



සමනල පියාපතක් වගේ හුලගේ පාවෙලා යන පුංචි සන්දියට බරක් දැනෙන්නේ තාරුණ්‍යයත් එක්ක..ඊට පස්සේ ජීවිතය ගැන ගැඹුරින් බලන්න පටන් ගන්නවා..ජීවිතේ දිහා අළුත් විදියට බලන්න හුරු කරන්නේ වටා පිටාව..අවට ලෝකයෙන් ලැබෙන දේවල් එක්ක තමයි අපි ඊට පස්සේ අපේ ජීවිතය හැඩ ගස්වා ගන්නේ..මෙහිදී පිරිමියෙකුට වඩා ගැහැණියකට සිතන්න දේවල් තියෙනවා.. සමාජය ඇය වටා ඉදි කරන සීමා තහංචි වැඩි හිංදා තාරුණ්‍යයට එලැඹීම ඇගේ ජීවිතය තුල ඇති කරන විපර්යාසය ප්‍රබලයි..පිරිමියකු ළමා වියෙන් තාරුණ්‍යයට එලැඹීම පියවරින් පියවර සිදුවුවත් ගැහැණියකට එය ඊට වඩා වෙනස් අත්දැකීමක්.. පුංචි සමනලියක් වගේ දුව පැන ගිය ජීවිතය එක්තරා තැනකදි අදුරු කුටියක සිර කරලා දින කිහිපයකට පසුව මල්වර නැකතින් ඇය දොරට වඩින්නේ අළුත්ම කෙනෙක් විදියට.. එවිට ලෝකය ඇය දිහා වෙනස් විදියට බලනවා වගේම ඇයත් තමන් දිහා බලන්නේ නැවුම් ඇහැකින්...ඒ වෙනසත් එක්ක පිරිමින් වෙතින් දුරස් වන්නට ඇයට සමාජ තහංචි එල්ල වනවා..වර්තමානයට වඩා අතීතයට මෙය බලපෑවා..නගරයටත් වඩා ගමට තදින්ම බලපෑවා.. එදා වූ සොදුරු ගමක වෙල් එලි බඩවැටි අතර දුව පනිමින් ගිය යාලු මිතුරු කැල අතර සිටි පුංචි මිතුරියක් මල්වර මංගල්‍යයත් සමග අලුත් ජීවිතයකට එක්වීම ඇලේ ලබැදියෙකුට දැනෙන ආකාරය ගැන කියැවෙන අපූරු ගීතයක් තමයි අද මම තෝරාගත්තේ.. ඒ වනවිට ඔහුගේ ගැටවර සිතේත් ඈ ගැන කුමක්දෝ නුහුරු හැගීමක් ලියලමින් පවතිනවා..එය මිතුදමට එහා ගිය එකක්..සොබා දමේ නියමයන් මත පිරිමි සිතක් සහ ගැහැනු සිතක් යෞවනෝදයට එලැඹීම සේම අපේ සමාජ සංකෘතික පද්දතිය තුල ඊට බලපාන සීමා තහංචි ගැනත් කතා කරන මෙම ගීතය එදා වගේම අදත් ජනප්‍රිය ගීතයක්.. කුලරත්න ආරියවංශ රචනා කල මෙම ගීතය සංගීතවත් කොට ගායනා කරන්නේ වික්ටර් රත්නායක විසිනුයි...
සිනා දොළක් වන් සිනාමලී
මල්වර නැකතින් දොරට වඩින සුදු සිනාමලී
බලා උනිමි එනතුරු පෙර වාගේ
ඇයි පිට පාරෙම අද
පිරිමි සිතක් නවතාලන්නට ගැහැණියකගේ සුන්දර හසරැල්ලකට පුලුවනි.. ජීවිතය සැහැල්ලු සමනල තටුවක් සේ දකින්නියගෙ මුවග සිනාවට තෝතැන්නක්.. ඇයත් එවැන්නියක්..සිනාමලී ලෙස ඔහු ඇයව හදුන්වා දීම තුලින්ම ඇගේ සුන්දර සිනහව ගැන කියැවෙනවා..ඊට සුදු සිනාමලී යන උපමාරූපකය යෙදීමෙන් ඇගේ සුන්දරත්වය වඩා හොදින් මතුවනවා..ඔහුට ඇය බොහෝ ලගයි..ගෙවී ගිය දින කීපයේ ඇය ලෝකයෙන් දුරස් වී අදුරු කුටියක ගෙවද්දි ඒ අදුර ඔහුටත් දැනුනා.. මල්වර නැකතින් ඇය වඩින තුරු ඔහු බලා සිටියා..එහෙත් අද ඇය වෙනස්..
පෙරට වඩා අද හැඩකාරයි
ආඩම්බර පාටයි
නාදුනනා ලෙස කෝල බැළුම් නෙත
මල්වර වීමත් සමග හිරිමල් යුවතියක තුල මැවෙන්නේ නැවුම් ආකර්ෂනයක්.. එය සෑම සියලු තරුණියන්ටම පොදුයි..එය දැනෙන්නේ පිරිමි නෙතට..වඩාත් දැනෙන්නේ ඇයට ලැදි පිරිමි සිතකට..ස්වාභාව ධර්මය ඒ ආකර්ෂනය දායාදයක් ලෙස ගෙන එද්දි නැවුම් ජීවිතය ඇගේ සිතට පුංචි ආඩම්බරයක් මවනවා..සමාජ වටාපිටාව යම් සංයමයක් එක් කරනවා...මේ සියළු කරුණු ඉහත පද පේලි අතර රැදී පවතිනවා..
නොදැක හිටිය ටික දවසට වෙනස් වුනාදෝ
ඇයි කතා නැතුව අද
පිරිමියකු ළමා වියෙන් තාරුණ්‍යය කරා එලැඹෙන්නේ පියවරින් පියවර බව මා මුලින් සදහන් කලා..ඒ නිසාම යුවතියකගේ ජීවිතය සැනෙන් විපර්යාසයට බදුන් වීම ඔහුට දරන්නට අසීරුයි...වටා පිටාවේ වූ සමාජ තහංචි දරන්නට තරම් මේ හිරිමල් සිත් බර නැහැ..ඔහුට ඇගේ වෙනස විමතියක්..
වදුළු පුරා දං හිඹුටු සොයා
කෙලි දෙලෙන් නිදැල්ලේ
දුව පැන හිනැහුන පුංචි කිරිල්ලිය
හිතට ලං වූ අයකු තාවකාලිකව හෝ සදා කාලිකව සමුගත්තත් හිත රැදි රුව වෙනස් කරන්නට කාලයට බෑ..හිතේ ඉන්නේ අවසන් වරට දුටු රුවමයි..දශක ගනනාවකට පසු හමුවන ලබැදි මිතුරකු හෝ මිතුරියක් නෙත් පුදුම කරවන්නේ අපේ සිතේ නිධන්ගතව පවතින්නේ අවසන් වරට දුටු රුව වන නිසා..ඔහු දුටුවේ වදුලු අතර කෙලිදෙලෙන් සරන ලදැරියක්..හැමදාමත් ඔහුට එය එසේමයි..
නුඹේ ලපටි සිත දෙගුරුන් අවුල් කලාදෝ....
ඇයි සිනා නැතුව අද......
ස්වාභාව ධර්මය සහ සංස්කෘතික සීමා ඇගේ ජීවිතයේ ඇතිකල විපර්යාසය දරන්නට ඔහුට අසීරුයි..සමාජ තහංචි විසින් ඇති කල වෙනස ඔහුට වරදක්. පෙරදා ඈ තුල දුටු සුන්දර කෙලිලොල් බවම දකින්නටයි ඔහු අපේක්ෂා කරන්නේ.. ඔහුට දැනෙන්නේ ඇගේ ලපටි සිත දෙගුරුන් අවුල් කල බව…
ඇගෙන් දුරස්ව ගෙවුනු දින තුල ඔහුගේ ගැටවර සිතට ඇගේ වටිනාකම වඩා තදින් දැනුනු අන්දම.. නැවුම් සුවදක් රැගෙන වඩින ඈ දකින්නට ඔහු පිරූ පාරමී.. යටි පෙලක් ලෙස තවත් අපූරු අදහසක් ගීයට එක් කරනවා...ළමා වියේ ලංවූ මිතුරු සිත් තුලට තාරුණ්‍යයත් සමග පෙම් හැගුම් මෝදු වීම ස්වාභාව ධර්මයේ නියමයක්..ඒ යථාර්ථය තමයි යටි පෙලක් සේ පද අතර හැංගී තියෙන්නේ..
සිනා දොළක් වන් සිනාමලී
මල්වර නැකතින් දොරට වඩින සුදු සිනාමලී
බලා උනිමි එනතුරු පෙර වාගේ
ඇයි පිට පාරෙම අද
පෙරට වඩා අද හැඩකාරයි
ආඩම්බර පාටයි
නාදුනනා ලෙස කෝල බැළුම් නෙත
නොදැක හිටිය ටික දවසට
වෙනස් උනාදෝ
ඇයි සිනා නැතුව අද
වදුලු පුරා දං හිඹුටු සොයා
කෙලි දෙලෙන් නිදැල්ලේ
දුව පැන හිනැහුන පුංචි කිරිල්ලිය
නුඹේ ලපටි සිත දෙගුරුන්
අවුල් කලාදෝ
ඇයි කතා නැතුව අද
වික්ටර් රත්නායක
ගීත රචනය :- කුලරත්න ආරියවංශ
සංගීතය :- වික්ටර් රත්නායක