“1934 මැයි මස 19 වැනි දින උපන් ඉංදියානුලේඛකයෙකු වන රැසකින් බොන්ඩ් ළමා සාහිත්‍ය උදෙසා කල මෙහෙය වෙනුවෙන් 1992 ඇකඩමි සම්මානය දිනා ගන්නා අතර, පසුකාලීනව පද්ම ශ්‍රී සහ පද්ම භූෂණ සම්මාන වලින්ද ගෞරවයට පාත්‍රකරන ලදී. හිමාලයානු කඳු පාමුල ලැබූ ජිවන අත්දැකීම් බොහෝ ලේඛනයන්ට පදනම් වූ නව පැවසේ.”
දුම්රියේ යුවතිය
(The Girl On The Train by Ruskin Bond)
රෝහණ ප්‍රදේශය දක්වාම දුම්රිය කුටියේ සිටියේ මම පමණි. මගදී ගැහැණු ළමයෙකු දුම්රියට ගොඩ වූවාය. ඇය පිටත් වෙනවා බලා සිටි යුවල නිසැකවම ඇයගේ දෙමාපියන් විය යුතුය. ඇයගේ සුවපහසුව පිළිබඳව ඔවුන් බොහෝ සැලකිලිමත් වූහ. කාන්තාව බොහෝ පැහැදිලි කිරීම් සිදුකළේ ඇයගේ බඩු බාහිරාදිය තබාගත යුතු ස්ථාන පිළිබඳවය, ජනේලයෙන් ඉවතට ඔලුව නොදැමිය යුත්තේ කුමන වෙලාවට ද යන්න පිළිබඳවය, අමුත්තන් සමඟ කථිකාව මගහැරවීම පිළිබඳවය.
මම අන්ධ නිසා ගැහැණු ළමයා කෙසේද යන්න මට පැවසිය නොහැක. දෙපතුල් ගැටෙන හඬින් ඇය පැලඳ සිටියේ සෙරෙප්පු බව මම දැන සිටියෙමි. ඇයගේ කටහඬෙහි ශබ්දයටද මම ඇලුම් කළෙමි.
“ඔබ ඩෙර්හා දුන් වලටම යනවද?” දුම්රිය පළෙන් දුම්රිය පිටත්වද්දී මම ඇයගෙන් විමසුවෙමි.
මම වාඩිවී සිටින්නට ඇත්තේ අඳුරු කොනක විය යුතුය. මගේ හඬින් ඇය කලබල වූවාය. ඇය තරමක් විශ්මයක් පිටකර, “මම දැනගෙන හිටියෙ නැහැ මෙතන තවකෙනෙක් හිටිය බව.”
හොඳයි, තමන් ඉදිරියේ තිබෙන්නාවූ නිවැරදි දේ පවා නොදකින දෘෂ්ටිවත් මිනිසුන් සිටී. ඔවුන්ට මෙසේ සිදුවේ. මට සිතෙන්නේ ඔවුන්ට නිරීක්ෂණ කිරීමට බොහෝ දේ ඇති බවයි. ඇස් නොපෙනෙන අයෙකුට අත්තේ ඔහුගේ අනෙක් ඉඳුරන්ගෙන් ස්ථාපනය වන හැඟීම් පමණි.
“මාත් ඔයාව මුලදි දැක්කේ නැහැ,” මම කීවෙමි. “ඒත් මට ඇහුනා ඔයා එනවා.” මම අන්ධ බව ඇයගෙන් වසන් කිරීමට හැකිදෝයි මම සිතුවෙමි. අසුනටම වෙලා ඉන්නවා, එතකොට ඒ වැඩේ අමාරු නැහැ, මම සිතුවෙමි.
“මම සහාරාන්පූර් වලින් බහිනවා,” ඇය පැවසුවාය. “නැන්දා එනවා එතෙන්ට. ඔයා කොහෙද යන්නේ?”
“ඩේරා දුන් වලට. එතනින් මිසූරි.” මම කීවෙමි.
“අනේ ඔයා වාසනාවන්තයි. මටත් මිසූරි වලට යන්න තියෙනවනම්. මං කැමතියි කඳු වලට. විශේෂයෙන්ම ඔක්තෝබර් මාසයේ.”
“ඔව්, මේක තමයි හොඳම කාලය,” ඇස් පෙනෙන කාලයේ මතකය ආවර්ජනයෙන් මම පැවසුවෙමි. “කැලෑ ඩේලියා වලින් කඳු වැහිලා. ඉර සුන්දරයි. හවසට ඔයාට පුලුවන් ගිනි මැලයක් ලඟ වාඩිවෙලා බ්‍රැන්ඩි ටිකක් බොන්න. හුඟාක් සංචාරකයෝ දැන් පිටත් වෙලා. පාරවල් නිහඬයි, හුදකලා වෙලා.”
ඇය නිහඬය. මගේ වචන ඇය ග්‍රහණය කළේද යන්න මම සිතුවෙමි. එසේත් නොමැතිනම් මම ශෘන්ගාත්මක පිස්සෙකු ලෙස ඇය දුටුවාද? මා අතින් සුලු වැරැද්දක් සිදුවිය.
“එළියෙ මොනවගේද?” මම ඇසුවෙමි.
ඇසූ ප්‍රශ්ණය ගැන කිසිදු පුදුමයක් ඇය තුල නොවීය. මම අන්ධ බව ඇය නිරීක්ෂණ කර අවසන්ද? නමුත් ඇයගේ ඊලඟ ප්‍රශ්ණය මගේ සැකය දුරු කළේය. “ඇයි ජනේලයෙන් එළිය බලන් නැත්තේ?” සාමාන්‍ය අයුරින් ඇය විමසුවාය.
මම තරමක් පහසුවෙන් ජනෙල් තලය අසලට පිවිසුනෙමි. ජනේලය විවෘතය. මම එයට මුහුන දුනිමි. එළිමහන නිරීක්ෂනය කරනවා යැයි ඉඟිකළෙමි.
මගේ මනස් දෙනෙතින් දුරකථන කුළුණු අකුණු සැනින් චලනය වනු මා දුටුවෙමි. “දැක්කද,” මම කීවෙමි. “අපි හෙලවෙන් නැතුව ඉන්නකොට ගස් ගමන්කරනවා වගේ.”
“හැමතිස්සෙම ඒක ඉතිං එහෙමනේ,” ඇය කීවාය.
ජනේලයෙන් ඉවතට හැරුණු මම ඇයට මුහුන දුනිමි. මොහොතක් අපි නිහඬව සිටියෙමු. “ඔයාට සිත්ගන්නා සුලු මුහුණක් තියෙනවා,” මම විවිරණය කළෙමි. මා තුල නිර්භීත බවක් වර්ධනයව ඇත. නමුත් එය ආරක්ෂිත ප්‍රකාශයකි. එම චාටුව ප්‍රතික්ෂේව කළ හැක්කේ ගැහැණු ළමුන් අතලොස්සකට පමණි. ඇය ප්‍රසන්නව සිනාසුනාය. පැහැදිලි නද දුන් සිනහවකි එය. “එහෙම කියපු එක හොඳයි,” ඇය කීවාය. “මට ලස්සන මුහුණක් තියෙනවා කියලා මිනිස්සු කියන කථා අහලා මට එපා වෙලා.”
අනේ එහෙනම් ඔයාට ලස්සන මුහුණක් තියෙනවා, මම සිතුවෙමි, හඬින් පැවසුවෙමි. “හොඳයි, සිත්ගන්නා සුළු මුහුණක් කොහොමත් ලස්සනයි.”
“ඔයා හුඟාක් හැඟුම්බරයි. ඒත් ඇයි ඔච්චරටම?”
“ඉක්මනට අපි ඔයාගේ දුම්රිය නැවතුමට එනවනේ,” මම කෙටියෙන් පැවසුවෙමි.
“මේක කෙටි ගමනක් වුන එකට දෙවියන්ට ස්තූතිවන්ත වේවා. පැය දෙකතුනකට වඩා කෝච්චි පෙට්ටියක ඉන්න එක මට දරාගන්න බැහැ.”
ඒ උනත් ඕනෑ තරම් කාලයක් එතනට වී ඇය කථා කරන අයුරු ඇසීමට මම සූදානම්ව සිටියෙමි. කඳුකර දියදහරක දිස්නය ඇයගේ හඬෙහි විය. ඇය දුම්රිය මැදිරියෙන් පිටවූ සැනින්ම, අපගේ මෙම කෙටි මුණගැසීම ඇයට අමතක වනු ඇත. නමුත් ගමන පුරාවටම එය මා සමඟ රැඳී පවතිනු ඇත. බොහෝ විට එයටත් පසු තවත් බොහෝ කාලයක්.
එන්ජිමේ නලාව ශබ්දවත් විය. පෙට්ටි රෝද එහි තාලය සහ රිද්මය වෙනස් කර ගත්තේය. ගැහැණු ළමයා නැගිට ඇයගේ කළමනා එකතු කළාය. ඇය කොණ්ඩය ගොතා සිටියා ද, නොමැතිනම් උරහිස් මතින් එය කඩා වැටෙනවා ද, නොමැතිනම් එය කොටට කපා දාමා ද යන්න පිළිබඳ මම සිතුවෙමි.
දුම්රිය හිමින් සීරුවේ නැවතුමට ලඟා විය. බඩු ඔසවන්නන්ගේ, වෙළදුන්ගේ කෑගැසීම් හඬ අතර මැදිරියේ දොර අසල ඉහල තාරතාවයක් යුතු හඬකි. ඒ ඇයගේ නැන්දා විය යුතුය.
“ගිහින් එන්නම්,” ඇය පැවසුවාය.
ඇය සිටගෙන සිටියේ මා අසලමය. ඇයගේ කෙස් කළඹින් හමා ආ විලවුන් සුවඳ සිත අමන්දානන්ද කළේය. අත ඔසවා ඇයගේ කෙස් කලඹ ඇල්ලීමට මට අවැසි විය. නමුත් ඇය පිටව ගියාය. ඇය සිටි තැන තිබුණේ විලවුන් සුවඳ පමණි.
දොර අසල පොඩි කළබලයකි. මැදිරියට අතුළු වන මිනිසෙකු ගොත ගසා සමාව යැදී. දොර වැසිනි. මගේ ලෝකය යළි වැසී ගියේය. මම මගේ කුටිය දෙසට හැරුණෙමි. නියාමකගේ නලා හඬට දුම්රිය ඉදිරියට ඇදිනි.
දුම්රිය වේගවත් විය. රෝද එහි සංගීතය සහ ගීතය සමඟ මුසු විය. මැදිරි තුළින් ශබ්දය නැගිනි. සෙලවිනි. මම ජනේලය අසලට ගොස් එයට මුහුණ දුනිමි. අන්ධකාර වූ දිවා ආලෝකය වෙත එඹිකම් කළෙමි. නැවත වරක් මා හට කිරීමට සෙල්ලමක් ඇත. නව මගියෙක්.
“මට සමාවෙන්න, දැන් ගිය එක්කෙනා වගේ ආකර්ශනීය මිත්‍ර සමාගමක් මට නම් තියාගන්න බැරි වෙයි ඔයත් එක්ක,” සංවාදයක් ඇරඹීමේ අදිටනින් ඔහු පැවසුවේය.
“ඇය බොහොම සුන්දර කාන්තාවක්,” මම කීවෙමි. “මට කියන්න පුළුවන් ද – එයාගෙ කොන්ඩෙ දිගද, කොටද?”
“මට මතක නැහැ,” ප්‍රහේලිකාවකට ලක්ව ඔහු ඇසුවේය. “එයාගෙ කොණ්ඩෙ නෙවෙයි, එයාගේ ඇස් දෙක තමයි මම දැක්කේ. ඒ ඇස් දෙක හරිම සුන්දරයි. ඒ උනාට ඒවා එයාට වැඩක් නැහැ. ඔයා දැක්කෙ නැද්ද? එයා සම්පූර්ණයෙන්ම අන්ධයි.”
පරිවර්තනය – දිමුතු සමුද්‍ර ලියනගේ