32 C
Colombo
Sunday, May 28, 2023
spot_img

Subscribe

Date:

Share:

බුදු දහමේ මූලික අරමුණු කියවන්න

Related Articles

සසර දුක හා දුකින් මිදීම පිළිබඳ අවධිකමක් ඇති කිරීම බුදු දහමේ මූලික අරමුණයි

අදින් වසර 2500 කට පෙර ක්‍රි.පු.6 වන ශතවර්ෂයේදි සකල සත්ත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් මෙලොව ජනිත වූ සිදුහත් බෝසතාණෝ වෛශාඛ පුන් පොහෝ දින අශ්වස්ථ වෘක්ෂ මූලයේ හිඳ ඒ අසිරිමත් සම්බුද්ධත්වයට පත්වූහ.ක්ලේශයන්ට බරව ජාති ,ජරා ව්‍යාධි හා මරණයන්ට පත්වෙමින් අනවරාග්‍රත සසරෙහි තෘෂ්ණාවෙන් පරිණාමිත වූ  සත්ත්වයාගේ ස්වභාවය මෙන්ම එම සත්ත්ව ,පුඟුලාහට වැළඳ ගැනීමට සිදු වන දුක හා දුකින් මිදීම උදෙසා වූ සම්බුද්ධ දේශණාව පවත්වා ඇති අන්දම මූලාශ්‍රය අධ්‍යයනය කිරීමේදි මනාව පසක් කොට ගත හැකිය.අනභිසම්බුද්ධ බෝසත් අවධිය තුළ සකල සත්ත්වයා වැටී තිබෙන මේ ගැටලුකාරී ස්වභාවය මෙසේ දක්වා ඇත.

“කිච්ඡං වතායං ලොකො ආපන්නො .ජායති ච මීයති ච, චවතී ච උප්පජ්ජති ච අථ ච පනිමස්ස දුක්ඛස්ස නිස්සරණං නප්පජානාති .ජරාමරණස්ස කුදාස්සු නාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං පඤ්ඤායිස්සති ජරා මරණස්ස”

(සං.නි 11 ,ගොතම සූත්‍රය,16 පිට , බු:ජ:මු:)

ලෝකයා දුෂ්කරතාවයට වැටී තිබේ.දිරයි,මියයයි,චුතවෙයි නැවත උපදියි.මේ ජරාමරණ දුකෙහි නිස්සරණයක් නොදනියි.මේ ජරා මරණ දුකට නිස්සරණයක් පනවන්නේ කවදා ද? යනුවෙන් අනභිසම්බුද්ධ බෝසත් සිත තුළ ඇති වූ පෙළඹවීම මෙන්ම බුද්ධත්වයට පත් වූ අවස්ථවේ ප්‍රීති වාක්‍යයක් ලෙස බුදුන් දෙසන ලද්ද විමසීමේදි බුදු රජාණන් වහන්සේගේ හා දෙසන ලද දහමෙහි මූලික අරමුණ කුමක්ද යන්න මනාව පහදාගත හැකිය.

අනේකජාති සංසාරං

සන්ධාවිස්සං අනිබ්බිසං

ගහකාරකං ගවේසන්තො

දුක්ඛාජාති පුනප්පුනං

ගහකාරක දිට්ඨෝසි

පුන ගෙහං න කාහසී

සම්බා තෙ ඵාසුකා භග්ගා

ගහකූටං විසංඛිතං

විසංඛාර ගතං චිත්තං

තණ්හානං ඛය මජ්ඣගා

(ඛු.නි.ධම්මපද පාළිය,62-64 පිටු)

නැවත නැවත උත්පත්තිය (යම් හෙයකින්) දුක්ද (එහෙයින්) මේ ආත්මභාව සංඛ්‍යාත ගෙය කරන්නහු සොයන්නාවූ මම නොයෙක් (කෙළ ලක්‍ෂ ගණන්යයි කියනලද) ඉපදීම් ඇති සංසාරයෙහි  (චුති ප්‍රතිසන්ධි වශයෙන්) දිව ඇවිද්දෙමි.ගෙය කරණ වඩුවා දක්නා ලද්දෙහිය. නැවත ගෙයක් නොකරන්නෙහිය. තාගේ සියලු පරාළයෝ බිඳින ලදහ. ගෙයි කැණිමඬල විසුරුවන ලදී. (මාගේ) සිත නිවනට වනි. තෘෂ්ණා ක්ෂයයයි කියනලද අර්හත්වයට පැමිණියෙමි.

යනුවෙන් බුදුරජාණෝ ඒ අසිරිමත් උදාන වාක්‍යය දේශනා කිරීම තුළ බුදු දහමේ මූලික අරමුණ සසර දුක හා සසර දුකින් මිදීම පිළිබඳ අවධිකමක් ඇති කරලීමට බව පසක් කොටගත හැකිය.

සසර   යනු  කුමක්ද?

සංසාරය යන්න සංස්කෘත හා පාලි භාෂාවන්හි සංසාර යන පදයෙන් දැක්වේ .යම් ප්‍රාණියෙකුගේ නැවත නැවත ඉපදීම සහ මරණය සිදුවීමයි. නොනැවතී ගමන හෝ චලනයට යෙදෙන පදයයි. මෙය බොහෝ ඉන්දියානු ආගම් දර්ශන තුළ සඳහන් වන මූලික විශ්වාසයකි.

බුදු රජාණන් වහන්සේ පහළ වූ සමාජ වපසරිය   දෙස අවධානය යොමු කිරීමේදි ලෝකය හා සත්ත්වයා පිළිබඳ අනුභූතිය තුළින් ඉදිරිපත් කෙරෙන කරුණු දෘෂ්ටිවාද දෙසැටක් මත ගොඩ නැගෙන අයුරු දැකගත හැකිය. පූර්වාන්ත කල්පිතයට හා අපරාන්ත කල්පිතයට යමින් සත්ත්වයා ,ලෝකය, සසර ආදීය පිළිබඳ කරුණු විග්‍රහ කරන අන්දම දැකගත හැකිය.ඒ ශාස්වත හා උච්ඡේදවාද ආදී දෘෂ්ටි පදනම් කරගෙනය.ශාස්වත වාදය මුල කරගත් ඇතම් ආගමික ශාස්තෘවරු සත්ත්වයාගේ පැවැත්ම පිළිබඳ මෙසේ දක්වති.

“සස්සතො අත්තාච ලොකොච වඤ්ඣො කුටට්ඨො එසිකට්ඨායිට්ඨිතො,තෙව සත්තා සංධාවන්ති සංසරන්ති චවන්ති උප්පජ්ජන්ති අත්ථිත්වෙව සස්සති සමං”

(දි.නි.බ්‍රහ්මජාල සූත්‍රය ,22 පිට ,බු:ජ:මු:)

ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් කිසියම් චිත්ත සමාධියක් පදනම් කරගෙන පූර්ව ජාති සිහිකරණුයේ ආත්මයත් ලෝකයත් ශාස්වත බවත්,ඵල උත්පාදනයෙන් තොර බවත්,නිශ්චල බවත් ඉන්ද්‍රඛීලයක් සේ ස්ථිර බවත්,සළකා ඒ් සත්ත්වයෝම භවයෙන් භවයට ගමන් කරන බව පැවසීය .සදාකාලික ධර්ම වශයෙන් පවතී.මේ අනුව ආත්මයට පූර්ව අන්තයක් හෝ අපර අන්තයක් නොමැත .මේ ක්‍රමයෙන් ඉදිරිපත්වන ශාස්වතවාද හතරක් බ්‍රහ්මජාල සූත්‍රයෙහි දක්වා ඇත.ඒ ප්‍රභේද ඉදිරිපත් වන්නේ පුබ්බෙනිවාසානුස්සති ඤාණයෙන් අතීතය සිහි කරන අඩුවැඩි කම අනුවය.අවසාන ශාස්වතවාදය එවන් පදනමක් නැති බුද්ධිවාදය පදනම් කරගත් තර්ක මාත්‍රයෙන් වැටහීම් මාත්‍රයෙන් ඉදිරිපත්වන ශාස්වතවාදයයි.

බ්‍රහ්මජාල සූත්‍රයට අනුව අපරාන්ත කල්පිතයට වැටෙන උච්ඡෙදවාද සත තුළදි සත්ත්ව පැවැත්ම පිළිබඳ දෘෂ්ටි සම්පන්න වන අයුරු හා ඒ් මත පුද්ගල පාරිශුද්ධිය වන අයුරු මනාව දක්වා ඇත.

ඉධ එකච්චො බ්‍රාහ්මණො වා එවං වාදී හොති.එවං දිට්ඨි.යතො ඛො භො අයං අත්තා රූපි චාතුම්මහාභූතිකො මාතා පෙත්තික සම්භවො කායස්ස භෙදා උච්ඡිජ්ජති.විනස්සති.න හොති පරම්මරණා එත්තාවතා ඛො භො අයං අත්තා සම්මා සමුච්ඡින්නො හොතීති.ඉත්ථෙකෙ සතො සතස්ස උච්ඡේදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති.

(දි.නි.2,බ්‍රහ්මජාල සූත්‍රය ,60 පිට,බු:ජ:මු:)

ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු මේ ආත්මය රූපිමය යැයිද සතර මහා භූතයන්ගෙන් සැදුම් ලද්දකැයි ද,මවුපිය සබඳතාවයෙන් හටගත්තකැයි ද,කය බිඳීමෙන් උච්ඡේදයකට පත් වන්නකැයිද එය ආත්මය මැනවින් උච්ඡේදයකට පත්වීමැකැයිද යනුවෙන් උච්ඡේදවාදය ප්‍රකාශ කරති.

මේ අනුව යමින් කටයුතු කළ ශාස්තෘවරුන් කිහිප දෙනෙක් ලෙස පූර්ණ කස්සප,මක්ඛලි ඝෝසාල හා අජිත කේසකම්බල දැක්විය හැකිය.පූර්ණ කස්සප යනු අකිරියවාදියෙකි.කර්මය හා කර්ම ඵලය විශ්වාස නොකළ මොහු සත්ත්වයාගේ පාරිශුද්ධිය උදෙසා හෝ දුකින් නිදහස් වීම උදෙසා කළයුත්තක් නොමැති බව පැවසීය.දන් දීම්,පවිටුක්‍රියා,අනුන්ගේ අත් පා සිඳිමෙන් ඇතිවන පවක් හෝ පිනක් නොමැති බව පැසීය.දෙවන්නා මක්ඛලි ඝෝසාලය.ආජිවකයන්ගේ නායකයා හැටියට සළකන මොහු අකිරියවාදියෙකි ,අහේතුක හා සංසාර සුද්ධිවාදියෙකි.ලෝකය හා සත්ත්වයා පිළිබඳ කිසිදු සිදුවීමකට හේතුඵල සබඳතාවයක් දැක්විය නොහැක යනුවෙන් හා අහේතුකව ආකශ්මිකව ඉබේ  සියල්ල සිදුවේය,සත්ත්වයන්ගේ ක්ලිශ්ට භාවයත් පාරිශුද්ධියත් අහේතුකව අප්‍රත්‍යව සිදුවන බව ඔහු පවසයි.එමෙන්ම සංසාර නියතියකට එළැඹෙන මොහු  යම් සේ නූල් පන්දුවක් දමා ගැසූ කල දිගැහැරෙමින් නුලෙහි දිග ඇති තාක් යයිද තවදුරටත් නොයයිද සංසාර පැවැත්ම ද එසේ බව පවසමින් සසර ගත කළ යුතු කාලය 84000 කි.ඒ අනුව 146600 වාරයක් විවිධ සත්ත්ව යෝනිවල ඉපදීමට සිදු වේ.සසර ගත කිරීමෙන්ම නිම කළ යුතු බැවින් මෙය සංසාර සුද්ධිවාදයක්ද වේ.දුකින් නිදහස් වීම උදෙසා කෙනෙකුට විශේෂයෙන් කළ යුත්තක් නොමැත.ද්‍රෝණයකින් මැන ඉවර කරන්නා සේ සුව දුක් කෙළවර කරයි යැයි මක්ඛලි ඝෝසාලයන්ගේ ඉගැන්වීම් විය.අජිත කේසකම්බල වනාහි අන්ත භෞතිකවාදය,උච්ඡේදවාදය හා අකිරියවාදය පනවන ලද්දෙකි.දන් දීමෙන් පලක් නැත.මව නැත පියා නැත, යම් කලෙක පුද්ගලයෙක් මිය යත්ද පඨවි අපෝ තෙජො වායො යන සතර මහා භූතයන් ඒ ඒ ධාතුන්හි එකතු වේ.ඉඳුරන් අහසට සංක්‍රමණය වේ.සොහොන තෙක් ගුණා⁣ගුණයෝය.දන් දීම පැනවීම් ආදිය හිස් වූ බොරුය.යමෙක් ඇත යයි කියාද බාලවූත් පණ්ඩිත වූත් සියල්ලො කයෙහි බිඳුමෙන් උච්ඡේදයට විනාශය පත් වේය යනුවෙන් සංසාරික ස්වභාවය මෙන්ම සංසාර දුකින් මිදීම උදෙසා වූ දෘෂ්ටිය මුල් වූ මතවාද ඉදිරිපත් කළහ.

මේ අයුරින් ශාස්වතවාදය හා උච්ඡේදවාද මුල් කොටගත් දෘෂ්ටි සම්පන්න වීමට හේතුවන මූලික හේතුව වශයෙන් සං .නි සමනුපස්සනා සූත්‍රය තුළ බුදු රජාණන් වහන්සේ දේශනා කර සිටිනු,මහණෙනි යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොයෙක් අයුරින් ආත්මයක පැවැත්මක් දකින්නේ නම්  ඒ සියල්ල පඤ්ච උපාදානස්ඛන්ධය හෝ ඉන් එක්තරා ස්කන්ධයක් අනුසාරයෙන් සලසා ගන්නා බව දැක්වේ.ආත්මවාදි සංකල්පය මුල්කොට ගෙන උච්ඡේදවාදි දෘෂ්ටියත් බිහි වේ.ආත්මය වශයෙන් අපේක්ෂා කළේ කුමක් හෝ මම වශයෙන් යැයි හිතන සාරයකි.සසර ,මනස පිළිබඳ අනවබෝධය නිසා කය ආත්මය කොට සිතූහ.( තං ජීවං තං සරීරං),ඒ අනුව උච්⁣ඡේදවාදය පැන නැගිණි.ශරීය අනෙකක්ය ,ආත්මය අනෙකක්ය ,(අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං ) යනුවෙන් ශාස්වතවාදී දෘෂ්ටිය ඇති කර ගත්හ.විවිධ ඉගැන්වීම් ඉදිරිපත් කළහ.කාම සුඛල්ලිකානුයෝගය හා අත්තකිලමතානුයෝගය වැඩූ අතර සසර සත්ත්වයා පිළිබඳව විවිධ ඉගැන්වීම් හා ඒ සඳහා වූ විවිධ ප්‍රතිපදාවන්ද ඉදිරිපත් කරන්නට විය.

සසර පිළිබඳ බුදු දහමේ ඉගැන්වීම්

බුදු දහමේ උපත (ජාති), ව්‍යාධියට පත්වීම හා මරණය (ජරා මරණ) යන ලෝකයේ සියළු සත්ත්වයන්ට පොදු වූද, නිර්වාණය ලබාගැනීමෙන් පමණක් මිදිය හැකි වූද චක්‍රය සංසාරය නම් වේ. සංසාරය දුක්විඳීම හා බැඳී ඇති අතර නිර්වාණයට විරුද්ධ ආකාරයයි. සසර දුක් නොදන්නා අය තුළ සසර කල කිරීමක් හට ගන්නේ නැත. සසර අවබෝධයක් නැති අයට සසර නැතිකිරීමට අවස්ථාවක් නොලැබෙන්නේ ය.

ඛන්ධානං පටිපාටි ධාතු ආයතනා ච අබෙභා ඡින්නං වත්තමානං සංසාරොති පවුව්චති.

පඤ්චස්බන්ධයන්ගේ ද ධාතු ආයතනයන්ගේ ද පිළිවෙළ නොසිඳී භවයෙන් භවය ගලපමින් පවත්නා ආකාරය සංසාර යැයි සුමංගල විලාසිනී අටුවාවේ කියනු ලැබේ. රූප රාශිය, වේදනා චෛතසික රාශිය, සංඥා චෛතසික රාශිය, කුසලාකුසල චේතනා රාශිය විඤ්ඤාණ හෙවත් සිත් රාශිය යනාදී රාශි කිහිපයකින් යුක්ත වූ රූපා රූප සමූහ පඤ්චස්කන්ධය යනුවෙන් හැඳින්වේ.

එසේම එහි පෘථිවි ධාතු ආදී ධාතු සමූහයක්ද ඇත. එසේම චක්කායතනාදී ආයතන සමූහයක් ද ඇත. ඒ ඒ ජාතියෙහි උපන්නා වූ ඒ ඒ පඤ්චස්කන්ධ ආයතනාදිය දිරා මැරී ගිය පසු එපමණකින් නොනැවතී කර්ම ශක්තිය අනුව නැවත හටගන්නා ස්කන්ධ ධාතු, ආයතන නිසා අනෙක් භවයක උත්පතිත්ය දැයි යනාදී වශයෙන් චුති ප්‍රතිසන්ධි පරම්පරාව හෙවත් මරණය උත්පත්තිය, උප්පත්තිය මරණය යන වශයෙන්, පවත්නා පිළිවෙළ නොකැඩී නොසිඳී පැවැත්ම, සසර නම් වෙයි. මනුෂ්‍ය, දේව, මාර, නරකාදීසත්වයන් වශයෙන් හැම දෙනාම වරින් වර සසර උපත ලබති.

සත්වයා යනු පඤ්චස්කන්ධය සත්වයා රූප වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන රාශි පහෙන් යුක්තය. සත්වයා කවරෙක්ද යන්න විස්තර කැර බැලුවහොත්, පෘථිවි ධාතුව ආදී සතර මහා භූත කොටස් හා ඒවා නිසා හටගත් රාශියක්ද එසේම සුවදුක් විඳීම් ආදී වේදනා රාශියක් සහ නිල්, සුදු, රතු, මිටි, මහත් යනාදිය හැඳිනීම යැයි කියන ලද සංඥා රාශියක්ද එසේම පිරිසුදු අපිරිසුදු චේතනා රාශියක්ද යනාදී රාශි පහක් හැර, වෙනත් දෙයක් නැති බව පෙනේ. එම නිසා සත්වයා කීවද පඤ්චස්කන්ධය කීවද දෙකම එකකි.

පඤ්චස්කන්ධය හෝ සත්වයාට සංසාර යැයි කියන්නේ, නැවත නැවත ඒ ජාතියෙහි ඉපදීමේ පිළිවෙළක් ඇති නිසා ය.

පරමාර්ථ වශයෙන් හෙවත් හරි තේරුම ලෙස ගත් කල සත්වයා පඤ්චස්කන්ධය යනු නාම රූප ,අටළොස් ධාතු සමූහය, සලායතනය, දුක්ඛ සත්‍යය, යනාදියෙන් හඳුන්වන දේමය. රාශි පහෙන් යුක්ත නිසා පඤ්චස්කන්ධ යැයිද , චුති උප්පත්ති පරම්පරාවක් ඇති නිසා සංසාර යැයි ද, සිත, කය, දෙක, නිසා නාම රූප යැයි ද පඨවි, ආපෝ, තේජෝ, වායෝ යනාදී ස්වභාව ධර්ම නිසා ධාතු යැයි ද ඇස, කණ, නාසාදී ආයතන නිසා සලායතන යැයි ද, ඒ සියල්ලම දුක් සමූහයක් දුක් ගොඩක්, දුක් පිඬක් නිසා දුක්ඛ සත්‍යය යැයි ද, ඉපිද නැසෙන නිසා අනිත්‍ය යැයි ද, පීඩා වන දැවෙන, තැවෙන හිරිහැරවන නිසා දුක යැයි ද බැලූ බැලූ අතින් අසාර වූ නිසා අනාත්ම යැයි ද කියනු ලැබේ.

ජාති දුක හෙවත් මවුකුස පිළිසිඳ ගත් තැන් පටන් මවුකුසින් ප්‍රසූත වන තෙක් විඳිනට ලැබෙන අප්‍රමාණ දුක් සමූහයද එතැන් සිට ළදරු කාලයෙහි විඳින්නට වන අනන්ත දුක් සමූහයද, එසේම මහලු වියට පත්වීමෙන් හට ගන්නා ජරා දුක ද නොයෙක් රෝග පීඩා නිසා හටගන්නා ව්‍යාධි දුකද, සියලු හිත කැමැති, අඹු දරු ඤාති මිත්‍රාදීන් සහ තෘෂ්ණාවෙන් රැස් කළ ධනයද හැර දමා නොකැමැති සේ යන අනන්ත රෞද්‍ර දුකක් වූ මරණයද ආහාර සැපයීමේ දුක ද පි‍්‍රයයන්ගෙන් වෙන්වීමේ දුක ද, ධන හානි දුක ද, නින්දා, පරිභව දුක ද ආදී බොහෝ අනන්ත අප්‍රමාණ දුක් විඳින්නට සිදු වේ. නමුත් අඥානකම සහ තෘෂ්ණාව නිසා මේ දුක් සමූහය භය වශයෙන්, දුක් වශයෙන් නොදකින අතර එහි කළකිරීමක් සිදු නොවෙයි.

මේ හැර අට මහා නිරයාදී එකසිය සතිස් නිරයෙහි ඉපදී කල්ප ගණන් ලක්‍ෂ ගණන් කෝටි ගණන් අවුරුදු දුක් විඳීමට සිද්ධ වීම ද බලු කපුටු, එළු, බැටළු, ගව මහීෂා දී තිරිසන් අපාය වල ඉපිද කල්ප ගණන් අනන්ත දුක් විඳින්නට ලැබීම ද සසර දුකට අයත් වේ.

එක් සත්වයකු විසින් අතීත සංසාරයේ දී විඳින ලද දුක් අනන්තය. මතු භවවල විඳින්නට ලැබෙන දුක ද, අනන්ත ය. අප්‍රමාණ ය.

නමුත් මෙම දෙකොටසටම නොපෙනෙන නිසා බොහෝ දෙනා ඒ ගැන අල්පමාත්‍ර වූ භයක් තැති ගැනීමක් නැතිව, මනුෂ්‍ය ආත්මය සැපසේ පරිහරණය කිරීම පමණක් උසස් කොට සළකා තෘෂ්ණාවෙන් යුක්තව අනන්ත දුශ්චරිත වල ද යෙදෙමින් සසර දුක් වර්ධනය කර ගනිමින් අන්ධව කටයුතු කරති. නමුත් ප්‍රඥාවන්ත සත්පුරුෂයෝ සසර දුකින් මිදීමේ කටයුතු වල වැදගත්කම දැක ඒවා නොපිරිහෙළා ඉටු කරති.

සංසාරය අතිශයින්ම චංචල වෙයි. සතර අපාය සෑම කාලයට දුකින් පිරී පවතී. බුදු කෙනෙකුගේ පහළ වීම ද අතිශය දුර්ලභය ය. මෙම මිනිස් භවයද දුක සේ ලබාගත් දෙයකි. නමුත් නොයෙක් රෝග වලින්ද ජරාවෙන්ද උපද්‍රව වලින්ද මෙය යුක්ත ය. විදුලියක් මෙන් ජීවිතය ද බිඳී යනු ඇත.

මූලාශ්‍රය විමසන කල සංසාරය පිළිබඳ වැදගත් සූත්‍ර ගණනාවක් සොයාගත හැකිය.ඒ අතර අට්ඨක හා පාරායණ වග්ගයන්හි මූල අටුවාව වන චුල්ල නිද්දෙස පාලි⁣යෙහි කදිම විස්තරයක් හොවා දක්වා ඇත.

“ආගමනං ගමනං ගමනාගමන කාලං ගති භවාභවො චුතීච උප්පජ්ජතීච නිබ්බත්තිච භෙදොච ජාතිජරා මරණංච සංසාරස්ස පුරිම කොටි න පඤ්ඤායති.පච්ඡිමා කොටි න පඤ්ඤායති.මජ්ඣෙ සංසාරෙ සත්තා ඨිති පතිට්ඨිතා අල්ලිනා උපගතා අජ්ඣොසිතා අධිමුත්තා.”

(මහා නිද්දෙස පාලිය,කප්ප සූත්‍ර නිද්දේසය,288-289 පිටු)

සංසාරය යනුවෙන් හඳුන්වනු ලබනුයෙ පෙර භවයෙන් මෙහි ඊම,මෙයින් පරලොව යෑම භවයෙන් භවයට යෑම් මරණය නිපැත්ම,ස්ඛන්ධයන්ගේ භේදය,ඉපදීමද ,මරණය යැයි සංසාරයාගේ පූර්ව කෙළවර නොපැණෙයි .පශ්චිම කෙළවර නොපැණවෙයි.මැද සසර සත්ත්වයා සිටියාහුය.ඇලුනාහුය.එළැඹියාහුය.බැසගත්තාහුය.මේ අනුව සසරෙහි ක්‍රම තුනක් ඔස්සේ විග්‍රහ කර ඇති අන්දම පෙනේ.ඒවායෙහි අන්තයක් කෙළවරක් නොදත හැකි බව පැහැදිළි කරගත හැකිය.

01-සසරෙහි පූර්ව කෙළවර (පුරිම කොටි)

02-සසරෙහි පශ්චිම කෙළවර(පච්ඡිමාපි කොටි)

03- මැද සසර (මජ්ඣෙ සංසාර)

සසරෙහි පූර්ව කෙළවරක් නොපැනවිය හැක්කේ කුමක් නිසාද? සසර මෙපමණකින් අවරුදු සියයකි ,දහසකි,ලක්ෂයකි,කල්ප සියදහසකි යනුවෙන් සසර මෙපණ කලක් පැවතුනේ යැයි එයින් මතු නොපැවතුනේ යැයි සංසාරයේ පූර්ව කෙළවරක් නොපැණ වේ යනුවෙන් සංසාර නියතිවාදයකට පැමිණිය නොහැකි බව දක්වයි. සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තය අධ්‍යයනය කිරීමේදි සංසාරයේ පූර්ව කෙළවර කෙබදු වේද යන්න පහදාගත හැකිය.

“අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො පුබ්බා කොටි න පඤ්ඤායති.අවිජ්ජා නීවරණානං සත්ත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතා”

(සං.නි.02 ,තිණකට්ඨ සූත්‍රය ,266 පිට.)

මහණෙනි කෙළවරක් නැති අනවරාගත්‍ර සංසාරයෙහි පූර්වාන්තය නොපැණේ.අවිද්‍යා නීවරණයෙන් ඇවුරුණු තෘෂ්ණා සංයොජනයෙන් බැදුණු දිවෙන සැරිසරණ සත්ත්වයන්ගේ පූර්වාන්තය නොපැන වේ.අනමතග්ග සංයුත්තයෙහි පඨවි සූත්‍රයෙහි

සඳහන් පරිදි යම් පුද්ගලයෙක් මේ මහ⁣ පොළවෙහි පස් ඩෙබර ඇට තරමට ගුලිකොට තබා මේ පුරුෂයාගේ පියාය,මේ පියාගේ පියාය යැයි තබන්නේද,ඒ පුරුෂයාගේ පියාගේ පියහු නොපිරිසිඳින ලද්දාහ.මේ මහ පොළොව ගෙවීමට අවසන්වීමට ගියද පූර්වාන්තයක්  පැනවිය නොහැකිය.එමෙන්ම අස්සු සූතුරෙහි සඳහන් වන පරිදි දිගු කල දිවෙන සැරිසරණ සත්ත්වයා මවු මළ ,පියා මළ… පුතු මළ,රෝග ව්‍යසන ,අමනාපයන් හා එක්වීමෙන් ,මනාපයන්ගෙන් වෙන්වීමෙන් හඬන වැළපෙන අපගේ වෑහුන කඳුලක් වේද එය ඉතා වැඩිය.සිවුමහා සයුරෙහි ජලය නොම වැඩිය.පබ්බත සූත්‍රයට අනුව යොදුනක් දිග,යොදුනක් පළල සිදුරු රහිත ඝණ බොල් සෙල්මුවා පර්වතයක් වේද,එය පුරුෂයෙක් සියවසක් සියවසක් ඇවෑමෙන් කසී සලුවකින් වරින් වර පිරිමදිනේය.එම මැදීමෙන් ⁣ශෛලය ගෙවීමට  ගියද කල්පය අවසන් නොවේ.කල්ප සිය දහසක් ගෙවී ගියද මේ සසරෙහි කෙළවරක් නොපැණවෙයි .

කුමක් හෙයින් සත්ත්වයාගේ පශ්චිම කෙළවර සෙවිය නොහැක්කේද?වර්ෂ සිය දහසක් කල්පයක් ,කල්ප කෙළ කෝටියක් සසර පවතින්නේය.ඉන්  පසු නොපවතින්නේය ⁣හා පවතින්නේය යනුවෙන් ශාස්වත හෝ  උච්ඡේද වාදයකට පැමිණ සසරෙහි පශ්චිම අපරාන්තය ක් පැනවිය නොහැකි බව බුදු වදනයි.

මැද සසර හෙවත් මජ්ඣෙ සංසාර යනු කුමක්ද සත්ත්වයා කාම,රූප හා අරූප භවයන්හි ජාතිය ලද මැද සසර එනම් මේ මොහොත තුළද⁣ තෘෂ්ණාවෙන් ඇලුනාහු ජාති, ජරා ,ව්‍යාධි,මරණ,සොක,පරිදෙව,දුක්ඛ දොමනස්ස,ආදී දුක්ඛයන්ට නතු වෙමින් අධිමුක්තව පටිච්චසමුප්පන්නව  පඤ්චස්ඛන්ධය ගොඩ නගාගෙන සිටින පච්චුප්පන්නයයි.

සසර දුක හා දුකින් එතෙර වීම

අනාදිමත් කලක සිට(පුබ්බන්ත කොටි) සසරෙහි අප ඉපදෙමින් මැරෙමින් පුණ්‍යය පාප  කුසල් අකුසල් මත තිස් එක් තලයන්හි ගත කළෙමු.සසර මේ ⁣මොහොතෙද ප්‍රත්‍ය උප්පන්නව ගෙවා දමමු.කර්මය හා කර්මඵලය අනුව පුනර්භවය ලබමින් ගමන්කරමු.සැබවින්ම මෙම සසර ගමන දුකක් වනුයේ මන්දැයි බුදු දහාමුනුකූලව සෙවීම පුනර්කර්තව්‍යයි.බුදු රජාණෝ දුක පිළිබඳ ඉගැන්වීම් නන් අයුරින් විස්තර කොට ඇත.

දුක්ඛ දුක්ඛතා

සංඛාර දුක්ඛතා

විපරිණාම දුක්ඛතා

(සං.නි 5 (1),දුක්ඛතා සුත්‍රය,278 පිට,බු:ජ:මු)

යනු එක් ක්‍රමයකි.දුක්ඛ දුක්ඛතා යනු සාමන්‍යය දුකයි.සංඛාර දුක්ඛතා යනු පංච උපාදනස්ඛන්ධය සබැඳි සාංසාරිකව ප්‍රභවය වන දුකයි. විපරිණාම දුක්ඛතා යනු වෙනස් වීම නිසා ඇතිවෙන දුකයි යනුවෙන් සං.නි දුක්ඛතා සූතුරෙහි දක්වා ඇත.මීට අමතරව සන්තානගත හා සංස්ථාගත දුක්ඛ යනුවෙන් විස්තර කරන බුදු දහමෙහි දුක්ඛ සංකල්පය පිළිබද ඉතා ගැඹුරු වූවකි.

සසර යනුවෙන් අවධාරණය  කරන්නේද නිරන්තරව ජරා මරණ දුකට මුහුණ දෙමින් පැවතීමය.සසරෙහි කාල නිර්ණයක් නොමැති අතර ශූන්‍යත්වකි.මේ සසර පැවැත්ම තුළ අමනාප සංයෝග,මනාප වියෝග මාතෘ මරණ ,පිතෘ මරණ,ඥාති ව්‍යසන,භෝග ව්‍යසන යනාදී දුක් රැසක් නිරන්තරයෙන් අනුභව කරමින් සලා ඇති කඳුලු සිවු මහාසයුරට වැඩි මිසක්‍ අඩුනොවන බව පූර්වයේද සඳහන් කළෙමු.එබැවින් එහිදි බුදු රදහු දෙසනුයේ,

යාවඤ්චිදං භික්ඛවෙ අලමෙව සබ්බසංඛාරෙසු නිබ්බින්දතුං අලං විරජ්ජිතුං ,අලං විමුච්චිතුං.

(සං.නි. 2 ,අස්සු සූත්‍රය ,624 පිට බු.ජ.මු)

සියලු සංස්කාරයන් කෙරෙහි නිර්වේදයට පැමිණීම සුදුසු බවත්,විරාගයට පැමිණිම සුදුසු බවත්,මිදීම සුදුසු බවත් ප්‍රකාශ වේ.දුක ප්‍රභවය වන්නේ සන්තානගත ක්‍රියාකාරිත්වයක් ලෙසය.ඒ අනුව භවය සකසා ගනී.එයම දුකකි.

“කථමංච භික්ඛවේ දුක්ඛං අරියසච්චං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං,අප්පියෙහි සම්පයොගො දුක්ඛො,පියෙහි විප්පයොගො දුක්ඛො යම්පිච්චං න ලභති තම්පි දුක්ඛං ,සංඛිත්තෙන පංචුපාදානක්ඛන්දා දුක්ඛා”

(දි.නි.2,මහාසතිපට්ඨාන සූත්‍රය ,486 පිට,බු:ජ:මු)

මහණෙනි දුක්ඛාර්‍යය සත්‍යය යනු කුමක්ද ඉපිදීම දුකකි,ජරාව දුකකි,මරණය දුකකි.අප්‍රියන් සමඟ එක්වීම දුකකි.ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි.කැමති දෙයක් නොලබා ද එයද දුකකි.කෙටියෙන් කියතොත් පඤ්ච උපාදානස්ඛන්ධයම දුකය.දුක මෙ⁣සේ පැවතීමට හේතුව විමසන කළ බුදු රදහු දෙසා ඇත්තේ තෘෂ්ණාව වන බවයි.උක්ත කී දුකට අයත් කාරණා සඳහා මූල පූරකය වනුයේද තෘෂ්ණාවයි.දුකෙහි හටගැනීමට හේතුව ලෙස,

“කතමඤ්ච භික්ඛවේ දුක්ඛසමුදයො අරියසච්චං,යායං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා,තත්‍ර තත්‍රභි නන්දනි ,ස්‍යෙයථිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා”

(දි.නි.2,මහාසතිපට්ඨාන සූත්‍රය ,486 පිට,බු:ජ:මු)

මහණෙනි දුකට හේතුව(දුක්ඛ සමුදාර්ය සත්‍යය)කුමක්ද?පුනර්භවය ඇති කරන සුලු වූ නන්දිරාගය හා එක්ව ගිය,ඒ ඒ අත්බැවුහි සතුටු වන කාම,භව ,විභව වශයෙන් වූ යම් තණ්හාවක් වේද එයයි.එසේ නම් සංසාර දුක ජනනය වීමට හේතුව තෘෂ්ණා මූලයයි.තදනන්තරව අප විමසිය යුත්තේ මෙම සංසාර දුකින් එතෙරවීම උදෙසා බුදු දහමේ ඉගැනිවීම් හා නිර්දේශය කුමක්ද යන්න විමසා බැලීමයි.බුදුරජාණන් වහන්සේගේ  නිර්දේශය නම් සංසාර ගෙය හදනු ලබන තෘෂ්ණාව මුලිනුපුටා දැමීමයි.

“කථමඤ්ච  භික්ඛවෙ  දුක්ඛ නිරොධො අරිය සච්චං?යො තස්සායෙව තණ්හාය අසෙස විරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො”

(දි.නි.2,මහාසතිපට්ඨාන  සූත්‍රය,490 පිට,බු:ජ:මු:)

මහණෙනි දුක්ඛ නිරෝධාර්ය සත්‍යය යනු කවරේද?ඒ තෘෂ්ණාවම ඉතිරි ⁣නොකොට ක්ෂය කිරීමක්,අතහැර දැමීමක්,දුරුවීමක්,නොඇලීමක් වේද එයයි.මේ අනුව තෘෂ්ණාවේ නිරෝධය දුක්ඛ නිරෝධයයි.එසෙි ප්‍රහීන වන තෘෂ්ණාව කොහි පවත්නා තෘෂ්ණාවක් ද?පූර්වෝක්ත සතිපට්ඨාන සූත්‍රයට අනුව ලෝකයේ යම් ප්‍රිය ස්වභාවයක් මධුර ස්වභාවයක් වේ නම් එහි එහිලා පවත්නා තෘෂ්ණාව ප්‍රහීන වීමයි.නිරුද්ධ වීමයි .මේ ලෝකයේ ප්‍රිය ස්වභාවය මධුර ස්වභාවය වන්නේ කුමක්ද?මේ ලෝකයේ ප්‍රිය ස්වභාවය වන්නේ ඇසයි.රූපයයි .චක්ඛු විඤ්ඤාණයයි .චක්ඛු සම්ඵස්සයයි.චක්ඛු සම්ඵස්සයෙන් උපදින වින්දනයයි.රූප සංඥාවයි.රූප සංචේතනාවයි.රූප තණ්හාවයි.රූප විතක්කයයි.රූප විචාරයයි .මේ ආකාරයෙන්ඉන්ද්‍රිය සයටම අදාළව ක්‍රියාත්මක වන ධර්මතාවය තෘෂ්ණාවයි .මෙසේ තෘෂ්ණාව ගොඩනැගීම යනු පංචස්කන්ධයම හට ගැනීමයි.උපාදානිය ධර්මයන්හි ආශ්වාදයට නැවත නැවතත් උත්සාහ කරන පුද්ගලයාගේ තෘෂ්ණාව වැඩේ.ඒ තෘෂ්ණාවම ප්‍රත්‍ය කරගෙන භව ජාති ජරා මරණ,සෝක පරිදේව දුක් දොම්නස් උපායාසයන සමස්ත දුකම ප්‍රභවය වේ.උපාදාන ධර්මයන්හි ආදීනව දකිමින්විහරණය කරන පුද්ගලයාගේ  තෘෂ්ණාව නිරුද්ධ වේ.තෘෂ්ණා නිරෝධයෙන් පෙර කී සමස්ත සාංසාරික දුකම නිරුද්ධ වේය යනුවෙන් සංයුත්ත නිකායේ(02) නිදාන සූත්‍රය තුළ දක්වා තිබේ .

අවසානික වශයෙන් අප විමසිය යුත්තේ තෘෂ්ණාව නිරුද්ධ කිරීමේ මාර්ගය කුමක් ද යන්න සොයා බැලීමයි.එනම් සාංසාරික දුකෙහි අවසානය නැතහොත් දුකින් මිදීමේ මඟ  සොයා බැලීමයි.තෘෂ්ණාව ක්ෂය කිරීම යනු උපාදානස්කන්ධ නිරුද්ධ කිරීමයි.කර්මය ක්ෂය කිරීම යි .එනම් සීල නම් ශීලයත් සමාධියත් ප්‍රඥාවත් වැඩීමයි .ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමයි .

“කතමඤ්ච දුක්ඛ නිරෝධගාමිනි පටිපදා අරිය සච්චං,අයමෙව අරියො අට්ඨංගිකො මග්ගො සෙය්‍යථිදං සම්මා දිට්ඨි,සම්මා සංකප්පො ,සම්මාවාචා,සම්මා කම්මන්තො,සම්මා ආජිවො,සම්මා වායාමො,සම්මා සති,සම්මා සමාධි”

(දි.නි.02,මහා සතිපට්ඨාන සූත්‍රය ,492 පිට,බු:ජ:මු)

මහණෙනි දුක්ඛනිරොධගාමිණි ප්‍රතිපදා ආර්‍යය සත්‍යය කවරේද?ඒ සම්මා දිට්ඨි ,සම්මා සංකප්ප,සම්මා වාචා,සම්මා කම්මන්ත,සම්මා ආජීව,සම්මා වායාම ,සම්මා සති,සම්මා සමාධි යන මේ ආර්‍යය අෂ්ඨාංගික මාර්ගයයි .පූර්වෝක්ත කරුණු විමසා බැලීමේදි සසර දුක හා දුකින් මිදීම පිළිබඳ අවධිකමක් ඇති කිරීම බුදු දහමේ මූලික අරමුණ වී ඇති බව පහදාගත හැකිය.දුක,දුකට හේතුව දුකින් නිදහස්වීමේ මාර්ගය මනා කොට අවබෝධ කරගන්නේ නම් සංසාර දුක කෙළවර කොට බුදු දහමේ මූලික අරමුණ වූ නිර්වාණාබෝධය පසක් කොටගත හැකිය.

Ven. Paranagama Sarada Kashyapalankara
Ven. Paranagama Sarada Kashyapalankara
MA, University of Kelaniya Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles