

මේ වෙලාවේ ධනවාදය අපේ මුළුතැන්ගෙය තුලටම රිංගලා. ඒක මේ මොහොතේ මග හැර යන්න බැරි සත්යක්. ඒක නොදන්නා කම සහ ඒක පිළිගන්නට සුදානම් නැතිකම නිසාම එහෙම රිංගනකොට අපි හැමෝටම තමන්ගේ පවුල ඇතුලෙම අර්බුද එනවා. අපි ඒ අර්බුද වලට විවිධ ප්රතිචාර දක්වනවා. ඒ හැම ප්රතිචාරයක්ම නිවැරදි විසඳුමක් නොවී තවත් අර්බුදයක ඇරඹුමක් අපටත් හොරා හැඟවුම් කරනවා. ඒ කියන්නේ අර්බුදය දාමයක් බවට නිර්මාණය වෙනවා. එකින් එක ව්යුහගත වෙනවා. අපිට ඒවා දැනෙන්නේ තනි තනි විදිහට උනත් අපිට නොපෙනෙන නොදැනෙන සත්ය වන්නේ ඒවා තනි තනිව හිමි ආකෘතියක් සහිත උනත් ඒ එකින් එක සමස්ත දාමයක පිහිටන බවයි. එහෙයින් අපි එකින් එක එකට ප්රතිචාරයන් සමුහයක් දක්වමින් අර්බුදය තුලම ගිලෙනවා.
ඒ කියන්නේ එක හරියට භාෂාවක් තුලදී අපිට මුණගැහෙන සංයුතික අදහසක් වගේ.භාෂාවක් අපි භාවිතා කිරීමේදී අපි ඒ තුල සියලු පද සහ එහි සංයෝගය සහ ව්යාකරණ ය ගැන සවිඥානික නැහැ. නමුත් අපිට එහි පවතින සංයෝගයේ සහ ව්යාකරණය මග හැර භාෂාව භාවිතා කරන්නත් බැහැ. ඒ පොදු සම්මුතියක් විදිහට අපිව හසුරනවා. අපිව අවිඥානිකව මෙහෙයවන පද්ධතියක් විදිහට පවතිනවා. ඒ විදිහටම මේ කියන අර්බුදවල ක්රියාවත් අපිට ඒ විදිහට තේරුම් ගන්න පුළුවන්. අපිට නොදැනුනාට ඒ සියල්ල සංයෝගයක් විදිහට එකතුවෙන් තමයි අපිට එල්ල කරන බලපෑම කරන්නේ.
එය පවුලක් ලෙස යම් කේවල ව්යුහයක් ලෙසත් පොදුවේ ඉන් සැදුම් ලත් සමාජයක් ලෙසත් අපි අත්දකිනවා. මේ සඳහා අපි දක්වන හැම ප්රතිචාරයක්ම තාවකාලිකයි. මේ සඳහා අපි දක්වන ප්රතිචාර විවිධ වෙන්න පුළුවන්. එහිදී අප වෙනුවෙන් ඉතාම භාර්යදූර කටයුත්ත ඉටු කිරීමට ආගම විශේෂයෙන් මැදිහත් වීමක් කරනවා. ආගම මේකට විසඳුම් විදිහට ඉක්මන් ප්රතිචාර දක්වමින් විසඳුම් ව්යුහගත කරනවා. ඒ අනුව අපිට පසුගිය දශක දෙකක පමණ අතර කාලය තුල ලාංකීය සමාජය තුල ආගමේ ක්රියාකාරිත්වය මේකට ඉතාම හොඳ උදාහරණයක් හැටියට ගන්න පුළුවන්. කවදාටත් වඩා ආගමේ ප්රබෝදයක් විදිහට සැරසිලි ගැන්වී එය ව්යුහගත වුනා. ලාංකීය බුදුදහම ජනප්රිය බුද්ධාගම බවට රූපාන්තරණය වෙන්නේ මෙතනින්. සියලුම රූපවාහිනී නාලිකා ආගම වැලඳ ගන්නවා. පෝය දිනවල පැයකට දෙකකට ධර්ම දේශනයකට වෙන්කෙරුන ගුවන් කාලය ගුවන්විදුලියේ සහ රූපවාහිනියේ දවසක කාලයට දීර්ඝ වෙනවා. ඒ වෙනුවෙන් අනුග්රාහක සමාගම් පෙළ ගැසෙනවා. සජීවී විකාශන තරඟයකට නාලිකා සියල්ලම ඇතුල්වෙනවා. ගුවන් විදුලි නාලිකා වගේම රුපවාහිනී නාලිකා හිමිදිරි උදැසන වැඩසටහන් ආරම්භයේ සිට විවිධ ගාථා හඳුන්වා දෙනවා. විවිධ පූජා, අධිෂ්ඨාන ගාථා, ලෙඩ දුක් දුරුකරන පිරිත්, වාසනාව කැන්දන පිරිත්, වියවුල් නසන පිරිත් වැලකින් සමන්විත වෙනවා. එය ගුවන් විදුලි නාලිකාවල තරඟයක් වෙනවා. හිමිදිරි උදයේ කාල හෝරාව එතෙක් සවන් දුන් ගීත රසවින්දනයෙන් ආගමික වැඩසටහන් හෝරාවක් බවට පරාරෝපණය වෙනවා. ගුවන් විදුලි නාලිකා පන්සල් බවට හැරෙනවා. දුරකථන සංවාද චෙරියෝ, බායි වලින් අවසන් කල පිරිස බුදුසරණයි වලින් අවසන් කරන අතිශය ධාර්මික මිනිසුන් බවට පත්වෙනවා. ගමින් ගමට ,පන්සලෙන් පන්සලට මාසිකව, සතිපතා ධර්මදේශනා සංවිධාන වෙනවා. ඒවා සඳහන් පෝස්ටර්, බැනර්, කටවුට්, හන්දිවල දිගහැරෙනවා. ත්රීවිලර් පාර්ක් එකෙන් පාර්ක් එකට හන්දියෙන් හන්දියට බුදුපිළිම වැඩමවනවා. පාරක් වල උදේට හවසට පිරිත් වැයෙනවා. ආගමෙන් දහමෙන් සමාජය පිරී ඉතිරී යනවා.
මේක රැල්ලක් වෙලා එන්නේ එහෙම මේ කියන ක්රමයේම පැකේජ් එකක් විදිහටම තමයි. අවසානයේ මෙරට තරුණයා සෘන්ගාරාත්මක නිවසට සහ පවුල් කුටුම්බයටම බැඳුනු සුවච කීකරු දරුවෙකු දක්වා මෙය ශුද්ධකරණය වෙනවා. අද වර්තමානයේ තරුණයා තරුණිය කියන්නේ නිවසේ කුටුම්භයේම චින්තාවලියෙන් වෙනස් නොවුණු මවු පිය පරම්පරාවේම චින්තනමය කාබන් කොපියක් බවට පත්වෙන්නේ එතනින්. පරම්පරාවෙන් පරම්පරාවට චලනය විය යුතු සිතීමේ ක්රියාවලියේ වර්ධනය, චින්තනමය පරිවර්තනයන් මානසිකව සිදුනොවෙන්නේ ඒ නිසා. අද එය චලනය නොවෙන එක තැනක රැඳුන එකතැන පල්වෙන එකක්. අවම වශයෙන් දශකයකින් හෝ වෙනස් නොවෙන චින්තනයමය බංකොලොත් බාවයකට සමාජය හිරවීම හරහා ඉදිරි අනාගතය ඊටත් වඩා අර්බුදයකට ගෙන යනවා.
එක තැනකින් දාමය ගලවා දැමීම ඉතාම සාර්ථක ක්රියාවලියක්. අද අධ්යාපනය හරහාත් මේ චින්තනමය ඉදිරි ගමන සිදුවෙන්නේ නැහැ. අද ගුරුවරයා ගුරුවරියත් එම සමාජ සංස්කෘතික ක්රියාවලියේම නිර්මාණයක්. එනිසා මේක එර්ඩැක වෙන්නේ නැහැ. අද පාසැල, විශ්වවිද්යාලය කියලා කැපී පෙනෙන වෙනසක් සහිත සිසුන් සහ විද්යාර්ථින් නැහැ. අද ඉන්නේ එකම මට්ටමක ශිෂ්යන් කොටසක් පමණයි. විශ්වවිද්යාලයෙන් බැහැර වෙන්නේත් එම ශිෂ්යා හා ශිෂ්යාව හැර පරිවර්තනීය විද්යාර්තියෙක් නෙවෙයි. අද දරුවා යනුම දෙමවුපියන්ගේ කාබන් කොපියක් මිස ඒ පිටපතේ වෙනම අකුරු ලියවීමක් නෙවෙයි. එහෙම වෙනම අකුරු ලියවන්න මෙරට අධ්යාපනයට හැකිවෙන්නෙත් නැහැ. අවම වශයෙන් විශ්වවිද්යාලය තුළවත් ඒ කාබන් කොපිය මකා වෙනම රචනාවක් ලියන්න පුළුවන් වටපිටාවක්, අධ්යනයක් හමුවෙන්නේ නැහැ. ඒ නිසා ලාංකීය අපි අද මුහුණ දෙන දැවැන්ත අර්බුදය අපිට මේ මොහොතේ හමුවීමට නියමිතව තියෙනවා. දේශපාලන වශයෙන් දේශපාලකයන්ගේ සහ ඔවුන්ගේ දේශපාලනික ක්රියාවලියේ අඩු පාඩු වැසී යාම සඳහා මෙම කාබන් කොපි සමාජයක් නිර්මාණය වීම වැදගත් වුවද එක නිමේෂයකදී එය රටේ ආර්ථික සමාජීය සංස්කෘතික අර්බුදයක් විදිහට දේශපාලනිකව හැරවුම් ප්රහාරයක් එල්ල කරනවා.
එසේ එල්ල කරන ප්රහාරය අපි අපිටම මහපාරේ අපි ඉදිරියේ තාප්පයක් වගේ මුණගෙනවා. එවිට අපි පවතින දේශපාලනයට, පාලකයන්ට,ආයතනට,අපේම අනෙකෙකුට, එසේත් නැත්නම් ගොඩනගාගත් පසමිතුරු පාර්ශවයකට චෝදනා කරමින් ප්රශ්නය වෙනත් දිශාවක් වෙත තල්ලු කරමින් ගැලවීම සඳහා ෆැන්ටසියක් හදා ගන්නවා. බොහෝ විට ජාතියක්, ආගමක් වෙතට ප්රක්ෂේපනය කරන අර්බුදය නව පසමිතුරුතාවක් හඳුන්වා දෙනවා. අනෙකා මගින් අපේ අර්බුදය නිර්මාණය වීමක් ලෙස අපි අර්බුදයෙන් ගැලවෙන්නට අනෙකා වෙතට ප්රතිචාර දක්වනවා. මෙතනදීත් ආගම ඉතාම ක්රියාශීලි මැදිහත් වීමක් කරනවා. කෙසේ හෝ අපි කරමින් සිටින්නේ අර්බුදයන් නිවැරදිව හඳුනා ගැනීමක් නෙවෙයි. වරින් වර මතුවෙන එකින් එක හමුවෙන එකින් එකට ප්රතිචාර දැක්වීමක් මිස නිවැරදිව ව්යුහය අධ්යනය කිරීමක් නෙවෙයි. ඒ සඳහා නිවැරදි අධ්යන ක්රමයක් අපි භාවිතා කරන්නේ නැහැ. එවැනි අධ්යන අවශ්යතාවයක් සමාජයට අවශ්ය බවත් තේරුම් ගන්නේ නැහැ. අපි ඒ සියල්ල ඉතාම සූක්ෂමව මගහැර යනවා. එවැන්නක් වෙනුවෙන් පෙනී සිටිය යුතු දේශපාලනික ව්යුහයන් ද එය මග හැර ක්ෂණික ප්රති ප්රහාර හරහා ප්රතිචාර දක්වමින් අර්බුදය විශ්ලේෂණය කිරීමකින් තොරව ජනප්රිය දේශපාලනික ක්රියාවලියක සමාජය රඳවා තබනවා. එයින් පැහැදිලි වන්නේ අපි ක්රමය ලෙසින් හඳුන් වන මේ පශ්චාත් ධනවාදී ක්රියාවලිය සහ එහි සංස්කෘතික මොහොත ලෙස පශ්චාත් නූතන සංස්කෘතික අවකාශය තුල දිනෙන් දින සාමාජිකයා ගිලී යාමයි. එම මොහොත අපිට නිවසේ මුළුතැන්ගෙය දක්වාම පැමිණ නොතේරෙන අර්බුදයක් ලෙස ව්යුහගත වීම අපි මේ මොහොතේ විවිධ විවිධ අරුත් ගන්වමින් හඳුන්වමින් සිටිනවා. එය නිවසේ මුළුතැන්ගෙය සිට මහපාරෙත් තම තමන්ගේ වුර්තීය ආයතනය සහ රැකියාව තුලත් එම ජීවිතයත් මත කරන බලපැවැත්ම අපි අර්බුදයක් ලෙසින් හඳුන්වා ගනිමින් එය ක්රමය ලෙස අත් විඳිමින් ඉන්නවා.
අද මේ මොහොත තුල අපි වෙනස් කරන්නට යෝජනා කරන ක්රමය නම් පැවැත්ම හඳුනාගැනීමෙන් තොරව එය වෙනස් කරන්නට නොහැකි බව අපට නොපෙනෙන්නේ එය කෙසේ ව්යුහගත වන්නේ දැයි අධ්යනය කිරීම අධ්යන අවකාශයෙන් බැහැර වීම නිසා බව පිළිගන්න වෙනවා. මෙරට අධ්යාපන ආකෘතියම පැහැදිලි පරිවර්තනයකට ලක් නොවී එය කෙසේවත් සිදුවිය නොහැකි බව මේ වනවිට අපිට දකින්න තිබෙන පිළිගත යුතු සත්ය වෙනවා. පෙර සඳහන් කල ආකාරයට මේ වර්තමානයේ අධ්යාපනය මෙහෙයවමින් පවතින විෂය මූලික ගතානුගතික ඉගෙනුම් රටාව තුලින්ම බිහිවුණු පාසල් සහ උසස් අධ්යාපන උගැනුම් ව්යුහය ඒ සඳහා අසමර්ථ බව දිනෙන් දින තහවුරු කරමින් සිටිනවා. එහි ප්රතිඵලය ලෙස දිනෙන් දිනම අපට හමුවෙන අර්බුදය වර්ධනය වෙනවා සහ ඊට දක්වන ප්රතිචාර විපරීත හෝ හාස්ය විසඳුම් බවට පත් වෙනවා.
ක්රමය ක්රමයේ පැවැත්ම වෙනුවෙන් වර්ධනාත්මක ව්යුහගත වීමක් කරනවා. අපි ඒ ව්යුහය තුල දියවෙමින්ම එය වෙනස් කරන්නට කතා කරනවා. කෙසේ හෝ මේ ධනවාදී මොහොත අපිට සියලු පරමාදර්ශයන් අහිමි කරමින් පවතිනවා. පන්ති අතර විභේදනය වෙනදාටත් වඩා පරතරයක් විදිහට වැඩි වුවත් එය නොපෙනෙන ලෙස සීමා සලකුණු බොඳ කරනවා. එහෙම කරන්නේ ආර්ථිකය කියන සාධකය සහ පන්තිමය සංස්කෘතිය කියන සාධකය අතර කෙරෙන පරතරය හුවමාරුවකින් බොඳ කිරීම හරහා. අද සංස්කෘතිමය පැවැත්ම ආර්ථිකය තුලින් සඟවනවා. ඒ කියන්නේ ඕනෙම කෙනෙකුට තම පන්තිමය වෙනස ආර්ථික සාර්ථකත්වය මත අතික්රමණය කිරීමේ පහසුවක් පිලිබඳ හැඟවුම් කරනවා. කෙනෙකුට මෙය සැනසිල්ලක්. කෙනෙකුට පන්තිය අතික්රමණය කිරීමට අවශ්ය වන්නේ කඩුල්ල පනින්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් මිසක් තරඟය සඳහා අවශ්ය න්යාය(එයැදරහ) නොවෙන බව හඟවනවා. සංස්කෘතිමව මේ කඩුල්ල පැන යාම සඳහා න්යාය හැදෑරීම අවශ්ය වෙනවා. ඒ සඳහා කියවීම අවශ්යයි. කියවීම ලෙහිසි නැහැ. එක පහසුවෙන් කරන්න බැහැ.ඒකට කාලයක් සහ ඉවසීමක් අවශ්යයි. අවශ්යතා අපේ කාලය සහ ඉවසීම සීමා කරනවා. අවශ්යතා ඒ තරම්ම ප්රමාණාත්මකව වීශාලයි, පැමිණීම වේගවත්. අලුත්ම ජංගම දුරකථනය වගේම මෝටර් රථයත් ඉක්මනින්ම වෙළඳ පොලට මුදාහැරෙනවා. ඉතින් වර්තමාන සමාජ සාමාජිකයා පෙලෙන මේ අර්බුදය හමුවේ කියවීමෙන් බැහැර වීම ඉක්මනින්ම සිදු කිරීමක්. ඒ වගේම ආර්ථිකය හරහා මෙය අතික්රමණය කිරීමට හැකි වීම කියන ෆැන්ටසීය යථාර්තය න්යාය තුලින් බැහැර වෙන්න කරන බලකිරීමක්. ඒ නිසා කෙනෙක් උත්සහ කරන්නේ මේ කියන තත්වය මුදල් මත සොයා ගැනීම. එතැනදී පුද්ගලික පවුර්ෂයන් අහෝසි වෙනවා. ඒ වෙනුවට ආර්ථික පවුර්ෂයන් මුණගැසෙනවා. භාණ්ඩ ලෙසින් මෙය රූපාන්තරණය වෙනවා. එහෙයින් පරිභෝජනය සඳහා ප්රභල ඉල්ලුමක් සහ පෙලඹවීමක් ඇති කෙරෙනවා. ඒ හරහා අපි පංතිය අතික්රමණය පරිකල්පනය කරනවා. අපි අපිට අයත් නැති ව්යුහයක පෙනී ඉන්න දැවැන්ත අරගලයක යෙදෙනවා. එහිදී අනන්යතාව අහිමි වීමම අලුත් අනන්යතාවයක් සොයන්න බල කෙරෙනවා. ඒ අනන්යතා අර්බුදය දිනපතා මුහුණු පොතේ ඉඳල සියලු සමාජ මාධ්ය තුලින් එළි දක්වන්න උත්සහ කරනවා. ඒ සඳහා ඔහු හෝ ඇය වෙහෙසෙනවා හැරෙන්නට අපිට කියවීම හෝ හැදෑරීම සහ විශ්ලේෂණයන් කරන්නට වෙලාවක් නැහැ.
අද අපිට හමුවෙන බොහෝ රාජ්ය සහ පුද්ගලික ආයතන ව්යුහයේ සේවය සඳහා සුදුසු වුර්තිමය චින්තනය අහිමිවෙලා තියෙන්නේත් ඒ හරහා. අද වුර්තිකයකුගේ වුර්තිමය චින්තනය ඉතාම සුක්ෂම ලෙස ඉරේස් වෙලා. බොහෝ පුද්ගලික සමාගම් ඔවුන්ගේ ශ්රමය සුක්ෂම ලෙස සූරාකන බව නොදන්නා ශ්රමිකයන් මෙන්ම තමන්ගේ ශ්රමය සපයන රාජ්ය සේවයේ සේවකයන් තමන්ගේ ශ්රමය ඉතාම සූක්ෂම ලෙස වංචා කරන්න්නේද මේ ක්රමයේ දෙපැත්තක අනවබෝදය හේතුවෙන් වෙන්න පුළුවන්.
බොහෝ පුද්ගලික ආයතන ගත සේවකයන් තමන්ට ලබා දෙන නිදහස, විනෝදය ලෙස සලකන දේවල් ඔවුන් ශ්රමයට හරවා රහසෙන්ම ලබා ගන්න බව නොදන්නෙත් ඒ නිසාමයි. මෙරට බොහෝ පුද්ගලික සමාගම් වල වැඩකරන කෙනෙකු වැඩ කරන බවත් රාජ්ය අංශයේ කෙනෙකු වැඩ නොකරන බවත් පොදු මතයක්ව බාහිරට නිරූපණය වන්නේත් ඒ නිසා. ඇත්තෙන්ම මේ පශ්චාත් ධනවාදී ව්යුහය ශ්රමය සුරාකන්නේ බලහත්කාරයකින්ම නෙවෙයි. ඔවුන් දැන් අපේ ශ්රමය ඔවුන් වෙනුවෙන් පරිත්යාග කරගන්න තැනකට පරිවර්තනය වෙලා. ඒ කියන්නෙම අපි පුද්ගලික සමාගමක තම ශ්රමය ශුද්ධ වූ වස්තුවක් ලෙස පූජා කරනවා. ඔවුන් ඔබට ඒ සඳහා සකසුරුවම් කරන ලද නිදහසක් ලබා දෙනවා. ඔබ කැමති විනෝදයක් ඔවුන් ඔබ වෙනුවෙන්ම සපයනවා. ඒ නිසා ඔබ දැන් සේවයක් සපයනවා නෙවෙයි, ඔබ කරන්නේ ඔහුට අවශ්ය සේවය හරහා විනෝද වෙන එක. ඔවුන් ඔබට ලබා දෙන්නේ අලුත් අනන්යතාවයක්. ඒක ටී ෂර්ට් එකක ඉඳල පියවර කිහිපයක් හරහා ටැඑ එද ටැඑයැර එකක් වෙන්න පුළුවන්. වේදිකාවක ගීත ගායනය, නර්තනයක්, තරුපහේ හෝටලයක පිහිනුම් තටාකයක දිය නෑමක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔබ පෙලෙන අනන්යතා අර්බුදයට පිරවුමක්. ඉතින් කවුද අකමැති. එහෙත් ඔබට නොතේරෙන්නේ ඔබගේ ශ්රමය අසීමිත ලෙස ඔවුන් සොරකම් කර ඇති බවයි. ඔබ නිරන්තරයෙන් පෙළෙන්නේ වැරදිකාරි හැඟීමෙන්. ඔබ සිතනවා ඔබ ඔවුන්ට සැහෙන්න ශ්රමයක් දුන්නද කියන වරදින්. ඒ ඔබට ඔවුන් ලබාදෙන මානසික අල්ලසයි.
අපිට අවශ්ය නම් පසුගිය දවස් වල සමාජය තුල කතා බහට ලක් කෙරුණු මාතෘකා දෙක තුනක් හරහා උනත් මේ සඳහා උදාහරණ ගන්න පුලුවන්. පසුගිය ගුරු දිනයත්, ගුරුවරියන්ගේ නර්තනයත්. ගුරුවරියන්ගේ සාරියත් වෙන වෙනම අපිට හමුවුණු සිද්ධි වුනාට මේ හැම එකක්ම එකට ගැටගෙන ව්යුහමය සම්බන්ධතාවය වෙන කිසිවක් තුලින් නෙවෙයි අපිට හමුවෙන්නේ මෙන්න මේ කියන අර්බුදය තුලින්ම තමයි. අනන්යතාවයේ අර්බුදය තමයි මේ සියල්ල තුලින්ම මුණගැහෙන්නේ. ගුරු දිනයක් ව්යුහගත වෙන්නෙම ගුරුවරයෙකුට හෝ ගුරුවරියකට ඔහු හෝ ඇයගේ අන්තරගතය පිලිබඳ ප්රශ්නය නිරාකරණය කරගැනීමට ෆැන්ටසියක් විදිහට. මේකත් බෝරින් වෙනකොට , තවත් පුද්ගලික අවකාශයේම අර්බුදයක් වෙනකොට, ඇති වන ඔහුගේ හෝ ඇයගේ අනන්යතාවය වෙනුවෙන් තමයි නැටුම අවශ්ය වෙන්නෙත්. මේකට වේදිකා හදන එක මේ හැම මාධ්යක් තුලම වගකීමක් සහ වගවීමක්. සාරියත් ඒ වගේ තමයි. අපිට මතක යුගයේ ක්රීඩා උත්සව කාලයන් වෙලාවලදී අදාල විෂය සම්බන්ධ ගුරුවරිය ඊට සුදුසු බොටම් එකක් සමග ටී ෂර්ට් එකක් ඇඳගෙන සිටීම එදා ප්රශ්නයක් උනේ නැහැ. ඒක සිසුන්ට හෝ අනෙක් ගුරුවරියන්ට සහ ගුරුවරුන්ට, අදිශ්ෂ්ය සංගම් වලට නිලධාරීන්ට ප්රශ්නයක් උනේ නැහැ. හැබැයි ප්රශ්නවලට වේදිකා හැදුනම ප්රශ්න වේදිකාවට නාට්යක් විදිහට පිටපතක් එක්ක රඟපාන්න වෙනවා. ඒක තමයි ක්රමය. දැන් අපිට පෙනෙන්න ඕනේ සාරිය වෙනුවට වෙන ඇඳුමක් අවශ්යයි කියන එක මොකක්ද කියලා. ආකෘතිය වගේම අන්තර්ගතය අහිමි වීම හරහා ඇති කෙරෙන අනන්යතාවයක් හොයන සමාජ ජීවියෙකුට මේ ඕනෙම දෙයක් වෙන්න පුළුවන්, ඒ කියන්නේ සාරිය සහ සුදුසු ඇඳුම කියන්නේ ෆැන්ටසියක් මිසක් සැබෑවක් නෙවෙයි. මේකේ සැබෑව තියෙන්නේ වෙන තැනක. ඒක අනන්යතාවයක්. දේවාලයේ කපුවාගේ දේව ආරූඪය ගිලිහුනාම ඉතුරුවෙන්නේ දේවාලයේ කොඩි, රෙදි ,පාට සහ කපුවාගේ ඇඳුම විතරයි. පිළිතුර ඒකම නම් ඉතිං අපි සාරි ඉරල ජනෙල් වලට දමමු රත්තරං.