24 C
Colombo
Thursday, December 7, 2023
spot_img

Subscribe

Date:

Share:

සාර්ථක විවාහ ජීවිතයක් සඳහා බෞද්ධ මාර්ගෝපදේශය

Related Articles


ස්ත්‍රියක හා පුරුෂයකු මානසික හා කායික වශයෙන් එක් වී නීත්‍යානුකූලව එකට ජීවත් වීම විවාහය වශයෙන් පෙන්වා දිය හැකි ය-ප්‍රධානත ම සමාජ සංස්ථාවක් වශයෙන් ද විවාහය පෙන්වා දිය හැකි ය-පවුලක් ගොඩ නැගෙන්නේ විවාහය පදනම් කරගෙන වේ-වත්මන් සමාජය දෙස අවධානය යොමු කිරීමේ දී පෙනී යන්නේ විවාහය පිළිබඳව පිළිගෙන ඇති මූලික සංකල්ප බිද වැටී ඇති බවයි-දෙදෙනා අතර විශ්වාසය නොමැති කම නිසා පවුල් අඬ දබර ඇති වීම දික් කසාද වීම් අද වන විට ඉහළ ගොස් ඇත-සැමියා බිරිඳ අතර යුතුකම් ගිලිහී ඇත-නීතියට පමණක් සීමා වුණු බැඳිමක් වර්තමානයේ බොහෝ දුරට විවාහ ජීවිත ගත කරන ස්ත්‍රී පුරුෂයන් තුළ දැකිය හැකිය-
මෙහිදී අවධානය යොමු කරනු ලබන්නේ විවාහය පිළිබඳ බෞද්ධ ආකල්පයයි- ගැටලු වලින් තොර සාමකාමී විවාහ ජීවිතයකට බුදු දහමින් ලැබෙන ආලෝකය පිළිබඳවය-බුදු දහමට අනුව විවාහය යන සංකල්පය මානව පරිණාමයේ එක් අවස්ථාවක දී සිදු වූවකි-බුදු දහමට අනුව ලොව ප්‍රථම වතාවට ලිංඟිකත්වය පදනම් කරගෙන ස්ත්‍රියකු හා පුරුෂයකු එකිනෙකා ආකර්ෂණය හේතු කරගෙන ඔවුන් ස්වභාවිකව එකතු වීම විවාහයේ ආරම්භය ලෙස පෙන්වා දෙනු ලැබේ-දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රය මගින් මෙලෙස ස්ත්‍රී පුරුෂ එකතු වීම හා විවාහයේ සදාචාර සම්පන්න විකාශය බුදුන් වහන්සේ පෙන්වා දෙනු ලැබේ-

බුදු දහමට අනුව සාර්ථක විවාහයකට උපදෙස් ලබා දෙන්නේ ධාර්මික සදාචාර සම්පන්න පදනමක් මතය-ලිංගිකත්වයටම සීමා නොවි ඉන් ඔබ්බට ගිය සම්බන්ධතාවක් බුදු දහම පෙන්වා දෙනු ලබයි-
බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේ දී පවා තම දියණියන් සරණ පාවා දීමේ දී දෙමව්පියන් ඔවුනට සුදුසු උපදෙස් ලබාදීම සඳහා උනන්දු වූ බව ද ඇතැම් අවස්ථාවල සමහර අය උපදෙස් සඳහා බුදුන් වහන්සේගේ පිහිට පැතූ බව ද පෙනේ. උදාහරණ වශයෙන් අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ උග්ගහ සූත්‍රයේ උග්ගහ නැමති සිටුවරයා බුදුන් වහන්සේට කළ අනුශාසනය නම්
“………… එහෙයින් දැරියනි ඔබ සැවොම මෙසේ පුහුණුවන්න. අපගේ යහපත පතමින් අපගේ ප්‍රීතිය පතා දයානුකම්පාවෙන් අපගේ දෙමව්පියන් අප කවර ස්වාමි පුරුෂයකු හට සරණ පාවා දුන්නේ වුව ඔහු ගැන දයානුකම්පාවෙන්, අපි අලුයම අවදිව සියල්ලටම පසු නින්දට යන්නෙමු. කැමැත්තෙන් සේවනය යෙදෙන්නවුන් වෙමු. සියල්ල ඉමිහිරි ලෙස නියෝග කරන අතර මුදු ස්වරයෙන් අමතන්නා වූ දැරියනි. ඔබ එසේ පුහුණු වන්න.”
“……….. මෙසේ ද පුහුණ වන්න දැරියනි අපගේ ස්වාමි පුරුෂයන්ගෙන් ගෘහ කර්මාන්තයෙහි නිපුණ හා යුහුසුළු වෙමු. එය ලෝම හෝ කපු වේවා නිරත වී එය නිමා කරනුවස් එය මැනවින් වටහා ගැන්ම අපගේ වගකීම කරගනිමු. එසේ පුහුණු වන්න දැරියනි. මෙසේ පුහුණු වන්න දැරියනි අපගේ ස්වාමිපුරුෂයා නිවස කරා ගෙන එන්නා වූ මුදල් ධනය රිදී හා රන් අපි සුරක්ෂිත ලෙස රකින්නෙමු. තව ද එහි ලා කොල්ලකරුවන්, සොරුන්, බේබද්දන් හෝ විනාශ කරුවන් වශයෙන් හෝ ක්‍රියා නොකරන්නෙමු. දැරියනි එසේ පුහුණු වන්න”(අ -නි- »»» , උග්ගහ සූත්‍රය, 2005, පි. 57-59)
මෙම උපදෙස් කාන්තාවක් වශයෙන් විවාහ ජීවිතයේ දී පිළිපදින්නේ නම් සැබවින්ම එම ජීවිතය සාර්ථක වනු ඇත. බොහෝ අවස්ථාවල ද පවුලේ ආර්ථික ගැටලු ඇති වේ. එමෙන් ම සමහර කාන්තාවන් නිසා මුදල් කළමණාකාරීත්වයන් නොමැතිකම සැමියාගේ ධනය විනාශ කිරීම වැනි අවස්ථා දැකගත හැකි ය. යහපත් සාමකාමී සාර්ථක ගෘහ ජීවිතකයකට ඉහත බුදුන්වහන්සේ පෙන්වා දෙනු ලැබු උපදේශයන් මහත් සේ ඉවහල් වනු ඇත.
සාර්ථකව විවාහ ජීවිතය ගෙන යාමට නම් තමාට ගැළපෙන සහකරුවෙකු සහකාරියක අවශ්‍ය වේ. වර්තමාන සමාජය දෙස අවදානය යොමු කිරීමේ දී ද පෙනී යන කරුණක් නම් එකිනෙකා නොගැළපීම මත විවාහ ජීවිත දෙදරා යාම් දැකිය හැකි ය. විවාහය අවසන් වන්නේ දික්කසාදයෙනි. මෙහිදී බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ සහකරුවෙකු සහකාරියක තෝරා ගැන්මේදී සම ශ්‍රද්ධාව, සමශීලය, සමත්‍යාගය සම ප්‍රඥාව තිබිය යුතු බවයි.(අ-නි II, පඨම හා දුතීය සමජීවී සූත්‍රය ,පි 166) බුදුන් දවස නකුල පීතෘ පවසන්නේ සිතින් පවා නකුල මාතා ඉක්ම නොගිය බවයි. ඔවුන් අතර පැවති සෙනෙහස කොතෙක් ද යත් පරලොව දී පවා උනුන් දකින්නට කැමති බව පවසයි. නකුල මාතා ද එසේ පවසයි. සැබවින් ම සැමියා හා බිරිඳ එකට ගැළපේ නම් විවාහ ජීවිතයේ බොහෝ ගැටලු අවම කර ගැනීමට හා හැකි ය- බොහොමයක් ගෘහ ජීවිතය ආශ්‍රිත ගැටලුවලට හේතුව වන්නේ නොගැළපීම වේ.
යහපත් විවාහ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය උපදෙස් 10ක් බෞද්ධ සාහිත්‍යයේ ඇත-එනම් මිගාර සිටු තුමා සිය දියණිය වූ විශාඛාව විවාහ වන අවස්ථාවේ දුන් අවවාද වේ-
1 ඇතුළත ගින් පිටතට නො දීම
2 පිටත ගිණි ඇතුළට නො ගැනීම
3 දෙන්නවුනටම දිය යුතුය
4 නො දෙන්නවුන්ට නො දිය යුතුය
5 දෙන්නවුන්ටද නොදෙන්න වුන්ටද දිය යුතුය
6 සුවසේ හිඳිය යුතුය
7 සුවසේ අනුභව කළ යුතුය
8 සුවසේ සැතපිය යුතුය
9 ගිණි පිරිමසින්න
10 ඇතුළත දෙවියන් පුදන්න
නිවසේ ඇති ප්‍රශ්න පිට සමාජයට නො දිය යුතුය- නැතහොත් ආරවුල් ඇති වේ-පිට සමාජයේ වන ප්‍රශ්න සිය නිවසට ගෙන ආරවුල් ඇති කර නො ගත යුතු ය-එමෙන් ම නිවසේ ධනය රැක ගැනීම, නිවසේ සියලු දෙනා ගැන සොයා බැලීම, නිවසට පැමිණෙන මහණ බමුණන්ට පිදීම ආදිය යහපත් බිරිඳකගේ ලක්ෂණ බව පෙන්වා දෙයි එසේ ක්‍රියා කිරීමෙන් සැමියා හා බිරිඳ අතර විශ්වාසය ආදරය ගොඩ නැගේ-
බොහෝ විට සැමියන් නොමඟ යාමෙන් සැමියා අයාලේ යාම වැනි කාරණා මත බිරිඳ මානසික මෙන් ම සමාජීය වශයෙන් ද බොහෝ පීඩාවට ලක් වේ. විවාහ ජීවිතය අඩාල වේ-බොහෝ විට මෙම තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන්නේ ඇතැම් විට බිරිඳගේ දුර්වලතා නිසා විය හැකි ය. බිරිඳ සැමවිටම ස්වාමිපුරුෂයාට ප්‍රිය වන ආකාරයෙන් සිටිය යුතු ය. බුදුන් වහන්සේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයේ ඛත්තිය සූත්‍රයෙහි ස්වාමියා ප්‍රියවන කරුණු ද දේශනා කර ඇත.
“දෙපා ඇත්තවුන් අතුරින් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ ය. සිවුපාවුන් අතුරින් අජානිය අශ්වයා ශ්‍රේෂ්ඨ ය. භාර්යාවන් අතුරින් හිමියන් පිනවන්නී ශ්‍රේෂ්ඨ ය. පුතුන් අතුරින් කීකරු වූයේ ශ්‍රේෂ්ඨය. ”(සං-න-ි », ඛත්තිය සූත්‍රය, පි-13)
දෙවියන් ඇසූ ප්‍රශ්නයට බුදුන් වහන්සේ පැවසූ මෙම පාඨය අනුව ස්වාමියා පිනවන භාර්යාවට ශ්‍රේෂ්ඨ ස්ථානයක් ලබා දී ඇත. මෙය වර්තමාන කාන්තාවටද බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.
මාතුගාම සූත්‍රය අධ්‍යයනය කිරීමෙන් පුරුෂයා අගය කරන කාන්තාවගේ සහ පුරුෂයා අගය නොකරන කාන්තාවගේ ගති ලක්ෂණ හඳුනාගත හැකි ය. මෙම සූත්‍රය අධ්‍යයනය කිරීමෙන් කාන්තාවකට පුරුෂයා ප්‍රියවන ආකාරයෙන් හැසිරිය හැකි ය. අද්‍යතන කාන්තා සමාජයටද මෙය මහත් ආදර්ශයකි.
“මහණෙනි අඬග පසෙකින් යුත් මාගම පුරුෂයාට ඒකාන්තයෙන්ම අමනාප වේ. කවර පසෙකින් ද යත් රූමත් නොවේ, ධනවත් නොවේ, සිලවත් නොවේ, අලසත් වේ, ඔහුට දාව ප්‍රජාවක් නොලබයි. මහණෙනි මේ අංග පසෙකින් යුත් මාගම පුරුෂයාට ඒකාන්තයෙන් ම මනාප වෙයි. කවර පසෙකින් ද යත් රූමත් ද වෙයි, ධනවත් ද වෙයි, සිලවත් ද වෙයි, අනලස්ව හා දක්ෂද වෙයි. ඔහුට දාව ප්‍රජාවක් ලබයි. මහණෙනි මේ අංග පසින් යුත් මාගම පුරුෂයාට ඒකාන්තයෙන්ම මනාප වේ. (සං-නි, සඩලමාතුගාම සූත්‍රය,2005, පි. 45)
ඉහත ලක්ෂණ ඉදිරිපත් කිරීමෙන් ස්ත්‍රියගේ රූමත් බව, ධනවත් බව, සිල්වත් බව, දක්ෂ බව හා දරුවන් ලැබීම අගය කරබව බුදුන් වහන්සේ පෙන්වා දී ඇත.සාර්ථක විවාහ ජීවිතයකට එය මනා සේ ඉවහල් වනු ඇත-මෙය වර්තමාන සමාජයටද මහත් ආදර්ශයකි. බොහෝ ගෘහ ගැටලු ඇතිවීමට මෙම හේතු බලපායි.බිරිඳ සිල්වත් නො වීම විවාහ ජීවිතයේ අසාර්ථකත්වයට හේතුවකි-කාන්තාව විවාහ දිවියේ දී දක්ෂ ලෙස කටයුතු කළ යුතු ය- එවිට සැමියාගේ සහය ද ඇයට ලබා ගත හැකි ය-ඇය සැමියාගේ ප්‍රසාදයට පත් වේ-
එසේ ම ස්වාමි පුරුෂයා හා බිරිඳ විවාහ වීමෙන් පසුව සහයෝගයෙන් කටයුතු කළ යුතු ය. එකිනෙකා මිතුරන් සේ කාලය ගත කළ යුතු ය. එසේ නොවුන තැන ගෘහ ජීවිතය අප්‍රසන්න තැනක් බවට පත්වනු ඇත. භාර්යාව ද ස්වාමියාගේ දුක් කරදරවල දී පිහිට විය යුතු ය. ස්වාමියා ද භාර්යාවගේ දුක්කරදරවල දී පිහිට විය යුතු ය. දෙදෙනා මිත්‍රයකු ලෙස කටයුතු කළ යුතු ය. දේවතා සංයුත්තයෙහි වත්ථු සූත්‍රයෙහි පැහැදිලි කර ඇත්තේ පහත සඳහන් ආකාරයට ය.
“පුත්‍රයෝ මිනිසුන්ට පිහිට වෙත්, බිරියම උතුම් යහළුය, පොළොව ඇසුරු කොට ජීවත් වෙත්.” (සං-නි,»,වත්ථු සූත්‍රය ,2005, පි. 69)
ස්වාමියා බිරිඳටත් බිරිඳ ස්වාමියාටත් ආදරය කරුණාව දැක්විය යුතු ය. විවාහ ජීවිතය ගත කිරීමට බලාපොරෙත්තු වන සහ විවාහ ජීවිතය ගත කරන අයවලුන් ද දැනගත යුතු කරුණු රාශියකි. නොදැන විවාහය පිවිසීම සහ විවාහය ගත කිරීම බොහෝ ගැටලුවලට මුල බව පෙනේ. සිගාලෝවාද සූත්‍රයට හා බෞද්ධ ඉගැන්වීම් වලට අනුව කාමය වරදවා හැසීරීම ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අවසරයක් නොමැත. එහෙත් වර්තමානය වන විට එක් තහනමට පිටින් යමින් ඇතැම් අය විවාහක බිරිඳ සිටින නමුත් අන් ස්ත්‍රීන් සමග කාමයෙහි හැසිරේ. සමහර ස්ත්‍රීන් ද තම ස්වාමිපුරුෂයා සිටිය දී අන් පුරුෂයන් සමග කාම සේවනයෙහි යෙදේ. එවිට විවාහ ජීවිතයේ ප්‍රීතිය නැති වී යයි-
මේ සඳහා සිඟාලේවාද සූත්‍රයෙන් දෙනු ලබන ආදර්ශය ඉතා අගනා බව කිව යුතුය. එමෙන්ම ස්වාමියා බිරිඳට ප්‍රිය වචනයෙන් කතා කළ යුතු ය. එමෙන් ම බිරිඳට සැමියාට ප්‍රිය වචනයෙන් කතා කළ යුතුය. අවමන් නොකළයුතුයි. ඇතැම් විට බිරිඳ සැමියාගේ අවමානයට ලක් වී මානසික හිංසනයට පත් වේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ස්වාමියා බිරිඳට ගරු කළ යුතු බවයි. ඇයට ප්‍රිය වචනයෙන් කතා කළ යුතු බවයි. එමෙන් ම ස්වාමියා තම බිරිඳට අලංකාර දෑ ලබාදිය යුතුය. එනම් බිරිඳගේ සිතුම් පැතුම් තේරුම්ගනිමින් ඇයට ඇඳුම් පැළඳුම් ලබාදිය යුතු ය. ස්වාමියා පමණක් නොව බිරිඳ ද තම යුතුකම් පද්ධතිය ඉටුකිරීමෙන් ද බොහෝ ගැටලු අවම කරගැනීමට හැකි ය. වර්තමානයේ පවා දැකිය හැකි කරුණක් නම් බිරිඳ නිසි ලෙස තම යුතුකම් ස්වාමියා වෙනුවෙන් ඉටු නොකරන අවස්ථාය. ඇතැම් විට කාර්ය බහුලත්වය එමෙන් ම වර්තමානය වන විට කාන්තාව ද රැකියා සඳහා කාලයගත කිරීම වැනි හේතු සාධක මත කාන්තාවක් වශයෙන් බොහෝමයක් කාන්තාවන් වර්තමානයේ දී මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ පවුල් ජීවිතයේ ආරවුල් ය. එකිනෙකා අතර නිසි අවබෝධයක් නොමැති වීම ආදී හේතූන් මත මෙම විවාහ ජීවිතය තුල ගැටලුවලට මුහුණ දෙනු ලැබේ. එකිනෙකා අතර ඉටුවිය යුතු යුතුකම් හා වගගීම් හරහා ගෘහ ජීවිතයේ පැන නගින බොහෝමයක් ගැටලු සඳහා විසදුම් ලබාගත හැකි ය. සිඟාලෝවාද සූත්‍රයෙහි ස්වාමියාගෙන් බිරිඳටත් බිරිඳගෙන් ස්වාමියාටත් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් පද්ධතියක් බුදුන් වහන්සේ දේශනා කර ඇත. මෙහි දී ස්වාමියාගෙන් බිරිඳට ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් ලෙස,
සම්මානනාය – සම්මානයට පත් කිරීම
අනවමානනාය – නිග්‍රහ නො කිරීම
අනතිචර්යා – පර අඹුවන් කරා නොයෑම
ඉස්සරිය වෝසසගේගන- ගෙදර පාලනය භාරදීම
අලංකාරානුප්පදානෙන – අලංකාර දෑ සැපයීම (දී- නි,ෂෂෂලසිගාලෝවාද සූත්‍රය 2005,පි. 306)
බිරිඳගෙන් ස්වාමියාට ඉටුවිය යුතු යුතුකම් ලෙස
සුසංවිහිත කම්මන්තා – මනාකොට කරන ලද කර්මාන්ත
සුසංගහිත පරිජනා – ස්වාමියාගේ පිරිවර ජනයාට සංග්‍රහ කිරීම
අනතිචාරිනී – අනාචාරයෙහි නො හැසිරීම
සම්හතං අනුරක්ඛති – සියලු දෑ රකියි. (දී- නි, ෂෂෂ ල සිඟාලෝවාද සූත්‍රය, පි. 30)
එකිනෙකා අතර යුතුකම් හා වගකීම ඉටුකිරීම පවුලේ සමගියට ද හේතු වේ. ඇයට තම පවුල වෙනුවෙන් ස්වාමියා වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් මග හැරෙනු ඇත. ස්වාමියාගේ සහායක පිරිසට සංග්‍රහ කිරීමට අවස්ථාව ලබන්නේ ද නැත. මෙවන් අවස්ථාවල දී සිදුවන්නේ බොහෝ විට පවුල් ආරවුල් ය. ඇතැම් විට ස්වාමියා නොමග යෑම විවාහය දික්කසාදයෙන් පවා කෙළවර විය හැකි ය. බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රය මගින් පෙන්වා දෙනු ලබන්නේ බිරිඳ විසින් සිය යුතුකම් හා වගකීම් පද්ධතිය ඉටුකිරීමේ දී විවාහ ජීවිතයේ සාර්ථකත්වයට හේතුවන බවයි. එමෙන් ම මෙහිදී පෙන්වා දෙනු ලබන විශේෂ කාරණයක් නම් ස්වාමියා උපයන ධනය රැකීමයි. පවුලේ ආර්ථික ශක්තිය රඳා පවතින්නේ ස්වාමියා උපයන ධනය නිසි කළමණාකාරිත්වයෙන් වියදම් කිරීමෙනි. ඇතැම් කාන්තාවන් සැමියා උපයන ධනය වගකීම් රහිතව අනවශ්‍ය ලෙස අනවශ්‍ය දේ සඳහා වියදම් කරන අවස්ථා දැකිය හැකි ය. මෙහිදී ආර්ථික වශයෙන් ගැටලුවලට මුහුණ දීමට ඇයට සිදුවේ. නමුත් බිරිඳ බුද්ධිමත්ව සැමියා උපයන ධනය වියදම් කළ යුතු ය.
තව ද විවාහ ජීවිතයේ දී මතුවන ගැටලු අවම කර ගැනීමට බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ මනාපකායික සූත්‍රයේ දී කරුණු රැසක් දේශනා කර ඇත. ඒ අනුව කාන්තාව
■ විගතමලමච්ඡෙරචෙතසා – මසුරුමල පහ වූ සිතින් කල යුතු ය.
■ අගාරං අජ්ඣාවසති මුත්තචාගා – මුදාහලත්‍යාග ඇත්තී විය යුතුය.
■ පයතපාණී – සේදු අත් ඇත්තී විය යුතු ය.
■ වොස්සග්ගරතා – දීමෙහි ඇලුනියක් විය යුතු ය.
■ යාචයොගා – යදින්නන්ට දෙන්නියක් විය යුතුය.
■ දානසංවිභාගරතා – වෙන් වෙන් ව බෙදීමෙහි ඇලුනියක් විය යුතු ය-
සාර්ථක ගෘහ ජීවිතයක් ගැටලු රහිත ගෘහ ජීවිතයක් ගත කිරීමට නම් ලද දෙයින් සතුටු වී අන්‍යෝන්‍ය විශ්වාසය හා වගකීම් තේරුම්ගෙන කටයුතු කළ යුතු ය. ඒ බව
“මහණෙනි යම් සේ ලද දෙයින් සතුටු නොවන බව මහත් අනර්ථය පිණිස පවත් ද, මහණෙනි, මෙබදු වූ අන් එක ධර්මයකුදු මේ නොම දකිමි. මහණෙනි ලද දෙයින් සතුටු නොවන බව මහත් වූ අනර්ථය පිණිස පවතී.” (අ-නි, 2005,අසන්තුට්ඨි සූත්‍රය)

එහෙයින් මෙලෙස ලද දෙයින් සතුටු වීමක් නොමැති තැන කලකෝලාහල, අඩ දබර, සිත් වේදනා, මනුෂ්‍ය ඝාතන ආදිය සිදුවීම නො වැලැක්විය හැක්කකි. තම ස්වාමියාට බිරිඳ ආදරය, කරුණාව දැක්විය යුතු ය. බිරිඳ තමා වෙනුවෙන් කැපකරන කාලය ශ්‍රමයෙන් සෑහිමකට පත් වී ඇයට ආදරය කරුණාව දැක්විය යුතු ය.

ගෘහ ජීවිතයේ බොහෝ ගැටලු ඇතිවන්නේ එකිනෙකා ආචාර සම්පන්න නොවී ම මතය. ඇතැම්විට සැමියා දුසිල්වත් ය. සැමියා මත්පැන් පානය කිරීම, සුරා සූදුවට ලොල් වීම, අනාචාරයේ හැසිරීම වැනි හේතු සාධකයන් නිසා බොහෝ බිරින්දෑවරු තම සැමියාගේ දුසිල්වත්බව නිසා පීඩා විඳී. ඇතැම්විට මෙවැනි අවස්ථාවන්හිදී පවුලේ භාරකාරත්වය දරුවන්ගේ කටයුතු පවා තමාට තනියම කිරීමට සිදුවන අවස්ථා දැකගත හැකි ය. එමෙන් ම බිරිඳ ද එසේ දුසිල්වත් වූ විට ඇයට තවත් බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. බුදු රජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ සැම යුවලක්ම ආචාර ධර්මානුකූලව බැඳී ඇත්නම් ඔවුන් මිහිපිට දෙවිවරු හා දිව්‍යාංගනාවන් බව අවබෝධ කරවීමට බුදුන් වහන්සේ අංගුත්තර නිකායේ පඨම සංවාස සූත්‍රයෙන් මෙසේ විස්තරයක් ඉදිරිපත් කරනු ලැබූ හ.
1ග “දෙදෙනාට දුසිල් වූවාහූ නින්දා පෙරදැරි බස් බණන්නාහු වෙත් ද, ඒ අඹු සැමි දෙදෙනා ලමුව සහවාසයට ගියාහු වෙත්”
2ග සැමි දුසිල් වෙයි, තද මසුරු වෙයි, නින්දා පෙරදැරි කොට බස් බණන්නන් වෙයි. බිරිය සිල්වත් වෙයි, දන්කලු වෙයි. පැහැ මසුරු මල ඇත්තීවෙයි. ඒ දේවිය ලමු සැමියා හා එක්ව වෙසෙයි.
3ග සැමි සිල්වත් වෙයි. දන්කලු වෙයි. පැහැ මසුරු මල ඇතිවෙයි. නින්දා පෙරදැරි බස් බණන්නි වෙයි. හොඳ ලමු වූවා දේව් වූ හිමියා හා එක්ව වෙසෙයි.
4ග දෙදෙනාට සැදැහැතිව දන්කලු ව ශීල සංයම ඇතිව ඇතිව දහම්හි සිට දිවි බටනාහු වෙත් ද ඒ අඹු සැමි උනුනම ප්‍රියංවද වෙත්.
5ග සමසිල් ඇති ඒ දෙදෙනාගේ අභිවෘද්ධිහු ප්‍රවුර වෙත් උනුනට පහසු විහරණ වෙයි. අමිත්‍රයෝ ද්වේශයෙන් දුටු සත් ඇති වෙත්.
6ග “මෙලොව සමාන ශීලව්‍රත ඇති ඒ දෙදෙන දහම් පරා සතුටු වූවාහු දෙව්ලොව කාම සම්පත්ති කැමති වන්නා හු මුදිත වෙත් ……” (අ-නි, පඨම සංවස සූත්‍රය,2005, පි. 11-115)
එමෙන් ම බොහෝ විට ගෘහය ආශ්‍රිත ගැටලු අවම කර ගැනීම කාන්තාවගේ බිරිඳගේ හැසිරීම බොහෝ සෙයින් වැදගත් වනු ඇත. මෙහි දී බුදුන් වහන්සේ අංගුත්තර නිකායේ සත්ත භරියා සූත්‍රයෙහි භාර්යාවන් සත් දෙනෙක් ගැන දේශනා කරනු ලැබේ.
1ග වධක භාර්යා-වධකයකු වැනි බිරිඳ
2ග චෝර භාර්යා-හොරෙකු වැනි බිරිඳ
3ග සාමි භරියා-ස්වාමිදුවක වැනි බිරිඳ
4ග මාතු භරියා-මවක් වැනි බිරිඳ
5ග භගිනි භරියා-සොහොයුරියන් වැනි බිරිඳ
6ග සඛී භරියා-මිතුරියක් වැනි බිරිඳ
7ග දාසි භරියා-සේවිකාවක් වැනි බිරිඳ (අ-නි- »¼,සප්ත භරියා සූත්‍රය,2005 පි. 414 – 418)

මෙම භාර්යාවන් අතරින් බුදු රජාණන් වහන්සේ අගය කරනු ලබන්නේ මවක් වැනි භාර්යාව, සොහොයුරියක් වැනි භාර්යාව, මිතුරියක් වැනි භාර්යාව හා සේවිකාවක් වැනි භාර්යාවයි. මෙසේ යහපත් ගතිගුණවලින් යුක්තව කාන්තාව ස්වාමියාට පක්ෂව කටයුතු කිරීමේ දී එකිනෙකා අතර උද්ගත වන ගැටලු අවමය. ප්‍රීතිමත් යුග දිවියක් දෙදෙනාට ගත කිරීමට ද හැකි වනු ඇත-
බුදු දහම පෙන්වා දෙන ආකාරයට විවාහය නැමති සංකල්පය හුදෙක් ලිංගිකත්වයම පමණක් නොවේ ඉන් ඔබ්බට ගිය ආධ්‍යාත්මික ගුණයෙන් ද යුක්ත ආත්මීය බැඳීමකි-බාහිර ධනය රූපය පමණක් නොව ආධ්‍යාත්මික ගුණයෙන් ද පෝෂණය විය යුතු ය-බෞද්ධ උපදේශ අනුව විවාහ ජීවිතයක් ගත කරයි නම් එම විවාහ ජීවිතය ප්‍රීතිමත් යුග දිවියක් වනු ඇත-

ආශ්‍රීත ග්‍රන්ථ මාලාව

අංගුත්තර නිකාය,»»,»»» 2005, සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ පුනර් මුද්‍රණ, දෙහිවල,
බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය-

-දීඝ නිකාය»»»,»» 2005, සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක පුනර් මුද්‍රණ, දෙහිවල, බෞද්ධ සංස්කෘතික
මධ්‍යස්ථානය-

-සංයුත්ත නිකාය,2005, සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ පුනර් මුද්‍රණ, දෙහිවල,
බෞද්ධ මධ්‍යස්ථානය-

Nisansala Maduwantha
Nisansala Maduwantha
University of Sri Jayawardanapura, Sri Lanka

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles