
ගෙවී ගිය වසර දෙස අවධානය යොමු කිරීමේදී ගෝලීය වශයෙන් බලපෑම් ඇතිකළ කොවිඩ්-19 වසංගතය, දේශගුණික අර්බුදය සහ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම වැනි බාධා කිරීම් ලොව පුරා ආහාර සැපයුම කෙරෙහි බලපෑමක් ඇතිකර තිබේ. මීට සමගාමීව ශ්‍රී ලංකවේ ආහාර අනාරක්ෂිතතාවය බොහෝ දුරට රටේ වත්මන් ආර්ථික අර්බුදයේ ප්‍රථිඵලයක් ලෙස හඳුනාගත හැකි අතර ආර්ථික අර්බුදය ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිතවලට සහ ඔවුන්ගේ දෛනික ජීවනෝපායන්ට දිගින් දිගටම බලපා ඇත. තවදුරටත් රාජ්‍ය වශයෙන් ලබා ගත් ණය සම්බන්ධ ගැටලු ආර්ථිකයේ සෑම අංශයකටම හානි පැමිණවීම හරහා මෙම තත්වයන් තවත් නරක අතට හැරී ඇත.
වර්ෂ 1948 දී යටත් විජිත පාලනයෙන් ශ්‍රි ලංකාව සම්පූර්ණයෙන්ම නිදහස ලබා ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීමෙන් පසුව මෙතෙක් මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයකට මේ වන විට මුහුණපාමින් ඇත. එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාලීමට රටට ඇති හැකියාව පහත හෙලමින්, වසර ගණනාවක සංවර්ධන ප්‍රගතීන්ට තර්ජනයක් වෙමින් ලොව පුරා ඇති වූ අනුයාත කොවිඩ්-19 රැලි මේ සඳහා ප්‍රධාන හේතුවක් විය. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සංගණනයන්ට අනුව, 2022 වසරේ තුන්වන කාර්තුවේදී ආර්ථිකය සියයට 11.8කින් පහළ ගිය අතර එය ශ්‍රි ලංකා ඉතිහාසයේ දෙවැනි වරට ඇති වූ අයහපත්ම කාර්තුමය ආර්තික අවපාතයයි.
දේශීය ජනතවගේ දෛනික ජීවිතයට අවශ්‍ය මූලික අවශ්‍යතා වන ආහාර, ඉන්ධන, ගෑස් හා අනෙකුත් අවශ්‍යතා සඳහා ආනයන බිල්පත් ගෙවීමට තවදුරටත් මෙරට රජයට නොහැකි වන අතර විශාල විදේශීය ණය මුදල් ආපසු ගෙවීමද හුදෙක් සිහිනයක්ම පමණක් වී ඇත. බොහෝ අහාර ද්‍රව්‍ය සඳහා මිල ගණන් 2021 වසරේ සිව්වන කාර්තුවේ සිට ක්‍රමයෙන් ඉහළ යමින් පැවති අතර 2022 අගෝස්තු මාසයේදී මෙතෙක් වාර්තගත ඉහළම අගයකට ළඟා වෙමින්, වසරින් වසර ආහාර උද්ධමනය සියයට 94 කට ආසන්න ප්‍රමාණයකින් වැඩිවෙමින් ගෘහස්ථ මිලදී ගැනීමේ හැකියාව තවදුරටත් සීමා කරයි. එලෙසම ලෝක බැංකු වාර්තා වලට අනුව ශ්‍රී ලංකාව ඉහළම ආහාර මිල උද්ධමනය ඇති රටවල් දහය අතර පස්වැනි ස්ථානයට පත්ව ඇත. ආහාර උද්ධමනය ආහාර අනාරක්ෂිතභාවයට සැලකිය යුතු දායකත්වයක් සපයයි.
2009 වසරේදී ලංකාවේ නිවෙස්වලින් 88%කට ප්‍රමණවත් තරම් ආහාර තිබුණි. 2013 වසරේදී ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ආහාර සුරක්ෂිතතා අගය 48.6 (ගෝලීය වශයෙන් 60 වැනි ස්ථානය) ලබා ඇති අතර දකුණු ආසියාවේ වඩාත්ම ආහාර සුරක්ෂිත රටවල් අතරින් එකක් බවට පත්ව තිබුණි. නමුත් ශ්‍රී ලංකවේ නිවෙස් වලින් දැනට ආහාර සුරක්ෂිත වන්නේ 10%ක් පමණි. ශ්‍රී ලංකාවේ සිදුකල, ලෝක ආහාර වැඩසටහනේ නවතම තක්සේරු වලට අනුව නිවෙස්වලින් 86%ක් පෝෂණ ගුණයෙන් අඩු ආහාර මිලදී ගැනීමද, ආහාර අඩුවෙන් පරිබෝජනයට ගැනීම හෝ සමහර අවස්ථා වලදී අහාර වේල් සම්පූර්ණයෙන්ම මඟ හැරීමද සිදු කරති. ඔවුනට උසස් තත්වයේ, පෝෂ්‍යදායී ආහාර ලබා ගත නොහැකි නිසා නිවෙස්වැසියන් ලාභදායී සහ සෞඛ්‍යයට අහිතකර විකල්ප වෙත යොමු වීමට වැඩි ඉඩ කඩක් ද පවතී (පවුල් වලින් 78%ක් පමණ).දේශීය කෘෂිකාර්මික නිෂ්පාදනය අඩු වීම, විදේශ විනිමය සංචිත හිඟකම සහ මුදලේ අගය අඩුවීමේ ප්‍රථිපලයක් ලෙස ආහාර හිඟවීම සිදුවන අතර ජීවන වියදම ඉහළ යාම ජනතාවට සෞඛ්‍ය සම්පන්න සහ දැරිය හැකි ආහාර ලබා ගැනීමද සීමා කරයි.
ලෝක ආහාර වැඩසටනෙහි ඇස්තමේන්තුවලට අනුව පුද්ගලයින් මිලියන 6.3ක් එනම් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 30%කට වඩා වැඩි පිරිසක් ආහාර අනාරක්ෂිතතාවයට ගොදුරු වී සිටින අතර ඔවුනට මානූෂීය ආධාරවල අවශ්‍යතාව පවතී. මෙම පිරිසෙන් පුද්ගලයන් මිලියන 5.3ක් පමණ ආහාර වේල් අඩු කීරීම හෝ මඟ හැරීම සිදු කරන අතර අවම වශයෙන් 65,600ක් දැඩි ආහාර අනාරක්ෂිතාවයට ගොදුරුව ඇත. රට තුල පවතින අර්බුදය උග්‍ර වීමත් සමඟ ඉහළ උද්ධමනය, ජීවනෝපායන් අහිමි වීම, මිලදී ගැනීමේ හැකියාව දුර්වල වීම සහ ආහාර, බෙහෙත්, ගෑස් සහ ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල උග්‍ර හිඟය හේතුවෙන් මෙම තත්වය වඩාත් අයහපත් අතට හරවයි. තවද රජය විසින් පනවන ලද ආනයන සීමා කිරීම් හේතුවෙන් ඇතැම් ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇතීවී ඇති අතර මෙම සැපයුම් හිඟය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමටද හේතු වී ඇත. එසේම පවතින මූල්‍යමය බාධාවන් හේතුවෙන් මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන්ට ශක්ති වර්ධන ආහාර ලබාදීම වැනි පොෂණ වැඩසටහන් රජය විසින් අඩු කීරීම හේතුවෙන් තත්වය තවත් නරක අතට හැරී ඇත.

බත්, එළවළු වැනි ප්‍රධාන ආහාර ද්‍රව්‍යවල මිල දෙගුණයකටත් වඩා වැඩි වී තිබේ. ඉවුම් පිහුම් සඳහා භාවිතා කරන ගෑස් මිල අධික මෙන්ම හිඟ වන අතර බොහෝ දෙනෙකුට ගෑස් ගිනි ගැනීම් හේතුවෙන් මුලුතැන්ගෙයි ගෑස් තබා ගැනීමට පවා අපහසු තත්වයකට පත්ව තිබුණි. ලෝක ආහාර වැඩසටහනට අනුව ආහාර මිල ඉහළ යාම මිනිසුන්ට ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම වඩාත් දුෂ්කර කරයි. තවද ආර්ථික අර්බුදයේ ප්‍රථිඵලයක් ලෙස බොහොමයක් ජනතාවගේ ආදායම් පහත වැටී ඇති අතර ආසන්න වශයෙන් සෑම නිවාස පහකින් දෙකකම පුද්ගලයන්ගේ ආදායම අඩකින් කපා හැර ඇති බව වාර්තා කරයි.
ආහාර අනාරක්ෂිතතාවයට මුහුණ දීම සඳහා, මිලියන පහක් පමණ ජනතාව හදිසි ජීවනෝපාය ක්‍රමෝපායන් භාවිතා කරන අතර ඒවා ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් සහ ආහාර සුරක්ෂිතතාව සඳහා ඔවුන්ගේ, මධ්‍යම සහ දිගු කාලීන හැකියාව කෙරෙහි බලපෑමක් ඇති කිරීමට ඉඩ ඇත. ලෝක ආහාර වැඩසටහනෙහි සමීක්ෂණයකට අනුව ශ්‍රී ලාංකික නිවෙස්වලින් 79%ක් පමණ ප්‍රමාණයක් වත්මන් අර්බුදයට මුහුණ දීම සඳහා ආහාර පදනම් කරගත් ක්‍රමෝපායන් භාවිතා කරයි. මෙය පරිභෝජනය කරන ආහාරවල ගුණාත්මකභාවය සහ ප්‍රමාණය යන දෙකටම බලපායි.
ඒකාබද්ධ FAO/WFP භෝග සහ ආහාර සුරක්ෂිතතා තක්සේරු මෙහෙයුමේ (CFSAM) සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ, අඛණ්ඩව කන්න දෙකක දුර්වල අස්වැන්නක් ලැබීම හේතුවෙන් නිෂ්පාදනය 50%කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටීමක් සිදුව ඇති අතර විදේශ විනිමය සීමාවන් හේතුවෙන් ආහාර ධාන්‍ය ආනයනයද අඩු කර ඇත. ශ්‍රී ලංකාව භෝග වගාව සහ භෝග සැකසීමේ හැකියාව ඇති සාරවත් ඝර්ම කලාපීය භූමියකට හිමිකම් කිවූවද ඵලදායීතාව සහ ලාභදායිත්වය වැනි ගැටලු කෘෂිකාර්මික අංශයේ වර්ධනය සීමා කරයි. එලෙසම ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 80%ක් ජලය හිඟ වියළි සහ අතරමැදි කලාපවල පවතී. ගොවීන්, තම ගොවිබිම් වලට සහ කුඹුරුවලට අඛණ්ඩව ජලය සැපයීම සඳහා ජල පොම්ප ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් තරම් ඉන්ධන ලබා ගැනීමට නොමැතිකම නිසාවෙන්ද පීඩාවට පත්ව සිටී.
එමෙන්ම එළවලු ගොවීන්ට ඉන්ධන සඳහා විශේෂ ඉන්ධන කෝටවක් නොමැති අතර වී ගොවීන්ට අස්වැන්න නෙලීමේදී සීමිත ඉන්ධන කෝටාවක් ලබා දී ඇති නමුත් එය ඔවුන්ගේ අස්වැන්න ප්‍රවාහනය කිරීමට තරම්වත් ප්‍රමාණවත් නොවේ. තවද CFSAM විසින් නිකුත් කරන ලද ඒකා බද්ධ ප්‍රකාශයකට අනුව ප්‍රධාන ආහාරය වන වී සහල් නිෂ්පාදනය 2022 දී මෙට්‍රික් ටොන් මිලියන තුනක් වනු ඇතැයි පුරෝකථනය කර ඇත. එය 2017 නියඟයෙන් බලපෑමකට ලක් වූ අස්වැන්නෙන් පසු අඩුම මට්ටම වන අතර මෙලෙස අස්වැන්න අඩුවීමට මූලික වශයෙන් රසායනික පොහොර හිඟයද හේතු වී ඇත.
රජය විසින් මූලික විකල්ප ක්‍රමයක් හෝ නොමැතිව රසායනික පොහොර තහනම් කිරීම අස්වැන්න අඩුවීමට සහ අස්වැන්නේ මිල වැඩිවීමට ප්‍රධාන හේතුවක් විය. නමුත් පසුව තහනම ඉවත් කර ඇතත් ආහාර පද්ධතියට ඇති බලපෑම තවමත් එලෙසම පවතී. මෙලෙස දේශීය අස්වැන්නේ තියුණු පහත වැටීම සහල් වැනි ප්‍රධාන ද්‍රව්‍ය ඇතුළුව කලින් දේශීයව නිෂ්පාදනය කරන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට වැඩි මුදලක් වැය කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයින්ට සිදුව ඇත. විදේශ සංචිත හිඟ වූ අවස්ථාවක මෙම පියවර ප්‍රථිඵලදායකද යන වග දෙවරක් සිතිය යුතුවූ කරුණකි.
ශ්‍රී ලංකාවේ ළමුන් සහ කාන්තාවන් සඳහා අර්බුදයේ බලපෑම
රටේ පවතින වත්මන් ඖෂධ හිඟයද අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් සියල්ලටම පාහේ දැඩි ලෙස බලපා ඇත. ඒ අතර ගර්භනී සහ කිරි දෙන කාන්තාවන්ට මෙන්ම දරුවන්ට බලපාන අත්‍යාවශ්‍ය ඖෂධ තොග මාස කිහිපයකට පමණක් ප්‍රමාණවත් වෙතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දෙමින් පවතින මෙම ආර්ථික අර්බුදය නිසා ළමුන්ද අසමාන ලෙස පීඩාවට පත් වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ළමුන් මිලියන 2.3කට පමණ ක්ෂණික මානුෂීය ආධාරවල අවශ්‍යතාව පවතී.
ආර්ථික අර්බුදය නිසා ඇති වූ පීඩනය වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස ළමා අපචාර, සූරාකෑම සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ බොහෝ වාර්තා දැනටමත් මතුවෙමින් තිබේ. මූලික වශයෙන් දරිද්‍රතාවය හේතුවෙන් ළමුන් 10,000 කට අධික සංඛ්‍යාවක් දැනටමත් ශ්‍රී ලංකාවේ ආයතනික රැකවරණය යටතේ සිටිති. නමුත් පවුලක් තුල පවතින බැඳීම එම ආයතන තුල නොමැති නිසා එවැනි ආයතන දරුවෙකුට හැදී වැඩීමට හොඳම ස්ථානය නොවේ. අවාසනාවකට මෙන්, දරුවනට අවශ්‍ය පෝෂණය ඇතුළුව ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට අසීරු බැවින් මෙම වත්මන් අර්බුදය වැඩි පවුල් සංඛ්‍යාවක දෙමව්පියන් හට තම දරුවන් මෙවැනි ආයතන වලට ඇතුළු කිරීමට බලපෑමක් ඇති කරයි.

ශ්‍රී ලාංකීය දරුවන්ගේ ඉගෙනීම ද සැලකිය යුතු ලෙස අඩාල වී ඇත. මිලියන 4.8 ක ළමුන්ගේ ඉගෙනීම එලෙස අඩාල කරමින්, කෝවිඩ් වසංගත තත්වය නිසා දීර්ඝ කාලයක් පාසල් වසා දමා තිබූ අතර බොහෝ පාසල් යලි විවෘත කර ඇත. බොහෝ ආන්තික දරුවන් සඳහා පෝෂ්‍යදායී ආහාර ලබා දෙන එකම මාර්ගය වන පාසල් ආහාර වේල නවතා දැමීම නිසා පාසල් පැමිණීමේ ප්‍රතිශතය සීග්‍රයෙන් පහත වැටී ඇති අතර එය තවදුරටත් පහත වැටීමට ඉඩ ඇත. නමුත් සියලුම වයස්වල ගැහැණු ළමයින් සහ පිරිමි ළමයින් සඳහා අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කළ යුතුය, එවිට ඔවුන්ට ඔවුන්ගේ අනාගතය සඳහා සූදානම් විය හැකි අතර ළමා ශ්‍රමය සූරාකෑම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩකාරී තර්ජන වලින් ආරක්ෂා විය හැකිය.
ලෝක ආහාර වැඩසටහනට අනුව ආර්ථික අර්බුදයට සහ කොවිඩ්-19 වසංගතයට පෙර සිටම ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ අනුපාතය ඉහළ මට්ටමක පැවතිණි. කොවිඩ්-19 වසංගතයට පෙර, ශ්‍රී ලාංකික කාන්තාවන් සහ ළමුන් අනෙකුත් බොහෝ මධ්‍යම ආදායම් ලබන රටවලට වඩා ඉතා ඉහළ මන්දපෝෂණ තත්වයන්ට මුහුණ පා ඇත; වයස අවුරුදු පහට අඩු ළමුන්ගෙන් 17% ක් පමණ කුරු (මිටි) අතර 15% ඔවුන්ගේ උසට සරිලන බර නැත. පවතින වත්මන් ආර්ථික අර්බුදය මෙය තවත් උග්‍ර කිරීමට ඉඩ ඇත. තවද නියඟය, ගංවතුර සහ නායයෑම් වැනි ආයහපත් කාලගුණික තත්වද ආහාර සහ පෝෂණ අනාරක්ෂිතභාවය උග්‍ර කරයි.
ශ්‍රී ලංකාවේ අර්බුදය හමුවේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙහි (FAO) කටයුතු
ආහාර හා කෘෂිකර්ම සංවිධානය එහි හවුල්කරුවන්ගේ සහයෝගයද ඇතිව ශ්‍රී ලංකාවේ වඩාත් පීඩාවට පත් දිස්ත්‍රික්කවල සිටින වඩාත් අවදානමට ලක්වීමේ හැකියාව ඇති ගොවීන්ගේ සහ ධීවරයින්ගේ ජීවනෝපාය ආරක්ෂා කරමින් සහ නාගරික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කරමින් හදිසි ආහාර සුරක්ෂිතතා අවශ්‍යතාවන් සපුරාලීමට කටයුතු කරමින් සිටියි.
එලෙසම ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් රටේ දුප්පත්ම දිස්ත්‍රික්ක පහක සිටින කුඩා වතු හිමියන් 15,000 කට වැඩි පිරිසකට ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා පොහොර ඇසුරුම් ලබා දෙන අතර තවත් කුඩා වතු ගොවීන් 116,800 කට පොහොර සැපයීම සඳහා ආධාර කිරීමට සැලැසුම් සකස් කරමින් පවතී.
ආසන්න වශයෙන් 7000 ක් පමණ වූ වඩාත් අවදානමට ලක්විය හැකි කුඩා පරිමාණ සමුද්‍ර ශිල්පී ධීවරයින් හට ඔවුන්ගේ ක්ෂණික ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා කොන්දේසි විරහිත මුදල් ලබදීම් සිදු කර ඇත. තවද ආහාර හා කෘෂිකර්ම සංවිධානය මඟින්ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා, කුඩා වතු හිමියන් 8,700 කට අස්වැන්න වැඩි දියුණු කිරීම පිළිබඳ පුහුණුවක්ද සෘණාත්මක ක්‍රමෝපායන් වෙත යොමු නොවී ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම සඳහා මුදලක්ද (එක් වරක් පමණක්) ලබාදෙනු ඇත. එලෙසම අඩු ආදායම්ලාභී නිවාස 600ක් දක්වා ගෙවතු සහ ප්‍රජා උද්‍යාන මුලපිරීම් සඳහා කෘෂිකාර්මික කට්ටල, පෝෂණ මල්ල සහ පුළුල් පුහුණුවක් ලබා දෙමින් නගරයේ දුප්පතුන් සඳහා ආහාර සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීම සඳහා කොළඹ නාගරික කෘෂිකර්මාන්තය දිරිමත් කරයි. තවද, මෙවැනි ක්‍රියාකාරකම් සහ වෙනත් සමාන ක්‍රියාකාරකම් තව තවත් වැඩි කිරීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ අරමුදල්ද අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාවේ අර්බුදය හමුවේ ලෝක ආහාර වැඩසටහනෙහි (WFP) කටයුතු
ලෝක ආහාර වැඩසටහනද මන්දපෝෂණයට එරෙහිව සටන් කිරීමටත්, ආහාර සඳහා ප්‍රවේශය ලබා ගැනීමට සහ කුඩා වතු හිමියන්ගේ ඵලදායිතාව සහ ආදායම් වැඩි කිරීමටත් පවුල්වලට සහාය වීම සඳහා 1968 වසරේ සිට ශ්‍රී ලංකා රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ලබයි.
2022 වසරේ ජූනි සහ දෙසැම්බර් අතර, ආහාර සුරක්ෂිතතාව, පෝෂණය සහ ජීවනෝපාය තර්ජනයට ලක් වූ පුද්ගලයන් මිලියන 3.4 ක පිරිසකට සාමාන්‍ය ආහාර බෙදා හැරීම, පාසල් ආහාර සහ පෝෂණ ආධාරය හරහා ආධාර කිරීමට ලෝක ආහාර වැඩසටහන සැලසුම් කළේය. මෙම ඉලක්කගත ආධාරය මගින් ගැබිනි සහ කිරි දෙන කාන්තාවන්, ආබාධ සහිත පුද්ගලයින් සහ නිදන්ගත රෝග ඇති පුද්ගලයින්, කාන්තා මූලික පවුල් සහ ජාතික සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය වන සමෘද්ධියේ ලියාපදිංචි සාමාජිකයින් හතරකට වඩා වැඩි අඩු ආදායම්ලාභී පවුල් ඇතුළු වඩාත් අවදානමට ලක්විය හැකි සහ ආන්තික ප්‍රජාවන් ඉලක්ක කර ඇත.
එලෙසම, 2022 අගෝස්තු මස මැද භාගයේ හදිසි මෙහෙයුම් ආරම්භයේ සිට ලෝක ආහාර වැඩසටහන මුදල් ආධාර (479,908) සහ ද්‍රව්‍යමය සහාය (97,036) ඇතිව පුද්ගලයින් 576,944 වෙත උපකාර වී ඇත. මෙය ලෝක ආහාර සංවිධානයේ ප්‍රතිචාර ඉහළ නැංවීම සඳහා කොන්දේසි විරහිතව ආහාර ආධාර (මුදල් හෝ ද්‍රව්‍ය) ලබා දීමට මිලියන 1.4 ක ජනතාවක් වෙත ළඟා වීමේ ඉලක්කය සපුරාලීමේ අරමුණින් කර ඇති අතර ලෝක ආහාර වැඩසටහන විසින් 2022 නොවැම්බර් මාසයේදී පාසල් 3,517 ක මුළු ළමුන් 479,087 වෙත සහල් බෙදා දීම සිදු කර ඇත. තවද රජයේ ජාතික පාසල් ආහාර බෙදා දීමේ වැඩසටහන හරහාද ළමුන් දස ලක්ෂයකට පාසල් ආහාර ලබාදීමට ලෝක ආහාර වැඩසටහන අදහස් කර ඇත.
දළ වශයෙන් මිලියනයක් පමණ ගැබිණි මව්වරුන්, කිරිදෙන මව්වරුන් සහ කුඩා දරුවන්ට පෝෂ්‍යදායී ආහාරයක් වන ත්‍රිපෝෂ සපයන රජයේ ත්‍රිපෝෂ ආයතනයට අමුද්‍රව්‍ය (ඉරිඟු සහ සෝයා බෝංචි) ලබා දීමටද ලෝක ආහාර වැඩසටහන රජය සහ පරිත්‍යාගශීලීන් සමඟ එක්ව කටයුතු කරයි. මීට අමතරව, ලෝක ආහාර වැඩසටහන ආහාර අනාරක්ෂිත ප්‍රදේශවල පාසල් වයසේ දරුවන්ට වසර පුරා ආහාර සඳහා ප්‍රවේශය ලබා ගැනීමටද උපකාර කරයි, වයස අවුරුදු පහට අඩු ළමයින්ට, නව යොවුන් වියේ පසුවන ගැහැණු ළමයින්ට සහ විවාහ වන වයසේ සිටින කාන්තාවන්ට පෝෂ්‍යදායී ආහාර සැපයීමද සිදු කරන අතර දේශගුණ විපර්‍යාසයන්ට සූදානම් වීමට සහ ප්‍රතිචාර දැක්වීමටද ප්‍රජාවන්ට සහාය වේ. කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සඳහා, ලෝක ආහාර වැඩසටහනේ සියලුම ක්‍රියාකාරකම් සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය සවිබල ගැන්වීම ඒකාබද්ධ කෙරේ.
වසර 50කට වැඩි කාලයක සිට යුනිසෙෆ් ආයතනය ද ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කරමින් පවතී. හවුල්කරුවන්ගේද සහාය ඇතිව, අධ්‍යාපනික සැපයුම් බෙදා හැරීම, පෙර පාසල් දරුවන්ට ආහාර සැපයීම සහ ගැබිනි සහ කිරි දෙන මව්වරුන්ට දැඩි ලෙස අවශ්‍ය මුදල් ලබාදීම සිදු කරයි. නමුත් පවතින වත්මන් අර්බුදය හේතුවෙන් ලක්වැසියන්ගේ අභිවෘද්ධිය සඳහා මීට සමගාමීව තවත් බොහෝ දේ සිදු කිරීමට අවශ්‍ය වේ.

පවතින ආහාර අනාරක්‍ෂිතතාවයට එරෙහිව සටන් කිරීමට සහ තිරසාර දේශීය නිෂ්පාදනයක් සහතික කිරීමට දිගුකාලීන උපාය මාර්ග අවශ්‍ය වන අතර, වර්තමානයේ මිනිසුන් කුසගින්නේ නොසිටීම සහතික කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතුය. එලෙසම අනාගතයේදී තිරසාර ආහාර නිෂ්පාදනයක් සහතික කරන උපාය මාර්ගයන් මධ්‍යම හා දිගුකාලීන මුලපිරීම් සහිත විය යුතුය. එපමනක් නොව, රටේ පවතින වත්මන් අස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින්, ප්‍රතිපත්ති සම්පාදකයින් තීරණ ගැනීමේදී නම්‍යශීලී වීමට සහ අවශ්‍ය නම් ඔවුන් ගන්නා ක්‍රියා මාර්ගයන් වෙනස් කිරීමටද කැමැත්ත පලකල යුතු අතර එසේ කිරීමට අපොහොසත් වීම ජනතාවගේ ජීවිත හා ජීවනෝපාය කෙරෙහි කල්පවත්නා බලපෑම් ඇති කිරීමට හේතු වේ.