25 C
Colombo
Tuesday, October 3, 2023
spot_img

Subscribe

Date:

Share:

කාන්තා දිළිඳුභාවය සහ කෘෂිකර්මාන්තය

Related Articles

No Caption

ගතවූ ආසන්න වසර තුනක පමණ කාලය තුළ පැතිරී තිබූ COVID-19 වසංගත තත්වය බොහෝ රටවල පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල් දරිද්‍රතාවයට පත්වීමේ අවදානම තවත් වැඩිකර ඇත. මෙයට හේතු පාදක වී ඇත්තේ කාන්තාවන්ටද එක හා සමාන ලෙස බලපා ඇති පෙර නොවූ විරූ විරැකියාව හේතුවෙන් විශාල ආර්ථික අනාරක්ෂිතතාවයකට මුහුණ දීමට සිදු වීමයි.

නවතම සමීක්ෂණ වලට අනුව ලොව කාන්තාවන් සහ ගැහැණු ළමුන් ගේ දිළිඳුභාවය අයහපත් අතට හැරෙමින් තිබේ. UN Women, UNDP සහ ජාත්‍යන්තර අනාගතය සඳහා වූ Pardee මධ්‍යස්ථානය විසින් ඇස්තමේන්තු කර ඇති ගෝලීය දරිද්‍රතාවය පිළිබඳ නව සමීක්ෂණ වාර්තා වලට අනුව 2022 වසරේදී මිලියන 388 ක් කාන්තාවන් සහ ගැහැණු ළමුන් අන්ත දිළිඳුබවින් ජීවත් වනු ඇත (මෙම සංඛ්‍යාමය දත්තයන් පිරිමි සහ පිරිමි ළමුන් මිලියන 372 ට සාපේක්ෂව ඉදිරිපත් කර ඇත). කෙසේ නමුත්, ඉදිරි‍යේදී මෙම තත්වය වඩාත් අයහපත් අතට හැරිය හැකිය. “ඉහළ හානි” තත්වයක් තුළ, මෙම ඇස්තමේන්තු ගත අගය මිලියන 446ක් පමණ (පිරිමින් සහ පිරිමි ළමුන් සඳහා මිලියන 427ක්) දක්වා ඉහළ යා හැකි බව සඳහන් කෙරේ.

ස්ත්‍රී-පුරුෂ භාවය අනුව ගෝලීය අන්ත දරිද්‍රතා අගයන්, පහළ සහ ඉහළ-හානි අනාවැකි (2017-2030)                                      මූලාශ්‍රය: UN Women, UNDP සහ Pardee Center for International Futures using International Futures modeling platform (රටවල් 186ක නියැදියක් සහ ගෘහ මට්ටමේ දත්ත මත පදනම්ව)

මෙම නව පුරෝකථනයන්ට අනුව, ලෝකයේ අන්ත දිළිඳු කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගෙන් 83.7%ක් කලාප දෙකක, එනම් උප සහරා අප්‍රිකාවේ (62.8%) හා මධ්‍යම සහ දකුණු ආසියාවේ (20.9%) ජීවත් වනු ලබයි.

කලාපය අනුව අන්ත දිළිඳුබවින් ජීවත් වන කාන්තා ජනගහණය – 2022 (මිලියන ගණනින්)                                      

මූලාශ්‍රය: UN Women, UNDP සහ Pardee Center for International Futures using International Futures modeling platform (රටවල් 186ක නියැදියක් මත පදනම්ව)

කාන්තාවන් දුප්පත් වීම ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීමට බාධාවකි, ඔවුන්, ජය ගැනීමට අතිශයින් දුෂ්කර අභියෝගවලට මුහුණ දෙයි. එලෙසම  කාන්තා ඵලදායිතාවය රටක ආර්ථිකයේ විශිෂ්ඨතම උත්පාදකයක් ලෙස සලකන බැවින් කාන්තා දිළිඳුභාවය ඔවුන්ගේම ජීවිත අහිමි වීම මෙන්ම පුළුල් සමාජයට හා ආර්ථිකයටද පාඩු සිදු කරයි. තවද, කාන්තාවන් විසින් සිදු කරනු ලබන වැටුප් ලබන හා වැටුප් නොලබන කාර්‍යයන් දිළිඳු නිවෙස් වල පැවැත්ම සඳහා ඉතාමත් වැදගත් වන බැවින් දරිද්‍රතාවය අඩු කිරීමේ ප්‍රයත්නයන්හිදී, පිරිමින්ට වඩා දුප්පත් කාන්තාව කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ.

එමෙන්ම, කාන්තාවන් රටක ආර්ථිකයේ කොටස්කරුවන් වේ. ඔවුන් තම පවුල සඳහා ආහාර නිෂ්පාදනය සහ සැකසීම, තම දරුවන්, වැඩිහිටියන් සහ නිවසේ රෝගී වූවන් සඳහා මූලික රැකවරණ සපයන්නන් වේ. කාන්තාවන්  ඔවුන්ගේ ආදායම සහ ශ්‍රමය දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ යහපැවැත්ම සඳහා යොදවයි. ඇත්ත වශයෙන්ම, තම ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් පුද්ගලික අවශ්‍යතා සඳහා වැය කරන පිරිමින්ට වඩා මව්වරුන් තම ආදායම තම දරුවන්ගේ ආහාර සහ සෞඛ්‍ය සේවා සඳහා වැය කරන බවට අධ්‍යයන ගණනාවකින් තහවුරු කර තිබේ.

කාන්තාවන් බහුතරය දිළිඳු බවට පත් වීමට හේතු

ස්ත්‍රී පුරුෂ සමාජ පරතරය යනු ලෝකයේ පැරණිතම සහ සමාජයේ වඩාත්ම පැතිරුණු අසමානතාවයකි. එය කාන්තාවන් නිහඬ කරවයි, ඔවුන්ගේ කාර්යය අවතක්සේරු කරයි, සහ එය පවුල තුළින් ආරම්භ වී ජාතික හා ගෝලීය මට්ටම දක්වාම කාන්තාවන් දරන තනතුරු පිරිමින්ට අසමාන කරයි. මෑත කාලීනව සැලකිය යුතු තරම් ප්‍රගතියක් තිබුණද, කිසිම රටක කාන්තාවන් පිරිමින් සමඟ ආර්ථික සමානාත්මතාවය ලබාගෙන නොමැති අතර, දිළිඳු බවින් ජීවත් වීමට පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි ඉඩක් පවතී.

ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම දරිද්‍රතාවයෙන් පෙළෙන අතර, ස්ත්‍රී පුරුෂ සමාජ පරතරය යන්නෙන් අදහස් වන්නේ කාන්තාවන්ට ඔවුන්ගේ තත්වයන් සමඟ කටයුතු කිරීමට, ඔවුන්ට මුහුණ දීමට ඇති සම්පත් ඉතා අඩු බවයි. ඔවුන් අවසානයට ආහාර ගැනීම, සෞඛ්‍ය සේවා සඳහා අවම ප්‍රවේශයක් තිබීම මෙන්ම තම කාලය ගතවන නමුත් මුදල් නොලබන ගෘහාශ්‍රිත කාර්යයන්හි නිතර සිරවී සිටියි. කාන්තාවන් හට වැඩ කිරීමට හෝ ව්‍යාපාර ආරම්භ කිරීමට ඇති අවස්ථාද අඩු අතර හොඳ අධ්‍යාපනයක්ද ලබා ගත නොහැකි විය හැකිය. සමහරුන්ට ජීවත් වීම උදෙසා ලිංගික අතවර වලට ලක් වීමට සිදුවේ.

එලෙසම, ලොව පුරා අඩුම වැටුප් ලබන ශ්‍රමිකයන් වන්නේ කාන්තාවන්ය. ගෝලීය වශයෙන්,  ඔවුන් පිරිමින්ට වඩා 24% අඩුවෙන් උපයන අතර, එම පරතරය පියවීමට නම් වත්මන් ප්‍රගතියේ වේගය අනුව තවත් වසර 170ක් පමණ ගතවනු ඇතැයි විශ්වාස කෙරේ. එමෙන්ම පිරිමින්ට වඩා වැටුප් සහිත රැකියාවල යෙදෙන කාන්තාවන් ප්‍රමාණය මිලියන 700කටත් අඩුය (අඩු වැටුප්). කෘෂිකර්මාන්තයේ යෙදෙන කාන්තාවන් සාමාන්‍යයෙන් පිරිමින්ට වඩා සතියකට පැය 13ක් වැඩ කරයි, නමුත්  ග්‍රාමීය ප්‍රදේශවල ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය 40% දක්වා ළඟා විය හැකි අතර ලොව පුරා ඉඩම් හිමි කාන්තාවන්ගේ ප්‍රමාණය 20%කටත් වඩා අඩුය.

සංවර්ධනය වෙමින් පවතින රටවල කාන්තාවන්ගෙන් 75% ක් පමණ අවිධිමත් ආර්ථික වැඩවල සේවය කරන අතර, ඔවුන්ට රැකියා කොන්ත්‍රාත්තු, නීතිමය අයිතිවාසිකම් හෝ සමාජ ආරක්ෂණය ලැබීමට ඇති ඉඩකඩ අඩු වන අතර දරිද්‍රතාවයෙන් මිදීම සඳහා අඩු වැටුප් ගෙවනු ලැබේ. එමෙන්ම, මිලියන 600 ක පමණ ජනතාවක් වඩාත්ම අනාරක්ෂිත සහ අස්ථිර රැකියාවල නිරත වේ.

කාන්තාවන් පිරිමින්ට වඩා අවම වශයෙන් දෙගුණයක්වත් වැටුප් ලැබිය යුතු නමුත් වැටුප් නොලබන කාර්‍යයන් (දරුවන් රැකබලා ගැනීම සහ ගෙදර දොරේ වැඩ කටයුතු) සිදු කරනු ලබයි, බොහෝ විට ඔවුන්ගේ වැටුප්, වැඩ අනුව සමහර විට දස ගුණයක් පමණ වටිනාකමක් ඇත. ඇස්තමේන්තු අනුව මෙම ගෙවීම් නොලබන සත්කාරක කාර්‍යයන් වල වාර්ෂික වටිනාකම අවම වශයෙන් ඩොලර් ට්‍රිලියන 10.8ක් පමණ වන අතර එය ගෝලීය තාක්‍ෂණ කර්මාන්තයෙන් ලබන ආදායම මෙන් තුන් ගුණයකටත් වඩා විශාලය.

කාන්තාවන් සඳහා ආර්ථික වශයෙන්  සමානාත්මතාවය වැඩි කිරීම සෑම පුද්ගලයෙකුගේම දිළිඳුභාවය අවම කරනු ඇත. වැඩි ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවක් ඇති රටවල ඉහළ ආදායම් මට්ටම් ඇති අතර කලාප සහ රටවල් ගණනාවක සාක්ෂි පෙන්නුම් කරන්නේ මෙම පරතරය නැති කිරීම මඟින් දුප්පත්කම අඩු වන බවයි. නිදසුනක් වශයෙන්, ලතින් ඇමරිකාවේ, 2000 සහ 2010 අතර, වැටුප් සහිත රැකියාවල නිරත වන කාන්තාවන්ගේ ප්‍රමාණය වැඩි කිරීම සමස්ථ දරිද්‍රතාව සහ ආදායම් අසමානතාවය දළ වශයෙන් 30% කින් පමණ අඩු වීමට හේතු වී ඇත.

කුසගින්න සහ දිළිඳුභාවය අඩු කිරීමට කාන්තා ගොවීන් සවිබල ගැන්වීම

රජයන්, පරිත්‍යාගශීලීන් සහ සංවර්ධන වෘත්තිකයන් විසින් කෘෂිකර්මාන්තය ආර්ථික වර්ධනයට සහ ආහාර සුරක්ෂිතතාවයට ඉතාමත් වැදගත් බව දැන් පිළිගෙන ඇත. ලෝකයේ ආහාරවලින් 80%ක් පමණම නිෂ්පාදනය කරනු ලබන්නේ කුඩා පරිමාණ ගොවිතැනෙනි.

සංවර්ධනය වෙමින් පවතින රටවල කෘෂිකාර්මික ශ්‍රමයෙන් සැලකිය යුතු කොටසක් කාන්තාවන් විසින් දරනු ලබයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට (FAO) අනුව කෘෂිකාර්මික ශ්‍රම බලකායෙන් ආසන්න වශයෙන් 43%ක් කාන්තාවන් වේ. සමහර උප සහරා අප්‍රිකානු රටවල මෙම ප්‍රතිශතය 80% දක්වා ළඟා විය හැකිය. එමෙන්ම දකුණු ආසියාවේ වෙසෙන කාන්තාවන්ගෙන් තුනෙන් දෙකකට වඩා කෘෂිකර්මාන්තයෙහි සේවය කරයි. තවද, ග‍්‍රාමීය ප‍්‍රදේශවල ආහාර සුරක්ෂිතතාවයේ සහ ගෘහස්ථ සුභසාධනයේ සැබෑ නියෝජිතයන් බවට පත් වෙමින් කාන්තාවන් බහුතරයක් ආහාර නිෂ්පාදනය කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ග්‍රාමීය කාන්තාවන් ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමට සහ දිළිඳුකම පිටුදැකීමට උපකාර වන කෘෂිකාර්මික ප්‍රතිපත්ති හරහා සවිබල ගැන්විය යුතුය.

අනෙකුත් කර්මාන්තවලට වඩා කෘෂිකර්මාන්තය, කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා විවිධ අවස්ථා ලබා දීමට වැඩි ඉඩක් පැවතියත්, අනෙක් අතට, කාන්තාවන් තම පවුල් පෝෂණය කිරීමට සහ ඔවුන්ගේ ජීවනෝපායන් සඳහා නැවත ආයෝජනය කිරීමට බාධා පමුණුවන විවිධ බාධකවලට මුහුණ දෙයි. පිරිමි ගොවීන්ට ලැබෙන ආධාර මට්ටමම කාන්තා ගොවීන්ට ලැබෙන්නේ නැත. ඔවුන්ට ඉඩම්, ණය, තාක්ෂණය, වෙනත් යෙදවුම් සහ ව්‍යාප්ති සේවා ලබා ගැනීමට ඇති අවස්ථාද අඩුය.

තවද, මූල්‍යකරණය සම්බන්ධයෙන් ගත් කල, කාන්තා ගොවීන් හට බැංකු අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය සම්පත් නොමැතිකම නිසාද ණය, ඉතුරුම් සහ රක්‍ෂණ වැනි සුදුසු මූල්‍ය සේවාවන් සඳහා වඩා හොඳ ප්‍රවේශයක් නොමැතිකම නිසාද ඔවුන් කෘෂිකර්මාන්තයේ නියලීමට දිගටම පසුගාමී වනු ඇත. මෙම හේතුව නිසා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සහ ග්‍රාමීයව ක්‍රියාත්මක වන අනෙකුත් මූල්‍ය සේවා සපයන්නන් හට මේ උදෙසා වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකිය. කෘෂිකර්මාන්තයේ දැනට නියැලී  සිටින සහ නියැලීමට හැකියාවක් ඇති කාන්තාවන් හට කෘෂිකර්මාන්තයේ ආයෝජනය කිරීමට දිරිමත් කිරීම සඳහා විශේෂ වැඩසටහන් සකස් කළ හැකිය.

රජයන් විසින් තීරණාත්මක ගොවි යෙදවුම් වෙත ප්‍රවේශ වීමට කාන්තාවන් හට බාධා පමුණුවන බාධක ඉවත් කිරීමට පියවර ගත යුතුය. ඔවුන් කාන්තාවන් හට සුරක්ෂිත ඉඩම් අයිතිය ඇති බව සහතික කළ යුතු අතර, ගොවිතැන් හා දේශගුණික විපර්යාස වලට අනුවර්තනය වීම සඳහා අත්‍යවශ්‍ය අරමුදල් සහ සහාය ලබා දිය යුතුය. එවැනි ආධාර කාන්තාවන්ගේ අයිතීන් ආරක්ෂා කරන අතරම ඔවුන්ගේ ඵලදායිතාවද වැඩි කරයි. මිලියන සිය ගණනක් වූ කාන්තා ගොවීන් හට කෘෂිකර්මාන්තයේ නියැලීම සඳහා ඇති හැකියාව වැඩි කරමින් දිළිඳුකම සහ කුසගින්න ඵලදායී ලෙස අඩු කරනු ඇත.

ලොව පුරා කුසගින්නෙන් පෙළෙන පුද්ගලයින් මිලියන 815ක් පමණ සිටිති. කාන්තාවන් සහ පිරිමි ගොවීන් යන දෙපාර්ශවයටම සමාන අයිතිවාසිකම් සහ සම්පත් ලබා දෙමින් ආහාර නිෂ්පාදනයෙහිලා පූර්ණ දායකත්වයක් ලබා දීම සඳහා බල ගැන්වීමෙන් මෙම අගය සැලකිය යුතු ලෙස අඩු කළ හැකිය.

තවද, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ස්ත්‍රී පුරුෂ පරතරය නැති කිරීම කෘෂිකාර්මික අංශයට සහ සමාජයට සැලකිය යුතු ප්‍රතිලාභ අත්කර දෙනු ඇත. ඵලදායි සම්පත් සඳහා පිරිමින්ට සමාන ප්‍රවේශයක් තිබේ නම් කාන්තාවන්ට ගොවිපල අස්වැන්න 20-30% කින් පමණ වැඩි කළ හැකිය. මෙය සංවර්ධනය වෙමින් පවතින රටවල සමස්ථ කෘෂිකාර්මික නිෂ්පාදනය 2.5%-4% කින් වැඩි කළ හැකි අතර ගෝලීය කුසගිනි අනුපාතය 12%-17% කින් අඩු කළ හැකිය. කාන්තාවන් සඳහා සමානාත්මතාවය කෘෂිකාර්මික සංවර්ධනයට ප්‍රතිලාභ ලබා දෙන අතර කෘෂිකාර්මික සංවර්ධනය කාන්තාවන්ට ප්‍රයෝජනවත් වනු ඇත.

ප්‍රමාණවත් ප්‍රතිපත්තිමය මැදිහත්වීමක් සහ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සපුරා ගැනීම සඳහා ඇති තල්ලුවත් සමඟින් මෙම ප්‍රවණතා යහපත් අතට හැරවිය හැක. සමාකරණ විශ්ලේෂණයකට අනුව, සමාජ ආරක්ෂණය සඳහා වැඩිපුර මුදල් යෙදවීම, හරිත ආර්ථිකයේ ආයෝජන, වැඩිදියුණු කළ යටිතල පහසුකම් සහ අධ්‍යාපනය ඇතුළත් ඒකාබද්ධ ප්‍රතිපත්ති මාලවක් තුලින් 2030 වසර වන විට මිලියන 150 කට ආසන්න ප්‍රමාණයක් කාන්තාවන් සහ ගැහැණු ළමුන් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට හැකියවක් පවතී. එබැවින් කාන්තාවන්ගේ අයිතීන් සාක්ෂාත් කර ගැනීම, දිළිඳුකම අවම කිරීම සහ පුළුල් සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා කාන්තාවන්ට ගුණාත්මක හා යහපත් වූ රැකියාවක් සඳහා ප්‍රවේශය මෙන්ම ඔවුන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය වේ.

මූලාශ්‍ර:-

Fabiyi, E. F., & Akande, K. E. (2015). Economic empowerment for rural women in Nigeria: poverty alleviation through agriculture.

Heidi Shierholz, “Nearly 11% of the workforce is out of work with no reasonable chance of getting called back to a prior job,” Economic Policy Institute, June 29, 2020, available at https://www.epi.org/blog/nearly-11-of-the-workforce-is-out-of-work-with-zero-chance-of-getting-called-back-to-a-prior-job/.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles