

අහස මේ හැටි ඇයි හඬන්නේ
පිපුණු මල් ඇයි පරව යන්නේ
ඉර එළිය ඇදි වතේ හංගා
වළා කුළු ඇයි දුර දුවන්නේ…
දවස පැහැබර වෙන්න පායපු
ඉර මොකද හරහට බලන්නේ
නුඹේ කටහඬ නෑසු දවසට
මගේ හිත ඇයි ඉකි ගසන්නේ…
දුර දුරක් බව නොවැටහෙන්නේ
දුරම ළඟ බව සිත කියන්නේ
නුඹේ හුස්මක් වැටෙන මානෙක
ඒකමයි හිත නතර වෙන්නේ…
අයිති නෑ නුඹ ඇයි නොදන්නේ
මොකද නිතරම එය කියන්නේ
බැඳීමක් නැති බැඳීමක් ළඟ
මගේ ආඩම්බර සිඳෙන්නේ..
සිනහවක් දි ඉනාවක් ලෙස
නුඹයි මගෙ හිත හොරා ගන්නේ
මටත් මා හිමි නොවන තැනකදි
නුඹම මටහිමි කම් කියන්නේ….
කතා නොකරමි හැරී නොබලමි
විටෙක සිතුවිලි මොර ගසන්නේ
අනෝරා වැස්සකට හසු වුනු
මැටි පිඩකි මොහොතින් මැවෙන්නේ…
අතින් අල්ලන වරම් නැති මුත්
සිතයි නුඹ ගැන ගතු කියන්නේ
සුසුම් උණුසුම් නොවන තැනකත්
නුඹ මගේමයි මට හිතෙන්නේ…