මහායාන බුද්ධ ධර්මය යනුවෙන් හඳුන් වන්නේ දැනට ලෝකයේ පවතින බුද්ධ සම්ප්‍රදායන් වලින් එකකි. අනෙක් සම්ප්‍රදායන් ලෙස ථෙරවාද සම්ප්‍රදාය හා වජ්රයාන සම්ප්‍රදාය හදුන්වාදිය හැකිය. “මහායාන ” යන වචනයේ අර්ථය විග්‍රහ කර බැලුවම අපට මෙසේ භාෂාව හරහා විශ්ලේෂණයක් කල හැකිය. ” මහා + යාන ” වචනයේ අර්ථයෙන් ගත හොත් මහා වාහනය හෝ ” විශාල මාර්ගය ” ලෙස දැකිය හැකිය. මෙම මහායාන බුද්ධ සම්ප්‍රදායේ ප්‍රධාන සහ මුලික අදහස වන්නේ තමන්ගේ නිර්වාණය පමණක් නොව සියලු සත්වයන්ගේ විමුක්තිය සඳහා කැපවීම යන්නයි.
මහායාන බුද්ධාගමේ ඓතිහාසික පසුබිම
බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු කාලීනව සංඝයා තුල බෞද්ධ දර්ශනය පිළිබඳව විවිද අදහස් සහ අර්ථකතන බිහිවන්නට විය. මෙයට හේතුව වශයෙන් අපට දැකගත හැකිවන්නේ එවකට බුදු දහම පිළිබඳව කිසිම ලේඛන ගත කිරීමක් සිදු නොවූ අතර වාචිකව සුත්‍ර ලෙස සංඝයා විසින් පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ඒමයි. ක්‍රි. පූ. 1 වන සියවසේ සිට ක්‍රි. ව. 1 වන සියවස අතර කාලයේදී මෙලෙස මහායාන ලෙස බෞද්ද සම්ප්‍රදායක් බිහිවන්නට සහ ක්‍රමයෙන් වර්ධනය වන්නට වූ බව ට බොහෝ ඉතිහාසඥයන්ගේ මතය වෙයි. මෙලෙස වර්ධයන වන්නට වූ මහායාන දාර්ශනිකයන්ගේ මතය වන්නට වුයේ බුදුන් වහන්සේගේ ධර්මය තව දුරටත් ගැඹුරින් අර්ථකථනය කිරීම හා සියලු සත්වයන්ගේ විමුක්තිය අරමුණු කරගත් මාර්ගයක් ඉදිරිපත් කිරීමයි.
ථෙරවාද සම්ප්‍රධයේ මෙන් මහායාන සම්ප්‍රදයේද සුත්‍ර දැකිය හැකිය. ථෙරවාදයේ ප්‍රධාන ග්‍රන්ථ සංග්‍රහය වන්නේ පාලි ත්‍රිපිටකය ය. මහායානය තුල ඊට අමතරව විශේෂ සුත්‍ර රැසක් වැදගත් ලෙස සැලකේ. ඒවානම්, Lotus Sutra, Heart Sutra, Diamond Sutra, Avatamsaka Sutra ලෙස දැක්වෙයි. මෙම සූත්‍රවල බෝධිසත්ව මාර්ගය, ප්‍රඥාව, ශූන්‍යතාව සහ බුද්ධත්වය පිළිබඳ ගැඹුරු විස්තර අන්තර්ගත වේ.
මහායානයේ ගැඹුරුම පණිවිඩය ලෙස අපට දැකගත හැකි වන්නේ, “කිසිවක් ස්වාධීනව නොපවතී; එබැවින් සියල්ල එකිනෙකට සම්බන්ධය. එම නිසා අනෙක් සත්ත්වයන්ගේ දුක මගේ දුකෙන් වෙන් කළ නොහැක.” ප්‍රධාන කරුණු හතරක් මත මේ කාරණාව පදනම් වෙයි. එනම්, කරුණාව, මෛත්‍රිය, පරිත්‍යාගය හා බෝධිචිත්තය යන ගුණයන් මතයි. එබැවින් මහායාන දර්ශනයේ අවසාන පරමාදර්ශය හුදෙක් “මම නිර්වාණය ලබමි” යන්න නොව, “සියලු සත්ත්වයන් සමඟ බුද්ධත්වය කරා ගමන් කරමි” යන බෝධිසත්ව ආදර්ශයයි. මේ දාර්ශනික පදනම නිසාම මහායානය ලෝක දර්ශනයක්, ආචාර ධර්ම පද්ධතියක් සහ ගැඹුරු අධ්‍යාත්මික මාර්ගයක් ලෙස සැලකේ.
බොහෝ දෙනා සිතන්නේ මෙම සම්ප්‍රදායන් එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් බවයි. නමුත් තෙරවාදය සහ මහායාන යන සම්ප්‍රදාය අතර සමානතා ගැන සලකා බැලු විට අපට දැකගත හැකිවන කරුණු වන්නේ, මේ සම්ප්‍රදායන් දෙකේම, ගෞථම බුදුන්වහසේව පිළිගනී, චතුරාර්ය සත්‍ය පිළිගනී, අෂ්ටාංගික මාර්ගය පිළිගනී, කර්මය සහ පුනර්භවය පිළිගනී හා “නිර්වාණය” අවසාන අරමුණ ලෙස සැලකීමයි.
මහායානය සම්ප්‍රදාය ප්‍රචලිත රටවල් ලෙස චීනය, ජපානය, දකුණු කොරියාව, වියට්නාමය හා තායිවානය දැක්විය හැකිය. තවද මැලේසියාව හා සින්ගපුරුව යන රට වල් වලද මහායාන සම්ප්‍රදාය ප්‍රචලිතව ඇත. විශේෂයෙන් මැලේසියාව තුල සිටින බෞද්ද අනුගාමිකයන් සමානුපාතිකව ථෙරවාද, මහායාන හා වජ්රයාන යන සම්ප්‍රදායන් තුනම වෙන් වෙන් ආකාරයට ප්‍රචලිතව පවත්වාගෙන යයි.
මහායානය තුළ ඉගැන්වීම් කිහිපයක් දැකිය හැකිය. එනම්, සෙන් දහම ( Zen Buddhism). මෙය චීනයේ “චාන්” ලෙස ආරම්භ වූ අතර ජපානයේදී මෙය “සෙන්” ලෙස ප්‍රචලිත විය. මෙම සෙන් දහම තුල භාවනාව ට විශේෂ අවධානයක් යොමු කරයි. දෙවන ඉගැන්වීම “නිර්මල දේශ” (Pure Land Buddhism) ලෙස හදුන්වයි. මෙහිදී ” අමිතාභ ” නම් බුදුන් ප්‍රධාන කරගනී. මෙහිදී පුනර්භවය ගැන ඉගැන්වීමක් සිදු කරයි. ” සුඛාවතී ” නම් ශුද්ධ භුමියේ නැවත උපත ලබාගැනීම පිලිබදව ඉගැන්වීම සිදු කරයි. තුන්වන ඉගැන්වීම ලෙස ” නිචිරෙන් දහම ” (Nichiren Buddhism) දැක්විය හැකිය. මෙහි ඉගැන්වීම් ප්‍රධාන වශයෙන් පදනම් වන්නේ ලෝටස් සුත්‍ර (Lotus Sutra) මත වේ.
තෙරවාදයේදී අරහත්ත්වය සහ පුද්ගල විමුක්තියට වැඩි අවධානයක් ලැබෙන අතර, මහායානයේදී බෝධිසත්ව මාර්ගය සහ සියලු සත්ත්වයන්ගේ විමුක්තියට වැඩි අවධානයක් ලැබේ. කෙසේ වෙතත්, දෙපාර්ශවයම බුදුන් වහන්සේගේ මූලික ධර්මයන් වන චතුරාර්ය සත්‍ය, අෂ්ටාංගික මාර්ගය, කර්මය සහ පුනර්භවය පිළිගනී.
මහායාන බුද්දාගම විශ්ලේෂණය කිරීමේදී එය අනෙකුත් සම්ප්‍රධයන්ගෙන් වෙන් කොට හදුනා ගත හැකි ප්‍රධාන ලක්ෂණ කිහිපයක් වේ, එනම්, බෝධිසත්ව මාර්ගය. මේ බෝධිසත්ව මාර්ගය මහායාන සම්ප්‍රධයේ ඉතා වැදගත් සංකල්පයක් වන්නේය. මෙම සම්ප්‍රධාය පවසන්නේ බෝධිසත්වයෙක් තමන්ට නිර්වාණය ලබාගත හැකිවුවද, අනෙක් සත්වයන්ට උපකාර කිරීම සඳහාය එය ප්‍රමාද කරමින් කරුණාවෙන් ක්‍රියා කරයි යන්නයි. එනම් තමන් නිර්වාණය ලබාගෙන ඉන් පසු අනෙක් සත්වයන්ට එම මාර්ගය පෙන්වා දෙනවා වෙනුවට එය ලබාගැනීම ප්‍රමාද කරමින් අන් සත්වයන් වෙනුවෙන් පෙනී සිටි. මහායානයේ හදවත ලෙස සැලකෙන්නේ බෝධිසත්ව සංකල්පයයි. බෝධිසත්වයෙක් මෙවැනි ප්‍රාර්ථනාවක් කරයි: “සියලු සත්ත්වයන් දුකින් මිදී නිදහස ලබන තුරු මම ඔවුන්ට උපකාර කරමි.” මෙය මහා කරුණාව (මහා කරුණා) ලෙස හැඳින්වේ. මහායාන සම්ප්‍රධයේ එන බෝධිසත්වයන් වන්නේ අවලෝකිතේශ්වර ( කරුණාවේ සංකේතය), මන්ජුශ්‍රි (ප්‍රඥාවේ සංකේතය), ක්ෂිතිගර්භ , සමන්තභද්‍ර යන බෝධිසත්වයන් වෙයි. මෙම සියලුම බෝධිසත්ව චරිත සම්බන්ධව එයිතිහාසික සාක්ෂි කිසිවක් අපට දැනට ලැබී නැති ඉතිහාසන්යින් විසින් පිළිගෙන ඇත. නමුත් මේ බෝධිසත්වයන් ගේ රූප, පිළිම වල නටබුන්, කළා නිරිමාණ හමු වී ඇත. නමුත් ඉතිහාසයේ ජිවත් වුවාය යන්නට සාක්ෂි කිසිවක් ලැබී නැත.
දෙවන කාරණාව වන්නේ මහා කරුණාවයි. මහායාන සම්ප්‍රධායේදී සියලු සත්වයින් එසේත් නැත්නම් සියලු ජීවින් කෙරෙහි අසීමිත කරුණාව සහ මෛත්‍රිය වර්ධනය කිරීම ඔවුන්ගේ ප්‍රධාන අරමුනයි.
මහායාන බුද්ධ සම්ප්‍රධයේදී ගැනෙන තෙවන කරණය නම් ශුන්‍යතාව ලෙස පෙන්වා දියහැකිය. මෙම සංකල්පය මහායාන සම්ප්‍රධාය ගැන කතාකරන ” Nagarjuna ” විසින් ගැඹුරින් විවරණය කර ඇති අතර මහායාන දර්ශනයේ වඩාත් ගැඹුරු සංකල්පයක් වන්නේ ශුන්‍යතාවය යි. මෙහි අදහස කිසිවක් නැත යන්න නොවෙයි. මහායාන දර්ශනයට අනුව මෙයින් කියවෙන්නේ කිසිවක් ස්ථිර නොවේ, සියලු දේ හේතු හා ප්‍රත්‍යන් මත පවතී හා ස්වාධින, සදාකාලික ආත්මයක් හෝ වස්තුවක් නොමැත යන්නයි.
මෙම සම්ප්‍රධයේ එන සිවුවන කරණය වන්නේ මොවුන් විශ්වාස කරන ආකාරයට බුද්ධත්වය යන්න සියල්ලන්ටම ලබාගත හැකිය යන්නයි.
මහායාන බෞද්ධ දර්ශනය තුලඑන කරණා පුළුල්ව සාකච්ඡා කරන විට,මෙම සම්ප්‍රදාය හුදෙක් ආගමික සම්ප්‍රදායක් පමණක් නොව, ඉතා පුළුල් දාර්ශනික පද්ධතියක් බව අපට පැහැදිලිව දැකගතහැකි වෙයි. මෙය විශේෂයෙන්ම ප්‍රඥාව (Prajñā), කරුණාව (Karuṇā), ශූන්‍යතාව (Śūnyatā) සහ බෝධිචිත්තය (Bodhicitta) යන සංකල්ප මහායාන චින්තනයේ මුලික කරණා වේ.
බෝධිචිත්තය (Bodhicitta) යන්න මහායානයේ හදවත ලෙස පෙන්වාදිය හැකිය. මහායාන දර්ශනයට අනුව, බුද්ධත්වයට යන ගමන ආරම්භ වන්නේ බෝධිචිතය නම් මානසික අභිලාෂයෙන්ය. බෝධිචිත්තය යනු, “මම බුද්ධත්වය ලබාගන්නෙ මගේ පෞද්ගලික සතුට සඳහා නොව, සියලු සත්ත්වයන්ගේ හිතසුව සඳහාය.” මෙය සාමාන්‍ය කරුණාවකට වඩා ඉහළ තත්ත්වයකි. මෙහිදී තමන්ගේ විමුක්තිය සහ අන් අයගේ විමුක්තිය වෙන් වෙන් දෙයක් ලෙස නොසලකයි.
ශූන්‍යතාව (Śūnyatā) යනු මහායාන දර්ශනයේ කේන්ද්‍රය ලෙස පෙන්වාදිය හැකිය. මහායාන දර්ශනයේ ගැඹුරුම අදහස ලෙස සැලකෙන්නේ ශූන්‍යතාවයි. Nagarjuna විසින් පෙන්වාදී ඇති පරිදි, කිසිම දෙයකට ස්ථිර, ස්වාධීන ස්වභාවයක් නැත, සියලු දේ හේතු-ප්‍රත්‍ය මත ඇතිවේ, එබැවින් “ස්වභාවයෙන් පවතින වස්තුවක්” නැත යන්නයි. උදාහරණයක් ලෙස රථයක් ගැන සිතන්න,රෝද, අක්ෂ, ලී, යකඩ ආදී කොටස් ඉවත් කළ විට “රථය” ලෙස වෙනම දෙයක් සොයාගත නොහැක. “රථය” යනු කොටස් සමූහයකට දී ඇති නාමයක් පමණි. මේ ආකාරයට මහායානය පවසන්නේ අප විසින් “මම”, “මගේ”, “වස්තුව” ලෙස හඳුන්වන දේවල්ද එසේම සාපේක්ෂ සංකල්ප බවයි.
මධ්‍යම මාර්ගය (මධ්‍යමකය – Madhyamaka)
මහායාන දර්ශනයේ එන බලවත්ම දාර්ශනික සම්ප්‍රදායක් ලෙස මධ්‍යමකය පෙන්වාදිය හැකිය. මෙය පැවැත්මේ අන්ත දෙක ප්‍රතික්ෂේප කරයි.එනම්, සදාකාලිකවාදය (Eternalism) හා උච්ඡේදවාදය (Nihilism) වේ. මෙය Nagarjuna විසින් වර්ධනය කළ Madhyamaka පාසලේ දාර්ශනික ඉගැන්වීම් වේ.
මෙම මධ්‍යමකයේ අදහස වන්නේ, දේවල් සම්පූර්ණයෙන්ම නොපවතින බව නොවේ, දේවල් ස්ථිරව පවතින බවද නොවේ, ඒවා සාපේක්ෂව, හේතු ප්‍රත්‍ය මත පවතී යන්නයි. මෙය බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිත්‍යසමුත්පාද ඉගැන්වීමේ ගැඹුරු විස්තරයක් ලෙස මහායානිකයන් සලකයි.
ප්‍රඥාව සහ කරුණාව
ප්‍රඥාව සහ කරුණාව යනු මහායානය දර්ශනයට අනුව බුද්ධත්වය සඳහා අවශ්‍ය පියාපත් දෙක වැනිය යනුවෙන් ඉගැන්වීම් කරයි. මෙහිදී පැහැදිලි කරන්නේ, ප්‍රඥාව නැති කරුණාව අන්ධය ලෙසත් කරුණාව නැති ප්‍රඥාව ශීතලය ලෙසත්ය. එබැවින් බෝධිසත්වයා, සියලු දේ ශූන්‍ය බව දනී නමුත් එහෙත් සත්ත්වයන්ගේ දුක නොසලකා හරින්නේ නැත යන ලෙසයි. මෙය මහායාන දර්ශනයේ අතිශය සුන්දර සංකල්පයකි.
සත්‍ය දෙකේ ධර්මය (Two Truths Doctrine)
මහායාන දර්ශනයේ තවත් ඉගැන්වීමක් තමයි සත්‍ය දෙකේ ධර්මය. එනම් සම්ප්‍රදායික සත්‍ය සහ පරමාර්ථ සත්‍යයි. මෙහිදී සාම්ප්‍රදායික සත්‍ය යනුවෙන් විග්‍රහ කරන්නේ ලෝකය අප විසින් භාවිතා කරන සාමාන්‍ය සත්‍යයන් වේ. එනම්, මිනිසා, ගස, නිවාස යනාදී වශයෙනි. පරමාර්ථ සත්‍ය වශයෙන් විග්‍රහ කරන්නේ මේ සියල්ල සාපේක්ෂ සංකල්පයන් බවත් ස්ථිර ස්වභාවයක් නොමැත එබැවින් ඒවා ශුන්‍ය වන බවය. එම නිසා ඔවුන්ගේ ඉගැන්වීම් වලට අනුකුලව සම්ප්‍රදායක සත්‍යය ප්‍රතික්ෂේප නොකර පරමාර්ථ සත්‍යය අවබෝධ කරගත යුතු බවයි.
යෝගාචාර දර්ශනය
මහායානය තුළ තවත් වැදගත් ඉගැන්වීමක් වන්නේ යෝගාවචරය. මෙහි ප්‍රධාන අදහස වන්නේ, අප අත්විදින ලෝකය මනස සමග වෙන්කළ නොහැකි බවයි. එනම්, ලෝකය සහ මනස කියන්නේ දෙකක් නොවන බවයි. මෙහිදී ” චිත්ත මාත්‍ර ” (Mind Only ) යන සංකල්පය සාකච්ඡ කෙරේ. එය බටහිර දර්ශනයේ Idealist සම්ප්‍රදායන් සමග සසදනු හැකිවේ.
බුද්ධ ස්වභාවය (Tathāgatagarbha)
මහායානයේ එන එක ඉගැන්වීමක් සහ විශ්වාසයක් වන්නේ සියලු සත්වයන් තුල බුදුවරයෙක් සිටින බවත් සහ සියලු සත්වයන් තුල බුද්ධත්වයේ බීජය පවතින බවත්ය. මෙය මහායානයේ ඇතැම් සුත්‍ර වල දැකිය හැකිය. මෙය තථාගතගර්භ (Tathāgatagarbha) ලෙස හදුන්වයි. මෙහි මුලික අදහස වන්නේ, අප මුලික වශයෙන් දුෂිත නොවේ, අවිද්‍යාවෙන් වැසී ඇති ප්‍රඥාවක් අප තුළ පවතී හා ධර්ම පුහුණුවෙන් එය ප්‍රකාශ කළ හැකියයන්නයි.
මහායානයේ අවසාන ඉලක්කය
තෙරවාදයේදී අවධානය වැඩි වශයෙන් යොමු වන්නේ අරහත්ත්වය කෙරෙහිය වන අතර මහායානයේදී එය, සම්පූර්ණ බුද්ධත්වය, අනන්ත කරුණාව, අනන්ත ප්‍රඥාව, සියලු සත්ත්වයන්ගේ විමුක්තිය ලෙස යන ආකාරයට අරමුණු එකට බැදී ඇත.
නිර්වාණය සහ සංසාරය යනු දෙකක්ද?
තෙරවාදයේ මෙන්ම මහායානයද නිර්වාණය සහ සංසාරය පිළිගනී. නමුත් මහායානයේ සමහර ඉගැන්වීම් මෙම සම්බන්ධය ගැන ඉතා ගැඹුරු විග්‍රහයක් ඉදිරිපත් කරයි.
මෙය විශේෂයෙන් Nagarjuna ගේ මධ්‍යමක දර්ශනය අනුව ගත විට නිර්වාණය සහ සංසාරය යනු අවසාන සත්‍යයේ දී වෙනම ස්ථාන දෙකක් නොවන බව පෙන්වාදෙයි. Nagarjuna විසින් එය මෙසේ පැහැදිලිකර දෙයි. එනම්, අවිද්‍යාවෙන් බලන විට සංසාරය පෙනෙන අතර ප්‍රඥාවෙන් බලන විට එම යථාර්ථයම නිර්වාණය ලෙස අවබෝධ වේ.
මහායානයේ පෙන්වාදෙන බෝධිසත්ව පාරමිතා හය
මෙහිදී මහායාන දර්ශනයේදී පවසන්නේ බෝධිසත්වයා ප්‍රගුණ කරන එහෙමත් නැත්නම් වර්ධනය කරන ප්‍රධාන ගුණ, පාරමිතා ලෙස මහායාන දර්ශනයේදී හදුන්වයි.
1. දාන පාරමිතාව (පරිත්‍යාගය)
2. ශීල පාරමිතාව (සදාචාරය)
3. ක්ෂාන්ති පාරමිතාව (ඉවසීම)
4. වීර්ය පාරමිතාව (උත්සාහය)
5. ධ්‍යාන පාරමිතාව (භාවනාව)
6. ප්‍රඥා පාරමිතාව (ඥානය)
මෙයින් අවසාන පාරමිතාව වන ප්‍රඥාවට විශේෂ තැනක් ලැබේ. එනම්, ප්‍රඥාව නැති දානය සාමාන්‍ය යහපත් ක්‍රියාවක් පමණි. ප්‍රඥාව සමඟ කරන දානය බෝධිසත්ව ක්‍රියාවකි.
මේ ආකාරයට ගත් විට මහායාන දර්ශනයේ කේන්ද්‍රීය ප්‍රකාශයක් මෙසේ සාරාංශ කර ඉදිරිපත් කල හැකිය. එනම්, “ප්‍රඥාවෙන් ශූන්‍යතාව අවබෝධ කරගන්න; කරුණාවෙන් ලෝකයට සේවය කරන්න.” මෙය මහායාන බෞද්ධ චින්තනයේ අතිශය ගැඹුරු සහ බලවත් සාරය ලෙස හදුන්වාදිය හැකිය.
ප්‍රඥාපාරමිතා සුත්‍ර
මහායාන ඉතිහාසයේ ඉතාම බලවත් ග්‍රන්ථ සමූහයක් වන්නේ ප්‍රඥාපාරමිතා සුත්‍ර ය. මෙම සූත්‍රවල කියවෙන ප්‍රධාන පණිවිඩය වන්නේ, සියලු ධර්ම ශූන්‍යය බවය. මහායානයේ ඉතා ප්‍රසිද්ධ වූ Heart Sutra හි මෙසේ සඳහන් වේ, “රූපය ශූන්‍යතාවයයි; ශූන්‍යතාවය රූපයයි.”මෙහි පරම අදහස “ලෝකය නැත” යන්න නොව,ලෝකය ස්ථිර නොවේ, ලෝකය ස්වාධීන නොවේ, ලෝකය හේතු-ප්‍රත්‍ය මත පවතී යන්නයි.
කාලය පිළිබඳ මහායාන දර්ශනයේ අදහස
මහායානයේ ඇතැම් ග්‍රන්ථවල කාලය පිළිබඳ ඉතා ගැඹුරු විමර්ශන දක්නට ලැබේ. අපි සාමාන්‍යයෙන් සිතන්නේ අතීතය, වර්තමානය සහ අනාගතය යනුවෙන් කාලය කොටස් තුනකට බෙදා ඇති බවයි. නමුත්, මහායානයට අනුව අතීතය සිදුවී අවසන් එය දැන් නැත, අනාගතය තවමත් සිදුවී නැත එනම් තවමත් නැත හා වර්තමානය සිදුවෙමින් පවතින අතර එය ක්ෂණිකව වෙනස් වේ යන ලෙසයි. එබැවින් කාලය යන්න සාපේක්ෂ සංකල්පයක් බව මහායානයේ විග්‍රහ කරයි.මෙම කාරණය අද වර්තමානයේ දී නූතන දාර්ශනිකයන් සහ භෞතික විද්‍යාඥයන් පවා උනන්දුවෙන් අධ්‍යයනය කරන කරුණකි.
මහායාන දර්ශනයේ එන සෙන් (Zen) දර්ශනයේ ඉගැන්වීම්
Zen Buddhism මහායානයේ වඩාත් අද්විතීය ප්‍රකාශනයක් ලෙස සැලකේ. සෙන් ආචාර්යවරුන් බොහෝ විට පවසන්නේ, සත්‍යය වචනවලින් සම්පූර්ණයෙන් ප්‍රකාශ කළ නොහැකිය යනුවෙනි. මෙය බොහෝ විට ස්වභාවිකව සිදුවන දේවල් සහ ප්‍රයෝගිකව පවතින දේවල් තුල පවතී.එබැවින් සෙන් සම්ප්‍රදායේ, නිහඬ භාවනාව, සෘජු අත්දැකීම හා ක්ෂණික අවබෝධ යන්න ඉතා වැදගත් වේ. සෙන්හි ප්‍රසිද්ධ කියමනක් වන්නේ, “චන්ද්‍රයා පෙන්වන ඇඟිල්ල දෙස නොව, චන්ද්‍රයා දෙස බලන්න.” මේ කියමනේ අර්ථය වන්නේ, ධර්ම ග්‍රන්ථ, වචන සහ සංකල්ප යනු සත්‍යය වෙත යොමු කරන උපකරණ පමණි. ඒවාම අවසාන සත්‍යය නොවේ.
මහායානය සහ නූතන විද්‍යාව
20 වන සියවසේ සිට බොහෝ විද්වතුන් මහායාන දර්ශනය සහ නූතන විද්‍යාව අතර සමානතා පිළිබඳ සාකච්ඡා කර ඇත.
උදාහරණයක් ලෙස:
සියල්ල අන්තර්සම්බන්ධිත බවට ඇති අදහස.
ස්ථිර ස්වභාවයක් නොමැති බවට ඇති අදහස.
නිරීක්ෂකයා සහ නිරීක්ෂණය අතර සම්බන්ධය.
කෙසේ වෙතත්, විද්‍යාව සහ බුද්ධ දර්ශනය සමාන යැයි කීම නිවැරදි නොවේ. ඒවා වෙනස් අරමුණු සහ ක්‍රමවේදයන් භාවිත කරන ක්ෂේත්‍ර දෙකකි.
මහායාන දර්ශනය පිලිබඳ ශ්‍රී ලාංකික දෘෂ්ටිකෝණය
ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන වශයෙන් තෙරවාද බුද්ධාගම පවතින අතර, ඉතිහාසයේ ඇතැම් කාලවල මහායාන බලපෑම්ද දක්නට ලැබුණු බවට සාක්ෂි දැකගත හැකිවේ. විශේෂයෙන්ම අභයගිරි විහාරය ආශ්‍රිත භික්ෂූන් අතර මහායාන හා වෙනත් බෞද්ධ දර්ශන පිළිබඳ අධ්‍යයනයන් පැවති බවට පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික සාක්ෂි තිබේ.
ශ්‍රී ලංකාවේ අභයගිරි විහාරය හා මහායාන සම්බන්ධය
මහායාන බුද්ධාගම ගැන කතා කරන විට ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ වැදගත් ස්ථානයක් ගන්නේ අභයගිරි විහාරය වේ. අභයගිරි විහාරය ක්‍රි.පූ. 1 වන සියවසේදී වට්ටගාමිණී අභය රජු විසින් ඉදිකරන ලදී. පසුව එය ශ්‍රී ලංකාවේ විශාලතම භික්ෂු අධ්‍යාපන මධ්‍යස්ථානවලින් එකක් බවට පත් විය. අතීතයේදී ඉන්දියාව, චීනය සහ මධ්‍යම ආසියාව සමඟ පැවති සබඳතා හේතුවෙන් අභයගිරියට විවිධ බෞද්ධ සම්ප්‍රදායන්ගේ බලපෑම් පැමිණි බවට විද්වතුන්ගේ අදහස වේ. චීන සංචාරකයෙක් වන Faxian (ක්‍රි.ව. 5 වන සියවස) ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ අභයගිරි විහාරයේ භික්ෂූන් දහස් ගණනක් සිටි බව වාර්තා කර ඇත. ඔහුගේ සටහන්වලින් පෙනී යන්නේ අභයගිරිය ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් වූ බවයි.ඉන් පසුව සලකා බලන්නට සිදුවන්නේ ලංකාවේ අනෙක් ප්‍රධාන විහාරය ලෙස පිළිගැනුණු මහාවිහාරය හා අභයගිරිය අතර සම්බන්ධය හා මහායානය දර්ශනය ලංකාවට කොතෙක් දුරට බලපෑමක් සිදු වුනාද යන්නයි. ඉතිහාසය මගින් කියවෙන ආකාරයට පුරාණ ශ්‍රී ලංකාවේ ප්‍රධාන භික්ෂු නිකාය තුනක් පවතී බවට කියවෙයි.
1. මහා විහාර නිකාය – මහාවිහාරය
මෙහිදී මහා විහාර නිකාය හා මහාවිහාරය තුලට ක්‍රි. පූ. 3 වන සියවසයේදී ඉන්දියාවේ සිට මිහිදු තෙරුන් විසින් ථෙරවාදී බෞද්ද සම්ප්‍රදාය රැගෙන ආවේය. එකල මහාවිහාරය වඩාත් ගතානුගතික (orthodox) බෞද්ධ අදහස් අනුගමනය කළේය. මහාවිහාර සංඝයා විසින් පාලි ත්‍රිපිටකය ආරක්ෂා කිරීමෙහි විශාල කාර්යභාරයක් ඉටු කළේය. මහා විහාරයේ ප්‍රදානම අරමුණ වී ඇත්තේ ථෙරවාදයේ ශුද්ධ සම්ප්‍රදාය ආරක්ෂා කිරීම බව සදහන්වේ.
2. අභයගිරි විහාර නිකාය – අභයගිරි විහාරය
අභයගිරි විහාරය ක්‍රි.පූ. 1 වන සියවසේදී වට්ටගාමිණී අභය රජු විසින් ආරම්භ කරන ලදී. මේ විහාරයට අතීතයේදී ථෙරවාද, මහායාන හා වජ්රයන යන බුද්ධ සම්ප්‍රධයන්ගෙන් බලපෑම් ලැබුණු බවට ඉතිහාසයේ සදහන් වේ. මෙම විහාරය එකල චීනය, ඉන්දියාව සහ මධ්‍යම ආසියාව සමඟ දැනුම් හුවමාරු කළ විශාල අධ්‍යාපන මධ්‍යස්ථානයක් වූ බවට ඉතිහාසය කියවන විට දැකගැනීමට හැකිවේ. අභයගිරිය බොහෝ විට විවිධ බෞද්ධ සම්ප්‍රදායන්ට විවෘත වීම සිදුවී තිබේ.
3. ජේතවන විහාර නිකාය – ජේතවන විහාරය
මේ විහාරය ක්‍රි.ව. 3 වන සියවසේදී මහසෙන රජු විසින් ආරම්භ කල බවට ඉතිහාසයේ සදහන් වෙයි. මේ විහාරය මහා විහාරය සහ අභයගිරිය අතර මධ්‍යස්ථ ස්ථානයක් ගත් බවට ඉතිහාසඥයන් බොහෝ දෙනා පෙන්වා දෙති. මෙම ජේතවන විහාරයද මහායාන ග්‍රන්ථ හා දර්ශන සමඟ සම්බන්ධකම් පවත්වාගෙන ගියේය. ජේතවන විහාරය සැමවිටම විවිධ බෞද්ධ සම්ප්‍රදායන්ට විවෘත වීම සිදුවූ බවට ඉතිහාසයේ සදහන් වෙයි.
පසුකාලීනව මේ විහාර අතර පැවතුන නිකාය භේදය පලවන පරාක්‍රමබාහු රජු විසින් ක්‍රි.ව. 12 වන සියවසේදී සංඝ සංශෝධනයක් සිදුකර මෙම නිකාය භේද බොහෝ දුරට අවසන් කර සංඝයා එකම පරිපාලන ව්‍යුහයක් යටතට ගෙන ආ බව මහවශය සඳහන් කරයි.
මහායානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන සම්ප්‍රදාය නොවූයේ ඇයි?
ඉතිහාසය පුරාම ශ්‍රී ලංකාවේ රාජකීය අනුග්‍රහය වැඩි වශයෙන් ලැබුණේ මහාවිහාර සම්ප්‍රදායටයි. විශේෂයෙන් පලවන පරාක්‍රමභාහු රජුගේ යුගයේදී සංඝ ප්‍රතිසංවිධානයක් සිදු කරමින් මහාවිහාර සම්ප්‍රදාය ප්‍රමුඛ තත්ත්වයට පත් කිරීම නිසා එහි ප්‍රතිඵලයක් ලෙස අභයගිරි සහ ජේතවන සම්ප්‍රදායන් ක්‍රමයෙන් අඩු විය. එහි ප්‍රතිපලයක් වශයෙන් අද ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් පවතින්නේ තෙරවාද බුද්ධාගමයි.



