
අදත් මම පන්තියට එනකොට ඇය පන්තිය අතුගාමින් සිටී. මේ කතාව ගෙතෙන්නට පටන් ගන්නේ මගේ පාසල් ජිවිතයේ අවසන් කාලය ඒ කියන්නේ උසස් පෙළ කරන කාලය. පාසල් ජිවිතයේ අවසන් වසර දෙක කිව්වොත් මම නිවැරදි. මිනිහෙක්ගේ පාසල් ජීවිතය කියන එක සුන්දරයි තමයි එත් අවසන් වසර දෙක තරම් සුන්දර කාලයක් පාසල් ජිවිතයේ හරිම අරුමසියි. ජිවිතේ කවදාවත් ඒ වගේ කාලවකවානුවක් ලැබෙන්නේ නෑ. කතාව දුරදිග යවන්න ඕනි නෑ ඇය නමින් පුරණි මා. පැහැපත්, දැකුම් කළු සිනහව, ආදරණිය කතා බහ, ආඩම්බර කම ඒ ඔක්කොම එකතු උන චරිතයක්.
” ගුඩ් මෝනිං “
ඇය මා දුටු විට දවස පටන් ගන්නට සුබ පැතුවේ මුව පුරවා සිනහවක් පාමිනි.
” ගුඩ් මෝනිං ”
මා මද ස්වරයෙන් පවසා සපත්තුවේ ඇති වැලි ගසා දමා පන්තියට ඇතුළු වුයෙමි. සාමාන්‍ය පෙළ අවසන් කර උසස් පෙළ පන්තියට ආවට පස්සේ තමයි මට පුරණි මා මුණ ගැහෙන්නේ. ඇය පිරිමි ළමුන් සමග වැඩි කතා බහක් නැත්තියක් වෙයි.ව නමුත් ඇය අපට ඉහල පන්තියක සිටින ඩිලන් හා ප්‍රේම සම්බන්ධ යක් තිබුණු බව පාසලේ නොදන්නා කෙනෙක් නැති තරම් විය. පන්තිය අතු ගා අවසන් වන විට ඩිලාන් ඇය බලන්නට දිනපතා පැමිණෙයි. ඇය දිනපතා උදෑසනම පාසලට පැමිණෙන කරණයද එයම විය. ඇය පන්තිය අතුගන්නේ ඔහු එනතෙක් කාලය ගත කිරීමට බව අද මට පසක් වන්නේ ය.
අපේ පාසැල ඉතා විශාල භුමි ප්‍රමාණයක් අරක්ගත් මහා ශිෂ්ඨාචාරයක් වැනිය. පුංචි කදු ගැටයක පැත්තක් නගරයට ආසන්නව පිහිටා තිබේ. මේ වර්තමානයේදීත් මම නොගිය ඉසවු ඇත. සාමාන්‍ය පෙළ සමත් වී උසස් පෙළ කරන පන්ති තිබුනේ පාසලේ දෙවන කොටසේය. ඉහලට වෙන්න ඇති දෙවන ක්‍රීඩා පිටියට ඉහලින් ඇති පන්ති කාමර වලය. මම උසස්පෙළ හදාරන්නට තීරණයකර තිබුනේ වාණිජ අංශයෙන්ය. උසස් පෙළ පන්ති කාමර ලෙස නොව තනි ශාලාවක එක පෙලට පවත්වාගෙන ගියේය. මෙය ස්ථිර පන්ති ලැබෙන තුරු තාවකාලික පන්ති කාමර ලෙස තිබුණි.
මා අත තිබුන පොත් කිහිපය මේසය මත තබා මම බිම බලාගෙනම නැවත පන්තියෙන් එලියට අවේ කවුරුන් හෝ මිතුරෙකු පැමිණ ඇත්දැයි විපරම් කරමින්. ඇය පන්තියේ දොර අසල අතුගාමින් සිටි.
දවස් කෙමෙන් කෙමෙන් ගෙවන්නට විය උසස් පෙළ පන්තියට අප තවමත් අලුත් නිසා අපේ රටේ පාසල් පද්ධතිය තුල තියන උප සංස්කෘතික අංගයක් බවට පත් කරගෙන තියන පර පිඩික අංගයක් වන ” නවක වදය” අපටත් විදින්නට සිදු විය. සීනියර් අය්යලා පන්තියට එනකොට අපි හුනස්නෙන් නැගිටලා ගුරුවරයෙකුට මෙන් ආචාර කලයුතු විය. එය මට අදටත් හොඳින් මතකය. රටක් දියුණු වන්නට නම් පර පිඩික මානසිකත්වය අප බැහැර කලයුතු බව අද මට හොඳින් අවබෝධවී ඇත. එයට හේතුව අද අප වැටි ඇති අගාධය දෙස බලන විට අධ්‍යාපන තුල නිර්මාණය කරනවා යයි පුරසාරම් දොඩන දියුණු මිනිසා ද මේ යයි මා තුලම ප්‍රශ්න කරන්නට වෙයි.
කෙසේ නමුත් අපට අදාල ස්ථිර පන්ති කාමර අපට ලැබුනේය. අප සියල්ලටම වෙන් කර ඇති පන්ති කාමර පෙලියල අවසාන පන්තිය ලැබුනේය. පන්තියට යාබදව ගුරුවරුන්ගේ විවේක කාමරය විය. අපට තිබුණු එකම ගැටලුවද එයම විය. හැබැයි ඉතින් අපේ පන්ති කාමරය ටිකක හුදකලා ගතියක් හා නිස්කලංක ගතියක් ගත්තේය. ඉවසන්නට බැරි උන එකම දේ වැසිකිලිය දෙසින් හමා ආ දුර්ගන්ධයයි. පන්ති කාමරයේ සිට මීටරය දහයකට පමණ ඈතින් පාසලත් අතුරු පාරත් වෙන් කරන කම්බි වැට දැකගත හැකිය. පාසලේ ඇති මේ කම්බි වැටත් උසස් පෙළ සිසුන් අතර මන සබැදියාවක් වසරින් වසර අලුත් වෙමින් ඒ කාලයේ ගෙවී ගිය බව කාටත් නොරහසකි.
අපේ පන්තියේ ගැහැණු ළමුන් සිටියේ අට දෙනෙකි අනික් සියල්ල පිරිමි ළමුන් වෙයි. පන්තිය දෙකට බෙදා වම් පස පිරිමි ළමුන් හා දකුණු පස මුල් පේලි දෙක ගැහැණු ළමුන්ට වෙන් කර ගැහැණු ළමුන්ගේ පිටු පස පේලි දෙකක් පිරිමි ළමුන්ට වෙන් විය. එම පේලි දෙකෙන් අවසන් පේලිය මට හිමි විය. එනම කොනේම බන්කුවේය. මට ඉදිරියෙන් සිටියේ ඇයය. එනම් පුරණි මා ය.
ටික කාලයක් ගතවෙද්දී ඇයත් මාත් මිත්‍රශීලි ගනු දෙනුවකට මුල පුරන්නට විය. කෙසේ නමුත් ඇයගේ ප්‍රේම වෘතාන්තයේ ගැටළු සහගත තැන් මා සමග පවසන්නට විය. බොහෝ බොහෝවිට ඇයගේ ප්‍රේමවන්තයා ඇයත් සමග ගැටළු ඇතිකර ගත්තේය. එය සාමාන්‍ය දෙයකි. මුලදී පාසලට නොපැමිණෙන දිනයන් හිදී අතපසු වූ සටහන් ලියා ගැනීමට මාගේ සටහන් පොත් ඇය ඉල්ලගෙන ගියාය. මා පාසලට නොපැමිණි දිනයන් හි අතපසු උන් සටහන් ඇය විසින් මා හට ලියා දුන්නා මට හොඳට මතකය. මෑත කාලයක් වනතුරු මා සතුව ඒ සටහන් පොත් සුරකිව තිබුණු අතර ඒවා මා විසින් දැන් විනාශ කර අවසන්ය.
“අද මම කලින් යනවා. ඔයාට පුලුවන්ද ඉකොන් නෝට්ස් ටික ලියලා ගෙනත් දෙන්න.”
මම මගේ ඉකොන් පොත සහ තවත් පොතක් ඇයට දුන්නේය.
” හා . ලියල දෙන්නම් හැබැයි නිකං නම් බෑ . හෙට මට මොනා හරි ගෙනත් දෙන්න ඕනි.”
මම හිස සලා මගේ මිතුරා සමග ගෙදර යන්න පිටත් වුනෙමි. පසු දින මට ලැබෙන පොත පෙර දින සටහන් ලියා සම්පුර් න කර තිබුණු අතර අවසාන පිටුවේ මෙසේ ලියා තිබුණි.
” Remembrance is gold “
කෙමෙන් කෙමෙන් කාලය ගතවීමත් සමග සිදුවූ දෑ බොහෝය. සමහර දින වලදී මම පාසල් නිමාවූ පසු සවස් කාලයේ ඇයගේ නිවසට ඉඳ හිට යන්නට පුරුදු වී සිටියේය. ඇයගේ පියා පොලිසියේ රාජකාරි කල අයෙකු නිසා ඔවුන් නවාතැන් ගෙන සිටියේ පොලිස් නිලනිවාසයේය.
ඇයගේ ප්‍රේමවෘතාන්තය එසේ පාසල් කාලය තුලම ගෙවීගෙන යද්දී අප දෙදෙනාගේ මිත්‍රත්වයද ටිකෙන් ටික දැඩි වන්නට පටන්ගත්තේය. බොහෝවිට මම ඇය පාසලට නොපැමිණි අවස්ථාවලදී ඇයව සොයන්නට පටන්ගත්තේය. සෑම දිනකම මම ඇයව බලාපොරොත්තු වුනෙමි. දැන් වසර දෙක ගෙවී කාලය අවන් වන්නට ඔන්න මෙන්නය. අදින් පසු අප අයෙත් පාසල් එන්නේ නැත. ඒ කලේ අද වගේ මොබයිල් ෆොන් තිබුනේද නැත. ෆොටෝ එකක් ගන්න නම් කැමරාවක් ව අවශ්‍ය විය. මගේ මිතුරකු කැමරාවක් ගෙනත් අවසන් දින ෆොටෝ ගසමින් සිටියේය. මට ඇය සමග ෆොටෝ එකක් ගැනීමට අවශ බව මිතුරාට පවසා කාටත් නොදැනෙන්න මම අය ලගින් සිට ගත්තේය. අදටත් ඒ ෆොටෝ එක මගේ ලග සුරැකිව තියන බව මම හොදටම දනී.
සියල්ල නිමා විය දැන් එලබ තිබෙන්නේ විභාගයට මුහුණ දීමය. උසස්පෙළ විභාගය පටන් ගන්නට මාස කිහිපයකට පෙර එකල පාසලේ උසස්පෙළ පන්ති වසා දමයි. ඒ කාලය තුල අමතර පන්ති වලට සහභාගී වීම හා කල්ලි ගැසී පාඩම් කිරීම හැර වෙන රාජකාරියක් අපට නොතිබුනේය. මට ජිවිතේ අමතක නොවන දවස මට මතක හැටියට එදා විජය කොලේජ් එකේ ගාමිණී සර් ගේ Economics පන්තිය. පන්තිය පටන් ගන්නට පෙර ඇය මා වෙත පැමිණියේය.
” රංග, මම අද පන්තියට ඉන්නේ නෑ. ගෙදර යනවා.
ඔයා දන්නවනේ අපේ තාත්තට ට්‍රාන්සර් එක ලැබිලා තියෙන්නේ කොලබට. අපිට නවතින්න වෙන්නේ නිට්ටබුවේ, රන් පොකුණගම ස්කීම් එකේ අපේ පුන්චිලා ගෙදර. රෙන්ට් එකට තැනක් හොයාගන්නකන් අපි එහෙ ටික දවසකට නවතිනවා.”
ඇය එක දිගටම කියාගෙන ගියාය. මම ඇය දෙස බලා,
” එහෙනම් මමත් එන්නම් ඔයත් එක්ක යන්න”
ඒකාලයේ මට ෆුට් බය්සිකලයක් තිබුනා. මම එකත් තල්ලු කරගෙන ආපසු යන්නට පිටත් වුනෙමි. විජය කොලේජ් එකේ ඉඳල ඇයගේ නිවසට කිලෝමීටර තුනක් පමණ දුරක් තියනවා. මේ ගමන යන්න වෙන්නේ නගරය හරහා දිවෙන මාර්ගයේ. ප්‍රකාශ කරගත් නොහැකි මොකක්දෝ මානසික ආතතියක් මට දැනෙන්නට විය. හෙට සිට අයෙත් විභාගය දවස් වෙනකන් මට ඇයව දකින්නට ලැබෙන්නේ නැත. කතා කරන්නට ලැබෙන්නේ නැත. මට මගේ හිතට මොකක්දෝ විශාල අහිමි වීමක් දැනෙන්නට පටන් ගත්තේය. කිසිදු වචනයක් වත් කතා නොකර අප දෙදෙනාම බොහෝ දුර ඇවිදගෙන අවේ වෙනත් ලෝකයක අවිදිනාවක් මෙනි. ඇත්තටම කිවුවොත් වට පිටවේ කුමක් සිදුවෙනවද යන්න පවා මට හැඟීමක් නැති තරම්ය. ඇය එකවරම,
” අපිට අයේ හම්බවෙන්න වෙන්නේ විභාගෙදි තමයි. ලියුමක් හරි එවන්න මම පුංචි ලා ගෙදර ඇඩ්රස් එක දෙන්නම්.”
“ටෙලිෆෝන් නම්බර් එක ලියල එවන්නම් ඔයා කතා කරන්න”
මම කිසිත් නොකියා හිස සැලුවේය. කතා කරන්න ඕනි උනත් වචන පිට වෙන්නෑ වගේ මට දැනෙන්නට විය.
” ඇයි ඔයා කතා කරන්නේ නැත්තේ . මම යනවට අකමැතිද?”
ඒ ගැන මට අදහසක් හිතා ගන්නට බැරි විය. මට හිතුන එකම දෙයනම් ගමනාන්තය තව දුරස් වෙන්න කියන එක විතරයි. මට එතකොට තව වෙලාවක් මට ඇයත් එකක ලගින් ඉන්න පුළුවන් එතකොට.
“කතා කරන්නකෝ. තරහද?”
ඇය නැවතත් කතා කරන්න පටන් ගත්තේය.
” නෑ. මම ඇයි තරහ වෙන්නේ. ඔයා exam එකට ඇවිත් කොහෙද නතර වෙන්නේ?”
“අපේ නෑදෑ කෙනෙක් ඉන්නවා. මම එහෙ ඉන්නවා. අම්මත් එක්ක එන්නේ. ඔයා එන්න මම අවම කියන්නම්”
මම හිස සැලුවා හැරෙන්නට කිසිත් කියන්නට ගියේ නැත.
“මම ඇත්තටම ඇයි ඇයගේ සමුගැනීම ගැන මෙච්චර හිතන්නේ ? ඇයට ආදරවන්තයෙක් ඉන්නවා. ඔහු එක්ක තමයි විවාහ වෙනවා කියන්නේ. ඉතිං “
මම තනිවම සිතන්නට පටන් ගත්තේය.
පැය එක හමාරකට පමණ පසු අප දෙදෙනාම ඇය නිවස අසල පාරට පැමිණියේය. කෙසේ නමුත් මම ඇයගේ නිවසට නොගිහින් ආපසු හැරෙන්නට සිතුවේය. ඇයගේ නිවස මා නොදන්නා තැනක් නොවිය. නමුත් එහි යාමට සිත දුන්නේ නැත. සමුගැනීමට කාලය පැමිණ තිබේ. මේ දින මේ වන විට පාසලේ සියලුම මිතුරන් හා ගුරුවරු සිතාගෙන සිටියේ අප දෙදෙනා පෙම්වන්තයින් කියාය. ඒ තරමට අප දෙදෙනා එකිනෙකට ලං වී අවසන්ය. දැන් වෙන් වීමට මොහොතයි.
“රංග මම නවතින්නම්. හෙට අපි කොලබ යනවා. මම ඔයාට ලියුමක් එවන්නම්.”
” අනිවාර්යයෙන් ලියන්න ඕනි. අමතක කරන්න එපා.”
” හරි. මම ලියන්නම් ඔයා බය නැතිව ඉන්න. හොදට පාඩම් කරන්න ඕනි.”
” මම යන්නම්. ආයෙත් දවසක හම්බවෙමු. කිසිවක් කිසිදා අමතක නොවේ”
ඇය යනතුරු බලා හිද මම නිවාස බලා යන්නට පිටත් වූවෙමි. මගේ මනස තුල ඇති අරගලය කියන්නට කෙනෙක් නැති තරම් මම අසරණ වූ බව පමණක් මට මතකය.
මාසයකට පමණ පසු මම හිතන්නේ මාසයක් ඇති. මට ඇයගෙන් ලිපියක් ලැබුනේය. ඔවු මම බලාපොරොත්තුවෙන් හිටියේ ඒ ලියුම ලැබෙනකන්. අම්මා මට ලිපිය ගෙනත් දුන් අතර අම්මා මගෙන් කිසිවක් ඇසුවේද නැත. ගැහැණු ළමයෙකුගේ ඇත අකුරු අම්මට එය එතරම් ගැටළුවක් නොවිය.
” තෙරුවන් සරණයි, දයාබර රංග. ඉතින් කොහොමද? මම හොඳින් ඉන්නවා, ඔයත් හොඳින් ඇති කියලා හිතනවා. අපේ යාලුවෝ හම්බ උනාද ? උපුල් එහෙම හම්බවුනාද ? ඔයානම් ඉතින් පාඩම් කරනවා ඇති. මම එවල තියන නම්බර් එකට කතා කරන්න හැබැයි දවල් වෙලාවට. ඇඩ්රස් එකට ඔය ලියන්න ඕනි විස්තර කියල “
ලිපිය කියවගෙන යනකොට මගේ මොකක්දෝ ඉටු නොවන බලාපොරොත්තුවක් හිතේ දගලන්නට පටන් ගන්න බවක් මට හැගෙන්නට විය. විභාගය පටන්ගන්න සතියකට පමණ පෙර ඇය නැවත මගේ ප්‍රදේශයට පැමිණියේය. නැවත ඇයව මට දකින්නට ලැබෙන්නේ විභාග පළමු දිනයේදීය. ඒ දින වන විට ලිපි ගනු දෙනුව දිගටම සිදුවිය. මාසයකට දීපි දෙක තුනක් හුවමාරු විය. මම ඇයගෙන් අහපු එකම දෙය නම්,
” අරලිය ලන්දට සඳ පයනකොට, ඉසුරු කොදෙව්ව දිහා ගියේ නැද්ද යන්නයි”
ඇත්තටම එකේ තේරුම නම් පෙම්වතා සමග කොහෙවත් ගියෙන් ඇද්ද ඔහුව හමු වුනේ නැද්ද යන්නයි. ඇයගේ පෙම්වතා ද රැකියාව කලේ කොළඹ නිසාය. බොහෝ කලකට පසු තමයි මට දැනගන්නට ලැබුනේ ඇයගේ පෙම්වතා හා ඇය අතර සම්බන්ධය නැතිවුණා බව. කොහොම හරි විභාගයද අවසන් වී නැවත ඇය ආපසු කොළඹට ගියේය. ඇය දිගින් දිගටම මට ලිපි ලිවුවය. මමද පිළිතුරැ නිරන්තරයෙන් යැවිය. නිට්ටඹුවේ සිට නැවත කොළඹ පොලිස් නිල නිවාස යට මාරුවන බව ලිපියකින් දැනගන්නට ලැබුණි. ඒ වන විට ඇයගේ ආදර සම්බන්ධතාවය බිඳී ඇති බව ඇය මට ලිපියකින් ලියා තිබුනේය.
කාලය කොතෙකුත් ඉක්මනට ගෙවී ගියාද කියතොත් පළමු වර උසපෙලට පෙනී සිට කැම්පස් යන්න ලකුණු මදි නිසා නැවත වරක් උසස්පෙළ ලියන්න මම නුගේගොඩ රෝටරියට අමතර පන්ති සඳහා කොළඹ අවේ මිතුරෙකුගේ නවාතනකටය. කාලය වසරක් ගෙවී ගියේය. අයගේ සම්බන්ධතාවය ලිපිවලින් පමණක් සීමාවිය. දෙවන වරද උසස්පෙළට පෙනී සිට ගමට ගිය මම සතියකට වරක් පමණ කොළඹ අවේ ගියේ මගේ සමහර වැඩ කරගැනීමටය. බොහෝ දුරට මම නවා තැන ගත්තේ මගේ මිතුර හේෂාන් ගේ කාමරයේය. ඇය කොළඹ පොලිස් නිල නිවාස වලට එන බව මට දැනගන්නට ලැබුනේ ලිපියක් මගිනි. මාගේ මිතුරා හේෂාන් සමග එහි යාමට මම තීරණය කලේ බොහෝ බලාපොරොත්තු හිතේ තියාගෙනය. ඇය නිතරම කිවූ දෙයක් තමයි “දවසක අපේ ගෙදරින් කෑම ටිකක් කාල යන්න එන්න” කියන එක. මමත් මිතුරාත් උදැසනම ලෑස්ති වී union place වල තියන පොලිස් නිල නිවාස වෙත් ගියේ ඇයව බලන්ටය. උදැසන දහයට පමණ අප ඇයගේ නිවසට ගියේය. සුපුරුදු සිනහ මුසු මුහුණින් අපව පිළිගත් ඇය වෙනදට වඩා පැහැපත් වී හැඩවී සිටියේ දකින ඕනෑම කෙනෙකුට ආදරයක් ඇතිවන ලෙසය.
“හා..එන්න එන්න කොහොමද තැන හොයාගන්න අමාරු උනාද?”
“අම්මේ ..රංග ඇවිල්ලා ….”
ඇය අපව නිවාස තුලට කැදවාගෙන ගියාය. එය රජයේ පොලිස් නිල නිවාස වන බැවින් ඉතා සීමිත ඉඩ කඩ ඇති නිවසකි. බොහෝ වෙලාවක් කතා කර කර සිටි අපහට මව විසින් දිවා ආහාරය පිළියෙළ කර තිබුණි. පරිප්පු වන්ජනයක් සහ බෝංචි කොළපාටට උයා තිබුන බව මට අදටත් හොඳහැටි මතකය. මම එදා ඇයව බලන්න ගියේ මගේ හිතේ මටත් නොදනිම ඇය කෙරෙහි ඇතිවූ ආදරය ප්‍රකාශ කිරීමටය. මාගේ මිතුරගෙන්ද මවගෙන්ද ඈත්වී නිවාස ඉදිරිපිට කොරිඩෝවේ අප දෙදෙනා තනිවුනේ පෞද්ගලික දෙයක් කතාකිරීමට ඇති බව ඇය කිවූ නිසාය. මම කතාවට මුලපුරන්නට ප්‍රථම ඇය කතාව පටන්ගත්තේය. ඇය පැවසු දෙයින් මම තුෂ්නිම්භූත විය. ඇයගේ අක්කගේ හිතවතෙකු දන්නා කෙනෙක් ඇය ගැන උනන්දු වන බවත් ඇය මගෙන් විමසන්නට වුයේ,
“රංග, මම එයාට කැමති කියන්නද ?”
“මට හිතෙනවා එයා හොඳයි කියල, ඔයා මොකක්ද හිතන්නේ?”
මට කතා කරගැනීමට නොහැකි වෙනවා වගේ දනේන්නවිය, හිස කැරකෙන්නට පටන් ගත්තේය, අවට කිසිවක් මොහොතකට අමතක් විය. සියල්ල කඩා වැටෙන්නට පටන් ගත්තේය. මම කාන්තාරයක් මැද අතරමං වුවා සේ දැනෙන්නට විය.
“රංග, ඇයි කතා කරන්නැත්තේ?”
පියවි සිහියට එළබි මම,
“නෑ , නෑ මුකුත් නෑ , ඔයා තමයි තීරණය කරන්න ඕනි “
“මට හෙට එයාව හම්බවෙනවා බලමු. එක සැරයක් එක දෙකින් බට කැව මම තවත් තවත් රැවටෙන්න බෑ රංග අම්මලත් පවු. අක්කත් දන්නා කෙනෙක්නෙ”
මම කිසිවක් නොකියා ඇයගේ කීමට එකග විය. වෙලාව සවස දෙකට පමණ විය මාත් මිතුරාත් සියලු දෙනාට සමු දී පිටත්වන්නට නිවසින් එලියට බැස්සේය. මම නිතරම ඒ දවස් වල වෝක් මන් වර්ගයේ කැසට් ප්ලේයර් එකක් නිතරම යන යන තැන අරගන ගියේ ගීත ඇසීමටය. එය දුටු ඇය එකවරම මට කිව්වේ.
“ආ.. ඔයගේද මේක. මමත් එකක් ගන්න තමයි හිතාගෙන ඉන්නේ.”
කියාය.මම එකවරම වෝක් මන් එක ඇය වෙත දික් කර,
“මේක ඔයා තියාගන්න මාව මතක් වෙන්න”
කියා එය ඇයට දී මම එතනින් සමුගෙන පිටත් වී ආවේ හදවතින් හදවටෙමිනි. මට හිතා ගන්න බැරි එකම දේ මම ඇයට ආදරය කරා ද යන්නය. අද මට තේරෙන එකම දේ මම ඇයට ආදරය කළා කියන එකයි. නැවත කිසි දින මම ඇයට ලිපි ලිවුවේ නැත. ඇයද මට ලිපි ලිවුවේ නැත.සමහර විට මම එදා මගේ ආදරය ඇයට ප්‍රකාශ කරන්න යන බව දැනගෙන ඇය එවන් කතාවක් මට කීවාද කියා මට හිතුන වාර අනන්තය. පසු කලක මට මතක ඇති විදිහට දෙදහස් පහ වසරේ දිනයක කොල්ලුපිටිය පිත්තල හන්දියේදී උදැසන මට අහඹු ලෙස ඇයව මුණ ගැසුණි. ඒ ඇය රැකියා ආයතනයට යන අතරේය.ඇය සිනාසී පෙර මෙන් කතා කල නමුත් මොකක්දෝ ගැටළුවක් ඇතිබව මට වැටහුණි. ඉන් පසු මට ඇයව ආයෙත් මගහැරුනේය. නැවත වරක් දෙදහස් පහළොව වසරේ දිනක අප පාසලේ සුහද හමුවකදී ඇයව මුණ ගැසෙන්නේ තලවතු ගොඩ දීය. ඇය වෙනදා මෙන් කතා කලේ නැත. ඉන් පසු අද වර්තමානය වනතෙක් ඇයව කිසි දිනක මට හමු වුයේ නැත.