25.6 C
Colombo
Tuesday, October 3, 2023
spot_img

Subscribe

Date:

Share:

ටියුෂන් මාෆියාව, ගෘහ ආර්ථිකයසහ දරුවන්ගේ අනාගතය

Related Articles

ඉගැන්වීම වෘත්තියක් ද? ව්‍යාපාරයක් ද? නැතහොත් සමාජ වගකීමක් ද? මීට නිශ්චිත පිළිතුරක් දිය නොහැකි වුව නිදහස් අධ්‍යාපනයේ පරමාර්ථ ඉටුවීමට නම්; ඉගැන්වීම සමාජ වගකීමක් ලෙස පැවැතිය යුතුය. ශ්‍රී ලංකාවේ අතීත අධ්‍යාපන සම්ප්‍රදාය ගොඩනැඟුණේ ද නූතන පාසල් අධ්‍යාපනය ගොඩනැඟුණේ ද ඉගැන්වීම සමාජ වගකීමක් හැටියට සලකමින් ය. ඒ අනුව ගුරුවරයා යනු මුදල් හම්බකරන්නකු නොව සමාජ සේවකයකු හා සමාජ නායකයකු ලෙස සැලකිය හැකි ගෞරවනීය පුද්ගලයකු බව පිළිගැනිණි. ගුරුවරයා උපදේශකයකු පමණක් නොව; සමාජයේ ගමන්මඟ තීන්දු කරන්නකු ලෙස ද සැලැකිණි. ඒ අනුව පාදඩ සමාජය පවා ගුරුවරයා ඉදිරියේ හිස නැමූහ. එහෙත් අද වනවිට එම තත්ත්වය කෙලෙසී ඇත. ඇතැම් පාසල් තුල ගුරුවරයා යන චරිතය හෑල්ලුවට ලක්කරමින් ඔවුන්ව විහිළුවට ගනිමින් කිසිදු ගරුසරුවක් නොමැතිව ඔවුන් සමග කරට කර හිද සිදුකරන වීඩියෝ පටිගත කිරීම්ද සමාජ මාධ්‍ය තුල බහුලව දක්නට ලැබේ.

අතීතයේ නම් සාමාන්‍ය ගුරුවරයා ද, විදුහල්පතිවරයා ද ගමක්, ප්‍රදේශයක්, පළාතක් හදන ආදර්ශවත් නායකයන් හැටියට සැලකිණි. මේ ගෞරවයට හේතුව ඔවුන්ගේ අනන්ත කැපවීම යැයි කියන්නට පුළුවන. ඒ අතීත පාසල් ගුරුවරු පාසල් කාලයෙන් පසු ශිෂ්‍යයන් එහිම රඳවාගෙන උපකාරක පන්ති පැවැත්වූහ. එහෙත් ඔවුන් කිසිදු දරුවකුගෙන් ශත පහක දීමනාවක් ගත්තේ නැත. සමහර ගුරුවරුන් තම නිවසින් රැගෙන එන බත්මුල ලිහාගෙන සප්පායම් වී උපකාරක පන්ති පැවැත් වූ බව බොහෝ දෙනකුට මතක ඇත. ගුරුවරුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැපවීමක් සිදු කිරීම කෙතරම් යහපත් ක්‍රියාවක් ද? අද එබඳු තත්ත්වයක් කිසිදු පාසලක දකින්නට නැත (කතුවැකිය, 2018).

දැන් සමාජයේ හැදෙන වැඩෙන දරුවන් අතර කිසිදු ගුරු ගෞරවයක් දක්නට නැත. අඩු තරමින් වරදකට දඩුවම් දීමටවත් නොහැකි තත්වයක් උදාවී තිබේ. දරුවෙකුට  දඩුවමක් දුන්නොත් ඒ තමන්ගේ මවද පියාද වැඩිහිටියෙක්ද ගුරුවරයාද ඒ කිසිත් අදාළ නැත. ඔවුන්ද පෙරළා පහර දීමට තැත් කරයි, පරුෂ වචනයෙන් බැණ වදියි, පලි ගැනීමට උත්සහ කරයි එසේත් නැතිනම් කෝපය පහව යනතුරු අහුවෙන දෙයකින් ගසා මරා දමයි. මේ වන විටත් ඉතා කෘර සමාජයක් නිර්මාණය වී හමාරය. මෙවැනි අධම සමාජයක් බිහිවන්නේ කාගේ වරදින්ද යන්න තවමත් ප්‍රශ්නාර්ථයකි. කෙසේ වුවත් දෙමාපියන් අතේ මෙහි වගකීමේ වැඩි බරක් තිබේ. ඒ මන්ද යත් ඔවුන් දරුවන් වැදීම හා ඇති දැඩි කර පෝෂණය කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. තමන්ට ගමට රටට සමාජයට අර්ථවත් මෙන්ම ගුණගරුක දරුවෙකු නිර්මාණය කර සමාජයට මුදා හැරීමේ මුල් ගුරුවරුන් වන්නේ දෙමාපියන් නිසා ය.

මුල් අවධියේ ළමයින්ට අධ්‍යාපනය මුලිකවම ලැබුනේ පාසලෙන්. හැම ළමයෙක්ම ඒක වගේ දක්ෂ නොවන නිසා සමහර ළමයින්ට සමහර විෂය කරුණු තේරුම් ගැනීම අපහසුයි. ඉතින් එවැනි දරුවන්ට අදාළ දැනුම වඩාත් සරලව ලබා දෙන්න පාසලෙන් බාහිරව පටන් ගත් අධ්‍යාපන ක්‍රමයක් විදියට තමයි උපකාරක පන්ති නොහොත් නැත්නම් ටියුෂන් ආරම්භය සිදුවන්නේ. ඒ සමගම ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වන විට අධ්‍යාපනයට තියෙන තරඟය වැඩි විය. අමතර දැනුම ලබා ගන්න සිසුන් අතර පෙළඹීමක් ඇති වීමත් නිසා උපකාරක පන්ති වලට තියෙන ඉල්ලුම ක්‍රම ක්‍රමයෙන් වැඩි ඉහළ නැගුණි. එහි ප්‍රතිඵලයක් ලෙස කෙටි කාලයක් ඇතුලත උපකාරක පන්ති ව්‍යාපාරික මට්ටමින් වර්ධනය විය. මේ සමග ටියුෂන් පන්ති අතරෙත් ලොකු තරඟයක් නිර්මාණය වු අතරම ඒ තරඟයත් සමග බොහෝ අවස්ථා වල අධ්‍යාපනයේ ගුණාත්මක බව පිලිබඳ ගැටළු පැන නැගීමටද මෙය හේතුවක් විය. (Reality, 2016).

පුද්ගලික උපකාරක පන්ති පුලුල්ව පැතිරී ඇති අතර එය නිල නොවන අධ්‍යාපන කර්මාන්තයක් ලෙස විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල බහුලව ව්‍යාප්ත වී තිබේ. පෞද්ගලික උපකාරක පන්ති ශ්‍රී ලංකා රජය විසින් පාලනය හෝ පරිපාලනය නොකෙරන අතර  ලංකාව තුළ පෞද්ගලික උපකාරක අධ්‍යාපනය වර්ග තුනක් තිබේ.

පළමු වර්ගයේ පෞද්ගලික උපකාරක අධ්‍යාපනය යනු ගුරුවරුන් සිසුන් බැලීමට හෝ සිසුන් ගුරුවරුන් බැලීමට යන එකින් එක උපදෙස් වේ. ඔවුන්ට සාමාන්‍යයෙන් ගෙවනු ලබන්නේ සුදුසුකම් සහ පළපුරුද්ද අනුව පුළුල් ලෙස වෙනස් වන පැයක ගාස්තු ය. මේක තමයි ලංකාවේ තියෙන මිල අධිකම ටියුෂන් පන්තිය. එබැවින් මෙවැනි පෞද්ගලික උපකාරක පන්ති දැරිය හැක්කේ ධනවත් කුටුම්භයන්ට පමණි.

දෙවන වර්ගයේ පෞද්ගලික උපකාරක පන්ති කුඩා සිසුන් පිරිසකට සුදුසුකම් ලත් ගුරුවරුන් විසින් සපයනු ලැබේ. ගුරුවරයෙකුගේ ජනප්‍රියතාවය සහ ප්‍රදේශයේ ශිෂ්‍ය ජනගහනය අනුව පන්ති ප්‍රමාණය සිසුන් දෙදෙනෙකු සිට පනහ දක්වා වෙනස් විය හැකිය. ශ්‍රී ලංකාවේ මෙවැනි උපකාරක පන්ති හඳුන්වන්නේ ‘කණ්ඩායම් උපකාරක පන්ති’ යනුවෙනි. මෙම පන්තිවල ගුරුවරුන් සාමාන්‍යයෙන් රජයේ පාසල් ගුරුවරුන් වන අතර අමතර මුදල් සඳහා අධ්‍යාපනය ලබා දේ. රජයේ පාසල් ගුරුවරුන්ට පාසල් වේලාවෙන් හෝ සති අන්තයෙන් පසුව ඉගැන්වීම නීති විරෝධී නොවේ. මේ උපකාරක පන්තිවල බොහෝ රජයේ පාසල් ගුරුවරු උගන්වති.

තෙවන වර්ගයේ පෞද්ගලික උපකාරක පන්ති ‘ශාලා උපකාරක පන්තිය’ ලෙස හැඳින්වේ. මේ ආකාරයේ උපකාරක පන්තිවල පන්ති ප්‍රමාණය ඉතා විශාලය. එය ගුරුවරයාගේ ජනප්‍රියත්වය, ශිෂ්‍ය ජනගහනය සහ පන්තියේ පිහිටීම අනුව සිසුන් පනහක් සහ දහසක් අතර විය හැකිය. සාමාන්‍යයෙන් පන්ති පැවැත්වෙන්නේ ඉතා විශාල ශාලා වල වන අතර මේ ආකාරයේ පෞද්ගලික උපකාරක පන්ති සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස් පෙළ සිසුන් අතර ජනප්‍රියයි. මේ ආකාරයේ පන්තිවල බොහෝ ගුරුවරුන් ඉතා ප්රසිද්ධය. ඔවුන් පාසල් ගුරුවරුන් හෝ විශ්ව විද්‍යාල දේශන විය හැකිය (Pallegedara, 2011).

එහෙත්, ක්‍රමිකව නිර්මාණය වූ මෙම අධ්‍යාපන තරගකාරීත්වය සහ අධ්‍යාපනයට ඉහළ සමාජ වටිනාකමක් අත්කර ගැනීම නිසා උපකාරක පන්ති වේගයෙන් ව්‍යාප්ත වී එය අනිවාර්ය සාධකයක් බවට පත්ව තිබේ. (ලාංකේය අධ්‍යාපනයේ වත්මන් ගැටලු පිළිබඳ කියවීමක්, 2019).

වර්තමානය වන විට උපකාරක පන්ති සම්බන්ධයෙන් ඉදිරිපත්වන විවේචනද ගණනාවකි. මෙම පන්තිවල පැවැත්ම දරුවාගේ පාසල් අධ්‍යාපනයට අභියෝගයක් වන බවත් පාසල් නොපැමිණ උපකාරක පන්ති මත රඳා පැවතීම නිසා පාසල මගින් කෙරෙන පෞරුෂ වර්ධනය අඩාල වන බවත් එවැනි එක් විවේචනයකි. උසස් පෙළ පන්තිවල දරුවන් සම්බන්ධයෙන් මෙම තත්වය ප්‍රභලව දැකිය හැකියි. එමෙන්ම උපකාරක පන්තිවල කාලය අවිද්‍යාත්මක ලෙස විශාල වීම හේතුවෙන් සිසුන්ගේ විවෙකය හා නිදහස අහිමි වේ. ඔවුන්ගේ ශාරීරික ක්‍රියාකාරකම් අවම වී සෞඛ්‍ය ගැටළු මතුවීමේ අවධානමක්ද ඇත (ගිෂාන් මල්ලිකාආරච්චි., 2021).

කෙසේවෙතත් මෑතකදී  අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත සිසුන් පිරිසක් යොදා ගනිමින් කරන ලද සමීක්ෂණයකින් ලබාගෙන ඇති දත්ත වලට අනුව එයින් 92% ක්ම පාසල් අධ්‍යාපනයට වඩා උපකාරක පංති වලට යොමුවන බව සොයාගන්නා ලදී. එම සිසුන්ගෙන් 55% ක් පමණ දෙනා සැබවින්ම අධ්‍යාපනික අරමුණින් පංතිවලට සහභාගී වන අතර 37% ක් සහභාගී වන්නේ විලාසිතාවක් ලෙස හෝ නිවසින් බැහැරව නිදහසක් ලබාගැනීමට හෝ වෙනයම් අධ්‍යාපනික නොවන අරමුණු සදහාය (සමරනායක, n.d.).  

එලෙස  උපකාරක පන්තිවලට සහභාගි වීමේ අතුරු ප්‍රතිඵල ලෙස ප්‍රේම සබඳතා අපචාර ක්‍රියා, මත්ද්‍රව්‍ය භාවිතය වැනි සමාජ සංස්‌කෘතික විරෝධී ක්‍රියාවන් සඳහා සිසුන්ට ඉඩ ලැබීම, අතවරවලට තර්ජනයන්ට ගොදුරු වීම මෙන්ම සිසුන් ශාරීරික හා මානසික ගැටලුවලට මුහුණ පෑම වැනි කරුණු ඒ අතර වෙයි. නිසි වෙලාවට ආහාර නොගැනීම, සමබල ආහාර නොගැනීම හා ක්‍ෂණික ආහාරපානවලට යොමු වීම නිසා සිසුන් ශාරීරික රෝගවලට ගොදුරු වන බවද විවේකය හා විනෝදය අඩුවීම, අධික තෙහෙට්‌ටුව මෙන්ම දැඩි මානසික පීඩනයකින් කල්ගත කිරීම නිසා සිසුන් මානසික රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩි වෙමින් පවතින බවද අනාවරණය කළ කොමිෂන් සභා වාර්තාව මෙම සියලු ව්‍යසනයන්ට හේතුව විභාග උන්මාදය හා ඒ සඳහා උපකාරක පන්තිවලට සහභාගි වීම බව පැහැදිලිව පෙන්වා දුන්නේය (මදුරාවල, 2012).

ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ (IPS) අධ්‍යයනයක් මත පදනම්ව උපකාරක පන්තිවලට සහභාගි වීමේදී සාමාන්‍ය පෙළ (සා.පෙළ) සහ උසස් පෙළ (උ.පෙළ) සිසුන් ප්‍රධාන වශයෙන් මුහුණ දෙන ගැටලු සහ ශ්‍රී ලංකාව පුරා සිටින සිසුන් 340 ක් සහ ගුරුවරුන් සහ ගුරුවරුන් 16 දෙනෙකුගේ නියැදියකින් ලබාගෙන ඇති දත්ත වල දැක්වෙන පරිදි, උද්ධමනය සමඟ වේගයෙන් ගමන් කිරීමට අපොහොසත් වන වැටුප් සමඟ ජීවන වියදම ඉහළ යාම සහ ආදායම් උත්පාදන මාර්ග අහිමි වීම පාසල් යන දරුවන්ගේ දෙමාපියන්ට දරාගත නොහැකි ය. IPS අධ්‍යයනයට අනුව රුපියල් 30,000ට අඩු පවුල් ආදායම් මට්ටම්වලට අයත් සිසුන් දළ වශයෙන් මසකට රුපියල් 3,000-7,000ක් වැය කරන අතර රුපියල් 200,000 ට වැඩි පවුල් ආදායමක් ඇති සිසුන් දළ වශයෙන් මසකට රුපියල් 18,000-R. 20,000ක් වැය කරන බව අනාවරණය විය.

රූපය: ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS) 2021

තවද, බොහෝ O/L සහ A/L සිසුන් පාසල් සහ උපකාරක මාර්ගගත පන්ති යන දෙකටම දත්ත පැකේජ සඳහා මසකට රු. 2,000කට වඩා වැය කරන අතර මසකට රුපියල් 2,000ට වඩා වියදම් කරන බොහෝ සිසුන් ඉහළ පවුල් ආදායම් කාණ්ඩ අතර සංකේන්ද්‍රණය වී ඇත. . මාසික දත්ත පැකේජ සඳහා රුපියල් 2,000ක් වැය කරන්නේ නම්, එය දළ වශයෙන් පවුලේ ආදායම රුපියල් 200,000 ට වැඩි සහ පවුලේ ආදායමෙන් සියයට 7 කට වඩා රුපියල් 30,000 ට අඩු අයගෙන් සියයට එකක් පමණ වේ. මේ සියල්ලෙන් ඉස්මතු වන්නේ පෞද්ගලික අධ්‍යාපනයේ වැදගත්කම, විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණි අතර එය පවුලක ගෘහ ආදායම මත පටවන මූල්‍ය බරයි (Perera, 2022).

අධ්‍යාපනය සඳහා වන මුළු කුටුම්භ වියදම සලකා බැලීමේදී වැඩිම ප්‍රතිශතයක් ගෙවනු ලබන්නේ ඊනියා උපකාරක පන්ති ගාස්තු සඳහා වන අතර එය ශ්‍රී ලංකාවේ කුටුම්භ අතර අධ්‍යාපන වියදම් රටාවට විශාල ලෙස හානි කිරීමට උපකාරී වේ. දරුවන්ගේ අධ්‍යාපනික වර්ධනයටත් දෙමාපියන්ගේ කාලය කැප කරනවා. එමනිසා, නිවෙස්වල පියවරුන් පමණක් නොව, නිවෙස්වල මව්වරුන්ද තම දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කිරීම සඳහා වැඩිපුර උපයා ගැනීම සඳහා අතිකාල, අර්ධකාලීන රැකියාවක් හෝ රැකියා 1 ක් හෝ  2 ක් කරති. ඒ නිසාම දෙමාපියන්ට විවේකීව ගත කිරීමට වැඩි කාලයක් නොලැබෙන අතර එය දෙමාපියන් අතර විෂාදය, ආතතිය වැනි මානසික ගැටලු රාශියක් ඇති කරයි. ඒවගේම ළමා කාලය ගත කිරීමට විවේක කාලය නොලැබීමෙන් නිවෙස්වල දරුවන් මානසික ආතතියට පත් වෙනවා. මෙයද එම නිවෙස්වල දරුවන් මුහුණ දෙන තවත් ප්‍රශ්නයකි. ඔවුන්ට විවේක කාලය නොලැබෙන විට, ඔවුන් තම අධ්‍යාපනික කටයුතු සමඟ ද පූර්ණ ආතතියට පත් වන අතර එය ඔවුන්ගේ මොළයට මෙන්ම සෞඛ්‍යයට ද හොඳ නැත. අධ්‍යාපනයට වියදම් කරන අධික වියදම නිසා දෙමාපියන්ට තම අනාගතය වෙනුවෙන් මුදල් ඉතිරි කර ගැනීමට අවස්ථාවක් නොලැබේ. එය ද ප්‍රශ්නයක් වන අතර එය ගෘහාශ්‍රිතව මූල්‍යමය තත්ත්වයක් ඇති වූ විට අඩු ආරක්ෂාවක් ඇති කරයි (Lanka, 2020).

ඉතින් ඉහත දක්වා ඇති පරිදි වර්තමාන සමාජය තුල පාසල් සිසුන් උපකාරක පන්ති වලට යොමුවීම හා යොමු කිරීම ඉතා අභියෝගාත්මක කරුණක් වී ඇත. දෙමාපියන්, වැඩිහිටියන් මෙන්ම වගකිවයුතු භාරකරුවන් දරුවන්ගේ අනාගතය හා ඔවුන්ගේ ජීවිතය පිළිබද දැඩි අවධානයකින් පසුවිය යුතු කාල පරාසයක් ගතවෙමින් පවතී. අතීතයට වඩා තාක්ෂණය අතින් දියුණු වර්තමානයේ උපකාරක පන්තිවලට සහභාගී කරවීම තුළ හොද සහ නරක යන පැතිකඩ දෙකම තිබෙන අතර හොද නරක තෝරා බේරා ගනිමින් දරුවන්ගේ ජිවිත සාර්ථක කර ගැනීමට හැකි වන පරිදි ඔවුන්ව නිසිමගට මෙහෙය වීම අනිවාර්යෙන්ම සිදුකල යුතු දෙයකි. මේ වන විට වසංගතයක් මෙන් රට පුර පැතිරී ඇති බොහෝ උපකාරක පන්ති තුළ තමන්ගේ ආර්ථිකය තර කරගැනීමට දගලන ගුරුවෙලෙන්දන් අතර තමන් ලගට පැමිණෙන දරුවන් යහමගට ගැනීමට ඔවදන් දී සිප් සතර ලබාදෙන්න ඇපකැප වෙන ගුරු දෙවිවරුන්ද නැතුවාම නොවේ.  

ඒ නිසා උපකාරක පන්ති වලට යොමුකර දරුවන්ට හිතුමතේට ඔවුන්ගේ නිදහස ලබා දී නිදැල්ලේ සැරිසැරීමට අවස්ථාව ලබා නොදී තම දරුවා පිලිබදව දැඩි විමසිල්ලෙන් සොයා බැලීම වැඩිහිටියන්ගේද අනිවාර්ය යුතුකමක් හා වගකීමකි. මෑතක සිට පුවත් හරහා නොයකුත් මත්ද්‍රව්‍ය සිදුවීම් හා අපචාර ගණනාවක් මෙම උපකාරක පන්ති ආශ්‍රිතව වාර්තා වී තිබෙනු ඔබ කවුරුත් දක්නට ඇතැයි සිතමි. ඉතින් දහස් ගණන් මුදල් ගෙවමින් තම දරුවන් යොමු කරවන උපකාරක පන්තිය මගින් ඔවුන්ගේ ජිවිත අර්ථවත් කරයිද නැතිද යන්න පිලිබදව අවදානය යොමු කරන අතරම ටියුෂන් පන්ති අතර ටියුෂන් මාෆියාවට ගොදුරු නොවී දරුවන්ගේ අනාගතය සුන්දර කිරීමට සියලුදෙනාම කටයුතු කල යුතුයි. එසේ නොමැති නම්  අනාගතයේ රට භාරගැනීමට සිටින දරු පරපුර බලා සිටියදීම විනාශයට පරිහානියට පත් වනු නොඅනුමානය.

මුලාශ්‍ර

Lanka, S. (2020). The Impact of Private Tuition to the Economy of the Households in Sri Lanka . 1–8.

Pallegedara, A. (2011). Demand for private tuition classes under the free education policy. Evidence based on Sri Lanka. International Journal of Education Economics and Development, 3(4), 375–393. http://mpra.ub.uni-muenchen.de/31969/

Perera, U. (2022). Private tutoring amid Sri Lanka’s economic crisis: Issues faced by students. Dailymirror.Lk. https://www.dailymirror.lk/businessopinion/Private-tutoring-amid-Sri-Lankas-economic-crisis-Issues-faced-by-students/306-237661

Reality, T. (2016). ටියුෂන් ග්‍රහණයට නතු වූ අපේ නිදහස් අධ්‍යාපනය. Tuition Reality. https://tuitionreality.weebly.com/3512354035173530-35083538349535403520/7102110

කතුවැකිය. (2018). ටීචර් හා ටියුෂන්. දිනමිණ. https://www.dinamina.lk/2018/04/20/කතුවැකිය/52227/ටීචර්-හා-ටියුෂන්

ගිෂාන් මල්ලිකාආරච්චි. (2021). ලංකාවෙන් ටියුෂං අතුගා දැමීමට නම්. https://www.news19.lk/sri-lankan-tusion-class/

මදුරාවලනිලන්ත. (2012). ටියුෂන් කුමට මෙලෙසේ! Divaina. http://kannangaradaruwo.blogspot.com/2012/12/blog-post_9.html#.ZGV2MHZBzIV

ලාංකේය අධ්‍යාපනයේ වත්මන් ගැටලු පිළිබඳ කියවීමක්. (2019). Left Library. https://vk.com/@leftlibrarya-education

සමරනායකයූ.ජී.පී.එස්. (n.d.). උපකාරක පංති මගින් සිදුවන සමාජීය බලපෑම. 81–82.

Diluka Bandara
Diluka Bandara
senior student, Rajarata university of Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles