
ශ්‍රී ලංකාව තුළ, මුල් ළමාවිය රැකවරණය සහ අධ්‍යාපනය එහි ප්‍රතිලාභ සඳහා පිළිගෙන ඇති අතර එමඟින් සේවාවන් ඒකාබද්ධ කිරීමට උත්සාහ දරා ඇත. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ශ්‍රී ලාංකීය දරුවන්ගේ සමස්ත සංවර්ධනය දිරිගැන්වීමේ රාජ්‍ය වගකීම තහවුරු කිරීමත් සමඟ, පෙර පාසල් අධ්‍යාපනයේ වැදගත්කම හඳුනා ගැනීමේ දීර්ඝ ඉතිහාසයක් මෙරටට ඇත. එනමුත්, ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපන ක්‍රමය තවමත් විධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක නොවන අතර, ළදරු පාසල් පිහිටුවීමේදී විවිධ පරිපාලන හා මූල්‍ය අභියෝග රැසක් ඇති වී තිබේ.
ලෝක බැංකුව මඟින්ද, ශ්‍රී ලංකාව තුළ පූර්ව ළමාවිය රැකවරණය සහ අධ්‍යාපනය ඒකාබද්ධ කිරීමේ වැදගත්කම අවධාරණය කර දී ඇති අතර, හොඳින් සැලසුම් කරන ලද පූර්ව ළමාවිය රැකවරණ සහ අධ්‍යාපන පද්ධති මඟින් දරුවන්ගේ ජීවිත සහ ඔවුන්ගේ පවුල් පරිසර තත්ව වැඩිදියුණු කර එමඟින් ජාතික ආර්ථිකයටද සැලකිය යුතු වාසි ලබා දිය හැකි බවට අවධාරණය කරයි.
මුල් ළමාවිය රැකවරණය සහ අධ්‍යාපනය මෑත වසරවල වැඩි අවධානයට ලක්ව ඇත. අධ්‍යයනවලින් පෙන්වා දී ඇති ආකාරයට දරුවෙකුගේ වයස අවුරුදු පහ වන විට මොළයේ වර්ධනයෙන් සියයට 85 ක් සම්පූර්ණ වන අතර දරුවාගේ මුල්ම අත්දැකීම් සහ පරිසරය ඔවුන්ගේ ජීවිතයට වේදිකාව සකසනු ලබයි. එසේම දිගුකාලීනව අත් විඳින ප්‍රතිලාභ ලෙස, කුඩා දරුවන්ට ඔවුන්ගේ මුල් අවදියේදී රැකවරණය සහ අධ්‍යාපනය යන දෙකම අවශ්‍ය බව සොයාගෙන ඇත. පර්යේෂණ වලට අනුව, පෙර පාසල් අධ්‍යාපනයේ සමස්ත අරමුණු විය යුත්තේ දරුවන්ට සතුටක් සහ සුරක්ෂිත බවක් දැනෙන ආරක්ෂිත ඉගෙනුම් පරිසරයක් සැපයීම මෙන්ම ඔවුන්ගේ සමාජීය, ශාරීරික, නිර්මාණාත්මක සහ බුද්ධිමය සංවර්ධනය දිරිමත් කිරීම ය. තවද, පෙර පාසල් අධ්‍යාපනය මගින් තමා සහ අන් අය කෙරෙහි ධනාත්මක ආකල්ප දිරිමත් කළ යුතු අතර, විශ්වාසය සහ ආත්ම අභිමානය වර්ධනය කර, දරුවන්ට ඔවුන්ගේ පරිසරය ගවේෂණය කිරීමට සහ ගරු කිරීමට සහාය වේ.
ශ්‍රී ලංකාව ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය සඳහා නොමිලේ ප්‍රවේශය ලබා දෙන අතර, ප්‍රාථමික අධ්‍යාපනය සඳහා ශුද්ධ බඳවා ගැනීමේ අනුපාතය සියයට 99 ක් සහ ද්විතීයික අධ්‍යාපනය සඳහා ශුද්ධ බඳවා ගැනීමේ අනුපාතය සියයට 84 ක් පමණ වේ. එනමුත්, රජය දරුවන්ට නොමිලේ පූර්ව අධ්‍යාපනය (පෙර පාසල් අධ්‍යාපනය) ලබා දෙන්නේ නැත.
2016 වසරේ පූර්ව ළමාවිය සංවර්ධන සංගණනයන්ට අනුව, වයස අවුරුදු තුනේ සිට වයස අවුරුදු පහ දක්වා වූ වයස් වල ළමුන් පෙර පාසල් සඳහා බඳවා ගැනීමේ අනුපාතය සියයට 55.6 කි. මුල් ළමාවිය සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමට රජය සැලකිය යුතු ප්‍රයත්නයන් ගෙන ඇති නමුත් මුල් ළමාවිය අධ්‍යාපන වැඩසටහන්වල ගුණාත්මක භාවය අභියෝගයක්ව පවතී. කෙසේ නමුත්, පෙර පාසල් අධ්‍යාපනය සඳහා ප්‍රවේශය පුළුල් කිරීම කෙරෙහි ශ්‍රී ලංකා රජය වැඩි වැඩියෙන් අවධානය යොමු කරයි. 2016 පූර්ව ළමාවිය සංවර්ධන සංගණනයන්ට අනුව, ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපන මධ්‍යස්ථානවලින්, රජය මඟින් ක්‍රියාත්මක කරනුයේ සියයට 19.8 ක් පමණි. මධ්‍යස්ථානවලින් බහුතරයක් (සියයට 70.8ක් පමණ) පුද්ගලිකව ක්‍රියාත්මක වන අතර මධ්‍යස්ථානවලින් සියයට 6.5 ක් පමණ ආගමික ආයතන විසින් ද සියයට 3 ක් රාජ්‍ය නොවන සංවිධාන විසින් ද පවත්වාගෙන යනු ලැබේ.
අවුරුදු තුනේ සිට පහ දක්වා ළමුන් සඳහා පෙර පාසල්වලට අමතරව, වයස අවුරුදු තුනට අඩු ළමයින් සඳහා ද ඇතුළුව ළමුන් සඳහා ළමා ආරක්ෂණ සේවා පුළුල් කිරීමට රජය අපේක්ෂා කරයි. දැරිය හැකි මිලකට ළමා රැකවරණය සඳහා ප්‍රවේශය ශ්‍රි ලංකාව තුළ සීමිත වන අතර බොහෝ ළමා සුරැකුම් මධ්‍යස්ථාන ගාස්තු අය කරන අතර ඒවා පෞද්ගලිකව ක්‍රියාත්මක වේ. 2000 වසරේ සිට අනුප්‍රාප්තික රජයන් මුල් වසරවල ආයෝජනයේ වටිනාකම සහ අවශ්‍යතාවය හඳුනාගෙන ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මුල් ළමාවිය රැකවරණ සහ අධ්‍යාපනයේ යම් දියුණුවක් රට තුළ දැකිය හැකි නමුත් තවත් බොහෝ දේ කළ හැකිය.
ඉගෙනීමේ අත්දැකීම් ලබා දීම සඳහා විවිධ ප්‍රවේශයන් භාවිතා කළ හැකිය. විශේෂයෙන්ම දරුවන්ට ක්‍රීඩාව තුළින් ගවේෂණාත්මක අත්දැකීම් ලබා දිය හැකිය. එසේම, සෙල්ලම් ක්‍රියාකාරකම් තුළින් දරුවාට ගවේෂණය, අත්හදා බැලීම්, පරිකල්පනය, අනුකරණය යනාදී කුසලතාවන් ලබා ගැනීමට හැකි වීම වැදගත් වේ. ක්‍රීඩාවෙන් ඉගෙනීම දරුවන්ට හොඳම ක්‍රමය බව අවධාරණය කර ඇත. එමෙන්ම, ළමුන් තුළ ඉහළ මට්ටමේ චින්තන කුසලතා වර්ධනය කිරීම සඳහා අභියෝගාත්මක අත්දැකීම් ලබා දීම ද අත්‍යවශ්‍යය කරුණකි.

පෙර පාසල් අධ්‍යාපනයේ ඉලක්ක සහ අරමුණු
2021 යෝජිත පෙරපාසල් විෂය මාලාවේ ඉලක්ක සහ අරමුණු පහත අයුරින් දැක්විය හැකිය;
- යහපත් සෞඛ්‍ය පුරුදු මෙන්ම ශාරීරික යෝග්‍යතාවය සහ ආරක්‍ෂාව වර්ධනය කිරීමට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම.
- විමසිලිමත් ගවේෂණාත්මක මනසකට අවට ලෝකය තේරුම් ගැනීමට, අත්හදා බැලීමට සහ එදිනෙදා ජීවිතයේ විවිධ සිදුවීම් ගැන තර්කානුකූලව සිතීමට අවශ්‍ය ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම.
- සමාජවාදී හැසිරීම් විදහා දැක්විය හැකි සහ අන් අය සමඟ යහපත් සමාජ සම්බන්ධතා ඇති දරුවෙකු සඳහා පදනම දැමීම.
- ශ්‍රී ලාංකේය අනන්‍යතාවයට ගැලපෙන සංස්කෘතික හා ආගමික වටිනාකම් මත පදනම් වූ ධනාත්මක ආකල්ප වර්ධනය කරගත් දරුවෙකුට චිත්තවේගීය සමතුලිතතාවයක් ඇති කර ගැනීමට පදනම දැමීම.
- භාෂාව නිවැරදිව හැසිරවීමට, තම අදහස් නිවැරදිව ප්‍රකාශ කිරීමට සහ අදහස් අවබෝධ කර ගැනීමට හැකි වන පරිදි මූලික සාක්ෂරතා කුසලතා ලබා ගැනීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම.
- සෞන්දර්යාත්මක අගය කිරීමේ මානසිකත්වයකින් යුතුව නිර්මාණ කලාව රසවිඳිමින් තම නිර්මාණාත්මක හැකියාව ප්‍රකාශ කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම.
ශ්‍රී ලංකාව තුළ පූර්ව ළමාවිය ආරක්ෂණ සහ අධ්‍යාපනය තුළ පවතින ප්‍රධාන අභියෝග
බොහෝ රාජ්‍ය සහ පෞද්ගලික මධ්‍යස්ථාන දැන් ළමා සුරැකුම් සහ පෙර පාසල් සේවා යන දෙකම ඇතුළත් ඒකාබද්ධ සේවා ආකෘති කරා ගමන් කරමින් සිටියද, මෙම මධ්‍යස්ථාන තුළ ඒකාබද්ධ වීමේ මට්ටම ප්‍රමාණවත් නොවේ. ඔවුන් එකම වහලක් යටින් ළමුන් හට රැකවරණය සහ අධ්‍යාපනය ලබා දුන්නද, ප්‍රායෝගිකව බොහෝ මධ්‍යස්ථානවලට අර්ථවත් ඒකාබද්ධ පූර්ව ළමාවිය සුරැකුම් සහ අධ්‍යාපනය ක් ලබා දීම සඳහා තව බොහෝ දුරක් යා යුතුව ඇත.
ශ්‍රී ලංකාවේ පූර්ව ළමාවිය ආරක්ෂණ සහ අධ්‍යාපන අංශයේ ඇති ප්‍රධාන අභියෝග කිහිපයක් පහත පරිදි සාකච්ඡා කළ හැකිය.
- අවම තත්ත්ව ප්‍රමිතීන්ට සීමිත අනුකූලතාවය
මුල් ළමාවිය සංවර්ධන සැකසුම් තුළ අවම තත්ත්ව ප්‍රමිතීන් හඳුන්වා දීමට උත්සාහ දරා ඇතත්, මෙම ප්‍රමිතීන් පිළිපැදීම සීමිතය. 2006 දී හඳුන්වා දුන් ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා වන මාර්ගෝපදේශ පෙර පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා අවම ප්‍රමිතීන් ද, 2017 දී හඳුන්වා දුන් ජාතික දිවා සුරැකුම් මාර්ගෝපදේශ ළමා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා අවම ප්‍රමිතීන් ද දක්වා ඇත. මෙම අනුපිටපත් කිරීම රට පුරා ඒකාකාර ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීමේ දුෂ්කරතාවයන්ට හේතු වී ඇති අතර, ඵලදායි බලාත්මක කිරීමේ සහ අධීක්ෂණ ක්‍රමවේද නොමැතිකම සහ පෙර පාසල් සහ ළමා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා නිසි ලියාපදිංචි කිරීමේ ක්‍රමවේද නොමැතිකම මෙය ඉහළ යාමට හේතු වී ඇත.
- පහසුකම් නොමැතිකම
මධ්‍යස්ථානවල සේවා සැපයීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම අභියෝගයක්ව පවතී. මූල්‍ය ප්‍රතිලාභ සඳහා ඇති විභවය ඒකාබද්ධ සේවා ආකෘති කෙරෙහි උනන්දුව වැඩි වීමට හේතු වී ඇතත්, ඒකාබද්ධ සේවා සපයන බොහෝ මධ්‍යස්ථාන තුළ අවශ්‍ය ඉඩ, යටිතල පහසුකම් නොමැත. බොහෝ අවස්ථාවන්හීදී, පෙර පාසලක එක් කාමරයක් ළදරුවන් සහ කුඩා ළමුන් සඳහා නම් කර ඇති අතර, පෙරපාසල් වේලාවෙන් පසුව ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වේ.
මධ්‍යස්ථාන ජනාකීර්ණ නොවීම සහ පෙරපාසල් කාලය තුළ පමණක් නොව පෙරපාසලෙන් පසු ද දරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට ඔවුන්ට හැකි බව සහතික කිරීම සඳහා නිරන්තර අධීක්ෂණ අවශ්‍ය වේ. එසේම, වැඩි ළමාරක්ෂක පහසුකම් ස්ථාපිත කිරීම සඳහා සහාය වීම සහ ප්‍රවර්ධනය කිරීම වැදගත් වුවද, එම ක්‍රියාවලියේදී ළමා රැකවරණයේ ගුණාත්මක භාවය කැප නොකිරීමට වගබලා ගැනීමද ඒ හා සමානව වැදගත් වේ.
- අකාර්යක්ෂම අධීක්ෂණය
පෙරපාසල් ආශ්‍රිත ළමා සුරැකුම් මධ්‍යස්ථාන අධීක්ෂණය හා නියාමනය කිරීම විවිධ බලධාරීන් අතර බෙදී ඇති නිසා එය හරියාකාරව සිදු නොවේ. පූර්ව ළමාවිය සංවර්ධන ප්‍රතිපත්ති සහ වැඩසටහන් අධීක්‍ෂණය කිරීම එක් අධිකාරියකට පවරා ඇතත්, ළමා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනය වෙනත් අධිකාරියක් යටතට පත් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස, ඒකාබද්ධ මධ්‍යස්ථානවල සේවාවන් අධීක්ෂණය විවිධ ආයතනවලට අනුයුක්ත විවිධ නිලධාරීන් විසින් සිදු කරනු ලැබේ. මෙලෙස වගකීම් සහ අධිකාරිය බෙදීම ප්‍රායෝගිකව ව්‍යාකූලත්වයට තුඩු දෙන අතර, සමහර අවස්ථාවල දී සේවා ඵලදායීතාව නියාමනය සඳහා එය අභියෝගයක් වේ.
- ප්‍රමාණවත් නොවන කාර්ය මණ්ඩල සුදුසුකම් සහ පුහුණුව
ගුරු සුදුසුකම් ද දියුණුවට බාධාවකි. ළමා සුරැකුම් මධ්‍යස්ථානවල සේවය කරන සමහර ගුරුවරුන් සහ සහායකයින් සුදුසුකම් නොමැති සහ නුපුහුණු අය වෙති. මෙය, දරුවන් රැකබලා ගැනීම කාන්තාවන්ගේ ස්වභාවික කාර්යයක් වන බවටත්, එවැනි වැඩ සඳහා නිශ්චිත පුහුණුවක් අවශ්‍යය නොවන බවටත් පවතින සාම්ප්‍රදායික විශ්වාසයේ ප්‍රතිඵලයක් වේ. කෙසේ නමුත්, පුහුණුව සහ සුදුසුකම් සඳහා ඇති ඉල්ලුම වැඩි වන විට, මුල් ළමාවිය ක්ෂේත්‍රය තුළ අධ්‍යයන පාඨමාලා සහ වෘත්තීය පුහුණු විකල්පයන් වල පුළුල් වීමක් රට තුළ දැකිය හැකිය.
- පෙර පාසල් සහ ප්‍රාථමික පාසල් අතර ඇති දුරස්ථභාවය
නිදසුනක් වශයෙන්, පෙර පාසලේ සිට ප්‍රාථමික පාසල දක්වා යාමට පහසුකම් සැලසීමේ දුෂ්කරතාවය, ප්‍රාථමික අධ්‍යාපනය හසුරුවන බලධාරීන් අතර පවතින දුරස්ථභාවයේ ප්‍රතිඵලයකි. සමහර පාසල්වල සීමිත ඇතුළත් කිරීම් නිසා, බොහෝ ප්‍රාථමික පාසල් සඳහා විශේෂයෙන් නාගරික ප්‍රදේශවලට ඇතුළත් වීමේ අවශ්‍යතා වඩාත් දැඩි වී ඇත.
සමහර පාසල්වල, 1 ශ්‍රේණියට ඇතුළත් වීමට අපේක්ෂා කරන ළමුන් හට ඔවුන්ගේ මූලික කියවීම, ලිවීම සහ ගණිතය පිළිබඳ කුසලතා පරීක්ෂා කරන අවිධිමත් ප්‍රවේශ විභාගයකට පෙනී සිටීමට සිදු වේ. පූර්ව ළමාවිය සංවර්ධන මාර්ගෝපදේශ කියවීම සහ ලිවීම නිර්දේශ නොකරයි. නමුත් බොහෝ පෙර පාසල් දෙමාපියන්ගේ පීඩනය නිසා මෙම සංරචකය කෙරෙහි අවධානය යොමු කරයි. කෙසේ නමුත් රජයේ ප්‍රාථමික පාසල්වලට මේ ප්‍රශ්න අදාළ නැත. එවිට ප්‍රාථමික පාසල් ගුරුවරුන්ගේ අපේක්ෂාවන් සහ 1 ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගේ නිපුණතා අතර නොගැළපීමක් සිදු වී ඇත. එහි ප්‍රතිවිපාක දරුවන් හට බලපානු ලැබේ. එනම් බොහෝ දෙනෙකුට ප්‍රාථමික පාසලට ඇතුළත් වන විට ඔවුන් මුහුණ දෙන අධ්‍යයන අපේක්ෂාවන් සහ පීඩනයන්ට හැඩගැසීමට අපහසු වේ.
මූලාශ්‍ර:-
Education in early childhood | UNICEF Sri Lanka, https://www.unicef.org/srilanka/education-early-childhood
Malini Munasinghe. (2022). A Comparative Study of the Impact of Preschool Education Goals on the Overall Development Of Children https://ours.ou.ac.lk/wp-content/uploads/2022/12/ID-190-A-COMPARATIVE-STUDY-OF-THE-IMPACT-OF-PRESCHOOL-EDUCATION-GOALS-ON-THE-OVERALL-DEVELOPMENT-OF-CHILDREN.pdf
NATIONAL POLICY ON PRESCHOOL EDUCATION – NEC, (2019). https://www.nec.gov.lk/wp-content/uploads/2019/11/PreSchoolPolicy_EN.pdf
Warnasuriya, R., Sosale, S., & Dey, S. (2020). Integrating early childhood care and education in Sri Lanka: From global evidence to national action. World Bank Publications. https://documents1.worldbank.org/curated/en/626491603440496920/pdf/Integrating-Early-Childhood-Care-and-Education-in-Sri-Lanka-From-Global-Evidence-to-National-Action.pdf