

තනි සිතක අදුර මැකූ සිහින අප්සරාව
“සීයේ..... වැටෙයි..... ඇයි කාගෙන්වත් උදව් ඉල්ලුවේ නැත්තේ..... ඉන්න
ඉන්න ඔහොම.....”
ලතෙත් බව උතුරන ලයාන්විත හඩින් මහළු රෝගියා අමතන්නේ සුදුම සුදු වතින් සැරසුනු හෙදියක්...සුදු ගවුමින් සැරසුනු සුරංගනාව ලග මගේ දෑස නැවතුනා...දෙවියනි මේ කවර නම් අරුමයක්ද.....මේ ඇයයි..සිහිනය අද්දර රැදුනු.. විවර කල නෙතු ලග බොදව ගිය..අනන්ත අප්‍රමාන වතාවක් සිතුවමට නගන්නට වෙර දැරුවත් අසීරු වූ ඇයමයි...සැනෙකින් ලොවම අමතකව ගියා සේ මට දැනුනා..මහළු රෝගියා රැගත් රෝදු පුටුව තල්ලු කරමින් ඇය කොරිඩෝව දිගේ ඈතට ඇදෙනවා....පසුපස දිව යන්නැයි සිත මොර දුන්නත් දෙපා අප්‍රානිකව ගියා සේයි...කොරිඩෝව කෙලවරින් ඇය නික්ම ගියේ සිතත් අරගෙන....සුසුමක් හෙලා ලය සැහැල්ලු කරගත් මම අඛිල රැදි කාමරය කරා ගියා....අඛිල නිසලව වැතිර සිටිනවා...මේ අහිංසකයාට විශාල වරදක් කලා නොවේදැයි මම මටම සාප කලා.. මා යලි හැරී ආවේ දැඩි තීරනයක් රැගෙන....
වාහනයට නැගි මා මද දුරක් ගියේ ජනාකීර්නත්වයෙන් අඩු දුරකතන කුටියක් සොයාගෙන... තැපැල් කන්තෝරුවකින් ඇමතුම ගැනීම අවධානම් නිසා පාර අද්දර වූ දුරකතන කුටියක් වෙත ගිය මම වටපිට බලා අඛිලගේ නිවසේ ගෘහස්ත අංකයට ඇමතුමක් ගත්තා.....
“.....හලෝ........”
ඇසුනේ අබල දුබල ගැහැනු හඩක්...ඒ මගේ අම්මාගේම හඩයි.....පුතුන් දෙදෙනකු අහිමව සිතින් වැලපෙන ඒ ගැහැනියට කෙටියෙන් පනිවිඩය කියූ මා යලි වාහනයට ආවේ යුතුකමක් ඉටු කලා යන නිරාමිස සතුටින්.....
නිර්නාමික ඇමතුමකින් අතුරුදන් පුතු ගැන ලග ආරංචිය ඇයට සතුටක් එක් කරන්නට ඇති.....දැන් ඉතින් අඛිල සිටින පුද්ගලික රෝහල සහ රෝහල් කාමරය දන්නා ඇය නීතියේ පිලිසරන පතා සිය පුතු ගලවා ගනු ඇති.....අඛිල සිටින්නේ පුද්ගලික රෝහලක මිස කාත් කවුරුවත් නැති රහස් කුටියක නොවන නිසා නිර්නාමික ඇමතුම දුන්නේ මා බව සැක සිතන්නට මංචනායකට කිසිදු හේතුවක් නැත.. අඛිලගේ මව් පියන් පුතුගේ අනන්‍යතාව පෙන්වා ඔහුව නිවසට ගෙන යන්නට තැත් කරද්දි ඊට විරුද්දව කටයුතු කරන්නට ඉදිරිපත් වුවහොත් මංචනායක සැක කරුවකු වන්නේමය...එනිසා අඛිලගේ මව් පියන්ට සිය පුතු රැගෙන යාමට ඔහු බාධා නොකරනු ඇත.. ඔවුන් සිය පුතු ගෙනගොස් ඔහුව සුවපත් කරනු ඇත...මම දිගු සුසුමකින් ලග සැහැල්ලු කරගත්තා..
“.....ටී්‍රංංං.....”
සාක්කුවේ වූ දුරකතනය නාද වූයේ මගේ දැහැන බිදිමින්...ඇමතුම අක්කාගෙන්...ආ ගිය තොරතුරු කතාකල ඇය විශේෂ යමක් කියන්නට යන බව මට වැටහුනා....
“…මේ….මම කතාකලේ විශේෂ දෙයක් කියන්න….මම මේක කියන්නේ යුතුකමක් විදියට….හරිද….දන්නවද අර චන්ද්‍රානි නැන්දලගෙ බාල පුතා දෙනුවන්.. ඌ දැන් කඩයක් කරනවා….මිනිහට ජයයි…..එයා නෙතුකිට විවාහ යෝජනාවක් ගෙනල්ලා……මාමයි නැන්දයි වචනයක් දුන්නේ නෑලු.. හැබැයි දෙන්නම කැමති බව තමයි තේරෙන්නේ…නෙතුකි මාව මුනගැහිල පැය ගානක් ඇඩුවා….පවු හලෝ….හැබැයි ඉතින් නෙතුකි තරං තමුසෙට ආදරේ කරපු කෙල්ලක් නං කවදාවත් මුන ගැහෙයි කියල හිතන්න එපා..තමුසෙ දවසක පසු තැවෙයි නෙතුකි නැති කරගත්තා කියලා……..”
ඇමතුම නිමා වූ පසුත් අක්කා කී වදන් යලි යලි ඇසෙන්නා සේයි.. නෙතුකි රිදවන්නට ඇයට “.. බතලි ” කියා විහිලු කලත් ඇය විරූපි ගැහැනියක නොවන බව සිහිවන්නේ දැන්…..පාසැල් අවදියේත් දෙනුවන් නෙතුකිගේ ආදරය ඉල්ලමින් පසුපස ආ බව මට මතකයි…..දෙනුවන් සේම යසස් සහ බිතුම්ද ඇගේ ආදරය ලබන්නට තැත්කලේ ඇය බතලියක නොවන නිසා නොවේද…ඒ සියලු පෙම් ඇරයුම් ඇය එදා මට පැවසුවේ ඔවුන්ගෙන් ගලවාගෙන ඇයව හිමි කර ගන්නට කියන ආයාචනාවෙන් නොවේද…ඒ ආයාචනා හාස්‍යයෙන් බැහැරකල මට නෙතුකි පිලිබද කවරදා හෝ නොවූ වටිනාකමක් දැනෙන්නේ ඇයි…..පසුපස එන ඇයව හාස්‍යයෙන් පලවා හැරියත් වෙනත් තරුනන් ඇය පසුපස එන සෑම විටම ඔවුන් පලවා හරින්නට මා ඉදිරිපත් වූයේ “..නෙතුකි මගේ..” යන හැගීම සිත පතුලේ සැගව තිබුන නිසා විය නොහැකිද…දැන් ඉතින් තීරනයක් ගතයුතු මොහොතෙ උදාවෙලා.. එක්කෝ නෙතුකි දෙනුවන් සතුවනු බලා නිහඩ විය යුතුයි. නැතිනම් මගේ ආදරය පවසා ඇයව මා සතු කරගත යුතුයි…කාලෙන් කාලයට විවිධ යුවතියන් ජීවිතයට ලංවුවත් නෙතුකි තරමට මට පෙම්කරන යුවතියක් කිසිදා හමු වී නැහැ…..මගේ රැැවුම් ගෙරවුම් රිදව්මු සියල්ල ඉවසමින් ඇය මා කෙරෙහි දැක්වූයේ අපිරිමිත සෙනෙහසක්….යම් හෙයකින් මා ඇය ප්‍රතික්ෂේප කලහොත් නෙතුකි දෙනුවන්ට කැමති වන්නට බැරි නැහැ….එසේ වුවහොත් සාගරය බදු වූ ඇගේ ආදරය දෙනුවන්ට හිමිවනු ඇති…..දරාගනු බැරි ලෝබකමකින් සිත පිරි යද්දි නෙතුකි මගේ මිස වෙනත් අයකුගේ නොවන බව සිත මොරගාන අන්දම මට ඇසුනා…..
“..මම සර්ට කියල ගෙදර යනවා…..නිවාඩු දෙන්න බෑ කිව්වත් යනවා.. ජොබ් එකට කෙලවෙල ගියොත් වෙන ජොබ් එකක් හොයා ගන්න බැරි නෑනේ…..මම නෙතුකිට කැමැත්ත දෙනවා….මාමයි නැන්දයි අපේ අම්මයි තාත්තයි ගොඩක් සතුටු වෙයි……ඒ හැමෝටම ඕන වුනේ ඒකනේ….ජීවිතේ අලුතින් පටන් ගන්නවා……..”
මම අවසන් තීරනයට එලඹුනා...සැනින් මට රෝහලේ හමු වූ හෙදිය සිහිවුනා... යලි හැරී ගොස් තවත් වරක් ඇයව දකින්නට ඇත්නම් යයි සිතුනා.. ලගදීම අඛිලගේ මව් පියන් ඔහුව රෝහලින් රැගෙන යාවි..ඉනු පසු මගේ රාජකාරිය නිමවන නිසා මට යලි එම රෝහලට යන්නට වන්නේ නෑහැ...ඉතින් යලි කිසිදින ඇයව දැක ගන්නට නොහැකිවනු ඇත..එසේ සිතෙන විට සියුම් දුකක් සිතට ගලා ආවා...මම දෑස් වසා මගේ සිහිනයේ සැරි සරන සිහින අප්සරාව මවා ගන්නට උත්සහ කලා....
පිංකි...රෝහලේ හමු වූ හෙදිය සේම ජීවිතයේ හමු වී ලංවී වෙන්වු සොදුරු යුවතියන් එකිනෙකාගේ රූප පෙල නෙතු ලග මැවුනා...පිංකිගේ රුව ලග නැවතුන සිත කැබලි වලට බිදී ගියේ ඇගේ සැබෑ තතු දැනගත් නිසා නොවේද.. ඇයට “ බඩුව..” කියා කිවුවේ මහමෙරක් සේ ඇයට පෙම්කල මමම නොවේද... රූමත් හෙදිය සිත නතර කලේ ඇගේ අසමසම රුව සේම මහළු රෝගියාට දැක් වූ කාරුනික බව නොවේද....සිත ඇදි සිහින අප්සරාව අසමසම රුවකින් සේම කරුනාබර හදකින් හෙබි පරම පිවිතුරු මල් කැකුලක් නොවේද...යම් හෙයකින් හෙදිය තුලද මා නුදුටු අදුරු බවක් සැගව තිබිය නොහැකිද...එසේ වුවහොත් ඇයටද මගේ සිහින අප්සරාව වන්ට නොහැකි වනු ඇත..
හෙටින් පසු නෙතුකි ජීවිතයේ කොටසක් වන දිනය උදාවනු ඇති..ඉන් පසු මම ඇගේ මිස වෙන කෙනෙකුගේ නොවන්නා සේම ඇය මගේ මිස වෙනත් අයකුගේ නොවන්නේමය...එහෙත් ඇයට මගේ සිහින අප්සරාව විය හැකිද.. ඇයටත් මටත් ජීවිතය හා ගනු දෙනු කරන්නට මහ පොලවට බසින්නට වනු ඇත.. වියලි පොලව රළුය.. කර්කෂය..සතුට සේම කදුලද ඇගෙත් මගේත් ජීවිතයේ පවතිනු ඇත..සැබෑ ලොව සිහිනය තරම් සුන්දර නැ.. නෙතුකි නම් සැබෑ ගැහැනිය තුලින් සිහින අප්සරාවක් අපේකෂා කල නොහැකියි.. එනිසා කිසිම දිනක නෙතුකිට මගේ සිහින අප්සරාව වන්නට නොහැකි වනු ඇත..
මගේ සිත සොයන “ ඇය“ මේ කිසිවකු නොවන්නේ නම් සැබැවින්ම ඇය කවුද....ඇය සදාකාලයෙන් සදා කාලයට මගේ මනැස තුලම නිදිගෙන සිටින සුර අගනකි...සෑම පිරිමි සිතකම සැගව නිදන මායාවියකි. පෙම්වතියගෙන්... බිරිදගෙන් නොනැවතී ඇතැම් විට අනියම් පෙම්වතිය තුලින් පවා ඔහු සොයන්නේ ඒ මායාවියම නොවන්නේද.....එහෙත් කිසිම දිනක කිසිදු පිරිමියකුට ඇයව හමු නොවන්නේමය...හිමි නොවන්නේමය...ඇය සදාකාලිකව පිරිමි සිත් තුල සැගව නිදනු ඇත...
නිමි..