28 C
Colombo
Sunday, September 24, 2023
spot_img

Subscribe

Date:

Share:

ඔබේ සංගීත රසවින්දනය කෙසේ ද ?

Related Articles

www.freepik.com

ඔබේ “සංගීතමය රසවින්දනය”( musical taste) ඔබ ගැන බොහෝ දේ කියාපානවා. මනෝවෙද්‍යවරයකු හට ඔබ කැමතිම සංගීත ඛණ්ඩ 10 ලබා දුන හොත් ඔබ කොතරම් ඔහුව නාදුනන පුද්ගලයකු වුවත් ඔබ ගැන බොහෝ තොරතුරු හෙළිදරව් කිරීමට සමත් වේ. ඔබේ පසුබිම කෙසේ ද සහ ඔබේ වයස පවා ඊට අයත් වේ. ඔබේ ජනප්‍රියම සංගීත ඛණ්ඩ එකතුවේ වැඩිහරියක් අන්තර්ගත වන්නේ ඔබේ අවු 15- 25 ත් අතර වයසේ දී ඇසූ නිර්මාණ වේ.

ඔබේ සංගීතමය පැතිකඩ ( musical profile ) තීරණය වන්නේ බොහෝ විට මීට දශකයකට පමණ සිට ඔබ ලබා ඇති සංගීතමය පර්යේෂණ අත්දැකීම වල සාරය සහ ඊට දැක් වූ ප්‍රතිචාරය යි. ඒ පිලිබඳව අවු.30 ට වැඩි අය අත්දැකීමෙන්ම දනී. නව යොවුන්වියේ සහ වැඩිහිටිවියේ දී ඔබට වැදගත් දේවල් රාශියක් සිදුවේ. ඔබට ඔබේ පළමු නිදහසේ රසය ලැබෙනු ඇත. ( පළමු හාදුව ආදිය )මේ සම්බන්ධ කරන ලද පර්යේෂණ වල ප්‍රතිඵල පුදුම එලවන සුලු ය.

ලෝකයේ බිලියන 7 ක් පමණ මිනිසුන් සිටිති. ඇත්තෙන්ම එයින් අදහස් කරන්නේ බිලියන 7 ක සංගීත රසවින්දන පරාසයන් ද ඇති බවයි. මේ දැවැන්ත පරාසය නිසාම අතීතයේ පර්යේෂකයන්ට විශ්ලේෂණය කිරීමේ අපහසුතාව නිසා ම ඔවුන් සංගීත ප්‍රවර්ග දෙකක් ප්‍රධාන වශයෙන් හඳුනා ගත් හ. එනම් ලස්සනට පිලිවෙලට අඳින විනෝදකාමී ( posh ) සහ රස්තියාදුකාර ( rabble, lowbrown ) වශයෙනි. එතැන් සිට එකල සරල අදහස වූයේ වැදගත් පුද්ගලයින් වැදගත් සංගීතය ශ්‍රවණය කරන බවත් සෙසු අය අනෙක් වර්ගය ශ්‍රවණය කරන බවත් ය.මේ තත්ත්වය විසිවන සියවසේ මැද භාගය තෙක් සරල ජීවිත ගත කල මිනිසා දක්වා පැවතුණි. එතැන් සිට යම් සාධනීය කාරණාවන් ටිකක් ඉදිරියට ගොස් තිබීම පිලිබඳව සතුටු විය හැකි ය. 1960 ගණන්වල සිට මිනිසුන්ගේ පෞර්ෂයන් විශ්වාසවන්තව තක්සේරු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ගැටළුව බොහෝ පර්යේෂණ මඟින් අවධානය යොමු කර ඇත.

ඒ අනුවපුද්ගල ගති ලක්ෂණ 5 ක් හඳුනා ගත්තේ ය.එනම්

1. විවෘතභාවය – එහි සංස්කෘතීන් හෝ අන්තර්සම්බන්ධතාව ( openness also referred to as Culture or Intellect )

2. හෘද සාක්ෂිය ( conscientiousness )

3. භාහිරව ( extroversion or energy )

4. එකඟතාව ( agreebleness )

5. ස්නායුවාදය හෝ චිත්තවේගීය අස්ථාවරත්වය ( Neuroticism or Emotional instability ) මෑතක දී හයවන ගති ලක්ෂණය ලෙස “අවංකභාවය” සහ “නිහතමානීකම” යන සංකල්පයන් ලැයිස්තුවට ඇතුලත් කිරීම සඳහා සලකා බලන ලදී.

මෙම ගති ලක්ෂණ සංගීත ශානර (genres ) සමඟ සලකා බලා පර්යේෂණ සිදු කර ඇත. එම සංගීත ශානර නම්

1. මනසට ගෝචර සංකීර්ණ සංගීතය ඇතුලත් සම්භාව්‍ය ( classical), ජෑස්, බ්ලූස් සහ ජන සංගීතය

2. වේගවත් සහ හිතුවක්කාර සංගීතය ඇතුලත් ( intense and rebellious music ) රොක්, විකල්පධාරා සහ heavy metal සංගීතය

3. උද්‍යෝගිමත් හා ලෝක සම්මත සාම්ප්‍රදායික සංගීතය ( upbeat and conventional music ) අඩංගු පොප් , ග්‍රාමීය සංගීතය, බටහිර පටිගත කිරීම්, ආගමික සංගීතය

4. ශක්ති ජනක සහ රිද්මයානුකූල සංගීතය ( Energetic and rhythmic music ) ex. Rap, soul, electronic.

1 වන වර්ගයේ සංගීතයට වඩාත් කැමති අයගේ විවෘතභාවය ඉහල මට්ටමක පවතින බවත් සාමාන්‍යයෙන් ක්‍රීඩාවේ දුර්වල බවත්, වචන වලින් හොඳ බවත්, දේශපාලනික වශයෙන් ලිබරල්වාදී බවත් සොයා ගෙන ඇත.

2 වන වර්ගයේ සංගීත රසිකයින් පලමු වර්ගයේ අයගේ ලක්ෂණ වලට බොහෝ සමාන නමුත් ක්‍රීඩාවටද ඔවුන් දක්ෂ බව සොයා ගෙන ඇත.

3 වන වර්ගයේ සංගීත රසිකයින් 2 වන වර්ගයේ අයගේ ලක්ෂණ වලට බොහෝ සමාන නමුත් බොහෝ විට දේශපාලනික වශයෙන් ගතානුගතික වේ.

4 වන වර්ගයේ සංගීතයට නැඹුරු වන අය පිටස්තරභාවයෙන් සහ එකඟතාවයෙන් ඉහළ ලකුණු ලබා ගන්නා අතර බොහෝ විට දේශපාලනික වශයෙන් ලිබරල් වේ. මෙම ප්‍රතිඵල ඉතා විද්‍යානුකූලව පරීක්ෂණ මඟින් තහවුරු කල ඒවාය. මේ විශ්ලේෂණයෙන් පැහැදිලි වුණ කරුණක් නම් එක් වර්ගයක සංගීත ආරකට කැමති වූ කෙනෙක් එම වර්ගයේම අනු සංගීත රටාවන්ට ද ඇල්මක් දක්වන බව යි. උදාහරණ ලෙස blues සංගීතයට ආශා කරන කෙනෙක් ඒ හා සමගාමී වන jazz , folk සහ සම්භාව්‍ය ( classical) සංගීතයට ද කැමති වන බව යි. අපට සංගීතය ශානර වලට බෙදිය හැකි බවට පෙනී යාමෙන් අදහස් වන්නේ පෞර්ෂයන් සහ සංගීත රසය අතර සම්බන්ධය තනිකරම සංගීතමය කාරණාවක් නොවන බවයි. ඒවාට අප මනස ප්‍රතිචාර දක්වන ආකාරය ද බලපාන බවයි. තනිකරම සංගීතය මත පදනම් වූ තේරීමක් සම්බන්ධ වී ඇත්නම් ඔබේ සංගීත රසය ( musical taste ) තෝරා ගත් විශේෂිත ශබ්දයක් සඳහා පමණක් වනු ඇත. නමුත් එක් එක් සංගීත ශානර තුල එක් එක් ඇල්බමයක් තුල ද සංගීත ශබ්ද පරාසය අතිමහත් ය.

භාණ්ඩ මිලදී ගැනීමකින් තොරව සාප්පු මධ්‍යස්ථාන වල බොහෝ වේලාවක් නිකරුණේ තරුණ කණ්ඩායම් ගැවසීම වැලැක්වීම සඳහා ඔවුන්ට නොගැලපෙන සංගීතය භාවිතා කිරීමට ඇතැම් ව්‍යාපාරිකයින් තීරණය කර තිබේ. 2006 වසරේ සිට භාවිතා වුණ මෙම සිද්ධාන්තය මනිලෝ ක්‍රමවේදය ලෙස හැඳින්වේ. එය 1970 දශකයේ පමණ ජනප්‍රිය barry manilow නම් ගායකයාගේ ගීතාවලියක් ඒ සඳහා භාවිතා වුණ අතර එම සංගීතය අවු.20 ට අඩු තරුණ තරුණියන් ඉතා පැරණි සංගීතයක් යැයි ප්‍රතික්ෂේප කරන බව දැන නගර සභාව මේ ක්‍රමවේදය අනුගමනය කර තිබුණි.

සාමාන්‍යයෙන් අප අලුත්ම සංගීතයක් ශ්‍රවණය කරන විට එය කුමන වර්ගයට ( genre -ශානරය අයත් දැයි වර්ගීකරණය කරයි. එය ඔබ වඩාත් ප්‍රිය කරන ශානරයට අයත් හෝ ආසන්න නම් ඔබ එය පහසුවෙන් පිලිගනු ලැබේ. එය ජනප්‍රිය ගීතයක් වේවා සම්භාව්‍ය ගීතයක් වේවා එය මෙතෙක් අප හොඳින් විඳ ඇති සංගීත ශෛයිලියකට අනුව ගැලපෙන්නේ නම් අප කැමති සංගීත එකතුවට එය එකතු කිරීමට අප සූදානම් වේ. එය අප කැමති ශානරයට වැටෙන්නේ නැත්නම් අප ඒ සඳහා වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. මේ සියල්ලේ ප්‍රතිඵලය වන්නේ අප කැමති ශානරයේ නිර්මාණ කාණ්ඩයට අයත් බොහෝ නිර්මාණ අපේ මතකයේ තැම්පත් කර ගන්නා අතර අප විශේෂ උත්සහයක් නොගත හොත් අනෙක් වර්ගයන් හී සංගීත ඛණ්ඩයන් රසවිඳීම ඉතාමත් පටු වීමයි. ඔබ රසවිඳින සංගීතයට තව තවත් ඒ ආකාරයෙන් උදාහරණ එකතු කරන විට සමස්තයක් ලෙස එහි ස්වභාවය තේරුම් ගනිමින් මූලාකෘතියක් ඔබ විසින් ගොඩනඟනු ලබයි. (මුලින් සඳහන් කල සංගීත වර්ග 4 මෙහි දී මූලාකෘති නමින් හැඳින්වේ. )ඕනෑම නව සංගීත ඛණ්ඩයක් ඔබගේ ආකෘතියට සමීප වන විට ඔබ එය පහසුවෙන් පිළිගනු ඇත. සාමාන්‍යයෙන් පැහැදිලිව ඔබ එක් මූලාකෘතියකට පමණක් සීමා නොවනු ඇත. අප සවන් දීමට යමක් තෝරා ගන්නා විට අප සැලකිල්ලට ගන්නේ ප්‍රධානතම දෙය නම් අපව උත්තේජනය කිරීමට හෝ අවදි කිරීමට ඇති හැකියාවයි. අපි සාමාන්‍යයෙන් වේගවත් ශබ්දයකින් යුතු සංකීර්ණ ඉහල විපුලතාවයකින් ( volume ) යුත් සංගීතයෙන් අවදි වන අතර ; සරල මන්දගාමී හා නිහඬ සංගීතයෙන් සන්සුන් වෙමු.

මෙම සන්දර්භය තුල සංකීර්ණ යනු බුද්ධිමය වශයෙන් අභියෝගාත්මක යැයි අදහස් නොකෙරේ.එයින් අදහස් වන්නේ ඔබේ මොළයට එම සංගීත ඛණ්ඩය තේරුම් ගෙන ඔබට අදාල පණිවිඩය සැකසීමට බොහෝ දේ සිදුවන බවයි. උදාහරණයක් ලෙස වේගවත් බැංජෝ සංගීතයක් සංකීර්ණයි. නමුත් ඉතාම සුළු පිරිසයි එය බුද්ධිමය පාර්ශවයෙන් තේරුම් ගත යුතු බරපතල නිර්මාණයක් ලෙස පිලිගන්නේ.

සංකීර්ණ සංගීතයකට වඩා සරල සංගීතය ශ්‍රවණය කිරීමට මිනිසුන් කැමති යි.මේ බව මනෝවෙද්‍ය ව්ලැඩ්මියර් කෙනඩි සහ සර්ජන්ට් පොලොක් යන දෙදෙනා පරීක්ෂණාත්මකව සොයා ගෙන තිබෙනවා. මෙයින් පෙනී යන්නේ අපේ මොළය පරිගණකයක් මෙන් ක්‍රියා කරන බවයි. ( එනම් පරිගණකයක ධාරිතාව වැඩි වැඩසටහන් ක්‍රියාත්මක වන විට ක්‍රියාත්මක වන්නේ බොහෝ අමාරුවෙන් සෙමින් )

අප පළමු වතාවට සංගීත නිර්මාණයක් රස විඳින විට එහි අමතර සංකීර්ණ භාවයක් අපට දැනෙනවා. ඒ ඇයි ? අප දන්නෙ නැහැ ඊලඟට ඇසෙන තනු කොටස (musical phrase ) කොයි වගේ ද කියල.ඒ නිසා අපේ මොළය ඊලඟට සිදුවන්නේ කුමක්දැයි නොදනිමින් කාර්‍ය බහුල වෙනවා.අප යම් නිර්මාණයකට කැමති නම් නැවත නැවතත් එය ශ්‍රවණය කිරීමට පෙළඹෙනවා. ඒ තුලින් නිර්මාණය ඔබට සමීප හුරු බවක් ( familiar ) ගේනවා. ඊලඟට නැවත එම නිර්මාණය රස විඳිද්දී ඉදිරිය දන්නා නිසා සරල බවකින් ඇහෙන්නට ගන්නවා. එසේ හුරුවීම තුලින් යම් සංගීත ඛණ්ඩයක් ශ්‍රවණය කරන විට එය ශ්‍රවණය කරන පුද්ගලයාගේ සරලම සංගීත ශ්‍රවණ තත්වයට ( threshold ) වඩා සරල වෙනවා.

මෙලෙසින් ඉතා සංකීර්ණ සංගීත නිර්මාණයක් කීප වතාවක් ශ්‍රවණය කිරීමෙන් පසු එය ඔබට ගැලපෙන සංගීත රසවින්දන මට්ටම කරා පහතට පැමිණෙනු ඇත. දැන් ඔබේ මොලයට එය තේරුම් ගැනීමට එතරම් ශ්‍රවණ අභියෝගයක් නැත. එවිට එයට ඔබ ප්‍රිය කිරීමට පටන් ගනී. ( එනිසා ජනප්‍රිය වේවා සම්භාව්‍ය වේවා සරල වේවා සංකීර්ණ වේවා නිරන්තරයෙන් ඇසෙන්නේ කුමක්ද එයට ආශාව ඇති කිරීමේ ගුණය සංගීතය සතු යි. එයයි සංගීතයේ විශ්මය.

අද සම්භාව්‍ය ලෙස සලකන 1791 සැප්.30 එළිදක්වන ලද මොසාට්ගේ magic flute ඔපෙරාවේ තනු බොහොමයක් නිර්මාණය කර ඇත්තේ එකල ප්‍රභූ පැලැන්තියේ නොව සාමාන්‍ය ජනතාව උදෙසා එම පන්තියේ ජන සංගීත ආභාෂයෙනි. එනම් magic flute ඔපෙරාවේ හඬ එකල වඩාත්ම ජනප්‍රිය සංගීතය යි. එකල වැඩියෙන්ම ඇසුනේ එවැනි ඔපෙරාමය හඬයි. වර්තමානයේ ජනමාධ්‍ය සහ සමාජමාධ්‍ය ආදියෙන් නිරන්තරයෙන්ම පෙන්වන්නේ කුමක්ද එය කුමන ශානරයකට අයත් වුව ද ප්‍රේක්ශක මනසේ තැම්පත් වේ. එම නිරන්තරයෙන් ඔබ හමුවන්නේ කුමක් ද එය වැළඳ ගැනීමට මොළය සූදානම් වේ. සිම්ෆනි, ඔපෙරා ආදියට සංකීර්ණ වැඩියි යැයි දැනට අකමැත්තක් දරනවා නම් එයට හේතුව ඒවා නිරන්තරයෙන් නොඇසෙන බැවින් ඒවා පිලිගැනීමට ඔබේ මනස සූදානම් නැති බැවිනි. එයින් මිදීමට අවශ්‍ය නම් නිරන්තරයෙන් එවැනි දේ ශ්‍රවණය කිරීම හේතු වේවි.

එක ලඟ සංගීත නිර්මාණ දෙකක් අනුපිලිවෙලින් අසන විට මුලින් ශ්‍රවණයට පහසු සරල නිර්මාණය අසා දෙවනුව සංකීර්ණ නිර්මාණය ශ්‍රවණය සුදුසු ය.

නිරන්තරයෙන් මෙසේ ශ්‍රවණය කරගෙන යන විට සරල තනුවට රුචිකත්වය අඩු වී ( boring ) , සංකීර්ණ තනුව ශ්‍රවණයට ආස කරන දෙයක් බවට පත් වේ. ( එනිසා ඔබ කැමති ගීතයකට අනෙක් අය ද එය එලෙසම වැළඳ ගත යුතු බව, අගය කල යුතු යැයි බලාපොරොත්‍තු නොවන්න. එසේ අගය නොකළා යැයි උරණ වී පරිභව නොකරන්න. අප දන්නෙ නැහැ ඉහත දැක්වූ ඔවුන්ගේ අවම සංගීත ශ්‍රවණ මට්ටම ගැන (threshhold ). එය ඔබේ සංගීත රසිකත්ව මට්ටමට වඩා බොහෝ ඉහල නම් අනිවාර්‍යයෙන් එය ඔහුට ප්‍රමාණවත් මදි ( boring ). එවන් කෙනෙක් ඔබේ ප්‍රියතම ගීතය අගය නොකිරීම සාධාරණය. එහිම ප්‍රතිලෝමය ද සිදුවිය හැක. එනම් ඔබේ musical threshold මට්ටම අනෙකාට සාපේක්ෂව ඉතා ඉහල නම් ඔහුට ඔබේ ප්‍රියතම ගීතය හෝ සංගීත නිර්මාණය තේරුම් ගත නොහැකි තරම් සංකීර්ණය. ඒ අනුව ලෝකයේ යම් යම් වකවානුවක සමස්තයක් ලෙස ගත්විට බහුතරයක් දෙනා තුල ඇත්තේ කුමන මට්ටමක සංගීත අවම ශ්‍රවණ මට්ටමක් ද (treshold) ඊට ලඟින්ම යන සංගීත ශානරය එකල ජනප්‍රිය ශානරය බවට පත්වෙනවා. Mozart ගේ magic flute යනු එකල pop music. වර්තමානයේ ඔබට එය සංකීර්ණ වැඩි නම් එයින් ඔප්පු වෙන්නෙ 1791 ට වඩා 2021 වන විට සංගීත රසවින්දන මට්ටම සංගීතමය වශයෙන් අඩු වී ඇති බව යි. මෙය එක් එක් රටවල ජනයාට සවන් දීමට ලැබී ඇති නිර්මාණ මත පදනම්ව සංස්කෘතික වීම මේ තත්ත්වය තේරුම් ගැනීම තව තවත් බරපතල කරනවා. )

සංගීතමය අත්දැකීම් හා ශ්‍රවණයන් වර්ධනය වන විට ඔබේ අවම සරලම රසවින්දන මට්ටම ඉහල යයි. අප වයසට යත්ම අපගේ යොවුන් කාලයේ සංගීතයට ඇල්මක් ඇති වුව ද බොහෝ විට අපගේරුචි අරුචිකම් වඩාත් නවීන වේ. අප කැමති උනත් නැතත් සංගීතය ද යම් උසස් ප්‍රමිතියක් මට්ටමක් ඇති බව ( posh ) සලකා බලයි. එනිසයි සම්භාව්‍ය සංගීතයට බොහෝ දෙනෙක් ජීවිතයේ අවු.30 න් පමණ පසු හෝ අවසාන භාගයේ දී මානසික පරිචය ලබා ගත් පසු එළඹෙන්නේ.

අවස්ථාව අනුව සංගීත ඛණ්ඩයක් පිළිබඳව අපගේ අවධානය පුදුම සහගත බව සොයා ගෙන ඇත. මෙම අවස්ථානුකූල බව සංගීතයේ සංකීර්ණතාවය , අවධි භාවය මෙන් වැදගත් ය. උදාහරණ ලෙස bridal march සංගීතය සංගීතමය වශයෙන් එතරම් පොහොසත් නිර්මාණයක් නොවුනත් එය වාදනය වන විට අපි සියල්ලෝම සතුටින් සිනාසෙමු. මක් නිසා ද යත් එම හඬ මනාලිය අයිලයෙන් පහලට බැස ඇවිද එන සම්මත සංගීත ඛණ්ඩය බවට පත්ව ඇති බැවිනි.

අලෙවිකරණය සම්බන්ධයෙන් ව්‍යාපාරයකට සංගීතය වැදගත් ද ? ඔව් . ඒ බව ඔප්පු කල පර්‍යේෂණ තිබේ.ආචාර්‍ය නෝර්ත් සහ හාග්‍රිව්ස් දෙදෙනා “වයින්”( wine) බීම ආශ්‍රිතව සිදු කල පර්‍යේෂණ සිත් ගන්නා සුලු ය. ජර්මන් සංගීත ඛණ්ඩ පසුබිමෙන් ඇසෙන විට ජර්මන් වයින් වැඩියෙනුත් ප්‍රංශ සංගීත ඛණ්ඩ ඇසෙන විට එම මිලටම තිබූ ප්‍රංශ වයින් වැඩියෙන් අලෙවි වී තිබුණි.

පසුබිම් සංගීතය වයින් වල රසය කෙරෙහිද බලපාන බව සොයා ගෙන තිබේ. පර්‍යේෂණයට අනුව carmina burana වැනි ශක්තිමත් ප්‍රභල සංගීතයක් ඇසෙන විට පානය කල වයින් සැර ගතියෙන් වැඩිපුර දැනෙන්නටත් එම “වයින්” ම ඩිබ්‍යුසිගේ clair de lune ආදී සවුම්‍ය සම්භාව්‍ය වාදනයක් ඇසෙන විට සැර ගතියෙන් අඩුවත් දැනී තිබුණි.

සුපිරි වෙළඳසැල් ආශ්‍රිත පර්‍යේෂණයකින් හෙලි වූයේ මන්දගාමී සංගීතය ( slow music) නිසා පාරිභෝගිකයින් වේගවත් සංගීතයට වඩා භාණ්ඩ මිලදී ගැනීමට පෙළෙඹෙන බවයි. Roland milliman විසින් කල එවැනි පරීෂණයකින් මන්දගාමී සංගීතය නිසා සුපිරි වෙලඳසැලේ විකුණුම් 30% කින් පමණ ඉහල ගොස් තිබුණි.

සංගීතයේ වෙනස්වීම් මත පාරිභෝගිකයින් ව්‍යාපාරික ස්ථානයක තමන් කොපමණ මුදලක් වියදම් කිරීමට කැමති ද යන්න සටහන් ගෙන තීරණය කිරීමට පරීෂණයක් කර තිබේ. එහිදි ලබා දුන් රාත්‍රී භෝජන වට්ටෝරුවක් සඳහා පාරිභෝගිකයින් ලබා දුන් ප්‍රතිචාරයේ මධ්‍යනය පහත පරිදි වේ.සංගීතය රහිත විට ප්‍රතිචාරය – යූරෝ 14.30ඉතා පහසු සංගීතයක් සහිතව – යූරෝ 14.51පොප් සංගීතයක් සහිතව – යූරෝ 16.61සම්භාව්‍ය සංගීතය සහිතව – යූරෝ 17.23සංගීතය රහිත විට සහ සම්භාව්‍ය සංගීතය සහිත විට යූරෝ 2.93 ක වෙනසක් සිදුව තිබුණි.එනම් එකම ආහාරයට වැඩිපුර වියදම් කිරීමට නිරායාසයෙන් එකඟ වී තිබුණි.

එනම් සාරාංශය වෙලඳසැලක නිවැරදි පසුබිම් සංගීතයක් මඟින් ආදායම 10% කින් පමණ වැඩි කර දෙන බව යි. එහි අනෙක් පැත්ත නම් වැරදි පසුබිම් සංගීතය ආදායම පහත හෙලන බවයි. උදාහරණ ලෙස සාම්ප්‍රදායික ඉතාලියානු අවන්හලකට රැප් සංගීතය නොගැලපේ.

ඔබේ සංගීත රසය පිලිබඳ එක් විශිෂ්ට දෙයක් නම් එය සෑම විටම නව ශානර (genres) ඇතුලත් කිරීම සඳහා වැඩි දියුණු කළ හැකි වීමයි.

සංගීත රසය යනු එකම තැන පවතින දෙයක් නොවේ. එය දියුණු කර ගත හැකි දෙයකි.ඔබ වැඩි වැඩියෙන් මනසට සංගීතය ඇතුල් කරන තරමට ඔබට විවිධ සංගීත ශානර රසවිඳීමට අවස්ථාව උදා වේ. ඒ සඳහා කණ විවර කර ගැනීමට කණ සූදානම් වීම පිළිගැනීම වටී. ඔබ මෙතෙක් අත්පත් කරගෙන නැති නව ශානර ඔබේ මනසේ මුල් බැස ගැනීමට නම් එම වර්ගයේ නිර්මාණ නැවත නැවත කීප වතාවක්ම ශ්‍රවණය කිරීමට පුරුදු වන්න. එවිට ඔබේ musical threshold මට්ටම ඔසවා ගත හැකි යි. එය ඔබට බොහෝ වටිනා කටයුත්තකි.මන් ද එමඟින් ඔබේ ජීවිතයට සංගීතය ඇසුරෙන් ලබන ආශ්වාදය වැඩි කිරීමට එය හේතු වේ.

මූලාශ්‍ර : “WHY WE LOVE MUSIC” book by JOHN POWELL

Sagara Wijesinghe
Sagara Wijesinghe
Bachelor of Fine Arts, University of Visual & Performing Arts, Teacher at Imbulgoda Rajasingha Collage, Sri Lanka. Pianist, Music Composer, Film Music Director

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles