26 C
Colombo
Monday, June 5, 2023
spot_img

Subscribe

Date:

Share:

චිත්තක්ෂණෝත්පන්න පඤ්චස්ඛන්ධය තුළ ගොඩ නැගෙන ජීවිතය පිළිබඳ බෞද්ධ දාර්ශනික අධ්‍යයනයක්

Related Articles

මමංකාර ආත්මවාදී මනු සත්ත්වයාහට පැන නගින ප්‍රධාන ගැටලුවක් වනුයේ මම යන්නයි.ඒ තුළ පුද්ගලයා අතීත වර්තමාන හා අනාගත වශයෙන් ෂඩායතන මුල් කොට ගෙන බාහිර භෞතික ආරම්මණයන් කෙරෙහි සිත කය වචන හැසිරවිය. හසුරුවයි.හසුරවන්නේය. මේ සම්මුතිය තුළ කල්ගත කිරීම ජීවිතය යනුවෙන් ව්‍යවහාර කෙරේ. ජීවිතය ශාස්වතවාදී දෘෂ්ටි ග්‍රහණයෙන් ගන්නා පුඟුලා ඡන්දය විසින් පරිණාමිතව කල් ගතකිරීමේදි වස්තුකාමයෙන් කල්ගෙවති.ක්ලේශ කාමයෝ වඩාගනිති.සොක ,පරිදෙව, දුක්ඛ, දොමනස්ස හා උපායාසයන්ට පත්වෙති … ජීවිත අරුත නොදනිති .යථාවබෝධය පසක් කොට නොගනිති.බුදු දහමේ මේ ජීවිතය පිළිබඳ දක්වා ඇත්තේ,

අප්පං වත ජීවිතං
ඔරො වස්ස සතතාපි මියතෙ
යො චෙපි අතිච්ච ජීවති
අථ සො ජරසාපි මියතෙ.

(අං.නි.මහානිද්දෙස පාළිය,ජරා සූත්‍ර නිද්දෙසය ,162 – 164 පිටු)

පුද්ගලයාගේ ජීවිතය අල්පය.අවුරුදු සියයට මෙපිටද මැරේ .යමෙක් අවුරුදු සියය ඉක්මවා ජීවත් වන්නේ නමුදු හෙතෙම ජරාව කරණකොට ගෙන නමුදු මිය යන්නේය.මේ සූත්‍ර ගාථා පාඨයෙහි පළමු මේ ජීවිතේන්ද්‍රිය ඒකාන්තයෙන් අල්පවන බව දක්වා තිබේ.අභිධර්මයේ ධම්ම සංඝණියෙහි රූප කාණ්ඩයෙහි සංගෘහිත ජීවිතෙන්ද්‍රිය පිළිබඳ සාධක සූත්‍රපිටකයෙහිද දක්නට ලැබේ.
බුදු දහමට අනුව ජීවිතය යනුවෙන් විග්‍රහ කරණුයේ…

ජීවිතන්ති ආයු ඨිති යපනා යාපනා ඉරියනා වත්තනා පාලනා ජීවිතං ජීවිතෙන්ද්‍රියං.

ජීවිතය යනු ආයුෂයාගේ පැවැත්ම , යැපීම ඉරියවුහි පැවැත්ම, පාලනය සිදු වන්නාවූ ජීවිතය නැමති ජීවිතෙන්ද්‍රියයි..

පුද්ගලයාගේ ජීවිතය ආයුෂය මත පිහිටා ඇත.එම ආයුෂය කෙමෙන් කෙමෙන් ගෙවි යයි.මරණය දක්වා ගෙවෙන එම කාලය තුළ භෞතිකයට නතු වෙමින් ආධ්‍යාත්මික හා බාහිර වශයෙන් සාපෙක්ෂව රාග ද්වේශ ආදි චිත්තොපක්ලේශයන් උපදවා ඒ මතින් සිත කය වචන හසුරුවයි.. අතීතයෙ කළ කී දෑ ගත නොහැක.අනාගතයද පැමිණ නැත.මේ අතරේ වර්මානය තුළ ජීවිතය ගෙවන්නේ යැයි . එකම දහරාවක් පවත්නේ යැයි කාම පරිග්‍රහණයෙන් ජීවිතය ගෙවා දමයි….මෙම ජීවිතය ස්තිථි පරිත්තයාගෙන් ජීවිතය අල්පය….

බුදු දහමේ දාර්ශනික පදනම විමසීමේදී මෙම ඨිති ක්ෂණය විමසීම වැදගත්ය…
සත්ත්වයා යනු නාම රූප ධර්මයන්ගේ එකතුවකි . එනම් පඤ්චස්ඛන්ධයක එකතුවකි.

යථාහි අංග සම්භාරො
හොති සද්දො රf:ා ඉති
එවං ඛන්දෙසු සත්තෙසු
හොති සත්තොති සම්මුති

(සං.නි.වජිරා සූත්‍රය)

යම්සේ රථයක එකතු විය යුතු රෝද ,කඩ ,ඇණ ආදීය එකතු වී කරත්තය යන ව්‍යවහාරය සිදු කරන්නාක් මෙන් රූප ,වේදනා ,සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණ යන පඤ්චස්ඛන්ධයේ එකතුවෙන් සත්ත්වයා යන පඤ්ඤප්තිය හට ගනී.

මෙම පඤ්චස්ඛන්ධයම චිත්ත ක්ෂණයක් පසා වෙනස් වේ.එහි ස්වභාවය නම් ඇතිවීම හා නැතිවීමයි.ඒ අතර පවතින මොහොත්කද ඇත.එනම් ඨිති ක්ෂණයයි.උප්පාද ඨිති හා භංග යනුවෙන් ක්ෂණය බෙදේ .මේ තුනෙහි එකතුව චිත්තක්ෂණයකි.ක්ෂණ 3 ු චිත්තක්ෂණ 1 කි.ක්ෂණයක් යනු අප හට හිතා ගන්නනවත් බැරි තරම් කුඩා කාලයකි. ඇහි පිල්ලමක් ගහන කාලයටත් ඉතා අඩු කාලයක් ක්ෂණයක් නම් වේ. සාමාන්‍යයෙන් ඇහිපිල්ලමක් ගහන විට ක්ෂණ 2,000,000,000,000,000 කොඩ්‍රිලියන් දෙකක් පමන ගත වේ.සත්ත්වයා පුඟුලා චිත්ත ක්ෂණයක් පාසා උප්පාද ඨිති හා භංග නයින් වෙනස් වේ. උපතෙහි සිට මරණය දක්වා චිත්තක්ෂණ දහරාවකි.චිත්ත ක්ෂණය මොහොතක් පාසා වෙනස් වෙයි.විජ්ජුපාදෙව ආකාසෙ උප්පජ්ජන්ති වයන්ති…අහසෙහි කෙටූ විදුලියක් මෙන් ඇතීවීම නැතීවීම සිදු වේ.

මෙම ක්ෂණ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දක්වා ඇත.එනම්,අතීතයට ,අනාගතයට හා වර්තමානයට අනුවය.. සත්‍ය වශයෙන් පුද්ගයාගේ සත්‍යය පවතින්නේ කෙසේද යන්න චුල්ල නිද්දෙසාගත මෙම සූත්‍රය ඔස්සේ පහාදාගත හැක.

අප මේ ජීවත් වනුයේ වර්තමානයේය.අතීතය ගෙවී ගොස්ය .අතීතය සිතිවිලිමය වූ මතයෙකි.අනාගතය පැමිණ නැත .එතැන සිතිවිලිමය වූ බලා පොරොත්තුවකි.ඒ අතරේ වර්තමානයේ මෙම ත්‍රිත්වයට සාපේක්ෂව ජීවිතය විඳී.නමුත් තප්පරය ,විණාඩිය,පැය,දින ,මාස අවුරුදු ආදි වශයෙන් පනවාගත් සම්මුතියක් තුළ ජීවිතය ගෙවෙමින් ගෙවා දමයි. එය නිරන්තරයෙන් ගෙවී යන්නේය.ඒ අතර අප සොයාගත යුත්තෙ සත්‍යය පවතින්නේ කොතැනද යන්නයි.

අතීත චිත්තක්ඛනේ ජිවත්ථ න ජීවති නජීවිස්සති.

ගෙවුනා වූ අතීත චිත්තක්ෂණයේ අප ජීවත් විය,වර්තමානයේ දැන් ජීවත් නොවෙයි.ඒ අතීත චිත්ත ක්ෂණය අනාගතයේ ජීවත් නොවෙයි.එනම් භංග ක්ෂණය ගෙවී ගොස්ය.නැවත පැමිණෙන්නේ නැත.ඇත්තේ අනාත්මතාවයකි ශූන්‍යත්වයකි..

අනාගත චිත්තක්ඛනේ ජීවිස්සති ,න ජීවත්ථ ,න ජීවති.

අනාගත චිත්තක්ෂණය තුළ ජීවත් වන්නේය. ජීවත් නොවීය.ජීවත් නොවෙයි.මක් නිසාද යත් අනාගතයට අදාළ වූ රූප වේදනා සඤ්ඤා සංඛාර හා විඤ්ඤාණ නොපැමිණි හා නොගෙවා ඇති බැවිනි.

පච්චුප්පන්න චිත්තක්ඛනේ ජීවති .න ජීවත්ථ.න ජිවිස්සති….

ක්ෂණ ප්‍රත්‍යුප්පන්න වර්තමාන චිත්තක්ෂණය තුළ ජීවත් වෙයි. ජීවත් නොවීය .එය අතීතයට ගොස් නැත.අනාගත ජීවත් නොවන්නේය.මෙම කාරණාව තුළින් පැහැදිළි වන්නේ.පඤ්චස්ඛන්ධ සංඛ්‍යාත අතීත චිත්තක්ෂණය ගෙවී ඇත.ක්ෂණෝත්පන්න අනාගතය පැමිණ නැත.අප ගෙවන්නාවූ ප්‍රත්‍යුප්පන්න ක්ෂණය උප්පාද ඨිති භංග යන ක්ෂණත්‍රගතව පවතී.

මදකට හිතන්න අතීතයේ කුඩා කළ පැවති රූපයද අප සතුව ඇත්තේ.? එය හාත්පසින්ම වෙනස්ය. අනාගතය තුළ ෂඩායතන තුළින් විඳීමට සිටින රූපය පැමිණ ඇත්ද ? නැත. එසේ නම් වර්තමානයේ පවත්නාවූ රූපය ක්ෂණොත්පන්නව ඒ මොහොත තුළ පවතින්නකි. එම රූපය චිත්ක්ෂණ 17 කි.කුඩා ක්ෂණ පනස් එකකි. පළමු ක්ෂණයෙහි ඉපිද ,ඨිතියෙහි ක්ෂණ 49 ක් තුළ පැවත 51 ක් වන ක්ෂණයෙහි භංග ක්ෂණයට පත්වේ.ඒ රූපයේ ස්වභාවයයි . කෙසේ වුවද රූපයේ වුවද ඇරඹුම චිත්තක්ෂණයකි.අතීතය අතීතයයි.අනාගතය අනාගතයයි.වර්තමානය වර්තමානයයි.

නිද්දේස පාලිය තුළ පඤ්ච උපාදානස්ඛන්ධය මුල්කොට ඇති ක්ෂණය පිළිබඳ මෙසේ පැහැදිළි විග්‍රහයක් ඉදිරිපත් කරයි.

ජිවිතං අත්තභාවොච
සුඛ දුක්ඛා ච කෙවලා
ඒක චිත්ත සමා යුත්තා
ලහුසො වත්තතේ ඛණේ

(අං.නි.මහානිද්දෙස පාළිය,ජරා සූත්‍ර නිද්දෙසය ,162 – 164 පිටු)

සංස්ඛාර සංඛ්‍යාත ජීවිතේන්ද්‍රියද,රූපස්ඛන්ධ සංඛ්‍යාත ආත්මභාවයද..හුදෙක් සුව දුක් සහිත වේදනාස්ඛන්ධය ද,විඤ්ඤාස්ඛන්ධ සංඛ්‍යාත එක් සිතක් සමඟ යෙදුනේ පවතිනුයේ එක් ක්ෂණයක් පමණී. එනම් පඤ්චස්ඛන්ධය පවතිනුයේ චිත්ක්ෂණයකි.

අනන්තරාච යෙ භග්ගා
යෙච භග්ගා අනාගතා
තදන්තරෙ නිරුද්ධානං
වෙසමං නත්ථි ලක්ඛණෙ

(අං.නි.මහානිද්දෙස පාළිය,ජරා සූත්‍ර නිද්දෙසය ,162 – 164 පිටු)

අනන්තර නැතහොත් අතීතව යම් ස්ඛන්ධයක් බිඳී ගියාහුද, යම් ස්ඛන්ධයක් අනාගතයේ බිඳී යන්නාහුද.එ අතරේ මේ මොහොතේ නිරුද්ධ වන ස්ඛන්ධ අතර කිසි වෙනසක් නැත.එහි ස්වභාවය නම් උප්පාද ඨිති භංග යන ක්ෂණත්‍රගතව පැවතීමය.එහි ඉපදීම පැතීම හා නැතිවන ක්ෂණ තුනෙහි කිසිදු වෙනසක් නැත.

යථානින්න පවත්තිත්ත
ඡන්දෙන පරිනාමිතා
අච්චින්නධාරා වත්තන්ති
සළායතන පච්චයා.

(අං.නි.මහානිද්දෙස පාළිය,ජරා සූත්‍ර නිද්දෙසය ,162 – 164 පිටු)

ඡන්දය විසින් පරිණාමිත පුද්ගලයා නුසුන් දාරා ඇතිව ෂඩායතන අශ්‍රය කොට නොසිඳ පවතී.අප ලෝකය සංජානනය කරණුයේ ඇස කන ආදි සළායතන ඔස්සේය .සතරමහා භූතයන් මතින් ගොඩ නැගෙන රූපය ගත් කල කුඩා කළ සිට ගෙවී ගිය අයුරු හෝ වර්තමානයේ ගෙවී යන අයුරු නොදකී . මේ ගත කරන මොහොත තුළ ෂඩායතන ආශ්‍රය කොටගෙන පඤ්චස්ඛන්ධයෙහි ශාස්වතවාදී ස්වභාවයක් දුටුවද එහි උප්පාද හා භංග ස්වභාවයන් නොදකී.කෙටියෙන් කියතොත් අපගේ වයස ගෙවෙන අන්දම, ශරීරය උස්මහත් වන අයුරු අපට නොතේරේ .ඊට පදනම වනුයේ සළායතන ප්‍රත්‍යයයෙන් පඤ්චස්ඛන්ධය උපාදානය කර ගැනීමයි.
තවද,

අතීධානගතා භග්ගා
පුඤ්ජො නත්ථි අනාගතෙ
නිබ්බත්තායෙව තිට්ඨන්ති
ආරග්ගෙ සාසපූපපමා.

(අං.නි.මහානිද්දෙස පාළිය,ජරා සූත්‍ර නිද්දෙසය ,162 – 164 පිටු)

කළල,පෙසි,ඝණ,පසාක,දසමාසය අවුරුද්ද දෙක තුන විසි හවුරුදු වශයෙන් ගෙවුනාවූ ක්ෂණොත්පන්න පංචස්ඛන්ධය භංගයට නැතහොත් ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳීමට ගොස් අවසන්ය.අනාගතය පිළිබඳ දෘෂ්ටි සම්පන්නව සිතන නැතහොත් අවුරුදු පනහ ආදි නයින් සිතන අනාගත ක්ෂණය පැමිණ නැත.අප මොහොතක් මොහොතක් පසා ගෙවන ගතවෙන පඤ්චස්ඛන්ධය ක්ෂණෝත්පන්නව අග පිහිටි අබ ඇට සෙයින් හා ඉදිකටු අග මෙන් ස්තිථි ක්ෂණයෙහිම උපන්නේ පවතී.එනම් මේ ගත කරන මොහොතක් පසා ඨිති ක්ෂණයයි. එය ඉපදීම හා ව්‍යය වීම පඤ්චස්ඛන්ධය මුල්කොට ගෙන පවතී….

නිබ්ත්තානඤ්ච ධම්මනං
භංගො නෙසං පුරක්ඛතො
පලොක ධම්මා තිට්ඨන්ති
පුරාණෙහි අමිස්සිතො
(අං.නි.මහානිද්දෙස පාළිය,ජරා සූත්‍ර නිද්දෙසය ,162 – 164 පිටු)

සත්ත්වයා මොහොතක් මොහොතක් පසා වෙනස් වේ.ජරාවට පත් වෙයි.මරණය තෙක් උප්පාද ඨිති භංග නයින් ක්ෂණයක් පාසා වෙනස් වෙමින් ගමන් කරයි.පරමාර්ථ වශයෙන් ඉපිද පවත්නා වූ රුප වේදනා සඤ්ඤා සංඛාර හා විඤ්ඤාණ බිඳීම නැතහොත් භංගක්ෂණයට පත්වන සුලුය. ඨිතියෙහිද එක සේ පැවැත්මක් නැත.විනාශ වන ස්වභාවය ඇති පඤ්චස්ඛන්ධය පුරාණ නැතහොත් අතීත චිත්තක්ෂණය සමඟ මිශ්‍ර නොවී පවතී. නිදසුනක් ලෙස විසි වයස් ගත කරන ඔබට නැවත නැවත අතීතයේ ගෙවුණු දසවැනි වියට යා හැකිද? බැරිය.

එමෙන්ම.

අදස්සනාතො ආයන්ති
භංගා ගච්ඡන්ති අදස්සනං
විජ්ජුපාදෙව ආකාසෙ
උප්පජ්ජන්ති වයන්තිවාති.
(අං.නි.මහානිද්දෙස පාළිය,ජරා සූත්‍ර නිද්දෙසය ,162 – 164 පිටු)

නොදක්නා ලද්දක්ම ක්ෂණොත්පන්නව පැමිණෙති.එසේම ඨිති ක්ෂණයේ පැවත නොදක්නා බවට නැතහොත් රුප වේදනා සඤ්ඤා සංඛාරයන් භංගක්ෂණයට පත්වේ.අහසෙහි විදුලි එළි හටගන්නා සේ ඉපදීම හා නැතිවීම සිදු වේ.එනම් මොහොතක් පාසා ආත්මවාදිව ග්‍රහණය කරගන්නා සත්ත්වයා වෙනස් වේ. එය පරමාර්ථමය වශයෙන් උප්පාද ඨිති භංග නයින් ඉපදීම හා නැතිවීම ස්වභාය කොට ඇත්තේය.

අනිබ්බතෙන න ජාතො
පච්චුප්පන්නෙන ජීවති
චිත්ත භංගා මතො ලොකෙ
පඤ්ඤත්ති පරමත්ථියා…

(අං.නි.මහානිද්දෙස පාළිය,ජරා සූත්‍ර නිද්දෙසය ,162 – 164 පිටු)

නූපන්නාවූ අනාගත පඤ්චස්ඛන්ධය නූපන්නේය .වර්තමාන චිත්තක්ෂණය තුළ ජීවත් වේ.යම් දවසක මෙම ක්ෂණොත්පන්න සිත බිඳියාද එනම්, ආයුක්ඛය මරණය, කම්මක්ඛය මරණය ,උභයක්ඛය මරණය හා උපච්ඡේදක මරණය යන චතුර්ථාකාර මරණ තුළින් චුති විඤ්ඤාණය අවසන් ක්ෂණය තුළ බිඳීමට නැතහොත් භංගයට පත්වේද ,එදාට මේ ලෝවැස්සා පඤ්ත්තිමය වශයෙන් දත්ත මළේය සුදත්ත මළේය..ආදි නයින් ප්‍රකාශ කරති….බුදු දහමෙහි පරමාර්ථ ලෙස විග්‍රහ කළ හොත් ඛන්ධනං භෙදො ,චුති ,චවනතා ආදි නයින් ක්ෂණ මූල චිත්තයාගේ බිඳීම යනුවෙන් විග්‍රහ කරති….

ස්ඛන්ධය බික්‍ෂෙති.සතුටින් කා බී විනෝව සිටීම වැගත් වෙති යැයි පවසන නූතන තරුණ සමාජයේ බොහොමයක් මේ ස්වභාවය නොදන්නවා ඇත. ක්ෂණෝත්පන්න පඤ්චස්ඛන්ධයාගේ බිඳීම යනු මෙයයි. කෙටියෙන් සිතුවහොත් අපි හැමදා එක ස්ථාවරව ඉන්නේ නැත.තප්පරය විණාඩිය ,පැය ,දවස,සතිය ආදි නයින් අපද වෙනස් වෙමින් යති.මේ වෙනස් වීමේ මූල ස්වභාය නම් ක්ෂණයයි.එයද ඉපදීම නැතිවීමේ ස්වභාවය මුල් කොටගෙන ඇත.

බොහෝ පිරිසක් කට වහරට හෝ පඤ්චස්ඛන්ධය දිරති . කා බී විනෝදකාමීව සිටීම යහපත් යැයි පවසති.මොකද්ද මේ කා බී විනෝදකාමී ජිවිතය කියන්නේ උපාදානය තුළින් පඤ්චස්ඛන්ධය පිනවීමයි. ඇස කන ආදි ෂඩායතන පිනවීම යන්නයි.ඒ අනුව කායික ,වාචසික හා මානසික ක්‍රියාවන් පැවැත්වීමයි. මේ විනොදය සුරා බොමින් සතුන් මරමින්,හොරකම් කරමින්,පරදාර සේවනය කරමින් ජීවත් වීම වේ නම් මෙයද මතක තබා ගතහොත් යහපතී.අපි කායික වාචසික හා මානසිකව විඳින සෑම සුඛා වේදනාවක්ම අතීතයට යෙති .වර්කමානයේ එය හුදෙක් මතකයක් පමණි.ඒ මොහොත නැවත ගත නොහැකිය.පර අඹුවක් ලඟට ගොස් පරදාර සේවනය කර නැවත සතියකින් හිතන විට විනෝදයක් ය. එහි විනෝදාත්මක අස්සාදයක් දැනේ නම් එයද ෂඩායතන මූලිකව නැතහොත් භංග ක්ෂණයට පත්වූ අතීත පඤ්චස්ඛන්ධය මතින් සිදු කළ සිදු වීමක් වත්මනෙහි සිහි කිරීමකි . ස්ඛන්ධය දිරා ඇත. අතීතය අතීතයට ගොස් ඇත.. නැවත සිතන විට ඒ ගැන තුටු සිත් වේ නම් එය ආත්මවාදීව ගත නොහැකි. එතැන ඇත්තේ අනාත්මතාවයකි. ස්කන්ධය පූර්ණ වශයෙන් බිඳි ගියදා ඉතිරිවෙන පාපයට බර විනෝදාත්මක ආස්වාදයක් ඇත්ද නැද්ද තම තමාම පසක් කරගත යුතුය.එබැවින් සමාජ සම්මත සාරධර්ම තුළ ජීවත් වෙනවා මිසක.අයුක්ති සහගත අසත්ධර්මය වඩා ගැනීමෙන් විනෝදයක් තිබේද යන්න අප විමසිය යුතුය.

නිද්දෙස පාලිය හා ධම්ම සංඝණිය මූලාශ්‍රයෙනි.

Ven. Paranagama Sarada Kashyapalankara
Ven. Paranagama Sarada Kashyapalankara
MA, University of Kelaniya Sri Lanka

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles