30 C
Colombo
Sunday, May 28, 2023
spot_img

Subscribe

Date:

Share:

සුපෙම් හැගුම් ඔබෙන් එපා මිතුරුදම් විනා

Related Articles

  ජිවිතේදි අපිට කොයිතරම් අය හමුවෙනවාද.. ඒ විදියට හමුවන අය අතුරින් හිතට ලංවන්නේ කීයෙන් කී දෙනාද..?..එසේ ලංවන බැදීම් විවිධාකාරයි.. සමහර බැදීම් හිතවත්කම් විදියට ලංවෙද්දි තවත් අය ප්‍රේමයෙන් බැදෙනවා.. ඔය අතර ඇතැම් බැදීම් වලට නිශ්චිත නෑ කමක් දෙන්න බෑ...ඒ තුල ඇත්තේ හිතවත්කමක්ද එසේත් නැත්නම් ප්‍රේමයක්දැයි හදුනනු අසීරුයි..ඒ විදියේ බැදීමක අවසානය අහිමිවීම මිස හිමිවීම නොවෙයි..කදුල මිස සතුටක් එවන් බැදීමක උරුමයක් වන්නේ නෑ...එවන් විටෙක කදුළු පිස හිනැහෙන හෙටක් සොයා යනු හැර විකල්පයක් නෑමයි...එහෙත් උරුම කදුල තලු මරා රස විදිමින් අහිමිකම් තුලම ගැලී සිටින අය ලොව නැතිද..එවැන්නන්ට හිනැහෙන්නට ලෝකයම නැගී සිටිනවා.. ඒත් වෙන්ව යනු බැරිව හඩා වැටෙන උරුමකම් නැති සිත් දෙකක අහිංසක බව ඒ ඔච්චම් දෑස් කිසිදා දකින්නේ නෑ..එවන් අවිහිංසක සිත් දෙකක සිතැගි තැවරුනු අපූරු ගීතයක් තමයි අද මම ගෙන එන්නේ..කපිල කුමාර කාලිංගයන්ගේ පෑන් තුඩින් ලියැවුනු රෝහන වීරසිංහයන් සත්සර මුසු කල මේ ගීතය ගායනා කරන්නේ ප්‍රධීපා ධර්මදාස සහ පසුගියදා ජීවන ගීය නිමාකල  ලක්ෂ්මන් විජේ සේකර විසිනුයි..

      සුපෙම් හැගුම් ඔබෙන් එපා මිතුරුදම් විනා
      නෞකාවකි ඔබ ඈත සමුදුරේ
      මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

      ගීතයේ ප්‍රවිශ්ඨය ඇගේ ආයාචනයක්.. ඇය ඔහුට පවසනවා මිතු දමක් මිස පෙම් දමක් ගොඩ නගනු බැරි බව..ඔවුන් ඔවුනොවුනට දුරයි.. ඔහු ඈත සමුදුරේ ඇදෙන නෞකාවක් නම් ඇය වෙරල ඉම රැදි පහන් ටැඹක්..ඒ කදිම උපමාව දෙදෙනාගේ දුර මෙන්ම ලගද මනාවට පෙන්වා දෙනවා..ඝනදුරේ ඇදෙන නෞකාවට එලිය දෙන්නටයි පහන් ටැඹ සැරසී සිටින්නේ.. දුරින් දුර ඇදුනත් ඒ නෞකාව දකින්නට පහන් ටැඹට හැකියි.. ඒ වගේම තමයි නොසැලී නැගී සිටින පහන් ටැඹ ගවු ගනනක් දුර වුවත් එය නෞකාවට පෙනෙනවා.. ඒ එලිය නැවේ ගමනට අවශ්‍යයමයි.. එහෙත් නෟකාවකට හිමි නෑ පහන් ටැඹක් ලග නතර වන්නට.. ගමනට එලිය දෙන්නට උරුම වුවත් ඒ නෟකාව සදාකාලයකට ලග නවතාගන්නට පහන් ටැඹකට බෑ...පහන් ටැඹ අහිමි නෟකාවට උරුම ඒ පහන් ටැඹේ එලිය පමනයි..නෟකාව අහිමි පහන් ටැඹේ උරුමය දුර ඇදෙන නැවට එලිය දීම පමනයි..එය දෛවයේ කවරාකාර සරදමක්ද...?.. 

      හිමි නොවන හිමි කමකින් කවරනම් ඵලයක්ද..ඔහුගේ ප්‍රේමය අකැප නම් ඉන් මිදෙනු හැර විකල්පයක් ඇයට නෑ.. ඒ නිසයි ඇය පවසන්නේ “ සුපෙම් හැගුම් ඔබෙන් එපා...” කියා...එහෙත් ඔහුව ජීවිතයෙන් ගලවා විසිකර දමන්නට ඇයට බැහැ..“ මිතුරුදම් විනා..” යයි ඊලගට පවසන්නේත් ඇයමයි...එහි සැගව ඇත්තේ “..හිමි නැති වුවත් දුරින් හෝ සිත ලග රැදෙන්න..” කියන ආයාචනය....
      ප්‍රේමය අද්දර පිරිමි සිතක් සහ ගැහැනු සිතක් ගනුදෙනු කරන ආකාරය වෙනස්..බොහෝවිට සසල බව ලග වඩාත් සසල වන්නේ ඇයයි.. ඒ නිසාම  තීරන ගන්නට ඉක්මන් වන්නේත් ඇයමයි..මේ ලංවීම සදාකාලික එකක් නොවේ නම් වෙන්ව යමු කියා ඇය පවසද්දී ඔහු ඒ දෙස බලන්නේ උපේක්ෂා සහගතව.. ඔහුට ඇය සමුදුරේ යන නැවකට එලිය දෙන පහන් ටැඹක්...ඇගේ දුරස්වීම ජීවිතයට එක්කරන අදුර කෙතරම් නපුරුවනු ඇද්දැයි ඔහු හොදාකාරවම දන්නවා. එහෙත් ඊලග නිමේෂයේ ඔහු සියල්ල දෙස බලන්නේ යථාර්ථවාදීව..වෙන්ව යනු හැර විකල්පයක් නොවේ නම් කල යුත්තේ සමුගැන්මෙන් එහා ජීවිතයේ හුදකලා ගමනට සැරසීම බවයි ඔහු සිතන්නේ....

         තරු එලිය නුදුටු රාත්‍රී කාලයේ
         දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
         කිසිදින අප හමුනොවන බව දනිම්
         සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

         කිසිදින හමු නොවේ නම් සිහිනය මිය යා යුතුමයි..ඒත් ජීවිතය ජීවත් කල ඒ සිහිනයේ එළිය නිවීගිය පසු උදාවන අදුර අතරින් යා යුතු ගමන දුරයි. එකම ආලෝකය ඇයම වී නම් දැන් ඉතින් සද එලිය තබා තරු එලියක්වත් ඔහුට නෑ..අදුර දිගේ දුර ගමනකට සිත දැඩි කරගනු හැර විකල්පයක් දැන් නැහැ....

         දිවයුරු සැගවෙන මොහොතක තනි වී
         ඉකිබිදිනෙමි වියරු වී පාලුවෙන්

         ඇගේ ආධාත්මික විලාපය යලි මතුවනවා..දුරස්වන්නැයි පැවසුවත් ඇයට ඔහු ලගයි..ඔහුගේ දුරස්ව යාම දරනු අසීරු ඒ නිසාමයි..මුල් පද පෙලින් සුපෙම් හැගුම් නොමැති මුත් මිතුදමින් ලග රැදෙන්නැයි ඉල්ලා සිටියේ ඒ නිසාමයි..සයුරෙන් ඈත ගිය ඔහුව සිහි කරවන්නේ හුදකලා රැයයි..මෙය අප කොයි කාටත් පොදුයි.. දාහක් හැල හැප්පීම් අතර ගෙවී යන දිවා කාලය නිමාකර රෑ යහනට යද්දී සිත පිබිදෙන්නේ සැගවගත් සියලු මතක ස්මරනය කරමිනුයි.. හිරු නිවී යන සැදෑවේ ඇගේ දෑස මග බලන්නේ පුරුද්දට...සයුර දිගේ ඔහු දුර ගිහින්..ඒ පාළුව කෙතරම්දැයි ඇයට වැටහෙන්නේ දැන්...

          පිය දසුනකි තනි සිතක නොමැකෙනා
          නෙතු වෙහෙසමි යලි දකින තුරු දුරින්.

          ඔහු යලි ඒදැයි ඇගේ දෑස් විමසනවා..ආදරයෙන් බැදුන කෙනෙකුගේ රුව තරම් නෙතට ප්‍රිය උපදවන දසුනක් තවත් නෑ..දුරම දුරකින් හෝ ඒ රුවේ ඡායා මාත්‍රයක් දකින්නට හැකි වේ නම් රිදුම් දෙන හුදකලා ගිලන් සිතට ඒ කදිම ඔසුවක් වනු ඇති..සයුරින් එහා ඈත ගියේ  අහිමි සිතක්.. යලි ඔහු ඒද නොඒදැයි නිශ්චිත නෑ..එහෙත් හිත අයදින්නේ යලි එකම එක වරක් හෝ ඒ රුවම දකින්නටමයි..ගීතය පුරාවට කියැවුනේ ලංවන්නට වරම් නැති දෙදෙනෙකු ගැන.. නමුත් ඔවුන් සිත්වලින් කෙතරම් ලගද යන්නත් කදිමට ඉන් මතුවනවා...

                                 ආරියවංශ කුලතිලක.
         සුපෙම් හැගුම් ඔබෙන් එපා 
         මිතුරුදම් විනා
         නෞකාවකි ඔබ ඈත සමුදුරේ
         මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

         තරු එලිය නුදුටු රාත්‍රී කාලයේ
         දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
         කිසිදින අප හමුනොවන බව දනිම්
         සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

         දිවයුරු සැගවෙන මොහොතක තනිවී
         ඉකිබිදිනෙමි වියරු වී පාලුවෙන්
         පිය දසුනකි තනි සිතක නොමැකෙනා
         නෙතු වෙහෙසමි යලි දකින තුරු දුරින්


                         ලක්ෂ්මන් විජේසේකර සහ ප්‍රදීපා ධර්මදාස

                         ගීත රචනය         :-   කපිල කුමාර කාලිංක 
                         සංගීතය            :-    රෝහන වීරසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles