30 C
Colombo
Saturday, July 12, 2025
spot_img

Subscribe

Date:

Share:

මායා වී – 09

Related Articles

                                          

තනිසිතක අදුර මැකූ සිහින අප්සරාව

   එදා දවස නිමවා මම යහනට වැටෙන මොහොත එනතුරු මා බලා සිටියේ දැඩි නොඉවසිල්ලෙන්...විල්සන් අයියා කී කතා ඇසූ මොහොතේ පටන් දරා ගනු බැරී පීඩනයිකින්  ආත්මයම වෙලී ඇති බවක් දැනුනත් නින්ද අහලකට හෝ එන්නේ නෑ....විදුලිය නිවූ කාමරයේ අදුර අතරේ යහනේ ඒ මේ අත පෙරලෙමින් සිටින මට විල්සන් අයියාගේ වදන් යලි යලි රැව් පිලිරැව් දෙනවා.......

“රයාන් මහත්තය කලබල උනේ ඔය නිර්මාල් පිංකි බේබිව අරං යයි කියල නෙවෙයි..පිංකි බේබිව ආයෙම කරදරයක් ඔලුවට දා ගත්තු හිංදා..ඔය නිර්මාල් පිංකිව රවට්ටගෙන සෑහෙන්න සල්ලි කඩාගෙන….මම හිතන්නේ රයාන් මහත්තය යන්න කලින් ඔය මනුස්සය හම්බ වෙලා තර්ජනය කලා……..”

  “ඒ කියන්නේ රයාන් මහත්තයගෙයි පිංකි බේබිගෙයි වෙඩින් එක වෙනවා.?.”

“.. රයාන් මහත්තයගෙ අම්මයි අපේ මංචනායක සර්රුයි අයියයි නංගියි..
බූදලේ පිට යන හිංද කවද හරි පිංකි බේබි රයාන් මහත්තය බදින්න ඕන
කියල මේ අය තීරනේ කරල තියෙන්නේ රයාන් මහත්තයයි පිංකි බේබියි
පුංචි කාලේ….මම හිතන විදියට රයාන් මහත්තය පිංකි බේබිට වඩා අවුරුදු
11 ක් වැඩිමල්…පිංකි බේබි රයාන් මහත්තයට කැමති නෑ……”

   “.ඒ කියන්නේ රයාන් මහත්තය මේ කසාදේ කරන්න හදන්නේ බලෙන්.....”

   “..ඒව දිග කතා....අපේ සර්ලයි රයාන් මහත්තයයලයි ඉස්සර මෙච්චර සල්ලි කාරයෝ නෙවෙයි...මේ බිස්නස් දියුනු කරල අද සුපිරි කෝටිපතියෝ වෙලා තියෙන්නේ රයාන් මහත්තය නිසා...පිංකි බේබිව රයාන් සර් බැන්දේ නැත්තං අපේ සර්ලට පාඩුවක් වෙනවා....ඒ වගේම තවම දේපල හරියට බෙදල නැති නිසා රයාන් සර්ටත් පිංකි බේබිව බදින්න වෙනවා..නැත්තං තමුන් දියුනුකරපු බිස්නස් වලින් කොටසක් අපේ සර්ට දෙන්න වෙනවනේ. 

   රන් විමනක සුවෙන් දිවි ගෙවන්නට වරම් ලැබුනත් මේ සුපිරි ජීවිත තුල හැංගී ඇති ඛේදවාචකය කෙබදුද.. රයාන් සේම පිංකිද මකුළු දැලක පැටලුනු මැස්සන් දෙදෙනකු සේමය....පිංකිට දිනක අත ගන්නට වන්නේ තමන් රුචි නොවන අයකු සමගයි...රුසිරු වෑහෙන සුරගනක් බදු යුවතියක වුවුද තමන්ට පෙම් නොකරව බව දැන දැනම ඇගේ අත ගන්නට සිදුවීම රයාන්ටද අභාග්‍යයක්මය..තම පෙම්වතිය වෙනත් තරුනකු සමග පෙමින් වෙලි ඇති බව දැන දැනම දිනක ඔහු ඇයව මනාලිය කරගන්නේ සැබැවින්ම ආදරය නිසාමද....

 “පිංකි බේබි ආයෙම කරදරයක් ඔලුවෙ දා ගත්තු හිංද රයාන් මහත්තය කලබල 
වුනා කිව්වේ...පිංකි බේබිට කලිනුත් කොල්ලො නිසා වෙන ප්‍රශ්න ආවද.....”
  මම අහද්දි විල්සන් අයිය මහ හඩින් හිනාවුනා....ඉන් පස්සේ කතා කලේ වටපිට බලල රහසින් 

“….ඉටි රූපයක් වගෙ රූපයක් තියනව නං…..සල්ලි තියනව නං…..අම්ම අප්ප පුංචි කාලෙ ඉදන් ඕනෑවටත් වඩා නිදහස දීල තියනව නං…….ඒ ඔක්කොටම වඩා පුදුමාකාර විසයක් තියනව නං එහෙම කෙල්ලෙකුට කොල්ලො හිංද ප්‍රශ්න නැති වෙයිද බං….”

“..විසයක් තියනව කිව්වේ……පිංකි බේබි මහ විසේකාර කෙල්ලක්ද…..”

”…මම මෙහෙම කිව්ව කියල කාටවත් කියනව එහෙම නෙවෙයි….තමුසෙත් ඇහැට කනට පේන ඉලන්දාරියෙක්නේ…දිගින් දිගට වාහනේ යන්න එන්න ගියොත් තමුසෙට උනත් බැරි වෙන එකක් නෑ එයාගෙ හිත දිනාගන්න….”

”…..නෑ..එහෙමද…එහෙනං ඉතින් වයසක ඩ්‍රයිවර් කෙනෙක් ගන්නේ නැතුව මාව ගත්තෙ ඇයි…..”

”….ගත්තට තමුසෙ පිංකි බේබි එක්ක නිතර යන්නෙ එන්නේ නෑනේ…..තමුසෙව ගත්තේ බලලුන් ලවා කොස් ඇට බාවගන්න…..”

“….තේරුනේ නෑ……”

“..ඉලන්දාරියෙක් ගත්තම ඩ්‍රයිවර් වැඩෙයි බොඩිගාඩ් වැඩෙයි දෙකම කෙරෙනවනේ..සර් තමුසෙට අඛිල කියල කෙනෙක් ගැන කිව්වද.. දන්නවද.. ඌත් බේබිත් එක්ක සම්බන්දයක් තිබ්බා….උගෙන් බේබිගෙ ජීවිතේට තර්ජන තියනවා….”

“..නෑ….මිනිහ දැන් කොහෙද……”

“..මිනිහ මිසින්….රටින් පැන්නද නැත්තං…අපේ සර් රයාන් මහත්තය එක්ක එකතු වෙලා එයාව එහා ලොකේට යැව්වද දෙයියෝ තමයි දන්නේ…..”

අඛිලගේ වර්තමානයේ තත්වය පිලිබද විල්සන් අයියා නොදන්නා බව පැහැදිලියි..පිංකි සහ අඛිල ගැනත් පිංකිගේ ජිවිතයේ තවත් තොරතුරුත් දැන ගැනීමේ දැඩි ආශාව නිසාම මම දිගින් දිගටම විල්සන් අයියා වෙතින් තොරතුරු විමසුවා..

“.ඔය අඛිලට හිටපු එකම අයියා කසුන්..අඛිලටත් වඩා උස මහත අඛිලටත්
වඩා පෙනුම තියන මනුස්සයා…ඉස්සර එයා මේ බංගලාවේ ඩ්‍රයිවර්..කසුන්
එක්ක පිංකි බේබිගෙ සම්බන්දයක් තිබ්බා…ඌ පිංකි බේබිවත් අරං යන්න
හදද්දි මාට්ටු උනා..තමුසෙ මේව හිතේ විතරක් තියා ගන්නවා. ඒ වෙද්දි පිංකි බේබිට වයස 15 ක් 16 ක් ඇති..දැනුම් තේරුං නෑ…පස්සේ බලද්දි පිංකි බේබිට දරුවෙක් ලැබෙන්න ඉන්නවා..සල්ලි කාරයින්ට මොනවද කරන්න බැරි.. බඩේ දරුව නැතිකලා….කසුන්ව මරල දැම්මා.. ඊට පස්සේ පිංකි බේබිගෙ සල්ලාල ගති වැඩිවුනා….පේස් බුක් එකෙන්ද කොහෙද තමයි ඔය අඛිල කියන හාදය සෙට් වෙලා තියෙන්නේ…අඛිල කියන්නේ කසුන්ගෙ මල්ලි බව දැනගෙන තියෙන්නේ පස්සේ……ඌ පිංකි බේබි එක්ක යාලු වෙලා තියෙන්නේ අයියට කරපු අපරාදෙට පලිගන්න……පිංකි බේබි ඒ දේවල සර්ට කිව්වට පස්සේ තමයි තමුසෙව වැඩට ගත්තේ…..”

“..මේකි පට්ට බඩුවක්නේ..”

මට කියැවුනේ ඉබේටම..ගැහැනියකට බඩුව යයි අමතන පිරිමින් තම මවට සොයුරියට පෙම්වතියට බිරිදට එසේ අමතනු අසන්නට කැමති නෑ..එය මටත් පොදුයි…පරම පිවිතුරු පූජනීය ලෙස පිංකි ඇදහූ මමම මෙසේ ඇයට “බඩුව ” යයි මිමිනීම මටම පුදුමයක්..මිනිස් සිත යනු විශ්වයේ පවත්නා සංකීර්නම දෙයයි.. පිංකිගේ කඩා හැලෙන රුසිරු ලග උමතු වූ මා ඇයට පිදුවේ නිර්මල පිවිතුරු ප්‍රේමයක්…අහස සේ දුරක සිටියත් ඇයව සතු කරගන්නට මැවූ සිහින අනන්තයි අප්‍රමානයි…එහෙත් අද විල්සන් අයියා විසින් “..තමුසෙත් ඇහැට කනට පේන ඉලන්දාරියෙක්නේ…දිගින් දිගට වාහනේ යන්න එන්න ගියොත් තමුසෙට උනත් බැරි වෙන එකක් නෑ එයාගෙ හිත දිනාගන්න..” යයි කියද්දි සතුට වෙනුවට සිතට පිලිකුල ගලා ආ අන්දම මටත් පුදුමයි..මා මුරකුටියෙන් පිටව ආවේ යන්ත්‍රානුසාරයෙන් වාගේ.

මාගේ රාජකාරි අතර වූ එක් රාජකාරියක් වූයේ අඛිලගේ නවතම තතු සොයා මංචනායකට වාර්තා කිරීමයි..පසු දිනය ඒ වෙනුවෙන් වෙන් වූ බැවින් මා ඊට පිටත් වුනා..අඛිල ගැන සිත වූ අප්‍රසාදයන් මැකී අනුකම්පාවකින් බරව යන්නා සේ දැනෙනවා. ඔහුගේ අයියා මංචනායක බංගලාවේ රියදුරු ලෙස ආවානම් ඔවුන් මා වැනිම සාමාන්‍ය පවුලක අය වන්නට ඇති..අඛිලට සිටි එකම අයියා ජීවිතය පූජා කලේත් අද වනවිට අඛිලගේ ජීවිතයට අවධානමක් ඇති වී ඇත්තේත් පිංකි නිසාම නොවේද..?..අඛිල දිගටම කෝමා තත්වයේ සිටිනු දකින්නට මංචනායකලාට ඕනෑ වී ඇත්තේ පිංකි සහ රයාන් විවාහ වනතුරු විය යුතුය.. අඛිල මුහුන දී ඇත්තේ කෙතරම් ජීවිත අවධානමකටද.?..පිරිමින්ගේ ජීවිත සමග සෙල්ලම් කරන කාමිනියක් නිසා අසරනව ඇති ජීවිතයක් බේරා ගන්නට මා කුමක් කල යුතුද…

“.. සීයේ බලාගෙන….”

සිතිවිලි අතර දෝලනය වෙමින් රෝහල් කොරිඩෝව දිගේ ඇදි යන මසිත නැවතූ ඒ හඩ වෙතට දෑස් හැරුනේ ඉබේම..සැනින් අකුනු පහරකට දෑස පමනක් නොවෙයි සිතත් ගතත් සැලී ගියා..

දෙවියනි..මේ කවරනම් අරුමයක්ද….මේ ඈ නොවේද…….

අවසන් කොටසින් සන්දේශ්ට රෝහලේදී හමුවුයේ කවුද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles