31 C
Colombo
Friday, June 9, 2023
spot_img

Subscribe

Date:

Share:

අහස් කුඩය

Related Articles

Who Packed Your Parachute by Charles Plumb

Charles Plumb

“ඇමරිකාවේ කැන්සාස් හි ගොවිපල දරුවෙකු ලෙස උපත ලද චාල්ස් ප්ලම්බ් ගුවන් යානා පිළිබඳ වූ දැඩි කැමැත්ත නිසාම එක්සත් ජනපද නාවික හමුදාවෙන් උපාධිය ලබා, නාවුක ගුවන් භට පුහුණුවද සම්පූර්ණ කළේය. අනතුරුව ඔහු එක්සත් ජනපද කිටී හෝක් නෞකාව සමඟ සිය හමුදාමය ජීවිතය ආරම්භ කළේය. මෙය එහිදී ඔහු මුහුණ දුන් එක් සත්‍ය කතාවකි.”

බොහෝ උසක සිට බලන විට මුහුද මත පාවෙන ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් පෙනෙනුයේ ඉතාමත් කුඩාවටය: හිස් කොලයක් මත තැබූ තිතක් ලෙසය. ඔබ තරමක් පහල උසකට පැමිණි විට නෞකාව තරමක් හඳුනාගත හැකි තත්වයට පත්වේ. නෞකාව මත වූ නැවියන් සහ සෙබලුන් ඔබට හඳුනාගත හැකිය. නැව් තලය මත බොහෝ ඉකමනින් ඔබ-මොබ ගමන් කරමින් දෛනික කටයුතු හි නිරත වන, එක් ඉසව්වක සිට තව ඉසව්වකට යුහුසුළුව සැරිසරන, යාත්‍රාව ගමන් කරවීමට අවශ්‍ය කටයුතු සියල්ල සිදුකරන ඔවුන් දෘෂ්‍යමාන වනුයේ පුංචි කුහුඹුවන් මෙන්ය. නමුත් මෙය මුහුදු තලයෙන් අඩි දහස් ගණනක් ඉහල අහසේ සිට ප්‍රහාරක ගුවන් යානයකින් ලබන්නා වූ දර්ශණයක් පමණි.


නැව මත, ක්‍රියාකාරකම් මත, ගුවන් යානා නෞකාවක් ක්‍රියාකාරකම් සපිරි මී වදයකි. බොහෝ දේ සමාන වනුයේ වැඩකාර මැස්සියන්ටය – නැව් පිරිස. නීල ගගන මත ඔවුන් වෙත පැමිණෙන ගුවන් යානය නෙත ගැටේ. එය තිතකි. ගුවන් යානය පහලට පැමිණ ඈතක සිට වක්‍රාකාර මාවතකට සේන්දු වූ විට නැව් පිරිස ලක ලැහැස්ති වේ. පුර්ණ නිවැරදි බවකින්, කල් මැනීමකින් සහ මහත් වේගයෙන් ශබ්ද නගනා ගුවන් යානය නැව් තලය මතට ගමන් කර ආරක්ෂිතව ගොඩ බස්වනු ලැබේ. ආරක්ෂිතය, නමුත් කලබලයක් නොමැත, මෙම දැවැන්ත ක්‍රියාව පාලනය කර ඇත. ශබ්දය දෙසවන් බිහිරි කරවන සුලුය. තවත් කුරුල්ලකු කැදැල්ල වෙත පැමිණ ඇත. ගුවන් නියමුවාට එවිට ඔහුගේ ඊලඟ ගුවන් පියාසැරිය ඇරඹීමට පෙර හොඳින් උපයාගත් විවේකයක් සහ සැහැල්ලුවීමක් විඳීමට කාලය ඇත. ඔහුගේ ඊලඟ මෙහෙයුම පිලිබඳ සිතා බැලීමට ඔහුට කාලය ඇත. ඔහුට යලි ආරක්ෂිතව පැමිණීමට හැකිවේද?
ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් හොඳින්ම විස්තර කළ හැක්කේ පාවෙන නගරයක් විලසය. අප මෙහිදී කථාකරන නගරය කිටී හෝක් නම් වූ ඇමරිකා එක්සත් ජනපද ගුවන් යානා ප්‍රවාහන නෞකාවයි. මිනිසුන් 5500කටත් වඩා රැගත් මෙහි ජනගහනය එහිම වූ මිනිසෙකු ජීවත් වූ නගරයක ජනගහනයට වඩා බොහෝ වැඩිය – ඔබ හා මා විසින් කිසිදා නොඇසූ ස්ථානයන්. ඔවුන් එක්සත් ජනපදයේ සියලු ප්‍රදේශ වලින් පැමිණ සිටී. එලෙසම දිනක ඔවුන් ඔවුන්ගේ නිවෙස් වෙත යාමට අදිටනින් සිටී. ඔවුනගේම සයන මත නිදහසේ සහ සුවසේ නිදාගැනීමට බලාපොරොත්තුවෙන් සිටී. එය නෞකාවෙන් පිටවන ප්‍රහාරක නියමුවා යලි සුරක්ෂිතව තම නෞකාව වෙතට පැමිණීම අපේක්ෂා කරන්නා සේය.


නෞකාව අතිශය සන්නද්ධය. මෙය විනෝද ගමනක් නොවේ. හාන්සි පුටු මත දිග ඇදී ඉරඑළිය තපින මගීන් මෙහි නොමැත. ඔවුන් බොහෝ වෙහෙසව රාජකාරියේ නියැලී ඇත. නැව මත වූ විවිධ කාර්්‍යයන් අතර මේ සැමකෙකුටම සුවිශේෂී වු කාර්්‍යයක් පැවරී ඇත. උදාහරණයකට මෙන් අවි අංශය සිතමු. කිටී හෝක් හි පහරදීමේ හා ආරක්ෂාවීමේ ධාරිතාවය සපයනුයේ මෙමගින්ය. එය සතුව ටොන් 2000කට අධික වූ යුද්ධෝපකරණ අඩංගුය. ගුවන් සහ මතුපිට විහිදුම් මිසයිල සිට අතිශය නිරවi අත්තුවක්කු දක්වා එය විහිදේ. ආයුධ ගබඩා 54 ක ආයුධ තැන්පත් කර ඇත්තේ නෞකාව පාවෙන බෝම්බයක් බවට පත්කරමින්ය. අභ්‍යන්තරයෙන් සහ බාහිරින් ඇයව ආරක්ෂා කර ඇත. පැමිණෙන අනතුරු පිළිබඳ රේඩාර් සහ අනෙකුත් නවීණ උපකරණ අනතුරු හඟවනු ඇත. අනතුර සැබෑවක් වන සියලුම විට ගුවනේ සිට එය නිරීක්ෂණය කිරීමට වේගවත් සහ මාරක ගුවන් යානා මොහොතක දැනුම් දීමකින් ගුවන් ගත කෙරනු ඇත.
චාල්ස් ප්ලම්බ් නම් එක්සත් ජනපද ගුවන් නැවියා වියට්නාම් යුධ සමයේ මෙහෙයුම් වෙත පියාසැරියේද මෙවනි ප්‍රහාරක ගුවන් යානයකය. නියමුකුටියට සිරවී ප්‍රහාරක මෙහෙයුම් හි නිරත වෙමින් ඔහු මුහුද මතින් සහ වියට්නාමයේ කර්කෂ සහ නුපුරුදු ඉසව් හි බොහෝ පැය ගෙවා දැම්මේය. සෑම මෙහොතකම ඔහු කිටී හෝක් වෙත සුරක්ෂිතව පැමිණියේය. නොදන්නා ඉසව්වක තවත් ආක්‍රමණයකට යාමට පෙර සුලු මොහොතක විවේකයක් ලබා ගැනීමට ගෙදරින් දුර ඈත ඔහුගේ ගෙදර වෙත ඔහු පැමිණියේය. ප්ලම්බ් ප්‍රහාරක මෙහෙයුම් 75ක් සැරිසරා තිබිණ. නමුත් එක්තරා දෛවෝපගත දිනක නිල් ගුවන මතින් සතුරු මතුපිට-ගුවන්-මිසයිලයක් ඔහු වෙත ඇදී ආවේය. අකුණු දීප්තියකට පසු ගිගුරුම් පිපුරුමක්. යානය විනාශ විය. නමුත් ආශ්චාර්යාත්මක ලෙස නියමුවා ආරක්ෂිතය.
ඝට්ටනයට මොහොතකට පෙර ප්ලම්බ් නියමු කුටියෙන් ඉවතට පැනගත්තේය. අනතුරුව ඔහු කුඩා පටියක් ඉවතට ඇද්දේය. එය පැරෂුටය විවර කළේය. ඔහුගේ හිසට ඉහලින් සුදු පැහැ ඇතිරිල්ලක් විවර විය. හෙමිහිට, නමුත් ආරක්ෂිතව, ප්ලම්බ් පොළොව මතට පතිත වූවේය.


තම යානයට ප්‍රහාරය එල්ල වූ විට ජීවිතය ආරක්ෂා වීම පිළිබඳ ප්ලම්බ් තම වාසනාවට ස්තූතිවන්ත විය. ඔහු ආරක්ෂිතව පොළොව මත පතිත විය. නමුත් අවාසනාවකට ඔහුව සතුරන් විසින් අල්ලා සිරකරුවකු සේ රැගෙන යන ලදී.
කිටී හෝක් වෙතින් ඔහුට යළි පිළිගැනීමක් නොවීය. යලිත් නිවස වෙත ආරක්ෂිත ප්‍රවිශ්ඨයක් නොවීය. ඔහුගේ උණුසුම් ඇඳෙහි නින්දක් ඔහුට යළි නොවීය. ඊළඟට පැමිණි සය වසර කොමියුනිස්ට් වියට්නාමීය සිරගෙදරක ගෙවා දැමීමට ඔහුට සිදු විය.
තත්පර කිහිපයක නිමේෂයකින් ඔහුගේ ජීවිතය ක්ෂණිකව විපරිණාමය විය. එක් මොහොතක, වලාකුළු අතර ඉහල අහසේ සැරිසැරූ ඔහු ජීවිතය සහ ගමනාන්තය පාලනය කළ නිදහස් කුරුල්ලෙක් විය. ඊලඟ නිමේෂයේ, අගුල් ලා, ලෙන්ගතු සියලුම දෙයින් වසන් කළ ඔහු සිරකරුවෙකි. කෙසේ නමුත් සිතා බැලීමට සහ කිරීමට බොහෝ දේ විය. ඒ තුළ නොනැසී පැවැත්මට ප්ලම්බ්ට ධෛර්්‍යය තිබිණ.
එය සිදුවූයේ බොහෝ කලකට ඉහතය. යුද්ධය අවසන් වූ පසු, ප්ලම්බ් නිදහස් කෙරිණ. ඒ සමඟම ඇමරිකාවට පිටත් කෙරිණ. ඔහු රැකියාවක් සොයාගත්තේය. ප්‍රහාරක යානා පැදවීම නොව – ව්‍යාපාර වලට යොමුවූ ඔහු බොහෝ ඵලදායී ජීවිතයක් ගත කිරීම ඇරඹුවේය. කිටී හෝක් හි ඔහුගේ ජීවිතය, ඔහුගේ ප්‍රහාරක මෙහෙයුම් සහ යුධ සිරකරුවෙකු ලෙස ඔහුගේ ජීවිතය පිළිබඳ ප්ලම්බ් කථා කළේය. ඇත්තෙන්ම, ඔහු තවමත් බොහෝ සජීවීය. අත්දැකීම් වලින් උගත් දේ පිළිබඳ දේශනා පවත්වයි.
දිනක් ප්ලම්බ් සහ ඔහුගේ බිරිඳ සාමාන්‍ය ජෝඩුවක් සිදුකරනා සේ දිවා ආහාරය සඳහා ආපන ශාලාවක් වෙත ගියහ. ආහාර ඇණවුම් කෙරිණ. ඔවුන්ගේ ඇණවුම රැගෙන එන තුරා ඉතා ප්‍රිය වූ සල්ලාපයක යෙදී සිටියදී වෙනත් පුද්ගලයෙකු ඔවුන්ගේ මේසය අසලට පැමිණියේය.


“ඔයා ප්ලම්බ්?” ආගන්තුකයා ප්‍රකාශ කළේය.
“ඇත්තෙන්ම,” තරමක් කලබල වූ ප්ලම්බ් පිළිතුරු දුන්නේය.
“කිටී හෝක් වලින් ඔයා වියට්නාම් වලදි ප්‍රහාරක යානා මෙහෙයුවා නේද?”
ප්ලම්බ්ගේ මුව විවිර විය. දැඩි පුදුමයෙන් ඔහු මෙම මහත්මා දෙස බලා සිටියේය.
“දෙවියනේ ඔයා කොහොමද දන්නේ?” අවසානයේදී හිටපු නාවුක ගුවන් නියමුවා ඇසුවේය.
“මම තමයි ඔයාගේ පැරෂුට් එක ඇසිරුවේ,” මිනිසා පිළිතුරු තැබුවේය.
ප්ලම්බ් තිගැස්සණ. ශබ්ද සහ රූප ඔහුගේ ආවර්ජනය තුළට ගලා ආවේය. බොහෝ කලකට පෙර අමතකව තිබූ බිය සහ ත්‍රාසයේ හැඟීම් ඔහුගේ මනස මත ඇඳිණ. ඔහුගේ උගුර කට වියලී ගියේය. ආගන්තුකයාගේ වචන ඔහුව දැඩිව ග්‍රහණය කළේය. අනතුරුව ඔහුගේ සිත දැඩි ස්තූතිවන්ත බවකින් පිරී ගියේය.
ආගන්තුකයා වූවේ ප්ලම්බ් වෙත මද සිනහවකින් යුක්තවය. ඔහු ඉදිරියට පැමිණ ප්ලම්බ්ගේ සිහින් අතින් අල්ලා ගත්තේය. දැඩිව එය සොලවා දෙනෙතින් බට කාන්තියද සමඟ ඔහු ඇසුවේ, “මං හිතන්නේ ඒක වැඩ කරන්න ඇති?”

ප්ලම්බ්ගේ ශාන්තබව යළි ලබාගැනීමට මෙම මිනිසාගේ මිත්‍රශීලී සන්සුන් ස්වරූපය පිටුවහලක් විය.
“ඔව් සත්තකින්ම, සත්තකින්ම.” ප්ලම්බ් සහතික වූවේය. “ඔයාගේ පැරෂුට් එක වැඩකළේ නැත්නම් මං අද මෙතන නැහැ.”
චාල්ස් ප්ලම්බ් මෙම පුද්ගලයාගේ මුණ ගැසීම පිළිබඳ කථාකරන විට පවසනුයේ මෙලෙසය,
“නාවුක නිළ ඇඳුමක් පැලඳ ඔහු කෙසේ දිස්වන්නට ඇති දැයි මම නිරන්තරයෙන් පුදුම වුනෙමි. සුදු පැහැ තොප්පිය, පසුපසට වූ රෙදිකඩ, බෙල් බොටම් කලිසම. මම ඔහුව කොපමණ වාර ගණනක් දකින්නට ඇතිද? සුභ උදෑසනක්, ඔබට කොහොමද, කියා නොවිමසා කී වරක්නම් ඔහු අසලින් ගමන් කරන්නට ඇතිද? එවැනි කුමක් හෝ විමසීමක් නොකර, ඇයිද මා ගුවන් නියමුවෙකි. ඔහු සාමාන්‍ය නැවියෙකි.” නැව ඇතුලට වී, දිග බංකුවක් මත වාඩිවී, බොහෝ පරිස්සමින් පැරෂුට් ආවරණය වියමින්, සෑම පැරෂුටයකම රෙදිකඩ නමමින්, නොදන්නා කාගේ හෝ ඉරණම ඔහුගේ දෙඅත් මත දරමින් කොපමණ පැය ගණන් ඔහු ගත කරන්නට ඇතිදැයි ප්ලම්බ් සිතුවේය. දැන් ප්ලම්බ් ඔහුගේ අසන්නන්ගෙන් ප්‍රශ්ණ කරයි. “කවුද ඔයාගේ පැරෂුට් එක එතුවේ?” ඔහු දිගින් දිගටම ප්‍රශ්ණ කරයි. දිනය ගෙවා දැමීමට උපකාරී වන කවුරුන් හෝ අප සැමටම සිටියි. සතුරු අඩවියේදී ඔහුගේ ගුවන් යානය බිම හෙලනු ලැබූ විට ප්ලම්බ්ට බොහෝ වර්ගයේ පැරුෂුට් අවශ්‍ය විය. ඔහුගේ ශාරීරික පැරෂුටය, ඔහුගේ මානසික පැරෂුටය සහ ඔහුගේ ආධ්‍යාත්මික පැරෂුටය. මේ සියල්ලෙන්ම අපට කියවෙන පණිවිඩය – දෛනික ජීවිතයේදී අපට ලැබෙන දෛනික අභියෝග හමුවේ සැබවින්ම වැදගත් වනුයේ කුමක්දැයි කියා අපට මගහැරේ. අප අසමත් වේවි – කොහොමද, කරුණාකරලා, එහෙමත් නොමැතිනම් ස්තූතියි කියා කීමට. කෙනෙකුට සුභපැතීමට. ඔවුන්ට සිදුවූ සුන්දර දෙයක් වෙනුවෙන් සුභ පැතුමක් එක් කිරීමට. එසේත් නොමැතිනම් කිසිම හේතුවක් නොමැතිව ඔවුන් වෙනුවෙන් කුමක් හෝ හොඳ දෙයක් කිරීමට. මෙම සතිය තුළ, මෙම මාසය තුළ, මෙම වසර තුළ කාලය ගෙවී යද්දී ඇයි ඔබ හඳුනාගැනීමට උත්සාහ නොකරන්නේ – ඔබගේ පැරෂුටය ඇතිරූ අය පිළිබඳව?

(අහස්කුඩය නම් වූ පරිවර්තන කෙටිකතා සංග්‍රහයෙන් උපුටාගන්නා ලදී)
පරිවර්තනය – දිමුතු සමුද්‍ර ලියනගේ

Dimuthu Samudra Liyanage
Dimuthu Samudra Liyanage
B.sc (Agri) University of Peradeniya, Teacher at Viharamahadevi Balika Vidyalaya.- Badulla, Sri Lanka. State Award Winning Author and The Managing Director at Dimuthu Books

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles