

නීල නිල් පැහැ තුංග කඳු හිස්
හූරා හූරා දමපු සාපෙට
කඳු යටින් කඳුළුයි ගැලූ වේ
වේලිලා ගිය මව් දෙතන යට
හරිත සළු පිළි උනා හැඳ ගෙන
කළල් ඉහිරුණ අදුරු සළු පට
කඳු හිසක් සිප ගන්න සිතුවද
දෙකම්මුල් යලි නිම්නයට බැස….
කුරුළු කූඩුයි තිබුනෙ එල්ලී
ඉන්න හිටින්න තැනක් නැතුවට
කුරුළු පැටවුන් නඳයි ඇසුනේ
නිබඳ කිචි බිචි දෙමින් කඳු වට
පෙරළි පෙරළී මහා කළු ගල්පසුත්
ඇදගෙන ඇවිත් පොළවට
මොහොතකින් එක නිහඬ කෙරුවා
නොදී අවසරයක් හුස්මකට….
කන්දකට වුව නොයෙක් ගැනවිලි
තියෙනවා ඇති කියන්න
පලා ඇගෙ ලය මඬල හීරූ
සොර මුලෙන් එය අහන්න
මහා මන්දිර සාර මං පෙත්
දෙසට හැරිලා බලන්න
කන්ද එතැනම තිබුනනම්
අද වෙයිද මේ දුක දරන්න