අතිරික්තයක් ඇති විට අස්වැන්න නාස්තියට හේතුවන අතර, එහිදී ඉතිරි වන පලතුරු සහ එළවළු බෝග ගොවීන්, එකතු කරන්නන්, සම්පූර්ණ විකුණුම්කරුවන් සහ සිල්ලර වෙළෙන්දන් විසින් කුණු කසළ ලෙස බැහැර කරනු ලැබේ. එබැවින් තොග වෙලඳපොලවල් ආශි‍්‍රතව පලතුරු සහ එළවළු බෝග විශාල අපද්‍රව්‍ය ගොඩවල් ලෙස සෘතුමය වශයෙන් දක්නට ලැබේ.


පලතුරු සහ එළවළු බෝග පසු අස්වනු හානි සහ පසු අස්වනු පිළිවෙත්
පසු අස්වනු ක්‍රියාවන් හිදී වාර්ෂික ලෙස පලතුරු බෝග වල සිදුවන හානිය පලතුරු මෙට්‍රික් ටොන් 210,000ක් පමණ වන අතර, එය අස්වැන්නෙන් 30% – 40% ක ප්‍රමාණයක් ද මූල්‍යමය වශයෙන් දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 90ක පමණ හානියක් වේ. පසු අස්වනු මෙහෙයුම් වලදී වාර්ෂික ලෙස එළවළු බෝග වල සිදුවන හානිය මෙට්‍රික් ටොන් 370,000 ක් පමණ වන අතර එය මුළු අස්වැන්නෙන් 20% – 40% ක පමණ ප්‍රමාණයක් වේ. මෙය ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 110ක් පමණ වේ.
ග්‍රාමීය ගොවිතැනේදී, වෙළඳපල තුල නිතර සිදුවන වෙනස් වීම් පිළිබඳ අවබෝධයක් නොමැතිකම, සිදුවන නිවැරදි ක්‍රියා පටිපාටීන් පිළිබඳ නිසි දැනුමක් නොමැතිකම සහ ආර්ථික වශයෙන් වාසිදායක ක්‍රියා පටිපාටි වන වර්ග කිරීම, ශ්‍රේණිගත කිරීම, පෙර සිසිලනය, මනා සම්බන්ධීකරණයක් සහිත ප්‍රවාහන පද්ධතියකට ප්‍රවේශක් නොමැති වීම (එවිට බෝග නිෂ්පාදන සැකසීම සඳහා සහ නරක් නොවී පැවතීමට හැකි කාලය අඩු වේ) යනාදිය සමස්ත පසු අස්වනු හානී වලින් සැලකිය යුතු කොටසකට දායක වන ප්‍රධාන ගැටළු වේ.
වර්ග කිරීම, ශ්‍රේණිගත කිරීම සහ පෙර සිසිලනය වැනි සුදුසු පසු අස්වනු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම මෙන්ම සංරක්ෂණය කිරීම සඳහා ගබඩා පහසුකම් වැඩි දියුණු කිරීම වත්මන් පසු අස්වනු ක්‍රියාවලියේ තත්ත්‍වය වැඩිදියුණු කිරීම සඳහා වූ වැදගත් පියවරයන් ලෙස සැලකේ. මේ සම්බන්ධයෙන්, පසු අස්වනු බෝග සැකසීම, ගබඩා කිරීම සහ ප්‍රවාහනය යන අංශවල ශක්තිමත් රාජ්‍ය ප්‍රතිපත්තියක් සහ නියාමන බලාත්මක කිරීම ගොවීන් සඳහා රජයේ සහනාධාර වඩා හොඳින් භාවිතා කිරීම සහතික කරනු ඇත.
පලතුරු සහ එළවලු බෝග වල පසු අස්වනු හානි අවම කිරීම සඳහා, උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය යන පාරිසරික සාධක පාලනය කරන ගබඩා පද්ධති සැපයීම ඉතා වැදගත් වේ. මෙය නිසැකවම නැවුම් පලතුරු සහ එළවළු බෝග වල ආයු කාලය යම් කාල සීමාවක් දක්වා දීර්ඝ කරයි, නමුත් ඒ සඳහා අනෙකුත් පසු අස්වනු ක්‍රියාකාරකම්ද නිසැකවම බලපානු ලබයි. එනම්, නිවැරදි පරිණතභාවයට පැමිණීමට පෙර අස්වැන්න නෙලීම, ක්ෂේත්‍රයේ දී වැරදි හැසිරවීම, නුසුදුසු ඇසුරුම් භාවිතය සහ නුසුදුසු ප්‍රවාහනය වැනි අනෙකුත් පසු අස්වනු ක්‍රියාකාරකම්ද නිසැකවම හේතු වේ. මෙම සියලුම සාධක මත සම්පූර්ණ පසු අස්වනු හානිය තීරණය වන අතර මෙම පසු අස්වනු හානි පලතුරු සහ එළවලු බෝග වල අවසන් ගුණාත්මකභාවය සහ කල්පැවැත්ම කෙරෙහි බලපායි. තවද, අස්වැන්න නෙලීමෙන් පසු ක්ෂේත්‍රයේදී පවතින උෂ්ණත්වය ඉවත් කිරීමෙන්/ ක්ෂේත්‍රයේදීම සිසිල් කිරීමට භාජනය කිරීමෙන් නෙළන ලද පලතුරු සහ එළවළු වල ගබඩා කිරීමේ ආයු කාලය බොහෝ සෙයින් වැඩි කර ගත හැකිය. එමනිසා, ගබඩා කිරීමට පෙර නැවුම් බෝග නිෂ්පාදනවලින් ක්ෂේත්‍ර උෂ්ණත්වය ඉවත් කිරීමට සුදුසු ක්ෂේත්‍ර ක්‍රියාත්මක සිසිලන පද්ධති හෝ ඒ සඳහා පහසුකම් තිබීම ඉත වැදගත් වේ.
අවසාන වශයෙන්, පලතුරු හා එළවලු බෝග වල පසු අස්වනු ක්‍රියාවලියේ සඵලතාවය ඉහළ නැංවීම සඳහා කුඩා පරිමාණ නිෂ්පාදකයින් මෙන්ම මහා පරිමාණ වාණිජ නිෂ්පාදකයින් ඉලක්ක කර ගනිමින් සුදුසු නිවැරදි පසු අස්වනු පිළිවෙත් ප්‍රචලිත කළ යුතුය. එනම්, කුඩා පරිමාණ නිෂ්පාදකයන් සැලකීමේදී ඔවුන් හට සුදුසු අඩු වියදම් පසු අස්වනු පිළිවෙත් සහ ක්‍රියා පටිපාටි හඳුන්වා දීම, අඩු වියදම් මූලද්‍රව්‍ය සඳහා පහසුකම් සැලසීම සහ වෙළඳපල තත්ත්වය පිළිබඳ නිවැරදි තොරතුරු පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සැලසීම නිසැකවම පසු අස්වනු හානි වලට තුඩු දෙන සමහර පියවර වළක්වා ගැනීමට බෙහෙවින් උපකාරී වේ. එලෙසම වාණිජ මට්ටමේදී පලතුරු සහ එළවළු බෝග තොග වශයෙන් හැසිරවීම, ගබඩා කිරීම සහ ප්‍රවාහනය කිරීම ඉතාමත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව සිදු කෙරෙන බවට සහතික කරන පසු අස්වනු ක්‍රියාවලීන් අධීක්ෂණ පද්ධතියක්, මනාව නියාමනය කරන ලද පාලිත පරිසර තත්ව සහිත ගබඩා පහසුකම් මෙන්ම නිසි ලෙස සැලසුම් කර ඇති ආර්ථික මධ්‍යස්ථාන යනාදිය තොග පරිහරණයේදී සිදුවන හානි විශාල ලෙස අඩු කර, දිවයිනේ වඩා හොඳ ආහාර සුරක්ෂිතතාවයක් සහතික කරනු ලබයි.
මූලාශ්‍ර:-
Annual report, Central bank of Sri Lanka. 2018.
Democratic Socialist Republic of Sri Lanka – Data Collection Survey on Agricultural distribution network and marketing – Final Report. Japan International Cooperation Agency System Science Consultants Inc.
https://hasanuzzaman.weebly.com/uploads/9/3/4/0/934025/postharvest_technology.pdf
Kitinoja L. Returnable Plastic Crate (RPC) systems can reduce postharvest losses and improve earnings for fresh produce operations, PEF White Paper No. 13-01, The Postharvest Education Foundation, Oregon, USA. 2013. 1–30.
Kitinoja LS, Saran SKR, Kader AA. Postharvest technology for developing countries: challenges and opportunities in research, outreach and advocacy. J Sci Food 2011;91(4):597–603.
Leyte JC, Forney CF. Optimizing flat design for forced-air cooling of blueberries packaged in plastic clamshells. Journal of Hort Technology. 1999;9(2):202–205. Rajapaksha L, Gunathilake DMCC, Pathirana SM, et al. Reducing post-harvest losses in fruits and vegetables for ensuring food security – Case of Sri Lanka. MOJ Food Process Technols. 2021;9(1):7-16. DOI: 10.15406/mojfpt.2021.09.00255