27 C
Colombo
Monday, September 25, 2023
spot_img

Subscribe

Date:

Share:

සැන්දෑ කලුවර ගලා හැලෙන විට

Related Articles

ජීවිතයට ආදරය අවශ්‍යයයි..පුංචිම කාලේ අම්ම තාත්තගෙ සහෝදර සහෝදරියන්ගේ ආදරයත් එක්ක ජීවිතේ කල ගනුදෙනුවට තාරුණ්‍යයත් සමග ප්‍රේමය එකතු වෙනවා..ඉන්පසු විවාහය දක්වා දුර යනවා..තමන්ගේම කුටුම්භයක් ගොඩ නගාගත් කල ඊට දරුමල්ලන් එක්වී අලුත්ම තැනකින් අලුත් විදියට ජීවිතේ ගලා යනවා..කුටුම්බය සොදුරු දෙව් ලොවක් හෝ අදුරු නිරයක් වන්නේ අන්‍යා්න්‍යය ආදරය මත..සියල්ල මුදලින් මනින ලොව විවාහයටත් වත් පොහොසත් කම සුදුසුකමක් යයි කීවත් යස ඉසුරු සැප සම්පත් මැදින් ගෙවී යන අදුරු විවාහ සංස්ථා සේම මිල මුදල් නැතත් ආදරයෙන් බැදී දිවි ගෙවන අඹු සැමියන්  අප දැක තිබෙනවා..පවුල තුල සැමියාට සේම බිරිදටත් වෙන් වූ ජීවන රටා පවතිනවා..තරගකාරී ජීවන රටාවත් එක්ක අද වෙද්දි දෙදෙනාටම හරි හරියට ආර්ථිකය සවිමත් කිරීමේ කටයුත්තට දායක වන්නට වුවත් අතීත ශ්‍රී ලාංකේය සමාජයේ පවුල තුල සැමියා රැකියාවට යද්දි නිවසේ රැදී එහි වූ සියළු කටයුතු සදහා දායක වුනේ බිරිද..එදා පැවති ඒ සරල ජීවන රටාව තුල උදයේ නිවසින් පිටව යන සැමියා දවසේ මෙහෙය නිමවා යලි එන හෝරාවේදි ඔහු එනතුරු බිරිද මග බලා සිටියා..ඒ සුන්දර ජීවිතය ගැන ලියැවුන අපූරු ගීතයක් තමයි මම අද තෝරා ගත්තේ..සුනිල් සරත් පෙරේරා රචනා කල මේ ගීතය සංගීතවත් කොට ගායනා කරන්නේ සනත් නන්දසිරි. 

    සැන්දෑ කළුවර ගලා හැලෙන විට
    සෙනෙහස දැල් වූ නිවස සොයා යමි
    ඔබේ සිනා සද මඩල මුවාවෙන්
    ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි

    ගීතයේ ප්‍රවිශ්ඨය තුලින්ම කුටුම්භයේ සුන්දරත්වය විද්‍යාමාන වනවා..සැන්දෑ කළුවරත් එක්ක දවස නිමාවන්නට ඔන්න මෙන්න තිබෙන හෝරාව පක්ෂීන් පවා සිය කැදලි සොයා යන හෝරාවයි..දවසේ කටයුතු නිමා කොට සියල්ලන්ම නිවෙස් කරා යන්නේ ඒ මොහොතේ..ඔහු යන්නේ “ සෙනෙහස දැල් වූ නිවස” සෙයාගෙනයි..ඒ පද යෙදුම තුලින්ම කියැවෙනවා ඔහුගේ නිවස ආදරය උතුරන තැනක් බව..

    ඔබේ සිනා සදමඩල මුවාවෙන්
    ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි...

    දෙවැනි පද පෙල මුල් පද පෙලෙහි අරුත වඩා තීව්‍ර කරනවා..ඔහු යන්නේ තමන් එනතුරු පෙර මග බලා සිටින සිය ආදරිය සිටින නිවහනට..ඇගේ සිනහව ඔහුට සද මඩලක්..සැදෑ කලුවරත් සමග අහසේ  අදුරු දුරු කරන්නේ පායන සද.. මේ පද පෙලින් බිරිද එම සදට උපමා කර ඇත්තේ ඔහුගේ ජීවිතයේ අදුර මකන්නිය ඇය බවයි..ජීවිතයේ දාහක් ප්‍රශ්න මැද විඩාපත් වූ සැමියන්ගේ විඩාව වෙහෙසක් බවට පත් කරන වදක බාරියන් නැතුවා නොවේ..එවන් නිවෙස් අදුරු අපායවල් බව අමුතුවෙන් කිව යුතු නැහැ..එහෙත් සැමියෙකුට සිරිකතක් වන බිරින්දෑවරුනුත් ලොව සිටිනවා..එවන් බිරියන් ඇති පවුල් සොදුරුයි..මෙම පද පෙලින් මතු කරවන්නේ ඒ සුන්දරත්වයේ බල මහිමය සහ ඊට බිරිදකගේ දායකත්වය කෙසේද යන කරුන..දවස පුරා ජීවන අරගලයට මුහුන දී හෙම්බත් වී නිවසට එන සැමියෙකුගේ වෙහෙස නිවාලන්නට ආදරණීය බිරිදකගේ සුන්දර හසරැල්ලක් පවා සෑහෙන බව යෙදීමෙන් මෙම පද පෙලින් මතු කරවන්නේ පවුල් සංස්ථාවේ ශක්තියට ප්‍රබලම සාධකය දෙදෙනාගේ ආදරය බවයි.

 කුරුළු කැදැල්ලක සැනසුම කැටිවුන
 අමා සුවය දෙන අතුපැල හෙවනේ..
 අසරන වූදා මට ඔබ පමනයි..
 මදකට හෝ සැනසුම ගෙන දෙන්නේ....

 මෙහිදී කුටුම්භය උපමා කර ඇත්තේ කුරුළු කැදැල්ලකට..කුරුල්ලන් කියන්නේ අහිංසක සුන්දර සත්ව කොට්ඨාෂයක්..කුරුළු කිරිලියන් සිය පැටවුන් සමග රැදි පුංචි කැදැල්ලක් කී සැනින් අප සිහියට නැගෙන්නේ සුන්දර තැනක්..මෙහි දී මෙම ගීතයට පාදක වූ තැනැත්තාට සිය නිවස කුරුළු කැදැල්ලක්..ඒ පද පෙලෙහිම සදහන් වනවා..“ අතු පැල..” කියා.. ඉන් හැගෙන්නේ මේ නිවහන යස ඉසුරු සැප සම්පත් පිරි ධන කුවේරයකුගේ එකක් නොවන බව..නමුත් අතු පැල යන යෙදුම යෙදුවත් දරිද්‍රතාවයේ ගැහැට පිලිබද මින් කියැවෙන්නේ නෑ..එම අතුපැල “අමා සුවය” පිරි තැනක් ලෙසයි ඔහු හදුන්වන්නේ..මැදුරක් වුවත් පැලක් වුවත් එය දෙව් විමනක් වන්නේ එහි විසිර ගිය ආදරය නිසා බව මෙම පද පෙල යලිත් වරක් තහවුරු කරනවා..ඒ වගේම බිරිදක් සිය සැමියාට ශක්තියක් අත්වැලක් වන්නේ කෙසේද යන්නත් මින් මතුවනවා..

අසරන වූ දා මට ඔබ පමනයි
මදකට හෝ සැනසුම ගෙන දෙන්නේ....

අතුපැලක දිවි ගෙවන ඔහුට දාහක් ප්‍රශ්න ඇති..ඒ ප්‍රශ්න ඔහුව අසරන කරනවා ඇති..යස ඉසුරට ලොල් බිරිදක් නම් එවන් විටක ඔහුව තව තවත් අසරන කරනවාමයි..එහෙත් මහ පොලවේ දිවි ගෙවන අල්පේජ්ජ දිවියකට සැරසුනු බිරිදක් මෙවන් ප්‍රශ්න හමුවේ කිසිසේත්ම සිය සැමියාව අසරන කරන්නේ නැහැ..ලද දෙයින් සතුටුවන හැටි ඇය ඔහුටත් කියා දෙනවා..ඇය ඔහුට සැනසුමක් වන ආකාරයයි මෙම පද පෙලින් මතුවන්නේ..

පිබිදෙන ලොව හා තරග කරන්නට
හෙට අලුයම යලි පිටවිය යුතු වේ...

ආර්ථික තරගය සිතක සැනසුම වනසාලන අන්දමයි මින් මතු වෙන්නේ.. සැබැවින්ම ජීවිතය යනු තරගයක්මයි..කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපට ඒ තරගයට වැදී හැල්මේ දිව යන්නට සිදු වී තිබෙනවා..එහි ඇති නීරස බව මෙම පද පෙලින් මතුවනවා..

ඔබෙන් දුරුව වෙසෙනා හැම මොහොතේ..
ඔබේ හදට වැඩියෙන් තව ලංවේ...

ඇගෙන් දුරස්ව ගෙවෙන විඩාබර දහවලත් ඔහුගේ සිතට සැනසුමක් එක් කරන්නේ ඇගේ ප්‍රේමයමයි..දෙදෙනෙකුගේ ප්‍රේමය රැදී ඇත්තේ ඔවුන්ගේ සිත් වල..ලංව සිටියත් දුරස්ව සිටියත් එහි මදකුදු අඩුවක් වන්නේ නෑ..ආදරයෙන් බැදි හිතක් තුල ඒ ආදරය වඩාත් මෝරන්නේ..උනුන්ගේ වටිනාකම වැඩි වැඩියෙන් දැනෙන්නේ ලංව සිටින විට නොවේ දුරස්ව සිටින විට..මෙම තත්වය පෙම්වතුන්ට වඩාත් තදින් බල පාන්නේ දෙදෙනා තවම එක වහලක් යට දිවිය අරඹා නැති නිසා..විවාහයත් සමග ප්‍රේමයේ යම් අඩුවක් වන බව ඇතැමුන් පවසන්නේ එකට දිවි ගෙවන්නට පටන් ගත් පසුව උනුන්ගේ වටිනාකම අඩුවන බවට ඇතැමුන් පවසන නිසා..නිතර දකින කුකුලාගේ කරමලය සුදු බවට උපමා ගොඩනැගී ඇත්තේ මේ නිසා..එහෙත් සැබෑම සැබෑ ප්‍රේමය එසේ වෙනස්වේදැයි සිතිය යුත්තක්.. සැබෑ ප්‍රේමය දහසක් ගැටළු මැද වුව වඩා තීව්‍ර වනු විනා බිදී යන්නක් නොවේ..සැබෑ ප්‍රේමයෙන් බැදි පෙම් යුවලක් එක වහලක් යටට වූ පසු..සැබෑ ලොව වූ දාහක් දුක් ගැහැට ජීවිතයට එබෙන්නට පටන් ගත් පසු වුව ඒ ප්‍රේමය මදකුදු පළුදුව නොයන බව මේ ගීතයේ සමස්ත අරුත තුල හැංගී පවතිනවා.. 

                              ආරියවංශ කුලතිලක

         සැන්දෑ කලුවර ගලා හැලෙන විට 
         සෙනෙහස දැල් වූ නිවස සොයා එමි 
         ඔබේ සිනා සදමඩල මුවාවෙන්  
         ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි


         කුරුළු කැදැල්ලක සැනසුම කැටිවුන 
         අමාසුවය දෙන අතුපැල හෙවනේ  
         අසරන වූදා මට ඔය පමනයි
         මදකට හෝ සැනසුම ගෙන දෙන්නේ

         පිබිදෙන ලොව හා තරග කරන්නට
         හෙට අලුයම යලි පිටවීය යුතු වේ
         ඔබෙන් දුරුව සිටිනා හැම මොහොතේ
         ඔබේ හදට වැඩියෙන් තව ලංවේ



                         සනත් නන්දසිරි 

         ගීත රචනය                    :-   සුනිල් සරත් පෙරේරා 
         සංගීතය                       :-    සනත් නන්දසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles