25 C
Colombo
Tuesday, October 3, 2023
spot_img

Subscribe

Date:

Share:

ටියුෂන් මාෆියාවේ නොදුටු පැතිකඩ

Related Articles

වර්තමානය වන විට අධ්‍යාපනය කියන්නේ දැවැන්ත වෙළඳපොළක්. එය මුදලට පමණක් සීමා වූ ටියුෂන් කඩ වැනිය. ජනප්‍රිය පාසල් තරගය, සීමිත උසස් අධ්‍යාපන අවස්ථා සඳහා තිබෙන බලුපොරය, අනාගතය පිළිබඳ තිබෙන අනාරක්ෂිතබව, සියලුදෙනා ඉහළ වැටුප් ලබන වෛද්‍ය, ඉංජිනේරු, නීතීඥ වැනි වෘත්තිකයන් බවට පත්විය යුතුය යන සමාජ ආකල්ප, ඒ මත ඇතිවන අධි පාරිභෝජනවාදී ජීවන අපේක්ෂා ආදිය හේතුවෙන් ටියුෂන් වෙළඳපොළ පෝෂණය වෙනවා. ඔවුන්ගේ පරමාර්ථය  දැයේ දරුවන්ගේ අභිවෘද්ධිය  පිණිස අධ්‍යාපනය ලබා දීමම නොව ඔවුනවුන්ගේ උවමනා සහ අවශ්‍යතාවන් ඉටුකර ගැනීම සඳහා මූල්‍යමය පැතිකඩ තරකර ගැනීම ය. ටියුෂන් ක්ෂේත්‍රය තුළ  උගත් නූගත් ඕනෑම මිනිසෙකුට  ගුරුවරයෙකු ලෙස පෙනී සිටීමේ ඉඩකඩ පවතී. එහෙයින් නිසි ආකාරයේ  අධ්‍යාපනයක් ලැබීමට නම් නියමිත අධ්‍යාපන සුදුසුකම්වලින් යුතු පළපුරුදු සහ දැනුමෙන් සන්නද්ධ ටියුෂන් ගුරුවරයකු තෝරාගැනීම දරුවන්ගේද කාර්යයකි (ජයසිංහ, 2021).

එමෙන්ම මේ වනවිට ටියුෂන් පන්ති අතර පවතිනුයේ දැනුම අතර තරඟකාරීත්වයක් නොව ජනප්‍රියතාවය මූලික කොට ගනිමින් අනෙක් පන්තීන් අභිබවා තම ආයතනයට සිසුන් ඇදගැනීමේ අරගලයකි. බුද්ධියෙන් යුතු ගුරුවරයාට බාහිර ආටෝප අවශ්‍ය නැත. ඔහු කරා දරුවෝ ඉබේම ඇදී එති. නමුත් බුද්ධියෙන් තොර පුහු ආකල්පයන්ගෙන් යුත් ගුරුවරයා වෙහෙස දරන්නේ අත්පත්‍රිකා, දැන්වීම්, වර්ණ නිබන්ධන යනාදිය මූලික කොට ගනිමින් මවාපෑමක් ඔස්සේ දරුවා ඇද ගැනීමට ය. ටියුෂන් ගුරුවරයා ගේ  රූපය යාන වාහන, ගේ දොර යනාදී බාහිර ආටෝපයන් ට නොරැවටී දරුවන්ට  නිසිආකාර අධ්‍යාපනයක් ලබාදීමට සුදුස්සෙක් දැයි පරික්ෂා කොට ඒ වෙත යොමුවීමට දරුවන් දැන ගත යුතුය. එමෙන්ම විලාසිතාවන්ගෙන් ආරූඪ වුණු රංගනයකට සූදානම් වන රැඟුම්කරුවන් මෙන් විලාසිතාවන්ට මූලිකත්වය දෙමින් ටියුෂන් යාමට දරුවන් පෙළඹී තිබේ. සැබැවින්ම විලාසිතාවන්ට මුලිකත්වයක් ලබාදෙන ඔවුන්ට ඔවුන්ගේ අධ්‍යාපනයට අවධානය දීමට කාලයක් ඉතුරු වෙනවාද යන්නත් තරමක ප්‍රශ්නාර්ථයක්? (සෙව්වන්දීපනී, 2023)

ලංකාවේ පාසල් අධ්‍යාපනය මහජන මුදලින් ලබා ගැනීමේ අවස්ථාව සියලු සිසුන්ට තිබෙනවා. එය නිදහස් අධ්‍යාපනය නමින් හැඳින්වෙනවා. එහෙත්, එහි හොඳම කොටස විවිධ කූට උපායමාර්ගවලින් ඩැහැ ගන්නේ සමාජයේ ඇති හැකි පිරිසයි. පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේදීම හොඳම පාසල් ටික හිමි කර ගන්නේ මෙම පිරිසයි. නැති බැරි මිනිසුන්ට හිමි වන්නේ අවර ගණයේ පාසල්.  එතනින් ආරම්භ වන විෂමතාව අවසන් වන්නේ නොමිළේ උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් ද එකී ඇති හැකි පිරිස විසින් ම ඩැහැ ගනිමින්. ටියුෂන් ජාවාරමට අවකාශය විවෘත කර දෙන්නේ ඉහත කී අධ්‍යාපන විෂමතාවයි (ජයසිංහ, 2021a).

ටියුෂන් මාෆියාවේ අද සංස්කෘතිය වන්නේ 8-5 යි. මොකක්ද මේ 8-5? 8-5 නම් උදේ පාන්දර 6 ට ගෙදරින් එන ළමයා හවස 5 වෙනකම් එකම පන්තියේ ළමුන් දහසක් මැදිව ඉදගෙන එකම විෂය ඉගෙන ගැනිමයි. මෙසේ සෑම විෂයක්ම Theory සහ  Revision  ලෙස කොටස් දෙකකින් යුක්තව සතියේ දවස් 7 තුලම පවතනු ලබයි. පාසල තුල කාලසටහනකට අනුව විවිද වූ විෂයන් ඉගැන්වීමට කටයුතු කරන්නේ ළමයට විවිධත්වයක් ලබා දීමටය. ඒ විවිධත්වය තුලින් සරල ලෙස පාඩම් තේරුම් කර දීමටය . එමෙන්ම පාසල් කාලසීමාව වන්නේද හත සහ එකයි. මේ කාලය තුල විවිධ ගුරුවරුන් සමග ඒකාකාරී බවෙන් තොරව විවිධ ක්‍රියාකාරකම් සමග වූ  අධ්‍යාපනයක් ලැබීමට දරුවට  අවස්ථාවක් ලැබේ (Anu, 2016).

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ දුර්වලතා ගැන සමාජයෙන් හා විද්වතුන්ගෙන් වරින් වර කසුකුසු නැඟෙනවා. විශේෂයෙන් සාම්ප්‍රදායික රාමුවකට කොටු වීමත්, පාසල අභිබවා උපකාරක පන්ති සංස්කෘතියක් ඇති වී තිබීමත් නිසා වර්තමාන ශිෂ්‍ය ප්‍රජාව පීඩාවට පත් වී ඇති බව නිතර නැඟෙන චෝදනාවක්. යම් කිසි විෂයයකට සාමාන්‍ය පුද්ගලයෙක්ට අඛණ්ඩව අවධානය යොමු කළ හැකි උපරිම කාලය අනුසාරයෙන් පාසලේ විනාඩි 40 කාලච්ඡේද වෙන් කර ඇති මුත් අතිශය තරග කාරීත්වය නිසා  පැවැත්වෙන උපකාරක පන්ති වල ශිෂ්‍යයාට කොතරම් ප්‍රමාණයක් එක් විෂ‍යයක් මත්තේ නැහෙන්නට සිදු වී තිබෙනවාද. මේ හේතු නිසා දවසේ පැය 24න් වැඩිමනක් කාලයක් පොත් බදාගෙන සිටීමට වර්තමාන දරු ප්‍රජාවට සිදු වී තිබෙනවා. ඉතින් අනාගත පරපුර පොතේ දැනුම පමණක් සහිත කිසිදු ක්‍රියාශීලී බවක් නැති අයවලුන් වීම පුදුමයට කාරණාවක් නොවන බව ඔවුන් පෙන්වා දෙයි.

ලෝකයේ බොහෝ දියුණු රටවල් අද දියුණු ඒවා බවට පත් වී තිබෙන්නේ ඔවුන් කාලයකට පෙර මේ සාම්ප්‍රදායික රාමුව බිඳ හෙලා කාර්යශූර, බහුස්‍රැත හා නිර්මාණශීලී අනාගත පරපුරක් බිහි කරගෙන ඇති නිසායි. ලෝක අධ්‍යාපනය සඳහා වූ පියර්සන් දර්ශකයේ ඉහළම ස්ථානයක තිබෙන ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාව වැනි රටකට හොඳම උදාහරණ ගන්නට හැකි යමක්. දරුවාගේ කාලයත්, ආශාවත්, ක්‍රීඩා හැකියාවත් බේරා ඒවයින් උපරිම ප්‍රයෝජන ගැනීමේ හැකියාව ඇති කරමින්ම විද්වතෙක් බිහි කරන ෆින්ලන්තයේ අසම සම අධ්‍යාපන ක්‍රමය සාම්ප්‍රදායික ක්‍රම වල සමහර මූලයන් සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දමා නිර්මාණය කරන ලද්දක් (Facebook, 2018).

ඇත්තෙන්ම බොහෝ උපකාරක පන්ති වල ගුරුවරුන් උගන්නනවාට වඩා වැඩි කාලයක් යොදවන්නේ වැඩකට නැති සුරංගනා කතා කියමින් ළමයින් සමග උසුළු විසුළු කිරීමට සහ ප්‍රසිද්ධියේ කුණුහරුප කියමින් ළමයින් සමග විනෝද වීමටයි. ඉතින් එවැනි අන්දමින් දරුවාගේ වටිනා කාලය කා දමමින් දවසේ පැය 9ක් 10ක් අතර කාලයක් දරුවාගෙන් නිකරුනේම ගෙවා දමන්නේ දරුවන්ගෙන් දහස් ගණනින් මුදල් ද අයකරමින්ය. අධ්‍යාපනික ප්‍රමිතියෙන් තොර ගුරු හොරුන්ගේ විනෝදාංශය එය නමුත් එසේ නොවන හරවත් මෙන්ම ඵලදායි අන්දමින් දරුවන්ගේ කාලය විනාශ නොකරන උපකාරක පන්තිද සුළුතරයක් ද තිබීම අගය කල යුතුය.කෙසේ වුවත්  උපකාරක පන්ති තුලින් ගෙවන මුදලට උපරිම සාධාරණයක් ඉටු වෙනවද නැද්ද යන්න පිලිබදව දරුවන් මෙන්ම දෙමාපියන්ද විමසිලිමත් විය යුතුය (Sabith, 2011).

කෙසේ වෙතත් අධ්‍යාපනික තරගය හමුවේ අමතර දැනුමෙන් සන්නද්ධ වීමට උපකාරක පන්ති වලට යොමුවීම තුලින් මුහුණදීමට සිදුවන බරපතලම අවධානම නම් දරුවන් දැනුවත්ව හෝ නොදැනුවත්වම විවිධ අපචාර ක්‍රියාවන්ට ගොදුරු වීමයි.  තියුණු බුද්ධියකින් යුතු දරුවන් පවා අපරික්ෂාකාරී ලෙස රැල්ලට ටියුෂන් පන්ති  කරා ගොස් වැරදි දුරාචාරයන්ට පෙළඹී තම ජීවිතය පවා වරදවා ගන්නා අවස්ථා අද සමාජයේ ඉතා ඉහළ ය. රටේ ඉදිරි අනාගතය භාර ගැනීමට සිටින දරුවන්ගේ මනසට වැරදි ආකල්පයක් කා වැදුණු විට ඒවා උදුරා දැමීමට අපහසු ය. එමෙන්ම දමෙන්ම දෙමව්පියන්ට දරුවන් පිළිබඳව සැමවිටම විමසිල්ලෙන් සිටිය යුතුය. එනම් දරුවන් දකින දේ ඒ අයුරින් ම නිවැරදි ඇය පිළිගැනීමට පෙලඹෙති. එහෙයින් දරුවන් ටියුෂන් යනවා යැයි පවසමින් ලබන්නාවූ අධ්‍යාපනය පිළිබඳ නිතර නිතර විමසිලිමත් විය යුතුය. එමෙන්ම ටියුෂන් ගුරුවරුන් පවා දරුවන් වැරදි දේවල් වලට පොළඹවා ගැනීමට  පෙලඹෙති.  එහෙයින් විශේෂයෙන් දෙමාපියන් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. දරුවන් පමණක් නොව ඇතැම් මව්පියවරුන්ද මේවාට නොදැනුවත්වම පෙළඹෙන අවස්ථාද නැතුවම නොවේ. තම දරුවා රැගෙන උපකාරක පන්ති වෙත ඇදෙන සමහර මව්පියන් දරුවාගේ පන්ති කාලසීමාව තුල වෙනත් පුද්ගලයන් ඇසුරු කිරීමට මෙන්ම යම් යම් අපචාර ක්‍රියාවන්ට සහය දීමට හා ඒවා මෙහෙය වීමට උත්සහ කරන්නන්ද වේ. සැබවින්ම ඒ  හරහා අමතර කළු සල්ලි ඉපයීම ඔවුන්ගේ විනෝදාංශය වී තිබෙන අතර එවැනි පුද්ගලයන් තම දරුවාගේ සහය ලබා ගනිමින් වෙනත් දරුවන්ව අමාරුවේ දැමීමට අපයෝජන වලට පහසුවෙන් හසු කර  ගැනීමට මාන බලන ඉතා කුරිරු පාහරයින් කොට්ඨාශයකි.

සති අන්තයේදී පෞද්ගලික පන්ති සඳහා දිවයිනේ නන්දෙසින්  සිසු සිසුවියෝ අති විශාල ප‍්‍රමාණයක් ගම්බදව මෙන්ම නාගරික වුවද නගරයට ඇදී එති.  විශේෂයෙන්ම උසස්පෙළ විෂයන් සඳහා  දිවයිනේ ජනප‍්‍රිය ගුරුවරුන්  උගන්වන  ලබන පෞද්ගලික පන්ති රැසක් ප්‍රධාන නගර මූලික කරගෙන පවත්වාගෙන  යාම  එයට ප‍්‍රධාන හේතුවයි. යෞවනයේ එළිපත්තේ සිටින මෙම අහිංසක  සිසු සිසුවියන් එකිනෙකා බිලී බා ගැනීමට  සූදානමින් සිටින  විවිධ ජාවාරම්ද ඒ අතර කොතෙකුත් ක‍්‍රියාත්මක වෙන බව මේ අහිංසකයින්  නොදනිති. මත් ද්‍රව්‍යය  ජාවාරම ඉන් එකකි. යෞවන වයසේ පසුවන සිසුන් ගණිකා ඇසුරට ඇබ්බැහි කරවීම අනෙත් ජාවාරමයි. මෙය කොළඹ සහ ගම්පහ නගර කේන්ද්‍ර කොට ගෙන  කරනු ලබන අතර පසුගිය වසර කිහිපය තිස්සේ මෙවැනි ගණිකා ව්‍යාපාර ජයටම කෙරීගෙන ගොස් තිබෙන නමුත් ඒ වෙනුවෙන් තවමත් නීතිමය ක්‍රියාමාර්ග දැඩිව ක්‍රියාත්මක වී ඇති බවක් පෙනෙන්නට නැත (අදිකාරි, 2012).

  • ගල් ගුහාවක අඹු සැමියන් ලෙස හැසිරුණු දැරිය ගැබිනියක්…
  • නවය වසර පන්තියේ ගැහැනු ළමයාව උසස් පෙළ පන්තියක පිරිමි ළමයෙක් කැඩෙට් කාමරයේදී දූෂණය කරයි…
  • සතිඅන්ත දිනවල ලැගුම්හල් ටියුෂන් පෙම්වතුන්ගෙන් පිරෙති…
  • පියාගෙන්, සීයාගෙන් දියණියන්ට වන ලිංගික හිරිහැරත් වැඩි වෙලා…ගැහැනු ළමයි විතරක් නෙමෙයි පිරිමි ළමයින්ටත් ලිංගික හිරිහැර…
  • ෆ්‍රී කාඩ් ලබාදෙමින් සිසුවියන් දැලේ දාගන්න මාන බලන ටියුෂන් ගුරුවරුන්…

මේ දිනෙන් දින සුලභව අපට අසන්නට දකින්නට ලැබෙන  පුවත් සිරස්තලයි. දැන් සමාජය තුළ බාල වයස්කරුවන් මෙවැනි පුවත් මවන්නන් අතර මුල් තැනක් ගනී. බොහෝවිට මෙවැනි පුවත් නිර්මාණය වීමට ආසන්නතම හේතුව වන්නේ උපකාරක පන්ති වලට යොමුවීම හරහා ඒ තුලින් දරුවන්ට ලැබෙන අසීමිත නිදහසයි. අතීතයේ දරුවන්ගේ අධ්‍යාපනයේ මුලිකම සන්ධිස්ථානය වුයේ පාසලයි. නමුත් වර්තමානයේ එය හාත්පසින්ම වෙනස් වී තිබෙන අතර පාසල් යාම අතහැර දමා සියලුම දරුවන් උපකාරක පන්ති වලට යොමු වී ඇත. දැන් සමාජය තුල උපකාරක පන්ති නොයන දරුවෙකු සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තකි.    

කෙසේ වෙතත් උපකාරක පන්ති වලට යොමු වීම සහ අමතර දැනුම ලබා ගැනීම යන කරුණ සමග සලකා බලන විට රට තුල පවතින උපකාරක පන්ති පැවැත්වීම හා ඒ සදහා දරුවන් යොමු වීම යනාදිය විවේචනය කිරීම සුදුසු නොවේ. මන්ද යත් සියලුම උපකාරක පන්ති එකවගේ නොවන අතර උපකාරක පන්ති සදහා යොමුවන  සියලුම දරුවන් හා ඔවුන්ගේ හැසිරීම්, ගතිපැවතුම් මෙන්ම සිතුවිලිද සමාන නොවන නිසාය. නමුත් බහුතරයකගේ අකටයුතුකම් නිසා අපට මෙවැනි අර්බුදකාරී තත්වයන් අසන්නට දකින්නට සිදු වී තිබීම ඉතාම කණගාටුදායක කාරුණකි. සමාජය වගකීම් විරහිත වී හමාරය. ක්‍රියාවන් දෙස බැලුවිට මිනිසුන් තිරිසනුන් අතර වෙනසක් නොමැති තරම්ය. තමන්ගේම අම්මා අක්කා නංගි දුව පුතා හදුනන්නේ නැති පාදඩ සමාජයක් නිර්මාණය වී තිබේ.

රටේ පවතින අයහපත් ආර්ථික සහ උද්ධමනකාරී තත්වයන් හමුවේ බැට කමින් දෙමාපියන් නොසෑහෙන දුක්කරදර විදමින් තම දරුවන්ට හරවත් අධ්‍යාපනයක් ලබාදී ඔවුන්ගේ  අනාගතය ආලෝකමත් කිරීමට මෙන්ම සමාජයේ ඉහළ තල වල වැජඹන්නට හැකිවන පරිදි මංපෙත් විවර කරන්නට වෙර දරයි. නමුත් දරුවන් ඊට සාධාරණයක් ඉටු කරනවද? මෙය බරපතල ප්‍රශ්නයකි. ඒ මන්ද යත් බොහෝ දරුවන් තම දෙමාපියන්ට වංචා කිරීමට පුරුදු වී සිටී. සත්‍ය වසන් කර තමන්ගේ අම්මගේ තාත්තගේ ඇස් වලට වැලි ගසා නොයෙකුත් පාහර තිරිසන් ක්‍රියාවන්ට යොමු වීම සාමාන්‍ය දෙයක් වී තිබේ. ගමෙන් නගරයේ පාසල්වලට පැමිණෙන ඇතැම් ගැහැනු ළමයි පාට ඇඳුමක් බෑගයේ සඟවාගෙන පැමිණ අතරමගදි එම ඇඳුම ඇඳගෙන ප්‍රේමවන්තයන් සමඟ පෙම් සුව විඳීමට කාමරවලට යෑම වර්තමානයේ සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව ඇත. කිසිදු සොයාබැලීමකින් තොරව කාමර පහසුකම් ලබාදීමට රට පුරා ලැගුම්හල් ද බොහෝය. සැබැවින්ම සමාජය යන්නේ  කොයිබටද යන්න දැවෙන ප්‍රශ්නයකි (රත්නවීර & චතු, 2023). ලංකාවේ පොලිස් වාර්තාවලට අනුව 2020 වසර තුළදි පමණක් වයස අවු 16 ට වැඩි කාන්තාවන් දුෂණය කිරිමේ සිද්ධීන් 287 ක් වාර්තාවී ඇති අතර වයස අවුරුදු 16 ට අඩු දැරියන් කැමැත්ත ඇතිව හෝ නැතිව අපයෝජනය කිරිමේ සිද්ධීන් 1641 ක් වාර්තාවී ඇත. එසේම 2021 වර්ෂයේ මේවන විට ළමා අපචාර 4000 ට වැඩි සංඛ්‍යාවක් වාර්තාවී ඇත (ජෝතීෂවේදී & කුලරත්න, 2021).

කොහොම නමුත් ඉහත දක්වා ඇති විස්තර කිරීම් වලට අනුව උපකාරක පන්ති සදහා යොමු වීම හිතකර  මෙන්ම අහිතකර ප්‍රතිවිපාක රැසකට හේතු වන බව කාටත් සක්සුදක් සේ පැහැදිලි වන්නට ඇති බව මා විශ්වාස කරමි. අප නැගී සිටිය යුත්තේ සමස්ථ උපකාරක පන්ති වලට එරෙහිව නොවෙයි උපකාරක පන්ති වලට මුවා වෙමින් ටියුෂන් වෙළෙන්දන් මෙන්ම විවිධාකාරයේ පාහරයන් නිසා අනාගත  පරපුරට සිදුවන අපචාර අපයෝජන සහ විවිධ දරුවන් යොදාගනිමින් සිදුකරන ජාවාරම් කටයුතු වලට එරෙහිවයි. ඇත්තෙන්ම මේ සදහා විශාල වගකීමක් දෙමාපියන් අත රැදී තිබේ. සාමාන්‍ය පෙළ උසස් පෙළ කරන දරුවා අතපය හතර උස මහත් වූ හැදි දැඩි පෙනුමෙන් යුක්ත වූ පමණින් ඔවුන් සියල්ල දත් හෝ වැඩිහිටියන් හෝ නොවේ. ඒ ඔවුන්ට මව්පිය වැඩිහිටි රැකවරණය අවශ්‍යම කාලයයි. ඒ කාලය තුළ දරුවන්ට නිදහස ලබා දී ඔවුන්ගේ තනි මතයට කටයුතු කිරීමට අසීමිත නිදහස ලබා දී තිබීම අතිශය භයානක තත්වයක්. මන්ද යත්  එය හොද නරක සුදුසු නුසුදුසු කල යුතු නොකළ යුතු සහ  මිනිස්සු වගේම මිනිස් වෙස් ගත් නොමිනිසුන් කවුද යන්න තෝරා බේරා ගැනීමට නොහැකි අන්ධ අවබෝධයකින් පසුවන කාලසීමාවක් බැවිනි.   

ඇතැම් ගැහැණු දරුවන් උපකාරක පන්ති තුලදීම ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව උපකාරක පන්ති ගුරුවරයා අතින් හෝ පන්තියට සහභාගී වන වෙනත් දරුවෙකු අතින් හෝ වේවා යම් යම් අපචාරයන්ට ගොදුරු වෙනවා. සමහර විට ඔවුන් ඒවා තම මව්පියන් සමග නොකියා රහසක් ලෙස සගවා තබාගෙන ඇත්තේ ඔවුන්ට එවැනි දෙයක් කීමට තරම් මානසික ශක්තියක් ඔවුන් තුල නොමැති නිසා විය හැක. එසේත් නොමැති නම් එවැනි දෙයක් පැවසුවහොත් තමා වැරදිකරු වෙතැයි හෝ තමා දෙස අවඥා සහගත ලෙස බලාවි නැති නම් සමාජෙන් කොන් වේවි යන බිය නිසා විය හැක. ඇත්තටම විය යුත්තේ එය නොවේ. ගැහැණු දරුවෙකු එලෙස අසාධාරණයට ලක් වීමට ඉඩ නොතැබිය යුතුය. ගැහැණු දරුවෙකුගේ මුලික අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් මුලින්ම ඉදිරිපත් විය යුත්තේ ඇයගේ දෙමාපියන් මිස අන් කිසිවෙකුත් නොවේ. නමුත් දෙමාපියන් තුළද තම දරුවා පිලිබදව විශ්වසයක් නොමැති නම් එය බරපතල කරුණකි. තමන්ගේම දරුවා පිළිබද විශ්වාසයක් තබා ගැනීමට නොහැකි වන ලෙස ඔහු හෝ ඇය තම මවුපියන්ට වංචා කරන්නෙක් නම් එයට වගකිව යුත්තේද දෙමපියන්මය. දෙමාපියන් සහ දරුවන් අතර රහස් තිබිය නොහැක. එක පවුලක් ලෙස ඔවුනොවුන් යහළු යෙහෙලියන් ලෙස කටයුතු කල යුතුය. දරුවා සහ දෙමව්පියන් අතර සම්බන්ධතාවය ශක්තිමත් නොවේ නම්, එම පවුල් සංස්ථාවෙන්ද ප්‍රයෝජනයක් නැත. මවට හෝ පියාට හෝ නැති නම් දෙදෙනා සමගම තමන්ගේ දේවල් කතාබහ කරමින් විසදාගැනීමට නොහැකි නම් එවැනි පවුලක් තුලින් දරුවෙකුට කිසිදු හව්හරණක් නොලැබීම නිසා නිතර නිතර දරුවන් අපචාරයන්ට ගොදුරු වීමට එය ප්‍රභල හේතුවක් වනු ඇත.  

 

මෙම ලිපිය හරහා මා ගත් වෑයම නම් සමාජයේ නිදා සිටින දෙමාපියන් අවදි කිරීමයි. උපකාරක පන්ති වලට යන දරුවා කුඩුවකින් නිදහස් වෙලා යන කුරුල්ලෙකුට සමානයි. හොද මිතුරු ඇසුරක් ලැබුනොත් ඔවුන්ගේ අනාගතය දීප්තිමත් වන්නා සේම නරක මිතුරු ඇසුරක් දරුවාගේ මුළු ජිවිත කාලයම විනාස කර දැමීමකට හේතුවන බව අමුතුවෙන් කියන්නට දෙයක් නොවේ. උපකාරක පන්ති යනු ජීවිතය ජය ගන්න පමණක්ම බිහි වූ කර්මාන්තයක් නොවන අතර එය තවත් කෙනෙකුට ජීවිතය නැත්තටම නැති වෙන්න හේතුවක් විය හැක. අපචාර දුෂණ ක්‍රියා වලට ලක් වෙන්නේ ගැහැණු දරුවන් පමණක් නොව පිරිමි දරුවන්ද බහුලව අපචාරයන්ට ගොදුරු වන බව නිතර නිතර පුවත් හරහා වාර්තා වේ. ඇතැම් අපචාර වලට සමහර මව්පියන්ද අනුබල ලබා දීම අනාගත දරු පරපුරේ පමණක් නොව මුළු මහත් රටේම කරුමයකි. එවැනි පුද්ගලයන් රටට සමාජයට පිළලයක් සාපයක් වන අතර අපගේ ආරක්ෂාව පරිස්සම අපි විසින් ම සළසා ගැනීමට සිදුවී තිබේ. නීතියේ රැහැනට අසු වුවත් එවැනි අපරදකරුවන්ට නිසි දඩුවම් ලැබෙනවද නැතිනම් ඔවුන් නිදොස් කොට නිදහස් කරනවාද යන්න තවමත් නිරුත්තර පැනයකි.

අහල පහල වත්තකින් පොල් ගෙඩියක් හොරකම් කළ පමණින් රේල් පිල්ලෙන් ඇණයක් අහුලාගත් සැනින් රටට ලෝකෙට කෑ ගසමින් ඔවුන්ව සාහසික අපරාදයක් කල අපරදකරුවෙක් ලෙස හංවඩු ගැසුවත් ඔවුන්ට අකුරටම නීතිය ක්‍රියාත්මක කලත් මෙවැනි මිනිස් ජිවිත බිලි ගනිමින් පුංචි මල් කැකුළු වන් දරුවන්ගේ ජිවිත සමග සෙල්ලම් කරන පාදඩ ම්ලේජ්චයන් කුරුල්ලන් මෙන් නිදහසේ සැරිසරමින් තව තවත් ජිවිත බිලි ගනිමින් සිටින අවධියක වගකිව යුතු නිතිය ක්‍රියාත්මක කල යුතු බලධාරීන් අන්ධ ගොළු බිහිරි ලෙස කටයුතු කරන්නේ කළු සල්ලි වල බලය එතරම්ම තියුණු නිසාද? ශ්‍රී ලංකාව බලයක් රහිත පීඩිත පාන්තිකයන් ආර්ථිකයෙන් බැට කමින් කුසට අහරක් නැතුව වේලක් හැර වේලක් කමින් ජිවත් වන දුප්පතුන්ගේ අසරණකමින් අයුතු ප්‍රයෝජන ගනිමින් බලය ඇති උන් පමණක් වැජඹිය යුතු රටක්ද?

නීතිය වුවද හරි තැන ක්‍රියාත්මක වෙමින් අපරදකරුවන්ට තරාතිරම නොබලා දැඩි දඩුවම් ලබාදෙමින් සුදුස්සාට සුදුසු තැන ලබා දී කටයුතු කරනවා නම් අපේ රට දැන් දශක ගණනාවක් පුරාවක සිට සංවර්ධනය වෙමින් පවතින රටවල් ලයිස්තුවේ ඉහල පහල යමින් සිටින රටක් ලෙස එකම තැන පල් වෙමින් සිටිනවා වෙනුවට ඇමරිකාව, ජපානය, කොරියාව, සිංගප්පුරුව, මැලේසියාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල් වගේම ලස්සන මානුෂිය ශිෂ්ඨ සම්පන්න මෙන්ම ආර්ථික වශයෙන්ද ශක්තිමත් රාජ්‍යක් ලෙස නැගීසිටීමට හැකිවනු ඇත. නමුත් එසේ ගොඩනැගීමට නම් හොර තක්කඩි පාලකයින් මෙරටින් අතුගා දමා දුරදර්ශි නායකයෙකු පත් විය යුතුය. යල්පැන ගිය සම්මතයන් පද්ධතීන් වෙනුවට තාරුණ්‍යයට නවෝත්පාදනයන්ට මෙන්ම උගත් බුද්ධිමතුන්ට අවස්ථාව ලබාදිය යුතුය. එසේ නොමැති තාක්කල් ලංකාව කිසිදු ප්‍රගතියක් නොමැති ගරා වැටෙන වැඩිහිටි නිවාසයක් පමණක්ම වනු නොඅනුමානයි. කෙසේවෙතත් මෙවැනි අවිධිමත් අශිෂ්ට සම්පන්න සමාජයක් තුල අනාගත දරු පරපුර උපකාරක පන්ති හරහා විවිධ අපචාර හා අසාධාරණයන්ට ගොදුරුවීම වලක්වාගැනීමට අපි සෑම සියළු දෙනාම අවදියෙන් සිටිය යුතුම කාලවකවනුවකි මේ ගෙවෙමින් පවතින්නේ.  (World data, 2022).

කොහොම නමුත් උපකාරක පංති පිලිබඳව ක්‍රියාත්මක වීමට තරම් නීති රට තුල  තවමත් සම්පාදනය වී නොමැති බැවින් කලයුත්තේ ටියුෂන් ගුරුවරුන්ගේ ප්‍රමිතිය, පන්ති පැවැත්විය යුතු දින ගණන හා අවම උපරිම පැය ගණන ,සහභාගීකරවාගත හැකි උපරිම සිසුන් ගණන හා අදාල ආයතනවල ප්‍රමිතිය හා පහසුකම් පිලිබදව මෙන්ම පන්ති ගාස්තු වශයෙන් අය කල හැකි උපරිම මුදල පිලිබඳව අදාල පාර්ශව සමග සාකච්ඡාකොට පැහැදිලි නිර්නායක ගොඩ නගා උපකාරක පන්ති කර්මාන්තය විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයක් ලෙස ගොඩනැගීමයි  (Sabith, 2011).

මුලාශ්‍ර    

Anu. (2016). ටියුෂන් මාෆියාව හා රටේ අනාගතය. සිතිජය. http://sithitajaanu.blogspot.com/2016/06/blog-post_14.html

Facebook. (2018). විද්යා පීඨ අපේ පිටුව. https://web.facebook.com/ncoesrilanka/photos/a.126369391247959/228820424336188/?type=3&_rdc=1&_rdr

Sabith, M. (2011). අපේ කාලයේ ටියුෂන් මාෆියාව. S a b i t h Blog. http://sabithl.blogspot.com/2011/12/blog-post.html

World data. (2022). Developing Countries. Worlddata.Info. https://www.worlddata.info/developing-countries.php

අදිකාරිගුවන්තොටුපොළ දීපා. (2012). පාසල් සිසුන්ට බැල්ම හෙළන ගණිකාවෝ. Lankadeepa.Lk. https://www.lankadeepa.lk/features/පාසල්-සිසුන්ට-බැල්ම-හෙළන-ගණිකාවෝ/2-52101

ජයසිංහඅජිත් පැරකුම්. (2021a). අරගලයෙන් එහාට ගුරු වෘත්තිය. Wedabima.Lk. https://wedabima.lk/features/2021-11-16-04-58-14

ජයසිංහඅජිත් පැරකුම්. (2021b). ටියුෂන් නම් වලිගය පාසල නම් බල්ලා වනන හැටි. පැරාගේ විරාමය, ලංකා පුවත්පත. https://praja.lk/education/ටියුෂන්-නම්-වලිගය-පාසල-නම/

ජෝතීෂවේදීමනෝවිද්‍යා උපදේශක සහ ප්‍රවීන, & කුලරත්නටී. එම්. (2021). ලිංගික අපරාධ සදහා මිනිසුන් පොළඹවන පැරපීලියාස් නම් මානසික ආබාධය. Subasetha.Lk. https://www.subasetha.lk/විශේෂාංග/2021/09/03/3112/ලිංගික-අපරාධ-සදහා-මිනිසුන්-පොළඹවන-පැරපීලියාස්-නම්-මානසික-ආබාධය?page=9

රත්නවීරතරංග, & චතුමිහින්තලේ – රංග. (2023). දවසකට බත් කන්නෙත් දෙවේලයි… අනුරපුර පින්බිමේ දවසට ළමා අපචාරත් දෙකයි. Divaina.Lk. https://divaina.lk/දවසකට-බත්-කන්නෙත්-දෙවේලය/

සෙව්වන්දීපනීමලීශා. (2023). ඇතුවත් බැරි නැතුවත් බැරි ටියුෂන්. කාලීන. https://units.kln.ac.lk/nemadala/index.php/fr/visheshanga/kalina

Diluka Bandara
Diluka Bandara
senior student, Rajarata university of Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles