24 C
Colombo
Thursday, December 7, 2023
spot_img

Subscribe

Date:

Share:

ශ්‍රී ලංකාවේ අම්බලම සහ සමාජය – කොටස 02

Related Articles

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ඉතිහාසය අධ්‍යනඅංශයේ, අංශ ප්‍රධානී, මහාචාර්ය රෝහිත දසනායක (බී.ඒ.(පේරාදෙණිය), එම්.එස්.එස්.සී. (කැළණිය), පී.එච්.ඩී. (මැඩ්ඩ්‍රාස්) ) මහතා විසින් ගවේෂණාත්මකව ලියන ලද, අම්බලම හා ජන සමාජය කෘතිය පාදක කරගෙන, ශ්‍රී ලංකාවේ අම්බලම් යන මැයෙන් ඔබ වෙත ගෙන එන ලිපි පෙළෙහි දෙවැන්න මෙසේ ඉදිරිපත් කරමි.

                   පසුගිය කලාපයේ අප කතා කළේ, අම්බලම යනු කුමක්ද? සහ ඒ හා බැඳුණු අතීත විත්ති පිළීබඳවයි.මෙවර ඔබ හා කතා කරන්නට බලාපොරොත්තු වන්නේ, අම්බලම් ව්‍යාප්තිය හා  විවිධතා පිළිබඳවයි.

                   මහාචාර්ය රෝහිත දසනායකයන් විසින්, ශ්‍රී ලංකාවේ දැනට ශේෂවී ඇති අම්බලම් 85ක් පමණ සිය ගවේෂණයට පාදක කරතිබෙනවා. කෙසේ වුවත් මෙම අම්බලම් නිර්මාය කළ කාළ වකවානු පිළිබඳව නිශ්චිතව හඳුනාගැනීමට හැකියාවක් නැහැ. සංදේශ කාව්‍යයන්හිදී හමුවන එකදු අම්බලමක් හෝ මේ ව විට දැකගන්නට නොලැබීම අභාග්‍යයක්. මේසේ වීමට හේතුවී තිබෙන්නේ, එම අම්බලම් බොහොමයක් දැව භාවිතයෙන් සාදා තිබීමයි.

                   දැන් අපි ගමන් කරමු, ලංකාව පුරා ඇති අම්බලම් සොයා විස්තර විමසා බලන්නට.

මංගලගම අම්බලම 

                   මෙය දුටුගැමුණූ රජ සමයේදී ඉදිකරන ලද බවට හා ශ්‍රී ලංකාවේ පැරණිතම අම්බලම යයි විශ්වාසයක් ජනප්‍රවාදයේ පවතී. කොළඹ – මහනුවර A1 මාර්ගයේ, කෑගල්ල පසු කර මහනුවර දෙසට, කිලෝමීටර 08ක් පමණ යන විට මෙය දැකගන්නට පුළුවන්.

                   මෙහි ඉතිහාසය සෙවීමේදී, ගම්වැසියන් අතර ප්‍රචලිත කතා කීපයක් අසන්නට ලැබෙනවා. ඉන් එකක් වන්නේ, ශ්‍රී ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට ඉංදියාවේ සිට ‘මංගල’ නමින් වූ බ්‍රාහ්ණයෙක්, ආනන්ද බෝධි පරපුරේ ශාඛාවක් ද රැගෙන පැමිණ තිබෙනවා. ඔහු රැයක් මෙහි ගත කර තිබෙනවා. පසුදා උදේ වන විට එළිමහන් තැනක තබා තිබූ, රැගෙ ආ බෝධි අංකුරය මුල්බැස ඇති අයුරු දැක තිබෙනවා. එහෙයින් එය අම්බලම ආසන්නයේ රෝපණය කර තිබෙනවා. එනිසා මෙම ගම ‘මංගලගම’ ලෙසින් හඳුන්වා තිබෙනවා. මංගලගම ගමේ අම්බලම, මංගලගම අම්බලම ලෙසින් ප්‍රසිද්ධ වී තිබෙනවා.

                   අම්බුලුගල කුමාරයා මෙම බෝධිය වැඳපුදා ගැනීමට පැමිණ, අම්බලමේ නවාතැන් ගත් බව හා මෙය වැඩිදියුණු කිරීමට උපකාර කළ බව ජනප්‍රවාදයේ ප්‍රචලිතවී තිබෙනවා. දනකිරිගල සන්නසට අනුව, මංගලගම බෝධියට කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින්, ගොඩ-මඩ ඉඩම් විශාල ප්‍රමාණයක් පූජාකර තිබෙනවා. එයට අනුව, බෝධියට පෙර අම්බලම තිබෙන්නට ඇති බවට විශ්වාසයක් පවතී.

                   පුරාතන මහනුවර හා සීතාවක රාජධානි සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයේ මෙම අම්බලම පිහිටා තිබීම නිසා, රාජ රාජ මහාමාත්‍යවරුන් හා රේන්ද කරුවන් මෙන්ම, යටත් විජිත යුගයේ දී, ආණ්ඩුකාර වරුන්ගේ නවාතැන් ගැනීම සඳහාද ප්‍රෙයා්ජනයට ගෙන තිබෙනවා. එමෙන්ම, ගම්සභා පැවැත්වීම සඳහාද මෙය ප්‍රෙයා්ජනයට ගත් බව ජනප්‍රවාදයේ සඳහන් වනවා.

                   අම්බලම නිර්මාණය කර ඇති ආකාරය පිළිබඳව, මහාචාර්ය රෝහිත දසනායක මහතා මෙසේ සඳහන් කර තිබෙනවා.

                   මැද පිහිටි ගල් කණු සතරෙහි එක් ගල් කුළුණකට පේකඩ 04 බැගින් තිබේ. පේකඩ මත පිහිටි අට්ටාලයේ, අඩි 04ක් පමණ උස චතුරශ්‍රාකාර දැව කුළුණක් සිටුවා තිබෙනවා. එහි පේකඩ මතයි වහලය ගොඩනගා තිබෙන්නේ.මෙහි මැද පිහිටි අට්ටාලයට පිටතින් අඩි 6 ½ක් පමණ උස ගල්කණු 12ක් ඇත. එයින් ඉතිරිවී ඇත්තේ, කණු 04ක් පමණි. එමේම මෙහි අරලිය කොලයේ හැඩයෙන් යුතු කැටයම් සහිත පේකඩ 50 කට අධික ප්‍රමාණයක් තිබුණ ද, ගම්මාලු දැවයෙන් කරන ලද පැරිම පේකඩ 02ක් පමණක් දක්නට ලැබෙනවා. වහලය පිරමීඩාකාර වන අතර, කැණිමඩලට සම්බන්ධ වන කී දැහැල් කූඩුවේ පරාල 54ක් දක්නට ලැබෙනවා.

අම්බලම අඩි 25ක් පමණ දිගින් හා පළලින් යුතු වනවා. මැද පිහිටි අට්ටාලයේ ඇති විශාල බාල්ක සමිබන්ධ කර තිබෙන්නේ, ‘සරුවෙත’ ගෘහනිර්මාණ ශිල්පයට අනුවයි. මෙම පරාල හා සියළු අට්ටාල සඳහා යොදා ගෙන ඇති පරාල, අඩි 04ක පමණ විශ්කම්භයෙන් යුක්ත වනවා.

ගිරුවා අම්බලම

                   මෙම අම්බලමද කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙනවා. මාවනැල්ල, අළුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයට ඇතුල්වන දොරටුව අසල මෙය දැකගත හැකියි.

                   ක්‍රිස්තු වර්ෂ 1236 සිට 1270 දක්වා රජකළ දෙවන පරාක්‍රමභාහු රජුගේ අගමෙහෙසිය වූ, ගිරිවස සුනේත්‍රා දේවිය විසින් මෙය කරවන ලද බවට, ජනප්‍රවාදයේ තිබේ. මෙම ගමද, එම දේවියගේ බිසෝ පත්තුවට අයත් ගම්වරයක් ලෙස සැළකෙනවා.

                   මංගලගම අම්බලමේ ඇති නිර්මාණ ශිල්පය මෙහිද දැකගන්නට පුළුවන්. ගල් අත්තිවාරමක් මත ඉදිකෙරුණු කුළුනු 16ක් මත වහලය රඳවා තිබෙනවා. මෙම ගල් කණු, ඔප මට්ටම් නොකරන ලද හා චතුරශ්‍රාකාර අයුරින් නිමවා නැත.

                   වර්ථමානයේ මෙම අම්බලම, අළුත්නුවර දේවාලයට එන බැතිමතුන්, සිය පූජා වට්ටි හා අනෙකුත් දෑ සැකසීමට ප්‍රයෝජනයට ගනු ලබනවා.

මහාචාර්ය රෝහිත දසනායක

බී.ඒ.(පේරාදෙණිය), එම්.එස්.එස්.සී. (කැළණිය), පී.එච්.ඩී. (මැඩ්ඩ්‍රාස්), ඉතිහාසය අධ්‍යනඅංශයේ, අංශ ප්‍රධානී, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Pradeep Senadeera
Pradeep Senadeera
Dip. in Media Newspaper writer, Radio News editor & reporter

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles