25.6 C
Colombo
Tuesday, October 3, 2023
spot_img

Subscribe

Date:

Share:

කැම්පස් එකේ ගෙවෙන කාලේ නාස්තියක් ද?

Related Articles

විශ්වවිද්‍යාල අතීතය

ලංකාවේ අධ්‍යාපනයෙහි ස්‌වර්ණමය යුගය ලෙස දැක්‌වෙන්නේ අනුරාධපුර යුගයයි. අනුරාධපුර යුගයෙහි පැවති උසස්‌ අධ්‍යාපනය ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය. පොළොන්නරු යුගය දක්‌වා පැවති උසස්‌ අධ්‍යාපනය තුළ ශාස්‌ත්‍රීය හා වෘත්තීය (ශිල්පීය) වශයෙන් විෂයමාලා පැවතුණි. ඊට අමතරව විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව විශේෂඥ මට්‌ටමේ අධ්‍යාපනය ලබා ගැනීමෙන් පසු උසස්‌ අධ්‍යාපනය අවසන් වේ. ලංකාවේ අනුරපුර යුගයේ පැවති අභයගිරිය, මහාවිහාරය, ඡේතවනය යන විශ්වවිද්‍යාල උසස්‌ අධ්‍යාපනය ලබා දුන් ආයතන වේ. පොළොන්නරුවේ පැවති ආළහන පිරිවෙන 12 වන සියවසේ පැවති ඉතාම සාර්ථකව පැවති විශ්වවිද්‍යාලයකි. ඔක්‌ස්‌ෆර්ඩ්, කේම්බ්‍රිඡ් හා ඉතාලියේ පාදුවා, ප්‍රංශයේ අඡේ යනාදී විශ්වවිද්‍යාලවල ආරම්භය සිදුවෙන අවස්‌ථාව වන විට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ඉතාම දියුණු අයුරින් ක්‍රියාත්මක වෙමින් පැවතුණි. එවකට මහාවිහාරය ද ඉතා දියුණු අධ්‍යාපනයක්‌ ලබා දුන් විශ්වවිද්‍යාලයකි (මහාචාර්ය et al., 2019).

වර්තමාන තත්ත්වය

අතීතයේ විශ්ව විද්‍යාල ක්‍රමය හා සසඳන විට වර්තමානයේ විශ්ව විද්‍යාල පද්ධතිය ඉතාමත් දියුණු මට්ටමක පවතී. අද වන විට රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය ද උසස් අධ්‍යාපනය සඳහා ප්‍රවිෂ්ට වී ඇති අතර ගෝලීය වශයෙන් උසස් අධ්‍යාපන ආයතනවල පුළුල් ව්‍යාප්තියක් දැකිය හැකිය. විශ්වවිද්‍යාලයට පිවිසීම යනු උසස් අධ්‍යාපනය ලැබීමට කැමති කාගේත් සිත් තුළ පවතින සිහිනයකි. අතීතයේ මෙන් නොව ශ්‍රී ලංකාවේද උසස් අධ්‍යාපනය සඳහා දැඩි ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවති. අතීතයට වඩා දියුණු තාක්ෂණික මෙවලම්, උපාංග මෙන්ම අතිනවීන දේශණ ශාලා පහසුකම් වලින් සමන්විත අතර සිසුන්ට කිසිදු අපහසුතාවයකින් තොරව අධ්‍යන කටයුතු වල නිරත වීමට ඉඩකඩ ලැබී තිබේ. කෙසේවෙතත් විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපන ආයතනවල නැගී සිටීමක් දැකිය හැක. පෞද්ගලික ව්‍යවසාය හා රාජ්‍ය ව්‍යවසාය යන ද්විත්ව අංශයේ රැකියා සඳහා අවශ්‍ය නිපුණතා හා කුසලතා පිරිපුන් ශ්‍රම බලකායක් හෙවත් මානව සම්පත නිර්මාණය කිරීමේ වගකීම මෙකී උසස් අධ්‍යාපන ආයතනවල අවසාන ප්‍රතිපලයයි. නිපුණතා පූර්ණව සහතික පත්‍ර, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධිදාරී හා පශ්චාත් උපාධිදාරී ලෙස සුදුසුකම් සපුරන ලද මානව සම්පත් නිර්මාණය කරමින් රටේ ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය පසුබිම ගොඩනැංවීම මෙමගින් සිදු වේ  (සංස්කාරක, 2022).

වසරකට ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් උසස් පෙළ විභාගයට මුහුණ දී ඉන්සුළු ප්‍රමාණයක් පමණක් විශ්වවිද්‍යාල වරම් ලැබීම හා බැලීමේදී වසරක් තුළ දළ වශයෙන් 30,000 ක් පමණ සංඛ්‍යාවක් රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය හැදෑරීමේ ප්‍රවණතාවක් දැකිය හැක. නමුත් පසුගිය ප්‍රවේශය තුළ ළමුන් දෙලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට විශ්විද්‍යාල සඳහා ප්‍රවේශ වීමේ අවස්ථාව සලසා දී ඇත. මෙහි ඇති ප්‍රායෝගික තත්වය සලකා බලන විට විශ්ව විශ්ව විද්‍යාලයකට ප්‍රවේශවීමේ ප්‍රධාන අරමුණ තම දනුම පරාසය වැඩිකර ගැනීම දැක්විය හැකි වුවත් බහුතරය ඊට ප්‍රවේශ වන්නේ ඉන් බැහැරව යන විට තම අධ්‍යාපන සුදුසුකම් සඳහා සුදුසුම රැකියාවක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි.

අධ්‍යනය කටයුතු සාර්ථක ද 

විශ්ව විද්‍යාලය හුදෙක් පාසැලක් මෙන් දැනුම ලබා දීමක් පමණක් සිදු නොකළ යුතුයි. ඉන් පිටතට යන විද්‍යාර්ථීන්ගේ අරමුණ හොඳ රැකියාවක් ලබා ගැනීම නම් ඔවුන්ට ඊට අවශ්‍ය අඩිතාලම විශ්ව විද්‍යාලයක දී ලැබිය යුතුය. ක්ෂේත්‍රයේ හෝ වේවා රජයේ අනිකුත් ක්ෂේත්‍රයක හෝ වේවා රැකියාවේ නියුතු වීමට නම් වර්තමානයේ දී මූලික පරිඝණක හා ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමේ අවශ්‍යතාව ඉස්මතු ව පවතී. පරිගණක දැනුම හා භාෂාමය කුසලතා විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාවට ඇති නැඹුරුව එහි වාග්මාලාව සංවර්ධනය වීමට තරම් වැඩපිළිවෙල ක්‍රියාත්මක වනවාද යන්න හුදෙක් ම පැනයක් පමණි. ශාස්ත්‍ර පීඨයේ හෝ වේවා විද්‍යා පීඨයේ හෝ වේවා අධ්‍යාපන කටයුතු අවසන් කර රැකියාවකට යොමුවන විට ඉංග්‍රීසි භාෂාවෙේ නිපුණත්වය බලාපොරොත්තු වන්නේ නම් එහි අත් අධ්‍යන මාධ්‍ය ය ඉංග්‍රීසි මාධ්‍ය මූලික විය යුතුමය. ඉන් අදහස් වනුයේ මෙරට රාජ්‍ය භාෂාව වන සිංහල භාෂාව පහත් කර සැලකිය යුතු වන බවක් නොවේ.

අධ්‍යාපනයට පරිබාහිරව සන්නිවේදන කටයුතු වල දී සිංහල භාෂාව යොදා ගැනීමේ අඩුලුහුඬුතාවක් නැත. ලෝකය හා මුහු වීමේ දී ජාත්‍යන්තර භාෂාවකින් දැනුම බෙදා ගැනීමේ අවශ්‍යතාවය ඉස්මතු වී පෙනී යන බවයි .ඇතැම් විශ්වවිද්‍යාලය වල අධ්‍යන විෂය නිර්දේශය යාවත්කාලීන නොවීම නිසා රැකියා වෙළඳපොලට අවශ්‍ය නව දැනුම ඔවුන්ට අත්පත් කර ගැනීමට හැකි වේ ද යන ගැටලුව පවතියි. තවද විශ්වවිද්‍යාල පද්ධතිය තුළ රැකියා වෙළෙඳපොළට අවශ්‍ය ගුණාත්මක විද්‍යාර්ථීන් බිහි වෙනවා ද යන්න ප්‍රශ්නයකි. මන්ද ආදර්ශමත් ආචාර්යවරුන් පිරිසකගෙන් සැදුම්ලත් විශ්වවිද්‍යාල පරිසරය තුළ අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයින්ට ඔවුන් හා යමින් ආකල්පවලින් පිරිපුන් පිරිසක් ලෙස පිට වීමට හැකි වනවා නොඅනුමානය (විජේවර්ධන, 2020).

කැම්පස් යනවද  රස්සාවක් කරනවද

තරඟකාරී අධ්‍යාපන රටාව තුළ ශ්‍රී ලංකාවේ උසස් පෙළ හදාරන සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමට ප්‍රමාණවත් පහසුකම් රජයට නොමැත. එබැවින් පෞද්ගලික අංශයෙන් උසස් අධ්‍යාපනය ලබා තම වෘත්තීය දියුණු කර ගැනීමට සිසුන් සහ දෙමාපියන් උනන්දු වෙති. පෞද්ගලික උසස් අධ්‍යාපනයට යාම සහ රාජ්‍ය අංශයේ උසස් අධ්‍යාපනය ලැබීම අතර වෙනස නම් වැඩිපුර මුදල් ගෙවිය යුතු වීමත්, උපාධිය හදාරන අතර ම රැකියාවක් ලබා ගැනීමත්, ඒ අනුව ඔබේ වෘත්තීය පළපුරුද්ද වැඩි කර ගැනීමත් ය. රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන සිසුන්ට පවතින විෂය මාලාව ආවරණය කරමින් අමතර වැඩ කිරීමට කාලය සොයා ගැනීම තරමක් අපහසුය. වෘත්තීය පළපුරුද්ද පමණක් ඇතිව රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් එළියට එන උපාධිධාරියාට වඩා පෞද්ගලික විශ්වවිද්‍යාලයේ අත්දැකීම් ඇති උපාධිධාරියාට රැකියා වෙළෙඳපොළ තුළ වැඩි ඉඩක් හිමිවීම වර්තමානයේ දක්නට ලැබෙන ප්‍රවණතාවකි. මේ තත්ත්වය රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන උසස් පෙළ සමත් සිසුන් අධෛර්යමත් කර නිදහස් අධ්‍යාපනය අතහැර පෞද්ගලික ආයතනවල අධ්‍යාපනය ලැබීමට විශාල මුදලක් වැය කිරීමට හේතු වේ. මේ නිසා කැම්පස් ගිහින් අවුරුදු හතරක් නාස්ති කරනවට වඩා ජොබ් එකක් කරලා ඉගෙන ගන්න එක හොඳයි කියලා පීඩාකාරී මතයක් සමාජය තුළ නිර්මාණය වී තිබෙනවා.

සියල්ල මුදල මත තීරණය වන සමාජයක නොමිලේ ලැබෙන විශ්වවිද්‍යාල උපාධිය අතහැර රැකියාවකට යාම ආවස්ථික පිරිවැය පිළිබඳ ගැටලුවකි. රාජ්‍ය විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන විට සෑම දෙයක්ම නොමිලේ වන අතර සිසුන්ට අන්තර්ජාල පහසුකම්වලින් සියලු වරප්‍රසාද ලැබේ. රාජ්‍ය විශ්වවිද්‍යාලවල තම කාල කළමනාකරණ කුසලතා මත අමතර රැකියා කරන සිසුන් ද සිටිති. රාජ්‍ය විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුන්ට විදේශ ශිෂ්‍යත්ව ලබා ගැනීමෙන් තම උසස් අධ්‍යාපනය දීප්තිමත් කිරීමට වැඩි අවස්ථා තිබේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර පිළිගැනීමත් ඉහළයි. පශ්චාත් උපාධි සඳහා අයදුම් කිරීමේදී රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට ද ඉහළ පිළිගැනීමක් ලැබේ. මේ නිසා, රජයේ විශ්ව විද්‍යාලවල ඉගෙනීමට, අමතර ක්‍රියාකාරකම් සඳහා, අර්ධකාලීන වැඩ සඳහා ගත කරන කාලය කළමනාකරණය කිරීම අවශ්‍ය වේ. ඒ සඳහා රැකියා වෙළෙඳපොළ තුළ ද අවස්ථාව සකස් කර ගැනීම සුදුසුය. විශ්වවිද්‍යාලයක ගත කරන කාලය ස්වයං නිර්මාණ සහ ස්වයං රැකියා සඳහා ද ප්‍රයෝජනවත් කාලයකි. නිදහස් අධ්‍යාපන වරප්‍රසාදයෙන් මහජන මුදලින් ඉගෙනුම ලබන උපාධිධාරීන් රටට බරක් නොවීමට ව්‍යවසායකයින් උපායශීලී විය යුතුය. රාජ්‍ය ආයතනවල ඒ සඳහා සුදුසු ක්‍රමවේද සකස් කළ යුතුයි. පෞද්ගලික විශ්වවිද්‍යාල වේවා, රාජ්‍ය විශ්වවිද්‍යාල වේවා අවසානයේ අරමුණ රටට යහපත් පුරවැසියන් බිහිකිරීම බැවින් මෙරට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව රටේ අභිවෘද්ධිය සඳහා සූදානම් කිරීම අප සැමගේම අභිවෘද්ධියට හේතුවනු ඇත (සංස්කාරක, 2022).

අධ්‍යාපන පද්ධතිය යාවත්කාලින විය යුතුයි

වර්තමනයේ අපේ රට පවතින තත්ත්වය, දරුවන්ගේ අධ්‍යාපන මට්ටම සහ ඔවුන් කොතෙක් දුරට ඉගෙන ගන්නවද නැතහොත් ඔවුන් කොතනින් අධ්‍යාපනය නැවැත්විය යුතුද යන ප්‍රශ්න සමග සංසන්දනය කිරීම තාත්වික නොවේ. ඒ මන්ද යත් අපි හැමෝම හොදින් දන්නා පරිදි උපන් දා පටන්ම අපේ ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් මිසක් ඉන් අඩියක් හෝ ඉදිරියට ගොස් සංවර්ධිත රටක් ලෙස ලැයිස්තුගත වීමට හැකියාවක් ලැබූ රටක් නොවීමයි. මෙවැනි තත්වයන් හමුවේ දරුවන්ගේ අනාගතය අදුරු වීම හා නන්නත්තාර වීම පුදුමයක් නොවේ. හිරෝෂිමා නාගසාකි ප්‍රහාර හමුවේ බිමට සමතලා වී වසර ගණනාවක් යන තුරු එම ප්‍රහාර වල විකිරණ බලපෑම නිසා බොහෝ අසරණ තත්වයට පත් වුනු ජපනුන් අද සිටින තත්වය බලන විට ඇත්තෙන්ම ශ්‍රී ලාංකිකයන් විදිහට අපි තාමත් එකතැන පල්වෙන ජාතියක් වීම ලජ්ජාවට කරුණකි. සුදුස්සාට සුදුසු තැන නොදීම මෙයට ප්‍රධානතම හේතුවයි.

සාමාන්‍ය පුරවැසියෙක් දුප්පත් පවුලක දරුවෙක් බොහොම අමාරුවෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු නිම කරලා රැකියාවක් බලාපොරොත්තු වන්නේ සෑම සියලු දෙනාම දුකින් මුදාගෙන සැපවත් ජිවිතයක් ගත කිරීමටයි. නමුත් ලංකාව තුල හරිහමන් විදිහට විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් නිම කර ඉන් එලියට එන විටම ඔවුන්ගේ වයස ඉක්මවා ගොස් හමාරයි. සැබවින්ම ඔවුන් රැකියාගත වන විට අවම වශයෙන් වයස අවු: 25 හෝ 26 ක් ඉක්මවා තිබේ. මෙය දරුවන්ගේ වරදක් නොවේ. සමස්ථ අධ්‍යාපන ක්ෂේත්‍රයේම තිබෙන්නා වූ දුර්වලතාවයකි. ඒ අතරම හොදම විහිලුව නම් රැකියා වලට අයදුම් කිරීමේදී අදාළ ආයතන වලින් ඉහළ අවධානයක් යොමු කරන රැකියා පළපුරුද්ද. මෙය බොහෝ උපාධිදාරීන් මුහුණ පන ප්‍රධාන ගැටළුවක් වී තිබේ. විශ්ව විද්‍යාල සිසුන් අධ්‍යන කටයුතු සමග පොර බැද අවසානයේ බලාපොරොත්තු වන්නේ උසස් ආයතනයක රැකියාවක නිරත වීමටයි. එහිදී අවම වශයෙන් අවුරුදු 03ක පමණ අයදුම් කරන  ක්ෂේත්‍රයට අදාලව පළපුරුද්ද අනිවාර්ය සුදුසුකමක් ලෙස දක්වා තිබේ. ඒ සමගම උපරිම වයස් සිමාව අවු: 23ක් හෝ 25ක් ලෙස සීමා කර තිබේ. ඉතින් ලංකාව වැනි රටක අවුරුදු 25 කියන වයස් සිමාව තුල සිට පිළිගත් විශ්ව විද්‍යාලයක උපධිදාරියෙක් වීම හා අවම අවුරුදු 3ක රැකියා පළපුරුද්දක් තිබීම යන කරුණු සම්පුර්ණ කල හැකිදැයි යන්න ප්‍රෙහෙලිකාවකි.

අපේ රටේ උපධිදරියෙකු බිහිවීමට අවුරුදු 25ක් පමණ කාලයක් ගත වුනත් ලෝකයේ බලවතුන් ලෙස පිළිගැනෙන බොහෝ රටවල අවුරුදු 25ක් වන විට දරුවෙක් උපාධි 2 -3 ක් සම්පුර්ණ කර උසස් ආයතනයක රැකියාවක නිරත වන අතරම ඔවුන් තම පවුලෙන් වෙන් වී ස්වාධීනව තම ජීවිතය ගොඩනගා ගන්නා තත්වයට පත්වී තිබේ. ඉගෙනීම කියන රාමුව ඇතුළේ කොටු වෙන්නේ නැතිව අතීතයේ සිට මේ දක්වා එකම විෂය නිර්දේශයක් තුලම සිර නොවී යාවත්කාලින වන ලෝකයේ දරුවන්ට ලබාදෙන අධ්‍යපනයද යාවත්කාලින කරමින් යල්පැන ගිය විෂයන් වලම එල්බගෙන සිටිනවා වෙනුවට දරුවන්ට අලුත් විදිහට ලෝකය දෙස බලන්න දකින්න ඉගැන්වීම තුලින් වයසට යන තුරු ඉගෙන ගන්නවා වෙනුවට අඩු වයසින්ම අදාල අධ්‍යාපනික ඉලක්ක සපුරා ගැනීමටත් තමන්ගේ තුරුණු ශක්තියෙන් රටට ලෝකයට වැඩක් කිරීමටත් හැකියාව ලැබේ. ඉගෙන ගන්න වයස් සීමාවක් තිබෙනවා හෝ නැතිනම් ඉගෙන ගැනීම වැරදියි  යන මතයක් ඉදිරිපත් කිරීමට උත්සහ කරනවා නොවේ, නමුත් මෙය ලංකාව තුළ සර්ව සම්පුර්ණ අයුරින් උසස් අධ්‍යාපනය නිමකර රැකියාවක් ලබාගැනීමට අපේක්ෂා කරන්නෙකුට මුහුණ දීමට සිදුවන සත්‍ය තත්වය පැහැදිලි කිරීමට ගන්නා වෑයමකි.  අපේ රටේ යල්පැන ගිය සහ කිසිදු හරයක් නොමැතිව ඔහේ ගලාගෙන යන අධ්‍යාපන ක්‍රමයන් සමග සසඳන විට ලෝකයේ බලවත් රටවල් තාත්වික හා සාර්ථක මෙන්ම ඵලදායි යාවත්කාලින අධ්‍යාපනික ක්‍රමෝපායන් ක්‍රියාවට නැංවීම නිසා ඔවුන්ට දිනෙන් දින සාර්ථකතාවන් ළගාකර ගැනීමට හැකිවී තිබේ.

කෙසේවුවත් මෙය සල්ලිකාර ධනපති පැලැන්තියේ ඇත්තන්ට නම් අදාළ ම නැත. මොකද කිව්වොත් සමස්තයක් ලෙස එවැනි පවුල් වල අවම හෝ සාමාන්‍ය සමර්ථ සහිතව විභාග සමත් වන තම දරුවන් බොහෝ වියදම් කරමින් රට රටවල පිළිගත් හා නම ගිය විශ්වවිද්‍යාල වෙත යවා නිසි කලට උපධිදරියෙකු කරවීමට තරම් වත්කමක් හා බලයක් ඔවුන් සතුව තිබීමයි. එදා වේලවත් කන්න නැති දුප්පතෙක්ගේ දරුවෙක්ට නොමිලේ ලබාදෙන අධ්‍යාපනය හැරුනම ඉහත කී පරිදි වියදම් කරන්නටවත් පෞද්ගලික විශ්ව විද්‍යාලයකට යන්න හෝ රට රාජ්‍ය වලට ගොස් අධ්‍යාපනයක් ලබන්නටවත් සිතීම පවා සිහිනයක්. ඇත්තෙන්ම මෙය වත්පොහොසත්කමෙවත් කුලමල තාන්න මාන්න තරාතිරම්වලවත් ගැටළුවක් නොවේ. මෙය ජාතික ප්‍රශ්නයක්. නුගතුන් යටතේ පාලනය වන රටක් නිසා අපිට මුහුණ දෙන්න වෙලා තියන දරුණු තත්ත්වයක්. පාර්ලිමේන්තුව තුල සිටින එක එක්කෙනා වෙන වෙනම බැලුවොත් අවම අධ්‍යාපන සුදුසුකමක් තිබෙන එකෙක්වත් සොයා ගැනීමට හැකි නම් එය ආශ්චර්යයකි. දේශපාලකයෙක් වීමට නම් අවශ්‍ය අවම සුදුසුකම් වන්නේ කළු සල්ලි වලින් බැංකු ගිණුම් පුරවගෙන එහෙන් මෙහෙන් පෝස්ටර් දැන්වීම් වලට සල්ලි විසි කරන්න පුළුවන් වීමයි. ශ්‍රී ලංකාව සල්ලි වලටම යට වුන සල්ලි වලට දෙකට නැමෙන සල්ලි ඉදිරියේ පාච්චල් වෙන රටක් වෙලා ඉවරයි. නමුත් උපධිදරියෙකුට රැකියාවක් ලබා ගැනීමට නම් විවිධාකාර පැතිකඩයන් ඔස්සේ සුදුසුකම් සපුරාලීම අත්‍යාවශ්‍ය කරුණක් වී තිබේ. ඉන් පසුවත් සොච්චම් වැටුපක් යටතේ සේවය කිරීමට සිදුවීම ඉතාමත් කණගාටුදායක තත්ත්වයකි.

ඇත්තෙන්ම මෙය රටේ උගත් බුද්ධිමත් දරු පරපුරට පමණක් ක්‍රියාත්මක කිරීම ඉතාමත් අසාධාරණයි. රටක් පාලනය කල යුත්තේද උගත් බුද්ධිමතුන් ය. සාමාන්‍ය පෙළවත් සමත් නැති අමන හෙන්චයියන් රට පාලනය කරන නිසා මේ රට දිනෙන් දින විනාශ මුඛයට යමින් තිබේ. සැබවින්ම විය යුත්තේ දේශපාලනයට ද නිසි පරිදි අධ්‍යාපන සුදුසුකම් සම්පුර්ණ කල උදවිය පමණක් සම්බන්ධ කර ගනිමින් රට ගොඩනැගීමේ ක්‍රියාවලිය යලි පන ගැන්වීමයි. එසේ නොමැතිව සල්ලි තියනවා නම් පාර්ලිමේන්තුව ලගින් යන හැම එකාවම දේශපාලනයට එකතු කරගැනීම නොවෙයි කල යුත්ත. කෙසේ වෙතත් සමාජයේ පවතින කැම්පස් එකට ගියපු නිසා ගෙවිල ගියපු අවුරුදු 4 අපරාදේ කියන මතය මෝඩයන් විසින් නිර්මාණය කරගන්න ලද්දකි. එය අපරාදයක් නොවේ ආයෝජනයක්. ඉගෙන ගත්  දෙයක් කවදාවත් අපතේ යන්නේ නැහැ කියලා කියමනකුත් තියනවා.

විශ්ව විද්‍යාල අධ්‍යාපනයට හා එහි ගත කරන කාල සීමාවට කෙතරම් ගැරහුවත් හිල්ලුවත් අපරාදයක් ලෙස සිතුවත් එහි අධ්‍යන කටයුතු නිම කරලා අවසානයේ තමන්ගේ දරුවා උපාධි ලෝගුවක් ඇදගෙන උපාධියක් අතට ගන්න දවසක් බලාගන්න හැම අම්මම තාත්තම වාසනාවන්ත නෑ. ඉතින් එවැනි පසුබිමක තමන්ගේ දරුවාට  විශ්ව විද්‍යාලකයට තේරී පත්වීමේ ලිපියක් ලැබීමම කෙතරම් භාගයක්ද? නිකම් ඔහේ බලාගෙන ඉදලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි, ලක්ෂ ගාණක් ළමයි එක්ක තරග කරලා මහන්සි  වෙලා ඒ වෙනුවෙන්ම කැපවීම් කරලා ලබාගන්න වටිනාකමක්. විශ්ව විද්‍යාල ජීවිතය කියන්නෙත් හැමෝටම විදින්න නොලැබෙන අවස්ථාවක්. ආසාවෙන් බලාපොරොත්තු පොදි බැදගෙන ඉන්න ගොඩක් දරුවන්ට මගහැරෙන දෙයක් තමයි විශ්ව විද්‍යාල ප්‍රවේශය කියන්නේ. ඉතින් ඒ නිසා විශ්ව විද්‍යාලය තුළ ගත කරන කාලසීමාව නාස්තියක් හෝ අපරාදයක් ලෙස හංවඩු ගැසීම තමයි  අපරාධයක් වන්නේ. රැකියා විරහිත උපාධිදාරීන් බිහිවීම හා එම  අනුපාතය දිනෙන් දින ඉහල යාමට වගකිව යුත්තෝ දරුවන් හෝ ඔවුන් ඉගෙනීමට ගතකළ කාලය නොවේ. රටේ පාලකයින් ය.

මුලාශ්‍ර

මහාචාර්ය, ජයවර්ධනඒ. ආනන්ද, & විශ්වවිද්‍යාලය, කොළඹ. (2019). පැරණි ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය. Fb Page, History – ඉතිහාසය. https://web.facebook.com/history65/posts/300791720596678/

විජේවර්ධනශෂිණි නිරාශා සන්දීපනී/ කොළඹ විශ්ව විද්‍යාලය. (2020). වර්තමාන විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය ප්‍රති ව්‍යුහගත විය යුතුද? All Ceylon Buddhist Students’ Federation. https://web.facebook.com/101494758230978/photos/a.101509658229488/204727407907712/?type=3&_rdc=1&_rdr

සංස්කාරක. (2022). විශ්වවිද්‍යාල අධ්‍යාපනය හුදු කාලය නාස්ති කිරීමක් නොව අනාගත ආයෝජනයකි. නේ මඬල. https://units.kln.ac.lk/nemadala/index.php/visheshanga/suwaarana/105-nemadala/kathuwekiya/282-2022-06-28-03-20-59

Previous article
Next article
Diluka Bandara
Diluka Bandara
senior student, Rajarata university of Sri Lanka

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles