
බුදුන් වහන්සේට පෙර භාරතයේ ජීවත් වූ චාර්වාක, සුප්‍රකට පඬිවරයෙකි. දාර්ශණිකයෙකි. මනස හා පරලොව පිළිඹඳව දේශනා කල භාරතීය ආචාර්යවරුන් ගේ තර්ක බිඳ හෙලු අතිශූර තාර්කිකයෙකි. එතුමෝ විශාල ශිෂ්‍ය පිරිසකගේ ආචාර්යවරයා වූහ. ඔහුගේ දර්ශණය කුමක්දැයි පැහැදිලි කරන කිසිම ග්‍රන්ථයක් මෙකල සොයාගත නොහැක.
චාර්වාක යනු චාර්වාක දර්ශනයේ නිර්මාතෘවරයා නොවන බවටත් බෘහස්පති සෘෂිවරයාගේ ප්‍රකෘති -අචේතන වාදය චාර්වාක දර්ශනයට පදනම් වී ඇති බවටත් මතයක් ඇත.ආසියාවේ ආගම් හා දර්ශනය පිළිබඳ දුර්ලභ පොත් පත් ඇති මදුරාසියේ අද්යාර් පුස්තකාලය පවා චාර්වක ග්‍රන්ථ වලින් හිස්ය. බේබන් හවුසන් පුස්තකාලවල පැවති ග්‍රන්ථ, පුස්ථකාලවල පවත්නා ලාගර් හෙවත් ගබඩා කාඹරවල දමා වසා ඇත.එහෙයින් චාර්වාක දර්ශනය මෙය යැයි යමෙකුට දැන ගත හැක්කේ එම දර්ශනය දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කරන බ්‍රාහ්මණ බෞද්ධ හා ජෛන ග්‍රන්ථ මගින් පමණි. එම ග්‍රන්ථවල අනුව චාර්වාකවාදීහු මෙබඳු තර්ක ඉදිරිපත් කළහ.
1-ලෝකය මැවූ දෙවියෙකු නැත.
2-ආත්මයක් නැත.
3-නැවත ඉපදීමක් නැත.
4-පරලොවක් නැත.
5-කර්මයක් නැත.
6-හොදින් හෝ නරකින් කම්සැප විඳීම ජීවිතයේ ඒකායන පරමාර්ථයයි.
7-මරණය නිර්වානයයි.
8-මරණයෙන් සියල්ල කෙලවර වේ.
09-පොළොව , ජලය , ගින්න , වායුව යන සතර මහා භූතයෝ මූලද්‍රව්‍ය වේ.
10-ලෝකය සතර මහා භූතයන් ගෙන් සෑදුනකි.
11-බීජයක ඇති පිටිවලින් මදය , ශක්තිය හටගන්නා මෙන් භූතයන්ගේ එක්වීමෙන් සිත පහල වේ.
12-සිත ශරීරයෙන් වෙන් කල නොහැකිය.
බුදුන් වහන්සේ ජීවමාන කාලයේ චාර්වාක නමින් ගොඩනැගුන විශ්ව විද්‍යාලයක් මගධයෙහි තිබුණි. චාර්වාක යන වචනයේ අර්ථය මිහිරි පණිවිඩය යන්නයි. ඊට ලෝකයාත නමද භාවිතා කර ඇත. ලෝකයාත යන්නෙහි අර්ථය ප්‍රසිද්ධ යන්නයි. ලෝකයාත දර්ශනවාදීහු , බ්‍රාහ්මණ දර්ශනය නිෂේධ කළහ. බුදුන්ගේ කාලයේ විසූ සියලුම ශාස්තෘන් වහන්සේලා ලෝකයාත දර්ශනය බිඳ හෙලු අතර එම කාර්යයෙහි පුරෝගාමියා වුයේ ජෛන ආගමේ නිර්මාතෘ මහාවීරයි.ලෝකායත දර්ශනය ඉදිරිපත් කළ පිරිස අතරින් නිගණ්ඨ නාථ පුත්ත හැර ෂඩ් ශාස්තෘ අනෙක් පිරිස් හැඳින්විය හැකිය. බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ දර්ශනය මෙන්ම ලෝකයාත දර්ශනයද ප්‍රතික්ෂේප කරමින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය,ශූන්‍යත්වය ,ප්‍රතීත්‍යය සමුප්පාදය,ත්‍රිලක්ෂණය ,චතුරාර්‍යය සත්‍යය, දේශනා කල සේක.එය ලෝකායත දර්ශනය හා එකල බුදුන් කළ පැවති දෙසැටක් වූ සියලු මතවාද සුණු විසුනු කිරීමට සමත් විය.